Main Logo

Sunday 3 June 2012

පැවැත්ම හා විද්‍යාලංකාර විවරණය

අයින්ස්ටයින් පොඩොල්ස්කි රොසන් හෙවත් ඊ පී ආර් විසංවාදයේ දී ඒ තිදෙනා නමින් පළ වූ පත්‍රිකාවෙහි මූලික වශයෙන් සඳහන් වූයේ පහත දැක්වෙන අදහස ය. අවකාශයෙහි රික්ත ශක්තියෙන් එක විට ඇතිවන අංශු දෙකක් විශ්වයෙහි දෙපැත්තකට චලනය වන්නේ යැයි සිතමු. දැන් අංශු දෙකෙහි බැමුම සංස්ථිතිය හේතුකොටගෙන ප්‍රතිවිරුද්ධ විය යුතු ය. එක් අංශුවක යම් දිශාවක් දිගේ බැමුම ධන නම් අනෙක් අංශුවෙහි ඒ දිශාවට වූ බැමුම සෘණ විය යුතු ය. එහෙත් ක්වොන්ටම් යාන්ත්‍රිකයට අනුව අංශු දෙකෙහි බැමුම එක් දිශාවක් දිගේ දන්නේ නම් ඒ දිශාවට ලම්බ වූ දිශාවක් දිගේ දැන ගැනීමට නො හැකි ය. එයට හේතුව ඒ දිශා දෙක දිගේ ඇති බැමුම් ප්‍රතිබද්ධ නිරීක්‍ෂ්‍ය වීම ය. එනම් අදාළ කාරක ප්‍රතිබද්ධ කාරක වීම ය.

බැමුම දන්නා දිශාවට ලම්බ දිශාවක් දිගේ අංශු දෙකෙන් ඕනැම අංශුවක බැමුම අදාළ අයිගන් දෛශික දෙකෙහි අධිස්ථාපනයක් වෙයි. ඒ අයිගන් දෛශිකවල අයිගන් අගය ධන හෝ සෘණ හෝ වෙයි. දැන් යම් නිරීක්‍ෂකයකු ඒ ලම්බ දිශාවක් දිගේ එක් අංශුවක බැමුම මැන්නේ යැයි සිතමු. ඒ මැනීමෙහි, හෙවත් නිරීක්‍ෂණයෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ තරංග ශ්‍රිතය කඩාවැටී ඒ දිශාව දිගෙහි අංශුවෙහි බැමුම ධන හෝ සෘණ හෝ ලෙස නිරීක්‍ෂණය වෙයි. එය ධන යැයි අපි සිතමු. එනම් නිරීක්‍ෂණයෙන් පසුව, එහි ප්‍රතිඵලයක් ලෙස ඒ මැනගන්නා අංශුවෙහි අදාළ දිශාව දිගේ බැමුමෙහි අගය ධන වෙයි. දැන් සංස්ථිති නියමය අනුව අනෙක් අංශුවෙහි එම දිශාවට ම වූ බැමුමෙහි අගය සෘණ විය යුතු ය.

අයින්ස්ටයින් විද්වතා කියා සිටියේ එසේ නම් පළමු අංශුවෙහි අදාළ දිශාවට වූ බැමුම මැනගත් විට දෙවැනි අංශුවෙහි බැමුමෙහි අගය ද මනින්ට පෙර ම දැනගත හැකි බව ය. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙහි සූත්‍රගත කිරීම අනුව එසේ විය නො හැකි ය. එයට හේතුව ක්වොන්ටම් භෞතිකයට අනුව ඕනෑම අංශුවකට ඕනැම ගුණයක් ලැබෙන්නේ ඒ මැනගැනීමෙන් පසුව වීම නිසා ය. අයින්ස්ටයින් විද්වතා මෙහි දී තමා සහ තවත් දෙදෙනකුගේ නමින් ඇති විසංවාදයෙන් පෙන්නුම් කළේ එසේ මැනගැනීමට පෙරත් දෙවැනි අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම දන්නා බව ය. ක්වොන්ටම් භෞතිකයේ සූත්‍රගත කිරීමෙහි එවැන්නක් නොමැති බැවින් ඔහු ක්වොන්ටම් භෞතික අසම්පූර්ණ පද්ධතියක් ලෙස සැලකී ය.

