Main Logo

Sunday 17 June 2012

පන්චේන්ද්‍රියයන්ට ගෝචර නොවී පැවතීම


විද්‍යාලංකාර විවරණය ලෙස අප විසින් හැඳින්වෙන්න කැලණිය විශ්වවිද්‍යාලයීය ඊනියා ශාස්ත්‍රීය සඟරාවක හා ඇමරිකාවේ කෝනල් විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සඟරාවක පළ වී ඇතත් එය ලංකාවේ බටහිර භෞතික විද්‍යාඥයන් අතර කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. වෙනත් රටවල බටහිර භෞතික විද්‍යාඥයන් කිහිප දෙනකු පෞද්ගලික ව ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ඒ පිළිබඳ මගෙන් විමසා ඇති නමුත් එය බටහිර භෞතික විද්‍යාවේ පොදුවේ සාකච්ඡා වූවක් නො වේ. එබැවින් ක්වොන්ටම් භෞතිකයේ තුන්වැනි විවරණයක් ලෙස මෙහි දී ඉදිරිපත් කෙරුණ ද එයට බටහිර විිද්‍යා ලෝකයේ කිසිදු තැනක් හිමි වී නැත. එය මෙහි දී සාකච්ඡා කෙරෙනුයේ මෙරට ක්වොන්ටම් භෞතිකය ගැන උනන්දුවක් දක්වන අයට ඒ පිළිබඳ ව වැඩිදුරටත් සිතීමට අනුබල දීම සඳහා ය.

විද්‍යාලංකාර විවරණයට අනුව අංශුවක හෝ පද්ධතියක හෝ යම්කිසි ගුණයක අගය මැන ඇති විට, අදාළ අංශුව හෝ පද්ධතිය හෝ ඒ ගුණය නිරූපණය කරන හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයක් මගින් නිරූපණය කෙරෙයි. එම කාරකයෙහි ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන ගුණය මැනගත නොහැකිවා පමණක් නොව අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථාව එම ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි තනි අයිගන් දෛශිකයකින් නිරූපණය කළ හැකි නො වේ. අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථාව නිරූපණය කළහැකි වන්නේ අදාළ ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයකිනි. එම ගුණය මැනගැනීමට, නිරීක්‍ෂණය කිරීමට ගිය විට එම ඒකජ සංයෝජනය වෙනුවට එක් අයිගන් දෛශිකයක් පමණක් ලැබෙයි.

එසේ එක් අයිගන් දෛශිකයක් පමණක් ලැබීමට තරංග ශ්‍රිතයෙහි කඩාවැටීමක් යැයි කියනු ලැබෙයි. ඒ එක් අයිගන් දෛශිකය පමණක් ලැබුණු විට එම අයිගන් දෛශිකයට අයත් අයිගන් අගය ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන ගුණයෙහි අගය ලෙස නිරීක්‍ෂකයාට මැනගත හැකිවෙයි. කෙසේ වෙතත් ප්‍රශ්නය වනුයේ එසේ තරංග ශ්‍රිතය හෙවත් අයිගන් ශ්‍රිතය කඩාවැටීමට පෙර අදාළ ප්‍රතිබද්ධ කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයක් ලෙස පවතින විට ඒ අයිගන් දෛශික ගැන කිව හැක්කේ කුමක් ද යන්න ය.

යථාර්ථවාදීන්ට අනුව එලෙස අයිගන් දෛශික රාශියක එකතුවක් ලෙස පවතින දෛශිකයකින් නිරූපණය වන්නක් පැවතිය නොහැකි ය. ඔවුන්ට අනුව අංශුව හෝ පද්ධතිය හෝ ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි ද එක් අයිගන් දෛශිකයක් මගින් පමණක් නිරූපණය විය යුතු ය. එසේ කිරීමට නොහැකිවීම මගින් ක්වොන්ටම් භෞතිකය සම්පුර්ණ වශයෙන් සූත්‍රගත වී නොමැතිය යන්න පිළිබිඹු වන බව යථාර්ථවාදීන්ගේ අදහස වෙයි. ඉන්ද්‍රියානුභූතවාදීන්ට අනුව ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන අවස්ථාව නිරීක්‍ෂණය කළ නොහැකි බැවින් ඒ ගැන කිසිවක් කීව නොහැකි ය. නිරීක්‍ෂණය කළ නොහැකි දේ ගැන කතාකිරීම නිෂ්ඵල යැයි ඔවුහු පවසති. ඔවුන්ට අනුව කිව හැක්කේ ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන ගුණය මැනගතහොත් එහි අගය ප්‍රතිබද්ධ හර්මිෂන් කාරකයෙහි යම්කිසි අයිගන් දෛශිකයකට අනුරූප අයිගන් අගයක් බවත් එම අගය ලබාගැනීමේ සම්භාවිතාව මෙපමණ ය යන්නත් පමණ ය.

