Main Logo

Showing posts with label Vidusara. Show all posts
Showing posts with label Vidusara. Show all posts

Wednesday, 17 June 2020

මහා බැංකු කතාව

         
                                                   සිංහල ලිත් ඉලක්කම්





0  1   2    3    4  5  6  7  8  9





මහා බැංකු කතාව


මෙරට තත්වයට වගකිවයුත්තේ දේශපාලනඥයන්ට වඩා ඊනියා උගතුන් ය කියන එක අප කලක් තිස්සේ කියන්නක්. මෙරට අධ්‍යාපනය එයට වගකියන්න ඕන. මේ අධ්‍යාපනය බටහිර වීම එකක්. අධ්‍යාපනය බටහිර යන්නෙන් අදහස් කරන්නෙ ගණිතය හරි වෙන විෂයක් හරි පටන්ගත්තෙ බටහිර කියන එක නොවෙයි. ඉන්දියාවෙ ගණිතයක් තිබුණ. ඒ ගණිතයෙ ත්‍රිකෝණමිතියක් තිබුණ. ඔය සයින් කොසයින් වගේ වචන භාරතීය වචන අරාබින් හරහා යුරෝපයට ගිහින් හදාගත් ඒවා. භාරතයෙ සයින් හැඳින්නුවෙ අර්ධජ්‍යා කියල. 

Thursday, 14 November 2019

බොරු සහ පට්ටපල් බොරු

      සිංහල ලිත් ඉලක්කම් 


බොරු සහ පට්ටපල් බොරු 




දැන් නොනගත කාලයයි. දේශපාලනය ගැන ලියන එක හරි නැහැ. මැතිවරණ නීතිය පැහැදිලි නැති වුවත් අවශ්‍ය නම් නීතියේ කණෙන් රිංගලා යන්න පුළුවන් වුනත් ජනාධිපතිවරණය ගැන ලියන්න අවශ්‍ය යැයි කියල හිතෙන්නෙ නැහැ. ඊනියා උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට සමහර විට තවමත් හිත හදාගන්න බැරි වෙලා ඇති. අද ජනමාධ්‍ය වැඩ කරන්නෙත් මේ තරුණ තරුණියන්ට බයෙන්. ඔවුන්ගෙ ඡන්දෙ දිනා ගන්න ඕන ය කියලා සමහර ජනමාධ්‍ය යම් යම් දේ ප්‍රචාරය කරන්නෙ නැහැ. තරුණ තරුණියන් මා ගැන දන්නෙ නැහැ. දන්න අය දන්නෙ මිථ්‍යා මතධාරියකු ලෙස. ඒ නිසාත් ජනමාධ්‍ය මට තැනක් දෙන්නෙ නැහැ. 

Saturday, 31 January 2015

ඩාවින්ගේ පට්ටපල් බොරුව හා ඊනියා ජීවීතයේ අරුත


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම පොතෙන් (ඔහු කියවන පොත මිස ඔහු ලියූ පොතක් නො වේ. ඔහු යම් හෙයකින් පොතක් ලියූව ද එහි තිබෙනු ඇත්තේ අනෙක් අයගේ අදහස් මිස ඔහුගේ අදහස් නො වේ. එයට හේතුව ඔහුට ඔහුගේ ම වූ අදහස් නොමැති වීම ය.) තව තවත් කරුණු ඉදිරිපත් කරනු දකින්නට ඇත. ඔහු ජනවාරි 21 වැනි දා ලිපියෙන් කියන්නේ යැයි සිතිය හැක්කේ ඊනියා ස්වාභාවික වරණය (ඩාවින්ගේ විකාශන ප්‍රවාදය) ඊනියා පොදු මතවාදයට ගත හැකි ද යන්න ද? එහෙත් එය එසේ ම දැයි හරියට ම කිව නොහැක්කේ ඔහු කිසි විටෙකත් නිරවුල් ව කරුණු ඉදිරිපත් නොකරණ බැවිනි.

ඔහුට අවශ්‍යඅමපෂ (ඔහු කියවන පොතේ කතුවරයාට අවශ්‍යඅමපෂ දේ ඔහු තේරුම් ගත් අයුරෙන්) ඊනියා ස්වාභාවික වරණය ඊනියා පොදු මතවාදයක් තුළට ගැනීම ද, එසේත් නැතහොත් ඊනියා ස්වාභාවික වරණය ඊනියා පොදු මතවාදය බවට පත්කර ගැනීම ද යන්න ඔහු ලියන දෙයින් පැහැදිලි නො වේ. කෙසේ වෙතත් ඔහුට ඊනියා පොදු මතවාදය හෙවත් සියල්ලෙහි ප්‍රවාදය ගැන මෙලෝ හසරක වැටහීමක් නොමැති බව පැහැදිලි ය. සියල්ලෙහි ප්‍රවාදයකින් කෙරෙන්නේ ලෝකය එම ප්‍රවාදය ඇසුරෙන් විස්තර කිරීම ය. ඊනියා ස්වාභාවික වරණය පොදු මතවාදය නම් එයින් අදහස් කෙරෙන්නේ මුළු ලෝකය ඩාවින්ගේ පරිණාමවාදයෙන් තේරුම් ගත හැකි බව ය.

අමරසිංහ මහතා කියවන පොතේ කතුවරයාට හා එවැනි අදහස් දරණ අනෙක් බටහිර විද්‍යඅමපෂාඥයන්ට මේ පිළිබඳ කිනම් මත ඇත්තේ දැයි අපි නො දනිමු. අමරසිංහ මහතා කතුවරයාගේ හා පොතේ නම සඳහන් කරන්නේ නම් ඒ දැනගැනීමට අපට ඒ තොරතුරු වැදගත් වනු ඇත. විවිධ පොත්වල නම් සඳහන් කර ඇති අමරතුංග මහතාට අදාළ පොතේ නම සඳහන් කිරීමට අපහසවක් වේ ද? ඒ එසේ ද යැයි දැනගනු කැමැත්තෙමි. අමරතුංග මහතා ලියන දෙයින් අපට නිගමනය කිරීමට සිදුවන්නේ ඒ කතුවරයාට (ඇතැම් විට කතුවරුන් විය හැකි ය. එහෙත් අපි ඒකවචනයෙන් ම ඒ ගැන සඳහන් කරමු.) ද සියල්ලෙහි ප්‍රවාදය ගැන එතරම් අවබෝධයක් නැති බව ය. අමරතුංග මහතා ලියන වල්පල්වලින් එවැනි නිගමනයකට පැමිණීම සාධාරණ නොවන නමුත් අපට වෙනත් විකල්පයක් නැත.

පොතේ කතුවරයා ඊනියා ජීවිතයේ අරුතක් ගැන සඳහන් කරන්නේ මේ තත්ත්වයෙන් ගොඩ ඒමට යැයි සිතිය හැකි ය. අමරතුංග මහතා ද තොරතෝංචියක් නොමැතිව ජීවිතයේ අරුතක් ගැන කියවයි. ඩාවින්ගේ ප්‍රවාදයෙන් ලෝකය තේරුම් ගැනීමට නොහැකි බව අමරතුංග මහතා කෙසේ වෙතත් පොතේ කතුවරයා දන්නේ යැයි සිතිය හැකි ය. ඔහු ඊනියා ජීවිතයේ අරුතක් ගැන කතාකරන්නේ එබැවින් යැයි සිතෙයි. ජීවිතයේ ඊනියා අරුත ඩාවින්ගේ ප්‍රවාදයෙන් කියැවෙන්නේ නම් ඒ ප්‍රවාදය සියල්ලෙහි ප්‍රවදයක් ලෙස සැලකිය හැකි යැයි පොතේ කතුවරයා සිතන්නේ ද?

කෙසේ වෙතත් ජීවිතයේ අරුත සියල්ලෙහි ප්‍රවාදයක් සමග සම්බන්ධ කිරීමට දරණ ප්‍රයත්නය ම බටහිර ක්‍රිස්තියානි සංකල්පවලින් ගලා එන්නකි. පළමුවෙන් ම අප කලින් ලිපියක සඳහන් කර ඇති ආකාරයට ජීවිතයේ අරුත යන්න ම බටහිර ක්‍රිස්තියානි සංකල්පයකි. දෙවනුව ඩාවින්ගේ පරිණාමවාදය ම ක්‍රිස්තියානි අදහසකි. ඩාවින් මැවුම්වාදය ප්‍රතික්‍ෂෙප කරනවා විය හැකි ය. එහෙත් යමකු මැවුම්වාදය ප්‍රතික්‍ෂෙප කළ පමණින් ඔහු බටහිර ක්‍රිස්තියානි අදහස්වලින්, ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් මිදුණේ යැයි කිව නො හැකි ය. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මූලික වන්නේ මැවුම්කරුවා පිළිබඳ සංකල්පය නොව ආරම්භයක් පටන්ගැනීමක් පිළිබඳ සංකල්පය ය. මැවුම්කරුවා යන්න එහි එක් ප්‍රභේදයක අංගයක් පමණකි. මැවුම්කරුවකු ඇතිව හෝ නැතිව හෝ ආරම්භයක් තිබිය හැකි ය. අද බටහිර පිළිගත් විශ්වවේදයට අනුව මහාපිපිරුමක් තිබී ඇත. සියල්ල ආරම්භ වී ඇත්තේ මහා පිපිරුමෙනි. එහි ඇත්තේ මැවීමකි. මැවුම්කරුවකු නැතිව වුවත් මැවීමක්, ආරම්භයක් වෙයි. ඩාවින්ගේ පරිණාමවාදය එහි අතුරුඵලයක්, කොටසක් පමණකි. බටහිර විද්‍යඅමපෂාවට අනුව ජීවය අජීවයෙන් ඇති වී තිබේ. අජීවයෙන් ඇති වූ ජීවය විකාශය වී ඇත්තේ කෙසේ දැයි ඩාවින්ගේ පරිණාමවාදයෙන් විස්තර කෙරෙයි. ඩාවින්ගේ පරිණාමවාදය මහාපිපිරුමෙන් වෙන්කළ හැකි නො වෙයි.

අමරතුංග මහතා බටහිරයන්ගේ පොත්වලින් ගෙන ජීවය අජීවයෙන් ලැබුණේ කෙසේ දැයි විස්තර කිරීමට උත්සාහ කරයි. ඇමයිනෝ අම්ලය ගැන ඔහු කරන විස්තරය ඒ සඳහා ය. එය ඩාවින්ගේ පරිණාවවාදය හෙවත් ඊනියා ස්වාභාවික වරණය නො වේ. එහෙත් ඩාවින්ගේ පරිණාමවාදය මහාපිපිරුම සමහ සම්බන්ධ ය. බටහිර විද්‍යඅමපෂාවට අනුව ඇමයිනෝ අම්ලයට ද මුලක් ඇත. අදාළ අණු ඇතිවූයේ කෙසේ ද? එහි දී විවිධ පරමාණු නිර්මාණය වූයේ කෙසේ ද යන්න තේරුම්කර දිය යුතු වෙයි. එනම් ඒ විස්තර කළයුතු වෙයි. වෙනත් වචනවලින් කිවහොත් කතන්දරයක් ගෙතීමට සිදුවෙයි.

අද බටහිර තාරකා භෞතිකයට අනුව පරමාණු ඇති වත තිබෙන්නේ තාරකාවල ය. තාරකා ඇති වුයේ කෙසේ ද? පළමු පරම්පරාවේ තාරකා ආදී වශයෙන් මේ තාරකා ඇති වූයේ කෙසේ ද යන්න අමරතුංග මහතාගේ පොතේ ඇත්දැයි මම නො දනිමි. ඒ සියල්ල පට්ටපල් බොරු ය. මම මේ සියල්ල පශ්චාත් උපාධියට ද හදාරා ඇත්තෙමි. අමරතුංග මහතා කියනු ඇත්තේ මා ඒ කිසිවක් නොදන්නා බවත් ජනප්‍රිය පොත්වලින් ඔහුට තේරෙන ආකාරයට කරුණු එකතු කරගන්නා ඔහු වැනි දන්ත වෛද්‍යඅමපෂවරුන්ට ඒ තේරෙන බවත් ය. ඒ ඊනියා ප්‍රවාද බටහිර විද්‍යඅමපෂාඥ්‍රයන් විසින් ගොතන ලද කතන්දර ය. ඔවුන්ගේ හිතළු ය. ඊනියා සාර්ථක හිතළු බටහිර විද්‍යඅමපෂාවේ ප්‍රවාද වෙයි. ඩාවින්ගේ පර්ණාමවාදය ද සාර්ථක වත ඇති තවත් හිතළුවක් පමණකි.

ඊනියා ජීවිතයේ අරුතක් ගැන අමරතුංග මහතාටත් ඔහුගේ පොත ලියු කතුවරයාටත් සිදු වී ඇත්තේ බටහිර විද්‍යඅමපෂාවේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදය අසාර්ථක වී ඇති බැවිනි. අමරතුංග මහතාගේ කතුවරයා හා වෙනත් බටහිර බුද්ධිමතුන් සූදානම් වන්නේ ඩාවින්ගේ පරිණාමවාදයෙහි ජීවිතයෙහි අරුතක් ඇති බව කීමට ය. එහෙත් මේ සමග බටහිර විද්‍යඅමපෂාව පදනම් වී ඇති ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි තවත් ලක්‍ෂණයක් විද්‍යඅමපෂමාන වෙයි. එය අප ඊනියා ජීවිතයේ අරුත සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තුන්වැනි කරුණ ය. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මොන තරම් බේගල් දෙසා බෑවත් මානව කේන්ද්‍රී ය.

යුදෙවු චින්තනය ආරම්භයේ දී ම මානව කේන්ද්‍රිය වෙයි. පරණ තෙස්තමේන්තුවට අනුව දෙවියන් වහන්සේ ආරම්භයේ දී ලෝකය (විශ්වය) මැවූහ. ඉර හඳ තාරකා මැවූ උන්වහන්සේ මිනිසා (පිරිමියා) මවා ගැහැණිය ද සමග ලෝකය පිරිමියාට භාරදුන්නේ ය. මේ සියල්ලෙන් අදහස් වන්නේ දෙවියන් වහන්සේ මිනිසා වෙනුවෙන් ලෝකය මවා ඇති බව ය. ඉර, හඳ, තාරකා, සතා සීපාවා සර්පයා, ගස් කොළන් ආදී සියල්ල මවා ඇත්තේ මිනිසා (පිරිමියා) වෙනුවෙනි. බයිබලය මානව කේන්ද්‍රිය වෙයි. දෙවියන් වහන්සේ මිනිසා මවා ඇත්තේ උන්වහන්සේගේ ප්‍රතිබිම්බය ලෙස ය.

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි යුදෙවු චින්තනයෙන් ගත් මේ මානව කේන්ද්‍රීය කොටස ද ඇතුළත් වෙයි. බටහිර විද්‍යඅමපෂාව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇති හෙයින් මානව කේන්ද්‍රිය වෙයි. බටහිරයන් කියන්නේ විශ්වයේ කේන්ද්‍රය පොළොව (මිනිසාගේ වාස භූමිය – නිජ භූමිය) ලෙස තිබුණ ද කොපර්නිකස්ගේ ඊනියා විප්ලවයෙන් පසු (භාරතයෙන් හොරට ලබාගත් සූර්ය කේන්ද්‍රවාදය හඳුන්වාදීම) එය පොළොවෙන් ද එබැවින් මිනිසාගෙන් ද ඉවතට ගිය බව ය.

එහෙත් එය කිසි දිනෙක සිදුවන්නක් නො වේ. දැනුම නිර්මාණය කෙරෙනුයේ මිනිසා විසිනි. දෙවිවරු ආදී අනෙක් සත්ත්වයෝ පහළොස්වැනි සියවසෙන් පසු එයට මැදිහත් නො වෙති. අද වන විට එය මානව කේන්ද්‍රි තත්ත්වයෙන් ද තවත් කෙටි වී ඇත. අද ලෝකය මත පටවන දැනුම මුළුමනින් ම බටහිර කේන්ද්‍රිය වෙයි. එවැනි දැනුමක සිවුපාවුන් ගස් කොළන් පිළිබඳ දැනුම පමණක් නොව ආසියාතිකයන් හා අප්‍රිකානුවන් පිළිබඳ දැනුම ද නිර්මාණය කෙරෙන්නේ බටහිරයන් අතිනි. ඒ දැනුම අපි හිස් මුදුණෙන් පිළගනිමු.

අපට කොටින් පරාජය කළ නොහැකි බවට දැනුමක් නිර්මාණය කළෝ බටහිරයෝ ය. අපට ඒ කසිකබල් දැනුම ෙසෙද්ධාන්තික තලයේ පැරදවීමට හැකි විය. අමරතුංග මහතා අද කොටි පැරදවීම ගැන සතුටු වන්නේ යැයි සිතමි. එහෙත් අප බටහිර දැනුම අභියෝගයට ලක් නොකළේ නම් අදත් ප්‍රභාකරන් ජීවත්වීමට තිබිණි. අමරතුංග මහතා හෝ ඔහුගේ ආදර්ශී බුද්ධිමතකු වූ ගුණදාස අමරසේකර මහතා හෝ බටහිර මතවාද පරාජය කිරීමට වෙනත් මතවාදයක් ඉදිරිපත් කළ බවක් දැනගැනීමට නැත.

ඊනියා ජීවිතයේ අරුත තීරණය කෙරෙන්නේ බටහිරට සාපේක්‍ෂව මිස සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව නො වේ. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඊනියා ජීවිත අරුත් නැත. සිංහල බෞද්ධයකු ලෙස පෙනී සිටින අමරතුංග මහතාට පමණක් නොව තමන් බටහිර විද්‍යඅමපෂාඥයන් යැයි සිතන, එහෙත් එසේ නොවන එවැනි බොහෝ අයට තමන් සංස්කෘතික වශයෙන් යුදෙවු ක්‍රිස්තියානීන් බව වටහා ගැනීමට නොහැක්කේ ඔවුන් ලබා ඇති අධ්‍යඅමපෂාපනය හේතුකොටගෙන ය. 

අමරතුංග මහතා ඩාවින්ගේ පරිණාමවාදය ගැන මැත දොඩවන්නේ එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරී ඇති එක් පට්ටපල් බොරුවක් බව නොදැන ද? ඔහු අග්ගඤ්ඤ සූත්‍රය ගැන කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි. ඔහුට මේ ප්‍රශ්නය මෙයට ඉහතදී ද යොමුකර ඇති නමුත් ඔහු එයින් සුපුරුදු පරිදි පැන ගියේ ය. අග්හඤ්ඤ සූත්‍රයෙහි ඇත්තේ ඊනියා ප්‍රවාදයක් හෙවත් යම්කිසිවකු විසින් ගොතන ලද කතන්දරයක් නො වේ. ඒ බුදුන් වහන්සේ ලෝකය පැණවූ ආකාරය ය. ඒ උන්වහන්සේගේ ප්‍රත්‍යඅමපෂක්‍ෂය වෙයි. අමරතුංග මහතාට වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රත්‍යඅමපෂක්‍ෂය ද, එසේත් නැත්නම් ඩාවින්ගේ පට්ටපල් බොරුව ද? ඔහුට වැදගත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඊනියා ජීවිතයේ අරුත ද, එසේත් නැත්නම් ජීවිතය බොරුවක් බව දකින නිවන් අවබෝධය ද? 


