Main Logo

Sunday 8 October 2017

ඊනියා දෙමළ අනන්‍යතාව


ඊනියා දෙමළ අනන්‍යතාව



අප මෙරට සන්ධීය රාජ්‍යයකට විරුද්ධයි. එසේ විරුද්ධ වන්නේ දෙමළ ජාතිවාදීන් ඉල්ලන සන්ධීය රාජ්‍යය යුක්ති යුක්ත කරන්න බැරි නිසාත් එය සිංහල විරෝධී නිසාත්. ඇතැම් පඬියන් කියන්නේ සන්ධීය රාජ්‍යයකට විරුද්ධ වීම ප්‍රමාණවත් නැහැ, ඒකීය රාජ්‍යය සන්ධීය රාජ්‍යයකට වඩා සුදුසු බව පෙන්විය යුතුය කියා. මෙය සම්පූර්ණයෙන් ම වැරදි කතාවක්. සන්ධීය රාජ්‍යයක් ඉල්ලන අයයි පෙන්නුම් කළ යුත්තේ ඔවුන්ට අවශ්‍ය වූ දේ ලබාගැනීමට සන්ධීය රාජ්‍යයක් ඒකීය රාජ්‍යයකට වඩා සුදුසු ය කියා. මේ සිංහල විරෝධී පඬියන් ඇතැම් ඒකාබද්ධ විපක්‍ෂ නායකයන්ට අනුව බුද්ධිමත් දේශපාලන විද්‍යාඥයන්.




සන්ධීය රාජ්‍යයක් ඉල්ලන්නේ මෙරට දෙමළ ජාතිවාදීන්. ඔවුන් පසුපස ඉන්නේ බටහිරයන් හා ඉන්දියානුවන්. බටහිරයන් හා ඉන්දියානුවන් නොවන්නට දෙමළ ජාතිවාදීන් නැහැ. දෙමළ ජාතිවාදීන් යනු බටහිරයන්ගේ නිර්මාණයක්. දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් විසින්. දෙමළ ජාතිවාදීන් මුළින් ම කියා සිටියේ ඔවුන්ට දෙමළ වීම නිසා ම අසාධාරණයක් සිදුවන බව. එහෙත් මේ ඊනියා අසාධාරණය කුමක් දැයි සංයුක්ත ව ප්‍රකාශ කරන ලෙස කී විට දෙමළ ජාතිවාදීන්ට පිළිතුරක් තිබුණේ නැහැ. වරක් එස් එල් ගුණසේකර මෙයට අදාළ ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ දී ඇසූ විට කුමාර් පොන්නම්බලම් කීවේ ආදායම් බදු පෝරම දෙමළෙන් නැති බව!



දෙමළෙන් පෝර්ම නැති බව පට්ටපල් බොරුවක්. අනෙක් අතට ප්‍රශ්නය එය නම් ආදායම් බදු පෝර්ම දෙමළෙන් පළ කිරීම අරුම වැඩක් නො වෙයි. තමන්ට උත්තර නැති බව තේරුම් ගත් කුමාර් පොන්නම්බලම් තැටිය වෙනස් කළා. ඔහු කියා සිටියේ දෙමළ ජනයාගේ අභිලාෂ ඉටුවිය යුතු බව. එහෙත් මේ අභිලාෂවලට ඓතිහාසික හො දේශපාලනික හෝ පසුබිමක් තිබුණේ නැහැ. දෙමළ ජාතිවාදීන් දෙමළ බස රාජ්‍ය භාෂාවක් කර ගත්තේ  කිසිම ඓතිහාසික පදනමක් නැතිව. විජාතික බලපෑම් හමුවේ නිවටයන් වන සිංහල යැයි කියා ගන්නා දේශපාලනඥයන්ට ජාතිකත්වයක් නොමැති වීම එයට හේතුවයි.



ජාතික ගීය දෙමළෙන් ගයන්නේ ව්‍යවස්ථාවටත් විරුද්ධ ව. කණාගාටුවට කරුණක් නම් ඇතැම් ජාතිකවාදීන් ද එසේ දෙමළෙන් ජාතික ගීය ගැයීමට එකඟ වීම. නිරවුල් ව පවසන්නේ නම් ජාතික ගීය දෙමළෙන් ගැයීම යන්න ම වැරදි ව්‍යවහාරයක්. ව්‍යවස්ථාව අනුව ජාතික ගී ඇත්තේ එකයි. එය ඇත්තේ සිංහල භාෂාවෙන්. අද මේ නිවට ආණ්ඩුවට අවශ්‍ය ව්‍යවස්ථාවෙන් ජාතික ගී දෙකක් ඇති කිරීමට.