මෙහි දී මූලික ප්‍රශ්නය වනුයේ අංශුවක හෝ පද්ධතියක හෝ යම් ගුණයක පැවැත්ම හා එම ගුණය නිරූපණය කෙරෙන හර්මිෂන් කාරකයෙහි අදාළ අයිගන් දෛශිකය අතර සම්බන්ධය කුමක් ද යන්න ය. අංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි යම් දෛශිකයකින් (යම් හර්මිෂන් කාරකයක අයිගන් දෛශිකයකින්) නිරූපණය වන්නේ ය යන්නෙහි තේරුම සමස්ත අංශුව ම හෝ සමස්ත පද්ධතිය ම හෝ එම දෛශිකයෙන් නිරුපණය වන්නේ ය යන්න නො වේ. එහි දී වන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ යම්කිසි ගුණයක් ඒ ගුණය නිරූපණය කරන හර්මිෂන් කාරකයේ අයිගන් දෛශිකයකින් නිරූපණය කෙරෙන බව ය. මෙහි දී පැහැදිලි විය යුතු කරුණ නම් අදාළ අයිගන් දෛශිකයෙන් නිරූපණය කෙරෙන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ යම්කිසි ගුණයක් මිස සමස්ත අංශුව හෝ සමස්ත පද්ධතිය හෝ නොවන බව ය. එවිට එම ගුණය නිරූපණය කෙරෙන හර්මි’ෂන් කාරකයෙහි ප්‍රතිබද්ධ කාරකයෙන් නියෝජනය කෙරෙන ගුණය අදාළ අයිගන් දෛශිකයෙන් නිරූපණය නො වෙයි.

උදාහරණයකට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම හිල්බට් අවකාශයෙහි යම්කිසි අයිගන් දෛශිකයකින් නිරූපණය කෙරෙන්නේ නම් එහි ගම්‍යතාව එම දෛශිකයෙන් නිරූපණය නො වෙයි. අප කිහිප වතාවක් ම කියා ඇති පරිදි අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ පිහිටුම ගම්‍යතා කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයකින් නිරූපණය වෙයි. දැන් ප්‍රශ්නය වන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ යම් දිශාවක් දිගේ බැමුම නිරූපණය කෙරෙන්නේ කුමකින් ද යන්න ය. මෙහි දී අපි අංශුවක් සලකමු. යම් දිශාවක් දිගේ අංශුවෙහි බැමුම මැනගෙන ඇතැයි සිතමු. එවිට එම ගුණය හිල්බට් අවකාශයෙහි යම්කිසි දෛශිකයකින් නිරූපණය වෙයි. එවිට නැවතත් මතක් කළ යුත්තේ එම දිශාවට ලම්බ දිශාවක් දිගේ අංශුවෙහි බැමුම මැනගෙන නැති බව හා ඒ ලම්බ දිශාව දිශාව දිගේ බැමුම නිරූපණය කරන හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකවල (මෙහි දී අයිගන් දෛශික දෙකක) ඒකජ සංයෝජනයක් ලෙස අංශුවෙහි මුල් දිශාව දිගේ බැමුම නිරූපණය කෙරෙන බව ය.

