Main Logo

Showing posts with label විද්‍යාලංකාර. Show all posts
Showing posts with label විද්‍යාලංකාර. Show all posts

Saturday, 23 June 2012

අපාය ඇත්තේ කොහේ ද?

ක්වොන්ටම් භෞතිකයෙහි විද්‍යාලංකාර විවරණයට අනුව අප දැනට ප්‍රකාශ ඇති කරුණු මෙසේ ගොනු කර ගත හැකි ය. අප අංශුවක හෝ පද්ධතියක හෝ පැවතීම යන්නෙන් අදහස් කරන්නේ එහි ගුණ රාශියක පැවැත්ම ය. මේ ගුණවලට අපි මෙතැන් සිට අංශුවේ හෝ පද්ධතියෙහි හෝ මාත (modes) යැයි කියමු. අංශුවක හෝ පද්ධතියක හෝ පිහිටුම, ගම්‍යතාව, බැමුම, ගඳ සුවඳ, පැහැය හෙවත් වර්ණය, සුමටබව ගොරෝසුබව ආදිය එහි මාත වෙයි. අංශුවක් හෝ පද්ධතියක් යනු මෙවැනි මාතවල එකතුවක් වෙයි. එහෙත් එයින් කියැවෙන්නේ ඒ මාත හෙවත් ගුණ අපෙන් තොරව, එනම් නිරීක්‍ෂයකුගෙන් තොරව වාස්තවික ව පවතින බව නො වේ. ඒ සෑම මාතයක් ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ වෙයි.

මාතයක් යන්න අර්ථදක්වන්නේ ම නිරීක්‍ෂකයෙකි. එක් අයකුට මෘදු යනුවෙන් දැනෙන විට වෙනත් අයකුට තද බවක් දැනෙනු ඇත. අපට බිත්ති පසාරුකර ගෙන ගමන් කළ හැකි නො වේ. එහෙත් බුදුදහමට අනුව දෙවිවරුන්ට අමනුෂ්‍යයන්ට එසේ කළ හැකි ය. අපට මහ පොළොව පසාරු කරගෙන ගිය හැකි නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද පොළොව යටට යන කල ඉතා විශාල උෂ්ණත්ව සහිත ලෝ දිය වැනි ද්‍රව වෙයි. මේ ද්‍රව තට්ටුවල අමනුෂ්‍යයෝ මැරෙති. උපදිති. දුක් විඳිති. ක්‍ෂණයකින් නැවත මැරෙති. නැවත ඉපදෙති. අපට පොළොව පසාරු කරගෙන ගිය නොහැකි වුව ද අපායේ දුක් විඳින්නවුන්ට එය නිතිපතතා දුක් විඳිමින් කරණ කාර්යයකි. අපායක් නැතැයි කියන තම අත්දැකීම්වලට පමණක් ලෝකය සීමාවන්නේ යැයි සිතන උද්ධච්ඡයන් යථා කාලයේ දී අපා දුක් ද පසක් කරගනු ඇත.

එහෙත් මේ උද්ධච්ඡයන් අපාගතවන තුරු ඔවුන් අපායක් නැතැයි කියනු ඇත. අප ද සසරේ අනේකවාරයක් අපාගත වී ඇති බවට සැකයක් නොමැති නමුත් අපට ඒ පිළිබඳ මතකයක් නැත. අප ඒ බව පිළිගන්නේ බුදුන්වහන්සේගේ දේශනා පිළිබඳ අපට විචිකිච්චාවක් නොමැති බැවිනි. අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන පමණක් විශ්වාස කරන්නවුන්ට ක්වොන්ටම් භෞතිකය ද විශ්වාස කළ නොහැක්කේ මොන්රෝ විද්වතා ඇතුළු පිරිස අපේ ඉන්ද්‍රියවලට ගෝචර නොවී පවතින ක්වොන්ටම් අංශුවල අවස්ථා ඇති බව පෙන්වා දී ඇති බැවිනි. බටහිර විද්‍යාවෙන් මෝහනයට පත්ව අග්ගඤ්ඤ සූත්‍රයෙහි බුදුන් වහන්සේ දේශනාකර ඇති සත්ව විකාශය පැත්තකට දමා ඩාවින්ගේ බයිබල් ආකෘතියේ පරිණාමවාදය පිළිගන්නා අයට දෙවියන්ගේ ම පිහිට ය. ඩාවින්ගේ පරිණාමවාදය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කරන ලද්දකි.

ඒ ඒ නිරීක්‍ෂකයා විසින් සංස්කෘතියට මනසට හා ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව නිර්මාණය කරන ලද මාතවල එකතුවක් වූ වස්තුව යන්න නිරීක්‍ෂකයකුට සිය පංචේන්ද්‍රිය ඇසුරෙන් ග්‍රහණය කළ හැකි නො වේ. අලියා පසක කරගැනීමට යෑමේ දී අපි අලියාගේ හොඬවැල, කන්, කකුල්, ඇස්, පැහැය ආදිය මිස අලියා ග්‍රහණය නො කරන්නෙමු. එහෙත් අපට මනසක් ඇති බැවින් (වාස්තවික ව නොව වෙනත් දේ මෙන් ම සාපේක්‍ෂව සම්මුතියෙන්) අපට ඒ හොඬවැල ආදී සියලු පසක් කිරීම් පිළිබඳ ව මතක වෙයි. ඒ මතකවල එකතුව අලියා වෙයි. අලියා සමස්තයක් ලෙස එක්වර ග්‍රහණය කරගැනීම සඳහා එක් ඉන්ද්‍රියක් නැති බව බොහෝ දෙනකුට අමතක වෙයි.

ක්වොන්ටම් භෞතිකයෙහි දී අංශුවක හෝ පද්ධතියක හෝ විවිධ මාත ඇති නමුත් ග්‍රහණය කෙරෙන්නේ මැනගත හැකි මාත පමණකි. එනම් යම්කිසි සංඛ්‍යාත්මක අගයක් දීමට හැකි මාත පමණකි. මේ මාත හිල්බට් අවකාශයෙහි දෛශික මගින් නිරූපණය කෙරෙයි. සාමාන්‍යයෙන් ක්වොන්ටම් භෞතිකයෙහි විවරණ ආරම්භ වන්නේ අංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි දෛශිකයක් මගින් නිරූපණය කෙරෙයි යනුවෙනි. විද්‍යාලංකාර විවරණයෙහි ද මුලින් සඳහන් වී ඇත්තේ එසේ ය. එහෙත් එය තවදුරටත් විස්තර කළ යුතු බව අපි දැන් දනිමු. අපට අංශුවක පිහිටුම මැනගන්නා අතර යම්කිසි දිශාවක් දිගේ එහි බැමුම ද පරීක්‍ෂණයක් මගින් දැනගත හැකි අවස්ථා වෙයි. එවිට පිහිටුම යන මාතය හිල්බට් අවකාශයෙහි φ දෛශිකයෙන් ද බැමුම යන මාතය ψ දෛශිකයෙන් ද නිරූපණය කළ හැකි වෙයි. මැනගත හැකි වෙනත් මාත ඇත්නම් ඒවා ද එලෙස හිල්බට් අවකාශයෙහි වෙන වෙන ම දෛශික මගින් නිරූපණය කිරීමට හැකි වෙයි.

එහෙත් මේ එක් දෛශිකයක්වත් අනෙක් මාත නිරූපණය කෙරෙන එක් එක් දෛශිකයට සමාන නො වේ. එනම් φ = ψ යනුවෙන් කිවහැකි නො වේ. ඒ අතර කිවයුතු තවත් කරුණක් නම් මේ මාත මැනගත හැකි ය යන්නෙන් කියැවෙන්නේ අංශුවෙහි අදාළ යම් මාතයක් අදාළ හර්මිෂන් කාරකයෙහි එක් අයිගන් දෛශිකයකින් පමණක් නිරූපණය වන බව ය. එවිට කලින් කියා ඇති පරිදි එම කාරකයෙහි ප්‍රතිබද්ධ කාරකයෙහි එක් අයිගන් දෛශිකයකින් පමණක් මාතයක් නිරූපණය කළ හැකි නො වේ. දැන් ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි යම් දෛභිකයක් මගින් නිරූපණය කළ හැකි ය යන්නෙහි තේරුම අන්කිසිවක් නොව අංශුව හෝ පද්ධතිය හෝ ඉහත සඳහන් මාත නිරූපණය කරන දෛශිකවල යම් ඒකජ සංයෝජනයකින් නිරූපණය කළ හැකි ය යන්න ය. හිල්බට් අවකාශයෙහි දෛශිකවල එකතුවක් ද හිල්බට් අවකාශයෙහි තවත් දෛශිකයක් වන බැවින් ඒ එසේ වෙයි.

