Main Logo

Saturday 23 June 2012

අපාය ඇත්තේ කොහේ ද?

ක්වොන්ටම් භෞතිකයෙහි විද්‍යාලංකාර විවරණයට අනුව අප දැනට ප්‍රකාශ ඇති කරුණු මෙසේ ගොනු කර ගත හැකි ය. අප අංශුවක හෝ පද්ධතියක හෝ පැවතීම යන්නෙන් අදහස් කරන්නේ එහි ගුණ රාශියක පැවැත්ම ය. මේ ගුණවලට අපි මෙතැන් සිට අංශුවේ හෝ පද්ධතියෙහි හෝ මාත (modes) යැයි කියමු. අංශුවක හෝ පද්ධතියක හෝ පිහිටුම, ගම්‍යතාව, බැමුම, ගඳ සුවඳ, පැහැය හෙවත් වර්ණය, සුමටබව ගොරෝසුබව ආදිය එහි මාත වෙයි. අංශුවක් හෝ පද්ධතියක් යනු මෙවැනි මාතවල එකතුවක් වෙයි. එහෙත් එයින් කියැවෙන්නේ ඒ මාත හෙවත් ගුණ අපෙන් තොරව, එනම් නිරීක්‍ෂයකුගෙන් තොරව වාස්තවික ව පවතින බව නො වේ. ඒ සෑම මාතයක් ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ වෙයි.

මාතයක් යන්න අර්ථදක්වන්නේ ම නිරීක්‍ෂකයෙකි. එක් අයකුට මෘදු යනුවෙන් දැනෙන විට වෙනත් අයකුට තද බවක් දැනෙනු ඇත. අපට බිත්ති පසාරුකර ගෙන ගමන් කළ හැකි නො වේ. එහෙත් බුදුදහමට අනුව දෙවිවරුන්ට අමනුෂ්‍යයන්ට එසේ කළ හැකි ය. අපට මහ පොළොව පසාරු කරගෙන ගිය හැකි නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද පොළොව යටට යන කල ඉතා විශාල උෂ්ණත්ව සහිත ලෝ දිය වැනි ද්‍රව වෙයි. මේ ද්‍රව තට්ටුවල අමනුෂ්‍යයෝ මැරෙති. උපදිති. දුක් විඳිති. ක්‍ෂණයකින් නැවත මැරෙති. නැවත ඉපදෙති. අපට පොළොව පසාරු කරගෙන ගිය නොහැකි වුව ද අපායේ දුක් විඳින්නවුන්ට එය නිතිපතතා දුක් විඳිමින් කරණ කාර්යයකි. අපායක් නැතැයි කියන තම අත්දැකීම්වලට පමණක් ලෝකය සීමාවන්නේ යැයි සිතන උද්ධච්ඡයන් යථා කාලයේ දී අපා දුක් ද පසක් කරගනු ඇත.

එහෙත් මේ උද්ධච්ඡයන් අපාගතවන තුරු ඔවුන් අපායක් නැතැයි කියනු ඇත. අප ද සසරේ අනේකවාරයක් අපාගත වී ඇති බවට සැකයක් නොමැති නමුත් අපට ඒ පිළිබඳ මතකයක් නැත. අප ඒ බව පිළිගන්නේ බුදුන්වහන්සේගේ දේශනා පිළිබඳ අපට විචිකිච්චාවක් නොමැති බැවිනි. අපේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන පමණක් විශ්වාස කරන්නවුන්ට ක්වොන්ටම් භෞතිකය ද විශ්වාස කළ නොහැක්කේ මොන්රෝ විද්වතා ඇතුළු පිරිස අපේ ඉන්ද්‍රියවලට ගෝචර නොවී පවතින ක්වොන්ටම් අංශුවල අවස්ථා ඇති බව පෙන්වා දී ඇති බැවිනි. බටහිර විද්‍යාවෙන් මෝහනයට පත්ව අග්ගඤ්ඤ සූත්‍රයෙහි බුදුන් වහන්සේ දේශනාකර ඇති සත්ව විකාශය පැත්තකට දමා ඩාවින්ගේ බයිබල් ආකෘතියේ පරිණාමවාදය පිළිගන්නා අයට දෙවියන්ගේ ම පිහිට ය. ඩාවින්ගේ පරිණාමවාදය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කරන ලද්දකි.

