Main Logo

Showing posts with label අවුරුද්ද. Show all posts
Showing posts with label අවුරුද්ද. Show all posts

Tuesday, 23 April 2013

අපේ අවුරුද්ද හා අපේ දැනුම

අද අපට තවත් අවුරුද්දක් උදාවෙයි. ඒ අපේ, එනම් සිංහලයන්ගේ අවුරුද්ද ය. එයට සිංහල හා දෙමළ අවුරුද්ද යැයි කියන්නෝ පඬියෝ ය. එය දෙමළ අවුරුද්දක් නම් අද තමිල්නාඩුවේ ද අවුරුද්ද විය යුතු ය. එහෙත් එය එසේ නො වේ. අද අවුරුද්ද පවත්වන්නේ ප්‍රධාන වශයෙන් ම ථෙරවාදී බෞද්ධ රටවල ය. අදට යෙදී ඇති හින්දු අවුරුද්දක්, අවුරුදු උත්සවයක් නැත. අද යාපනයේ දෙමළ ජනයා යම්තමින් හෝ අවුරුදු උත්සවය පවත්වන්නේ සිංහලයන්ගේ ආභාසයෙනි. දෙමළ ජනයාගෙන් යම් ප්‍රමාණයක් පෘතුගීසීන් මෙරටට පැමිණෙන සමයේ යාපනයේ බහුතරය වූ සිංහලයන්ගෙන් පැවත එන්නෝ ය. ඒ සිංහලයන් දෙමළ බවට පත්වූයේ ලන්දේසීන් තම දුම්කොළ වගාවට කෝරමණ්ඩල වෙරළෙන් වෙල්ලාලයන් ගෙන ඒමෙන් පසුව ය. එහෙත් ඔවුහු දෙමළ සමාජයේ සුළුතරය බවට පත්වූවා පමණක් නොව ඊනියා අඩු කුලයේ ජනතාව බවට ද පත්වූහ. අවුරුදු උත්සවය පැවැත්වීම සඳහා දෙමළ ජනයාට ඔවුන්ගෙන් ආභාසයක් විණි යැයි සිතීම අපහසු ය. වෙල්ලාලයන් අඩු කුලයේ අයගේ අවුරුද්දක් පවත්වාවි යැයි සිතිය නො හැකි ය. ඒ කුමක් වුවත් අද පවත්වන හින්දු අලුත් අවුරුද්දක් ලෝකයේ කොහේවත් නැත. මෙය බෞද්ධ, මෙරට දී නම් සිංහල බෞද්ධ උත්සවයකි. අග්නිදිග ආසියාවට අද පැවැත්වෙන අවුරුදු උත්සවය සිංහල බෞද්ධ සංස්කෘතිකාංග සමග ඔවුන්ට ගලා යන්නට ඇත. එය බලහත්කාරයකින් සිදුවූවක් නොවන බව ද පැහැදිලි ය. අප වර්තමානයෙහි ජනවාරි පළමුවැනිදා බටහිරයන්ගේ අවුරුද්ද පවත්වන්නේ අප මත එය බලයෙන් පටවා ඇති බැවිනි. පඬියන්ට නොතේරුණත් අපේ සංස්කෘතියෙහි හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි වෙනසට එය කදිම උදාහරණයකි.

මා අපේ අවුරුද්ද ගැන බොහෝ ලිපි ලියා ඇතත් ඒ මහජනයා අතරට ගොස් ඇතැයි නො සිතමි. මේ සමහර ලිපි සිංහල අවුරුද්ද නමින් පොතක් වශයෙන් ද පළ වී ඇත. එහෙත් එයින් ද එතරම් බලපෑමක් සිදු වී නැත. උගත්තු නම් ඒ අදහස් කෙසේවත් නො පිළිගණිති. ඔවුන්ට අනුව මා සංස්කෘතිය ගැන දන්නා ඉටිගෙඩියක් නැත. හැරත් මා යමක් අලුතෙන් කිවහොත් එහි ඇත්තක් නැතැයි එක් උගතෙක් ඉතා මෑතක දී ඉතා නිවට ආකාරයෙන් ප්‍රකාශ කළේ ය. අදත් ඇතැමුන් සිතන්නේ මනු රජුගේ අගනුවර වූ මන්නාරමට හිරු මුදුන්වන දිනය අප්‍රියෙල් 14 කියා ය. මන්නාරමට තබා ලංකාවේ කිසිම නගරයකට අප්‍රියෙල් 13 වැනි දා හෝ 14 වැනි දා හෝ හිරු මුදුන් නො වෙයි. අප්‍රියෙල් 13 , 14 දිනවල හිරු මුදුන්වන්නේ තමිල්නාඩුවට ය. එබැවින් ඇතැමුනට අනුව මේ දිනවල උදාවන අවුරුද්ද ද්‍රවිඩයන්ගේ අවුරුද්දක් විය යුතු ය. අද සිංහල බෞද්ධකම නැතිකර, බුදුදහමට විවිධ අර්ථකථන දී සිංහල බෞද්ධකමෙන් බෞද්ධකම අත්හැර දැමීමට උපක්‍රමශීලී ව කටයුතු කරන්නෝ වෙති. සිංහලකම නැති බෞද්ධයන් ඕල්කට් බෞද්ධයන් වන්නාසේ ම බෞද්ධකම නැති සිංහලයෝ කෝනල් සිංහලයෝ වෙති. සිංහල බෞද්ධයන්ගේ බෞද්ධකම නැතිකිරීමට ඊනියා පර්යේෂණ කරන ප්‍රධාන ම විශ්වවිද්‍යාලයක් වනුයේ ඇමරිකාවේ කෝනල් විශ්වවිද්‍යාලය ය. මන්නාරමට අප්‍රියෙල් 14 වැනි දා හිරු මුදුන් නොවන බව කිසිම බටහිර ප්‍රවාදයක් යොදා නොගෙන එදින එහි ගොස් ප්‍රත්‍යක්‍ෂයෙන් ම දැනගත හැකි ය. අපේ අවුරුද්ද උදාවන දිනය බටහිරයන්ගේ අවුරුද්දට සාපේක්‍ෂව අවුරුදු හැත්තෑ එකකට දිනකින් ඉදිරියට යයි. එබැවින් බොහෝ දෙනාගේ ජීවන කාලයෙහි අපේ අවුරුද්ද දවස් දෙකක දී උදා වෙයි. මෙකල එය අප්‍රියෙල් 13 හෝ 14 හෝ උදාවෙයි. එහෙත් කලක් ගතවීමෙන් අවුරුද්ද අප්‍රියෙල් 14 හෝ 15 හෝ උදාවනු ඇත. ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගන්නා සිංහල බෞද්ධයෝ තම ජීවිත කාලයෙහි මේ වෙනස නොදැක අවුරුද්ද එකම දවස්වල උදාවන්නේ යැයි සිතති. එහෙත් මෙරට හා දඹදිව බුද්ධිමත්තු අපේ අවුරුද්ද ක්‍රමයෙන් ඉදිරියට යන බව දැන සිටිය හ. මෙය ජ්‍යොතිෂයෙහි නිරායනයට හා සායනයට සම්බන්ධය. ඒ සඳහා සූර්යයා වටා පෘථිවියේ චලිතය මෙන් ම පෘථිවි අක්‍ෂය තම ගමන් මාර්ගයට ආනත වී ඇති බව ද දැන සිටිය යුතු ය. මේ දැනුම අපේ පැරණි බුද්ධිමතුන් අවුරුදු දහස් ගණනකට පෙර ආධ්‍යාත්මිකව ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගන්නට ඇත. පසු කලෙක යුරෝපයට ගියේ අපේ මේ ප්‍රත්‍යක්‍ෂ දැනුම ය. එහෙත් යුරෝපයෙහි දී එය වියුක්ත දැනුමක් බවට පත්කෙරුණේ පහළොස්වැනි සියවස වන විට ඔවුන්ට ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමට නොහැකි වූ නිසා ය. එක් සංස්කෘතියක දැනුමක් තවත් සංස්කෘතියක් විසින් අවශෝෂණය කෙරෙන්නේ එය වෙනස් කරමිනි. ග්‍රීකයන් භාරතයෙන් හා මිසරයෙන් ගණිතය ඇතුළු දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගෙන ඇති නමුත් වියුක්ත ග්‍රීක ගණිතය භාරතීය ගණිතය නොවන බව මෙරට උගතුන් මා කියන දේ නොපිළිගත්තත් අවධාරණය කළ යුතු ය.