අංශුවක හෝ පද්ධතියක හෝ යම් මාතයක අගය අප දන්නේ නම් අදාළ නිරීක්‍ෂ්‍යය නිරූපණය කරන හර්මිෂන් කාරකයෙහි ප්‍රතිබද්ධ කාරකයෙන් නිරූපණය කෙරෙන නිරීක්‍ෂ්‍යයෙහි අගය, අදාළ මාතයෙහි අගය අපි නො දන්නෙමු. එහෙත් ඒ මාතය නෙපවතින්නේ යැයි අපි නො කියමු. ඒ මාතය නිරීක්‍ෂණය නොකළ ද එය පවතියි. එහෙත් එය පවතින්නේ සම්මුති අර්ථයකින් මිස ඊනියා වාස්තවික යථාර්ථවාදී අර්ථයකින් නො වේ. ඒ මාතය අපේ පංචේන්ද්‍රියවලට හා මනසට ග්‍රහණය නොවන නමුත් එය පවතියි. මොන්රෝ පරීක්‍ෂණවලින් කියැවෙන්නේ එයයි.

පංචේන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක් පවතින්නේ යැයි සිතන ඊනියා බුද්ධිමතුන්ට ක්වොන්ටම් භෞතිකයෙන් සමු ගැනීමට සිදුවනු ඇතත් ඔවුන් එසේ නොකරනු ඇත. එයට හේතුව ඔවුන්ගේ දීන මානසිකත්වයයි. අපාය පොළොව යට තිබෙන්නේ කෙසේ දැයි අසන මොවුහු කිසි දිනෙක ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර දැයි නො අසති. බුදුන්වහන්සේට වඩා නිව්ටන් පිළිගන්නා මොවුහු අයින්ස්ටයින් විසින් නැතැයි කියනු ලැබූ ගුරුත්වාකර්ෂණය තමන්ට විඳිය හැකි යැයි පැවසීමට තරම් නිවට වෙති.

ඇතැම් විට ඔවුන් සිතනු ඇත්තේ අපායෙහි ඇත්තේ ද තමන්ගේ වැනි සිරුරු සහිත සත්වයන් කියා ය. එහෙත් මොවුන් නොදන්නා කරුණක් නම් මිනිස් හා තිරිසන් සත්ව රූපවල පඨවි ධාතුව වැඩි බවත් දෙවියන්ගේ හා අමනුෂ්‍යයන්ගේ සිරුරුවල වායෝ ධාතුව ඉතා අධික බවත් ය. ඇතැම් අවස්ථාවල බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණි දෙවිවරු තම සිරුරුවල පඨවි ධාතුව වැඩිකරගත්හ. එසේ කරගැනීමට නොහැකි වූ දෙවිවරුන් පය ගසා සිටීමට නොහැකි වී ගිලා බැස ඇති විට බුදුන්වහන්සේ ඔවුන්ට පඨවි ධාතුව වැඩිකර ගැනීමට උපදෙස් දී ඇති අයුරු ඊනියා බුද්ධිමතුන්ට බෞද්ධ සාහිත්‍යයෙන් දැනගත හැකි ය.

පඨවි ධාතුව වැඩි මිනිස් සිරුරු ආපෝ ධාතුව වැඩි ජලයේ ගිලී යෑම වැළැක්වීමට වායෝ ධාතුව වැඩි වළලු සිරුර වටා දා ගැනීමට පිහිනීමට පුරුදුවන ඇතැම්හු පෙළඹෙති. වායෝ ධාතුව අධික සිරුරු ඇතියවුන්ට (දෙවියන් ප්‍රේතයන් ආදීන්) බිත්තියක් පසාරු කරගෙන යෑම අසීරු කාර්යයක් නො වේ. ඊනියා බුද්ධිමතුන්ගේ ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් මුළු ලෝකය ම තම සිරුර හා ඒ සමග තම මනස උපයෝගී කරගනිමින් පමණක් දැනගැනීමට හැකි යැයි සිතීම ය.

කලින් සඳහන් කෙරුණු කරුණුවලින් කියැවෙන්නේ යම් මාතයක පැවැත්ම (සාපේක්‍ෂ සම්මුති අර්ථයකින්) පිළිබඳ දැනුම හා ඒ මාතයෙහි අගය පිළිබඳ දැනුම යනු එකක් නොවන බව ය. අපට යම් මාතයක පැවැත්ම දැනගත හැකි නමුත් ඒ මාතය ගන්නා අගය දැනගැනීමට ඇතැම් අවස්ථාවල නොහැකි වනු ඇත. එය අප අපායේ පැවැත්ම ගැන දන්නා නමුත් එහි උෂ්ණත්වයෙහි අගය සෘජුව දැනගෙන නොමැති විලසට ය. එහෙත් මෙහි දී කිවයුතු කරුණක් නම් මේ නිදර්ශනය ක්වොන්ටම් භෞතදකය සම්බන්ධයෙන් නම් එතරම් සතුටුදායක නොවන බව ය. එයට හේතුව අපාය ක්වොන්ටම් පද්ධතියක් නො වීම ය.

අප යම් මාතයක අගය දන්නේ නම් අදාළ ප්‍රතිබද්ධ මාතය පවතින බව දන්නා නමුත් අපි එහි අගය නො දනිමු. අවශ්‍ය නම් සුදුසු පරීක්‍ෂණයක් මගින් ඒ දැනගත හැකි වෙයි. එවිට අපට අගයයන් රාශියකින් (එකකට වැඩි ගණනකින්) එකක් පමණක් ලැබෙයි. පරීක්‍ෂණයට පෙර අපට කීමට හැක්කේ ප්‍රතිබද්ධ මාතයෙහි අගය අහවල් එක වීම සඳහා අහවල් සම්භාවිතාවක් ඇති බව පමණ ය. යථාර්ථවාදීහු ප්‍රතිබද්ධ මාතයෙහි අගය නිශ්චිතව දැක්වීමට නොහැකි නිසා ක්වොන්ටම් භෞතිකය අසම්පුර්ණ පද්ධතියක් ලෙස සලකති. අනෙක් අතට ඉන්ද්‍රියානුභූතවාදීහු ඉන්ද්‍රිය ගෝචර ව නොදන්නා දේ ගැන කතාකිරීම ප්‍රතික්‍ෂෙප කරති. එහෙත් බෞද්ධයන් වූ අපට ඉන්ද්‍රිය ගෝචර නොවන දේ ද ඉන්ද්‍රිය ගෝචර දේ මෙන් ම සම්මුති අර්ථයකින් පවතින බව දැනගැනීම ප්‍රශ්නයක් නො වේ. විද්‍යාලංකාර විවරණය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිර්මාණය වූයේ වෙයි.

මෙහි දී තවත් වැදගත් කරුණක් කීමට ඇත. ක්වොන්ටම් අංශුවක හෝ පද්ධතියක හෝ සෑම විට ම යම් මාතයක හෝ එහි ප්‍රතිබද්ධයෙහි හෝ අගයක් දැන සිටිය යුතු ම නො වේ. ඇතැම් අවස්ථාවල යම් මාතයක් හෝ එහි ප්‍රතිබද්ධය හෝ ගන්නා අගය දෙකෙන් එකක්වත් නොදැන සිටින්නට වුව ද හැකි ය. මෙහි දී අන් සියල්ලට ම වඩා වැදගත් වන්නේ අනිශ්චයතා මූල ධර්මය ය. ඉන් කියැවෙන්නේ අදාළ මාතයෙහි හා එහි ප්‍රතිබද්ධයෙහි මධ්‍යන්‍ය අගයයන්ගෙන් අගය වෙනස්වීමේ මධ්‍යන්‍ය වර්ග අපගමනයන්හි ගුණිතය යම් අගයකට වැඩිවිය යුතු බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අදාළ මාතයෙහි හෝ එහි ප්‍රතිබද්ධයෙහි හෝ අගය නිශ්චිතව ම මැනගත හැකි වීම අනිවාර්ය නො වේ. ඒ අගය දෙකෙන් එකක්වත් අප නිශ්චිතව නොදැන සිටීමට හැකි ය.

උදාහරණයක් ලෙස ගතහොත් යම් නිරීක්‍ෂකයකු ක්වොන්ටම් අංශුවක පිහිටුම මෙන් ම ගම්‍යතාව ද නොදන්නා අවස්ථා තිබිය හැකි ය. එහි දී අංශුවට පිහිටුම් රාශියක් මෙන් ම ගම්‍යතා රාශියක් ද තිබිය හැකි ය. ඒ සෑම එකකට ක අගයක් තිබෙන නමුත් අපට ඒ නිරීක්‍ෂණය කළ නො හැකි ය. ඒ අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. අනිශ්වයතා මූල ධර්මය අනුව නොවිය හැක්කේ ක්වොන්ටම් අංශුවක එක්වර ම පිහිටුම හා ගම්‍යතාව දැන ගැනීම ය. එහෙත් එක්වර පිහිටුම මෙන් ම ගම්‍යතාව ද නොදැන සිටීම (මැනගෙන නොසිටීම) අනිශ්චයතා මූලධර්මයට පටහැණි නො වේ.

මීළඟ ප්‍රශ්නය වන්නේ ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට තවත් තැනකට යන්නේ කෙසේ ද යන්න ය. එය නිව්ටෝනීය අංශුවක් ලෙස යම් පෙතක් දිගේ ගමන් කරන්නේ ද? එසේත් නැත්නම් ඒ සඳහා වෙනත් ක්‍රමයක් වේ ද? ඊනියා බුද්ධිමතුන් අපායට යන්නේ කෙසේ ද යන්නත් එක් අතකින් ගත්කළ අදාළ ප්‍රශ්නයකි.