ඒ ඒ නිරීක්‍ෂකයා විසින් සංස්කෘතියට මනසට හා ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂව නිර්මාණය කරන ලද මාතවල එකතුවක් වූ වස්තුව යන්න නිරීක්‍ෂකයකුට සිය පංචේන්ද්‍රිය ඇසුරෙන් ග්‍රහණය කළ හැකි නො වේ. අලියා පසක කරගැනීමට යෑමේ දී අපි අලියාගේ හොඬවැල, කන්, කකුල්, ඇස්, පැහැය ආදිය මිස අලියා ග්‍රහණය නො කරන්නෙමු. එහෙත් අපට මනසක් ඇති බැවින් (වාස්තවික ව නොව වෙනත් දේ මෙන් ම සාපේක්‍ෂව සම්මුතියෙන්) අපට ඒ හොඬවැල ආදී සියලු පසක් කිරීම් පිළිබඳ ව මතක වෙයි. ඒ මතකවල එකතුව අලියා වෙයි. අලියා සමස්තයක් ලෙස එක්වර ග්‍රහණය කරගැනීම සඳහා එක් ඉන්ද්‍රියක් නැති බව බොහෝ දෙනකුට අමතක වෙයි.

ක්වොන්ටම් භෞතිකයෙහි දී අංශුවක හෝ පද්ධතියක හෝ විවිධ මාත ඇති නමුත් ග්‍රහණය කෙරෙන්නේ මැනගත හැකි මාත පමණකි. එනම් යම්කිසි සංඛ්‍යාත්මක අගයක් දීමට හැකි මාත පමණකි. මේ මාත හිල්බට් අවකාශයෙහි දෛශික මගින් නිරූපණය කෙරෙයි. සාමාන්‍යයෙන් ක්වොන්ටම් භෞතිකයෙහි විවරණ ආරම්භ වන්නේ අංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි දෛශිකයක් මගින් නිරූපණය කෙරෙයි යනුවෙනි. විද්‍යාලංකාර විවරණයෙහි ද මුලින් සඳහන් වී ඇත්තේ එසේ ය. එහෙත් එය තවදුරටත් විස්තර කළ යුතු බව අපි දැන් දනිමු. අපට අංශුවක පිහිටුම මැනගන්නා අතර යම්කිසි දිශාවක් දිගේ එහි බැමුම ද පරීක්‍ෂණයක් මගින් දැනගත හැකි අවස්ථා වෙයි. එවිට පිහිටුම යන මාතය හිල්බට් අවකාශයෙහි φ දෛශිකයෙන් ද බැමුම යන මාතය ψ දෛශිකයෙන් ද නිරූපණය කළ හැකි වෙයි. මැනගත හැකි වෙනත් මාත ඇත්නම් ඒවා ද එලෙස හිල්බට් අවකාශයෙහි වෙන වෙන ම දෛශික මගින් නිරූපණය කිරීමට හැකි වෙයි.

එහෙත් මේ එක් දෛශිකයක්වත් අනෙක් මාත නිරූපණය කෙරෙන එක් එක් දෛශිකයට සමාන නො වේ. එනම් φ = ψ යනුවෙන් කිවහැකි නො වේ. ඒ අතර කිවයුතු තවත් කරුණක් නම් මේ මාත මැනගත හැකි ය යන්නෙන් කියැවෙන්නේ අංශුවෙහි අදාළ යම් මාතයක් අදාළ හර්මිෂන් කාරකයෙහි එක් අයිගන් දෛශිකයකින් පමණක් නිරූපණය වන බව ය. එවිට කලින් කියා ඇති පරිදි එම කාරකයෙහි ප්‍රතිබද්ධ කාරකයෙහි එක් අයිගන් දෛශිකයකින් පමණක් මාතයක් නිරූපණය කළ හැකි නො වේ. දැන් ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් හෝ පද්ධතියක් හෝ හිල්බට් අවකාශයෙහි යම් දෛභිකයක් මගින් නිරූපණය කළ හැකි ය යන්නෙහි තේරුම අන්කිසිවක් නොව අංශුව හෝ පද්ධතිය හෝ ඉහත සඳහන් මාත නිරූපණය කරන දෛශිකවල යම් ඒකජ සංයෝජනයකින් නිරූපණය කළ හැකි ය යන්න ය. හිල්බට් අවකාශයෙහි දෛශිකවල එකතුවක් ද හිල්බට් අවකාශයෙහි තවත් දෛශිකයක් වන බැවින් ඒ එසේ වෙයි.

අංශුවක හෝ පද්ධතියක හෝ යම් මාතයක අගය අප දන්නේ නම් අදාළ නිරීක්‍ෂ්‍යය නිරූපණය කරන හර්මිෂන් කාරකයෙහි ප්‍රතිබද්ධ කාරකයෙන් නිරූපණය කෙරෙන නිරීක්‍ෂ්‍යයෙහි අගය, අදාළ මාතයෙහි අගය අපි නො දන්නෙමු. එහෙත් ඒ මාතය නෙපවතින්නේ යැයි අපි නො කියමු. ඒ මාතය නිරීක්‍ෂණය නොකළ ද එය පවතියි. එහෙත් එය පවතින්නේ සම්මුති අර්ථයකින් මිස ඊනියා වාස්තවික යථාර්ථවාදී අර්ථයකින් නො වේ. ඒ මාතය අපේ පංචේන්ද්‍රියවලට හා මනසට ග්‍රහණය නොවන නමුත් එය පවතියි. මොන්රෝ පරීක්‍ෂණවලින් කියැවෙන්නේ එයයි.