නලින් ද සිල්වා

2015 ජනවාරි 28 විදුසර





Wednesday, 21 January 2015

බටහිර විද්‍යාව හා ජීවිතයේ ඊනියා අරුත


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන් ලියා ඇති කසිකබල් කතා විදුසර පාඨකයන් අතට පත් කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ භාරගෙන ඇති බව පැහැදිලි ය. අද මෙරට මූලික ප්‍රශ්නය වී ඇත්තේ අප බටහිර දැනුම පසුපස යැම ය. අමරතුංග මහතා ජීවිතයේ අරුත සෙවීමක්‌ ගැන කතා කරයි. මෙය ද තුට්‌ටු දෙකේ කතාවකි. එයින් කෙරෙන්නේ අප නොමග යෑවීම ය. අමරතුංග මහතා ජීවිතයේ අරුත හා සියල්ලෙහි ප්‍රවාදය අතර සම්බන්ධයක්‌ ගැන කතා කරයි. 

අමරතුංග මහතා ජනවාරි 14 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "අප ගේ ජීවිතයේ අරුත විද්‍යාව මගින් සොයාගත හැකි ද යන ප්‍රශ්නය මීට පෙර ලිපියක සඳහන් කළෙමි. එය විද්‍යාවට අදාළ දාර්ශනික ප්‍රශ්නයක්‌ වන්නේ ය. එක්‌ පොදු මතවාදයක්‌ (Theory of Everything) නිර්මාණය කිරීමට විද්‍යාඥයන් තැත් කරන අන්දම ද පෙර ලිපියේ විස්‌තර කළෙමි. මේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක්‌ ඇත් ද? එසේ නො වන්නේ නම් පළමු ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ දෙවැනි ප්‍රශ්නයේ පිළිතුර තුළ වන්නට බැරි ය. තව ද ස්‌වාභාවික වරණය (Natural Selection) මූලික මතවාදයක්‌ ලෙස පිළිගත හැකි බව සමහර දාර්ශනිකයන් ගේ මතය වී ඇත. එසේ නම් ජීවිතයේ අරුත සොයාගත හැක්‌කේ එවැනි මතවාදයක්‌ භාවිත කිරීමෙන් බව සමහර දාර්ශනිකයන් ගේ මතය වී ඇත. එසේ නම් ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නයට පිළිතුර පොදු මතවාදය තුළ තිබිය නොහැකි ය. පොදු මතවාදය නිර්මාණය වූවාට පසුව ගණිතමය මොඩලයකට එහා ගිය එකක්‌ නො වන බව විද්වත් ස්‌ටීවන් හෝකිනන්ග් පවසා ඇත. එසේ නම් එම ගණිතමය මොඩලය මාර්ගයෙන් අප ගේ ජීවිත අරුත කුමක්‌ දැයි සොයාගත හැකි ද?"

අප ගේ ජීවිතයේ අරුතක්‌ ගැන බුදුදහමෙහි සඳහන් නො වන බව අමරතුංග මහතා ද පිළිගනියි. ඉහත කී ලිපියෙහි ම ඒ මහතා මෙසේ සඳහන් කරයි. "බුදුරදුන් අප ගේ ජීවිතයේ අරුත කුමක්‌ දැයි නො පැවසුවාට හොඳින් ජීවත් වන අන්දම ද අවසානයේ දුක දුරු කරගන්නා මාර්ගය ද පෙන්වා දුන් සේක. අප ගේ ජීවිතයේ වැදගත් වන්නේ අපි බව උන්වහන්සේ පිළිගත් බව මින් පැහැදිලි වේ" ඉහත සඳහන් දෙවැනි වාක්‍යය ව්‍යාකරණ නිවැරැදි කිරීම සඳහා අභ්‍යාසයක්‌ ලෙස පාසල් සිසුන්ට දීමට නම් වැදගත් ය. ජීවිතයෙහි අරුත හා සියල්ලෙහි ප්‍රවාද ක්‍රිස්‌තියානි සංකල්ප මිස බුදුදහමෙහි අංග නො වේ.

අප ගේ ජීවිතයේ අරුත බටහිර විද්‍යාව මගින් සොයාගත හැකි ද යන්න බටහිර විද්‍යාවට අදාළ දාර්ශනික ප්‍රශ්නයක්‌ බව අමරතුංග මහතා පවසයි. එය එසේ විය හැකි ද? එයට හේතුව බටහිර විද්‍යාව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි නිර්මාණය වී තිබීම ය. මේ ප්‍රශ්න වැදගත් වන්නේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මිස සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නො වේ. අමරතුංග මහතා තමා බෞද්ධයකු යෑයි කීව ද ඔහු කටයුතු කරන්නේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. බටහිර විද්‍යාව කටගාගත් මහාචාර්යවරුන් (මොවුන් බටහිර විද්‍යාවට කිසිම නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කර නැත) ඇතුළු මෙරට උගතුන් යෑයි පැවසෙන ඊනියා බෞද්ධයෝ සංස්‌කෘතියෙන් ක්‍රිස්‌තියානීහු වෙති. 

අමරතුංග මහතා ලිපි කිහිපයක ම ඊනියා සියල්ලෙහි ප්‍රවාදයක්‌ ගැන සඳහන් කළේ ය. ඔහුට ඒ පිළිබඳ ව ඇත්තේ පරස්‌පර විරෝධී අදහස්‌ ය. ඒ බව ඒ මහතා ගේ ලිපිවලින් දීර්ඝ උපුටා දැක්‌වීම් මගින් පෙන්නුම් කළෙමි. එහෙත් ඔහු පොදු මතවාදය යනුවෙන් ඔහුට ම ආවේණික ලෙස සුපුරුදු පරිදි වැරැදියට හඳුන්වන සියල්ලෙහි ප්‍රවාදය හා ඌනිතවාදය ගලා එන්නේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙනි. ක්‍රිස්‌තියානියෙහි සියල්ල අවසානයේ දී එක්‌තැනකට ගොනු වෙයි. එය ක්‍රිස්‌තියානියට පමණක්‌ නො ව සියලු මැවුම්වාදී (නිර්මාණවාදී) සංස්‌කෘතීන්ට හා ආගම්වලට පොදු වෙයි. 

සියල්ල ගොනු වන්නේ මැවුම්කරු වටා ය. සියල්ල නිර්මාණය කරන්නේ මැවුම්කරු ය. ඔහු යෙහෝවා, දෙවියන් වහන්සේ, අල්ලා ආදී නම්වලින් හැඳින්විය හැකි ය. කිනම් නමකින් හැඳින්වුව ද මැවුම්කරුට පසු මිස පෙර කිසිවක්‌ නැත. සියල්ල මැවුම්කරුට පසු ව වෙයි. ලෝකය තේරුම්ගත හැක්‌කේ නිර්මාණකරුවා මගිනි. මැවුම්කරු නොමැති නම් කිසිවක්‌ නැත. සියල්ල මැවුම්කරු මගින් තේරුම්ගත හැකි ය. ජීවිතයේ අරුත ද තේරුම්ගත හැක්‌කේ මැවුම්කරුවා මගිනි. ජීවිතයෙහි අරුත සාක්‍ෂාත් කරගත හැක්‌කේ මැවුම්කරු සමග එක්‌ වීමෙනි.

සියල්ලෙහි ප්‍රවාදය මගින් කෙරන්නේ ද සියල්ල තේරුම්ගැනීම ය. එහෙත් සියල්ලෙහි ප්‍රවාදය තේරුම්ගැනීමෙහි මගක්‌ නැත. සියල්ලෙහි ප්‍රවාදය වෙනත් ප්‍රවාදයකින් තේරුම්ගත නො හැකි ය. එසේ වෙනත් ප්‍රවාදයකින් තේරුම්ගත හැකි නම් ඒ ප්‍රවාදය සියල්ලෙහි ප්‍රවාදය වෙයි. මැවුම්කරුවාණන් ද එබඳු ය. මැවුම්කරුවාණන් මගින් සියල්ල තේරුම් කර දිය හැකි වුවත් මැවුම්කරුවාණන් තේරුම්ගන්නේ කෙසේ ද? මැවුම්කරුවාණන් තේරුම්ගැනීමට වෙනත් සංකල්පයක්‌ යොදාගත හොත් එය මැවුම්කරුවාණන්ට උඩින් වෙයි. එවිට මැවුම්කරුවාණන් ගේ වැදගත්කම බාල්දු වෙයි. 

මැවුම්කරුවාණන් ගැන තැබිය හැක්‌කේ විශ්වාසයක්‌ පමණකි. එය තේරුම්ගත නො හැකි ය. තේරුම්ගැනීමට වෙනත් සංකල්ප හා ප්‍රවාද අවශ්‍ය වෙයි. ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ද එබඳු ය. එය තේරුම්ගත නො හැකි ය. ඒ තේරුම්ගන්නේ නම් ඒ සඳහා වෙනත් සංකල්ප හා ප්‍රවාද අවශ්‍ය වෙයි. එවිට තවදුරටත් ඊනියා සියල්ලෙහි ප්‍රවාදය සියල්ලෙහි ප්‍රවාදයක්‌ බවට පත් නො වේ. අපට කළ හැක්‌කේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදය විශ්වාස කිරීම පමණ ය. 

මෙය ඌනිතවාදයට ද පොදු ය. ඌනිතවාදයෙහි කෙරෙන්නේ ද යම් ක්‍ෂේත්‍රයක දැනුම ස්‌වසිද්ධි කිහිපයකින් පටන්ගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් ඒ ක්‍ෂේත්‍රයෙහි ඊනියා සත්‍ය ලෙස සැලකෙන ප්‍රකාශ නිගමනය කිරීම ය. එහෙත් ස්‌වසිද්ධි වෙනත් ප්‍රකාශයක්‌ යොදාගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය ආධාරයෙන් නිගමනය කළ හැකි නො වේ. එසේ කළ හොත් ඒ වෙනත් ප්‍රකාශ අදාළ ක්‍ෂේත්‍රයෙහි හෝ පද්ධතියෙහි හෝ ස්‌වසිද්ධි බවට පත් වෙයි. එබැවින් ඌනිතවාදයෙහි දී යම් ක්‍ෂේත්‍රයක ස්‌වසිද්ධි තේරුම්ගත නොහැකි, එනම් නිගමනය කළ නොහැකි, ප්‍රකාශ බවට පත් වෙයි. 

ස්‌වසිද්ධි යන්නෙහි ඒ ප්‍රකාශ විසින් ම යන තේරුම අන්තර්ගත වෙයි. අදාළ ක්‍ෂේත්‍රයෙහි ස්‌වසිද්ධිවල ඊනියා සත්‍යාසත්‍ය බවක්‌ නැත. ඒ අදාළ ක්‍ෂේත්‍රයෙහි සත්‍ය ද නැත් ද යන්න නිගමනය කළ නො හැකි ය. අපි ස්‌වසිද්ධි විශ්වාස කරමු. එසේත් නැත හොත් උපකල්පනය කරමු. ඒ උපකල්පන යොදාගෙන ක්‍ෂේත්‍රයෙහි, පද්ධතියෙහි වෙනත් ප්‍රකාශ නිගමනය කරමු. එසේ නිගමනය කෙරෙන ප්‍රකාශ අදාළ ක්‍ෂේත්‍රයෙහි සත්‍ය වේ යෑයි කියෑවෙයි.

එය එසේ පමණක්‌ වී නම් අපට ස්‌වසිද්ධි උපකල්පනය කරමින් සිටින්නට, ජීවත් වීමට තිබිණි. එවිට ජීවිතයේ අරුත වනුයේ ඒ ස්‌වසිද්ධි උපකල්පනය කිරීම ය. නැත හොත් ඒ විශ්වාස කිරීම ය. එහෙත් මේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි අංගයක්‌ මිස වෙනත් දෙයක්‌ නො වේ. ජීවිතයේ අරුත දෙවියන් වහන්සේ සමග එකතු වීම යන්න ඊනියා සත්‍ය ලෙස සැලකෙන ස්‌වසිද්ධි සමග ජීවත් වීම සංකල්පීය වශයෙන් වෙනස්‌ නො වේ. මේ සියල්ල සමග එකතු වීම යන්න හා ඊනියා සත්‍ය ලෙස සැලකෙන ස්‌වසිද්ධි සමග ජීවත් වීම සංකල්පීය වශයෙන් වෙනස්‌ නො වේ. මේ සියල්ල ම පිටුපස ඇත්තේ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි සුවිශේෂ වූ අංගයකි. එහෙත් චින්තනය යන්න අමරතුංග මහතා නො දනියි. එසේ වීමට එක්‌ හේතුවක්‌ නම් ඔහු කියවන ඉංගිරිසි පොත්වල ඒ සංකල්පය නොමැති වීම ය. දෙවැන්න මේ සම්බන්ධයෙන් අප ලියා ඇති කරුණු ඔහුට නො වැටහීම ය. 

බටහිරයන් ගේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ගණිතමය ආකෘතියකින් එහා ගිය එකක්‌ නො වේ යෑයි හෝකින් පවසා ඇතැයි අමරතුංග මහතා සඳහන් කරයි. බටහිර භෞතික විද්‍යාවේ බොහෝ විට ඇත්තේ ගණිතමය ආකෘති ය. අමරතුංග මහතා ද මොකක්‌ දොa පොතකින් කියවා ප්‍රවාද හා ගණිත ආකෘති (ඔහු ගේ වචනවලින් නම් මොඩල) ගැන කලින් ද සඳහන් කර ඇත. ගණිත ආකෘතිවල ඇත්තේ ඌනිතවාදය ය. එයින් දැනගත හැකි ඊනියා සත්‍යයක්‌ තබා ඊනියා විද්‍යාත්මක සත්‍යයක්‌ වත් නැත. 

බටහිර විද්‍යාවේ සියල්ලෙහි ප්‍රවාදය අවසාන වශයෙන් ගත් කල ගණිතමය ආකෘතියක්‌ නම් එක්‌ පැත්තකන් ඉන් කියෑවෙන්නේ ඌනිතවාදය ය. අනෙක්‌ පැත්තෙන් අමරතුංග මහතා බලාපොරොත්තු වන ඊනියා විද්‍යාත්මක සත්‍යය වත් ඉන් නො ලැබෙන බව පැහැදිලි ය. අමරතුංග මහතාට නො තේරුණත් ආකෘතියක්‌ යන්නෙහි තේරුම ම ඊනියා ප්‍රකෘතිය නො වන බව ය. ආකෘතියක්‌ කිසි දිනෙක ප්‍රකෘතියක්‌ (එසේ තිබේ යෑයි උපකල්පනය කළ ද) විය නො හැකි ය. අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ආකෘති ගැන සඳහන් කරන විට ම ඔහු බටහිර විද්‍යාවෙන් ඊනියා ප්‍රකෘතියක්‌ නො කියෑවෙන බව පිළිගනියිෘ

බටහිර විද්‍යාවෙන් ඊනියා විද්‍යාත්මක සත්‍යයක්‌ නිරූපණය වේ ද? කිසි ම අවබෝධයක්‌ නොමැති ව අමරතුංග මහතා සඳහන් කරන ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියෑවෙන්නේ කුමක්‌ ද? යම් දැනුම් පද්ධතියක අංක ගණිතයෙහි මෙන් කරුණු සකස්‌ කරගත හැකි නම් එම පද්ධතිය එහි ස්‌වසිද්ධිවලට ඌනනය කළ නොහැකි බව ය. වෙනත් වචනවලින් කිව හොත් එකී පද්ධතියෙහි ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ නොහැකි (එම පද්ධතියෙහි) සත්‍ය ප්‍රකාශ ඇති බව ය. එයින් තවත් අයුරකින් කියෑවෙන්නේ හිල්බට්‌ ගේ දෙවැනි ප්‍රශ්නයට ඇත්තේ නිෂේධනීය පිළිතුරක්‌ බව ය. 

එනම් ප්‍රමේයයන් හා සංගත වූ ස්‌වසිද්ධි පද්ධතියක්‌ බටහිර ගණිතයෙහි සොයාගත නොහැකි බව ය. හෝකින් විද්වතකු විය හැකි ය. ඔහුට මේ සම්බන්ධයෙන් මුල දී තිබුණේ විරුද්ධ අදහස්‌ ය. එහෙත් හිල්බට්‌ ගේ වැඩපිළිවෙළ හෙවත් බලාපොරොත්තු ග්ර්ඩ්ල් ප්‍රමේයයත් සමග කඩාවැටුණු බව අපි බොහෝ කලක සිට දැන සිටියෙමු. ජීවිතයේ අරුත කුමක්‌ ද යන ප්‍රශ්නය ම හිස්‌ ප්‍රශ්නයකි. එය ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පැනනගින්නකි. ඒ අරුත කුමක්‌ ද යන්නට බටහිර විද්‍යාවට ද දිය හැකි එක ම පිළිතුර පද්ධතියෙහි ඊනියා ස්‌වසිද්ධි උපකල්පනය කිරීම හා විශ්වාස කිරීම ය. එහෙත් ස්‌වසිද්ධිවලින් ගම්‍ය නො වන නිගමනය කළ නොහැකි ඊනියා සත්‍ය ප්‍රකාශ පද්ධතියෙහි වෙයි. මැවුම්කරුවාට ඌනනය කළ නොහැකි කරුණු අපේ ජීවිතවල වේ ද? 

නලින් ද සිල්වා

2015-01-24

Wednesday, 14 January 2015

අමරතුංග මහතා ගේ අනවබෝධය


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ඊනියා දර්ශනයක්‌ ගැන කියවන්නේ තමන්ට ඒ කිසිවක්‌ තේරී ඇති නිසා නො වන බව පැහැදිලි ය. ඔහු සියල්ලෙහි ප්‍රවාදයක්‌ (Theory of everthing) ගැන කතා කරයි. එහි දී ඔහු කරන්නේ ඔහු කියවා ඇති එහෙත් තේරුම් නො ගත් පොතක ඇති දේ ඉතා අවුල් සහගත ව ලියා විදුසර විද්‍යා සංග්‍රහයෙහි පිටු නාස්‌ති කිරීම පමණ ය. ඔහුට ඊනියා සියල්ලෙහි ප්‍රවාදයක්‌ ගැන මහත් බලාපොරොත්තුවක්‌ ඇත. ඒ අතර ඔහු හෝකින් වැනි තම වීරයන් වූ ඇතැම් බටහිර විද්‍යාඥයන් පවා දැන් ගර්ඩ්ල් ප්‍රමේයයට අනුව ඒ නො පිළිගන්නා බව කියයි. එහෙත් ගර්ඩ්ල් ප්‍රමේයය ගැන අප කරුණු ඉදිරිපත් කර ඒ අනුව සියල්ලෙහි ප්‍රවාදයක්‌ තිබිය නොහැකි බව පැවසුවේ දශක කිහිපයකට පෙර ය. ඒ දිනවල හෝකින් සියල්ලෙහි ප්‍රවාදයක්‌ ගැන සිහින දුටුවේ ය. ඒ සියල්ල සාකච්ඡා කිරීමට පෙර අප පසුගිය සතියේ ලිපියෙන් මතු කළ අදහස්‌ කිහිපයක්‌ තවදුරටත් වර්ධනය කළ යුතු ය. 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ සීමිත නීරීක්‍ෂණ (ඊනියා පර්යේෂණ හා සම්පරීක්‌ෂණ ද ඇතුළත් ව) කිහිපයක්‌ උද්ගමනය යොදාගනිමින් සාධාරණය කර වියුක්‌ත ප්‍රකාශයක්‌ කර එය බටහිර සංඛ්‍යානය මගින් ව්‍යාජ යුක්‌තියුක්‌තකරණයට ලක්‌ කර පළමු කී වියුක්‌ත ප්‍රකාශය තේරුම්ගැනීමට යෑයි කියමින් වියුක්‌ත හිතළු නිර්මාණය කිරීම ය. එසේ නිර්මාණය කරන ලද වියුක්‌ත හිතළුවලින් ලබාගන්නා නිගමන (Deduction) ඉන්පසු සංයුක්‌ත උදාහරණ මගින් සත්‍යාපනය කර ඒ හිතළුව ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කෙරෙයි. මේ ක්‍රියා පිළිවෙත මුළුමනින් ම ක්‍රම විරෝධී ය. 