Sunday, 17 June 2012

පන්චේන්ද්‍රියයන්ට ගෝචර නොවී පැවතීම


විද්‍යාලංකාර විවරණය ලෙස අප විසින් හැඳින්වෙන්න කැලණිය විශ්වවිද්‍යාලයීය ඊනියා ශාස්ත්‍රීය සඟරාවක හා ඇමරිකාවේ කෝනල් විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සඟරාවක පළ වී ඇතත් එය ලංකාවේ බටහිර භෞතික විද්‍යාඥයන් අතර කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. වෙනත් රටවල බටහිර භෞතික විද්‍යාඥයන් කිහිප දෙනකු පෞද්ගලික ව ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ඒ පිළිබඳ මගෙන් විමසා ඇති නමුත් එය බටහිර භෞතික විද්‍යාවේ පොදුවේ සාකච්ඡා වූවක් නො වේ. එබැවින් ක්වොන්ටම් භෞතිකයේ තුන්වැනි විවරණයක් ලෙස මෙහි දී ඉදිරිපත් කෙරුණ ද එයට බටහිර විිද්‍යා ලෝකයේ කිසිදු තැනක් හිමි වී නැත. එය මෙහි දී සාකච්ඡා කෙරෙනුයේ මෙරට ක්වොන්ටම් භෞතිකය ගැන උනන්දුවක් දක්වන අයට ඒ පිළිබඳ ව වැඩිදුරටත් සිතීමට අනුබල දීම සඳහා ය.

විද්‍යාලංකාර විවරණයට අනුව අංශුවක හෝ පද්ධතියක හෝ යම්කිසි ගුණයක අගය මැන ඇති විට, අදාළ අංශුව හෝ පද්ධතිය හෝ ඒ ගුණය නිරූපණය කරන හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයක් මගින් නිරූපණය කෙරෙයි. එම කාරකයෙහි ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන ගුණය මැනගත නොහැකිවා පමණක් නොව අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථාව එම ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි තනි අයිගන් දෛශිකයකින් නිරූපණය කළ හැකි නො වේ. අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථාව නිරූපණය කළහැකි වන්නේ අදාළ ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයකිනි. එම ගුණය මැනගැනීමට, නිරීක්‍ෂණය කිරීමට ගිය විට එම ඒකජ සංයෝජනය වෙනුවට එක් අයිගන් දෛශිකයක් පමණක් ලැබෙයි.

එසේ එක් අයිගන් දෛශිකයක් පමණක් ලැබීමට තරංග ශ්‍රිතයෙහි කඩාවැටීමක් යැයි කියනු ලැබෙයි. ඒ එක් අයිගන් දෛශිකය පමණක් ලැබුණු විට එම අයිගන් දෛශිකයට අයත් අයිගන් අගය ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන ගුණයෙහි අගය ලෙස නිරීක්‍ෂකයාට මැනගත හැකිවෙයි. කෙසේ වෙතත් ප්‍රශ්නය වනුයේ එසේ තරංග ශ්‍රිතය හෙවත් අයිගන් ශ්‍රිතය කඩාවැටීමට පෙර අදාළ ප්‍රතිබද්ධ කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයක් ලෙස පවතින විට ඒ අයිගන් දෛශික ගැන කිව හැක්කේ කුමක් ද යන්න ය.

යථාර්ථවාදීන්ට අනුව එලෙස අයිගන් දෛශික රාශියක එකතුවක් ලෙස පවතින දෛශිකයකින් නිරූපණය වන්නක් පැවතිය නොහැකි ය. ඔවුන්ට අනුව අංශුව හෝ පද්ධතිය හෝ ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි ද එක් අයිගන් දෛශිකයක් මගින් පමණක් නිරූපණය විය යුතු ය. එසේ කිරීමට නොහැකිවීම මගින් ක්වොන්ටම් භෞතිකය සම්පුර්ණ වශයෙන් සූත්‍රගත වී නොමැතිය යන්න පිළිබිඹු වන බව යථාර්ථවාදීන්ගේ අදහස වෙයි. ඉන්ද්‍රියානුභූතවාදීන්ට අනුව ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන අවස්ථාව නිරීක්‍ෂණය කළ නොහැකි බැවින් ඒ ගැන කිසිවක් කීව නොහැකි ය. නිරීක්‍ෂණය කළ නොහැකි දේ ගැන කතාකිරීම නිෂ්ඵල යැයි ඔවුහු පවසති. ඔවුන්ට අනුව කිව හැක්කේ ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන ගුණය මැනගතහොත් එහි අගය ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි යම්කිසි අයිගන් දෛශිකයකට අනුරූප අයිගන් අගයක් බවත් එම අගය ලබාගැනීමේ සම්භාවිතාව මෙපමණ ය යන්නත් පමණ ය.

මෙහි දී මූලික ප්‍රශ්නය වනුයේ අංශුවක හෝ පද්ධතියක හෝ යම් ගුණයක පැවැත්ම හා එම ගුණය නිරූපණය කෙරෙන හර්මිෂන් කාරකයෙහි අදාළ අයිගන් දෛශිකය අතර සම්බන්ධය කුමක් ද යන්න ය. අංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි යම් දෛශිකයකින් (යම් හර්මිෂන් කාරකයක අයිගන් දෛශිකයකින්) නිරූපණය වන්නේ ය යන්නෙහි තේරුම සමස්ත අංශුව ම හෝ සමස්ත පද්ධතිය ම හෝ එම දෛශිකයෙන් නිරුපණය වන්නේ ය යන්න නො වේ. එහි දී වන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ යම්කිසි ගුණයක් ඒ ගුණය නිරූපණය කරන හර්මිෂන් කාරකයේ අයිගන් දෛශිකයකින් නිරූපණය කෙරෙන බව ය. මෙහි දී පැහැදිලි විය යුතු කරුණ නම් අදාළ අයිගන් දෛශිකයෙන් නිරූපණය කෙරෙන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ යම්කිසි ගුණයක් මිස සමස්ත අංශුව හෝ සමස්ත පද්ධතිය හෝ නොවන බව ය. එවිට එම ගුණය නිරූපණය කෙරෙන හර්මි’ෂන් කාරකයෙහි ප්‍රතිබද්ධ කාරකයෙන් නියෝජනය කෙරෙන ගුණය අදාළ අයිගන් දෛශිකයෙන් නිරූපණය නො වෙයි.

උදාහරණයකට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම හිල්බට් අවකාශයෙහි යම්කිසි අයිගන් දෛශිකයකින් නිරූපණය කෙරෙන්නේ නම් එහි ගම්‍යතාව එම දෛශිකයෙන් නිරූපණය නො වෙයි. අප කිහිප වතාවක් ම කියා ඇති පරිදි අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම ගම්‍යතා කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයකින් නිරූපණය වෙයි. දැන් ප්‍රශ්නය වන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ යම් දිශාවක් දිගේ බැමුම නිරූපණය කෙරෙන්නේ කුමකින් ද යන්න ය. මෙහි දී අපි අංශුවක් සලකමු. යම් දිශාවක් දිගේ අංශුවෙහි බැමුම මැනගෙන ඇතැයි සිතමු. එවිට එම ගුණය හිල්බට් අවකාශයෙහි යම්කිසි දෛශිකයකින් නිරූපණය වෙයි. එවිට නැවතත් මතක් කළ යුත්තේ එම දිශාවට ලම්බ දිශාවක් දිගේ අංශුවෙහි බැමුම මැනගෙන නැති බව හා ඒ ලම්බ දිශාව දිශාව දිගේ බැමුම නිරූපණය කරන හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකවල (මෙහි දී අයිගන් දෛශික දෙකක) ඒකජ සංයෝජනයක් ලෙස අංශුවෙහි මුල් දිශාව දිගේ බැමුම නිරූපණය කෙරෙන බව ය.

මෙයින් පැහැදිලි වන කරුණ නම් ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් හෝ පද්ධතියක් නිරූපණය කිරීමට හිල්බට් අවකාශයෙහි දෛශික රාශියක් අවශ්‍ය වන බව ය. පිහිටුම එක් දෛශිකයක් මගිනුත්, බැමුම තවත් දෛශිකයක් මගිනුත්, ආදී වශයෙන් නිරූපණය කෙරෙන අතර අදාළ කාරකවල ප්‍රතිබද්ධ කාරක මගින් නිරූපණය කෙරෙන ගුණ ඒ ඒ මුල් දෛශිකවලින් නිරූපණය නො කෙරෙයි. දැන් අපට අලුත් ප්‍රශ්නයක් ඇසිය හැකි ය. අපි නැවතත් අංශුවක් සලකමු. අංශුවෙහි පිහිටුම නිරූපණය කෙරෙන දෛශිකය හා අංශුවෙහි බැමුම නිරූපණය කෙරෙන දෛශිකය අතර සම්බන්ධය කුමක් ද?

