Main Logo

Wednesday 26 November 2014

බටහිර විද්‍යා දාර්ශනිකයන් ගේ අනාගැනීම


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමන් නො දන්නා බටහිර විද්‍යාවේ දර්ශනයක්‌ ගැන ජනප්‍රිය ඉංගිරිසි පොතපත තමන්ට වටහාගත හැකි (නො හැකි) ප්‍රමාණයට කියවා තමන් ගේ බසින් පාඨකයාට විස්‌තර කිරීමට ගොස්‌ අමාරුවේ වැටී ඇත. ඒ මහතා අඩු ම තරමෙන් ඒ පොතපතෙන් උපුටා දක්‌වන්නේ නම් අපට ද එකී පොත කියවා අමරතුංග මහතාට වැරැදී ඇත්තේ කොතැනක දැයි ප්‍රකාශ කිරීමට තිබිණි. එහෙත් ඔහු එසේ නො කරයි. ඔහුට වැරැදී ඇති තැන් බොහෝ ය. වැරැදි අවම කරගැනීමට උත්සාහ කිරීම වැරැද්දක්‌ යෑයි අමරතුංග මහතා සිතන්නේ ද?

අමරතුංග මහතා ගේ නොවැම්බර් 12 වැනි දා ලිපියෙන් අපි තව තවත් උපුටා දක්‌වමු. එම ලිපියෙහි එක්‌ තැනෙක මෙසේ සඳහන් වෙයි. "ස්‌වභාවධර්මයේ නීතිරීති සොයා ගැනීම විද්‍යාවේ ප්‍රධාන අරමුණ විය යුතු යෑයි අදහස්‌ කළ දාර්ශනිකයන් සිතුවේ විද්‍යාව නීතිරීති මගින් පාලනය විය යුතු බව ය. එහෙත් ජීවිතය සහ පෘථිවිය (Life and Earth Science) පිළිsබඳ විද්‍යාව තුළ නීතිරීති සොයාගැනීම උගහට ය. එසේ වුව ද මේ ක්‍ෂේත්‍රය තුළ ඇති විශිෂ්ට වූ විද්‍යාත්මක සොයාගැනීම් සිදු වී ඇති බව අපි දනිමු. ඒවායින් ස්‌ථාපිත වූ නීති රීති කිසිවක්‌ නොමැත. ඡේම්ස්‌ වොට්‌සන් සහ ප්‍රැන්සිස්‌ ක්‌රික්‌ නමැති විද්‍යාඥයන් DNAවල ව්‍යqහය සොයාගත් නමුදු එම සොයාගැනීමෙන් ස්‌ථාපිත වූ නීතියක්‌ නොමැත. මේ නිසා සමහර දාර්ශනිකයන් ගේ අදහස වන්නේ විද්‍යාවේ පැවැත්ම නීති පද්ධතියක්‌ මත පදනම් වීම අත්‍යවශ්‍ය නො වන බව ය. ඒ වෙනුවට දළ සාධාරණීකරණය කිරීම (Approximate Generlization) විද්‍යාවේ සාර්ථකත්වය තහවුරු කරන බව ඔවුහු පවසති."

අමරතුංග මහතා තමන්ට ම එරෙහි ව තර්ක ගොඩනඟයි. ඔහුට වැදගත් වන්නේ ඔහු අන්තිමට කියෑවූ පොතෙහි සඳහන් දේ ය. එය කලින් කියවා ඇති පොත්වල සඳහන් දේ සමග එකඟ නො වුණ ද ඔහුට එය නො වැදගත් ය. සංගත බව යන්න ඔහු ගේ ශබ්ද කෝෂයෙහි නැත. ඒ මදිවාට අමරතුංග මහතාට තමා කියවන බොහෝ දේ තේරුම්ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්‌ වෙයි. ඉහත සඳහන් ඡේදය අනුව බටහිර විද්‍යාවෙන් නීතිරීති ස්‌ථාපිත නො වේ. එසේ නම් බටහිර විද්‍යාව සත්‍ය හෝ අසත්‍ය හෝ බව හෝa ඊනියා සත්‍යයට ක්‍රමයෙන් ළඟා වන බව දැනගන්නේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව සත්‍යයට ක්‍රමයෙන් ළඟා වෙයි. 