මේ ඊනියා නිගමන ද උද්ගමන බව අප කියා ඇත්තේ කලකට පෙර ය. අද ඇතැමුන් ඒ තමන් ගේ නව අදහස්‌ ලෙස ප්‍රකාශ කරන්නේ තමන් මේ මතවල හිමිකරුවන් පොල්මඃකරුවන් බව ලෝකයට කියා පෑමට ය. සංවාක්‍යවලින් (syllogism) ලබාගන්නා නිගමන ප්‍රස්‌තුතයෙහි ම ඇතුළත් වෙයි. සියලු මිනිස්‌සු මැරෙති. සොක්‍රටීස්‌ මිනිසෙකි. එබැවින් සොක්‍රටීස්‌ ද මිය යයි යනුවෙන් කෙරෙන ඊනියා නිගමනය ව්‍යාජයක්‌ පමණකි. සියලු මිනිස්‌සු මැරෙති යෑයි කී විට සොක්‍රටීස්‌ ද මැරෙන බව එහි අන්තර්ගත ය. එවිට සොක්‍රටීස්‌ ද මිය යයි යනුවෙන් ඊනියා නිගමනයකට ඒමට අවශ්‍ය නො වේ. 

අනෙක්‌ අතට සියලු මිනිස්‌සු මැරෙති යන්න බටහිරයන්ට වියුක්‌ත උද්ගමනයකි. එය බුදුන්වහන්සේට නම් "පෙනෙන" කරුණකි. බටහිරයන් ද බුදුන් වහන්සේ ගෙන් නො ව බටහිරයන් ගෙන් "දැනුම" ලබාගන්නා සිංහල බෞද්ධයන් ද සියලු මිනිස්‌සු මැරෙති යන දැනුම ලබාගන්නේ මිනිසුන් කිහිප දෙනකු මිය ගොස්‌ ඇති බව සාධාරණීකරණයට ලක්‌ කර උද්ගමනයෙනි. එමෙන් ම ඇරිස්‌ටෝටලීය න්‍යායෙහි වියුක්‌ත නියම ලබාගන්නේ ද උද්ගමනයෙනි. 

A=A යන්න ආත්මීය ප්‍රකාශයකි. මෙය ඒ පුටුව, ඒ පුටුවට සමාන වේ ආදී ප්‍රකාශ කිහිපයක වියුක්‌ත සාධාරණීකරණයකි. එහි වෙනස්‌ නො වන ධර්මාත්මයක්‌ හා පුද්ගලාත්මයක්‌ ආදී අදහස්‌ අන්තර්ගත ය. එය අනිත්‍යයට හා අනාත්මයට විරුද්ධ වෙයි. A=B හා B=C නම් A=C වේ ය යන්න ද එවැනි ම වූ උද්ගමනයකි. එක්‌ කෝටුවක්‌ වෙනත් කෝටු දෙකකට දිගින් සමාන වේ නම් ඒ කෝටු දෙක ද දිගින් එකිනෙකට සමාන වේ ය වැනි නිරීක්‍ෂණ කිහිපයක්‌ සාධාරණීකරණයට ලක්‌ කර වියුක්‌ත A=B හා B=C නම් A=C වේ ය යන ඊනියා නිගමනය ලබාගෙන ඇත. මෙය දි අයිලන්ඩ් පුවත්පතෙහි පළ කරන ලද අවස්‌ථාවෙහි දී කැනඩාවේ ජීවත් වන ජෛවීය විද්‍යාවන් හැදෑරුවේ යෑයි සිතිය හැකි බෝධි ධනපාල නම් අයකු පමණක්‌ අමරතුංග මහතා මෙන් ම තමන්ට නො තේරෙන දේ ලිවීමට උත්සාහ කළ නමුත් පුවත්පත් කතුවරයා ඔහුට එක්‌ වරකට වඩා ඉඩ නො දුන්නේ ය යනු මා ගේ විශ්වාසය වෙයි. 

ඒ කුමක්‌ වුවත් බටහිර විද්‍යාවේ කෙරෙන්නේ හිතළු ඉදිරිපත් කිරීම ය. අපි ගුරුත්වාකර්ෂණය යන්න ම සලකමු. අතහරිනු ලැබ වස්‌තු පොළොවෙහි වැටෙන බව (පොළොව දෙසට චලනය වන බව) අපි නිරීක්‍ෂණය කර ඇත්තෙමු. මේ නිරීක්‍ෂණය කෙතරම් උත්සාහ කළත් වස්‌තු කිහිපයකට පමණක්‌ සීමා වෙයි. ඉන්පසු බටහිර විද්‍යාඥයෝ මේ නිරීක්‍ෂණ සාධාරණීකරණයට ලක්‌ කර අත්හරිනු (මුදාහරිනු) ලැබු සියලු වස්‌තු පොළොවට වැටෙයි යන උද්ගමනයට එළඹෙති. දැන් බටහිර විද්‍යාඥයන්ට එසේ වීමට හේතුව කුමක්‌ දැයි දැනගැනීමට අවශ්‍ය වෙයි. ඔවුහු ඒ සඳහා විවිධ හිතළු නිර්මාණය කරති. 

නිවුටන් ගේ හිතළුව ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ලෙස නම් කෙරී ඇත. එය වියුක්‌ත ප්‍රකාශයකි. දැන් මේ වියුක්‌ත ප්‍රකාශයෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් ලබාගන්නා ඊනියා නිගමන (මේ ඊනියා නිගමන ද උද්ගමනවල ප්‍රතිඵල ය) සංයුක්‌ත ව ඇතැම් නිරීක්‍ෂණ සමග සංසන්දනය කෙරෙයි. ඒ සංසන්දන සමහරක්‌ ගැලපෙන බැවින් (නො ගැලපෙන සංසන්දන ද වෙයි) නිවුටන් ගේ හිතළුව ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කෙරී ඇත. එහි ඇත්තේ හිතළුව කෙතරම් දුරට සාර්ථක වී ඇත් ද යන්න පමණකි. හිතළුව පට්‌ටපල් බොරුවකි. ප්‍රවාදයක්‌ යනු යම් ප්‍රමාණයකට සාර්ථක වූ පට්‌ටපල් බොරුවක්‌ පමණකි. බටහිර විද්‍යාවෙහි මෙයට වඩා දෙයක්‌ නැත. නිවුටන් ගේ පට්‌ටපල් බොරුවට සංකල්පීය වශයෙන් සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ පට්‌ටපල් බොරුවක්‌ අයින්ස්‌ටයින් විසින් නිර්මාණය කෙරී ඇත. 

දැන් අපි අමරතුංග මහතා ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ගැන කියන කරුණු සමහරක්‌ විභාග කරමු. "පසුගිය දෙසැම්බර් 31 වැනි දා ලිපියෙහි ඔහු මෙසේ කියයි. මෙය දීර්ඝ වශයෙන් උපුටා දක්‌වන්නේ එක ම ලිපියක අවුල් සහගත අදහස්‌ පරස්‌පර සහිත ව දැක්‌වීමට අමරතුංග මහතා කෙතරම් සමත් ද යන්න පාඨකයාට වටහා දීමට ය. පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි සැමට පොදු මතවාදයක්‌ (Theory of everything) නිර්මාණය කරගැනීමට විද්‍යාඥයන් ගත් ප්‍රයත්නය සාර්ථක වී නැති බව පෙන්වා දුන්නෙමි (විදුසර 03.12.14 සහ 17.12.14). එවැනි මතවාදයක්‌ විසින් කළ යුත්තේ ස්‌වභාවධර්මයේ පවතින නොයෙකුත් අන්තර් ක්‍රියාවන් සම්බන්ධ කිරීම ය. මෙතැන දී ගුරුත්වාකර්ෂණය ප්‍රබල අන්තර්ක්‍රියා (Strong Interaction) දුබල අන්තර්ක්‍රියා (Weak Interaction) සහ විද්යුත් චුම්බකත්වය යන ක්‍රියාදාමයන් එක්‌ මතවාදයක්‌ යටතට ගැනීම සිදු විය යුතු ය. දුබල අන්තර්ක්‍රියා විසින් මූලික අංශු (Elementary particles) එක්‌ වර්ගයකින් වෙනත් වර්ගයකට හැරවීමේ හැකියාව පෙන්නුම් කරන නිසා පොදු මතවාදය විසින් මූලික අංශු පිළිබඳව ද ගැඹුරු පැහැදිලි කිරීමක්‌ කළ යුතු ය. ස්‌වභාවධර්මයේ අන්තර්ක්‍රියා පිළිබඳ දැනට ඇති මතවාද එකතු කොට අවසානයේ ලබාගත හැකි පොදු මතවාදය නිර්මාණය විය යුතු ආකාරය පහත සඳහන් වේ.

මෙහි අවසාන පියවර වන විද්යුත්-න්‍යෂ්ටික බලය සහ ගුරුත්වාකර්ෂණය එකතු කිරීම මෙතෙක්‌ සිදු වී නැත. එම නිසා පොදු මතවාදය තවමත් නිර්මාණය වී නොමැත. එහෙත් මේ පිළිබඳව කිව යුතු තවත් දෙයක්‌ ඇත. 1990 වර්ෂයට පසුව තන්තුවාදය (String Theory) නමින් හැඳින්වෙන මතවාදය සැමට පොදු මතවාදය ලෙස සමහර විද්‍යාඥයෝ පිළිගනිති. එනමුත් මේ පිළිබඳව එකගතාවක්‌ නොමැත. මතවාදාත්මක භෞතික විද්‍යාවේ ගැලී සිටින විද්‍යාඥයන් ගේ අවධානය බොහෝ සෙයින් ලබාගෙන ඇත්තේ තන්තුවාදය බව ද කිව හැකි ය. පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම සඳහා දැනට ඇති වැදගත් ම සංකල්පය තන්තුවාදය බව පිළිගැනේ. ද්‍රව්‍ය මූල අංශුවල ක්‍රියාදාමයන් ද විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් ද (උදා - black hole) පහදා දීමේ යම්කිසි හැකියාවක්‌ තන්තුවාදය තුළ ඇති බව දැනගැනීමෙන් මේ විද්‍යාඥයන් ධෛර්යයට පත් වී ඇත. අප ගේ පෘථිවියේ පවතින ද්‍රව්‍යවලින් ඔබ්බට ගිය අඟුරු ද්‍රව්‍ය (Dark Matter) සහ මෙතෙක්‌ සොයාගෙන නැති මූලික අංශු පිළිබඳව කෙරීගෙන යන පර්යේෂණවල ප්‍රතිඵල තුළිsන් පොදු මතවාදය ගැන යම් දුරක පැහැදිලි කිරීමක්‌ සිදු වෙතැයි ඔවුහු බලාපොරොත්තු තබාගෙන සිටිති.

මේ කරුණුවලින් ලැබෙන ඉඟියක්‌ වන්නේ මේවායේ රහස අභ්‍යවකාශයේ කිසියම් තැනක හෝ වස්‌තුවක තිබිය හැකි බව ය. විද්යුත් චුම්බක බලය සහ ගුරුත්වාකර්ෂණය එකතු කරන මතවාදයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම ලබාගත හැක්‌කේ අභ්‍යවකාශයෙන් විය හැකි ය. මෙය කිරීමට තවමත් කිසි ම දෙයක්‌ නො දන්නා අභ්‍යවකාශයේ තිබෙන ස්‌ථානයකට මිනිසාට යැමට හෝ උපකරණයක්‌ යෑවීමට හෝ සිදු වනු ඇතැයි සමහර විද්‍යාඥයන් ගේ මතය වී ඇත."

අමරතුංග මහතා දන්නා තන්තුවාදයක්‌ නැත. හැකිනම් තන්තුවාදය යනු කුමක්‌ දැයි පැහැදිලි කරන ලෙස මම ඔහුට අභියෝග කරමි. අගුරු ද්‍රව්‍ය යන්න අමරතුංග මහතා පටබැන්දේ කෙසේ ද? ඉංගිරිසි ඩාක්‌ (Dark) යන්නෙන් කියෑවෙන්නේ අගුරු ද? ප්‍රබල අන්තර්ක්‍රියා හා දුර්වල අන්තර්ක්‍රියා යනු කවරේ ද? අමරතුංග මහතා තමන්ට නො තේරෙන දේ ගැන කතා කරන්නේ කිසි ම ලඡ්ජාවක්‌ හෝ බියක්‌ හෝ නොමැති ව ය. කෙසේ වෙතත් උපුටා දැක්‌වීම මුල දී අමරතුංග මහතා කියන්නේ ඊනියා පොදු මතවාදයක්‌ (සියල්ලෙහි ප්‍රවාදයක්‌) නිර්මාණය කිරීමට බටහිර විද්‍යාඥයන් දැරූ ප්‍රයත්නය සාර්ථක වී නැති බව ය. 

ඉන්පසු ඔහු කියන්නේ මතවාදාත්මක භෞතික විද්‍යාවේ ගැලී සිටින (මේ සෛද්ධාන්තික හෙවත් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන් -Throretical Physicists- යෑයි සිතමි. ඔවුන් ගැලී සිටිනවා යන්නෙහි තේරුම කුමක්‌ ද?) අය ඊනියා අගුරු ද්‍රව්‍ය හා මෙතෙක්‌ සොයාගෙන නොමැති මූලික අංශූ පිළිබඳ කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල මගින් පොදු මතවාදය ගැන පැහැදිලි කිරීමක්‌ බලාපොරොත්තු වන බව ය. තවමත් සොයාගෙන නැතැයි කියන අංශු ගැන කරන පර්යේෂණ කවරේ ද? ඊනියා විද්‍යාත්මක විධික්‍රමය සොයා නො ගත්තේ ය කියන කරුණු මත පදනම් වී පුරෝකථන සැපයීම ද?

මෙයටත් වඩා විද්‍යාත්මක විධික්‍රමය වන්නේ අභ්‍යවකාශයේ සැඟවී ඇතැයි කියන රහස්‌වලින් ඊනියා මතවාද ගොඩනැගීම ය. අමරතුංග මහතා කියවා ඇති ජනප්‍රිය පොත ලියූ ලේඛකයා මෙවැනි බහුබූත ලියා ඇතැයි මම නො සිතමි. මේ වැරැදි අමරතුංග මහතාට ඒ පොතෙහි සඳහන් දේ නො තේරීම හේතුවෙන් සිදු වෙයි. තමා කරුණු උපුටා ගන්නා පොත කුමක්‌ දැයි කියන්නේ නම් අපට අඩු තරමින් පොතේ කතුවරයා දරන අදහස්‌ ගැන අවබෝධයක්‌ ලැබීමට හැකි වනු ඇත. බටහිර විද්‍යාඥයන්ටත් වඩා සියල්ලෙහි ප්‍රවාදයක්‌ අවශ්‍ය වී ඇත්තේ බටහිර විද්‍යාවෙහි දාසයන්ට ය.

නලින් ද සිල්වා

2015-01-14


Wednesday, 7 January 2015

ප්‍රත්‍යක්‍ෂ හා ප්‍රත්‍යක්‍ෂ නො වන දැනුම්


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මේ විවාදයෙන් පැන ගොස්‌ බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනම ගැන පොතකින් තමාට (නො) තේරෙන දැනුමක්‌ පරස්‌පර සහිත ව ඉදිරිපත් කළ ද විවාදයෙහි තේමාව වූයේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු ය යන්න ය. අමරතුංග මහතා ගේ පරස්‌පර ගැන අපි ලබන සතියේ නැවතත් කතා කරමු. එහෙත් මේ සතියෙහි විවාදයෙහි තේමාවට සීමා වෙමු. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව මම විවාදය ආරම්භයේ දී ම පෙන්වා දුන්නෙමි. පසුව එය බුදුදහම ඇසුරෙන් තහවුරු කළෙමි. පාඨකයන් ගේ යහපත සඳහා ඒ සියලු අදහස්‌ මෙසේ ගොනු කරමු. බුදුදහමට අනුව අපේ (පෘථග්ජනයන් ගේ) සියලු සංකල්ප, ප්‍රවාද ඇතුළත් දැනුම මුසා වෙයි. මේ දැනුම කොටස්‌ තුනකට බෙදිය හැකි ය. ඒ මනසෙක්‌ පමණක්‌ ගන්නා ප්‍රත්‍යක්‍ෂ, මනස හා පංචෙන්ද්‍රිය එකතු වී ගන්නා ප්‍රත්‍යක්‍ෂ හා ප්‍රත්‍යක්‍ෂ නො වන දැනුම ය. 

විවාදය ආරම්භයේ දී ම අමරතුංග මහතා ප්‍රත්‍යක්‍ෂවලට සිනාසිණි. එය සමච්චලයට ලක්‌ කළේ ය. ඔහුට ප්‍රත්‍යක්‍ෂ ගැන කිසි ම වැටහීමක්‌ නො වී ය. ඔහු පොතපතින් ප්‍රත්‍යක්‍ෂ ගැන කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ ය. එමගින් ඔහු මා කී කරුණු තහවුරු කළේ ය. ප්‍රත්‍යක්‍ෂ යනු ප්‍රත්‍ය අක්‍ෂ බවත් එහි තේරුම ඇස්‌ ඉදිරිපිට යන්න බවත් ඔහු කියා සිටියේ ය. ඔහු කියන දෙයට අනුව වුවත් එහි තේරුම අන් කිසිවක්‌ නො ව සෘජු ව ඇස්‌වලින් ලබාගන්නා දැනුම ය. මෙහි දී අප මතක තබාගත යුත්තක්‌ නම් ඇසට පමණක්‌ දැනුම ලබාගත නොහැකි බවත් එහි දී මනස ද සහභාගී වන බවත් ය. එමෙන් ම මේ සියලු දැනුම අපේ නිර්මාණ බවත් දැනුම ලබාගැනීම යනු හුදු සම්මුතියක්‌ බවත්, ඒ නිර්මාණ බුදුදහමට අනුව මුසා බවත් ය. මනස ද මනස විසින් ම නිර්මාණය කෙරෙන මුසාවකි. 

කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ යනු පංචෙන්ද්‍රියන් මගින් ලැබෙන (මනස විසින් නිර්මාණය කෙරෙන) සෘජු දැනුම ය. එහි නිරුක්‌තියට අක්‍ෂි යන්න වැදගත් වුවත් ප්‍රත්‍යක්‍ෂ සැම ඉන්ද්‍රියක්‌ සම්බන්ධයෙන් ම ඇත. කණ හා මනස එක්‌ වීමෙන් මෙන් ම නාසය හා මනස එක්‌ වීමෙන් ද ප්‍රත්‍යක්‍ෂ ලැබෙයි. ප්‍රත්‍යක්‍ෂ ඉහත සඳහන් පරිදි කොටස්‌ දෙකකට බෙදිය (වර්ග කළ) හැකි ය. ඒ පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ නො වී මනසෙන් පමණක්‌ කෙරෙන ප්‍රත්‍යක්‍ෂ හා පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන ප්‍රත්‍යක්‍ෂ යනුවෙනි. ඒ අවස්‌ථා දෙකෙහි ම ප්‍රත්‍යක්‍ෂයෙන් ගන්නා දැනුම නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනස සියල්ලට මුල් වෙයි. මනස ප්‍රධාන වෙයි. 