අංශුවෙහි පිහිටුම නිරූපණය කෙරෙන දෛශිකය පිහිටුම් කාරකයෙහි යම්කිසි අයිගන් දෛශිකයකි. එය φ දෛශිකය ලෙස ගනිමු. එමෙන් ම යම්කිසි දිශාවක් දිගේ අංශුවෙහි බැමුම නිරූපණය කෙරෙන දෛශිකය අදාළ දිශාව දිගේ බැමුම් කාරකයෙහි අයිගන් දෛශිකයක් (අයිගන් දෛශික දෙකෙන් එකක්) වෙයි. එය ψ දෛශිකය ලෙස සලකමු. φ සහ ψ දෛශික දෙකම හිල්බට් අවකාශයෙහි දෛශික වෙයි. එහෙත් ඒ එක් දෛශිකයක් අනෙක් දෛශිකයෙන් ලිවිය හැකි නො වේ.

එහෙත් අදාළ දිශාව දිගේ අංශුවෙහි බැමුම් කාරකයෙහි අයිගන් දෛශික දෙක ψ සහ χ යැයි සිතමු. දැන් ප්‍රශ්නය φ දෙශිකය ψ සහ χ දෛශිකවලින් ලිවිය හැකි ද යන්න ය. එසේ ලිවීමට බාධාවක් නොතිබිය යුත්තේ හිල්බට් අවකාශයෙහි ඕනෑම දෛශිකයක් යම් කාරකයක අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයක් ලෙස ප්‍රකාශ කිරීමට හැකි බැවිනි. එවිට φ දෙශිකය ලෙස ලිවිය හැකි විය යුතු ය. එහෙත් පිහිටුම් කාරකය φ දෙශිකය මත යෙදීමෙන් ලැබෙන ප්‍රතිඵලය එම කාරකය මත යෙදීමෙන් නො ලැබෙයි. එයට හේතුව ψ සහ χ දෛශික පිහිටුම් කාරකයෙහි අයිගන් දෛශික නො වීම ය. එසේ වුවත් මෙහි තවත් නොවිසඳුනු ප්‍රශ්න වෙයි.

අප ඒ ගැන තවදුරටත් සාකච්ඡා නොකර නැවතත් අංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි යම්කිසි දෛශිකයකින් නිරූපණය කෙරෙන්නේ ය යන්න සලකා බලමු. පැහැදිලිව ම ඉන් කියැවෙන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ මැනගෙන ඇති යම් ගුණයක් පමණක් එම දෛශිකයෙන් නිරූපණය කෙරෙන බව ය. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක හෝ පද්ධතියක හෝ පැවැත්ම මුළුමනින් ම හිල්බට් අවකාශයෙහි එක් දෛශිකයකින් පමණක් නිරූපණය කළහැකි නො වේ. අපට කිව හැක්කේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ මැනගෙන ඇති යම් ගුණයක් හිල්බට් අවකාශයෙහි එක් දෛශිකයකින් නිරූපණය කළ හැකි බව ය. අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ මැනගෙන ඇති සියළු ගුණ නිරූපණය කිරීමට හිල්බට් අවකාශයෙහි දෛශික රාශියක් අවශ්‍ය වෙයි. ඒ දෛශික සංඛ්‍යාව මැනගෙන ඇති සියළු ගුණ සංඛ්‍යාවට සමාන වෙයි.

ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක හෝ පද්ධතියක පැවැත්ම යනු එහි මැනගෙන ඇති සියළු ගුණවල හා තවත් ගුණවල පැවැත්ම ය. මෙහි දී මැනගෙන ඇති යන්නෙන් ප්‍රායෝගික ව මැනගෙන ඇති යන්න පමණක් අදහස් නො වේ. ප්‍රායෝගිකව මැණගෙන නැතත් යම්කිසි ගුණයක් පද්ධතියට ඇත්නම් එය ද මැනගෙන ඇති ගුණයක් යන්නට ඇතුළත් වෙයි. එවැනි ගුණ පවතින්නේ යැයි අපට කිවහැකි වෙයි. අංශුව හෝ පද්ධතිය හෝ යනු මේ සියළු ගුණවල මෙන් ම මැනගෙන නොමැති ගුණවල ද එකතුව වෙයි.

එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තක් වෙයි. එනම් මේ පැවැත්ම යනු ඊනියා වාස්තවික පැවැත්මක් නොවන බව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නොවී අංශුවක හෝ පද්ධතියක හෝ යම්කිසි ගුණයකට පැවැත්මක් නැත. අඩුම තරමෙන් ගුණය කුමක් ද යන්න නිරීක්‍ෂකයා අතින් සංකල්ප ගත වෙයි. අප මෙහි දී නිරීක්‍ෂණය කරන්නේ සංකල්පීය ලෝකයකි. යම් ගුණයක් නිරීක්‍ෂණය කළ විට අදාළ කාරකයෙහි ප්‍රතිබද්ධ කාරකයෙන් නිරූපනය කෙරෙන ගුණය ගැන අපට කිව හැක්කේ කුමක් ද?

විද්‍යාලංකාර විවරණයට අනුව ඒ ගුණය ද පවතියි. ඒ ගුණය පවතින්නේ (සම්මුති අර්ථයකින් මිස ඊනියා වාස්තවික අර්ථයකින් නො වේ) ද නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ය. එහෙත් මෙහි දී ඒ ගුණය අවස්ථා එකකට වැඩි ගණනක පවතියි. එය මැනගෙන නොමැත. අප ඉහතින් මැනගෙන නොමැති ගුණ යන්න ද අපේ සූත්‍රගත කිරීමට එකතු කළේ මෙයට ඉඩකඩ සැපයීමට ය. මැනගෙන නොමැති වුවත් ඒ ප්‍රතිබද්ධ කාරකයෙන් නිරූපනය කෙරෙන ගුණය, අවස්ථා එකකට වැඩි සංඛ්‍යාවක එකතුවක් ලෙස පවතියි. එහෙත් අපට ඒ දැකගත හැකි ෙැනා වේ. එනම් එය අපේ පංචේන්ද්‍රියයන්ට හා මනසට ගෝචර නො වේ. පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවූවත් එය පවතියි.

එහෙත් ඒ ගුණය, එනම් මැනගෙන නොමැති ගුණය පවතින්නේ සම්මුති අර්ථයකිනි. අපේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර නොවන නමුත් එය අවස්ථා රාශියකින් ඇති බව අපට දැනගත හැකි ය. ඒ දැනගැනීම හුදු අනුමානයක් නො වේ. එය දැක ගැනීමක් නොවූ දැන ගැනීමකි. මොන්රෝ විද්වතා සහ පිරිස විසින් කලකට පෙර කරන ලද පර්යේෂණවලින් ඒ බව පැහැදිලි විය. යම් ගුණයක් අපේ ඉන්ද්‍රියවලට ගෝචර නොවී පැවතිය හැකි ය යන්න මෙහි දී ඉදිරිපත් කෙරෙන ප්‍රධාන අදහස ය.

මෙය ක්වොන්ටම් භෞතිකයෙන් අපට ඉදිරිපත් කෙරෙන වැදගත් ම අදහස යැයි සිතමි. සම්භාව්‍ය භෞතිකයෙහි මෙවැන්නක් නැත. එහි යම් අංශුවක හෝ පද්ධතියක හෝ යම් ගුණයක් පවතින්නේ නම් ඒ ගුණය අපට නීිරීක්‍ෂණය කළ හැකි ය. එනම් ඒ ගුණය අපේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර වෙයි. අපට නිරීක්‍ෂණය කළ නොහැකි ගුණ ඇතැමුන්ගේ මනසට පමණක් ගෝචර වනනේ යැයි සිතිය හැකි ය.

Sunday, 3 June 2012

පැවැත්ම හා විද්‍යාලංකාර විවරණය

අයින්ස්ටයින් පොඩොල්ස්කි රොසන් හෙවත් ඊ පී ආර් විසංවාදයේ දී ඒ තිදෙනා නමින් පළ වූ පත්‍රිකාවෙහි මූලික වශයෙන් සඳහන් වූයේ පහත දැක්වෙන අදහස ය. අවකාශයෙහි රික්ත ශක්තියෙන් එක විට ඇතිවන අංශු දෙකක් විශ්වයෙහි දෙපැත්තකට චලනය වන්නේ යැයි සිතමු. දැන් අංශු දෙකෙහි බැමුම සංස්ථිතිය හේතුකොටගෙන ප්‍රතිවිරුද්ධ විය යුතු ය. එක් අංශුවක යම් දිශාවක් දිගේ බැමුම ධන නම් අනෙක් අංශුවෙහි ඒ දිශාවට වූ බැමුම සෘණ විය යුතු ය. එහෙත් ක්වොන්ටම් යාන්ත්‍රිකයට අනුව අංශු දෙකෙහි බැමුම එක් දිශාවක් දිගේ දන්නේ නම් ඒ දිශාවට ලම්බ වූ දිශාවක් දිගේ දැන ගැනීමට නො හැකි ය. එයට හේතුව ඒ දිශා දෙක දිගේ ඇති බැමුම් ප්‍රතිබද්ධ නිරීක්‍ෂ්‍ය වීම ය. එනම් අදාළ කාරක ප්‍රතිබද්ධ කාරක වීම ය.