අපේ පැරණි බුද්ධිමත්තු වත්මන් පඬියන් මෙන් නොව සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය ගමන්කරන බව මෙන් ම පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ගමන්කරන බව ද දැන සිටියහ. පඬියෝ ඕනෑම චලිතයක් සාපේක්‍ෂ බව නො දනිති. පඬියන්ට දෙවියන්ගේ ම පිහිට ය. පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ගමන් කරන බැවින් විෂ්කම්භයක් ඇති සූර්යයයාට අවකාශයේ ඕනෑම ලක්‍ෂ්‍යයක් පසුකිරීමට සුද්දන්ගේ ඔරලෝසුවලින් හෝරා 12 මිනිත්තු 48ක් ගතවෙයි. විෂ්කම්භයක් ඇති සූර්යයාට මීන රාශියෙන් මේෂ රාශියට යෑමට ද ඒ කාලය ගතවෙයි. ඒ කාලයෙහි සූර්යයා මේෂ රාශියට පැමිණියේ ද නැත, නොපැමිණියේ ද නැත. අගත අනගත නොවූ මේ කාලය නොනගතය නමින් හැඳින්වෙයි. එය නැකතක් නැති කාලය ලෙස හඳුන්වනු ලැබී ඇත්තේ ඉංගිරිසින්ගේ කාලයෙහි බිහිවූ බුද්ධිමතුන් නොවන්නන් විසින් විය යුතු ය. මේ සියළු විස්තර සිංහල අවුරුද්ද පොතෙහි ඇති නමුත් පඬියෝ ද උගත්තු ද ඒ නොසලකා හරිති. ඒ ඔවුන්ට අනුව මා කියන දෙයක ඇත්තක් නැති බැවින් විය යුතු ය.

අපේ දැනුම අප නිර්මාණය කරන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව නිවනට පටහැණි නොවන අයුරෙන් ය. බටහිරයන්ගේ තාරකා විද්‍යාව (මෙහි අපේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ද ඇති බව අමතක නොකළ යුතු ය) අපට අවශ්‍ය අන්දමට මනු රජු කතාව ආදී අපේ මතිමතාන්තර තහවුරු කිරීම සඳහා යොදාගත නො හැකි ය. අපට බටහිරයන්ගේ තාරකා විද්‍යාව මතු නොව ඕනෑම දැනුමක් අපට අවශ්‍ය නම් නිවනට පටහැණි නොවේ නම් අපේ චින්තනය මත පදනම් ව අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අවශෝෂණය කළ හැකි ය. එහෙත් එය අනෙක් කතා හා නිරීක්‍ෂණ (ප්‍රත්‍යක්‍ෂ) සමග සංගත විය යුතු ය. එසේ වුවත් ඒවා විහිළු නොවිය යුතු ය. එක් අයකුට අනුව අප ලිවීමේ දී කඩදාසිය ඇළ ව තබන්නේ පෘථිවි අක්‍ෂය පෘථිවි ගමනට ඇළ වී ඇති බැවිනි!