ඔහුගේ අදහස වූයේ පළමු අංශුවෙහි අදාළ දිශාව දිගේ බැමුමෙහි අගය මැනීමෙන් පසුව ඒ බව දෙවැනි අංශුවට දැන්වීමට යම් කාලයක් ගතවන බව ය. එයට හේතුව විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව සන්නිවේදනයේ උපරිම වේගය ආලෝකයේ වේගය වීම ය. ආලෝකයේ වේගයෙන් පළමු අංශුවේ සිට දෙවැනි අංශුවට සන්නිවේදනය කිරීමට යම් කාලයක් ගත යුතු වෙයි. එසේ නම් දෙවැනි අංශුවට ක්‍ෂණිකව අදාළ දිශාව දිගේ බැමුම සෘණ කර ගැනීමට නො හැකි ය. එහෙත් සංස්ථිති නියමය අනුව එය එසේ විය යුතු ය.

මේ ප්‍රශ්නයේ දී බෝර් විද්වතාගේ මතය වූයේ අංශු දෙක වෙන වෙන ම අංශු දෙකක් ලෙස සෑලකීම වැරදි බව ය. ඔහු කියා සිටියේ අංශු දෙක එකම පද්ධතියක් බවත් එබැවින් එක් අංශුවක යම් දිශාවක් දිගේ බැමුම මැනීම යනු අනෙක් අංශුවෙහි ද ඒ දිශාව දිගේ බැමුම මැනීමක් බවත් ය. එහෙත් අයින්ස්ටයින් විද්වතා ඒ මතය නො පිළිගත්තේය. කෙසේ වෙතත් මේ ගැටලුව නිරාකරණය කරගැනීමට පරීක්‍ෂණයක් කළ යුතු විය. ඒ පරීක්‍ෂණය ඇස්පෙ නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයකු විසින් 1982 දී කරන ලදී. ඒ පරීක්‍ෂණයෙන් අයින්ස්ටයින් විද්වතාගේ මතය වැරදි බව හෙළි විය. එහෙත් එයින් බෝර් විද්වතා නිවැරදි යැයි එකහෙළා කිව නො හැකි ය.

ඇස්පෙ විද්වතා හා ඔහුගේ කණ්ඩායම කලේ යම් දිශාවක් දිගේ එක් අංශුවක බැමුම නිරීක්‍ෂණය කර ඒ අංශුවට ෙිවැනි අංශුව සමග ආලෝකයේ වේගයෙන් සංනිවේදනය කිරීමට ගතවන කාලයට අඩු කාලයක දී දෙවැනි අංශුවේ ද ඒ දිශ්වට ම වූ බැමුම මැන ගැනීම ය. ඔවුන්ට පෙනී ගියේ දෙවැනි අංශුවේ ඒ අදාළ දිශාවට වූ බැමුම පළමු අංශුවෙහි බැමුමට ප්‍රතිවිරුද්ධ බව ය. දැන් දෙවැනි අංශුවට පළමු අංශුවෙන් සංනිවේදනයක් කෙරී නැති බැවින් පළමු අංශුවෙහි බැමුම මැනගන්නා විට ම දෙවැනි අංශුවෙහි ද බැමුම සකස්වන බව පැහැදිලි විය. එක්තරා අතකින් ගත්කල අංශු දෙක පද්ධතියක් ලෙස ක්‍රියා කරන්නේ ය යන බෝර් මතය එයින් තහවුරුවන බවක් පෙනෙන්නට විය.

ඒ පරීක්‍ෂණයෙන් පැහැදිලි වූ තවත් කරුණක් වූයේ මැන ගැනීමට පෙර දෙවැනි අංශුවට වූ මැනගත හැකි බැමුමක් නැති බව ය. එයට හේතුව දෙවැනි අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම ද පළමු අංශුවේ අදාළ දිශාව දිගේ බැමුම මනින විට ම සකස්වීම ය. මෙයින් පද්ධතියක ස්ථානීය යථාර්ථය බිඳ වැටිණි. එනම් දෙවැනි අංශුවට හෝ පළමු අංශුවට හෝ මැනීමට පෙර අදාළ දිශාව දිගේ බැමුමක් නො මැති ය යන්න තහවුරු වූ බව පෙනෙන්නට තිබිණි.

අප යථාර්ථයක් නැතැයි කියන්නේ ක්වොන්ටම් භෞතිකයේ මෙවැනි ප්‍රතිඵල නිසා නො වේ. මුල දී යථාර්ථයක් නොමැතිය යන්න ක්වොන්ටම් භෞතිකය ආධාරයෙන් අප ප්‍රකාශ කළ බව සැබෑ නමුත් පසුව බුදුදහමෙන් පෙනී ගිය කරුණක් වූයේ ඊනියා යථාර්ථයක් නොමැති බව ය. මගේ ලෝකය කෘතියෙහි තුන්වැනි මුද්‍රණයෙහි ඒ බව සඳහන් කෙරී ඇත. කලක සිට අප යථාර්ථයක් යනුවෙන් දෙයක් නැතැයි කියන්නේ ක්වොන්ටම් භෞතිකයේ ආධාරයෙන් නොව බුදුදහම මත පදනම් වෙමිනි. එහෙත් ගුණදාස අමරසේකර මහතා ඇතුළු ඇතැමුන් මගේ ලෝකය කෘතියෙහි තුන්වැනි මුද්‍රණය නිකුත් වීමෙන් පසුව ද කියන්නේ මා යථාර්ථයක් නැතැයි පවසන්නේ ක්වොන්ටම් භෞතිකය ඇසුරෙන් බව ය.