අප පුටුව පිළිබඳ දැනුම ඇති කරගන්නේ මනස හා පංචෙන්ද්‍රිය එකතු වී නිර්මාණය කරන ප්‍රත්‍යක්‍ෂය හේතු කොටගෙන ය. එහි ඇත්තේ පුටුව යන සංකල්පය පමණ ය. එය Rජු ප්‍රත්‍යක්‍ෂයකි. එය වර්තමානයෙහි පවතින (නිර්මාණය කරගත්) දැනුමකි. ඇතැම්හු මනස දියුණු කිරීමෙන් (භාවනා යෝග ආදී ක්‍රමවලින්) පංචෙන්ද්‍රිය නොමැති ව දැනුම ලබාගනිති. (නිර්මාණය කරති) ඇතැමුන්ට දෙවියන් දෘෂ්‍යමාන වෙයි. මෙහි දෘෂ්‍යමාන යන්න යොදාගත්ත ද ඒ ඇසට පෙනෙන්නක්‌ නො වේ. ඒ "පෙනෙන්නේ" මනසට ය. දෙවියන් පෙනෙන්නන්ට ඒ ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. 

ඒ පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක්‌ නො වේ. එහෙත් එපමණකින් ඒ නැතැයි කිව නො හැකි ය. සම්මුති වශයෙන් ගත් කල පුටුව මෙන් ම දෙවියන් ද ඇතැමුන්ට ඇත. සැම දෙනකුට ම පුටුව යන දැනුම ඇතැයි හෝ සියල්ලට ම පුටුව පිළිබඳ දැනුම එක යෑයි හෝ නො සිතිය යුතු ය. පුටු නොමැති සංස්‌කෘතියක ජීවත් වන්නන්ට වෙනත් සංස්‌කෘතියක පුටු දැක නැත්නම් පුටු පිළිබඳ කිසි ම දැනුමක්‌ නැත. එමෙන් ම අප කලින් ද සඳහන් කර ඇති පරිදි දරුවකු ගේ පුටුව පිළිබඳ දැනුම වැඩිහිටියකු ගේ පුටුව පිළිබඳ දැනුමෙන් වෙනස්‌ විය හැකි ය. දරුවාට බසයේ ආසන ද පුටු විය හැකි ය. 

පැරැණි ඍෂිවරුන් මනසින් පමණක්‌ දැනුම නිර්මාණය කර ඇති බව පැහැදිලි ය. සෘෂි යන්නෙහි තේරුම දකින්නා යන්න ය. ඍෂිවරුන් දකින්නේ ඇස්‌වල ආධාරයෙන් නො වේ. ඔවුහු මනසින් ම දකිති. බටහිරයන් කියන අන්දමට පොළොව හිරු වටා ගමන් කරන බව සොයාගත්තේ කොපර්නිකස්‌ ය. එහෙත් එයට අවුරුදු දහස්‌ ගණනකට පෙර භාරතීයයෝ ඒ බව දැන සිටිය හ. එසේ දකින්නට ඇත්තේ සෘෂිවරුන් ය. සෘෂිවරුන් ඒ බව මනසින් දකින්නට ඇති බව පැහැදිලි ය. Rෂිවරුන්ට පෙළොව හිරු වටා ගමන් කිරීම ප්‍රත්‍යක්‍ෂ විය. අරාබි වෙළෙන්දන් ගෙන් පෝලන්තය ඇතුළු නැෙගනහිර යුරෝපයට ගිය එම දැනුම පෝලන්ත වැසියකු වූ කොපර්නිකස්‌ තමා පූජකවරය ලබාගැනීමට ඉතාලියට ගිය විට රැගෙන ගියේ ය. එහෙත් බටහිරයෝ කොපර්නිකස්‌ පමණක්‌ දැනුමේ පියා බවට පත් කරති.

එහෙත් කොපර්නිකස්‌ට හෝ බටහිර විද්‍යාඥයන්ට හෝ ඒ ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ නො වේ. ඔවුන්ට ඒ සෘජු දැනුමක්‌ නො වේ. ඒ දැනුම ඔවුන් ගේ මනස්‌ ඉදිරිපිට නැත. එහෙත් ඒ දැනුම සෘෂිවරුන් ගේ මනස්‌ ඉදිරිපිට සෘජු ව ම වෙයි. පුටුව හෝ දෙවියන් හෝ සෘෂිවරුන් ගේ හිරු වටා පොළොවෙහි චලිතය හෝ සෘජු දැනුම් වන්නේ ඒවාට සංකල්ප නොමැති නිසා නො වේ. සංකල්පවලින් තොර වූ දැනුමක්‌ පෘථග්ජනයන්ට නැත. සංකල්පවලට වචන අවශ්‍ය ම නො වේ. භාෂාවක්‌ නො දන්නා ළදරුවන්ට පමණක්‌ නො ව සතුන්ට ද දෙවියන්ට ද අමනුෂ්‍යයන්ට ද සංකල්ප ඇත. සංකල්පයක්‌ ඇතැම් විට චිත්ත රූපයක්‌ විය හැකි ය. 

ප්‍රත්‍යක්‌ෂවල දී සංකල්ප යොදාගැනෙයි. එහෙත් ඉන් ඔබ්බට යන දැනුමක්‌ නැත. ප්‍රත්‍යක්‌ෂ නො වන දැනුම එසේ නො වේ. ඒ උපකල්පන ය, එසේත් නැත්නම් හිතළු ය. එසේත් නැත්නම් ඉතිහාසය වැනි දැනුමකි. ඒ දැනුම් ඇතැම් විට මනසෙන් (සිතෙන්) මවාගත හැකි ය. තවත් දේ හිතෙන් වත් මවාගත නො හැකි ය. උපකල්පන හා හිතළු ප්‍රත්‍යක්‌ෂ නො වන බව ප්‍රත්‍යක්‌ෂවලට සිනාසෙන අමරතුංග මහතාට වුවත් වැටහෙනු නො අනුමාන ය. එහෙත් ඉතිහාසය පිළිබඳ දැනුම ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? ගැමුණු රජු අප බොහෝ දෙනකු ගේ වීරයා වුව ද එතුමා පිළිබඳ දැනුම ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. ඒ දැනුම ජනප්‍රවාදයෙහි මෙන් ම පොතපතෙහි ද සඳහන් ය. කෙසේ වුවත් එතුමා විසින් කරවන ලද බව පැවසෙන රුවැන්වැලි සෑය, මිරිසවැටිය ආදිය ප්‍රත්‍යක්‌ෂ දැනුම් වෙයි. 

මෙහි දී ඒ ප්‍රත්‍යක්‌ෂ දැනුම් ගැන සඳහනක්‌ කළ යුතු ය. අප අනුරාධපුරයට ගොස්‌ ඒ චෛත්‍ය දැක බලාගෙන වැඳ පුදාගන්නේ නම් එවිට ඒ වර්තමානයෙහි වූ ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ වෙයි. ඒ ප්‍රත්‍යක්‌ෂ දැනුම පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් (සමගින්) මනස විසින් නිර්මාණය කෙරෙයි. එය සෘජු දැනුමකි. දැන් අප ගෙදර ගොස්‌ ඒ චෛත්‍ය සිතෙන් මවාගන්නා විට අපට ඇත්තේ මනසෙන් පමණක්‌ ගන්නා දැනුමකි. එය ද ප්‍රත්‍යක්‍ෂයකි. එය වෙනත් දැනුමක්‌ නොමැති ව සිතෙන් මවාගත හැකි ය. එය සෘජු දැනුමකි. එමෙන් ම එය වර්තමානයෙහි පවත්නා දැනුමකි. 

එහෙත් ගැමුණු රජු පිළිබඳ දැනුම එසේ වූ ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. අපට ගැමුණු රජු සිතෙන් මවාගත හැකි ය. එහෙත් ඒ අප කිසි දිනෙක දැක ඇති ගැමුණු රජ කෙනකු නො වේ. ගැමුණු රජු සිතෙන් මවාගැනීම හා මිරිසවැටිය සිතෙන් මවාගැනීම අතර වෙනසක්‌ වෙයි. අප මිරිසවැටිය සිතෙන් මවාගන්නේ ඒ ඇසෙන් දැකීමෙන් පසුව ය. එහෙත් අප ගැමුණු රජු සිතෙන් මවාගන්නේ එතුමා දැකීමෙන් පසුව නො වේ. පළමුවැන්න ප්‍රත්‍යක්‌ෂයකි. දෙවැන්න ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. 

එසේ නම් අපට ගැමුණු රජු ගැන දැනුමක්‌ ලැබෙන්නේ කෙසේ ද? අපි ජනප්‍රවාදයෙහි ඇති දැනුම, මහාවංසය වැනි පොතපතෙහි ඇති දැනුම හා අපට පෙනෙන්නට ඇති චෛත්‍ය වැනි වස්‌තු සමග එකට ගනිමු. මිරිසවැටිය අපට දක්‌නට හැකි ය. එය ඉදි කරවනු ලැබුවේ කවුරුන් විසින් ද? ඒ ප්‍රශ්නයට අපට පිළිතුරක්‌ වෙයි. පොතපතෙහි ඇති දැනුම හා ජනප්‍රවාදයෙහි ඇති දැනුම අනුව ඒ ගැමුණු රජු විසිනි. ඒ දැනුම් සංගත වෙයි. පොතෙහි සඳහන් වන්නේ මිරිසවැටිය ගැමුණු රජතුමා විසින් කරවන ලද බව ය. ඉතිහාසය පිළිබඳ අපට ඇත්තේ එවැනි සංගත දැනුම් ය. ගැමුණු රජු පිළිබඳ දැනුම පට්‌ටපල් බොරුවක්‌ නො වේ. එසේ වුවත් එය ද මුසාවකි. ඒ බුදුදහම අනුව පුද්ගලයකු නැති බැවිනි. අප විසින් වෙනත් පුද්ගලයෝ ද මවනු ලැබෙති. බුදුදහමට අනුව මිරිසවැටිය යනුවෙන් ඊනියා වාස්‌තවික චෛත්‍යයක්‌ ද නැත. එය ද මුසාවකි. 

බටහිර විද්‍යාවෙහි ඇත්තේ වෙනත් ආකාරයක දැනුමකි. එහි දී අපට පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඇත. මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පළමුවෙන් ම බටහිර විද්‍යාඥයන් විසින් සාධාරණීකරණයට ලක්‌ කෙරෙයි. සාධාරණීකරණය වූ දැනුම වියුක්‌ත දැනුමකි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. කිසිවකුට යම් කරුණක්‌ සම්බන්ධයෙන් සියලු නිරීක්‌ෂණ කළ නො හැකි ය. සියලු බටහිර විද්‍යාඥයන් එකතු වුවත් ඒ කළ හැකි නො වේ. සියලු කපුටන් නිරික්‌ෂණය කර ඔවුන් ගේ පාට පිළිබඳ යමක්‌ කිව නො හැකිය. බටහිර විද්‍යාඥයන් කරන්නේ නිරීක්‌ෂණ කිහිපයකින් සියලු කපුටන් කළු පාට යෑයි උද්ගමනය කිරීම ය. එය වියුක්‌ත ය. සියලු කපුටන් යන්න ම වියුක්‌ත සංකල්පයකි. ඒ මනසෙන් (සිතෙන්) මවාගත නො හැකි ය. අමරතුංග මහතාට එසේ කළ හැකි දැයි නො දනිමි. 

සමස්‌ත ගහණය නිරික්‌ෂණය නො කර නියෑදි කිහිපයක්‌ පමණක්‌ නිරීක්‌ෂණය කර වියුක්‌ත උද්ගමනය ප්‍රකාශ කළ පසු ඒ නියෑදි විසින් සමස්‌ත ගහණය නිරූපණය කෙරෙන්නේ ද යන ප්‍රශ්නය පැනනගී. ඒ සඳහා බටහිර විද්‍යාඥයෝ බටහිර සංඛ්‍යානය යොදාගනිති. එහි දී විවිධ පරීක්‌ෂණ යොදාගනිමින් යම් සම්භාවිතාවකට යටත් ව ඒ නියෑදි මගින් සමස්‌ත ගහණය නිරූපණය කෙරෙන බව පැවසෙයි. මෙය පට්‌ටපල් බොරුවලට ඊනියා වැදගත්කමක්‌ දීමේ ක්‍රමයකි. 

උද්ගමනයෙන් ලබාගන්නා වියුක්‌ත දැනුම තේරුම්ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඊළඟට පැනනගී. වියුක්‌ත දැනුම සංයුක්‌ත දැනුමෙන් තේරුම්ගත හැකි නො වේ. බටහිර භෞතික විද්‍යාඥයකු හා දාර්ශනිකයකු වූ අර්නස්‌ට්‌ මාක්‌ වරද්දාගත්තේ මෙහි දී ය. ඔහු කියා සිටියේ බටහිර භෞතික විද්‍යාවෙහි වියුක්‌ත සංකල්ප හා වියුක්‌ත ප්‍රවාද යොදා නො ගත යුතු බව ය. එහෙත් වියුක්‌ත උද්ගමන සංයුක්‌ත ව තේරුම්ගැනීමට නොහැකි බව ඔහු වටහා නො ගත්තේ ය. 

බටහිර විද්‍යාවෙහි වියුක්‌ත උද්ගමන නිර්මාණය කිරීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ වියුක්‌ත හිතළු (අනුමිනිත) ඉදිරිපත් කරති. ඉන්පසු ඒ වියුක්‌ත හිතළුවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් වියුක්‌ත නිගමනවලට පැමිණෙති. ඔවුහු ඒ වියුක්‌ත නිගමන සංයුක්‌ත නිරීක්‍ෂණ සමග සන්සන්දනය කර වඩා සාර්ථක හිතළුව (එනම් සංයුක්‌ත නිරීක්‍ෂණ සමග වඩා ගැලපෙන) ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කරති. මෙය කෙතරම් දුරට ඊනියා සත්‍යය හෙළිදරවු කරන්නේ ද? බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද බවට පත් වන හිතළු පට්‌ටපල් බොරු වෙයි. ඒ වියුක්‌ත ය. අඩු ම තරමෙන් සිතෙන් මවාගැනීමට වත් නො හැකි ය. බටහිර විද්‍යාවේ බංකොළොත් දර්ශනයට අනුව අප තෝරාගත යුත්තේ වඩා සාර්ථක පට්‌ටපල් බොරුව ය.


නලින් ද සිල්වා

2015-01-07

Wednesday, 31 December 2014

පරමාණු හා අණු


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා එක්‌ දිනක්‌ ලියන දේ පසුව ලියන ලිපියකින් නිශේධ කරයි. ඇතැම් විට එක ම ලිපියෙහි එක ම ඡේදයෙහි ඔහු කියන්නේ පරස්‌පර විරෝධී කරුණු ය. ඔහු ගේ පරස්‌පර පාඨකයනට දැනගැනීමට සැලැස්‌වීමට නම් ඔහු ගේ ලිපිවල කොටස්‌ දීර්ඝ වශයෙන් උපුටා දැක්‌වීමට සිදු වෙයි. ඒ ගැන මට කරන්නට දෙයක්‌ නැත. ඔහු දෙසැම්බර් 03 වැනි දා ලිපියෙහි එක ම ඡේදයක මෙසේ කීවේ ය. (එහෙත් මම එය ඡේද දෙකක්‌ ලෙස උපුටා දක්‌වන්නේ පාඨකයා ගේ පහසුව සඳහා ය.)

"අවශ්‍ය නම් සමාජ විද්‍යාව උදාහරණයක්‌ ලෙස ගෙන ප්‍රශ්නය පටන්ගත හැක්‌කේ කෙසේ දැයි එම ලිපියේ සඳහන් කළෙමි. සමාජීය ක්‍රියාකාරකම් සිදු වන්නේ මිනිසා ගේ මොළයේ ස්‌නායු තුළ සිදු වන ක්‍ෂුද්‍ර භෞතික (Micro Physics) ක්‍රියාවලියක්‌ ලෙස බව පෙන්වා දුන්නෙමි. මේ සියල්ල සඳහා මතවාදය සැම විද්‍යාවක්‌ ම ආවරණය වන පරිදි නිර්මාණය කළ යුතු බව විද්‍යාඥයෝ වටහා ගත් හ. එකිනෙකා අතර සිදු වන ක්‍රියාවන් පවා සිදු වන්නේ මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියා නිසා බව පෙන්වා දිය හැකි බව ඔවුහු වටහා ගත් හ. 

එහෙත් ඉහත සඳහන් අන්දමට මොළයේ ක්‍රියාදාමයන් ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ බවට ඌන (Reduction) කිරීම කළ හැකි දෙයක්‌ දැයි ප්‍රශ්නයක්‌ පැනනගී. සියලු විද්‍යාවන් ආවරණය වන පරිදි එක ම මතවාදයක්‌ නිර්මාණය කළ හැකි ද? මනෝ විඥානය ජීව විද්‍යාවට අයත් වන්නකි. එය ක්‍ෂුද්‍ර විද්‍යාවක්‌ දක්‌වා ඌනනය කළ හැකි දැයි දාර්ශනික ප්‍රශ්නයක්‌ පැනනැගීම වළක්‌වා ලිය නොහැකි ය. අප ගේ සිතුම් පැතුම් රසායනික හෝ භෞතික හෝ ප්‍රතික්‍රියාවකට ඌන කළ හැකි ද?"

මෙහි පළමු කොටසෙන් කියෑවෙන්නේ සමාජයීය ක්‍රියාකාරකම් මිනිසා ගේ මොළයේ ස්‌නායුවල සිදු වන ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ නිසා සිදු වන බව අමරතුංග මහතා පෙන්වා දී ඇති බව ය. ඔහු එසේ කර ඇත්නම් එමගින් ඔහු විද්‍යාවට නව ප්‍රදානයක්‌ කර ඇත. එහෙත් ඔහු එසේ කර නැත. ඔහු කරන්නේ ඉංගිරිසියෙන් බටහිරයන් ලියා ඇති කරුණු ඔහුට තේරෙන ආකාරයකට සිංහලෙන් ලිවීම පමණ ය. ඔහු එහි දී උපයෝගී කරගන්නා පොත්පත්වල නම් වත් ඔහු සඳහන් නො කරයි. ඒ කෙසේ වෙතත් ඔහු පළමු කොටසෙන් කීමට තැත් කරන්නේ මිනිසුන් එකිනෙකා අතර ඇති වන ක්‍රියා පවා මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියා නිසා බව පෙන්වා දීමට හැකි යෑයි බටහිර විද්‍යාඥයන් දැන සිටි බව ය. අමරතුංග මහතා කියන පරිදි එකිනෙකා අතර සිදු වන ක්‍රියා ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ ලෙස පෙන්වා දිය හැකි ය. 

මෙය ඌනිතවාදය මිස අනෙකක්‌ නො වේ. අමරතුංග මහතා කියන ආකාරයට බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාදාමයන් හා මිනිසුන් එකිනෙකා අතර සිදු වන ක්‍රියාකාරකම් ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවට ඌනනය කළ හැකි ය. අපි අමරතුංග මහතා ම දක්‌වන බටහිර විද්‍යාඥයන් ගේ අදහස්‌ අනුව ඌනනය කිරීම යනු කුමක්‌ දැයි පසුව සාකච්ඡා කරමු. එහෙත් එයට පළමුව අමරතුංග මහතා ඉහත සඳහන් දෙවැනි කොටසෙන් කියන්නේ කුමක්‌ ද යන්න පැහැදිලි කර ගැනීමට උත්සාහ දරමු. 

ඔහු දැන් පළමු කොටසෙන් (ඔහු ගේ ලිපියෙහි එක ම ඡේදයෙහි) කී දෙය ප්‍රශ්න කරයි. පළමු කොටස ලියා ඇත්තේ සැකයට බඳුන් කර නො වේ. පළමු කොටසෙන් නිශ්චිතව කියන්නේ මොළයේ ක්‍රියාදාමයන් හා ඒ නිසා මිනිසුන් අතර සිදු වන ක්‍රියා ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියකට, එබැවින් ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවකට ඌනනය කළ හැකි බව ය. ඔහු ඒ බව නිශ්චිත ව කියයි. එහෙත් දෙවැනි කොටසෙන් ඔහු එසේ කළ හැකි ද යන ප්‍රශ්නය පැනනගින බව පවසයි. 

