Main Logo

Sunday 9 November 2014

නාය යෑම්


කොස්ලන්දේ නාය යෑම පිළිබඳ අපි දැනටමත් කෙටියෙන් සඳහන් කර ඇත්තෙමු. අප කියා ඇත්තේ පරිසරය සමග සහජීවනයෙන් විසීමට අපට නොහැකි වීම මේ ඛෙදවාචකයට හේතු වූ බව ය. එහි දී කඳුකරයේ වතු වගාවන් අපට නුසුදුසු බවත් අප වතු ආර්ථිකයෙන් වෙනත් ආර්ථිකයකට මාරුවිය යුතු බවත් අපි කීවෙමු. ඒ ප්‍රකාශ මගේ තීරු ලිපිවලට පමණක් සීමා වෙයි. ඉලෙක්ට්‍රොනික ජනමාධ්‍ය දේශපාලනඥයන්ගේ කියුම්වලට දෙන ප්‍රසිද්ධියෙන් කෝටියෙන් එකක්වත් අපේ ප්‍රකාශවලට ලබා නො දෙයි. නාය යෑම පිළිබඳ ප්‍රශ්නය අපි තවදුරටත් මේ තීරුවෙන් සාකච්ඡා කරමු. 

මේ ආපදාවට ආණ්ඩුව සූදානම් ව නොසිටි බව එ ජා ප නායකයන් කීම වැඩිම වුවහොත් විහිළුවකි. එ ජා පක්‍ෂය කාලයේ වූ සූදානම කුමක් ද? ඒ අතර ඇතැම් පඬිවරුන් (ඊනියා විද්‍යාඥයන්) කියා තිබුණේ අදාළ ප්‍රදේශයට ඉහළ ප්‍රදේශවල එළවලු වැවීම නාය යෑමට හේතුව බව ය. මේ පඬිවරුන්ටත් එ ජා පක්‍ෂයටත් බොහෝ ජනමාධ්‍යවලටත් අමතක වන කරුණ නම් නාය යෑම් යනු අද සුලබ සිද්ධීන් බවට පත්වී ඇති බව ය. අහවල් පාර, උඩරට දුම්රිය මාර්ගයේ අහවල් කොටස නාය යෑම් හේතුකොටගෙන අවහිර ඇති බව අප නිතර අසන ප්‍රවෘත්ති බවට පත් වී ඇත. ඒ නාය යෑම් හා කොස්ලන්දේ නාය යෑම අතර වෙනස නම් කොස්ලන්දේ දී ජීවිත හානි රාශියක් සිදු වීම ය. ඒ ප්‍රමාණය ඇතැම් ජනමාධ්‍ය තම අලෙවිය වැඩිකර ගැනීම සඳහා කී ප්‍රමාණයට වඩා බොහෝ අඩු වුවත් සැලකිය යුතු ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇත. 

ඉංගිරිසින් ලංකාවට පැමිණීමට පෙර මෙරට අඩි තුන්දාහෙන් ඉහළ ප්‍රදේශ ආරක්‍ෂිත (ඒ වචනය භාවිතා නොවුණ ද) ප්‍රදේශ ලෙස පැවතිණි. එහි කැලෑ අපට සම්පතක් විය. එය අපේ වන සම්පත ද යටත්විජ්තවාදීන්ගේ වන දුර්ගය ද විය. වන සම්පත අපට වැස්ස ලබාදීමට උපකාරි විය. මෙරට ගංගා බොහෝමයක් ආරම්භ වන්නේ කඳුකරයෙනි. මේ වන සම්පත කාලයක දී උඩරට රාජධානිය ආරක්‍ෂා කර දීමට ද සමත් විය. අපේ මුතුන් මිත්තන් ගරිල්ලා සටන් නමින් අද හැඳින්වෙන සටන් යුරෝපීයයන්ට එරෙහිව දියත් කළේ වන සම්පත උපයෝගී කර ගනිමිනි. අපි කිසි දිනෙක උඩරට රාජධානියේ දී සටන්වලින් නො පැරදුණෙමු. අප පරාජය වූයේ ඩොයිලිගේ සට කපට දේශපාලනයට ය. ඉංගිරිසිහු ඒ බව දැන සිටියහ. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම ඩොයිලිගේ සට කපට හමුවේ ද සිංහලයන්ට යම් වාසි ගෙන දුන්නේ ය. එහෙත් ඉංගිරිසිහු ගිවිසුම කැඩූහ. 1817 - 18 දී සිංහලයෝ ගිවිසුම කැඩීමට විරුද්ධ වෙමින් තම නිදහස් සටන ආරම්භ කළහ. ඉංගිරිසින්ට  මේ සියල්ල කරදරයක් විය. ඔවුහු සිංහල ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිය නැසීමට පියවර ගත්හ. කෝල්බෲක් කැමරන් කොමිසම එහි ආරම්භය විය. අදත් මෙරට කසිකබල් පඬියන් කොමිසමේ යෝජනා හඳුන්වන්නේ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ ලෙස ය. ඒ ප්‍රතිසංස්කරණ වූයේ ඉංගිරිසින්ට ය. අපට ඒ යෝජනා මරණීය හා මර්දනීය යෝජනා විය.

