Main Logo

Monday 9 October 2017

දෙමළ අනන්‍යතාව හා ඒකීය බව වැඩි කිරීම


දෙමළ අනන්‍යතාව හා ඒකීය බව වැඩි කිරීම





නව ව්‍යවස්ථාවෙන් ඒකීය බව ආරක්‍ෂා වන බව හරි ඒකීය බවට තර්ජනයක් නොවන බව හරි ව්‍යවස්ථාවේ වචන ගැන  නොව හරය ගැන කල්පනා කළ යුතු බව හරි දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දශමයක්වත් එහාට නොයන බව හරි කියන අය 1987 සිට 2009 දක්වා හිටියේ කොහේ ද කෙළේ කුමක් ද ආදිය සොයා බැලීමේ දී වැදගත් දෙයක් පැහැදිලි වෙනවා. එදා ඒ අය එදා දහතුනට පක්‍ෂ වූ බවත් බලය බෙදීමට පක්‍ෂ වූ බවත් යම් ආකාරයක සන්ධීය රාජ්‍යයකට පක්‍ෂපාත වූ බවත්. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් රාශියක් ම මේ ගණයට අයත් වෙනවා.




ඒ අය තමයි දයාන් ජයතිලක වැනි අය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට උපදෙස් ලබා දෙන්න ගෙන්වන්නෙ. එකල ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් ක්‍රියා කළ අය අතර ප්‍රධානියකු වූයේ මහාචාර්ය ජී එච් (ජී එල් නොවේ. ජී එල් එදත් සිටියේ සිංහල විරෝධී පැත්තේ. සමගාමී ලැයිස්තුව ඉවත් කළ යුතු බවට ඔහු ලිපියක් දී ඇත්තේ ඉතා මෑතක) පිරිස්. සිංහල විරෝධී මාක්ස්වාදියකු වූ ලෙස්ලි ගුණවර්ධන නම් ඊනියා ඉතිහාසඥයාට විරුද්ධව සිංහලයන්ගේ පැත්තට කරුණු දැක් වූ එක් අයකු වූයේ ජී එච් පිරිස්. මේ දිනවල ජී එච් පිරිස් හා දයාන් ජයතිලක අතර විවාදයක් දි අයිලන්ඩ් පුවත්පතේ කෙරෙනවා. එහි දී දයාන් ජයතිලක නේසයියා නම් දෙමළ උගතකු සමග එකට හිටගන්නා අතර ජී එච් පීරිස් ඊනියා හේතුව පැත්තේ නොසිටින බවට චෝදනා කරනවා. ඩලස්ලා හා ගම්මන්පිලලාත් ජී එච් පීරිස් ගැන සිතන්නේ ඒ ආකාරයෙන් ද? ඇතැම් ජනමාධ්‍ය ලොක්කන් ද සිතන්නේ ඒ අයුරෙන් ද? ඔවුන් අපේ දේ රකිනවා යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? ගෝඨාභය රාජපක්‍ෂට මේ ලොක්කන්ගෙන් කැඩෙන්න පුළුවන් ද?



ඇතැම් පඬියන් කෙසේ කීවත් මෙරට දෙමළ කතාකරන ජනතාවට තමිල්නාඩු සංස්කෘතීන්ගෙන් බාහිර වූ සංස්කෘතියක් නැහැ. ඔවුන්ට ඇත්තේ මූලික වශයෙන් ඔවුන් මෙරටට ආනයනය කිරීමේ දී වත්මන් තමිල්නාඩුවේ එකල ඒ ඒ ප්‍රදේශවල තිබූ සංස්කෘතිය. ඔවුන් ඒ සංස්කෘතීන්ගෙන් සුළුවෙන් හරි වෙනස් වී ඇත්නම් ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙන්. අද ඉන්දියාව කියන රටේ හින්දු සංස්කෘතියත් වෛදික සංස්කෘතියෙන් වෙනස් වූයේත් බුදුදහමේ හා ජෛන ආගමේ ආභාසයෙන්. බිලි පූජා කළ වෛදිකයන් ඉන් ගැලවුණේ බුදුදහමේ හා ජෛන ආගමේ ආභාසයෙන්. වත්මන් හින්දු ආගම ආරම්භ කළ ශංකරාචාර්යතුමාට නාගර්ජුන හාමුදුරුවන්ගෙන්  වූ බලපෑම අති විශාලයි. අද්වෛත වේදාන්තය ශුන්‍යතාවාදයේ උඩු යටිකුරු කිරීමක්. ඇතැමුන් ශංකරාචාර්යතුමන් හැඳින්වූයේ වෙස්වළාගත් බෞද්ධයකු ලෙස.



මෙරට බිහි වූ දෙමළ සාහිත්‍යයක් දෙමළ කලාවක් දෙමළ සිනමාවක් නැහැ. දෙමළ දැනුමක් තබා සිංහල දැනුමක්වත් නැහැ. එයට හේතුව නම් බටහිර දැනුම් ආධිපත්‍යය. මගේ වයසේ සිටින දෙමළ අය හැදුණේ වැඩුණේ ඉන්දියාවේ පළ කළ කල්කි වැනි සඟරා ඇසුරෙන්. අද දෙමළ තරුණයන් ඉන්දියාවට බෝට්ටුවෙන් ගොස් දෙමළ චිත්‍රපටි බලා එනවා. අද රූපවාහිනී පඬියන්ට පින්සිදුවන්නට  සිංහලයන්ටත් ඉන්දීය චිත්‍රපටි ටෙලි නාට්‍ය හා ඉන්දීය වෙළෙඳ දැන්වීම් නැරඹීමට පුළුවන්. සිංහල බෞද්ධ සංස්කෘතියත් රූපවාහිනිය නිසා තම අනන්‍යතාව නැති කර ගනිමින් සිටිනවා.



ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදී නායකයන් ඇතැම් විට මෙරට දෙමළ සංස්කෘතිය තමිල්නාඩු දෙමළ සංස්කෘතියෙන් වෙනස් බව කියා තිබෙනවා. එයට හේතුවක් වුණේ ඉන්දීය සාම සාධක හමුදාව. ප්‍රභාකරන් ඉන්දීය සාම සාධක හමුදාවේ ආධිපත්‍යයට යටවීම ප්‍රතික්‍ෂෙප කළා. ඉන්දු ලංකා ගිවිසුම දෙස ඔහු බැලුවේ සැකයෙන්. එයින් තම බල ආධිපත්‍යයට තර්ජනයක් වේ යැයි ඔහු සිතුවා. ඉන්දු ලංකා ගිවිසුම ගැන කරුණු කීමට රජිව් ගාන්ධි බලෙන් ප්‍රභාකරන් දිල්ලියට ගෙන ගියා.



එකල දෙමළ ත්‍රස්තවාදීන් තම සංස්කෘතිය තමිල්නාඩු සංස්කෘතියෙන් වෙනස් බව කීවේ ඒ පසුබිමෙහි. මෙරට දෙමළ සංස්කෘතිය තමිල්නාඩුවේ ඒ ඒ ප්‍රදේශවල සංස්කෘතිවලින් වෙනස් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙන්. මෙයට හොඳ ම උදාහරණය සිංහල අලුත් අවුරුද්ද. අද මෙරට දෙමළ කතාකරන ජනයා තමිල්නාඩුවට වෙනස් ව අලුත් අවුරුද්ද පවත්වන්නේ නම් ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ ආභාසයෙන්.



එහෙත් ඒ ආභාසය නිසා මෙරට දෙමළ කතාකරන ජනයාට මූලික වශයෙන් ඉන්දියාවේ දෙමළ සංස්කෘතියෙන් වෙනස් වූ සංස්කෘතියක් ලැබෙන්නේ නැහැ. මෙරට දෙමළ ජනයාට ඊනියා සාමූහික අනන්‍යතාවක් ද නැහැ. උඩරට දෙමළ නායකයන්ගේ සිතුම් පැතුම් යාපනයේ දෙමළ නායකයන්ගේ සිතුම් පැතුම්වලට වෙනස්. නැගෙනහිරත් එහෙමයි. ඇතැම් පඬියන් ඊනියා දෙමළ සාමූහික අනන්‍යතාවක් ගැන කියවන්නේ කෙසේ නමුත් සිංහල විරෝධී තර්කයක් නිපදවා ගැනීමට පමණයි.



අද මොන විධියකට හරි බලය විමධ්‍යගත කිරීමට කතා කරන, ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් හා බුද්ධාගමට ඊනියා ප්‍රමුඛස්ථානයක් දීම වෙනුවෙන් කතා කරන සියලු ආකාරවල පඬියන්ගෙන් අපට අසන්නට ඇත්තේ එක ප්‍රශ්නයක් හා අතුරු ප්‍රශ්නයක් පමණයි. ඔවුන් සිතන විධියට වත්මන් ව්‍යවස්ථාවෙන් ඒකීය භාවය රැකෙන්නේ නැද්ද? බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ නැද්ද? අප නම් කියන්නේ මේ ව්‍යවස්ථාවත් සන්ධීය කියා හා මෙයින් රැකෙන බුද්ධාගමක් නැහැ කියා. එහෙත් පඬියන් අප සමග එකඟ වන්නේ නැහැ. ඔවුන් කියන්නේ මේ ව්‍යවස්ථාව ඒකීය බවත් එයින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙන බවත්. එසේ නම් ඒ කරුණු සම්බන්ධයෙන් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ඇති වුවමනාව කුමක් ද? තව තවත් වැඩියෙන් ඒකීය බව රැකීමට ද? බුද්ධාගමට තව තවත් ප්‍රමුඛස්ථානය දීමට ද?



ඊනියා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අනුව එහි ඇති වගන්තිවලින් මෙරට ඒකීය භාවය තව තවත් වැඩිවන අයුරුත්, බුද්ධාගමට තව තවත් ප්‍රමුඛස්ථානය ලැබෙන සැටිත් පඬියන් හා දේශපාලනඥයන් අපට පෙන්වා දෙනවා ද? අතුරු වාර්තාවට අනුව ඒකීය සඳහා යොදා ඇති දෙමළ වචනය වෙනස් කළේ ඒකීය බව තවත් වැඩි කිරීමට ද? අපට කියන්න ඇත්තේ එකම දෙයක් පමණයි. ගොනා හැරෙන්නේ කුමකට ද යන්න අප දන්නවා.







     



මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 09