Main Logo

Tuesday 24 October 2017

මහින්දට වචනයක්  


මහින්දට වචනයක්



දින සියයේ ආණ්ඩුව පිහිටුවා දැන් වසර තුනකට ආසන්නයි. නීත්‍යානුකුල නොවන ඊනියා එ ජා පෙරමුණු – ශ්‍රී ල නි ප ජාතික ආණ්ඩුව පිහිටුවා වසර දෙකකට වැඩියි. පාර්ලිමේන්තුවේ නියෝජනය නොවන ශ්‍රී ල නි පක්‍ෂය සමග ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැහැ. එහෙත් කරු ජයසූරිය කතානායක ව ඉන්න තාක් රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාතය යටතේ පාර්ලිමේන්තුවේ නීති විරෝධී සම්ප්‍රදාය විරෝධී ක්‍රියා වෙන්න පුළුවන්. වෙනත් කිසිවකු ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකුල නොවීම ගැන කතා නොකරන්නේ මගේ තර්කය වැරදි නිසා ද? ශ්‍රී ල නි ප පිළිගන්නා කතානායක ම එ පෙ, ජා නි පෙ ආදී පක්‍ෂ පිළිගන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ඊනියා ජාතික ආණ්ඩුව ප්‍රශ්න නොකරන්නේ යම් දිනයක කරු ජයසූරිය විපක්‍ෂයේ පක්‍ෂ පිළිගනීවි යන බලාපොරොත්තුවෙන් ද?




අද බටහිරයන් හා ඉන්දියාව තරමක අසහනයකින් ඉන්නේ. ඒ උතුරු කොරියාව නිසා නො වෙයි. ඒ ගැන බයක් වෙන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව උතුරු කොරියාවට සම්බාධක පමණුවලා ඒ රට මෙල්ල කරලා. බටහිර හා ඉන්දීය අසහනය ආණ්ඩුව තවමත් සිංහල විරෝධි ව්‍යවස්ථාව සම්මත කර නොගැනීමත් රණවිරුවන්ට අවශ්‍ය ආකාරයට දඬුවම් නොකිරීමත් පිළිබඳ ව. බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව බලයට පත්කර ගත්තේ ඒ කරුණු දෙක ඉටු කර ගැනීමට.



ඊයේ පෙරේදා මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ වාර්තාකරුවකු රණවිරුවන්ට දඬුවම් නොකිරීම පිළිබඳ තම කණස්සල්ල ප්‍රකාශ කරලා. ඔහු කියන්නේ ඉක්මණින් ම රණවිරුවන් දඩයම පටන් ගත යුතු බවයි. අප රටේ නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ජනතා පරමාධිපත්‍යයට අවශ්‍ය අන්දමට මිස එක්සත් ජාතීන්ගේ සංවිධානයට අවශ්‍ය ආකාරයට නො වෙයි. ආණ්ඩුවට කොන්දක් තිබුණා නම් කිව යුත්තේ, ඊනියා භූ දේශපාලනික යථාර්ථයක් ගැන බටහිර මතවාද ඇදබාන පඬියන් කෙසේ කීවත්, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ආපසු ගෙදර යෑමටයි. එහෙත් බටහිරයන් පත් කළ නිවට ආණ්ඩුවට කොන්දක් කොහෙන් ද?



බටහිරයන්ට හා පඬියන්ට කිව යුතු තවත් දෙයක් තිබෙනවා. යුද්ධයකින් මිය ගිය අහිංසකයන් ගැන අප සොයා බැලුවේ සුද්දන් අප රටේ වැසියන් 1817 දී 1848 දී සමූලඝාතනය කිරීමට අවුරුදු දහස් ගණනකට කලින් ගැමුණු රජු සමයේ. මෙරට යුද්ධාපරාධ සිදු වී ඇත් ද නැත් ද යන්න සොයා බැලිය යුත්තේ මෙරට ආයතනයි ඒ සඳහා හමුදා අධිකරණ මෙන් ම සාමාන්‍ය (ඊනියා සිවිල්) අධිකරණ ද තිබෙනවා. මනම්පේරි ඝාතනය විභාග කෙළේ ඊනියා ජාත්‍යන්තර අධිකරණ මගින් නො වෙයි. ඉන්දීය සාම සාධක හමුදාව කළ ඝාතන ගැන ජාත්‍යන්තරය තබා ඉන්දියාවවත් සොයා බැලුවා ද? අද ඉන්දියාව බටහිරයන් සමග එක් වී බයිලා කියනවා. 



මේ අතර මහින්ද රාජපක්‍ෂ පසුගිය දා සමගාමී ලැයිස්තුව ඉවත් කළ යුතු බවට ලිපියක් දුන් ජී එල් පීරිස් සමග අද හෙට ඉන්දියාව බලා පිටත් වීමට නියමිතයි. මේ ගමනින් හොඳක් වෙයි ද? ඒ සඳහා ජී එල් පීරිස් එක් වී සිටින්නේ ඇයි?  අද නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කළ යුතුය යන මතය රටේ තහවුරු වෙමින් පවතිනවා. විවිධ සංඝ සභා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම නවත්වන ලෙස කියා තිබෙනවා. මහජන මතය ක්‍රමයෙන් ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කළ යුතුය යන ස්ථාවරයට සේන්දු වෙමින් පවතිනවා. දළදා මාළිගාවේ ඇතුන් එදා නොව  අද ප්‍රශ්නයක් වන්නේ ව්‍යවස්ථාව නිසයි. රනිල් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ. දළදා හාමුදුරුවන් දළදා ස්වාමීන් වහන්සේ වන්නේ කිනම් සම්ප්‍රදායක ද?  



