Main Logo

Sunday 1 June 2014

ආණ්‌ඩුවේ වගකීමක්‌

පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ආණ්‌ඩුවත් සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට අදාළව වැදගත් තීරණ දෙකක්‌ ගෙන ඇත. පේරාදෙණියේ සනාතන සභාව සමසෞඛ්‍යවිද්‍යා උපාධි පාඨමාලාව අවුරුදු තුනේ සිට හතරට දික්‌කිරීමට තීරණය කර ඇති අතර ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට බටහිර වෛද්‍යවරියක නොවන පරිපාලන සේවා නිලධාරිනියක පත්කර ඇත. ඒ තීරණ දෙක ගැන අපේ ප්‍රශංසාව පළ කළ යුතු ය. මේ තීරණවලට ඇතැම් බටහිර වෛද්‍යවරුන් අකමැති බව ද ඒ තීරණ ගනු වැළැක්‌වීමට ඔවුන්ට අවශ්‍ය වූ බව ද රහසක්‌ නො වේ. යම්කිසි දවසක සමසෞඛ්‍යවිද්‍යා උපාධිධාරියකු, නැත සිංහල වෙදමහතකු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් (අමාත්‍යාංශ ව්‍යqහය ද දවසක වෙනස්‌විය යුතු ය) වනු ඇතැයි බලාපෙරොත්තු වෙමි. එහෙත් එයින් කියෑවෙන්නේ සමසෞඛ්‍යවිද්‍යා සිසුන්ගේ සටන්ක්‍රම අනුමත කරන බවවත් ඔවුන්ගේ පාඨමාලාව අවුරුදු හතර කිරීමට අවශ්‍යතාවක්‌ තිබුණු බවවත් නො වේ. කළ යුතුව තිබුණේ බටහිර වෛද්‍ය විද්‍යා පාඨමාලාවේ කාලය අඩුකිරීම හා සමස්‌තයක්‌ ලෙස බටහිර අධ්‍යාපනයෙන් බිහිවන්නන්ට මෙරට ඇති සමාජ තත්ත්වය නැති කිරීම ය. අද නිදහස්‌ අධ්‍යාපනය නාමයෙන් අප කරන්නේ පට්‌ටපල් බොරුවක්‌ වූ බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම රටෙහි ව්‍යාප්ත කිරීම හා තහවුරු කිරීම ය. අප රටෙන් හරිහමන් විද්‍යාඥයකු බිහි වී නැතත් අපි බටහිර දැනුමේ පරිධියේ ඇති කසිකබල් දැනුමක්‌ ලබාගැනීමට යෑයි කියමින් තුට්‌ටු දෙකේ පර්යේෂණ කරමු. බටහිර අධ්‍යාපනයටත් තුට්‌ටු දෙකේ පර්යේෂණවලටත් අපි රුපියල් කෝටි ගණන් වියදම් කරමු. කිසිම දවසක බටහිර විද්‍යාවේ මූලික අධ්‍යයනයක්‌ කර නැති මූලික අධ්‍යයන ආයතනයක්‌ අපට මහනුවර ඇත. එය අපේ ම නොවන අපේ ආයතනයකි. එහි කලක්‌ අධ්‍යක්‌ෂ ධුරය දැරූ ඊනියා ප්‍රබුද්ධ භෞතික විද්‍යාඥයකු සාපේක්‌ෂතාවාදයෙහි අ යනු ආ යනු වත් නොදන්නා බව මම පසුගිය සතියෙහි වටහා ගතිමි. ඊනියා දන්ත වෛද්‍ය විද්‍යාඥයෝ වියුක්‌තය යනු කුමක්‌ දැයි නොදැන වියුක්‌ත දත පුරවන්නේ ද ගලවන්නේ ද යන්න තීරණය කරගත නොහැකිව සාපේක්‌ෂතාවාදය ගැන කිසිවක්‌ නොදන්නා හිටපු අධ්‍යක්‌ෂවරුන්ගෙන් වියුක්‌ත ගුරුත්වය ඉගෙනීමට උත්සාහ කරති. අපේ විද්‍යා පර්යේෂණ හා අධ්‍යාපනය එබඳු ය.