බැමුම දන්නා දිශාවට ලම්බ දිශාවක් දිගේ අංශු දෙකෙන් ඕනැම අංශුවක බැමුම අදාළ අයිගන් දෛශික දෙකෙහි අධිස්ථාපනයක් වෙයි. ඒ අයිගන් දෛශිකවල අයිගන් අගය ධන හෝ සෘණ හෝ වෙයි. දැන් යම් නිරීක්‍ෂකයකු ඒ ලම්බ දිශාවක් දිගේ එක් අංශුවක බැමුම මැන්නේ යැයි සිතමු. ඒ මැනීමෙහි, හෙවත් නිරීක්‍ෂණයෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ තරංග ශ්‍රිතය කඩාවැටී ඒ දිශාව දිගෙහි අංශුවෙහි බැමුම ධන හෝ සෘණ හෝ ලෙස නිරීක්‍ෂණය වෙයි. එය ධන යැයි අපි සිතමු. එනම් නිරීක්‍ෂණයෙන් පසුව, එහි ප්‍රතිඵලයක් ලෙස ඒ මැනගන්නා අංශුවෙහි අදාළ දිශාව දිගේ බැමුමෙහි අගය ධන වෙයි. දැන් සංස්ථිති නියමය අනුව අනෙක් අංශුවෙහි එම දිශාවට ම වූ බැමුමෙහි අගය සෘණ විය යුතු ය.

අයින්ස්ටයින් විද්වතා කියා සිටියේ එසේ නම් පළමු අංශුවෙහි අදාළ දිශාවට වූ බැමුම මැනගත් විට දෙවැනි අංශුවෙහි බැමුමෙහි අගය ද මනින්ට පෙර ම දැනගත හැකි බව ය. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙහි සූත්‍රගත කිරීම අනුව එසේ විය නො හැකි ය. එයට හේතුව ක්වොන්ටම් භෞතිකයට අනුව ඕනෑම අංශුවකට ඕනැම ගුණයක් ලැබෙන්නේ ඒ මැනගැනීමෙන් පසුව වීම නිසා ය. අයින්ස්ටයින් විද්වතා මෙහි දී තමා සහ තවත් දෙදෙනකුගේ නමින් ඇති විසංවාදයෙන් පෙන්නුම් කළේ එසේ මැනගැනීමට පෙරත් දෙවැනි අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම දන්නා බව ය. ක්වොන්ටම් භෞතිකයේ සූත්‍රගත කිරීමෙහි එවැන්නක් නොමැති බැවින් ඔහු ක්වොන්ටම් භෞතික අසම්පූර්ණ පද්ධතියක් ලෙස සැලකී ය.

ඔහුගේ අදහස වූයේ පළමු අංශුවෙහි අදාළ දිශාව දිගේ බැමුමෙහි අගය මැනීමෙන් පසුව ඒ බව දෙවැනි අංශුවට දැන්වීමට යම් කාලයක් ගතවන බව ය. එයට හේතුව විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව සන්නිවේදනයේ උපරිම වේගය ආලෝකයේ වේගය වීම ය. ආලෝකයේ වේගයෙන් පළමු අංශුවේ සිට දෙවැනි අංශුවට සන්නිවේදනය කිරීමට යම් කාලයක් ගත යුතු වෙයි. එසේ නම් දෙවැනි අංශුවට ක්‍ෂණිකව අදාළ දිශාව දිගේ බැමුම සෘණ කර ගැනීමට නො හැකි ය. එහෙත් සංස්ථිති නියමය අනුව එය එසේ විය යුතු ය.

මේ ප්‍රශ්නයේ දී බෝර් විද්වතාගේ මතය වූයේ අංශු දෙක වෙන වෙන ම අංශු දෙකක් ලෙස සෑලකීම වැරදි බව ය. ඔහු කියා සිටියේ අංශු දෙක එකම පද්ධතියක් බවත් එබැවින් එක් අංශුවක යම් දිශාවක් දිගේ බැමුම මැනීම යනු අනෙක් අංශුවෙහි ද ඒ දිශාව දිගේ බැමුම මැනීමක් බවත් ය. එහෙත් අයින්ස්ටයින් විද්වතා ඒ මතය නො පිළිගත්තේය. කෙසේ වෙතත් මේ ගැටලුව නිරාකරණය කරගැනීමට පරීක්‍ෂණයක් කළ යුතු විය. ඒ පරීක්‍ෂණය ඇස්පෙ නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයකු විසින් 1982 දී කරන ලදී. ඒ පරීක්‍ෂණයෙන් අයින්ස්ටයින් විද්වතාගේ මතය වැරදි බව හෙළි විය. එහෙත් එයින් බෝර් විද්වතා නිවැරදි යැයි එකහෙළා කිව නො හැකි ය.

ඇස්පෙ විද්වතා හා ඔහුගේ කණ්ඩායම කලේ යම් දිශාවක් දිගේ එක් අංශුවක බැමුම නිරීක්‍ෂණය කර ඒ අංශුවට ෙිවැනි අංශුව සමග ආලෝකයේ වේගයෙන් සංනිවේදනය කිරීමට ගතවන කාලයට අඩු කාලයක දී දෙවැනි අංශුවේ ද ඒ දිශ්වට ම වූ බැමුම මැන ගැනීම ය. ඔවුන්ට පෙනී ගියේ දෙවැනි අංශුවේ ඒ අදාළ දිශාවට වූ බැමුම පළමු අංශුවෙහි බැමුමට ප්‍රතිවිරුද්ධ බව ය. දැන් දෙවැනි අංශුවට පළමු අංශුවෙන් සංනිවේදනයක් කෙරී නැති බැවින් පළමු අංශුවෙහි බැමුම මැනගන්නා විට ම දෙවැනි අංශුවෙහි ද බැමුම සකස්වන බව පැහැදිලි විය. එක්තරා අතකින් ගත්කල අංශු දෙක පද්ධතියක් ලෙස ක්‍රියා කරන්නේ ය යන බෝර් මතය එයින් තහවුරුවන බවක් පෙනෙන්නට විය.

ඒ පරීක්‍ෂණයෙන් පැහැදිලි වූ තවත් කරුණක් වූයේ මැන ගැනීමට පෙර දෙවැනි අංශුවට වූ මැනගත හැකි බැමුමක් නැති බව ය. එයට හේතුව දෙවැනි අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම ද පළමු අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම මනින විට ම සකස්වීම ය. මෙයින් පද්ධතියක ස්ථානීය යථාර්ථය බිඳ වැටිණි. එනම් දෙවැනි අංශුවට හෝ පළමු අංශුවට හෝ මැනීමට පෙර අදාළ දිශාව දිගේ බැමුමක් නො මැති ය යන්න තහවුරු වූ බව පෙනෙන්නට තිබිණි.

අප යථාර්ථයක් නැතැයි කියන්නේ ක්වොන්ටම් භෞතිකයේ මෙවැනි ප්‍රතිඵල නිසා නො වේ. මුල දී යථාර්ථයක් නොමැතිය යන්න ක්වොන්ටම් භෞතිකය ආධාරයෙන් අප ප්‍රකාශ කළ බව සැබෑ නමුත් පසුව බුදුදහමෙන් පෙනී ගිය කරුණක් වූයේ ඊනියා යථාර්ථයක් නොමැති බව ය. මගේ ලෝකය කෘතියෙහි තුන්වැනි මුද්‍රණයෙහි ඒ බව සඳහන් කෙරී ඇත. කලක සිට අප යථාර්ථයක් යනුවෙන් දෙයක් නැතැයි කියන්නේ ක්වොන්ටම් භෞතිකයේ ආධාරයෙන් නොව බුදුදහම මත පදනම් වෙමිනි. එහෙත් ගුණදාස අමරසේකර මහතා ඇතුළු ඇතැමුන් මගේ ලෝකය කෘතියෙහි තුන්වැනි මුද්‍රණය නිකුත් වීමෙන් පසුව ද කියන්නේ මා යථාර්ථයක් නැතැයි පවසන්නේ ක්වොන්ටම් භෞතිකය ඇසුරෙන් බව ය.

යථාර්ථය යන්න ඊනියා සම්මුතියක් ද නො වේ. පුනබ්භවයක් විශ්වාස නොකරන එහෙත් තමන් බෞද්ධයන් යැයි කියාගන්නා ඇතැමුන් යථාර්ථය ඊනියා සම්මුතියක් යැයි කීමට උත්සාහ කරති. පුටුව යන්න ද සම්මුතියක් පමණකි. මනස ද ඇතුලු සියළු සංකල්ප සම්මුතීන් පමණක් වෙයි. එහෙත් බොහෝ දෙනා යථාර්ථය සංකල්පයක් පමණක් ලෙස නො ගනිති. තමන් බෞද්ධ යැයි කියාගන්නා එහෙත් පුනබ්භවය විශ්වාස නොකරන එක්තරා ප්‍රාඥයකු යථාර්ථය සම්මුතියක් පමණක් යැයි කියා ඊළඟ මොහොතෙහි පුටුව, කෝප්පය ආදිය පවත්නා වස්තු බව කියයි. එයට හේතුව ඒවා ඉන්ද්‍රිය ගෝචර වීම ය. තර්ක කිරීමට නොහැකි කම නිසා තර්කය කොඳු කැඩීමක් ලෙස සලකන මෙවැනි ඊනියා ප්‍රාඥයන්ගේ මට්ටම ඔවුන් ඉදිරිපත් කරන දර්කවලින් ම පැහැදිලි වෙයි.