අමරතුංග මහතා ඊනියා සත්‍යයක්‌ ඇති බව පිළිගනියි. යථාර්ථය යනු ඔහු ගේ ද ඊනියා වාස්‌තවිකවාදීන් ගේ ද ඊනියා යතාර්ථවාදීන් ගේ ද (අමරසේකර වැනි ඊනියා යථාර්ථවාදී සාහිත්‍යකරුවන් ද ඇතුළු ව) ගෞරවයට පාත්‍ර වූ වචනයකි. මේ ඊනියා යථාර්ථය, සත්‍යය අප දැනගන්නේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාඥයන් ඒ සොයාගන්නේ කෙසේ ද? අමරතුංග මහතා නිර්මාණයට එරෙහි ව සොයාගැනීමට පක්‌ෂ ව කරුණු කීවේ ය. ඔහුට දැනුම යනු නිර්මාණය කෙරෙන්නක්‌ නො ව සොයාගැනීමට ඇති දෙයකි. ඒ දැනුම යථාර්ථය වෙයි. 

මෙරට නිවේදක නිවේදිකාවන් ඇතුළු ජනමාධ්‍යවේදීන්, මහාචාර්යවරුන්, විදග්ධයන්, කලාකරුවන් කොයි කවුරුත් පාහේ යථාර්ථය යන්න තොරතෝංචියක්‌ නැති ව යොදාගනු පෙනෙයි. මේ ඊනියා යථාර්ථය ප්‍රකාශ කරන්නේ කෙසේ ද? එය නීති ලෙස ප්‍රකාශ කෙරෙන්නේ ද? එසේ නො වේ නම් ඊනියා යථාර්ථය ප්‍රකාශ කරන්නේ කෙසේ ද? ඊනියා යථාර්ථය ප්‍රකාශ කිරීමට නො හැකි ද? ප්‍රකාශ කිරීමට නො හැකි යථාර්ථයක්‌ කා ගේ අවශ්‍යතාවකට ද? බටහිර විද්‍යාඥයන් විසින් සොයාගනු ලබන්නේ යෑයි කියන දැනුම ඊනියා යථාර්ථයක්‌ නො වේ ද?

අමරතුංග මහතා වැනි ඊනියා යථාර්ථයක්‌ වාස්‌තවිකත්වයක්‌ ඇතැයි කියන්නන්ට මේවා හොඳ පාඩම් ය. එහෙත් යථාර්ථවාදීහු පාඩම් ඉගෙන නො ගනිති. මෙයින් කියෑවෙන්නේ ඊනියා යථාර්ථවාදීන් පාඩම් ඉගෙන නො ගැනීම යථාර්ථයක්‌ බව නො වේ. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාවේ ඇතැම් දාර්ශනිකයන්ට අනුව බටහිර විද්‍යාවේ පැවැත්ම නීති පද්ධතියක්‌ මත පැවතීම අත්‍යවශ්‍ය නො වේ. ඔවුන්ට අනුව බටහිර විද්‍යාවේ සාර්ථකත්වය දළ සාධාරණීකරණය මගින් තහවුරු වෙයි. 

අමරතුංග මහතා ජෙනරලයිසේෂන් යන්න සඳහා සාධාරණීකරණය යොදාගෙන තිබීම සතුටට කරුණකි. ඔහු දිගින් දිගට ම ඒ සඳහා යොදාගත්තේ සාමාන්‍යකරණය යන්න ය. ඔහු දැන් වත් සාමාන්‍යකරණය යන්න වැරැදි බව වටහාගෙන ඇත්නම් මේ සංවාදයෙන් යමක්‌ සිදු වී ඇතැයි කිව හැකි ය. එහෙත් ඔහු ඇප්‍රොක්‌සිමේට්‌ යන්න සඳහා දළ යන්න යොදාගනියි. එය දළ වශයෙන් ගත් කල යොදාගත හැකි නමුත් ආසන්න හෝ සන්නිකර්ෂණ යන්න වඩාත් සුදුසු ය. 