සිංහල බෞද්ධ සංස්කෘතිය කිසිදු ආකාරයක නිර්මාණවාදයක් මත පදනම් නො වේ. අපි එක් තැනකින් කේන්ද්‍රීය ව ලබාගන්නා අණකට අනුව ජීවත් නො වෙමු. එහෙත් සිංහල අවුරුද්ද පසුගිය කාලයෙහි වෙනස් වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ ව නො වේ. එයට හේතුව මධ්‍යගත ව එක් තැනකින් දෙන අණ අනුව ක්‍රියාත්මක වන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අප යටවීම ය. අපි කරුණක් දෙකක්් පමණක් සාකච්ඡා කරමු. සිංහල සංස්කෘතියෙහි කුලියට වැඩ කිරීමක් නැත. ලන්දේසීන් තම දුම්කොළ වගාවට වෙල්ලාලයන් ගෙන ඒමටත්, ඉංගිරිසින් පාරවල්වල වැඩට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙනැවිත් ඔවුන් පසුව නැගෙනහිර පළාතේ පදිංචි කිරීමටත්, කෝපි හා තේ වැවීම සඳහා දෙමළ ශ්‍රමිකයන් ගෙන ඒමටත් සිංහලයන් එදා කුලියට වැඩ කිරීම ප්‍රතික්‍ෂෙප කිරීම හේතුවක් විය. එදා අපි අපේ වැඩ කළෙමු. එහෙත් අද අප කරන්නේ අනුන්ගේ වැඩ ය. ඒ කුලියට ය. ජනාධිපති ලේකම්වරයාගේ සිට සියළු ම නිලධාරීහු ද ලිපිකරුවෝ ද, සරසවි ඇදුරෝ ද ගුරුවරු ද ජනමාධ්‍යවේදීහු ද අද වන විට ඇතැම් හිඟන්නෝ ද කුලියට හෙවත් වැටුපට වැඩකරන්නෝ වෙති. අද ඔවුන් කරන්නේ වෙනත් කාගේ දෝ වැඩ ය. අපේ අවුරුදු චාරිත්‍ර එක් අස්වැන්නක් කපා ගැනීමෙන් පසුව අනෙක් කන්නයේ වැඩ ඇල්ලීම මුල් කරගෙන කෙරෙයි. එය එක්තරා ආකාරයකින් ගත්කල නැකැත් උත්සවයක් ද වෙයි. අපේ අවුරුදු නැකැත් සීට්ටුවෙහි තවමත් කියැවෙන්නේ අහවල් නැකැතට වැඩ අල්ලා ගනු දෙනු කර ආහාර අනුභවය කළ යුතු බව ය. එහෙත් අද අපට ඇල්ලීමට අපේ වැඩ නැත. අපේ වැඩ ඇත්තේ අපේ ගෙදර හෝ වත්තේ හෝ කුඹුරේ නො වේ. අපේ (කුලී) වැඩ ඇත්තේ කාර්යාලයේ, විශ්වවිද්‍යාලයේ නැත්නම් හිඟමන් භූමියේ ය. අපි දැන් නැකැත් සීට්ටුව කණපිට හරවමු. අපේ අවුරුද්ද වාණිජ්‍ය වී ඇත්තේ අප වාණිජ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට යට වී ඇති බැවිනි. අද අවුරුද්ද අපේ වැඩ හා ඊළඟ කන්නය වටා නොව වාණිජත්වයට යට වී ඇඳුම් පැළඳුම් ආහාර පාන වටා ගොඩ නැගී ඇත. එබැවින් අපි නැකතට අලුත් ඇඳුමෙන් සැරසී ආහාර අනුභව කර ගනු දෙනු කර වැඩ අල්ලමු. වැඩ ඇල්ලීම අද තුන්වැනි දැනට ගොස් ඇත්තේ අපට ඇල්ලීමට අපේ වැඩක් නැති නිසා ය. අප කුඩා කල අපේ දෙමවුපියෝ අපට පොතපත කියවා වැඩ ඇල්ලීමට කීහ. අපට කියවීමට තිබුණේ සුද්දන්ගේ දැනුම රැගත් පොත් ය. අපේ අවුරුද්දේ වැඩ ඇල්ලීමට අපි සුද්දන්ගේ දැනුම ලබා ගත්තෙමු. අද ළමයි වැඩ ඇල්ලීමට ෆේස්බුක් බලති. සුද්දන් අප සංස්කෘතිය මත දරණ ආධිපත්‍යය තව තවත් වැඩිවෙයි. දැනට අවුරූදු හැත්තෑවකට අසූවකට වැඩි කලක් තිසසේ නගරවල වැඩි තැනක් ලැබෙන්නේ වැඩ ඇල්ලීමට නොව අලුත් ඇඳුමෙන් සැරසී ආහාර අනුභවයට ය.

අප කුඩා කල ගම්වල නැකැත් කිහිපයක් විය. වැඩ අල්ලා ආහාර අනුභව කිරීමට මෙන් ම ආහාර පිසීමට ද නැකැත් කිහිපයක් විය. එය නිර්මාපකයකු නැති සිංහල බෞද්ධ සංස්කෘතියට එකඟ ය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇති විමධ්‍යගත භාවය වෙනත් සංස්කෘතියක නැති තරම් ය. රාජ්‍ය පාලනයේ දී පමණක් මේ විමධ්‍යගතබව නැති විය. රාජ්‍ය පාලනයෙහි දී බල පෑ සංකල්පය වූයේ එක්සේසත් රාජ්‍යය යන්න ය. එහෙත් එහි ද ඈපාවරු මාපාවරු සිටියහ. අවුරුද්දට වැඩ ඇල්ලීමට නැකැත් කිහිපයක් තිබූ බැවින් ඒ ඒ පවුල්වල ගෘහිණියෝ තම තමන්ට වඩා සුදුසු නැකත තෝරාගත්හ. එහෙත් මෑතක සිට අපි සියළු දෙනාම කොළඹ සිට රූපවාහිණියෙන් ලැබෙන අණ (සංඥාව) පරිදි නැකැත් පවත්වන්නෙමු. එකම නැකතක් තිබීමේ වැදගත්කම ගැන විවිධ අය කරුණු දක්වනු ඇත. එහෙත් ඔවුන්ට අමතක වනු ඇත්තේ එය මෑතක දී අපේ සංස්කෘතියට පිටින් ගොස් අපේ අවුරුද්දට එකතු කෙරුණක් බව ය. (13/04/14)


නලින් ද සිල්වා

Wednesday, 11 April 2012

ඉතිහාසය හා අවුරුද්ද

අවුරුදු සමය ඉතිහාසය ගැන කතාකිරීමට සුදුසු කාලයක් යැයි සිතමි. අපේ, එනම් සිංහලයන්ගේ, අවුරුද්ද දෙමළ ජනයා ද පැවැත්වීම පිළිබඳ මගේ කිසිම විරුද්ධතාවක් නැත. දෙමළ ජනයා පමණක් නොව මුස්ලිම් ජනයා ද අවුරුදු චාරිත්‍ර නැකැත් බැලීම්වලින් තොරව වුව ද පවත්වන තරමට ඒ සියල්ලන්ට ම සිංහල ජනයා සමග එක්විය හැකි ය. එහෙත් අවුරුදු උත්සවයේ සම්භවය දෙමළ ජනයාට දීමට කිසිම සාධකයක් නැත. සිංහලයන් අවුරුදු උත්සවය පවත්වන ආකාරයට දකුණු ඉන්දියාවේ අප්‍රියෙල් මස උත්සව නො පැවැත්වේ. අද ලංකාවේ දෙමළ ජනයා අප්‍රියෙල් මස යම් ආකාරයක උත්සවයක් පවත්වන්නේ නම් ඒ සිංහලයන්ගේ ආභාසයෙනි. හින්දු බැතිමතුන්ගේ සූර්ය උත්සවය ජනවාරි මස යෙදී ඇත. තෛපොංගල් නමින් හැඳින්වෙන ඒ උත්සවය සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට සංක්‍රමණය වීම සමගත් සූූර්යයා අපට සාපේක්‍ෂව පොළොව වටා යන ගමනේ දී උත්තරාර්ධ ගෝලයට හැරීම සමගත් සම්බන්ධ වෙයි. අපේ අවුරුද්ද බක් මාසය සමගත් සූූර්යයා උතුරට යන ගමනේ දී සමකය පසුකිරීමත් සමගත් සම්බන්ධ ය. ඊනියා ප්‍රතිසංධානය කෙරෙනු ඇත්තේ දෙමළ ජනයා හා මුස්ලිම් ජනයා සිංහල සංස්කෘතියේ ඇතැම් අංග තමන්ගේ ද අංග බවට පත්කර ගැනීමෙන්් මිස මැකෝලේගේ දරුවන්ගේ කොමිසම්වල නිර්දේශවලින් නො වේ. නැකැත් උත්සවයක් හා සූර්යයා ප්‍රධාන කරගත් උත්සවයක් ලෙස ගත්කල අවුරුද්ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විශේෂයෙන් ම රවි ශෛලාෂ වාංශිකයන්ගේ උත්සවයක් ලෙස සෑලකීය හැකිය යැයි සිතමි. එම වාංශිකයන්ගෙන් ඒ උත්සවය පසු කලෙක සිංහලයන්ට ලැබී ඇති බව පෙනී යයි. අද එය දෙමළ හා මුස්ලිම් ජනයාට ද ලැබෙන්්නේ නම් ඉතා අගනේ ය.