කෙසේ වෙතත් ඇස්පෙ විද්වතා සහ කණ්ඩායම විසින් කරන ලද පරීක්‍ෂණයෙන් පසුව කිව හැකි කරුණ වනුයේ ඒ අංශු එක්කෝ පද්ධතියක් ලෙස පවතින බව ය. එසේත් නැත්නම් අංශු, අංශු ලෙස පවත්නා අතර ඒ අංශු එකිනෙක සමග ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සංනිවේදනය කරගන්නා බව ය. අංශු පද්ධතියක් ලෙස සැලකීම හා සංනිවේදන වේගය අනන්තය වීම අතර සංකල්පීය වශයෙන් කෙසේ වෙතත් ප්‍රායෝගික වශයෙන් වෙනසක් නැත.

අංශු පද්ධතියක් ලෙස ක්‍රියා කරන්නේ නම් ඒ අංශු පද්ධතියෙන් ඉවත්වන්නේ කිනම් අවස්ථාවක දැයි සඳහන් කළ යුතු ය. එයට හේතුව විභ්වයේ දිගින් දිගට ම පද්ධති ලෙස ක්‍රියාකරන අංශු නොමැති වීම ය. අංශු කිනම් අවස්ථාවක වුව ද වෙන් වී යයි. මේ අංශු පද්ධතියක් ලෙස සෑලකීමට වඩා පැටළුණු අංශු (entangled particles) ලෙස සැලකීම උචිත ය. ඒ පැටලුණු අංශු යම් බාහිර හෝ අභ්‍යන්තර හෝ වෙනස්කම් සිදුවීම හේතුවෙන් වෙන්වන්නේ ය යන්න පැහැදිලි ය. අංශු පැටළුණු අංශු ලෙස ගත්කල එවැනි අංශු සාමාන්‍ය අංශු ක්‍රියාකරන ආකාරයෙන් ක්‍රියා නොකරන බව පැහැදිලි ය. සාමාන්‍ය අංශු අතර සංනිවේදන විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සඳහන් ආකාරයට ආලෝකයේ වේගයට අඩු වේගයකින් සිදුවන නමුත් පැටළුණු අංශඔ අතර සංනිවේදනය ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බව පෙනී යයි.

දෛශික අධිස්ථාපනය පිළිබඳ තුන්වැනි මතය කැලණිය විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත් කරන ලද ක්වොන්ටම් භෞතිකයේ විද්‍යාලංකාර විවරණය හා සම්බන්ධ වෙයි. ඉන් කියැවෙන්නේ අංශුවක හෝ පද්ධතියක හෝ යම් නිරීක්‍ෂ්‍යයක අගයක් මැනීමට පෙර ඒ අංශුව හිල්බට් අවකාශයෙහි අදාළ හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයක්, එනම් ඒකජ අධිස්ථාපනයක් ලෙස පවතින බව ය. මේ අයිගන් දෛශිකවලින් අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථා නිරුපණය වෙයි. අයිගන් දෛශික එකකට වඩා පවතින හෙයින් මෙයින් කියැවෙන්නේ අංශුව අවස්ථා එකකට වැඩි ගණනක පිහිටන බව ය.

මෙහි දී කියැවෙන වැදගත් කරුණ නම් මේ අවස්ථා පවතින බව ය. ඒ අර කලින් කී බෞද්ධ ප්‍රාඥයන්ගේ අර්ථයෙන් නොවුවත් සම්මුතියෙනි. පුටුවක් පවතින ආකාරයෙන් මනස පවතින ආකාරයෙන් පරිගණකයක් පවතින ආකාරයෙන් අංශුවේ විවිධ අවස්ථා ද එකවිට පවතියි. එහෙත් එසේ පවතින අවස්ථා අපේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඇතැම් විට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ මනසකට ඒ ගෝචර වනවා විය හැකි ය. එහෙත් සාමාන්‍ය පුද්ගලයකුට මනසින් හා පංචේන්ද්‍රියයන්ගෙන් එවැනි අංශු දැක බලාගත නො හැකි ය.

සාමාන්‍ය පුද්ගලයන්ගේ මනසට හා පංචේන්ද්‍රියයන්ට ගෝචර වන්නේ අංශුව හෝ පද්ධතිය හෝ අදාළ නිරීක්‍ෂ්‍යය සම්බන්ධයෙන් හිල්බට් අවකාශයෙහි එක් දෛශිකයකින් පමණක් නිරූපනය වන අවස්ථාවල දී ය. අනෙක් අවස්ථාවල දී, එනම් අංශුව හෝ පද්ධතිය හෝ හිල්බට් අවකාශයෙහි දෛශික එකකට වැඩි ගණනකින් නිරූපණය කෙරෙන අවස්ථාවක දී එයට අවස්ථා කිහිපයක් ම ඇති බැවින් ඒ අවස්ථා එකක් ලෙස පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. උදාහරණයකට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම නිරීක්‍ෂණය කරන්නේ නම් හා අංශුව හෝ පද්ධතිය හෝ පිහිටුම් කාරකයෙහි අයිගන් අවස්ථාවක නො වේ නම් එවිට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම හිල්බට් අවකාශයෙහි දෛශික එකකට වැඩි ගණනකින් නිරුපණය වෙයි. එනම් අංශුව එකවිට පිහිටුම් එකකට වැඩි සංඛ්‍යාවක පවතියි. එසේ වූ විට සාමාන්‍ය නිරීක්‍ෂකයකුට අංශුව හෝ පද්ධතිය හෝ නිරීක්‍ෂණය කළ නො හැකි ය.

එයට ම අදාළව කිවයුතු තවත් කරුණක් නම් එවැනි අවස්ථාවක අංශුවට හෝ පද්ධතියට හෝ කාලය සම්බන්ධයෙන් ද අවස්ථා කිහිපයක් ඇති බව ය. එක් එක් කාලවල හා එක් එක් පිහිටුම්වල ඇති අංශුවක් නිරීක්‍ෂණය කිරීමට සාමාන්‍ය නිරීක්‍ෂකයකුට නො හැකි ය. එහෙත් විද්‍යාලංකාර විවරණයෙන් කියැවෙන්නේ ඒ අවස්ථා නැති බව නො වේ. පුටුවක් පරිගණකයක් මනසක් පවතින ආකාරයෙන් ම ඒ අවස්ථා ද සම්මුතියෙන් පවතියි. එහෙත් පුටුව හා අදාළ අංශුව හෝ පද්ධතිය අතර ඇති වෙනස නම් පුටුව සාමාන්‍ය නිරීක්‍ෂකයකුගේ පංචේන්ද්‍රියයන්ට ගෝචරවන නමුදු අංශුවේ හෝ පද්ධතියේ හෝ අදාළ ගුණය සාමාන්‍ය නිරීක්‍ෂකයකුගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වීම ය.

ඒ අර්ථයෙන් අංශුවක් හෝ පද්ධතියක් හෝ නිරුපණය කරන හිල්බට් අවකාශයෙහි දෛශිකයට පැවැත්මක් ඇත. එය හුදු ගණිතමය හරඹයක් නො වේ. විද්‍යාලංකාර විවරණය ඊනියා යථාර්ථවාදී විවරණයෙන් මෙන් ම කෝපන්හේගන් විවරණයෙන් ද වෙනස් වෙයි.

Sunday, 1 April 2012

නිරෝධන රටා යනු කවරේ ද?


බුදුදහම තබා ථෙරවාද බුදුදහම යනුවෙන්වත් සියළු ථෙරවාදීන් එකඟවන දහම් දැනුමක් නැත. අභිධර්මය පිළිබඳ ව, එනම් අභිධර්මය පිළිබඳ අර්ථකථන, අර්ථවිග්‍රහ පමණක් නොව අභිධර්මය බුදුන්වහන්සේ විසින් දේශනා කරනු ලැබූ දහමක් ද යන්න පිළිබඳව ද ථෙරවාදීන් යැයි කියාගන්නා අය අතර විවිධ මතවාද ඇත. ඇතැමුන්ට අනුව අභිධර්මය සැරියුත් මහ රහතන්වහන්සේ්ගේ ශි’ෂ්‍ය පරම්පරාව විසින් සූත්‍රගත කරන ලද්දකි. අප විසින් අපේ ප්‍රවාද ගොඩ නැගෙන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමිනි. මගේ ලෝකය කෘතියෙහි සිට ම සිංහල බෞද්ධ චින්තනය කුමක් දැයි තේරුම් කර දීමට අප විටින් විට උත්සාහ ගෙන ඇත. එහි දී අප තේරුම් ගන්නා ආකාරයට බුදු දහම අපට පිහිට වෙයි. එය බුදුදහම නොවේ යැයි කියන්්නෝ වෙනත් ආකාරයකට බුදුදහම තේරුම් ගනිති. චින්තනයකට ඇත්තේ ආකල්ප න්‍යායක් හා දෘෂ්ටියක් ය.