කෙසේ වෙතත් මේ සාධාරණීකරණය යනුවෙන් ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් අතින් කියෑවෙන්නේ කුමක්‌ ද? අමරතුංග මහතා නො දන්නවාට සාධාරණීකරණයක්‌ යනු වියුක්‌ත ව කෙරෙන්නකි. බටහිර විද්‍යාඥයන්ට පමණක්‌ නො ව සාමාන්‍ය පෘථග්ජනයන්ට යම් සංසිද්ධියක්‌ ගැන නිරීක්‌ෂණ සියල්ල කළ නො හැකි ය. එහි දී සීමිත පරීක්‌ෂණ, සම්පරීක්‌ෂණ යොදාගනිමින් කෙරෙන නිරීක්‌ෂණ සියලු නිරීක්‌ෂණ සඳහා වලංගු වන බව උපකල්පනය කෙරෙයි. අප සියලු කපුටන් කළු පාට යෑයි නිගමනය කරන්නේ අතීතයේ, වර්තමානයේ හා අනාගතයේ සියලු කපුටන් නිරීක්‌ෂණය කිරීමෙන් පසු නො වේ. නිරීක්‌ෂණ කිහිපයකින් පසු බොයිල් ගේ නියමය අදාළ කොන්දේසි යටතේ සියලු වායු සඳහා වලංගු වන්නේ යෑයි කියන්නේ සාධාරණීකරණයෙනි. 

මේ සාධාරණීකරණය සම්භාවිතාවකට යටත් වූවකි. එය සන්නිකර්ෂණ සාධාරණීකරණයක්‌ වෙයි. සීමිත නිරීක්‌ෂණ කිහිපයක්‌ එලෙස සාධාරණීකරණයට ලක්‌ කිරීම බටහිර විද්‍යාවට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. මිටි තැනින් වතුර ගලා බහී යන්න ද සාධාරණීකරණය වූ නිරීක්‌ෂණ කිහිපයකි. එසේ නම් මේ ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් කියන සාධාරණීකරණයෙහි වූ අරුමය කුමක්‌ ද? ඊනියා දළ සාධාරණීකරණයෙන් බටහිර විද්‍යාවේ සාර්ථකත්වය තහවුරු වන්නේ කෙසේ ද? 

අමරතුංග මහතා ගේ උපුටාගන්නා ලද පහත සඳහන් දෙවැනි ඡේදයෙන් බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට උගුරට හොරා බේත් කෑමේ පිළිවෙතට අනු පිළිතුරක්‌ දීමට උත්සාහ කරන බව පෙනෙයි. මෙය අමරතුංග මහතා ගේ නිර්මාණයක්‌ නො වේ. ඔහු එය ද යම් ජනප්‍රිය පොතපත කියවා තමන්ට තේරෙන ආකාරයට ලියා ඇති බව පැහැදිලි ය. මෙහි දී ඇතැම් බටහිර විද්‍යා දාර්ශනිකයන් නිරීක්‌ෂණ හා ප්‍රවාද අතර ඇති වෙනස උගුරට හොරා සඳහන් කරනු අවබෝධ කරගත හැකි ය. 

"කරුණු මෙසේ හෙයින් වර්තමානයේ සමහර විද්‍යා දාර්ශනිකයෝ විද්‍යාත්මක මතවාදයේ ස්‌වභාවය (The Structure of Scientific Theory) පැත්තකට දමා ඉන් ඔබ්බට යමින් සිටිති. එහෙත් එම ප්‍රශ්නය තර්කානුකූල ආනුභූතිකවාදීන්ට ඉතා වැදගත් වූ බව අප මීට ඉහත දී සඳහන් කොට ඇත. ඔවුන් මතවාදය (Theory) කුමක්‌ දැයි නිර්වචනය කරගෙන තිබිණි. ඊට අනුව මතවාදයක්‌ යනු ස්‌වසිද්ධිමූලක ප්‍රකාශන (Axiomatic Statements) සහ ඒවායෙන් ලැබෙන නිගාමී ඵලය (Deductive Consequence) වන්නේ ය. මේ නිර්වචනයට අනුව සාපේක්‌ෂතාවාදය ස්‌වසිද්ධිමූලක (Axiomatize) බව පෙන්වා දීමට ඔවුහු සමත් වූ හ. මෙවැනි ක්‍රියාවන් නිශ්ඵල ක්‍රියාවන් ලෙස සැලකිය නො හැකි ය. ප්‍රායෝගික වූ විද්‍යාව තේරුමක්‌ නැති දාර්ශනික සාකච්ඡාවලින් වෙන් කිරීම පිණිස එවැනි ක්‍රියාවන් වැදගත් වන නිසා ය. මේ සඳහා ඥනාත්මක අර්ථාන්විතභාවය (Cognitive Significance) තහවුරු කිරීම පිණිස නිශ්චිත නිර්ණායක (Precise Criterion) අවශ්‍ය විය. මෙවැනි නිර්ණායක නිර්මාණය කිරීමේ දී භාවිත වන විශේෂ වූ භාෂාව සහ වචන මාලා විද්‍යාත්මක මතවාද පහදා දීම සඳහා සුදුසු දැයි ප්‍රශ්නයක්‌ මතු විය. මේ ප්‍රශ්නයට පිළිතුරු අවශ්‍ය බව තර්කානුකූල ආනුභූතිකවාදීහු වටහාගත් හ."