පංචේන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක් පවතින්නේ යැයි සිතන ඊනියා බුද්ධිමතුන්ට ක්වොන්ටම් භෞතිකයෙන් සමු ගැනීමට සිදුවනු ඇතත් ඔවුන් එසේ නොකරනු ඇත. එයට හේතුව ඔවුන්ගේ දීන මානසිකත්වයයි. අපාය පොළොව යට තිබෙන්නේ කෙසේ දැයි අසන මොවුහු කිසි දිනෙක ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර දැයි නො අසති. බුදුන්වහන්සේට වඩා නිව්ටන් පිළිගන්නා මොවුහු අයින්ස්ටයින් විසින් නැතැයි කියනු ලැබූ ගුරුත්වාකර්ෂණය තමන්ට විඳිය හැකි යැයි පැවසීමට තරම් නිවට වෙති.

ඇතැම් විට ඔවුන් සිතනු ඇත්තේ අපායෙහි ඇත්තේ ද තමන්ගේ වැනි සිරුරු සහිත සත්වයන් කියා ය. එහෙත් මොවුන් නොදන්නා කරුණක් නම් මිනිස් හා තිරිසන් සත්ව රූපවල පඨවි ධාතුව වැඩි බවත් දෙවියන්ගේ හා අමනුෂ්‍යයන්ගේ සිරුරුවල වායෝ ධාතුව ඉතා අධික බවත් ය. ඇතැම් අවස්ථාවල බුදුන්වහන්සේ බැහැදැකීමට පැමිණි දෙවිවරු තම සිරුරුවල පඨවි ධාතුව වැඩිකරගත්හ. එසේ කරගැනීමට නොහැකි වූ දෙවිවරුන් පය ගසා සිටීමට නොහැකි වී ගිලා බැස ඇති විට බුදුන්වහන්සේ ඔවුන්ට පඨවි ධාතුව වැඩිකර ගැනීමට උපදෙස් දී ඇති අයුරු ඊනියා බුද්ධිමතුන්ට බෞද්ධ සාහිත්‍යයෙන් දැනගත හැකි ය.

පඨවි ධාතුව වැඩි මිනිස් සිරුරු ආපෝ ධාතුව වැඩි ජලයේ ගිලී යෑම වැළැක්වීමට වායෝ ධාතුව වැඩි වළලු සිරුර වටා දා ගැනීමට පිහිනීමට පුරුදුවන ඇතැම්හු පෙළඹෙති. වායෝ ධාතුව අධික සිරුරු ඇතියවුන්ට (දෙවියන් ප්‍රේතයන් ආදීන්) බිත්තියක් පසාරු කරගෙන යෑම අසීරු කාර්යයක් නො වේ. ඊනියා බුද්ධිමතුන්ගේ ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් මුළු ලෝකය ම තම සිරුර හා ඒ සමග තම මනස උපයෝගී කරගනිමින් පමණක් දැනගැනීමට හැකි යැයි සිතීම ය.

කලින් සඳහන් කෙරුණු කරුණුවලින් කියැවෙන්නේ යම් මාතයක පැවැත්ම (සාපේක්‍ෂ සම්මුති අර්ථයකින්) පිළිබඳ දැනුම හා ඒ මාතයෙහි අගය පිළිබඳ දැනුම යනු එකක් නොවන බව ය. අපට යම් මාතයක පැවැත්ම දැනගත හැකි නමුත් ඒ මාතය ගන්නා අගය දැනගැනීමට ඇතැම් අවස්ථාවල නොහැකි වනු ඇත. එය අප අපායේ පැවැත්ම ගැන දන්නා නමුත් එහි උෂ්ණත්වයෙහි අගය සෘජුව දැනගෙන නොමැති විලසට ය. එහෙත් මෙහි දී කිවයුතු කරුණක් නම් මේ නිදර්ශනය ක්වොන්ටම් භෞතදකය සම්බන්ධයෙන් නම් එතරම් සතුටුදායක නොවන බව ය. එයට හේතුව අපාය ක්වොන්ටම් පද්ධතියක් නො වීම ය.