යථාර්ථය යන්න ඊනියා සම්මුතියක් ද නො වේ. පුනබ්භවයක් විශ්වාස නොකරන එහෙත් තමන් බෞද්ධයන් යැයි කියාගන්නා ඇතැමුන් යථාර්ථය ඊනියා සම්මුතියක් යැයි කීමට උත්සාහ කරති. පුටුව යන්න ද සම්මුතියක් පමණකි. මනස ද ඇතුලු සියළු සංකල්ප සම්මුතීන් පමණක් වෙයි. එහෙත් බොහෝ දෙනා යථාර්ථය සංකල්පයක් පමණක් ලෙස නො ගනිති. තමන් බෞද්ධ යැයි කියාගන්නා එහෙත් පුනබ්භවය විශ්වාස නොකරන එක්තරා ප්‍රාඥයකු යථාර්ථය සම්මුතියක් පමණක් යැයි කියා ඊළඟ මොහොතෙහි පුටුව, කෝප්පය ආදිය පවත්නා වස්තු බව කියයි. එයට හේතුව ඒවා ඉන්ද්‍රිය ගෝචර වීම ය. තර්ක කිරීමට නොහැකි කම නිසා තර්කය කොඳු කැඩීමක් ලෙස සලකන මෙවැනි ඊනියා ප්‍රාඥයන්ගේ මට්ටම ඔවුන් ඉදිරිපත් කරන දර්කවලින් ම පැහැදිලි වෙයි.

කෙසේ වෙතත් ඇස්පෙ විද්වතා සහ කණ්ඩායම විසින් කරන ලද පරීක්‍ෂණයෙන් පසුව කිව හැකි කරුණ වනුයේ ඒ අංශු එක්කෝ පද්ධතියක් ලෙස පවතින බව ය. එසේත් නැත්නම් අංශු, අංශු ලෙස පවත්නා අතර ඒ අංශු එකිනෙක සමග ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සංනිවේදනය කරගන්නා බව ය. අංශු පද්ධතියක් ලෙස සැලකීම හා සංනිවේදන වේගය අනන්තය වීම අතර සංකල්පීය වශයෙන් කෙසේ වෙතත් ප්‍රායෝගික වශයෙන් වෙනසක් නැත.

අංශු පද්ධතියක් ලෙස ක්‍රියා කරන්නේ නම් ඒ අංශු පද්ධතියෙන් ඉවත්වන්නේ කිනම් අවස්ථාවක දැයි සඳහන් කළ යුතු ය. එයට හේතුව විභ්වයේ දිගින් දිගට ම පද්ධති ලෙස ක්‍රියාකරන අංශු නොමැති වීම ය. අංශු කිනම් අවස්ථාවක වුව ද වෙන් වී යයි. මේ අංශු පද්ධතියක් ලෙස සෑලකීමට වඩා පැටළුණු අංශු (entangled particles) ලෙස සැලකීම උචිත ය. ඒ පැටලුණු අංශු යම් බාහිර හෝ අභ්‍යන්තර හෝ වෙනස්කම් සිදුවීම හේතුවෙන් වෙන්වන්නේ ය යන්න පැහැදිලි ය. අංශු පැටළුණු අංශු ලෙස ගත්කල එවැනි අංශු සාමාන්‍ය අංශු ක්‍රියාකරන ආකාරයෙන් ක්‍රියා නොකරන බව පැහැදිලි ය. සාමාන්‍ය අංශු අතර සංනිවේදන විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සඳහන් ආකාරයට ආලෝකයේ වේගයට අඩු වේගයකින් සිදුවන නමුත් පැටළුණු අංශඔ අතර සංනිවේදනය ආලෝකයේ වේගයට වැඩි වේගයකින් සිදුවන බව පෙනී යයි.

දෛශික අධිස්ථාපනය පිළිබඳ තුන්වැනි මතය කැලණිය විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත් කරන ලද ක්වොන්ටම් භෞතිකයේ විද්‍යාලංකාර විවරණය හා සම්බන්ධ වෙයි. ඉන් කියැවෙන්නේ අංශුවක හෝ පද්ධතියක හෝ යම් නිරීක්‍ෂ්‍යයක අගයක් මැනීමට පෙර ඒ අංශුව හිල්බට් අවකාශයෙහි අදාළ හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයක්, එනම් ඒකජ අධිස්ථාපනයක් ලෙස පවතින බව ය. මේ අයිගන් දෛශිකවලින් අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථා නිරුපණය වෙයි. අයිගන් දෛශික එකකට වඩා පවතින හෙයින් මෙයින් කියැවෙන්නේ අංශුව අවස්ථා එකකට වැඩි ගණනක පිහිටන බව ය.