තමන් නිශ්චිත ව පැවසු දෙයක්‌ එසැණින් ම ඒ නිවැරැදි දැයි ප්‍රශ්න කරන්නේ කෙසේ ද? එක්‌කෝ අමරතුංග මහතාට තමන් කියවා ඇති පොතපත තේරුම්ගැනීමට නො හැකි ය. එසේත් නොමැති නම් ඔහුට පැහැදිලිව නිරවුල්ව අදහස්‌ ප්‍රකාශ කළ නො හැකි ය. එසේත් නොමැති නම් ඒ දෙක ම ය. අමරතුංග මහතා ගේ මනස පිළිබඳ ප්‍රශ්න පැනනගියි. අමරතුංග මහතා ගේ මනසෙහි ක්‍රියාකාරිත්වය කිසිවකට ඌනනය කළ හැකි ද?

කෙසේ වෙතත් බටහිර ජෛවීය විද්‍යාවන් හදාරා බටහිර භෞතික විද්‍යාව ගැන මහදැනමුත්තකු ලෙස ලියන අමරතුංග මහතා මනෝ විඥානය බටහිර ජීව විද්‍යාවට අයත් බව ඉහත සඳහන් දෙවැනි කොටසෙන් කියයි. අමරතුංග මහතා ජීව විද්‍යාව යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ ද? මනෝ විඥානය ගැන සාකච්ඡා කළ යුතු වන්නේ බටහිර විද්‍යාවන්ට අනුව නම් බටහිර මනෝ විද්‍යාවෙහි ය. එසේත් නැත්නම් මානසික විද්‍යාවෙහි ය. එසේත් නැතිනම් මනෝ විශ්ලේෂණයෙහි ය. මනෝ විද්‍යාව හෝ මානසික විද්‍යාව හෝ මනෝ විශ්ලේෂණය හෝ සාමාන්‍යයෙන් බටහිර විද්‍යා පීඨවල ඉගැන්වෙයි. ඒවා බටහිර වර්ගීකරණයට අනුව ඉගැන්වෙන්නේ මානව ශාස්‌ත්‍ර හෝ සමාජ විද්‍යා පීඨවල දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යයනංශයෙහි ය. නැත හොත් බටහිර වෛද්‍ය පීඨවල මානසික රෝග පිළිබඳ අධ්‍යයනංශවල ය. මනෝ විශ්ලේෂණය (ෆේ‍රdයිඩ් ගේ මනෝ විශ්ලේෂණය ද ඇතුළුව) බටහිර විද්‍යාවක්‌ ද යන ප්‍රශ්නය ඇතැම් බටහිර විද්‍යාඥයෝ ම නගති. 

මනෝ විඥානය බටහිර ජීව විද්‍යාවට අයත් බව පැවසීමෙන් අමරතුංග මහතා එක්‌ අතකින් මනෝ විද්‍යාව ජීව විද්‍යාවට ඌනනය කරයි. ඒ ඔහු ඌනනය කිරීම පිළිබඳව ප්‍රශ්න කරන අතර ය. අමරතුංග මහතා ගේ අසංගතභාවය එබඳු ය. ඔහුට පැහැදිලි ව සිතිය හැකි නම් ඔහු මෙබඳු වාක්‍ය එක ම ඡේදයක තබා ලිපි රාශියක වත් නො ලියනු ඇත. කෙසේ වෙතත් අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් ගේ මත පුනරුච්චාරණය කරමින් ඌනනය යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි විමසා බලමු.

"ඌනනය කිරීම යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ දැයි සලකා බැලිය යුතු ය. අර්නස්‌ට්‌ නයිජෙල් (Ernest Nigel) නමැති විද්‍යා දාර්ශනිකයා ස්‌වසිද්ධි මූලික අවබෝධය තුළ සිතා බලමින් කියා සිටියේ ඌනනය වූ මතවාදයක ස්‌වසිද්ධි භාවිත කොට ඌනනය කරන්නා වූ මතවාදයක ස්‌වසිද්ධි ලබාගත හැකි නම් එම මතවාදය විසින් අනෙක ඌනනය කෙරෙන බවයි.

මේ අදහස භාවිත කරගනිමින් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව දක්‌වා ඌනනය කිරීමට ද ඒ ලෙස ම මනෝ විද්‍යාව ස්‌නායු පිළිබඳ විද්‍යාව දක්‌වා ඌනනය කිරීමට ද විද්‍යා දාර්ශනිකයන්ට අවශ්‍ය විය. එහෙත් ප්‍රශ්නය වූයේ ජීව විද්‍යාවේ භාවිත වන වචන මාලාව භෞතික විද්‍යාවේ වචන මාලාවක්‌ සමඟ සම්බන්ධ කිරීමේ දී පාවිචිචි කළ හැකි මූලධර්මයක්‌ සොයාගැනීම උගහට වීම ය. උදාහරණයක්‌ ලෙස ජාන (genes) පිළිබඳ වචන මාලා සහ රසායනික විද්‍යාවේ වචන මාලා විසින් අණුව (molecule) වර්ගීකරණය කෙරෙන්නේ එක ම අන්දමකට හෝ සම්බන්ධ කිරීමට හැකි අන්දමකට හෝ නො වේ. මේ නිසා ඌනනය කිරීම දාර්ශනික ඇසින් බලන විට ලෙහෙසි දෙයක්‌ නො වන බව පෙනෙන්නට ඇත. මේ නිසා සියල්ල සඳහා එක්‌ මතවාදයක්‌ නිර්මාණය කිරීම කළ නොහැකි දෙයක්‌ බව සමහර දාර්ශනිකයන් ගේ අදහස විය. කරුණු මෙසේ හෙයින් අර්ථ විචාර අවබෝධය (sementic conception) විසින් ඉදිරිපත් කෙරෙන මතවාදය යනු ආකෘති එකතුවක්‌ (theory is a collection of models) යන සංකල්පය සැම විට ම අදාළ නො වන බව සමහරුන් ගේ අදහස විය. උදාහරණයක්‌ ලෙස ඔවුන් පෙන්වා දුන්නේ විද්වත් අයිසෙක්‌ නිවුටන් ගේ චලිතය පිළිබඳ දෙවැනි න්‍යාය සැම විට අදාළ නො වන බව ය. ආකෘති අදාළ වන්නේ යම් කිසි පිළිවෙළක්‌ පවතින අවස්‌ථාවල දී පමණක්‌ බව ය. කුලුනක මුදුනේ සිට මුදල් නෝට්‌ටුවක්‌ අතහැරිය හොත් එය වැටෙන්නේ නිවුටන් ගේ ඉහත සඳහන් න්‍යායට අනුව නො වන බව ඔවුහු පවසති. අභ්‍යවකාශ වස්‌තුන් ගේ හෝ ලම්බනයේ (pendulum) හෝ චලනය එම න්‍යායට අනුව සිදු වනවා වන්නට පුළුවන. එහෙත් සැම විට එම න්‍යාය භාවිත කළ නොහැකි බව ඔවුන් ගේ අදහස විය."

මෙහි ඌනනය සම්බන්ධයෙන් අමරතුංග මහතා කියන අදහස මුළුමනින් ම වැරැදි ය. එය ඔහු ගේ පරිවර්තනයෙහි දෝෂයක්‌ බව පැහැදිලි ය. ඌනනය වූ මතවාදයක (මේ කුමක්‌ දැයි පැහැදිලි නැති වුවත් ඒ යම් ක්‍ෂෙත්‍රයක ප්‍රවාද ඇතුළු දැනුම් පද්ධතිය ලෙස සලකමු) ස්‌වසිද්ධිවලින් ඌනනය කරන්නා වූ මතවාදයක ස්‌වසිද්ධි ලබාගත හැකි නො වේ. එහි දී සිදු වන්නේ අනෙක්‌ පැත්ත ය. එයත් ස්‌වසිද්ධිවලින් ස්‌වසිද්ධි ලබාගැනීම නො වේ. අමරතුංග මහතා පසුව සඳහන් කරන වචන (මාලා) පිළිබඳ ප්‍රශ්නය බටහිර දාර්ශනිකයන්ට ඇති වී තිබෙන්නේ මේ ස්‌වසිද්ධිවලින් ස්‌වසිද්ධි ලබාගන්නේ ය යන වැරැදි මතයෙහි ඔවුන් පිහිටා ඇති බැවිනි. එහි වරද නම් අමරතුංග මහතාට පැටවිය නො හැකි ය. වචන මාලා යනුවෙන් අමරතුංග මහතා සඳහන් කරන්නේ සංකල්ප යෑයි මම සිතමි. එය ඔහු දක්‌වන උදාහරණවලින් ද ගම්‍ය වෙයි. 

ජාන පිළිබඳ වචන මාලා හා රසායන විද්‍යාවේ වචන මාලා (සංකල්ප) යොදාගෙන අණුව වර්ගීකරණය කෙරෙන්නේ එක ම අන්දමකට හෝ සම්බන්ධ කිරීමට හැකි අන්දමකට හෝ නො වේ යෑයි යන්නෙන් අමරතුංග මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි නැත. එහෙත් වචන මාලා යනු සංකල්ප යෑයි ගත හැකි ය. මෙහි වර්ගීකරණය යනු කුමක්‌ ද? අමරතුංග මහතා මේ භවයේ දී නම් වචන භාවිතය පිළිබඳ සැලකිල්ලක්‌ දැක්‌වීමට යොමු නො වන බව පැහැදිලි ය. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාවේ එක්‌ ක්‍ෂෙත්‍රයක දැනුම ප්‍රවාද කිහිපයකින් ලබාගත හැකි ය. මේ ප්‍රවාද ගොඩනැගී ඇත්තේ ඒ ක්‍ෂෙත්‍රයට සීමා වූ එසේත් නැත්නම් අනන්‍ය වු සංකල්ප පදනම් කරගනිමිනි. රසායන විද්‍යාවේ මූලික සංකල්පය අණුව ය. ඒ විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙනුයේ අණු සම්බන්ධ වීම, වෙන් වීම ආදිය ය. ඒ පිළිබඳ ප්‍රවාද රසායන විද්‍යාවෙහි නිර්මාණය කෙරී ඇත. 

අණුවක්‌ පරමාණුවලින් සෑදෙන බව රසායන විද්‍යාවෙහි දී කියෑවෙයි. එහෙත් අණු එකතු වීමේ දී එසේ වන්නේ පරමාණු ලෙස නො වේ. පරමාණුවක ඇතැයි කියන ඉලෙක්‌ට්‍රොaන විවිධාකාරයෙන් බෙදා හදාගැනීමක්‌ එහි දී සිදු වෙයි. එසේ බෙදා හදාගැනීමෙන් පසු පරමාණුවක්‌ නැත. ඇත්තේ අණුවකි. අණුව බටහිර රසායන විද්‍යාවේ නිර්මාණයකි. පරමාණුව බටහිර භෞතික නිර්මාණයකි. අණු පිළිබඳ දැනුම ගොඩනගාගැනීමේ දී යොදාගෙන ඇති සංකල්පවලින් හා ප්‍රවාදවලින් විස්‌තර කළ නො හැකි ය. බටහිර දාර්ශනිකයන් සඳහන් කරන්නේ යෑයි කියන ඊනියා වචන මාලා ගැටලුව පැනනගින්නේ එලෙස ය. එයින් කියෑවෙන්නේ ආරම්භයේ දී ම ඌනිතවාදයෙහි ප්‍රශ්න ඇති බව ය. 

මතවාදයක්‌ යනු ආකෘතික එකතුවක්‌ ය යන්න ගැන අපි සඳහන් කර ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණය පිළිබඳ කතාවෙහි අමරතුංග මහතා කියවා ඇති පොතෙහි කතුවරයා නිවුටන්ට අසාධාරණයක්‌ කරයි. නිවුටන් ගේ චලිතය පිළිබඳ දෙවැනි නියමය ඔහු ගේ නිර්මාණයක්‌ බවත් එය ද පට්‌ටපල් බොරුවක්‌ බවත් පැහැදිලි ය. එහෙත් කුලුනක්‌ මුදුනේ සිට අතහරින ලද මුදල් නෝට්‌ටුවක්‌ වැටෙන්නේ නිවුටන් ගේ දෙවැනි නියමය අනුව නො වේ යෑයි කිව නො හැකි ය. එහි දී සිදු වන්නේ නිවුටන් කියන පරිදි හෝ ඔහු ගේ අනුගාමිකයන් පසුව කියා ඇති පරිදි හෝ ඊනියා ගුරුත්වාකර්ෂණ බලයට අමතරව වායු ප්‍රතිරෝධය නිසා ඇති වන බලය ආදිය යෙදීම ය.


නලින් ද සිල්වා

2014-12-31

Wednesday, 24 December 2014

අමරතුංග මහතා විවාදයෙන් පැන යැම


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවකි යන මැයෙන් කරගෙන ආ විවාදයෙන් පැන ගොස්‌ ඇත. ඒ මහතා පසුගිය දෙසැම්බර් 17 වැනි දා ලිපියෙන් ඒ බව පැහැදිලි ව ම කියයි. "විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසූ ආචාර්ය නලින් ද සිල්වා මහතාට ඒ බව ඔප්පු කරන්නට බැරි බව මම පෙන්වා දුන්නෙමි. තව ද සාපේක්‍ෂතාවාදය පිළිබඳව පවා මූලික අවබෝධයක්‌ ඔහුට නැති බව ද පෙන්වා දුන්නෙමි. කරගන්නට දෙයක්‌ නො තිබුණු ඔහු අවසානයේ විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට තැත් කළේ බුදුදහමේ එන ද්වියතානුqපස්‌සනා සූත්‍රය විකෘති කොට දක්‌වමිනි. ඔහු එතැනට තල්ලු කිරීම ගැන මට ඇත්තේ ඉමහත් සතුටකි. ඒ, ඔහු වැනි බහුභූතවාදීන් ගෙන් විද්‍යාව බේරාගත යුතු නිසා ය. ඒ කාර්යය සිදු කිරීමෙන් පසු මම විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යන මාතෘකාව අළලා ලිපි ලිවීම නතර කළෙමි. එහෙත් ඔහු කටු අත්තක්‌ මෙන් එල්ලීගෙන මට අපහාස කිරීමේ කාර්යයේ යෙදී සිටින බව පෙනේ. මට කියන්නට ඇත්තේ පැරදීම භාරගෙන වෛරය අඩු කරගෙන වෙන අතක්‌ බලාගන්නට කියා ය. ඔහු ගැන වද නො වී මා ලියන්නට අදහස්‌ කළ ලිපි පෙළ ලියන්නේ විදුසර කර්තෘ මණ්‌ඩලය එසේ කිරීමට මට ආරාධනා කළ නිසා ය. ඔහුට පිළිතුරු සැපයීම නිශ්ඵල කාර්යයක්‌ වන්නේ නැවතත් බුදු දහම විකෘති කොට භාවිත කරන්නට අවසානයේ ඔහු පෙලඹෙන බැවිනි."

ඔහු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ය යන මැයෙන් ලිපි ලිවීම නතර කළ බව පවසයි. එයට හේතුව ලෙස ඔහු දක්‌වන්නේ මට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කිරීමට නොහැකි වූ බවත් මා බුදුදහම විකෘති කරන බවත් ය. එමෙන් ම මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ මූලික අවබෝධයක්‌ පවා නැති බව ඔහු කියයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව මා කියන්නේ බුදුදහම මත පදනම් වෙමිනි. ඒ බුදුදහම විකෘති කිරීමක්‌ නො වේ. මා උපුටා දැක්‌වූ ද්වියතානුපස්‌සනා සූත්‍රයට අනුව පෘථග්ජනයන්ගේ සියලු සංකල්ප අසත්‍ය වෙයි. සාමාන්‍ය සිංහලෙන් කියන්නේ නම් බටහිර විද්‍යාඥයන් ද ඇතුළු සියලු පෘථග්ජනයන් නිර්මාණය කරන සංකල්ප බොරු ය. 

ලංකාවේ එකදු බටහිර විද්‍යාඥයකු වත් නැත. මෙහි ජීවත් වන හා පිටරට ජීවත් වන සියලු ලාංකික විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය පී. එච්. ඩී, ඩී. එස්‌. සී උපාධිධාරීන්, මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, සේවාර්ජිත මහාචාර්යවරුන් විය හැකි ය. එහෙත් ඒ එක්‌ අයකු වත් බටහිර විද්‍යාවට නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ එකතු කර නැත. වැඩි ම වුව හොත් ඔවුන් කර ඇත්තේ බටහිර විද්‍යාවේ ඇති ප්‍රවාදයක්‌ සංශෝධනය කිරීම ය. එහෙත් එසේ කර ඇති අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ය. අති මහත් පිරිස කරන්නේ බටහිර විද්‍යාවේ ඇති දැනුම (ප්‍රවාද සංකල්ප ආදිය) යොදාගෙන පරිධියේ ඇති ඉතා ම සුළු ප්‍රශ්නයක්‌ විසඳීම ය. 

මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ මූලික අවබෝධයක්‌ පවා නැති බව ඔහු කියයි. ඒ බව ඔහු කියන්නේ සාපේක්‍ෂතාවාදය පිළිබඳ ඔහු ගේ නොදැනුම පදනම් කරගනිමිනි. ආතානකයක්‌ (tensor) යනු කුමක්‌ දැයි නො දන්නා අමරතුංග මහතා ඉදිරියේ ආතානක සමීකරණ ලිවීම කාලය නාස්‌ති කිරීමකි. එහෙත් අනෙක්‌ පාඨකයන් ගේ දැනගැනීම සඳහා පැවසිය යුත්තේ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි දැක්‌වෙන මූලික ආතානක සමීකරණ අප විසින් සංශෝධනය කෙරී ඇති බවත් එහි ඇති ඛ යන සංකේතයෙන් නිරූපණය වන විශ්වවේදී නියත පදය යනුවෙන් හැඳින්වෙන පදය සමීකරණයේ අනෙක්‌ පැත්තට ගෙන ගොස්‌ එය විචල්‍යයක්‌ ලෙස සලකා එම පදයෙන් කියෑවෙන්නට නවතම අර්ථකථනයක්‌ දෙනු ලැබ ඇති බවත් ය. 

අප අර්ථකථනය අනුව එකී පදයෙන් නිරූපණය වනුයේ අවකාශ-කාලයේ ශක්‌තිය ය. ඒ ශක්‌තිය බටහිර විද්‍යාවේ අනෙක්‌ ශක්‌තීන් බවට පරිවර්තනය කළ හැකි ය. එමෙන් ම අනෙක්‌ ශක්‌තීන් අවකාශ-කාල ශක්‌තියට පරිවර්තනය කළ හැකි ය. මා ගේ ශිෂ්‍යයෙක්‌ ඒ සංශෝධිත සමීකරණය යොදාගනිමින් හා නව අර්ථකථනය පදනම් කරගනිමින් ඊනියා මහ පිපුරුම වෙනුවට සංවට්‌ට කප්ප විවට්‌ට කප්ප සංකල්පවලට අනුරූපව විශ්වය පිළිබඳ නව ආකෘතියක්‌ ගොඩනැගුවේ ය. ඒ සඳහා ඔහුට කැලණිය විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති (M.Phil.) උපාධියක්‌ පිරිනැමිණි. ඒ නිබන්ධනය පිළිබඳ පරීක්‍ෂකවරුන් වූයේ දන්ත වෛද්‍ය මහාචාර්යවරුන් නො ව භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන් ය. ඔවුහු ආචාර්ය උපාධි සඳහා සාධාරණ සාපේක්‍ෂතාවාදය හැදෑරුවෝ වෙති. ඔවුහු අපේ අර්ථකථනයට අභියෝග නො කළ හ. ඔවුහු මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ දැනුමක්‌ නැතැයි නො කීවෝ ය. කැලණිය විශ්වවිද්‍යාලය විසින් පරීක්‍ෂකවරුන් ලෙස බටහිර විද්‍යාව පිළිබඳ ජනප්‍රිය පොතපත කියවා ඇති දන්ත විද්‍යා මහාචාර්යවරුන් පත් කළේ නම් ඒ ශිෂ්‍යයාට දර්ශනපති උපාධියක්‌ හිමි නො වනු ඇත. කැලණිය විශ්වවිද්‍යාලය පරීක්‌ෂකවරුන් පත් කිරීමේ දී දන්ත විද්‍යා මහාචාර්යවරුන් නො සලකා හැරීමෙන් වරදක්‌ කර ඇත් ද? 