රවි ශෛලාෂ වාංශිකයෝ කවරහු ද? රවි ශෛලාෂ යන්නෙහි තේරුම ඉරුගල් යන්න ය. පසුගිය කාලයෙහි මෙරට ඉතිහාසය ගැන නැවත සොයා බැලීමට කිහිප දෙනකු ම කටයුතු කර ඇත. ඒ අතර සාම්ප්‍රදායික නොවන ඉතිහාසයක් සාම්ප්‍රදායික ආකාරයකට අධ්‍යයනය කරන්නෝ වෙති. ඔවුහු ලිඛිත ඉතිහාස ග්‍රන්ථ, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධක ආදිය ප්‍රධාන වශයෙන් ම සලකා බලති. ශිරාන් දැරණියගල මහතාගේ මෙන් ම රාජ් සෝමදේව මහතාගේ ද ගවේෂණ මේ සම්බන්ධයෙන් වැදගත් වෙයි. එහෙත් ඔවුහු තවමත් ශිලා යුගයෙහි හා එහි අවධි තුනෙහි හිරවී සිටිති. ලංකාවේ පැරුන්නන් එකම කාලයෙහි මැටි භාණ්ඩ මෙන් ම වානේ (යකඩ ආශ්‍රිත) භාණ්ඩ ද යොදා ගෙන ඇත. බටහිරයන්ගේ වර්ගීකරණය ඔස්සේ ගොස් භාණ්ඩ තනා ඇත්තේ කිනම් ද්‍රව්‍යයක් යොදා ගනිමින් ද යන්න මත පදනම් වෙමින් මෙරට ඉතිහාසය සකස්කර ගත හැකි නො වේ. ඒ අතර ඒ එම් කරුණාරත්න මහතා වැනි ඉතිහාසඥයෝ ජනප්‍රවාද ගැන ද තම අවධානය යොමු කරති. ඒ මහතා ලියා පළ කර ඇති විදේශ ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් කෘතිය ඒ සඳහා උදාහරණයකි. අප ජනප්‍රවාදවලට ගැරහිය යුතු නො වේ. දීපවංසයේ මෙන් ම මහා වංසයේ ද බොහෝ විට ඇත්තේ ජනප්‍රවාද ය. ජනප්‍රවාද ලියූ පමණින් ඒ පිළිගැනීමට බටහිර ඉතිහාසඥයන්ගේ කැමැත්තක් ඇත. ලිවීම ඈරඹීමෙන් පසු ලියන්නේ කියන දේ ය. කියන්නේ ලියන දේ ය. එහෙත් බටහිර බයිබල් (බයිබලය යනු පොත ය) සම්ප්‍රදාය අනුව ගොස් ලිඛිත දෙයට අප අනවශ්‍ය අවධාරණයක් යෙදිය යුතු නො වේ. මෙරට පඬියන් අපෙන් ඊනියා පර්යේෂණ පත්‍රිකා හා ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි ඉල්ලන්නේ මේ සම්ප්‍රදායෙහි පිහිටා ය. අප බටහිරයන්ගේ වාංමාලාව අනුකරණය කළ යුතු නො වේ. උදාහරණයක් ලෙස යක්‍ෂ ගෝත්‍රිකයන් කී පමණින් මෙරට අනුකාරක පඬියන් සිතන්නේ අප ඔවුන්ගේ කසිකබල් සංකල්පය අනුකරණය කරන බව ය. ඔවුන්ගේ ගෝත්‍රය යනු ඔවුන් නොදියුණු යැයි පවසන ජන කොටසකි. ඔවුන්ගේ පොත් කියවූ පසු අපට ගෝත්‍රිකයන් ලෙස සිහියට නැගෙන්නේ නොදියුණු යැයි බටහිරයන් විසින් හංවඩු ගසනු ලැබ ඇති, එනම් ඔවුන්ගේ කසිකබල් නූතනත්වයට නොපැමිණි, අප්‍රිකානු ජනයා ය. කසිකබල් නූතනත්වයේ කසිකබල් දියුණුව පසෙක තබන්න. ගොයුම් ගොත් යන්නෙහි ගොත් යනුවෙන් කියැවෙන්නේ වෛදික සංස්කෘතියට පෙර අද සාර්ක් යැයි දළ වශයෙන් හැඳින්වෙන, ධර්ම කලාපය යැයි කිවහැකි, ප්‍රදේශයේ තිබූ ජන බෙදීමකි. සිදුහත් කුමරු ගෞතම ගෝත්‍රයට අයත් වූ අතර එහි උප බෙදීිමක් වූ ශාක්‍ය වංශයට අයත් විය. කෝලිය වංශය ද ගෞතම ගෝත්‍රයේ උප කොටසක් විය. සිදුහත් කුමරු, යශෝධරා දේවිය, රහල් කුමරු, ශුද්ධෝදන රජු, ප්‍රජාපතී ගෝතමි දේවිය, සුප්‍රබුද්ධ රජු, දේවදත්ත, කිශා ගෝතමී ආදීහු ගෞතම ගෝත්‍රයේ විවිධ වංශවලට අයත්වූහ. ඔවුහු නොදියුණු ගෞතම ට්‍රයිබයකට අයත් වූවෝ නොවුහ. අප ගෝත්‍රය යන්න යොදන්නේ ට්‍රයිබ් යන වචනයෙහි පරිවර්තනයක් ලෙස නො වේ. පඬියන්ට අවශ්‍ය නම් ට්‍රයිබ් යන්නට වෙනත් වචනයක් යොදාගත හැකි ය. එහෙත් නිර්මාණශීලීත්වයක් නැති ඔවුන්ට ඒ කළ හැකි යැයි සිතීමට අසීරු ය. මෙරට තිබූ යක්‍ෂ ආදී ගෝත්‍ර ගැන අප කතාකරන්නේ ට්‍රයිබ් යන්න ඔළුවේ හිරකරගෙන නො වේ. එක්තරා භික්‍ෂුන් වහන්සේ නමක පවසන පරිදි පඬියන්ගේ ඔළුවල ඉසෙඩ් අකුරු පටළැවී ඇත. ඉරුගල් වංශය යනු යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වංශයකි. අවුරුද්ද ඔවුන්ගේ යැයි සිතමි.

