Main Logo

Sunday 30 November 2014

චන්ද්‍රිකා ද රනිල් ද


බලයට පත්වන්නේ චන්ද්‍රිකා ද රනිල් ද යන්න මනඃකල්පිත ප්‍රශ්නයක් පමණකි. වයස හැටපහ ඉක්මවා ඇති මේ දෙපළගෙන් එක් අයකුටවත් මේ භවයේ දී බලයට පත්විය නො හැකි ය. එහෙත් අප මේ ප්‍රශ්නය අසන්නේ වෙනත් කරුණක් සාකච්ඡා කිරීමට ය. අද ඊනියා පොදු අපේක්‍ෂකයකු ගැන කතාකළ ද පොදු විපක්‍ෂයක් නැති බව පැහැදිලි ය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත්කල අඩුම තරමෙන් විපක්‍ෂ තුනක් වෙයි. සරත් සිල්වාගේ තර්කය මත පදනම් වන ජ වි පෙරමුණට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා  සහභාගිවන ජනාධිපවරණයක් නීති විරා්ධී ය. ඔවුන්ට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ලෙස තුන්වන වරටත් තේරී පත්වීමෙන් පසු නීති විරෝධී ජනාධිපතිවරයකුට විරුද්ධ ව ජනතාව වීදීවලට කැඳවා ලේ හැළුණු සටන් ඔස්සේ ඔවුන්ගේ තකතීරු විප්ලවය ජයගැනීම ය. බටහිර රටවල ද ආධාරය ද ඇතිව අරාබි වසන්තයක් ක්‍රියාත්මක කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති. අවුරුදු පනහක් බලා සිටි විප්ලවය ජනවාරි 8 වැනි දාට සාක්‍ෂාත් කරගත හැකි යෑයි ඔවුහු සිතති. ජ ව ි පෙ නායකයන් වයසට ගියත් ඔවුන්ගේ ළදරු වලිකුලප්පුව සුව වී නැත. ඊනියා විප්ලවය මගින් සිදුවන්නේ තවත් තරුණයන් පිරිසකුගේ ජීවිත නැතිවීම පමණ ය. 

දෙවැනි විපක්‍ෂය වනුයේ චන්ද්‍රිකා කුමාරතුංගගේ විපක්‍ෂය ය. එයට පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරෙලියේ රතන හිමියන්ගේ ද සහාය ලැබෙන බව පැහැදිලි ය. යම් අයුරකින් ජාතික හෙළ උරුමය එයට ආධාර කළහොත් එය එම පක්‍ෂයේ අවසානය වනු ඇත. චන්ද්‍රිකා විපක්‍ෂය දේශපාලන බල ව්‍යාපෘතියක් ලෙස රඳා පවතින්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ සිටින්නේ යැයි කියන චන්ද්‍රිකා හිතවතුන් මත ය. මේ හිතවතුන් ඇත්නම් ඔවුහු ජාතිකමතවාදීහු නො වෙති. දැනට ආණ්ඩුවෙන් මෛත්‍රිපාල සිරිසේන සමග ගොස් සිටින රාජිත සේනාරත්න ඒ සඳහා හොඳ උදාහරණයකි. සිංහල විරෝධියකු වූ රාජිත සේනාරත්න තමා ජාතිවාදියකු නොවේ යැයි පවසයි. මේ අය ජාතිවාදීන් ලෙස හඳුන්වන්නේ දෙමළ ජාතිවාදියට හා මුස්ලිම් ජාතිවාදයට විරුද්ධවන්නන් ය. රාජිත සේනාරත්න කලක් කුමාර් රුපසිංහගේ ජනවේගය කණ්ඩායමේ විය. මාක්ස්වාදය කටගාගත් මේ පිරිස් සඟ වෙද ගුරු ගොවි බලවේගයට අයත් නො වෙති. මොවුන්ගෙන් ඇතැමෙක් මංගල සමරවීර මෙන් සුදු නෙළුම් තවලම් ආදී ව්‍යාපාරවල නිරතවූවෝ වෙති. ඔවුන්ට ජාතිකත්වයක් නැත. ඔවුහු විජාතික බලවේග නියෝජනය කරති. 

