Main Logo

Tuesday 17 October 2017

මහින්දගේ ව්‍යවස්ථා නිවේදනය  


මහින්දගේ ව්‍යවස්ථා නිවේදනය



මහින්ද රාජපක්‍ෂ ඊයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා. එයින් කියැවෙන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ ආණ්ඩුවට ජනවරමක් නැති බවයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තබා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටවත් මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. එ ජා පෙරමුණට ලැබුණේ මන්ත්‍රීධුර 106ක් පමණයි. ජනතාව සියළු ආකාරයේ ව්‍යවස්ථා සංශෝධන ප්‍රතික්‍ෂෙප කර තිබෙනවා. ජනාධිපතිවරණයේ දී නම් මෛත්‍රිපාලට ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනවලට ජනවරමක් තිබෙනවා. එහෙත් මෛත්‍රිපාල ඒ ජනවරම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?




ජනාධිපතිට වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇත්තේ ජනතා පරමාධිපත්‍යයෙහි විධායක බලතල ක්‍රියාත්මක කිරීමයි. ඔහු අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල සභාපතිත්වය දරණවා. ඔහුට ඇමතිධුරත් තිබෙනවා. ඉඳහිට පාර්ලිමේන්තුවටත් එනවා. එහෙත් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නො වෙයි. ඔහුට පාර්ලිමේන්තුවේ ඡන්දයක් නැහැ. ඔහුට ඔහුගේ ඇමතිධුරවලට අදාළව පාර්ලිමේන්තුවට පනත් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙත් ඒ පනත්වලට ඡන්දය දෙන්න බැහැ. මේ ජේ ආර්ගේ මගඩි ව්‍යවස්ථාවේ ප්‍රතිඵල. 



එහෙත් ජනාධිපතිට ව්‍යවස්ථාවට අනුව ඉතා වැදගත් වගකීමක් රාජකාරියක් තියෙනවා. ඒ ව්‍යවස්ථාවට ගරු කිරීම හා එය ආරක්‍ෂා කිරීම. ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවෙන් නිසියාකාරව ක්‍රියාත්මක වන බවට ජනාධිපති වග කිව යුතුයි. ජනතා පරමාධිපත්‍යය විසින් තීරණය කෙරී ඇත්තේ කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි. ජනාධිපති කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බවට වග කියන්න ඕන. ජනාධිපති කළ යුතුව තිබුණේ තම ජනාධිපති බලතල යොදා ගනිමින් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය විසුරවා හැරීමයි. ජනතා පරමාධිපත්‍යයත් එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් ආරක්‍ෂා කර ගැනීමට එසේ කරන්න පුළුවන්.



එහෙත් ඔහු එසේ කෙළේ නැහැ. එසේ වුවත් තවමත් ඔහුට එසේ කළ හැකියි. අද ව්‍යවස්ථා සංශෝධනයකට වඩා වැදගත් වන්නේ පවත්නා ව්‍යවස්ථාව ආරක්‍ෂා කර ගැනීමයි. ජනාධිපති පමණක් නොව ඒකාබද්ධ විපක්‍ෂයත් ජනමතය සම්පූර්ණයෙන් ම පැත්තකට දමා කිසිම ජනවරමක් නැතිව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වුණා. ඔවුන් අර අනුකාරක සභාවලින් නම් අයින් වුණා. ඒත් ඒ වන වීට ඒ කමිටුවල වාර්තා සම්පාදනය වී තිබුණා. බන්දුල ගුණවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් අනුකාරක කමිටුවත් වාර්තාවක් දුන්නා. වාර්තාව දීමෙන් පසු අස්වීමෙන් එතරම් වැඩක් නැහැ. ඔවුන් අනුකාරක සභාවලින් මෙන් ම මෙහෙයුම් කමිටුවෙනුත් අස්වෙන්න තිබුණා.



මහින්දගේ පුවත්පත් නිවේදනයේ මෙසේ සඳහන් වෙනවා. “මෙහිදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ, මේ විනාශකාරී ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය අතහැර, ඔවුන් මුලදී ජනතාවට පොරොන්දු වූ ආකාරයට පමණක් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙසය.”