දැන් දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ගේ ගොඩ පෙරකදෝරුවන් නැවතත් තැටිය වෙනස් කරලා. ඔවුන් දැන් කියන්නේ අසාධාරණ ගැනවත් අභිලාෂ ගැනවත් නො වෙයි. ඔවුන්ගේ ඊනියා සාමුහික අනන්‍යතාවක් ගැන. දෙමළ ජනයා බහුතරයක් වෙසෙන පළාත්වල ඔවුන්ට තමන්ට අවශ්‍ය අන්දමට කටයුතු කිරීමට අවශ්‍ය බව දෙමළ ජාතිවාදීන් හා ගොඩ පෙරදෝරුවන් කියනවා. මේ ගොඩ පෙරකදෝරුවන් ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දෙන්නන් අතර ද සිටිනවා. ඒ සම්බන්ධයෙන් මා ඔවුන්ට දොස් කියන්නේ නැහැ. මා දොස් කියන්නේ එවැනි උපදේශකයන් මහා විද්වතුන් ලෙස සලකා ඔවුන් ළඟට ගන්නා බොරු සමාජවාදීන්ට. මහින්ද පැරදී ටික කලක් ගත වන තෙක් මේ බොරු සමාජවාදීන් දුරකතනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව මහින්ද රාජපක්‍ෂ කියා තිබෙනවා.                   



ඊනියා විද්වතුන් කොටි පරාජය කිරීමට නොහැකි යැයි කියමින් කොටි සමග සාකච්ඡා කළ යුතු යැයි කීවා. වාසනාවකට මහින්ද රාජපක්‍ෂ ඔවුන්ටවත් ඔවුන් ළඟට ගත් අයටවත් සවන් දුන්නේ නැහැ. බැරි වෙලාවත් මහින්ද ඔවුන්ට සවන් දුන්නා නම් කොටි තවමත් බෝම්බ පුපුරුවනවා. සිංහලයන් ඝාතනය කරනවා. මහින්ද තාමත් ජනාධිපති. දහතුනට එහා යන ඊනියා විසඳුමක් දෙන්න තිබුණා. දැන් සම්බන්ධන් නැවතත් බෝම්බ පුපුරුවන්න සූදානම් වෙනවා. ආණ්ඩුව ඔහුට සහාය දීමට බුද්ධ අංශ දුර්වල කරනවා. මේ නිවට ආණ්ඩුව සිංහල විරෝධීයි. රනිල් සංස්කෘතික වශයෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි.



මෙරට දෙමළ ජනයාට සාමූහික අනන්‍යතාවක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ම වූ සංස්කෘතියක් නැහැ. ඔවුන් ජාතියක් තබා ජනවර්ගයක්වත් නො වෙයි. ඔවුන්ට සාමූහික අනන්‍යතාවක් නැහැ. අද අඩුම තරමෙන් දෙමළ කණ්ඩායම් හතරක් මේ රටේ සිටිනවා. යාපන දෙමළ, මඩකලපු දෙමළ, උඩරට දෙමළ, කොළඹ දෙමළ යනුවෙන් ඔවුන් හඳුන්වන්න පුළුවන්. දෙමළ කතා කරන ජනයාගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. කොළඹ දෙමළ අයට හැරෙන්න අනෙක් අයට ඔවුන්ගේ ම වූ දේශපාලන පක්‍ෂ/නායකයන් ඉන්නවා. කොළඹ දෙමළ කතා කරන  අයට එවැනි නායකයන් නැහැ. ඔවුන්ගෙන් සමහරු යාපන දෙමළ කතා කරන   ජනයාට නායකත්වය දෙනවා. ඊනියා සාමූහික අනන්‍යතාව අනුව පාලනය කරන්නේ උතුරු හා නැගෙනහිර පළාත් ද? කොළඹ දෙමළ කතා කරන ජනයා මේ ඊනියා සාමූහික අනන්‍යතාවට නැත් ද?