ඉහත සඳහන් ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අනුව නොගොස් වෙනත් අයුරෙන් දැනුම ලබන්නෝ වෙති. ඔවුන්ට බොහෝ විට ආධ්‍යාත්මික ශක්තිය හේතුකොටගෙන විවිධ දේවාතවන්ගෙන්. භූතයන්ගෙන් ආදීන්ගෙන් ද දැනුම ලැබේ. එහෙත් මේ සෑම අවස්ථාවක දී ම තවත් සාධක සමග සංගතව කරුණු ඉදිරිපත්කිරීමට උත්සාහ ගත යුතු ය. පසුගිය කාලයේ ගැමුණු රජු ගැන අප කිහිප දෙනකු දැනුම ලබාගත්තේ සෘජුව හෝ වක්‍රව හෝ ආධ්‍යාත්මිකව ය. මහරජ ගැමුණු කෘතියෙන් ද ඒ බව හෙළිවෙයි. ඒ සියළු දැනුම් දැන් සංගත ආකාරයකින් ඉදිරිපත් කෙරී ඇත. ගැමුණු රජු අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල්දමාගත් බෝසතාණන් වහන්සේ කෙනකු බව අපි දැන් දනිමු. එතුමා යුද්ධයට විරුද්ධ වුවත් කළහැකි අන් විකල්පයක් නැති නිසා යුද්ධ කළ බවත් ඒ සඳහා ද ආධ්‍යාත්මික ශක්තිය ලබාගත් බවත් අපි දනිමු. බෞද්ධයන්ට යුද්ධ කරන ආකාරය ඉගැන්වූයේ එතුමා ය. අපට ස්ටැන්ලි තම්බයියලාට පමණක් නොව අනෙක් අනුකාරකයන්ට ද කිසිම පැකිළීමකින් තොරව මුහුණ දිය හැක්කේ එතුමා නිසා ය. පැරණි පොතපත හා සෙල්ලිපි සොයාගෙන ඒ ආධ්‍යාත්මිකව තේරුම් ගනිමින් දැනුම ලබාගන්නෝ ද අප අතර වෙති. අපි ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමේ ක්‍රියාවලියට මුල් තැන දෙමු. කැලණිය විශ්වවිද්‍යාලයේ පසුගිය දා ආසනික් පර්යේෂණ කෙරුණේ ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට මුල්තැන දෙමිනි. මගේ විද්‍යා පීඨාධිපති ධුූර කාලය අවසන් වීමෙන් පසු එහි සිටින ඇතැම් නපුංසක උගත්තු ව්‍යාජ පරිපාලන හා රෙගුලාසි මතුකරමින් ඒ පර්යේෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ දරති.

ඒ කෙසේ වෙතත් ඉරුගල් වංශය ගැන මා දැනගත්තේ විශ්වවිද්‍යාල පඬියන්ගෙන් නොව පූජ්‍ය පණ්ඩිත මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ විසින් ලියන ලද යක්‍ෂගෝත්‍රික භාෂාව සහ රවි ශෛලාශ වංශ කථාව හා යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු නම් ග්‍රන්ථ කියවීමෙන් පසුව ය. එහි අඩංගු තොරතුරු සම්බන්ධයෙන් සංක්‍ෂිප්ත විස්තරයක් කිරීමටවත් මේ අවස්ථාව නො වේ. එහෙත් එක් කරුණක් නොකියා ම බැරි ය. කලක් මගේ සිතට වධයක් වූ ප්‍රශ්නයක් වූයේ යක්‍ෂ ගෝත්‍රිකයන් ආරම්භයේ දී බෞද්ධයන් නොවූ බව ගම්‍යවන තොරතුරු ය. බටහිරින් පුරාවිද්‍යාව ඉගෙනගත් පුරාවිද්‍යාඥයන්ට ඊනියා සාධක නැතත් බුදුන් වහන්සේ මෙරටට වැඩි බව මම පිළිගනිමි. ඇතැම්විට පූජ්‍ය මූකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ ද ප්‍රකාශ කරන ආකාරයට බුදුන් වහන්සේ මෙරට වැඩ සිටින්නට ඇත. ඒ කුමක් වුවත් පූජ්‍ය මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිහි පරම්පරාවෙන් ලැබුණු වර්ග පූර්ණිකාව නම් ග්‍රන්ථයක් ඇසුරෙන් සඳහන් කරන්නේ බුදුන් වහන්සේගෙන් බණ අසා මෙරට යක්‍ෂ ගෝත්‍රිකයන් ආරම්භයේ දී ම බෞද්ධයන් වූ බවත් කාන්තාවන් ද ඇතුළුව ඇතැමුන් රහත් ඵලයට ද පැමිණි බවත් දේවානම් පියතිස්ස සමය වන විටත් මෙරට ලාංකේය භික්‍ෂු පරම්පරාවක් තිබූ බවත් ය. පුදුමය එසේ නොවුනා නම් ය. අපේ අවුරුද්දට බෞද්ධ සිරිත් විරිත් එකතුවන්නට ඇත්තේ ඇතැම් විට අප සිංහලයන් වීමට ද පෙර ය. මේ බෞද්ධයන් බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසුව ථෙරවාදී නොවුවා විය හැකි ය. නාග ගෝත්‍රික බෞද්ධයන් ථෙරවාදී වූවා විය හැකි ය. මහාවිහාරය ථෙරවාදයේ මධ්‍යස්ථානය වූ අතර අභයගිරිය පිහිටුවන තෙක් අනෙක් භික්‍ෂූන් වහන්සේට නිල මධ්‍යස්ථානයක් නොතිබෙන්නට ඇත. අභයගිරියට හා ජෙතවනයට ආධාර කර ඇති රජවරුන්ට යම් යක්‍ෂ ගෝත්‍රික සම්බන්ධතාවක් තිබී ඇති බව ද සැලකිය යුතු ය. මේ පිළිබඳ තවත් අංශවලින් කරුණු සොයා බැලිය යුතු ය. නාගයන් හා යක්‍ෂයන් අතර වූ වෙනස බෞද්ධයන් හා අබෞද්ධයන් අතර වූ වෙනසකට වඩා ථෙරවාදය පමණක් පිළිගත් අය හා ඒ සමග අනෙක් බෞද්ධ මතවාද ද පිළිගත් අය අතර වූ වෙනසක් බව ක්‍රම ක්‍රමයෙන් පැහැදිලි චෙමින් පවතියි.