මා ඉහත සඳහන් කරුණ ප්‍රකාශ කළේ මා බටහිර විද්‍යාවේ වැදගත් දැනුමක්‌ සංශෝධනය කර ඇති බවට පුරසාරම් දෙඩීමට නො වේ. එහි පුරසාරම් දෙඩීමට තරම් දෙයක්‌ නැත. මගේ ශිෂ්‍යයා ඒ මත පදනම් වී නිබන්ධනයක්‌ ඉදිරිපත් කළ ද ඒ පට්‌ටපල් බොරුවකි. පට්‌ටපල් බොරු නිර්මාණය කර ඇති බව කීම පුරසාරමක්‌ වන්නේ කෙසේ ද? මා ඒ බව සඳහන් කළේ මා සාපේක්‌ෂතාවාදය නො දන්නා බවට අමරතුංග නම් දන්ත විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්යවරයා කරන ඊනියා කරුණු ඉදිරිපත් කිරීමට පිළිතුරු ලෙස ය. සාපේක්‌ෂතාවාදයේ නො ව දන්ත විද්‍යාවේ වත් අමරතුංග මහතා නව ප්‍රවාදයක්‌ ඉදිරිපත් කළ බවක්‌ හෝ ප්‍රවාදයක්‌ සංශෝධනය කළ බවක්‌ හෝ දැනගැනීමට නැත. 

ගුරුත්වාකර්ෂණය සාධාරණ සාපේක්‌ෂතාවාදයෙන් ප්‍රතික්‍ෂේප වන්නේ කෙසේ දැයි අයින්ස්‌ටයින් විසින් ම පැහැදිලි කෙරී ඇත. ඒ බව මම දි අයිලන්ඩ් පත්‍රයෙන් කියා ඇත්තෙමි. අමරතුංග මහතා ඒ පුවත්පත කියවන බව මම දනිමි. එහෙත් ඔහු එය ප්‍රතික්‌ෂේප නො කළේ ය. මා ඒ පිළිබඳ අයින්ස්‌ටයින් ගේ රොකට්‌ටු චිත්ත පරීක්‌ෂණය මහනුවර දී පවත්වන ලද අදාළ සම්මන්ත්‍රණ දෙකක දී පැහැදිලි කර ඇත. ඒ කතා අන්තර්ජාලයේ ඇත. ඉන් එක්‌ කතාවක්‌ කළේ අමරතුංග මහතා විසින් මහත් ගෞරවයෙන් සලකනු ලබන මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ද සහභාගී වූ සම්මන්ත්‍රණයක දී ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් ඒ පරීක්‌ෂණය වහා ම විදුසර පත්‍රයෙන් ද ඉදිරිපත් කළ හැකි ය. ඒ නැතත් මේ විවාදයේ යම් අවස්‌ථාවක ඒ චිත්ත පරීක්‌ෂණය විස්‌තර කිරීමට මම බලාපොරොත්තු වෙමි. 

අමරතුංග මහතා මහනුවර දී පවත්වන ලද සම්මන්ත්‍රණවලට සහභාගි නො වී වාචික ව කෙරීමට තිබුණු විවාදයෙන් පලා ගියේ ය. දැන් ඔහු ලිත ව කෙරෙන විවාදයෙන් ද පැන ගොස්‌ ය. එහෙත් මම තවමත් ඒ විවාදයෙහි නිරත වෙමි. අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ඊනියා දර්ශනයක්‌ ගැන ලිපි පෙළක්‌ ලියයි. ඔහු එසේ කරන්නේ විදුසර කර්තෘ මණ්‌ඩලයේ ආරාධනයෙන් බව පවසයි. මට එය ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් ඔහු ලියන දේ බටහිර විද්‍යාව වෙනුවෙනි. බටහිර විද්‍යාවේ සත්‍යතාව ගැන අමරතුංග මහතාට යම් යම් ප්‍රශ්න ඇත්තේ ඔහු ගේ ප්‍රබුද්ධ ඥනයකට එය වැටහෙන නිසා නො ව, ඒ බව ඇතැම් බටහිර දාර්ශනිකයන් කියා ඇති බව ඔහු වැරැදියට වුවත් තේරුම් ගෙන ඇති පොතක (පොත්වල) සඳහන් බැවිනි. 

ඔහු සමග මගේ ඇති වෛරයක්‌ නැත. ඔහු සමග කටු අත්තක්‌ හෝ වෙනත් ආකාරයකට හෝ එල්ලීමට මට අවශ්‍ය නත. එහෙත් ඔහු බටහිර විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කරන අන් අය ගේ මත අදහස්‌ විවේචනය කිරිම මේ විවාදයේ කොටසකි. ඔහුට අපහාස කිරීමට මට ඇති අවශ්‍යතාව කුමක්‌ ද? ඔහුට කෙරී ඇති අපහාසය කුමක්‌ ද? ඔහු බටහිර භෞතික විද්‍යාව හා බටහිර ගණිතය නො දන්නා බව පැවසීම ද? එය අපහාසයක්‌ වන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කරන්නේ ද? 

අපේ සියලු පෘථග්ජන සංකල්ප හා ප්‍රවාද බොරු ය. ඒ අතරෙන් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ ඇයි? අනෙක්‌ සියලු බොරු එක්‌කෝ මනස විසින් පමණක්‌ නැත්නම් පංචෙන්ද්‍රිය සමග එක්‌ වී මනස විසින් නිර්මාණය කෙරෙන දැ ය. ඒ සෘජු දැනුමකි. එහි ප්‍රවාද ඇත්නම් ඒ සංයුක්‌ත ප්‍රවාද ය. ඒ ප්‍රවාද ද පංචෙන්ද්‍රිය ගෝචර ය. එහෙත් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත ය. ඒවා මනස විසින් නිර්මාණය කෙරෙන්නේ හිතළු ලෙස ය. එහි ඇත්තේ අනුමිනිත (Guess) පමණකි. ඒ අනුමිනිත ඇතැම් විට සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි. එහෙත් එපමණින් ඒ සත්‍ය නො වේ. 

අනුමිනිතවලින් ඉතා වැඩි සංඛ්‍යාවක්‌ ඉවත දැමෙයි. එහෙත් යම් සාර්ථකත්වයක්‌ පෙන්වන හිතළු ඊනියා ප්‍රවාද ලෙස 

රැකගනු ලැබෙයි. එහෙත් එය ද තාවකාලික ව ය. කල් යැමේ දී වෙනත් හිතළුවක්‌ පළමු හිතළුව වෙනුවට ආදේශ කෙරෙයි. එය ද කල් යැමේ දී ප්‍රතික්‌ෂේප වෙයි. හිතළු හෙවත් අනුමිනිත පට්‌ටපල් බොරු ය. එය සෘජු ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ නො වේ. ප්‍රත්‍යක්‌ෂ යන්නෙහි තේරුම සෘජු ව ම ආයතන හය (මනස ප්‍රධාන ව) විසින් නිර්මාණය කෙරෙන දැනුම ය. එහෙත් බටහිර විද්‍යාවේ දැනුම එලෙස සෘජු දැනුමක්‌ නො වේ. 

බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය කෙරෙන්නේ වක්‍ර ව හිතළු මාර්ගයෙනි. අද අමරතුංග මහතා විසින් උපුටා දැක්‌වෙන බටහිර දාර්ශනිකයන්ට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ මේ හිතළු සාර්ථක වී ඇත්තේ කෙසේ ද යන්න ය. වෙනත් වචනවලින් කිව හොත් පට්‌ටපල් බොරු සාර්ථක වන්නේ කෙසේ ද යන්න ය. අපි අමරතුංග මහතා ගේ ලිපිවලින් උපුටා දක්‌වමින් මෙය තවදුරටත් පසුව සාකච්ඡා කරමු. දැනට කිව යුත්තේ මම ආදී බොරු සංකල්ප ද සාර්ථක ව ඇති බව ය. මම යනුවෙන් පුද්ගලයකු නොමැති බව අපි දනිමු. එය බොරුවකි. එහෙත් ඒ බොරුව සාර්ථක ප්‍රතිඵල ගෙන දෙයි. 

මෙහි දී සාර්ථක යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ ද යන්න ද පැහැදිලි කරගත යුතු ය. අමරතුංග මහතා ගේ බටහිර දාර්ශනිකයන් සාර්ථකත්වය පිළිබඳ කිසිවක්‌ කියා නැද්ද? අමරතුංග මහතා එවැනි ප්‍රශ්නවලට පිළිතුරු නො දී සිටීමට විශාල සම්භාවිතාවක්‌ ඇත. ඒ ඔහු විවාදයෙන් පැන ගොස්‌ ඇති බැවිනි.



නලින් ද සිල්වා

2014-12-24

Wednesday, 10 December 2014

අමරතුංග ගේ ආකෘතිය


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට ලැබී ඇති ජනප්‍රිය ඉංගිරිසි පොත හෝ පොත් හෝ තමන්ට තේරෙන පරිදි උපුටා දැක්‌වීමට ගොස්‌ අමාරුවේ වැටෙන්නේ එහි ඇත්තේ බොහෝ විට ඔහුට කෙසේ වත් නො තේරෙන බටහිර භෞතික විද්‍යාව සම්බන්ධ කරුණු බැවිනි. අමරතුංග මහතා උසස්‌ පෙළ පරීක්‌ෂණයෙන් පසු ඉගෙනගත් භෞතික විද්‍යාවක්‌ නැත. ඔහු කාලෝ ෆොaන්සේකා මෙන් ම බටහිර ගණිතය හා බටහිර භෞතික විද්‍යාව ගැන දනියි. ඒ ජනප්‍රිය පොතපත කියවීමෙනි. එහෙත් ඔවුන් දෙදෙනා ගෙන් එක්‌ අයෙකුට වත් බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ නැත. ඒ අවබෝධය ලබාගැනීමට බටහිර ගණිතය පිළිබඳ අවබෝධයක්‌ අවශ්‍ය වෙයි. එහෙත් ඔවුන්ට ඒ අවබෝධය නැත. මා සමග මුහුණට මුහුණ කරන සංවාදයකට හෝ විවාදයකට එළඹෙන්නේ නම් විනාඩි දහයකින් ඔවුන් ගේ අනවබෝධය හෙළිදරවු කරමි. 

අමරතුංග මහතා තම දෙසැම්බර් 03 ලිපියෙන් අගාධයෙන් අගාධයට යයි. බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යයක්‌ හෝ සත්‍ය කරා ළඟා වීමක්‌ හෝ නැති බව බටහිර දාර්ශනිකයන් ම උපුටා දක්‌වමින් ඔහු පවසයි. දැන් ඔහු කතා කරන්නේ ඊනියා විද්‍යාත්මක යථාර්ථයක්‌ හා විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන ය. ඔහු මෙසේ කියයි. "මතවාදයක්‌ තුළ සම්පූර්ණ සත්‍යතාවක්‌ බලාපොරොත්තු විය නොහැකි බව විද්‍යාත්මක යථාර්ථවාදීහු පිළිගත් හ. ඒ නමුත් එහි කොටස්‌ තුළ වුව ද සත්‍යතාවක්‌ තීබීම සාර්ථකත්වය සහ සත්‍යය සම්බන්ධ කිරීමේ ව්‍යායාමයට ඉතා බලවත් රුකුලක්‌ බව ඔවුන් ගේ අදහස විය. තව ද යම් අවස්‌ථාවල දී සාර්ථකත්වය ර¹ පවතින්නේ තාවකාලිකව ඉන්ද්‍රිය ගෝචර නො වූ ක්‍රියාදාමයන් පිළිබඳව යම් අදහසක්‌ ඇති කරගැනීමේ හැකියාව මත බව ඔවුහු පවසති. මතවාදයක්‌ සම්පූර්ණයෙන් සත්‍ය හෝ අසත්‍ය ලෙස සැලකිය නොහැකි බව ඔවුන් පිළිගන්නා අතර ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් යම් දුරකට පිළිගන්නා අන්දම ඒ ලෙසින් පහදා දීමට ඔවුහු සමත් වූ හ. මෙලෙස විද්‍යාත්මක සත්‍යය (Scientific truth) යන සංකල්පය වෙත ඔවුහු පැමිණිය හ. මේ පිළිබඳව ඉදිරියේ දී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙමි." අපි මේ බංකොලොත් නිගමන ගැන පසුව සාකච්ඡා කරමු. එහෙත් දැනට කිව යුත්තේ බටහිර විද්‍යාවේ ප්‍රවාදවල (අමරතුංග මහතා ගේ ඊනියා මතවාද) සත්‍යයක්‌ නැති බවත් එයින් ඊනියා යථාර්ථයක්‌ පිළිsබිඹු නො වන බවත් බටහිර දාර්ශනිකයන්ට වුව ද පිළිගැනීමට සිදු වී ඇති බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක යථාර්ථයක්‌ හා විද්‍යාත්මක සත්‍යයක්‌ ගැන කියවන්නේ එබැවිනි. 

අපි නැවතත් අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියට අවධානය යොමු කරන්නේ දෙසැම්බර් 03 වැනි දා ලිපියෙහි සඳහන් කරුණු පසුව සැලකිල්ලට ගැනීමේ බලාපොරොත්තුවෙනි. අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. "මෙහි එක්‌ ප්‍රතිඑලයක්‌ වූයේ අර්ථවිචාර අවබෝධය (Semantic Conception) බිහි වීම ය. එම සංකල්පයට අනුව මතවාද (Theory) වනාහි ආකෘති සමූහයක එකමුතුවක්‌ (Collection of Models) ලෙස සැලකේ. මේ ආකෘති ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් සමඟ එකඟ වන්නේ කෙසේ දැයි උපන්‍යාසයකින් (Hypothesis) පහදා දිය යුතු වන්නේ ය. මේ ආකෘති ගණිතමය ස්‌වභාවයක්‌ (Mathematical Structure) ලෙස හෝ භෞතික හැඩයක්‌ ගත් ආකෘතියක්‌ හෝ විය හැකි ය. ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය ගණිතමය ආකෘතියක්‌ ලෙස ඉදිරිපත් වූයේ මේ සංකල්ප බිහි වීමට පෙර වර්ෂ 1905 සහ 1915 දී ය. ජෝන් ඩෝල්ටන් (1766 - 1844 දී) ඔහු ගේ පරමාණුකවාදය භෞතික හැඩයක්‌ ගත් ආකෘතියක්‌ ලෙස ඉදිරිපත් කළේ ඊටත් පෙර ය. මොවුන් ගේ අදහස්‌ සහ නිපැයුම් ඉහත සඳහන් අර්ථවිචාර සංකල්පය වර්ධනය වීමට රුකුලක්‌ වූවාට සැක නැත. මින් ඔප්පු වන්නේ ද විද්‍යාව කඩින් කඩ නො ව අවිච්න්න වර්ධනයක්‌ පෙන්නුම් කරන බව ය. තෝමස්‌ කූන් ගේ සුසමාදර්ශ සංකල්පය ද මින් නිශ්ප්‍රභ කළ හැකි ය."

අමරතුංග මහතා කරුණු ඉදිරිපත් කරන්නේ ඔහු වෙනුවෙන් නම් නො වේ. ඇතැම් විට ඒ ඒ මහතා දැන් කියවන පොතේ ඇති කරුණු අවබෝධයකින් තොර ව ඉදිරිපත් කරනවා විය හැකි ය. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද (අමරතුංග මහතා ගේ ඊනියා මතවාද) යනු ආකෘති එකතුවකි. එයින් කියෑවෙන්නේ කුමක්‌ ද? ප්‍රවාද යනු ආකෘතින්හි එකතුවක්‌ නම් ප්‍රවාද ඊනියා සත්‍ය විය නොහැකි ය. වැඩිම වුව හොත් ප්‍රවාද යනු ඊනියා සත්‍යයෙහි ආකෘතීන් වෙයි. එයින් කියෑවෙනුයේ ඇතැම් බටහිර දාර්ශනිකයන්ට අනුව බටහිර විද්‍යාවෙහි දී කෙරෙනුයේ ඊනියා සත්‍යයට ආකෘති සැපයීම ය. මෙහි දී ප්‍රශ්නයක්‌ වනුයේ තමන් නො දන්නා සත්‍යයක්‌ සඳහා බටහිර විද්‍යාවෙහි ආකෘති තනන බව මේ බටහිර දාර්ශනිකයන් දන්නේ කෙසේ ද යන්න ය. බටහිර විද්‍යාඥයෝ ඊනියා සත්‍යය නො දනිති. එහෙත් ඔවුහු තමන් නො දන්නා සත්‍යයට ආකෘති තනති. ඔවුන් එසේ කරන්නේ කෙසේ ද? 

අද ලංකාවේ ද ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ ඉටි රූප නිර්මාණය කිරීමේ කලාවක්‌ වෙයි. මේ ඉටි රූප නිර්මාණය කරන්නේ අප කවුරුත් පාහේ දන්නා පුද්ගලයන් ගේ ආකෘති ලෙස ය. මෙහි දී ආකෘතියක්‌ නිර්මාණය කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නො න`ගී. එයට හේතුව ආකෘතියෙන් නිරූපණය වන පුද්ගලයා ගැන වැටහීමක්‌ ආකෘතිය නිර්මාණය කරන කලාකරුවාට තිබීම ය. එහෙත් බටහිර විද්‍යාඥයා ආකෘති නිර්මාණය කරන්නේ තමන් නො දන්නා ඊනියා යථාර්ථයක්‌ නිරූපණය කිරීමට ය. එසේ නම් එයට ආකෘති නිර්මාණයක්‌ යෑයි කියන්නේ කෙසේ ද? 

බටහිර විද්‍යාඥයා කරන්නේ අනුමිනිතයක්‌ (Guess) ඉදිරිපත් කිරීම පමණකි. (ඉංගිරිසියෙන් ඉන්ෆරන්ස්‌ - nference - යන්නට යෙදෙන්නේ අනුමානය යන්න ය. ඒ අනුමානය අනුමිනිතය සම`ග පටලවා ගත යුතු නො වේ.) එය හුදු හිතළුවක්‌ පමණකි. බටහිර විද්‍යාඥයෝ යම් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක්‌ තේරුම් කර දීම සඳහා අනුමිනිත, එනම් හිතළු කිහිපයක්‌ ඉදිරිපත් කරති. මේ හිතළු පට්‌ටපල් බොරු ය. ඒ හිතළු පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. බටහිර විද්‍යාඥයෝ තම පට්‌ටපල් බොරු වූ අනුමිනිත ආධාරයෙන් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දීමට උත්සාහ කරති. 

ඔවුන් එහි දී කරන්නේ තම හිතළු ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් යම් නිගමනවලට පැමිණීම ය. ඉන්පසු ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සන්සන්දය කිරීම ය. එහි දී කිසි ම හිතළුවක්‌ ඇසුරෙන් ලබාගන්නා නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම`ග සියයට සියයක්‌ එක`ග නො වන බැවින් බටහිර විද්‍යාඥයෝ බටහිර සංඛ්‍යානය යොදාගනිමින් යම් සම්භාවිතාවකට අනුරූප ව තම හිතළුවලින් එකක්‌ හෝ කිහිපයක්‌ හෝ අදාළ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිය තේරුම් කරන්නේ යෑයි පවසති. 