ඒ ඒ දහම, ඒ ඒ දැනුම, ඒ ඒ සංස්කෘතිය ආදිය ගත්කළ සියල්ලන්ට ම පොදු වූවක් නැති බැවින් එසේ ගැනීම වැරදි යැයි කසිකබල් පශ්චාත්නූතනවාදියෝ පවසති. දකුණු පළාතේ සිංහලයන්ගේ සංස්කෘතිය උඩරට සිංහලයන්ගේ සංස්කකෘතියෙන් වෙනස්වන බැවින් හා ඒ දෙකම වෙනත් පළාත්වල සිංහලයන්ගේ සංස්කෘතියෙන් වෙනස්වන බැවින් සිංහල සංස්කෘතියක් යනුවෙන් දෙයක් නැතැයි කීමට පවා ඇතැම් පශ්චාත්නූතනවාදියෝ පෙළඹෙති. මෙයට හේතුව ඒ සුළු සුළු විවිධත්ව අතර පොදු බවක් හැඳිනගැනීමට අද බටහිරයන් අසමත් වීම ය. එසේ වන්නේ බටහිර නූතනත්වය අද කඩා වැටෙන බැවින් ය. සිංහලයකු ලෙස ජීවත්වන ඕනෑම අයකු හා ඉංගිරිසිකාරයකු අතර ඇති වෙනස එවැනි සිංහලයන් දෙදෙනකු අතර ඇති වෙනසට වඩා වැඩි බව මේ ඔල්මොරොන්දන්කාරයන්ට නො තේරෙයි. විවිධත්ව මැද ද සිංහල සංස්කෘතිය යනුවෙන් ප්‍රපංචයක් පවතින බව පැහැදිලි ය. එලෙස ම විවිධත්ව මැද ථෙරවාද බුදුදහම යනුවෙන් හඳුනාගත හැකි පද්ධතියක් වෙයි.

බටහිර විද්‍යාව රඳා පවතින්නේ ම මේ විවිධත්ව මැද යම් ප්‍රපංචයක් සම්බන්ධයෙන් පොදු ගුණ හඳුනාගත හැකි වීම මත ය. විවිධ වර්ගවල බල්ලෝ සිටිති. එකම වර්ගයේ බල්ලන් වුව ද එකම ආකාරයකට ක්‍රියා නොකරන බව පැහැදිලි ය. එහෙත් බල්ලන් යනුවෙන් සතුන් වර්ගයක් නැතැයි ගතහොත් බටහිර සත්වවිද්‍යාව එතැනින් අවසාන වෙයි. බල්ලන් යනුවෙන් සත්ව කොටසක්් ඇති බව හඳුනාගැනීමෙන් පසු විවිධ වර්ගවල බල්ලන් අතර ඇති වෙනස්කම් හඳුනාගත හැකි ය. වැදගත් වන්නේ එවැනි සියළු වෙනස්කම් මැද බල්ලන් බළලුන්ගෙන් වෙනස් වීම ය.

ඊනියා බාහිර ලෝකය පමණක් නොව මනස විඤ්ඤාණය ආදී වශයෙන් හැඳින්වෙන දෑ ද මායාවන් පමණක් වෙයි. මනේන්ද්‍රිය යනුවෙන් හැඳින්වෙන්නේ ද අනෙක් ඉන්ද්‍රිය මෙන් ම අවිද්‍යාව හේතුවෙන් පැන නගින ආයතනයකි. එය සළායතනවලින් එකකි. අවිද්‍යාව ඇති විට විඤ්ඤාණය වෙයි. අවිද්‍යාව නැතිවිට විඤ්ඤාණය ද නැති වෙයි. මෙහි විඤ්ඤාණය යනු ඊනියා යථාර්ථයක් හෝ වාස්තවික ව පවතින්නක් නොවන හෙයින් විඤ්ඤාණය නැතිවීම යනු තිබෙන යමක් නැතිවීම නොවන බව වටහා ගත යුතු වෙයි. සළායතන සම්බන්ධයෙන් ද කිව යුත්තේ එවැන්නකි. මම ය මාගේ ය යනුවෙන් ඇති හැඟීම් හුදු මායාවන් පමණක් වෙයි. මනසක් ඇතැයි කියන්නන් පිලිතුරු දිය යුතු ප්‍රශ්නයක් වෙයි. එනම් පිරිනිවන් පෑමෙන් පසු රහතන් වහන්සේ කෙනකුගේ ඒ ඇතැයි කියන මනසට සිදුවන්නේ කුමක් ද යන්න ය. උච්ඡෙදවාදයට හෝ ශාස්වතවාදයට හෝ හසු නොවී ඒ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු වෙයි.

බුදුන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දේශනය කළේ මේ අන්ත දෙක ඉවතලමිනි. අනෙක් සියල්ල මෙන් ම මනස ද මනසේ මායාවක් වෙයි. එසේ නොමැති නම්, මනස පවතින්නේ නම්, පරිනිර්වාණයේ දී රහතන්වහන්සේ නමකගේ පවතින්නේ යැයි කියන මනසට සිදුවන්නේ කුමක් ද යන්න ප්‍රශ්නයක් වෙයි. මගේ ලෝකයෙහි දැක්වෙන නැති මනස පිළිබඳ ප්‍රකාශය දශක දෙකකට පමණ පසුව අද ඇතැමුනට ප්‍රශ්නයක් වී ඇත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. මනසක් යථාර්ථයක් ලෙස හෝ වාස්තවික ව හෝ නිරපේක්‍ෂක ව හෝ ඇත්නම් රහතන් වහන්සේ නමක් පිරිනිවන්පෑමේ දී එයට සිදුවන්නේ කුමක් ද?

සියළු අර්ථකථන මනසේ අර්ථකථන වෙයි. මනස පිළිබඳ අර්ථකථන ද මනසේ අර්ථකථන වෙයි. අප එකිනෙකාගේ මනස් අර්ථකථන කරන්නේ අපේ සංසාරගත පුරුදු, කර්මය, සංස්කෘතිය, චින්තනය, ඉන්ද්‍රිය පද්ධතිය ආදිය පදනම් කරගනිමිනි. බටහිර විද්‍යාවේ ප්‍රවාද සංස්කරණය කරන්නන් එසේ කරන්නේ ද ඔවුන්ගේ සංස්කෘතිය, චින්තනය ආදිය මත පදනම් වෙමිනි. ඔවුන්ට තරංගවාදයක් අවශ්‍ය වූයේ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය තේරුම් කිරීමය යෑමේ දී ය. සිදුරු දෙකකින් යෑමට නම් තරංගයක් විය යුතු යැයි ඔවුහු උපකල්පනය කළහ. එතෙක් තිබූ නිව්ටෝනීය ලවක ප්‍රවාදය (corpuscular theory) ඔවුන් ප්‍රතික්‍ෂෙප කළේ ආලෝකය අංශුවලින් සෑදී ඇත්නම් එමගින් බටහිරයන්ගේ සංස්කෘතියෙහි හා චින්තනයෙහි ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙහි නිරෝධන රටා තේරුම් ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

එහෙත් අපට එය ප්‍රශ්නයක් නො වේ. අංශුවකට එක්විට තැන් දෙකක, එනම් අවස්ථා දෙකක පිහිටීමට හැකිවීම අපේ සංස්කෘතියෙහි හා චින්තනයෙහි ප්‍රශ්නයක් නො වේ. එය චතුස්කෝටික න්‍යායක් ඇති අපේ චින්තනයෙහි පමණක් නොව අඩුම තරමෙන් ත්‍රිකෝටික න්‍යායක් සහිත චින්තනයක ද ප්‍රශ්නයක් නොවිය යුතු ය. වෙනත් වචනවලින් කියන්නේ නම් කතෝලික චින්තනයෙහි හා වෛදික චින්තනයෙහි ද එය ප්‍රශ්නයක් නො වේ. එහෙත් එකල ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ආධිපත්‍යයට යට වී සිටි මේ චින්තනවල අංශුවක් එක්විට අවස්ථා දෙකක පිහිටිය හැකි ය යන සංකල්පය ඉදිරිපත් නොවිණි. එසේ වුවත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කඩාවැටෙමින් පවතින මෙකල යුරෝපීයයන්ට නැවතත් කතෝලික චින්තනයෙහි ඇතැම් අංග යොදාගැනීමේ හැකියාව ලැබී ඇත. පසුගිය අවුරුදු කිහිපයක කාලයෙහි දී ක්වොන්ටම් අංශුවක් තැන් දෙකක පිහිටිය හැකි ය යන අදහස බටහිර විද්‍යාඥයන් කිහිප දෙනකු අතර තහවුරු වෙමින් ඇත.