මෙයින් පැහැදිලි වන කරුණ නම් ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් හෝ පද්ධතියක් නිරූපණය කිරීමට හිල්බට් අවකාශයෙහි දෛශික රාශියක් අවශ්‍ය වන බව ය. පිහිටුම එක් දෛශිකයක් මගිනුත්, බැමුම තවත් දෛශිකයක් මගිනුත්, ආදී වශයෙන් නිරූපණය කෙරෙන අතර අදාළ කාරකවල ප්‍රතිබද්ධ කාරක මගින් නිරූපණය කෙරෙන ගුණ ඒ ඒ මුල් දෛශිකවලින් නිරූපණය නො කෙරෙයි. දැන් අපට අලුත් ප්‍රශ්නයක් ඇසිය හැකි ය. අපි නැවතත් අංශුවක් සලකමු. අංශුවෙහි පිහිටුම නිරූපණය කෙරෙන දෛශිකය හා අංශුවෙහි බැමුම නිරූපණය කෙරෙන දෛශිකය අතර සම්බන්ධය කුමක් ද?

අංශුවෙහි පිහිටුම නිරූපණය කෙරෙන දෛශිකය පිහිටුම් කාරකයෙහි යම්කිසි අයිගන් දෛශිකයකි. එය φ දෛශිකය ලෙස ගනිමු. එමෙන් ම යම්කිසි දිශාවක් දිගේ අංශුවෙහි බැමුම නිරූපණය කෙරෙන දෛශිකය අදාළ දිශාව දිගේ බැමුම් කාරකයෙහි අයිගන් දෛශිකයක් (අයිගන් දෛශික දෙකෙන් එකක්) වෙයි. එය ψ දෛශිකය ලෙස සලකමු. φ සහ ψ දෛශික දෙකම හිල්බට් අවකාශයෙහි දෛශික වෙයි. එහෙත් ඒ එක් දෛශිකයක් අනෙක් දෛශිකයෙන් ලිවිය හැකි නො වේ.

එහෙත් අදාළ දිශාව දිගේ අංශුවෙහි බැමුම් කාරකයෙහි අයිගන් දෛශික දෙක ψ සහ χ යැයි සිතමු. දැන් ප්‍රශ්නය φ දෙශිකය ψ සහ χ දෛශිකවලින් ලිවිය හැකි ද යන්න ය. එසේ ලිවීමට බාධාවක් නොතිබිය යුත්තේ හිල්බට් අවකාශයෙහි ඕනෑම දෛශිකයක් යම් කාරකයක අයිගන් දෛශිකවල ඒකජ සංයෝජනයක් ලෙස ප්‍රකාශ කිරීමට හැකි බැවිනි. එවිට φ දෙශිකය ලෙස ලිවිය හැකි විය යුතු ය. එහෙත් පිහිටුම් කාරකය φ දෙශිකය මත යෙදීමෙන් ලැබෙන ප්‍රතිඵලය එම කාරකය මත යෙදීමෙන් නො ලැබෙයි. එයට හේතුව ψ සහ χ දෛශික පිහිටුම් කාරකයෙහි අයිගන් දෛශික නො වීම ය. එසේ වුවත් මෙහි තවත් නොවිසඳුනු ප්‍රශ්න වෙයි.

අප ඒ ගැන තවදුරටත් සාකච්ඡා නොකර නැවතත් අංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි යම්කිසි දෛශිකයකින් නිරූපණය කෙරෙන්නේ ය යන්න සලකා බලමු. පැහැදිලිව ම ඉන් කියැවෙන්නේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ මැනගෙන ඇති යම් ගුණයක් පමණක් එම දෛශිකයෙන් නිරූපණය කෙරෙන බව ය. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක හෝ පද්ධතියක හෝ පැවැත්ම මුළුමනින් ම හිල්බට් අවකාශයෙහි එක් දෛශිකයකින් පමණක් නිරූපණය කළහැකි නො වේ. අපට කිව හැක්කේ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ මැනගෙන ඇති යම් ගුණයක් හිල්බට් අවකාශයෙහි එක් දෛශිකයකින් නිරූපණය කළ හැකි බව ය. අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ මැනගෙන ඇති සියළු ගුණ නිරූපණය කිරීමට හිල්බට් අවකාශයෙහි දෛශික රාශියක් අවශ්‍ය වෙයි. ඒ දෛශික සංඛ්‍යාව මැනගෙන ඇති සියළු ගුණ සංඛ්‍යාවට සමාන වෙයි.

ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක හෝ පද්ධතියක පැවැත්ම යනු එහි මැනගෙන ඇති සියළු ගුණවල හා තවත් ගුණවල පැවැත්ම ය. මෙහි දී මැනගෙන ඇති යන්නෙන් ප්‍රායෝගික ව මැනගෙන ඇති යන්න පමණක් අදහස් නො වේ. ප්‍රායෝගිකව මැණගෙන නැතත් යම්කිසි ගුණයක් පද්ධතියට ඇත්නම් එය ද මැනගෙන ඇති ගුණයක් යන්නට ඇතුළත් වෙයි. එවැනි ගුණ පවතින්නේ යැයි අපට කිවහැකි වෙයි. අංශුව හෝ පද්ධතිය හෝ යනු මේ සියළු ගුණවල මෙන් ම මැනගෙන නොමැති ගුණවල ද එකතුව වෙයි.

එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තක් වෙයි. එනම් මේ පැවැත්ම යනු ඊනියා වාස්තවික පැවැත්මක් නොවන බව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ නොවී අංශුවක හෝ පද්ධතියක හෝ යම්කිසි ගුණයකට පැවැත්මක් නැත. අඩුම තරමෙන් ගුණය කුමක් ද යන්න නිරීක්‍ෂකයා අතින් සංකල්ප ගත වෙයි. අප මෙහි දී නිරීක්‍ෂණය කරන්නේ සංකල්පීය ලෝකයකි. යම් ගුණයක් නිරීක්‍ෂණය කළ විට අදාළ කාරකයෙහි ප්‍රතිබද්ධ කාරකයෙන් නිරූපනය කෙරෙන ගුණය ගැන අපට කිව හැක්කේ කුමක් ද?

විද්‍යාලංකාර විවරණයට අනුව ඒ ගුණය ද පවතියි. ඒ ගුණය පවතින්නේ (සම්මුති අර්ථයකින් මිස ඊනියා වාස්තවික අර්ථයකින් නො වේ) ද නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ය. එහෙත් මෙහි දී ඒ ගුණය අවස්ථා එකකට වැඩි ගණනක පවතියි. එය මැනගෙන නොමැත. අප ඉහතින් මැනගෙන නොමැති ගුණ යන්න ද අපේ සූත්‍රගත කිරීමට එකතු කළේ මෙයට ඉඩකඩ සැපයීමට ය. මැනගෙන නොමැති වුවත් ඒ ප්‍රතිබද්ධ කාරකයෙන් නිරූපනය කෙරෙන ගුණය, අවස්ථා එකකට වැඩි සංඛ්‍යාවක එකතුවක් ලෙස පවතියි. එහෙත් අපට ඒ දැකගත හැකි ෙැනා වේ. එනම් එය අපේ පංචේන්ද්‍රියයන්ට හා මනසට ගෝචර නො වේ. පංචේන්ද්‍රියයන්ට ගෝචර නොවූවත් එය පවතියි.

එහෙත් ඒ ගුණය, එනම් මැනගෙන නොමැති ගුණය පවතින්නේ සම්මුති අර්ථයකිනි. අපේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර නොවන නමුත් එය අවස්ථා රාශියකින් ඇති බව අපට දැනගත හැකි ය. ඒ දැනගැනීම හුදු අනුමානයක් නො වේ. එය දැක ගැනීමක් නොවූ දැන ගැනීමකි. මොන්රෝ විද්වතා සහ පිරිස විසින් කලකට පෙර කරන ලද පර්යේෂණවලින් ඒ බව පැහැදිලි විය. යම් ගුණයක් අපේ ඉන්ද්‍රියවලට ගෝචර නොවී පැවතිය හැකි ය යන්න මෙහි දී ඉදිරිපත් කෙරෙන ප්‍රධාන අදහස ය.

මෙය ක්වොන්ටම් භෞතිකයෙන් අපට ඉදිරිපත් කෙරෙන වැදගත් ම අදහස යැයි සිතමි. සම්භාව්‍ය භෞතිකයෙහි මෙවැන්නක් නැත. එහි යම් අංශුවක හෝ පද්ධතියක හෝ යම් ගුණයක් පවතින්නේ නම් ඒ ගුණය අපට නීිරීක්‍ෂණය කළ හැකි ය. එනම් ඒ ගුණය අපේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර වෙයි. අපට නිරීක්‍ෂණය කළ නොහැකි ගුණ ඇතැමුන්ගේ මනසට පමණක් ගෝචර වනනේ යැයි සිතිය හැකි ය.