චන්ද්‍රිකාගේ විපක්‍ෂය ද අවසාන වශයෙන් ගත්කල එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලින් මෙහෙයවනු ලැබෙයි. අනූවේ දශකයේ මුල චන්ද්‍රිකා එංිගලන්තයේ සිට ආනයනය කරනු ලැබුයේ ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතිකත්ව ප්‍රතිපත්ති වෙනස් කර දෙමළ ජාතිවාදයට   උතුරු හා නැගෙනහිර පළාත් පාවාදීමට ය. එහි දී රාජිත සේනාරත්න වැන්නෝ විශාල කාර්යභාරයක් ඉටුකළහ. එහෙත් බටහිර අවශ්‍යතා පරිදි ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට චන්ද්‍රිකාට නොහැකි විය. අවසානයේ දී ඇය රනිල් සමහ එකතු වී ප්‍රභාකරන් සමග ඊනියා සටන් විරාම ගිවිසුමක් අත්සන් කළා ය. ගිවිසුම අත්සන් කළේ රනිල් බව සැබෑ ය. එහෙත් චන්ද්‍රිකාට අවශ්‍ය නම් ගිවිසුම බල රහිත කිරීමට තිබිණි. මෙරට අද ක්‍රියාත්මක වන ව්‍යවස්ථාවේ 33 (ඉ) වගන්තිය අනුව යුද්ධය හා සාමය ප්‍රකාශ කළ හැක්කේ ජනාධිපතිට ය. ව්‍යවස්ථාව අනුව සාම ගිවිසුම් අත්සන් කිරීමට රනිල්ට බලයක් නොතිබුණු අතර චන්ද්‍රිකාට ඒ ගිවිසුම අහොසි කිරීමට නීත්‍යානුකුල බලය තිබිණි. එහෙත් ඇය එසේ නො කළා ය. බටහිරයන්ගේ පදයට නටන්නියක වූ ද සිංහල විරෝධියකු වූ ද චන්ද්‍රිකා ගිවිසුම ක්‍රියාත්මක කළා ය. චන්ද්‍රිකා විපක්‍ෂයේ ප්‍රතිපත්ති එසේ ය. අද පූජ්‍ය අතුරළියේ රතන හිමියන් චන්ද්‍රිකා විපක්‍ෂය සමග එකතුවීම පුදුමයක් නො වේ. අනූවේ දශකයේ  මුල මංගල සමරවීර සමග එකතු වී රටවැසි පෙරමුණ අටවාගත් ජනතා මිතුරන්ට හා අනුප්‍රාප්තිකයන්ට අනූහතර මැතිවරණයේ දී මාතර ගොස් පැල් බැඳගෙන මංගල සමරවීරට ආධාර කිරීම ප්‍රශ්නයක් නො වී ය. 

චන්ද්‍රිකා විපක්‍ෂයේ ප්‍රකාශිත අරමුණ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කර දින සියයක් ඇතුළත චන්ද්‍රිකා විධායක අගමැති ධුරයට පත්වීම ය. එහෙත් සැබෑ අරමුණ  චන්ද්‍රිකා විධායක ජනාධිපතිනිය බවට පත්කිරීම ය. ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ඉඩකඩ ඇත. 37 (1) වගන්තියට අනුව විධායක ජනාධිපතිට තම කාර්යයන් ඉටුකිරීමට නොහැකි අවස්ථාවක ජනාධිපති ධුරයේ වැඩ කිරීමට අගමැති පත්කළ හැකි ය. අවුරුදු එකොළහක් තිස්සේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි නොකළ චන්ද්‍රිකා මේ හදිසියේ දින සියයක් ඇතුළත ඒ ධුරය අහොසි කර විධායක අගමැති ධුරයකට  පත්වෙව් යැයි සිතිය නො හැකි ය. අද විපක්‍ෂයේ කිසිවකුටවත් විධායක ජනාධිපති ධුරය අහොසි කිරීමේ අවශ්‍යතාවක් නැත. එසේ අහොසි කිරීම යනු අහොසි කර්මයක් පමණකි. අද රනිල්ටත් චන්ද්‍රිකාටත් අවශ්‍ය මෛත්‍රිපාල සිරිසේන දඩමීමා කර ගනිමින් විධායක ජනාධිපති ධුරයට පත්වීම ය. ඒ බව තුන්වැනි විපක්‍ෂය වූ රනිල්ගේ විපක්‍ෂය සිරිකොතේ දී හෙළිදරවු කළේ ය.