දැනට අවුරුදු පහළොවකට පමණ පෙර මොන්රෝ නම් විද්‍යාඥයකුගේ පරීක්‍ෂණවලින් හෙළි වූයේ බෙරිලියම් කැටයනයකට ස්ඵන්දනය නම් ගුණය සම්බන්ධයෙන් අවස්ථා හතරක එක්විට පසුවිය හැකි බව ය. ෂ්රෝඩිංගර්ගේ බළළා පිළිබඳ චිත්ත පරීක්‍ෂණයට පදනම් වූයේ ද බළලාට අවස්ථා දෙකක එක්විට ගතකළ හැකි ද යන්න ය. එනම් බළළකුට එක්විට ජීවත්වීම හා ජීවත්නොවීම (මරණය) යන අවස්ථා දෙකෙහි පසුවිය හැකි ද යන්න ය. මෙය බටහිරයන් ජීවිතය හා මරණය පමණක් නොව ක්‍ෂුද්‍ර අංශු හා මහේක්‍ෂ අංශු අතර ද වූ වෙනස අවුල් කරගත් තැනක් විය. කෙසේ වෙතත් බළලුන් (කැට්) සම්බන්ධයෙන් අදාළ පරීක්‍ෂණය කරගත නොහැකි වූ බටහිර විද්‍යාඥයෝ කැටයන සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කර බෙරිලියම් කැටයනයට එක්විට අවස්ථා හතරක පිහිටිය හැකි බව පෙන්වූහ.

එහෙත් මෙහි දී කිවයුත්තක් නම් මොන්රෝ ඇතුළු කණ්ඩායමට බෙරිලියම් කැටයනයේ අවස්ථා හතර නිරීක්‍ෂණය කළ නොහැකි වූ බව ය. අවස්ථා හතරක් ඇති බව දැනගත් නමුත් ඒ අවස්ථා ඉන්ද්‍රිය ගොාචර නො වී ය. අවස්ථා ඉන්ද්‍රිය ගෝචර වී නම් ඉන් කියැවෙන්නේ කැටයනයේ අදාළ ගුණය දන්නා බව ය. එවිට අවස්ථා හතර කඩා වැටී බෙරිලියම් කැටයනය එක් අවස්ථාවක් පමණක් ගත යුතු වෙයි. මෙයින් ගම්‍යවන කරුණක් නම් ක්වොන්ටම් අංශුවක යම්කිසි ගුණයක් දැනගත් විට ඒ ගුණයේ ප්‍රතිබද්ධ ගුණය අවස්ථා එකකට වැඩි ගණනකින් ඇති බවත්, ඒ බව දන්නා නමුත් ඒ දැකගත නොහැකි බවත් ය. දැනුම හා දැකීම යනු එකක් නොවන බව පැහැදිළි විය යුතු ය.

යමක්් නොදැක, එනම් එය පංචේන්ද්‍රියන්ට ගොාචර නොවී පැවතිය හැකි බව මොන්රෝ ප්‍රමුඛ විද්‍යාඥයන්ගේ පරීක්‍ෂණවලින් තහවුරු විය. මෙහි දී ද වැරදි වැටහීම් ඇති නොවීම සඳහා ඒ ගැන කෙටි අටුවාවක් ලිවිය යුතුව ඇත. මෙහි පැවතීම යනුවෙන් අදහස් කරන්නේ වාස්තවික, නිරපේක්‍ෂ පැවැත්මක් නො වේ. මේ පැවතීම ද සංකල්පයක්, සම්මුතියක් පමණකි. එය ද මනසට සාපේක්‍ෂ ය. එය ද මනසේ මායාවකි. සංකල්පයක් ලෙස එය ශූන්‍ය වෙයි. බෙරිලියම් කැටයනය අපේ පංචේන්ද්‍රියවලට ගෝචර නොවී අවස්ථා හතරක පවතින්නේ ඊනියා යථාර්ථයක් ලෙස නො වේ. එලෙස සම්මුති අර්ථයකින් පැවතිය හැකි බව පළමුවරට සූත්‍රගත කෙරුණේ ක්වොන්ටම් භෞතිකය පිළිබඳ විද්‍යාලංකාර අර්ථකථනයෙනි. එය සිංහල ථෙරවාද බෞද්ධ චින්තනය මත පදනම් වී කෙරුණු අර්ථකථනයකි.

ඒ අර්ථකථනය බටහිර භෞතික විද්‍යාඥයන් විසින් පිළිගැනුණත් නැතත් බෙරිලියම් කැටයනයට එක්තරා ගුණයක් සම්බන්ධයෙන් අවස්ථා හතරක පැවතිය හැකි බව පිළිගැනීමට ඔවුන්ට සිදු වෙයි. ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙහි දී ක්වොන්ටම් අංශුවකට එක්විට සිදුරු දෙකෙන් ම යෑමට හැකි වන්නේ අංශුව අදාළ අවස්ථා දෙකෙහි ම පවතින බැවිනි. නැවතත් අවධාරණය කළ යුත්තේ පවතින්නේ ය යන්නෙන් වාස්තවික වූ පැවැත්මක් ගම්‍ය නොවන බව ය. අංශුව එලෙස අවස්ථා දෙකක පවතින බැවින් අපට තිරයක නිරෝධන රටා දැක ගැනීමට හැකි වෙයි.

යම්කිසි අයුරකින් යමකුට අංශුව ගමන් කරන්නේ කිනම් සිදුරෙන් දැයි දැන ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා පරීක්‍ෂණයක් සැලසුම් කළ හැකි ය. එවැනි පරීක්‍ෂණයකින් කෙරෙන්නේ ඒ අංශුව අදාළ සිදුරෙහි දී දැක ගැනීම ය. එනම් අංශුව අදාළ සිදුරෙහි දී පංචේන්දියවලට ගෝචර කර ගැනීම ය. ඒ පරීක්‍ෂණය කළ වහාම අංශුව තචදුරටත් සිදුරු දෙකක, එනම් අවස්ථා දෙකක නො පවතියි. අප එවිට එක් සිදුරක දී අංශුව දකින්නේ එහි සිදුරු දෙකෙහිම ඇති පැවැත්මට බාධා කරමිනි. එවිට අංශුව සිදුරු දෙකෙහිම නොපවතින බැවින් අපට පෙර දී මෙන් තිරයක නිරෝධන රටා දැක ගැනීමට නො හැකි වෙයි.

අංශුව එක් සිදුරක දී දැකීම යනු එහි පිහිටුම දැන ගැනීම ය. අංශුව යම් ප්‍රභවයකින් සිදුරු දෙක කරා ගමන් කරන්නේ නිශ්චිත ගම්‍යතාවක් හා ශක්තියක් සහිතව ය. එවිට ක්වොන්ටම් භෞතිකයෙහි අනිශ්චයතා මූලධර්මය අනුව අංශුවට පිහිටුමක් හෝ කාලයක් හෝ නැත. අංශුව පිහිටුම් රාශියක එක්විට ඇත. සිදුරු දෙකෙහි දී මේ අවස්ථාවලින් අවස්ථා දෙකක් පමණක් ඉතිරි වෙයි. එවිට අංශුවට අවස්ථා දෙකක් පමණක් ඇත. කෙසේ නමුත් පිහිටුම් අවස්ථා එකකට වඩා ඇති බැවින් අපට අංශුව දැකගත හැකි නො වේ. එනම් අංශුව පංචේන්ද්‍රියවලට ගෝචර නො වේ.

එහෙත් අංශුව සිදුරු මුණගැසීමෙන් පසුව තිරයකට යොමු කළහොත් එහි දී (තිරයෙහි දී) අංශුව පිහිටුම සම්බන්ධයෙන් එක් අවස්ථාවකට පත් වෙයි. එවිට අපට අංශුව දැකගත හැකි වෙයි. එය අපේ පංචේන්දියවලට ගෝචර වෙයි. අප අංශුව දකින්නේ යැයි කීව ද එහි දී සිදුවන්නේ අංශුව තිරය (සේයා පටයක) සමග ගැටී සේයා පටයෙහි ප්‍රතිබිම්බයක් ඇති කිරීම ය. අප දකින්නේ ඒ ප්‍රතිබිම්බය ය. අංශුව තිරයෙහි කොතැනක ප්‍රතිබිම්බයක් සාදන්නේ ද යන්න පිළිබඳ ව සම්භාවිතාවක් ඇත. අංශු ඉතා විශාල සංඛ්‍යාවක් එසේ සිදුරු දෙකෙන් ම ගොස් තිරය මත ප්‍රතිබිම්බ සෑදීමට සැලැස්වීමෙන් අපට සම්භාවිතාව වැඩි තැන්වල ප්‍රතිබිම්බ රාශියක් ද සම්භාවිතාව අඩු තැන්වල ප්‍රතිබිම්බ කුඩා සංඛ්‍යාවක් ද දැකගත හැකි ය. සම්භාවිතාව ශූන්‍ය වන තිරයේ ස්ථානවල එකම ප්‍රතිබිම්බයක්වත් දැකගත නො හැකි ය. නිරෝධන රටා යනු මේ ප්‍රතිබිම්බ සමස්තයෙහි සමුච්චිතය වෙයි. අප යම්කිසි අයූරකින් එක් සිදුරක දී අංශුව දැක ගතහොත් අංශුව එක් අවස්ථාවකට පමණක් ඌනනය වීම හේතු කොටගෙන තිරයෙහි නිරෝධන රටා නැති වී යයි. නිරෝධන රටා යනු විඤ්ඤාණයේ තවත් මායාවක් පමණකි.