මෙහි දී කියැවෙන වැදගත් කරුණ නම් මේ අවස්ථා පවතින බව ය. ඒ අර කලින් කී බෞද්ධ ප්‍රාඥයන්ගේ අර්ථයෙන් නොවුවත් සම්මුතියෙනි. පුටුවක් පවතින ආකාරයෙන් මනස පවතින ආකාරයෙන් පරිගණකයක් පවතින ආකාරයෙන් අංශුවේ විවිධ අවස්ථා ද එකවිට පවතියි. එහෙත් එසේ පවතින අවස්ථා අපේ පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඇතැම් විට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ මනසකට ඒ ගෝචර වනවා විය හැකි ය. එහෙත් සාමාන්‍ය පුද්ගලයකුට මනසින් හා පංචේන්ද්‍රියයන්ගෙන් එවැනි අංශු දැක බලාගත නො හැකි ය.

සාමාන්‍ය පුද්ගලයන්ගේ මනසට හා පංචේන්ද්‍රියයන්ට ගෝචර වන්නේ අංශුව හෝ පද්ධතිය හෝ අදාළ නිරීක්‍ෂ්‍යය සම්බන්ධයෙන් හිල්බට් අවකාශයෙහි එක් දෛශිකයකින් පමණක් නිරූපනය වන අවස්ථාවල දී ය. අනෙක් අවස්ථාවල දී, එනම් අංශුව හෝ පද්ධතිය හෝ හිල්බට් අවකාශයෙහි දෛශික එකකට වැඩි ගණනකින් නිරූපණය කෙරෙන අවස්ථාවක දී එයට අවස්ථා කිහිපයක් ම ඇති බැවින් ඒ අවස්ථා එකක් ලෙස පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. උදාහරණයකට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම නිරීක්‍ෂණය කරන්නේ නම් හා අංශුව හෝ පද්ධතිය හෝ පිහිටුම් කාරකයෙහි අයිගන් අවස්ථාවක නො වේ නම් එවිට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම හිල්බට් අවකාශයෙහි දෛශික එකකට වැඩි ගණනකින් නිරුපණය වෙයි. එනම් අංශුව එකවිට පිහිටුම් එකකට වැඩි සංඛ්‍යාවක පවතියි. එසේ වූ විට සාමාන්‍ය නිරීක්‍ෂකයකුට අංශුව හෝ පද්ධතිය හෝ නිරීක්‍ෂණය කළ නො හැකි ය.

එයට ම අදාළව කිවයුතු තවත් කරුණක් නම් එවැනි අවස්ථාවක අංශුවට හෝ පද්ධතියට හෝ කාලය සම්බන්ධයෙන් ද අවස්ථා කිහිපයක් ඇති බව ය. එක් එක් කාලවල හා එක් එක් පිහිටුම්වල ඇති අංශුවක් නිරීක්‍ෂණය කිරීමට සාමාන්‍ය නිරීක්‍ෂකයකුට නො හැකි ය. එහෙත් විද්‍යාලංකාර විවරණයෙන් කියැවෙන්නේ ඒ අවස්ථා නැති බව නො වේ. පුටුවක් පරිගණකයක් මනසක් පවතින ආකාරයෙන් ම ඒ අවස්ථා ද සම්මුතියෙන් පවතියි. එහෙත් පුටුව හා අදාළ අංශුව හෝ පද්ධතිය අතර ඇති වෙනස නම් පුටුව සාමාන්‍ය නිරීක්‍ෂකයකුගේ පංචේන්ද්‍රියයන්ට ගෝචරවන නමුදු අංශුවේ හෝ පද්ධතියේ හෝ අදාළ ගුණය සාමාන්‍ය නිරීක්‍ෂකයකුගේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වීම ය.

ඒ අර්ථයෙන් අංශුවක් හෝ පද්ධතියක් හෝ නිරුපණය කරන හිල්බට් අවකාශයෙහි දෛශිකයට පැවැත්මක් ඇත. එය හුදු ගණිතමය හරඹයක් නො වේ. විද්‍යාලංකාර විවරණය ඊනියා යථාර්ථවාදී විවරණයෙන් මෙන් ම කෝපන්හේගන් විවරණයෙන් ද වෙනස් වෙයි.