එ යෝජනා මගින් වෙනත් දේ අතර රාජකාරි ක්‍රමය හා සිංහල ආර්ථිකය විනාශ කෙරිණි. ස්වයංපෝෂිත ආර්ථිකය වෙනුවට වෙළෙඳ භෝග ආර්ථිකය හඳුන්වා දෙනු ලැබිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ වන දුර්ගය හෙවත් අපේ වන සම්පත නැති කිරීම ය. ඒ සඳහා පළමුව කෝපි වගාවත් පසුව තේ වගාවත් හඳුන්වා දෙනු ලැබිණි. සිංහලයන් වතුවල කුලී වැඩට අකමැති වූ බැවින් ඉංගිරිසිහු දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් ආනයනය කර ඊනියා ලයින් කාමරවල ඔවුන් පදිංචි කළහ. ඒ කම්කරුවන් සිංහලයන්ට විරුද්ධව ඉංගිරිසින් විසින් යොදාගනු ලැබූ නමුත් නමුත් අවම ජීවන පහසුකම්වත්  ආනයනය කරනු ලැබූවන්ට නො ලැබිණි. 

තේ පැළය පස සංරක්‍ෂණය කරන පැළයක් නො වේ. කොස්ලන්ද ප්‍රදේශය පමණක් නොව කඳුකර ප්‍රදේශය මුලුමනින් ම මෙන් නාය යෑමේ අනතුරට ලක් වී ඇත. එය එසේ නොවේ යැයි කීමට දත්ත හා ප්‍රවාද සංකල්ප ද සමගින් බටහිරයන් මෙරට කසිකබල් විද්‍යාඥයන්ට උගන්වා ඇත. මේ ප්‍රවාද සංකල්ප ආදිය පට්ටපල් බොරු ය. එහෙත් ඒ පට්ටපල් බොරු ඊනියා විද්‍යාවක නාමයෙන් සත්‍ය, යථාර්ථය ආදිය ලෙස සැලකීමට අපි පුරුදු වී සිටිමු. සුද්දන්ගේ ආර්ථිකය හා විද්‍යාව (කෘෂිකර්මය) හේතුකොටගෙන උඩරට නාය යන අතර අනෙක් බොහෝ ප්‍රදේශවල කෘෂිරසායනික වකුගඩු රෝගය ද ඇතුලු ඊනියා බෝ නොවෙන රෝග පැතිර යයි. බෝ නොවන රෝග යන්න ද බටහිර වෛද්‍යවරුන් අප නොමග යැවීමට නිර්මාණය කර ඇති සංකල්පයක් පමණකි. ඒ රෝග හැඳින්විය යුත්තේ බටහිර දැනුම් රෝග ලෙස ය. ඒ රෝගවලට මුල බටහිර පරිසර විරෝධී දැනුම ය. වකුගඩු රෝගයට හේතුව ආසනික වුවද එය ඊනියා විද්‍යාවට එකඟ නොවේ යැයි කියමින් බටහිර කෘෂිකර්මය ආරක්‍ෂා කිරීමට ඊනියා විද්‍යාඥයන් ඉදිරිපත් වන ආකාරයත් ඔවුන් සමහරවිට කැනඩාවේ සිට ද ඒ සඳහා උනන්දු වන ආකාරයත් අපි පසුගිය වසර කිහිපයෙහි දුටුවෙමු.

අප මේ දැනුමෙන් හා වතු ආර්ථිකයෙන් ගැලවිය යුතු ය. එසේ නැතිව නාය යෑමෙන් ගැලවිය හැකි නො වේ. එහෙත් එය එක් රැයකින් කළ හැක්කක් නො වේ. කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ තුන්වැනි වාරය දෙමළ ජාතිවාදය පරාජය කිරීමේ වාරය වනු ඇත . පළමු වාරයේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කර යම් සංවර්ධනයකට අඩිතාළම දමා ඇත. දෙවැනි වාරයේ දී සංවර්ධනය ද ත්‍රස්තවාදය පරාජය කිරීම ද තහවුරු කෙරී ඇත. තුන්වැනි වාරයේ දී ඒ සංවර්ධනය තවදුරටත් ගෙන යන අතර දේශීය සංවර්ධනයකට ද යොමු වෙමින් දෙමළ ජාතිවාදය පරාජය කළ යුතු වෙයි. ඒ සඳහා දෙමළ ජාතිවාදය පිටුපස සිටින එංගලන්තය පැරද විය යුතු ය. එයට ශක්තිමත් සංවර්ධනයක් ළඟා කරගත යුතු ය. අප කළ යුත්තේ දැනට සුද්දන්ගේ සංවර්ධනයේ ම සිටිමින් එහෙත් කම්කරුවන් ආදීන් ආරක්‍ෂා කරමින් එංගලන්තයේ දෙමළ ජාතිවාදය පරාජය කරන අතර දේශීය සංවර්ධනයකට යොමු වීම ය. නාය යෑමට ද වකුගඩු රෝගයට ද පිළිතුරු ඇත්තේ සුද්දන්ගේ දැනුමේ නො වේ. 


නලින් ද සිල්වා

2014-11-09