අමරතුංග මහතා ගේ මතවාදය යන වැරැදි යෙදුම වෙනුවට අප ගියවර සඳහන් කළ ආකාරයට ප්‍රවාදය යන වචනය යොදාගනිමු. අප ගිය සතියේ පෙන්වා දුන්නේ ඉහත සඳහන් නිර්වචනයට අනුව බටහිර ගණිතය ද බටහිර විද්‍යාවක්‌ බව ය. බටහිර ගණිතයෙහි කෙරෙන්නේ ස්‌වසිද්ධි කිහිපයක්‌ ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් යම් නිගමනවලට පැමිණීම ය. එනම් ස්‌වසිද්ධිවලින් යම් ප්‍රතිඵල නිගමනය, අපෝහනය කිරීම ය. බටහිර ගණිතයෙහි ප්‍රමේය යනු එසේ ලබාගත් නිගමන ය. 

බටහිර ගණිතය එසේ නිගමනවලට එළඹීමෙන් පසු අත පිහදා ගනියි. මේ නිගමන හෙවත් අපෝහන ඊනියා සත්‍ය දැයි සොයාබැලීමට බටහිර ගණිතයට අවශ්‍ය නො වේ. මෙහි දී ගණිතය යනුවෙන් හැඳින්වෙන්නේ තවමත් ලංකාව, එංගලන්තය වැනි රටවල ඉගැන්වෙන ශුද්ධ ගණිතය ය. ව්‍යවහාරික ගණිතය ශුද්ධ ගණිතයෙන් ඔබ්බට ගොස්‌ ප්‍රායෝගික වීමක්‌ කෙරෙහි උනන්දුවක්‌ දක්‌වයි. 

වෙනත් වචවලින් කිව හොත් ලංකාවේ ශූද්ධ ගණිතය නමින් හැඳින්වෙන බටහිර ගණිතයට නිරීක්‌ෂණවලින් වැදගත්කමක්‌ නැත. එහි දී අවශ්‍ය වන්නේ යම් ස්‌වසිද්ධි කිහිපයක්‌ ඇසුරෙන් ඇරිස්‌ටෝටලීය න්‍යායට එකග ව නිගමන ලබාගැනීම පමණකි. ස්‌වසිද්ධිවල හෝ නිගමනවල හෝ ඊනියා සත්‍යතාවක්‌ ගැන සොයාබැලීමට බටහිර ගණිතයෙහි දී අපේක්‌ෂා නො කෙරෙයි. බටහිර ගණිතයෙහි දී බටහිර ගණිතඥයන් තමන් කතා කරන්නේ මොනවා දැයි නො දන්නා බව ඇතැම් බටහිර ගණිතඥයන් හා දාර්ශනිකයන් පවසා ඇත්තේ එබැවිනිෘ

ව්‍යවහාරික ගණිතයට නිරීක්‌ෂණ ද ඇත. ස්‌වසිද්ධි හා නිගමනවලට අමතරව නිරීක්‌ෂණ සමග ඒ නිගමන සංසන්දනය කිරීමක්‌ ද වෙයි. බටහිර විද්‍යා දාර්ශනිකයන් අනාගන්නේ මේ සංසන්දනයේ දී ය. අමරතුංග මහතාට ඒ පිළිබඳ කිසිදු වැටහීමක්‌ නැත.


නලින් ද සිල්වා

2014-11-26