මා කිහිප වතාවක් ම පුවත්පත් මගින් හා සිංහල අවුරුද්ද යන පොතෙන් පෙන්වා දී ඇත්තේ අපේ අවුරුද්දකට දින 365.256363ක් වන බවත් බටහිර ක්‍රිස්තියානි අවුරුද්දකට දින 365.242190ක් වන බවත් ය. මේ වෙනසට හේතුව අයනය ය. අපේ අවුරුදු දිනය අවුරුදු පතා බටහිර අවුරුද්දට සාපේක්‍ෂව ඉදිරියට ඇදෙන්නේ අයනය හේතුවෙනි. රොබට් නොක්ස්ගේ එදා හෙළදිව සඳහන් තොරතුරු අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු 27, 28, 29 දිනවල ය. ඒ ජූලියන් දින දර්ශනයට අනුව ය. ග්‍රෙගරියානි දින දර්ශනය අනුව එය අප්‍රියෙල් 7, 8. 9 විය යුතු ය. මෙවර අවුරුද්ද උදාවන්නේ 13 වැනි දා රාත්‍රී කාලයෙහි ය. 2012 අධික අවුරුද්දක් නොවී නම් මෙවර අවුරුද්ද උදාවීමට තිබුණේ අප්‍රියෙල් 14 වැනි දා රාත්‍රියෙහි ය. වැඩිකල් නොගොස් අප්‍රියෙල් 15 වැනි දා අපට අවුරුද්ද උදාවනු ඇත. අපේ අවුරුද්ද ගණන් බැලීමට ඉරුගල් වංශයට ගණිත ක්‍රම තිබූ බව පැහැදිලි ය. ඔවුන්ට අභ්‍යවකාශ වස්තු පිළිබඳ ගණනය කිරීම් සඳහා මාමීනීල නම් ගණිත ක්‍රමයක් තිබූ බව වර්ගපූර්ණිකාවෙන් පැහැදිලි වෙයි. කවිලාශපාලි හෙවත් රත්නාවලී රහත් මෙහෙණින් වහන්සේ තාරකා විද්‍යාව ද මැනවින් ප්‍රගුණ කර ඇත. ඒ රහත් මෙහෙණින් වහන්සේ ද වෙනත් යක්‍ෂ ගෝත්‍රික තාරකා විද්‍යාඥයන්ට ද අවුරුද්ද උදාවන දිනය ගණනය කිරීම පහසු කාර්යයක් වන්නට ඇත. ගැමුණු රජු රුවන්වැලිසෑය කරවා ඇත්තේ රත්නාවලී මෙහෙණනින් වහන්සේ වැඩ විසූ ස්ථානයෙහි ය. කලක් මා ද විශ්වාස කළේ එතැන විසූ ස්වර්ණමාලී නම් වෘක්‍ෂ දේවතාවියක් නිසා රුවන්වැලියට ඒ නම ලැබුණු බව ය. එහෙත් වර්ගපුර්ණිකාව කියන්නේ වෙනත් කතාවකි. අපට අවුරුද්ද උදාවන දිනය මන්නාරමට හිරු උදාවන දිනය හා සම්බන්ධකරන්නෝ යක්‍ෂ ගෝත්‍රිකයන්ට නිගා කරති. මන්නාරමට හිරු උදාවන්නේ බටහිර දින දර්ශනයට අනුව නිශ්චිත දිනයක ය. එහෙත් අපේ අවුරුද්ද උදාවන දිනය බටහිර දින දර්ශනය අනුව වෙනස් වෙයි.

Saturday, 16 April 2011

අපේ අවුරුද්ද

තව දින කිහිපයකින් තවත් අවුරුද්දක් උදාවනු ඇත. ඒ සූර්යයා මීන රාශියේ සිට මෙිෂ රාශියට සංක්‍රමණය වීමත් සමග ය. සූර්යයා පෘථිවිය වටා චලනය වීමෙි දී දළ වශයෙන් දින 365 1/4කට වරක් මෙි සංක්‍රමණය සිදුවෙයි. සූූර්යයා ගමන් නොකරන බවත් පෘථිවිය නමි සූර්යයා වටා චලනය වන බවත් එබැවින් මෙය මිථ්‍යාවක් බවත් පඬියන් කියනු ඇත. කොපර්නිකස් පෘථිවිය සූර්යයා වටා චලනය වන බව දැනගෙන අවුරුදු පන්සියයක් පමණ වන බවත් එහෙත් අප ඒ ගැන නොදැනීම පුදුමයට කරුණක් බවත් පඬියන් තවදුරටත් ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. එහෙත් මෙරට පඬිවරු, විශේෂයෙන් ම බටහිර දැනුමෙන් හිස පුමිබාගත් පඬිවරු බටහිර දැනුම සමිබන්ධයෙන් ද බොහෝ දේ නො දනිති. චලිතය සාපේක්‍ෂ බවත් නිරපේක්‍ෂ චලිතයක් නොමැති බවත් ඔවුන් නොදන්නා සේ ය. සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය චලනය වන්නා සේ ම පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ද චලනය වෙයි. අවුරුද්ද උදාවන්නේ සූර්යයා පෘථිවියට සාපේක්‍ෂව අවකාශයේ තරු පොකුරු (රාශි) පසුබිමි කරගෙන චලනය වන බැවිනි. අවශ්‍ය නමි කෙනකුට සූූර්යයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය පදනමි කරගෙන ද අවුරුද්ද උදාවන ආකාරය ප්‍රකාශ කළ හැකි ය. අපේ අවුරුද්ද උදාවන විට දළ වශයෙන් සූර්යයාට සාපේක්‍ෂව පෘථිවිය කන්‍යා රාශියේ සිට තුලා රාශියට සංක්‍රමණය වෙයි. පඬියන්ට අවශ්‍ය නමි එසේ ප්‍රකාශ කිරීමෙි වරදක් ද නැත. අවුරුද්ද උදාවන දිනය හා වෙිලාව ක්‍රමයෙන් ඉදිරියට ඇදී යයි. රොබටි නොක්ස් පැමිණි දිනවල එකල ඉංගිරිසින් යොදාගත් ජුලියස් දින දර්ශනය අනුව අවුරුද්ද උදාවූයේ මාර්තු මස අග දී ය. එහෙත් අද ලෝකයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය යටතේ යොදාගැනෙන ග්‍රෙගරි දින දර්ශනය අනුව නමි එදා අවුරුද්ද උදා වී ඇත්තේ අප්‍රියෙල් මස මුල දී ය. අවුරුද්ද සාමාන්‍යයෙන් දින 76කට වරක් එක් දිනයකින් ඉදිරියට යයි. තව අවුරුදු සියයකින් පමණ අවුරුද්ද අප්‍රියෙල් 15 හා 16 දිනවල උදාවනු ඇත. මෙයට හේතුව පෘථිවියේ අයනය ය. එනමි පෘථිවි අක්‍ෂය පෘථිවි (සූර්ය) ගමන් මාර්ගයට ලමිබ වූ අක්‍ෂය වටා භ්‍රමණය වීම ය. (වැඩි විස්තර සඳහා සිංහල අවුරුද්ද නමින් පළ වී ඇති පොත කියවන්න). අවුරුද්ද උදාවීම හා මෙකල මන්නාරමට හෝ දෙවුන්දරට හෝ හිරු මුදුන්වන දිනය අතර සමිබන්ධයක් නැත. බටහිරට ගැති පඬියන් මෙන් ම කිසිම තර්කයකට නැතිව හුදෙක් ආවෙිගීව අදහස් ප්‍රකාශකරන අය ද මෙරට වෙති. උත්තරායනයේ දී දෙවුන්දරට හිරු මුදුන්වන්නේ අප්‍රියෙල් මස 5 වැනි දා ය. අප්‍රියෙල් 14 වැනි දාට හිරු මුදුන්වන්නේ දකුණු ඉන්දියාවට ය. ඒ බව විශ්වාස නොකරන අයකු වෙි නමි කළ යුත්තේ අප්‍රියෙල් 14 වැනි දාට දෙවුන්දරට හෝ පේදුරුතුඩුවට හෝ ගොස් සෘජු කෝටුවක් පෘථිිවියට ලමිබව සිටුවා එහි හෙවනැල්ල නැතිවන වෙිලාවක් ඇත් දැයි දැනගැනීම පමණ ය. මෙි පුද්ගලයෝ අවුරුදු පතා තමන්ගේ මතය වැරදි බව පෙන්වාදී තිබිය දී ද ඒ වැරදි මතය ම පුනරුචිචාරණය කරති. හැකිනමි මෙි අයට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවැනි අවුරුද්දේ ශිෂ්‍යයකු සමග විවාද කර තම මතය නිවැරදි බව පෙන්වීමට අභියෝග කරමු.