මේ ආණ්ඩුව බලයට පත්කළ පාර්ශ්වයක් හැටියට ඉන්දියාවට අද මෙරට මහජන මතය ප්‍රශ්නයක්. ඉන්දියාවේ මතය පැහැදිලියි. ඔවුන්ට ඕන 13+. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පඬි උපදේශකයන් මහින්ද ලවා 13+ කියවපු බවත් ඉන්දියාව දන්නවා. ඉන්දියාවට අවශ්‍ය මහින්ද ඒ ස්ථාවරයේ ම තබා ගැනීමටයි. එහෙත් සිංහල මහජන මතය වෙනස්. මහින්ද ගරු කළ යුත්තේ මෙරට මහජන මතයට මිස ඉන්දීය ආණ්ඩුවේ මතයට නො වෙයි. නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කෙරුණා. ඒ කියන්නේ 1833 සිට විකාශය වූ දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කෙරුණු බවයි. අද නැවතත් 1833ට හෝ 1912ට හෝ 1931ට හෝ 1949ට හෝ 1976ට හෝ 1987ට හෝ ආපසු යන්නට බැහැ. නන්දිකඩාල් කලපුවේ දී ඉන්දු ලංකා ගිවිසුම මෙන් ම දහතුන ද ගිල්ලවනු ලැබුවා. 13+ ගැන කවර කතා ද?



අප කළ යුතුව ඇත්තේ දහතුන නෛතික ව ඉවත් කිරීම පමණයි. එය මේ ආණ්ඩුවෙන් කෙරෙන්නේ නැහැ. ඒ සඳහා අප ඉදිරියේ දී ඉන්දියාවට හෝ බටහිරට හෝ යට නොවෙන ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. දැනට කළ යුතුව ඇත්තේ නව ව්‍යවස්ථාව මුළුමනින් ම ප්‍රතික්‍ෂෙප කිරීමයි. ඒ අතර වත්මන් ව්‍යවස්ථාව දැනට ක්‍රියාත්මක වන තත්වයෙන් පමණක් තවදුරටත් තිබිය යුතුයි. එයින් කියැවෙන්නේ කුමක් ද යන්න පැහැදිලි විය යුතුයි. වත්මන් තත්වය වෙනස් කරන කිසිවක් නොකළ යුතුයි. නව ව්‍යවස්ථා දරුවා තවම බිහි වී නැහැ. එහෙත් ඒ දරුවා ගැබ් ගෙන. එපමණක් නොවෙයි. දරුවා අවජාතකයි.



අද දහතුන ක්‍රියාත්මක වන්නේ ඉඩම් හා පොලිස් බලතල ඊනියා විමධ්‍යගත කිරීමකට ලක් නො කරයි. අධිකරණ තීන්දුවකට අනුව උතුරු හා නැගෙනහිර පළාත් එක් කරන්න බැහැ. අවශ්‍ය ව්‍යවස්ථාවට සංශෝධන එක් නොකර මේ තත්වය වෙනස් නොකර පවත්වා ගෙන යෑමයි. රනිල් යටතේ සංශෝධන ගෙන ඒමක් ගැන විශ්වාසයක් තබන්න බැහැ. ඔහු සංශෝධන මුවාවෙන් වෙනත් ම පනත් ගේනවා.



පළාත් සභා ක්‍රියාත්මක වන තාක් විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුත්තේ දහතුන නෛතික ව ඉවත් කරන දිනයකයි. අප රට ගැන මිස පුද්ගලිකත්වය හා පවුල ගැන නොසැලකිය යුතුයි. ඉන්දියාව සමහර විට යෝජනා කරන්න ඉඩ තිබෙනවා දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කර (එනම් ඉඩම් පොලිස් බලතල ද දී, පළාත්වලට එක්වීමට අවස්ථාව ලබා දී) ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට. ඒ සමග සිංහලයන්ගේ අභාවය සිදු වේවි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම දහතුන මුළුමනින් ම ක්‍රියාත්මක කිරීම සඳහා දෙන සන්තෝසමක් පමණයි.  මහින්ද ඉන්දියාවේ දී සිංහලයන්ගේ මරණ සහතිකය ලියා නොදෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. 



ක්‍රිකට් කණ්ඩායම අද මැරුණු තත්වයකට පත් වෙලා. ඒත් බැරිම නම් එක ම  ක්‍රිකට් පුහුණු කරු ලෙස ලයනල් සඳුන් හරි පත් කරන්න පුළුවන්. ජාතිය මැරුණොත් යළි ඉපදෙන්නෙ නැහැ.  දෙවැනි ඉනිමක් නැහැ.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 24