ඉන්දියාවේ දෙමළ ජනයාගෙන් අති බහුතරය ඉන්නේ තමිල්නාඩුවේ. එමෙන් ම තමිල්නාඩුවේ අති බහුතරය දෙමළ. ඉන්දියාවේ දෙමළ ජනයාට දැන් ජනවාර්ගික අනන්‍යතාවක් තියෙනවා. එහෙත් ඉතිහාසයේ හැමදාම එසේ වී නැහැ. අද තමිල්නාඩුව කියන ප්‍රාන්තය නූතන නිර්මාණයක්. කලින් ඒ ප්‍රදේශයේ හා ආසන්නයේ විවිධ වාංශික රාජ්‍යය තිබුණා. සොළී කියන්නේ එවැනි එක් වංශයක්. සොළී යනු දෙමළ නො වෙයි. සොළින් දෙමළ කතා කරන්න ඇති. එහෙත් ඔවුන් හා අනෙක් දෙමළ කතා කළ ජනයා අතර දේශපාලන හෝ සංස්කෘතික හෝ වශයෙන් සම්බන්ධයක් තිබුණේ නැහැ. එයින් කියන්නේ දෙමළ ජනවාර්ගික අනන්‍යතාවක් නොතිබූ බවත් ඒ නිසා සොළීන් ජනවාර්ගික ව දෙමළ නොවූ බවත්. සොළීන් යම් ප්‍රදේශයක් පාලනය කළා. එය නිත්‍ය ප්‍රදේශයක් වුණෙත් නැහැ. සොළීන් දෙමළ රාජ්‍යයක් ඇති කෙළේ නැහැ. සොළී පමණක් නොව චේර පාණ්ඩ්‍ය මෞර්ය පල්ලව ආදී රාජ්‍යය ජනවාර්ගික රාජ්‍යය නො වෙයි. මේ සියල්ල මෙරට තිබූ සිංහල රාජ්‍යය සමග සංසන්දනය කරන්න.



ලංකාවේ දෙමළ සංස්කෘතියක් තවමත් බිහි වී නැහැ. ඒ නිසා දෙමළ ජනවාර්ගික අනන්‍යතාවකුත් තවමත් නැහැ. මෙරට දෙමළ කතා කරන ජනයා තවමත් ඔවුන්ගේ සාහිත්‍යය ලෙස සලකන්නේ සංගම් සාහිත්‍යය, සිලප්පදිකාරම් වැනි කෘති. ඒ එකක්වත් ලංකාවේ නිර්මාණය වූ දේ නො වෙයි. අදත් යාපනයේ දෙමළ කතා කරන ජනයා යැපෙන්නේ තමිල්නාඩුවේ දෙමළ සිනමාව හා පොත්පත් මත.



මේ සාමූහික අනන්‍යතාව පට්ටපල් බොරුවක්. කරුණා ප්‍රභාකරන්ගෙන් වෙන් වූයේත් ප්‍රධාන වශයෙන් ම එවැනි සාමූහිකත්වයක් නො තිබූ නිසා. උඩරට දෙමළ කතාකරන ජනයා මෙන් ම මඩකලපු ජනයාත් තම තත්වයට නැති බව යාපනයේ දෙමළ කතා කරන්නන් අදත් විශ්වාස කරනවා. මේ කුල ප්‍රශ්නයකට වඩා ඒ ඒ අය ලංකාවට ගෙන් වූ අය, ගෙන් වූ කාලය හා ගෙන්වූයේ වත්මන් තමිල්නාඩුවේ කුමන ප්‍රදේශයකින් ද ආදිය පිළිබඳ ප්‍රශ්නයක්.



සාමූහික අනන්‍යතාව ඇත්තේ ඊනියා දේශපාලන විද්‍යාඥයන්ගේ හිස් හිස්වල පමණයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් නායකයන් තම හීන දීන බුද්ධිය හේතුවෙන් මේ කසිකබල් දේශපාලන විද්‍යාඥයන්ට තැන දෙනවා. ඔවුන්වත් ජනමාධ්‍යවාදීන්වත් මෙවැනි ලිපිවලට තැනක් දෙන්නේ නැහැ. මේ ලිපිවල සිංහල විරෝධී කතාවත් හිට් කෑලිවත් නැහැ.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 ඔක්තෝම්බර් 08