මේ ආකෘති වත්මන් බටහිර භෞතික විද්‍යාවෙහි දී නම් බොහෝ විට ඉදිරිපත් වන්නේ බටහිර ගණිතය ආධාරයෙනි. එහෙත් ඒ කිසිවක්‌ ගණිතමය ආකෘති නො වේ. අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදයෙහි (විශේෂ මෙන් ම සාධාරණ) බටහිර ගණිතය යොදාගන්නා බව සැබෑ ය. එහෙත් ඒ එකක්‌ වත් ගණිතමය ආකෘති නො වේ. අයින්ස්‌ටයින් ගේ උපකල්පන, හිතළු කිසිසේත් ම ගණිතමය ආකෘති නො වේ. විශේෂ සාපේක්‌ෂතාවාදයෙහි මෙන් ම සාධාරණ සාපේක්‌ෂතාවාදයෙහි ද උපකල්පන හෙවත් ස්‌වසිද්ධි හෙවත් හිතළු ඉදිරිපත් කෙරී ඇත්තේ ගණිතයක්‌ ආධාරයෙන් නො වේ. කෙසේ වෙතත් අයින්ස්‌ටයින් දක්‌ෂ ගණිතඥයෙක්‌ නො වී ය. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයට අවකාශ - කාල සන්තානය (Continuum) මගින් බටහිර ගණිතය එකතු කළේ ඔහු ගේ ගුරුවරයකු වූ මින්කොවිස්‌කි ය. ඔහු ගේ සාධාරණ සාපේක්‌ෂතාවාදයට ගණිතය එකතු කරනු ලැබුයේ ඔහු ගේ ශිෂ්‍යයන් කිහිප දෙනකු විසිනි. 

ඩෝල්ටන් ගේ ආකෘතිය භෞතික හැඩයක්‌ ගත්තේ වී නමුදු එය ද හිතළුවක්‌ පමණකි. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. පරමාණුවක්‌ දැක ඇති, ස්‌පර්ශ කර ඇති, පුද්ගලයෙකු වේ ද? මේ හිතළු, පට්‌ටපල් බොරු ය. එහෙත් පට්‌ටපල් බොරු යොදාගනිමින් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කර දීමට බටහිර විද්‍යාඥයෝ උත්සාහ කරති. මෙහි දී බටහිර විද්‍යාවට පිහිටට එන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ද බොරු වීම ය. මම යන්න මොන තරම් බොරුවක්‌ දැයි සිංහල බෞද්ධයෝ දනිති. එහෙත් මේ බොරු නොමැති ව අපට ජීවත් විය නො හැකි ය. බටහිර විද්‍යාවෙහි දී කෙරෙන්නේ බොරු පට්‌ටපල් බොරුවලින් තේරුම් කිරීම ය. අනෙක්‌ දැනුම් පද්ධතිවල බොරු, බොරුවලින් ම තේරුම් කෙරෙයි. මා දන්නා බුදුදහම දැනුම් පද්ධතියක්‌ නො වේ. එහි දී කෙරෙන්නේ දැනුම් පද්ධතිවලින් ඉවත් වීම ය. 

මේ කිසිවකින් බටහිර විද්‍යාව අවිච්äන්න ව වැඩෙන පද්ධතියක්‌ යෑයි ගම්‍ය නො වේ. අයින්ස්‌ටයින් හා නිවුටන් අතර හෝ ඩෝල්ටන් හා බෝර් අතර හෝ එවැනි අවිච්äන්න සම්බන්ධයක්‌ නැත. එබැවින් අමරතුංග මහතා ඉදිරිපත් කරන කරුණුවලින් කූන් බටහිර විද්‍යාවේ වර්ධනය කඩින් කඩ සුසමාදර්ශ ඔස්‌සේ සිදු වන බවට පළ කර ඇති මතය සාමාන්‍ය සම්මුතිය යටතේ බොරු වන්නේ නැත. බුදුදහමට අනුව නම් කූන් ද කියා ඇත්තේ බොරු ය. එහෙත් සම්මුතියෙහි ඔහු කියා ඇත්තේ බොරුවක්‌ නො වේ. 

කෙසේ වෙතත් බටහිර විද්‍යාඥයන්ට මුහුණපෑමට සිදු වන ප්‍රධාන ම කරුණක්‌ නම් පංචෙන්ද්‍රිය ගෝචර නො වන හිතළු හෙවත් පට්‌ටපල් බොරු යොදාගැනීම ය. බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර නො වන දේ නො පිළිගනිති. ඔවුහු පුනබ්භවය, දෙවියන්, ප්‍රේතයන් විශ්වාස නො කරති. එහෙත් ඔවුන්ට පංචෙන්ද්‍රිය ගෝචර නො වන ගුරුත්වාකර්ෂණය ආදී සංකල්ප, ප්‍රවාද පිළිගැනීමට සිදු වී ඇත. එහි දී ඔවුන් වැටී ඇති අගාධය අමරතුංග මහතා සඳහන් කරන දෙයින්a පැහැදිලි වෙයි. නොවැම්බර් 12 වැනි දා ලිපියෙහි ඔහු මෙසේ කියයි. 

"ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් විද්‍යාව විසින් විග්‍රහ කිරීමේ දී භාෂාව පරිහරණය කිරීමේ ගැටලු මෙසේ සාකච්ඡා වීම දාර්ශනිකයන් අතින් සිදු විය යුතු ය. ඒ ඉතා ම ගැඹුරු ලෙස සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එනමුත් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන්වල වෙනස දාර්ශනිකයන් ගේ අධ්‍යයනයට සැම විට ම භාජන වීම සිදු විය යුතු ක්‍රියාවකි. ගුරුත්වාකර්ෂණය වැනි ක්‍රියාදාමයන් ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එනමුත් එම ක්‍රියාදාමය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්ත භාවිත කිරීම අත්‍යවශ්‍ය ය."

අමරතුංග මහතා තමා කියන්නේ කුමක්‌ දැයි නො දනියි. ඉහත සඳහන් ඡේදයෙහි අවසන් වාක්‍ය දෙකෙන් ඔහු කියන්නේ කුමක්‌ ද? ගුරුත්වාකර්ෂණය සංකල්පයක්‌ ලෙස ගත්ත ද, ප්‍රවාදයක්‌ ලෙස ගත්ත ද පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි භාවිත කිරීම අත්‍යවශ්‍ය යෑයි අමරතුංග මහතා කියන්නේ එක්‌කෝ ඔහු ගේ පොත ඔහු වැරැදියට තේරුම්ගෙන ඇති බැවිනි. එසේත් නැත්නම් පොත වැරැදි බැවිනි. අමරතුංග මහතා තමා උපුටා ගන්නේ කිනම් පොතකින් දැයි කියන්නේ නම් ඒ උහතෝකෝටිකය විස¹ගත හැකි ය. 

එතෙක්‌ මෙහි දි සඳහන් කළ යුත්තේ ගහකින් ගෙඩියක්‌ වැටීම වැනි පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම්ගැනීමට යෑයි කියමින් ගුරුත්වාකර්ෂණය යොදාගැනීම මිස ගුරුත්වාකර්ෂණය පහදා දීම පිණිස එවැනි සංසිද්ධි භාවිත කිරීමක්‌ බටහිර විද්‍යාවෙහි දී සිදු නො වීම ය. අමරතුංග මහතා ගේ අවබෝධය ගැන කියනුම කවරේ ද?



නලින් ද සිල්වා

2014-12-10

Wednesday, 3 December 2014

බටහිර දාර්ශනිකයන් ගේ බංකොළොත් බව


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාට නො තේරෙන දේ ජනප්‍රිය ඉංගිරිසි පොතපතින් කියවා සිංහලෙන් ලිවීමට ගොස්‌ අමාරුවේ වැටී ඇත. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද අමාරුවේ වැටී ඇත්තේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්පවලින් තේරුම්ගන්නේ කෙසේ දැයි විස්‌තර කිරීමේ දී ය. අපි අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් ම දීර්ඝ වශයෙන් උපුටා දක්‌වමු. එසේ දීර්ඝ වශයෙන් උපුටා නො දක්‌වා බටහිර විද්‍යා දාර්ශනිකයන් ගේ අවුල තේරුම්ගැනීමට නොහැකි බැවිනි.

කරුණු මෙසේ හෙයින් වර්තමානයේ සමහර විද්‍යා දාර්ශනිකයෝ විද්‍යාත්මක මතවාදයේ ස්‌වභාවය (The Structure of Scientific Theory) පැත්තකට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් එම ප්‍රශ්නය තර්කානුකූල ආනුqභූතිකවාදීන්ට ඉතා වැදගත් වූ බව අප මීට ඉහත දී සඳහන් කොට ඇත. ඔවුන් මතවාදය (Theory) කුමක්‌ දැයි නිර්වචනය කරගෙන තිබිණි. ඊට අනුව මතවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශන (Axiomatic Statements) සහ ඒවායෙන් ලැබෙන නිගාමි එලය (Deductive Consequence) වන්නේ ය. මේ නිර්වචනයට අනුව සාපේක්‌ෂතාවාදය ස්‌වසිද්ධිමූලක (axiomatize) බව පෙන්වා දීමට ඔවුහු සමත් වූ හ. මෙවැනි ක්‍රියාවන් නිශ්එල ක්‍රියාවක්‌ ලෙස සැලකිය නොහැකි ය. ප්‍රායෝගික වූ විද්‍යාව තේරුමක්‌ නැති දාර්ශනික සාකච්ඡාවලින් වෙන් කිරීම පිණිස එවැනි ක්‍රියාවන් වැදගත් වන නිසා ය. මේ සඳහා ඥානාත්මක අර්ථාන්විතභාවය (Cognitive Significance) තහවුරු කිරීම පිණිස නිශ්චිත නිර්ණායක (Precise Criterion) අවශ්‍ය විය. මෙවැනි නිර්ණායක නිර්මාණය කිරීමේ දී භාවිත වන විශේෂ වූ භාෂාව සහ වචන මාලා විද්‍යාත්මක මතවාද පහදා දීම සඳහා සුදුසු දැයි ප්‍රශ්නයක්‌ මතු විය. මේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය බව තර්කානුකූල ආනුභූතිකවාදීහු වටහාගත් හ.

ඊට පිළිතුරු වශයෙන් ඔවුහු භාෂා දෙවර්ගයක්‌ හඳුනාගත් හ. එකක්‌ ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ විස්‌තර කිරීම සඳහා ද, අනෙක එසේ නො වන මතවාද සඳහා ද සුදුසු ය යන්න ඔවුන් ගේ අදහස විය. මෙලෙස Observational Language සහ ඔTheoretical Language වශයෙන් භාෂා දෙවර්ගයක්‌ හඳුනා ගැනිණ.

ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ සහ එසේ නො වන මතවාද අතර ඇති වෙනස මෙලෙස ප්‍රශ්නයක්‌ බවට පත් විය. එම ප්‍රශ්නය භාෂා භාවිතය සහ වචනමාලා සම්පාදනය දක්‌වා වර්ධනය වීම එහි බැරෑරුම්කම විදහා දක්‌වයි. එනමුත් සමහර දාර්ශනිකයන් පැවසුවේ මේ ප්‍රශ්නය භාෂාව මත බලපෑමක්‌ ඇති නො කළ යුතු බව ය. ඔවුන් පැවසුවේ සමහර අවස්‌ථාවල මෙවැනි භාෂාත්මක වෙනසක්‌ දැකිය නොහැකි බව ය. ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ විස්‌තර කිරීමේ දී සමහර අවස්‌ථාවල දී මතවාදාත්මක භාෂාව (Theoretical Language) භාවිත වන බවත් එලෙස ම ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාදාමයන් විස්‌තර කිරීමේ දී නිරීක්‌ෂණ භාෂාව (Observational Language) භාවිත වන බවත් උදාහරණ සහිත ව ඔවුහු පෙන්වා දුන් හ. එක්‌ උදාහරණයක්‌ වූයේ වර්ණාවලික්‌ෂය (Spectroscope) විය.

මෙලෙස භාෂාව පිළිබඳ ප්‍රශ්නය විසඳාගැනීමේ දී වැදගත් දෙයක්‌ සිදු විය. මතවාදාත්මක භාෂාව සහ වචන මාලා ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන් විස්‌තර කිරීම සඳහා භාවිත කළ හැකි බව තර්කානුකූල ආනුභූ=තිකවාදීන්ට පවා පිළිගන්නට සිදු විය. මීට පෙර මතවාදාත්මක භාෂාව පිළිබඳ තැකීමක්‌ ඔවුන් තුළ නො තිබිණි. ද්‍රව්‍ය සෑදී ඇත්තේ කුඩා අංශුවලින් යෑයි පැවසීමේ දී ද්‍රව්‍ය ඉන්ද්‍රිය ගෝචර වන බවත් අංශු එසේ නො වන බවත් අමතක කළ යුතු නැත. ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාදාමයන් පහදා දීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නො වන දේවල් සහ ඒවාට සම්බන්ධ වචන මාලා භාවිත වන බව මෙතැන දී පැහැදිලි විය යුතු ය. ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් විද්‍යාව විසින් විග්‍රහ කිරීමේ දී භාෂාව පරිහරණය කිරීමේ ගැටලු මෙසේ සාකච්ඡා වීම දාර්ශනිකයන් අතින් සිදු විය යුතු ය. එය ඉතා ම ගැඹුරු ලෙස සිදු වී ඇති බව පෙනෙන්නට තිබේ. එනමුත් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන්වල වෙනස දාර්ශනිකයන් ගේ අධ්‍යයනයට හැම විට ම භාජන වීම සිදු විය යුතු ක්‍රියාවකි. ගුරුත්වාකර්ෂණය වැනි ක්‍රියාදාමයන් ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එනමුත් එම ක්‍රියාදාමය පහදා දීම පිණිස ඉන්ද්‍රිය ගෝචර සිද්ධාන්ත භාවිත කිරීම අත්‍යවශ්‍ය ය. එතැන දී භාෂාව පරිහරණය කිරීම ගැටලු සහගත නො විය යුතු ය. තර්කානුකූල ආනුභූතිකවාදීහු මේ ප්‍රශ්නය ගැන මහත් සේ වද වින්දොa ය. එහෙත් එසේ විය යුතු නැති බව ඇමෙරිකානු දාර්ශනිකයකු වන හිලරි පට්‌නම් (Hilary Putnam) පෙන්වා දී ඇත. වර්ණාවලික්‌ෂය (Spectroscope) උදාහරණයක්‌ ලෙස ගෙන ඔහු මේ බව පහදා දී ඇත.

මෙතැන දී අපට වැදගත් වන්නේ විද්‍යා දාර්ශනිකයන් ඉන්ද්‍රිය ගෝචර සහ එසේ නො වන ක්‍රියාදාමයන් වෙන් කොට හැඳිනගන්නා අන්දම ය. ඊට දී ඇති වැදගත්කම ය. උදාහරණයක්‌ ලෙස ගුරුත්වාකර්ෂණය ගත හැකි ය. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන්නේ ය. එහෙත් එහි ඵල අපට ඉන්ද්‍රිය ගෝචර වන්නේ ය. එම ඵල විද්‍යානුqකූලව පහදා දීමේ දී ගුරුත්වාකර්ෂණය නමැති සංකල්පය ගොඩනැෙග්. මෙහි දී භාෂාව පරිහරණය කිරීමේ අවදානම සමහර දාර්ශනිකයන්ට තීරණාත්මක ලෙස වැදගත් ය. සමහරුන්ට එසේ නැත.

පළමුව සුපුරුදු පරිදි වචන භාවිතය ගැන යමක්‌ කිව යුතු ය. අමරතුංග මහතා මුල දී මෙන් නො ව දැන් වචන ගැන තරමක සැලකිල්ලක්‌ දක්‌වයි. එහෙත් ඔහුට ඒ තවත් වැඩි දියුණු කරගත හැකි ය. භාෂාව පරිහරණය කිරීමේ දී හැකිතාක්‌ පරෙස්‌සම් විය යුතු ය. අමරතුංග මහතා කාගෙ දොa කියමනක්‌ උපුටා දක්‌වමින් (ඔහු මෙය උපුටාගත්තේ කිනම් පොතකින් ද යන්න සඳහන් කළේ නම් මැනවි) භාෂාව පරිහරණය කිරීමේ අවදානමක්‌ ගැන කියයි. ඔහු මෙය තරමක්‌ දුරට වුවත් විස්‌තර කළේ නම් මැනවි. කෙසේ වෙතත් කොග්නිටිව් (Cognitive) යන්නට ඥනන යන්න වඩා යෝග්‍ය වෙයි. පාරිභාෂික ශබ්දමාලාවල සඳහන් වන්නේ ඥනන මිස ඥනාත්මක යන්න නො වේ. එමෙන් ම ප්‍රිසයිස්‌ ක්‍රයිටීරයන් (Precise Criterion) යන්නෙහි ප්‍රිසයිස්‌ යන්න යෙදෙන්නේ නිශ්චිත යන අර්ථයෙන් නො වේ. ප්‍රිසයිස්‌ සඳහා මලලසේකර ශබ්දකෝෂයෙහි ඇත්තේ යථාතථ්‍ය, නිරවද්‍ය, නියම, ඒකාන්ත, නිශ්චිත, නියත යන වචන ය. මෙහි දී සුදුසු වචන වනුයේ යථාතථ්‍ය හා නිරවද්‍ය යන්න ය. එයින් ද පාරිභාෂික ශබ්දමාලාවෙහි සඳහන් වන්නේ යථාතථ්‍ය යන්න ය. යථාව හා තථ්‍ය පිළිබඳ දාර්ශනික ගැටලු වෙතත්, ඒ අමතක කර යථාතථ්‍ය යන්න යොදාගැනීම යෝග්‍ය යෑයි අදහස්‌ කරමි. ගිය සතියේ ද සඳහන් කළ පරිදි කොන්සික්‌න්ස්‌ (Consequence) යන්න සංවිපාකය විය යුතු ය. ස්‌වසිද්ධිමූලක යනු ඇක්‌සියොමැටික්‌ (Axiomatic) යන්න ය. 

අයින්ස්‌ටයිනීය සාපේක්‌ෂතාවාදය (විශේෂ යෑයි සිතමි) ඊනියා ස්‌වසිද්ධිමූලක යෑයි යම් බටහිර දාර්ශනිකයකු පවසන්නේ නම් ඔහුට සාපේක්‌ෂතාවාදය ගැන වැටහීමක්‌ නැති බව කිව යුතු ය. පසුගිය සතියේ ද කී පරිදි බටහිර ගණිතය නම් ස්‌වසිද්ධිමූලක දැනුම් පද්ධතියකි. එහි ස්‌වසිද්ධි හෝ ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගැනීමෙන් ලබාගන්නා නිගමන හෝ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කර ඒ සත්‍ය දැයි, එනම් එම නිගමන අදාළ සංසිද්ධි සමග සංගත වේ දැයි, සොයා බැලීමේ අවශ්‍යතාවක්‌ පැන නො නගියි. එහෙත් සාපේක්‌ෂතාවාදය එසේ නො වේ. විශේෂ සාපේක්‌ෂතාවාදය පටන් ගැනෙන්නේ උපකල්පන දෙකක්‌ ගෙනහැර දැක්‌වීමෙනි. මේ උපකල්පන ස්‌වසිද්ධි ලෙස සැලකීමේ බාධාවක්‌ නැත. එහෙත් ඉන් ලබාගන්නා නිගමන බටහිර ගණිතයෙහි මෙන් හුදු ප්‍රකාශන (ප්‍රමේය) ලෙස නො පවතියි. 

ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ යුතු ව ඇත. ප්‍රශ්නය පැන නගින්නේ එවිට ය. ස්‌වසිද්ධි වියුක්‌ත ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඉන් ලබාගන්නා නිගමන ද පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් ඒ නිගමන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ යුතු ව ඇත. මෙය ඊනියා මතවාදාත්මක (Theoretical Language) භාෂාවක්‌ හා නිරීක්‌ෂණ භාෂාවක්‌ (Observational Language) අතර ඇති ප්‍රශ්නයක්‌ නො වේ. (මෙය ප්‍රවාදාත්මක භාෂාවක්‌ හා නිරීක්‌ෂණ භාෂාවක්‌ යනුවෙන් නිවැරැදි විය යුතු ය.) ප්‍රවාදාත්මක භාෂාව පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණවල දී ද, නිරීක්‌ෂණීය භාෂාව ඉන්ද්‍රිය ගෝචර නොවන ක්‍රියාවලින් ද යොදාගැනෙන්නේ යෑයි කීමෙන් ප්‍රශ්නයෙන් පලාගිය නො හැකි ය. 

ඇතැම් බටහිර දාර්ශනිකයන් මතවාදාත්මක හා නිරීක්‌ෂණීය භාෂා පිළිබඳ ප්‍රකාශ කරන අදහස්‌ නිවැරැදි නො වේ. ඇතැම් වචන පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්‌ත ප්‍රවාදවල දී මෙන් ම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිවල දී ද යොදාගැනෙයි. එහෙත් එයින් අදහස්‌ වන්නේ ඒ ඒ අවස්‌ථාවල අදාළ වචනවලින් එක ම දෙයක්‌ කියෑවෙන බව නො වේ. එක ම වචනය ඒ ඒ සංදර්භයේ දී යෙදෙන්නේ විවිධ අර්ථ ඇති ව ය. පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්පයක්‌ කිසි විටකත් ඒ අරුතෙන් ම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධියක දී යොදාගත නො හැකි ය. වචනය එක ම වුව ද සංදර්භ වෙනස්‌ වන විට සංකල්ප ද වෙනස්‌ වෙයි. සරල රේඛාව යන්න බටහිර ගණිතයෙහි යෙදෙන අර්ථයෙන් බටහිර භෞතික විද්‍යාවේ දී යොදාගත නො හැකි ය. බටහිර ගණිතයෙහි එන සරල රේඛා සිතෙන් මවාගත නො හැකි ය. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙහි සරල රේඛා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි නම් පංචෙන්ද්‍රිය ගෝචර නො වන, එහෙත් සිතෙන් මවාගන්නා ෆොaටෝනවල ගමන් මාර්ග ය. 

ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙහි එකිනෙක ආකර්ෂණය කෙරෙනුයේ පංචෙන්ද්‍රිය ගෝචර නො වන අංශු හා වස්‌තු ය. මේ වස්‌තු හා අංශු නිරීක්‍ෂණය කළ හැකි නො වේ. ඒ වියුක්‌ත සංකල්ප පමණ ය. එහෙත් අප නිරීක්‍ෂණය කරන්නේ ගසකින් වැටෙන ගෙඩියක්‌ වැනි ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් කියෑවෙන වස්‌තු ය. එපමණක්‌ නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය ම රිටකින් ගැරඩි හැවක්‌ ඉවත් කිරිමේ දී යොදාගන්නා බලය වැනි භෞතික බලයක්‌ නො වේ. එය පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්පයකි. එය පට්‌ටබල් බොරුවක්‌ වූ නිවුටන් ගේ හුදු කතාන්දරයක්‌ පමණකි. කිසිවකුට කිසි දා ගුරුත්වාකර්ෂණ බලය නිරීක්‌ෂණය කළ නො හැකි ය.


නලින් ද සිල්වා

2014-12-03

Wednesday, 26 November 2014

බටහිර විද්‍යා දාර්ශනිකයන් ගේ අනාගැනීම


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමන් නො දන්නා බටහිර විද්‍යාවේ දර්ශනයක්‌ ගැන ජනප්‍රිය ඉංගිරිසි පොතපත තමන්ට වටහාගත හැකි (නො හැකි) ප්‍රමාණයට කියවා තමන් ගේ බසින් පාඨකයාට විස්‌තර කිරීමට ගොස්‌ අමාරුවේ වැටී ඇත. ඒ මහතා අඩු ම තරමෙන් ඒ පොතපතෙන් උපුටා දක්‌වන්නේ නම් අපට ද එකී පොත කියවා අමරතුංග මහතාට වැරැදී ඇත්තේ කොතැනක දැයි ප්‍රකාශ කිරීමට තිබිණි. එහෙත් ඔහු එසේ නො කරයි. ඔහුට වැරැදී ඇති තැන් බොහෝ ය. වැරැදි අවම කරගැනීමට උත්සාහ කිරීම වැරැද්දක්‌ යෑයි අමරතුංග මහතා සිතන්නේ ද?

අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් අපි තව තවත් උපුටා දක්‌වමු. එම ලිපියෙහි එක්‌ තැනෙක මෙසේ සඳහන් වෙයි. "ස්‌වභාවධර්මයේ නීතිරීති සොයා ගැනීම විද්‍යාවේ ප්‍රධාන අරමුණ විය යුතු යෑයි අදහස්‌ කළ දාර්ශනිකයන් සිතුවේ විද්‍යාව නීතිරීති මගින් පාලනය විය යුතු බව ය. එහෙත් ජීවිතය සහ පෘථිවිය (Life and Earth Science) පිළිsබඳ විද්‍යාව තුළ නීතිරීති සොයාගැනීම උගහට ය. එසේ වුව ද මේ ක්‍ෂේත්‍රය තුළ ඇති විශිෂ්ට වූ විද්‍යාත්මක සොයාගැනීම් සිදු වී ඇති බව අපි දනිමු. ඒවායින් ස්‌ථාපිත වූ නීති රීති කිසිවක්‌ නොමැත. ඡේම්ස්‌ වොට්‌සන් සහ ප්‍රැන්සිස්‌ ක්‌රික්‌ නමැති විද්‍යාඥයන් DNAවල ව්‍යqහය සොයාගත් නමුදු එම සොයාගැනීමෙන් ස්‌ථාපිත වූ නීතියක්‌ නොමැත. මේ නිසා සමහර දාර්ශනිකයන් ගේ අදහස වන්නේ විද්‍යාවේ පැවැත්ම නීති පද්ධතියක්‌ මත පදනම් වීම අත්‍යවශ්‍ය නො වන බව ය. ඒ වෙනුවට දළ සාධාරණීකරණය කිරීම (Approximate Generlization) විද්‍යාවේ සාර්ථකත්වය තහවුරු කරන බව ඔවුහු පවසති."

අමරතුංග මහතා තමන්ට ම එරෙහි ව තර්ක ගොඩනඟයි. ඔහුට වැදගත් වන්නේ ඔහු අන්තිමට කියෑවූ පොතෙහි සඳහන් දේ ය. එය කලින් කියවා ඇති පොත්වල සඳහන් දේ සමග එකඟ නො වුණ ද ඔහුට එය නො වැදගත් ය. සංගත බව යන්න ඔහු ගේ ශබ්ද කෝෂයෙහි නැත. ඒ මදිවාට අමරතුංග මහතාට තමා කියවන බොහෝ දේ තේරුම්ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්‌ වෙයි. ඉහත සඳහන් ඡේදය අනුව බටහිර විද්‍යාවෙන් නීතිරීති ස්‌ථාපිත නො වේ. එසේ නම් බටහිර විද්‍යාව සත්‍ය හෝ අසත්‍ය හෝ බව හෝa ඊනියා සත්‍යයට ක්‍රමයෙන් ළඟා වන බව දැනගන්නේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව සත්‍යයට ක්‍රමයෙන් ළඟා වෙයි. 

අමරතුංග මහතා ඊනියා සත්‍යයක්‌ ඇති බව පිළිගනියි. යථාර්ථය යනු ඔහු ගේ ද ඊනියා වාස්‌තවිකවාදීන් ගේ ද ඊනියා යතාර්ථවාදීන් ගේ ද (අමරසේකර වැනි ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවන් ද ඇතුළු ව) ගෞරවයට පාත්‍ර වූ වචනයකි. මේ ඊනියා යථාර්ථය, සත්‍යය අප දැනගන්නේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාඥයන් ඒ සොයාගන්නේ කෙසේ ද? අමරතුංග මහතා නිර්මාණයට එරෙහි ව සොයාගැනීමට පක්‌ෂ ව කරුණු කීවේ ය. ඔහුට දැනුම යනු නිර්මාණය කෙරෙන්නක්‌ නො ව සොයාගැනීමට ඇති දෙයකි. ඒ දැනුම යථාර්ථය වෙයි. 

මෙරට නිවේදක නිවේදිකාවන් ඇතුළු ජනමාධ්‍යවේදීන්, මහාචාර්යවරුන්, විදග්ධයන්, කලාකරුවන් කොයි කවුරුත් පාහේ යථාර්ථය යන්න තොරතෝංචියක්‌ නැති ව යොදාගනු පෙනෙයි. මේ ඊනියා යථාර්ථය ප්‍රකාශ කරන්නේ කෙසේ ද? එය නීති ලෙස ප්‍රකාශ කෙරෙන්නේ ද? එසේ නො වේ නම් ඊනියා යථාර්ථය ප්‍රකාශ කරන්නේ කෙසේ ද? ඊනියා යථාර්ථය ප්‍රකාශ කිරීමට නො හැකි ද? ප්‍රකාශ කිරීමට නො හැකි යථාර්ථයක්‌ කා ගේ අවශ්‍යතාවකට ද? බටහිර විද්‍යාඥයන් විසින් සොයාගනු ලබන්නේ යෑයි කියන දැනුම ඊනියා යථාර්ථයක්‌ නො වේ ද?

අමරතුංග මහතා වැනි ඊනියා යථාර්ථයක්‌ වාස්‌තවිකත්වයක්‌ ඇතැයි කියන්නන්ට මේවා හොඳ පාඩම් ය. එහෙත් යථාර්ථවාදීහු පාඩම් ඉගෙන නො ගනිති. මෙයින් කියෑවෙන්නේ ඊනියා යථාර්ථවාදීන් පාඩම් ඉගෙන නො ගැනීම යථාර්ථයක්‌ බව නො වේ. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ ඇතැම් දාර්ශනිකයන්ට අනුව බටහිර විද්‍යාවේ පැවැත්ම නීති පද්ධතියක්‌ මත පැවතීම අත්‍යවශ්‍ය නො වේ. ඔවුන්ට අනුව බටහිර විද්‍යාවේ සාර්ථකත්වය දළ සාධාරණීකරණය මගින් තහවුරු වෙයි. 

අමරතුංග මහතා ජෙනරලයිසේෂන් යන්න සඳහා සාධාරණීකරණය යොදාගෙන තිබීම සතුටට කරුණකි. ඔහු දිගින් දිගට ම ඒ සඳහා යොදාගත්තේ සාමාන්‍යකරණය යන්න ය. ඔහු දැන් වත් සාමාන්‍යකරණය යන්න වැරැදි බව වටහාගෙන ඇත්නම් මේ සංවාදයෙන් යමක්‌ සිදු වී ඇතැයි කිව හැකි ය. එහෙත් ඔහු ඇප්‍රොක්‌සිමේට්‌ යන්න සඳහා දළ යන්න යොදාගනියි. එය දළ වශයෙන් ගත් කල යොදාගත හැකි නමුත් ආසන්න හෝ සන්නිකර්ෂණ යන්න වඩාත් සුදුසු ය. 

කෙසේ වෙතත් මේ සාධාරණීකරණය යනුවෙන් ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් අතින් කියෑවෙන්නේ කුමක්‌ ද? අමරතුංග මහතා නො දන්නවාට සාධාරණීකරණයක්‌ යනු වියුක්‌ත ව කෙරෙන්නකි. බටහිර විද්‍යාඥයන්ට පමණක්‌ නො ව සාමාන්‍ය පෘථග්ජනයන්ට යම් සංසිද්ධියක්‌ ගැන නිරීක්‌ෂණ සියල්ල කළ නො හැකි ය. එහි දී සීමිත පරීක්‌ෂණ, සම්පරීක්‌ෂණ යොදාගනිමින් කෙරෙන නිරීක්‌ෂණ සියලු නිරීක්‌ෂණ සඳහා වලංගු වන බව උපකල්පනය කෙරෙයි. අප සියලු කපුටන් කළු පාට යෑයි නිගමනය කරන්නේ අතීතයේ, වර්තමානයේ හා අනාගතයේ සියලු කපුටන් නිරීක්‌ෂණය කිරීමෙන් පසු නො වේ. නිරීක්‌ෂණ කිහිපයකින් පසු බොයිල් ගේ නියමය අදාළ කොන්දේසි යටතේ සියලු වායු සඳහා වලංගු වන්නේ යෑයි කියන්නේ සාධාරණීකරණයෙනි. 

මේ සාධාරණීකරණය සම්භාවිතාවකට යටත් වූවකි. එය සන්නිකර්ෂණ සාධාරණීකරණයක්‌ වෙයි. සීමිත නිරීක්‌ෂණ කිහිපයක්‌ එලෙස සාධාරණීකරණයට ලක්‌ කිරීම බටහිර විද්‍යාවට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. මිටි තැනින් වතුර ගලා බහී යන්න ද සාධාරණීකරණය වූ නිරීක්‌ෂණ කිහිපයකි. එසේ නම් මේ ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් කියන සාධාරණීකරණයෙහි වූ අරුමය කුමක්‌ ද? ඊනියා දළ සාධාරණීකරණයෙන් බටහිර විද්‍යාවේ සාර්ථකත්වය තහවුරු වන්නේ කෙසේ ද? 

අමරතුංග මහතා ගේ උපුටාගන්නා ලද පහත සඳහන් දෙවැනි ඡේදයෙන් බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට උගුරට හොරා බේත් කෑමේ පිළිවෙතට අනු පිළිතුරක්‌ දීමට උත්සාහ කරන බව පෙනෙයි. මෙය අමරතුංග මහතා ගේ නිර්මාණයක්‌ නො වේ. ඔහු එය ද යම් ජනප්‍රිය පොතපත කියවා තමන්ට තේරෙන ආකාරයට ලියා ඇති බව පැහැදිලි ය. මෙහි දී ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් නිරීක්‌ෂණ හා ප්‍රවාද අතර ඇති වෙනස උගුරට හොරා සඳහන් කරනු අවබෝධ කරගත හැකි ය. 

"කරුණු මෙසේ හෙයින් වර්තමානයේ සමහර විද්‍යා දාර්ශනිකයෝ විද්‍යාත්මක මතවාදයේ ස්‌වභාවය (The Structure of Scientific Theory) පැත්තකට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් එම ප්‍රශ්නය තර්කානුකූල ආනුභූතිකවාදීන්ට ඉතා වැදගත් වූ බව අප මීට ඉහත දී සඳහන් කොට ඇත. ඔවුන් මතවාදය (Theory) කුමක්‌ දැයි නිර්වචනය කරගෙන තිබිණි. ඊට අනුව මතවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශන (Axiomatic Statements) සහ ඒවායෙන් ලැබෙන නිගාමී ඵලය (Deductive Consequence) වන්නේ ය. මේ නිර්වචනයට අනුව සාපේක්‌ෂතාවාදය ස්‌වසිද්ධිමූලක (Axiomatize) බව පෙන්වා දීමට ඔවුහු සමත් වූ හ. මෙවැනි ක්‍රියාවන් නිශ්ඵල ක්‍රියාවන් ලෙස සැලකිය නො හැකි ය. ප්‍රායෝගික වූ විද්‍යාව තේරුමක්‌ නැති දාර්ශනික සාකච්ඡාවලින් වෙන් කිරීම පිණිස එවැනි ක්‍රියාවන් වැදගත් වන නිසා ය. මේ සඳහා ඥනාත්මක අර්ථාන්විතභාවය (Cognitive Significance) තහවුරු කිරීම පිණිස නිශ්චිත නිර්ණායක (Precise Criterion) අවශ්‍ය විය. මෙවැනි නිර්ණායක නිර්මාණය කිරීමේ දී භාවිත වන විශේෂ වූ භාෂාව සහ වචන මාලා විද්‍යාත්මක මතවාද පහදා දීම සඳහා සුදුසු දැයි ප්‍රශ්නයක්‌ මතු විය. මේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය බව තර්කානුකූල ආනුභූතිකවාදීහු වටහාගත් හ."

අමරතුංග මහතා ගේ මතවාදය යන වැරැදි යෙදුම වෙනුවට අප ගියවර සඳහන් කළ ආකාරයට ප්‍රවාදය යන වචනය යොදාගනිමු. අප ගිය සතියේ පෙන්වා දුන්නේ ඉහත සඳහන් නිර්වචනයට අනුව බටහිර ගණිතය ද බටහිර විද්‍යාවක්‌ බව ය. බටහිර ගණිතයෙහි කෙරෙන්නේ ස්‌වසිද්ධි කිහිපයක්‌ ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් යම් නිගමනවලට පැමිණීම ය. එනම් ස්‌වසිද්ධිවලින් යම් ප්‍රතිඵල නිගමනය, අපෝහනය කිරීම ය. බටහිර ගණිතයෙහි ප්‍රමේය යනු එසේ ලබාගත් නිගමන ය. 

බටහිර ගණිතය එසේ නිගමනවලට එළඹීමෙන් පසු අත පිහදා ගනියි. මේ නිගමන හෙවත් අපෝහන ඊනියා සත්‍ය දැයි සොයාබැලීමට බටහිර ගණිතයට අවශ්‍ය නො වේ. මෙහි දී ගණිතය යනුවෙන් හැඳින්වෙන්නේ තවමත් ලංකාව, එංගලන්තය වැනි රටවල ඉගැන්වෙන ශුද්ධ ගණිතය ය. ව්‍යවහාරික ගණිතය ශුද්ධ ගණිතයෙන් ඔබ්බට ගොස්‌ ප්‍රායෝගික වීමක්‌ කෙරෙහි උනන්දුවක්‌ දක්‌වයි. 

වෙනත් වචවලින් කිව හොත් ලංකාවේ ශූද්ධ ගණිතය නමින් හැඳින්වෙන බටහිර ගණිතයට නිරීක්‌ෂණවලින් වැදගත්කමක්‌ නැත. එහි දී අවශ්‍ය වන්නේ යම් ස්‌වසිද්ධි කිහිපයක්‌ ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යායට එකග ව නිගමන ලබාගැනීම පමණකි. ස්‌වසිද්ධිවල හෝ නිගමනවල හෝ ඊනියා සත්‍යතාවක්‌ ගැන සොයාබැලීමට බටහිර ගණිතයෙහි දී අපේක්‌ෂා නො කෙරෙයි. බටහිර ගණිතයෙහි දී බටහිර ගණිතඥයන් තමන් කතා කරන්නේ මොනවා දැයි නො දන්නා බව ඇතැම් බටහිර ගණිතඥයන් හා දාර්ශනිකයන් පවසා ඇත්තේ එබැවිනිෘ

ව්‍යවහාරික ගණිතයට නිරීක්‌ෂණ ද ඇත. ස්‌වසිද්ධි හා නිගමනවලට අමතරව නිරීක්‌ෂණ සමග ඒ නිගමන සංසන්දනය කිරීමක්‌ ද වෙයි. බටහිර විද්‍යා දාර්ශනිකයන් අනාගන්නේ මේ සංසන්දනයේ දී ය. අමරතුංග මහතාට ඒ පිළිබඳ කිසිදු වැටහීමක්‌ නැත.


නලින් ද සිල්වා

2014-11-26