රාජපක්‍ෂලා සමග ඉන්න දයාන් ජයතිලකලා, චන්ද්‍රප්‍රේමලා, දිලිත්ලා ගැන අපට විශ්වාසයක් නැහැ. අප ඔවුන්ගේ ඉතිහාසය දන්නවා. එහෙත් රාජපක්‍ෂලාට ඔවුන් විශ්වාසයි. ඔවුන් රාජපක්‍ෂලාට උපදෙස් දෙනවා, නිවේදන ලියනවා, නිවේදන ප්‍රචාරය කරනවා. ඉහත සඳහන් නිවේදනය කවුරු ලිව්වත් අත්සන් කරන්නේ මහින්දයි. බරපතළකම ඇත්තේ එතැනයි. මහින්ද කලකට පෙර ඊනියා 13+ කතාවකටත් අහුවුණා. මහින්දට ප්‍රභාකරන් පැරදවීය හැකි යැයි දයාන්ලා චන්ද්‍රප්‍රේමලා කිව්වේ නැහැ. ඉහත සඳහන් නිවේදනයේ ඔවුන් කියා ඇත්තේ කාට ද? රනිල්ට ද? මෛත්‍රිපාලට ද?



වත්මන් ව්‍යවස්ථාව ජේ ආර්ගේ. ඒ ව්‍යවස්ථාවට අනුවයි දයාන් වර්ධරාජ පෙරුමාල්ගේ ආණ්ඩුවේ ඇමතිකමක් දැරුවේ. චන්ද්‍රප්‍රේම  භික්‍ෂූන් වහන්සේට ද දොස් කියමින් කොළපාට සමාජයක් ගැන ලිව්වා. මිනිසුන් වෙනස් වෙනවා. ඒත් ඇතැම් දේ වෙනස් වන්නේ නැහැ. දහතුනට පක්‍ෂ සියළු දෙනා ම සන්ධීය රාජ්‍යයකට පක්‍ෂයි. දහතුනෙන් ඒකීය රාජ්‍යය නැති වුණා. දහතුන නන්දිකඩාල් කලපුවේ දී දේශපාලනික ව පරාජය වුණා. අද කළ යුත්තේ එය නීති පොතට, ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි. එහෙත් දහතුන තිබෙනතාක් විධායක ජනාධිපති ක්‍රමය තිබිය යතුයි. මනාප ක්‍රමයත් අහෝසි කළ යුතුයි.



එහෙත් එවැනි සංශෝධන මේ නිවට ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. නිවට ආණ්ඩුවට ඒ සඳහාවත් ජන වරමක් නැහැ. හැරත් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අප කවුරුත් දන්නවා. ඒක ප්‍රජාතන්ත්‍රවාතයක්. ඔහු අගමැතිව සිටිනතාක් කරු ජයසූරිය කතානායකව සිටිනතාක් අපට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාතයක්. රනිල් කරුගේ ආශිර්වාදය යටතේ සංශෝධන කරගන්නා හැටි පහුගිය දා හැමෝ ම දැක්කා. මහින්දත් දැක්කා. අද ජනවරමක් නැතිව ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ගියොත් රනිල් ඔහුගේ සංශෝධන මගින් සහසන්ධීය ව්‍යවස්ථාවක් සම්මත කර ගනීවි. ඔහුට තුනෙන් දෙකේ ඡන්දය ගැනීමට විවිධ උපක්‍රම තියෙනවා.



ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කළහොත් එය පරාජය කළ හැකියි. එහෙත් දිලිත් සයිටම් විරෝධයකින් ආණ්ඩුවට මර්දනයකට පාර කපනවා. එවැනි මර්දනයකින් ජනමත විචාරණයක දී ආණ්ඩුවට වාසි අත් වේවි. ජනමත විචාරණයක දී හොඳ වගන්ති නරක වගන්ති බේරාගන්න පුළුවන් ද? අප අද කළ යුත්තේ ජනවරමක් නැති ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම හෝ සංශෝධන සහිත ව ව්‍යවස්ථාවක් ඉල්ලීම හෝ නොව නව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්‍ෂෙප කිරීමයි. එවිට ජනමත විචාරණයක් පැවැත්වුවොත් අපට ව්‍යවස්ථාව එක හිතින් පරාජය කරන්න පුළුවන්.



වත්මන් ව්‍යවස්ථාවේ අහිතකර වගන්ති මහින්දගේ ආණ්ඩුවකින් ජනවරමක් ඇතිව ඉවත් කරමු.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 17