එහි දී තිස්ස අත්තනායක මෛත්‍රිපාල සිරිසේනට කියා සිටියේ පැය විසිහතරක් ඇතුළත රනිල් ජනාධිපති කළ යුතු බව ය. ඒ සඳහා 37 (1) ව්‍යවස්ථාව යොදාගත යුතු බවත් ඔහු පැවසී ය. මෛත්‍රිපාල සිරිසේනට ඒ අනුව නියම වී ඇත්තේ දිවුරුම් දී පැය විසිහතරක් ඇතුළත 43 (3) ව්‍යවස්ථාව අනුව රනිල් හෝ චන්ද්‍රිකා හෝ අහමැති ලෙස පත්කර ඉන්පසු 37(1) ව්‍යවස්ථාව අනුව ඒ පත්කරන ලද අගමැතිට විධායක ජනාධිපති ධුරයේ වැඩ කටයුතු කරගෙන යැමට බලතල පවරා දී ගෙදර යෑම ය!

මෙහි දී මතක තබාගත යුතු කරුණ නම් තිස්ස අත්තනායකගේ බළලා මල්ලෙන් එළියට පැනීමට අනුව රනිල්ටත් ඒ අනුසාරයෙන් චන්ද්‍රිකාටත් අවශ්‍ය විධායක ජනාධිපති වීම මිස අන් කිසිවක් නොවන බව ය. ඉහත සඳහන් විපක්‍ෂ තුනෙන් කුමකට අනුව කටයුතු සිදුවුවත් එසේ සිදුවන්නේ බටහිරයන්ගේ අනුග්‍රහයෙනි. බටහිර රටවල ඇති විධායක ජනාධිපති ධූරය මෙහි දී අහොසි කිරීමට බටහිරයන්ට ඇති වුවමනාවක් නැත. ඊනියා යහපාලනය හා ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම ගැන ඇමරිකාවෙන් හෝ එංගලන්තයෙන් හෝ ඉගෙන ගත හැකි පාඩමක් නැත. මේ එක රටකවත් කලු ජනයාගේ ප්‍රශ්නය විසඳී නැත. අද ඇමරිකාවේ ෆර්ගියුසන් සිද්ධි පිළිබඳ බැං කි මූන් කොමිසමක් පත් නොකරන්නේ ඇයි.

රනිල් මෙන් ම චන්ද්‍රිකා ද මාක්ස්වාදය කටගාගත් අනුර දිසානායක ද සිංහල ජාතිකත්ව විරෝධීහු වෙති. අද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහොසි කිරීමටවත් ඊනියා යහපාලනයක් ඇති කිරීමටවත් නො වේ. ඔවුන්ගේ පක්‍ෂවල අභ්‍යන්තර යහපාලනයක් තිබේ ද? අද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ බටහිරයන්ගේ අනුග්‍රහය ලබමින් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත්කර ලෝක දෙමළ සංසදය යොදාගනිමින් ඒ මහතා ඊනීියා යුද්ධාපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය නමින් හැඳින්වෙන ගුබ්බෑයමට යවා මරණිය දණ්ඩනය පැනවීම ය. අද විපක්‍ෂයට අවශ්‍ය රනිල් හෝ චන්ද්‍රිකා හෝ විධායක ජනාධිපති ධුරයට පත්කර දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු එකක්වත් ඉටු නොවනු ඇත. ඇතැම් විට මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්‍ෂක නොවීමට ද ඉඩ ඇත. එයට හේතුව පොදු විපක්‍ෂයක් නො වීම ය.  මහින්ද රාජපක්‍ෂ මහතා සියයට පනස්පහකට වැඩි ඡන්දයක් ලබා දෙමළ ත්‍රස්තවාදය පැරදවු ආකාරයට බටහිර ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය පැරදවීම බටහිරයන්ට හෝ ඔවුන්ගේ ලාංකික ඒජන්තයන්ට හෝ නැචැත්විය නො හැකි ය.


නලින් ද සිල්වා

2014-11-30