බටහිර ගැති පඬියන් නොදැන සිටිය ද දැනට අවුරුදු 1500කට පමණ පෙර ද භාරතීයයෝ සූර්යයාට සාපේක්‍ෂව සිදුවන පෘථිවියේ චලිතය ගැන දැන සිටියහ. පෝලන්තයේ විසූ කොපර්නිකස්ට ඒ පිළිබඳ දැනුම ලැබී ඇත්තේ ද භාරතයෙනි. කොපර්නිකස් ඒ දැනුම ඉතාලියට රැගෙන ගියේ ඔහු කතෝලික පූජකවරයකු ලෙස පුහුණු වීමට එහි ගිය අවස්ථාවෙි දී ය. ඒ දැනුම යුරෝපයට බෙදාදීමෙි දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ ගැලීලියෝ ය. බටහිර විද්‍යාව උපත ලැබීමෙි දී මෙි සංසිිද්ධිය බෙහෙවින් බල පෑවෙි ය. පෘථිවිය චලනය වන බව භාරතීයයන් බොහෝ කලක සිට දැන සිටිය ද ගැලීලියෝගේ කාලයේ දී ද ඒ බව යුරෝපයට ඒත්තු ගැන්වීම ඉතා අසීරු කටයුත්තක් විය. පෘථිවිය චලනය වන බව පෙන්වීමට ගැලීලියෝ ට අභියෝග කෙරිණි. ගැලීලියෝ අවසානයේ දී ඒ සඳහා වියුක්ත දැනුම යොදා ගත්තේ ය. එහෙත් භාරතීයයන්ට එය ප්‍රත්‍යක්‍ෂ සංයුක්ත දැනුමක් විය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවූව ද (පඬියන් කී දෙනකු පෘථිවිය චලනය වනු දැක ඇත් ද? එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නො වෙි. මා කලකට පෙර පඬියන්ගෙන් ඉල්ලූ ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන දුසිම තවම ලැබී නැත. අවශ්‍ය නමි ඒ සඳහා ඊළඟ අවුරුද්ද තෙක් කල්ගත හැකි ය) දියුණු කරන ලද මනසට සූූරයයාට සාපේක්‍ෂව පෘථිවියේ චලනය දැකගත හැකි විය. ධ්‍යාන මාර්ගයෙන් හා භාවනාවෙන් දැනුම ලබාගැනීමට භාරතීයයන් හා සිංහලයන් පුරුදු වී සිටිය ද යුරෝපීයයනට ඒ කළ නොහැකි විය. ඔවුන් දැනගෙන සිටියේ පංචෙන්ද්‍රියන්ගේ ඇසුරෙන් පමණක් දැනුම ලබාගැනීමට ය. බටහිර විද්‍යාවට අදත් දැනුම ලබාගැනීමෙි දී පංචෙන්ද්‍රිය ප්‍රධාන වන්නේ ඔවුන්ට මනසින් පමණක් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගැනීමට නොහැකි නිසා ය. එබැවින් ඔවුහු වියුක්ත දැනුමකට ආකර්ෂණය වූහ. මෙයින් කියැවෙන්නේ මෙරට පඬියන් ද වියුක්ත චින්තනයෙහි දක්‍ෂයන් බව නො වෙි. ඔවුන් දක්‍ෂවන්නේ අනුකරණයෙහි දී පමණ ය. අදත් මෙරට ඇතැමිහු භාවනාවෙන් සිත දියුණු කරගෙන හෝ වෙනත් ආකාරයකින් දෙවියන්, අමනුෂ්‍යයන් ආදීන් සමග සමිබන්ධ වී හෝ දැනුම ලබාගනිති. ඔවුන් අතර මිථ්‍යාදෘෂ්ටික අමනුෂ්‍යයන්ගෙන් දැනුම ලබාගන්නෝ ද වෙති. එසේ මිථ්‍යාදෘ’ෂ්ටිකයන් ඔස්සේ මෙරට ඉතිහාසය විකෘත කිරීමට උත්සාහ ගන්නෝ ද වෙති. එහෙත් ඒ කිසිවෙක් ප්‍රසිද්ධියේ තමන් දැනුම ලබාගත් ආකාරය නො කියති. ඒ පඬියන්ට ඇති බිය නිසා ය. වැඩිකල් නොගොස් ම පඬියන් තුටිටුවකටවත් මායිමි නොකරන කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අපි කිහිප දෙනෙක් ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමි පිළිබඳ ව ඊනියා ලෝකයාට කෙසේ වෙතත් සිංහලයන්ට කියන්නෙමු. ලෝකයන් වූ ලෝක බැංකුකාරයන් අපට ඉංගිරිසි, තොරතුරු තාක්‍ෂණය, මෘදු කුසලතා හෙවත් මොත්තෙ දැමීමි, ඊනියා ජනවාර්ගික සංහිඳියා ගැන කිනමි උපදෙස් දුන්න ද සමිබුද්ධත්වයෙන් විසිහත්වැනි සියවසේ සිට නැවත වරක් දැනුම ආධ්‍යාත්මික ව නිර්මාණය කෙරෙනු ඇත. ඊනියා විසිඑක්වැනි සියවසේ දැනුම ලෝක බැංකුවට නොව අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරමු. ලෝක බැංකුවෙන් දෙන මිලියන කිහිපයක ණයකට අපි රට උගස් නො තබමු. අප ණයකාරයන් බවට පත්කිරීමට තිත තබමු.