අප යම් මාතයක අගය දන්නේ නම් අදාළ ප්‍රතිබද්ධ මාතය පවතින බව දන්නා නමුත් අපි එහි අගය නො දනිමු. අවශ්‍ය නම් සුදුසු පරීක්‍ෂණයක් මගින් ඒ දැනගත හැකි වෙයි. එවිට අපට අගයයන් රාශියකින් (එකකට වැඩි ගණනකින්) එකක් පමණක් ලැබෙයි. පරීක්‍ෂණයට පෙර අපට කීමට හැක්කේ ප්‍රතිබද්ධ මාතයෙහි අගය අහවල් එක වීම සඳහා අහවල් සම්භාවිතාවක් ඇති බව පමණ ය. යථාර්ථවාදීහු ප්‍රතිබද්ධ මාතයෙහි අගය නිශ්චිතව දැක්වීමට නොහැකි නිසා ක්වොන්ටම් භෞතිකය අසම්පුර්ණ පද්ධතියක් ලෙස සලකති. අනෙක් අතට ඉන්ද්‍රියානුභූතවාදීහු ඉන්ද්‍රිය ගෝචර ව නොදන්නා දේ ගැන කතාකිරීම ප්‍රතික්‍ෂෙප කරති. එහෙත් බෞද්ධයන් වූ අපට ඉන්ද්‍රිය ගෝචර නොවන දේ ද ඉන්ද්‍රිය ගෝචර දේ මෙන් ම සම්මුති අර්ථයකින් පවතින බව දැනගැනීම ප්‍රශ්නයක් නො වේ. විද්‍යාලංකාර විවරණය සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිර්මාණය වූයේ වෙයි.

මෙහි දී තවත් වැදගත් කරුණක් කීමට ඇත. ක්වොන්ටම් අංශුවක හෝ පද්ධතියක හෝ සෑම විට ම යම් මාතයක හෝ එහි ප්‍රතිබද්ධයෙහි හෝ අගයක් දැන සිටිය යුතු ම නො වේ. ඇතැම් අවස්ථාවල යම් මාතයක් හෝ එහි ප්‍රතිබද්ධය හෝ ගන්නා අගය දෙකෙන් එකක්වත් නොදැන සිටින්නට වුව ද හැකි ය. මෙහි දී අන් සියල්ලට ම වඩා වැදගත් වන්නේ අනිශ්චයතා මූල ධර්මය ය. ඉන් කියැවෙන්නේ අදාළ මාතයෙහි හා එහි ප්‍රතිබද්ධයෙහි මධ්‍යන්‍ය අගයයන්ගෙන් අගය වෙනස්වීමේ මධ්‍යන්‍ය වර්ග අපගමනයන්හි ගුණිතය යම් අගයකට වැඩිවිය යුතු බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අදාළ මාතයෙහි හෝ එහි ප්‍රතිබද්ධයෙහි හෝ අගය නිශ්චිතව ම මැනගත හැකි වීම අනිවාර්ය නො වේ. ඒ අගය දෙකෙන් එකක්වත් අප නිශ්චිතව නොදැන සිටීමට හැකි ය.

උදාහරණයක් ලෙස ගතහොත් යම් නිරීක්‍ෂකයකු ක්වොන්ටම් අංශුවක පිහිටුම මෙන් ම ගම්‍යතාව ද නොදන්නා අවස්ථා තිබිය හැකි ය. එහි දී අංශුවට පිහිටුම් රාශියක් මෙන් ම ගම්‍යතා රාශියක් ද තිබිය හැකි ය. ඒ සෑම එකකට ක අගයක් තිබෙන නමුත් අපට ඒ නිරීක්‍ෂණය කළ නො හැකි ය. ඒ අපේ පංචේන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. අනිශ්වයතා මූල ධර්මය අනුව නොවිය හැක්කේ ක්වොන්ටම් අංශුවක එක්වර ම පිහිටුම හා ගම්‍යතාව දැන ගැනීම ය. එහෙත් එක්වර පිහිටුම මෙන් ම ගම්‍යතාව ද නොදැන සිටීම (මැනගෙන නොසිටීම) අනිශ්චයතා මූලධර්මයට පටහැණි නො වේ.

මීළඟ ප්‍රශ්නය වන්නේ ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට තවත් තැනකට යන්නේ කෙසේ ද යන්න ය. එය නිව්ටෝනීය අංශුවක් ලෙස යම් පෙතක් දිගේ ගමන් කරන්නේ ද? එසේත් නැත්නම් ඒ සඳහා වෙනත් ක්‍රමයක් වේ ද? ඊනියා බුද්ධිමතුන් අපායට යන්නේ කෙසේ ද යන්නත් එක් අතකින් ගත්කළ අදාළ ප්‍රශ්නයකි.