අපේ අවුරුද්ද යනු ඓතිහාසික ව ගත්කල සිංහලයන්ගේ අවුරුද්ද ය. එය සිංහල හින්දු අවුරුද්දක් බවට පත්කළෝ ඉංගිරිසිහු ය. චින්තන පර්ෂදයේ පිරිසක් කලකට පෙර යාපනයට ගොස් දෙමළ හින්දු ජනයා අවුරුද්ද නොපවත්වන බව නිරීක්‍ෂණයෙන් ම දැනගත්හ. අද ද තමිල්නාඩුවෙි හින්දු ජනයා පවත්වන අවුරුද්දක් නැත. අවුරුද්ද වැඩි වශයෙන් ම පැවැත්වෙන්නේ මියන්මාරය, තායිලන්තය වැනි ථෙරවාදී බෞද්ධ රටවල ය. ඒ රටවල සංස්කෘතියේ යමි සංරචකයක් සිංහල බෞද්ධ බව බොහෝ දෙනාට අමතක වෙයි. එසේ වී ඇත්තේ සංස්කෘතික යටත්විජිතවාදයක ප්‍රතිඵලයක් නිසා නොව ගැමුණු රජු (අවුරුදු ගණනාවක සිට එළාරලා පටබැඳි දුටු යන්න එතුමන්ගේ නාමය ඉදිරියෙන් නොයොදන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු) මෙරටට උරුම කරදුන් සිංහල බෞද්ධත්වයේ උදාරත්වය නිසා ය. කෙසේ වෙතත් අද අවුරුද්ද සිංලයන්ගේ මෙන් ම දෙමළ ජනයාගේ ද අවුරුද්දක් බවට පත්කෙරෙන්නේ නමි අප එයට විරුද්ධ විය යුතු නො වෙි. ගැමුණු රජු හඳුන්වා දුන් සිංහල බෞද්ධ රාජ්‍යයට, ඒ (අලිඛිත) ව්‍යවස්ථාවට දෙමළ ජනයා පමණක් නොව මුස්ලිමි ජනයා ද සංස්කෘතික වශයෙන් එකතු කරගත යුතු ය. සිංහල කිතුණුවන් ආගමින් කෙසේ වෙතත් සංස්කෘතික වශයෙන් සිංහල බෞද්ධයන් මෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණකි.

අප මෙරට ජනයා එකතුකිරීමට ක්‍රිකටි නොව අවුරුද්ද වැනි සංස්කෘතිකාංග යොදාගත යුතු ය. අපේ අවුරුද්ද මුළු මහත් රටෙි ම, එනමි අප සියල්ලන්ගේ ම අවුරුද්ද බවට පත්කරගත යුතු ය. එහෙත් ඒ කළ හැක්කේ බටහිර දැනුමට ගැති වී බටහිරින් ලැබෙන ව්‍යවස්ථා අනුකරණය කරමින් ඔිල්කටි බෞද්ධයන් හෝ කෝනල් සිංහලයන් හෝ වීමෙන් නො වෙි. අවුරුද්ද ගොවි සංස්කෘතියක කොටසකි. මෙි රට ගොවි රටකි. ඒ ගොවිකම බටහිර කෘෂිකර්මයක් නොව සිංහල බෞද්ධ ගොවිකමකි. රසායනික පොහොර, වල්නාශක, කෘමිනාෂක ආදිය යොදාගැනෙන්නේ අපේ ගොවිකමෙි නො වෙි. අපේ අවුරුද්ද අපේ ගොවිකම සමග බද්ධ නොවුණු කල ඇත්තේ වාණිජ්‍ය අවුරුද්දකි. අද අපේ අවුරුද්ද බොහෝ දුරට වාණිජ්‍ය අවුරුද්දක් බවට පත් වී ඇත. එහෙත් අවුරුදු දිනයේ දී අපි තවමත් පන්සල් යමු. අපට තවමත් පුණ්‍ය කාලය නමින් වෙන් කෙරුණු කාල පරිචිඡෙදයක් වෙයි. අප ඒ සියල්ල රැකගත යුතුවා පමණක් නොව වර්ධනය කරගත යුතු ය. අද ආණ්ඩුව ගෙවතු වගාවක් ආරමිභ කර ඇත. ඒ ඉතා වැදගත් කරුණකි. ඒ වගාව බටහිර කෘෂිකර්මය අනුව නොව මෙරට තිබූ සිංහල ගොවිකම අනුව, පිටරටින් විදේශ විනිමය වැයකර පොහොර වල්නාශක කෘමිනාෂක යනුවෙන් හැඳින්වෙන වස විස නොයොදා කෙරෙන්නේ නමි වඩාත් වැදගත් වනු ඇත. අවශ්‍ය නමි ඒ සමිබන්ධයෙන් උපදෙස් දීමට කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් සූදානමි ය. එහෙත් එකක් කිව යුතු ය. සිංහල ගොවිකම ආවට ගියාට කළ හැක්කක් නොවෙි. සිංහල සංස්කෘතියේ සෑම දෙයක් ම අධ්‍යාත්මය සමග බැඳී ඇත. ගැමුණු රජු ආධ්‍යාත්මික ව යුද්ධකරන ආකාරය ද අපට ඉගැන්වී ය. පසුගිය මානුෂික මෙහෙයුමෙි දී අපි ඒ යොදාගත්තෙමු. පස්පවිවල ගිලී සිංහල ගොවිකමෙන්් ඵල නෙලාගත හැකි නො වෙි. සිංහල ගොවියා පළමු කොට ම පන්සිල් රකින්නකු විය යුතු ය. ඔහු භාවනාවෙහි ද යෙදෙන්නේ නමි වඩාත් යහපත් ය. අද අපේ ආහාර රටාව ද ඇතුළු ජීවන රටාව වෙනස් වී අප රෝගීන් වී ඇත. අපට නීරෝගී විම සඳහා සිංහල ගොවිකම හා ජීවන රටාව සමග බැඳුණු සිංහල වෙදකම වෙයි. බටහිර වෛද්‍යවිද්‍යාවට වඩා සිංහල වෙදකම කෙතරමි දියුණු ද යන්න මම දිනපතා අත්දකිමින් සිටින්නෙමි. මෙි සමිබුද්ධත්ව ජයන්ති අවුරුද්දේ අපි නැවතත් සිංහල බෞද්ධ වෙමු.
(2011/04/10 - දිවයින)