නිදහස්‌ සෞඛ්‍යය යනුවෙන් ද අප කරන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීම හා තහවුරු කිරීම ය. අද බොහෝ දෙනා කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන කතා කරති. රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ යෑයි අපි කියා සිටියෙමු. අප ආසනික්‌ ගැන දැනගත්තේ නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණීන්ගෙනි. ඉන්පසුව බටහිර රසායනික විද්‍යාව අනුව අපි කැලණිය විශ්වවිද්‍යාලයේ දී ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමු. මම ඒ කණ්‌ඩායමේ නායකත්වය දැරීමි. එහෙත් දෙවියෝ හෝ ඔවුන්ගේ නියෝජිතයෝ හෝ මගේ නම පර්යේෂණ පත්‍රිකාවක පළවීම ගැන අසතුටු වූහ. මට දෙවියන් ද භූතයන් ද මිනිසුන් ද අතර වෙනසක්‌ නැත. ඔවුහු සියල්ලෝ ම පෘථග්ජනයෝ වෙති. අවශ්‍ය වූ විට මම දෙවියන් ද විවේචනය කරමි. එහෙත් දෙවියන්, භූතයන් හා වෙනත් නොපෙනෙන ප්‍රාණීන් වෙනුවෙන් ද පෙනී සිටීමට මට ඔවුන්ගේ කුහකකම් හා වෙනත් පෘථග්ජන ගති පැවතුම් ප්‍රශ්නයක්‌ නො වේ. මගේ නම පර්යේෂණ පත්‍රිකාවේ පළ නොවීම දඩමීමා කරගෙන කැනඩාවේ වාසය කරන ඊනියා සුපිරි විද්‍යාඥයෙක්‌ ආසනික්‌ පිළිබඳ පර්යේෂණ කිරීම පිළිබඳ කැලණිය කණ්‌ඩායමේ මහාචාර්ය පරණගම මහත්මිය ඇතුළු පිරිසට ගෞරවය ලබාදෙන (ඔවුන්ට ඒ ලබාදිය යුතු ය) අතර මා හුදෙක්‌ පාරභෞතික කරුණු ඉදිරිපත් කරන්නකු ලෙස සලකමින් මට පරිභව කරයි. එහෙත් මට ඒ පරිභවයක්‌ නොවන්නේ මා බටහිරයන්ගේ පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන ලෝකයකට සීමා වී නැති බැවිනි. අද අපි බටහිරයන්ගේ ආධිපත්‍යය හේතුකොටගෙන පෞද්ගලිකත්වය මුල්කරගත් පංෙච්න්ද්‍රිය පිනවීමටත් පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන දැනුමකටත් සීමා වී සිටිමු. අප ඒ තත්ත්වයෙන් මිදිය යුතු ය. කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක්‌ දැයි බටහිර වෛද්‍යවරු නො දනිති. ඔවුන් ඒ ආසනික්‌ බව නොපිළිගන්නේ ඔවුන්ගේ ආධිපත්‍යයට එයින් පහර වදින බැවිනි. ඔවුන්ට එයට ප්‍රතිකාර ද නැත. සිංහල පාරම්පරික වෙදකමේ එයට ප්‍රතිකාර ඇතත් බටහිර වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යය හේතුකොටගෙන ආණ්‌ඩුව සිංහල වෙදමහතුනට ජංගම වෙදගෙවල් පවත්වාගෙන යැමට ආධාර නො දෙයි. විශේෂ ව්‍යාපෘති ඇමතිතුමා ද උතුරු මැද පළාතේ මහඇමතිතුමා ද ඒ සම්බන්ධයෙන් අපට දුන් බොරු පොරොන්දු පමණක්‌ ඉටු නො වී ඉතිරි වී ඇත.

ඒ අතර දෙවියන්ගේ කුහකකම මනාව ප්‍රදර්ශනය කරමින් කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව වන ආසනික්‌ අමතක කර ග්ලයිෆොසේට්‌ ප්‍රධාන හේතුව බවට කීමේ වෑයමක්‌ ද වෙයි. ග්ලයිෆොසේට්‌ ආසනික්‌ සමග දැලිසක්‌ සෑදීමෙන් ආසනික්‌ වකුගඩුව කරා ගෙන යැමේ වාහකය බවට පත්වෙයි. එය ද කියා දී ඇත්තේ දෙවියන් ය. ග්ලයිෆොසේට්‌ සමග කැලණිය කණ්‌ඩායමේ කිසිම සම්බන්ධයක්‌ නැත. අද ඇතැමුනට ආසනික්‌ අමතක කිරීමට අවශ්‍ය වී ඇත්තේ කැලණිය කණ්‌ඩායමට කිසිම ගෞරවයක්‌ නො දීමට ය. එහෙත් අපට එය ද ප්‍රශ්නයක්‌ නො වේ. දැනුම නිර්මාණය කිරීමේ දී (ලබාගැනීමේ දී) බටහිර විද්‍යාවට නැති මාර්ග අපට ඇති බව පෙන්වීමට අපි සමත්වීමු. පැරණි සිංහලයන් දැනුම නිර්මාණය කිරීමේ දී ආධ්‍යාත්මික ක්‍රම වක්‍රව (දෙවියන් භූතයන් මගින්) හෝ සෘජුව හෝ යොදාගෙන ඇති බව අපි දැන් දනිමු. අපට අපේ විද්‍යාඥයන් බිහිකර ගත හැක්‌කේ දෙවියන් ද පෘථග්ජනයන් වුවත් ඒ ආධ්‍යාත්මික මග ගැනීමෙනි. එසේ නොමැතිව බටහිර අනුකරණය කරමින් ඊනියා මූලික අධ්‍යයන ආයතන ඇතිකිරීමෙන් නො වේ.

සමසෞඛ්‍යවිද්‍යා උපාධිධාරීහු ද බටහිර අධ්‍යාපනයෙහි දාසයෝ වෙති. ඔවුන්ගෙන් ද රටට යහපතක්‌ සිදුනොවනු ඇත. එහෙත් ඔවුන් බටහිර වෛද්‍යවරුන්ගේ පදයට නැටීමට එකඟ නොවීම ගැන නම් අපි සතුටු වෙමු. අද ආණ්‌ඩුවේ වගකීමක්‌ වනුයේ බටහිර දැනුම මුල්කරගත් බටහිර ආධිපත්‍යයේ කොඳු නාරටිය කඩා දැමීමට කටයුතු කිරීම ය. එහි දී සිංහල වෙදකමට මෙන් ම වස විස නැති සිංහල ගොවිකමට ද ආණ්‌ඩුව අතහිත දිය යුතු ය. කෘෂිරසායන නැති ගොවිකමක්‌ වෙත අපි ක්‍රමයෙන් යා යුතු වෙමු. ඒ සියල්ල සඳහා ජනතාවගේ ආකල්ප වෙනස්‌කිරීමට කටයුතු කළ යුතු ය. එහෙත් එහි දී දේශීය දැනුම දඩමීමා කරගෙන 2020 දී බලයට පත්වීමට සිහින මවන අවස්‌ථාවාදීන්ට කිසිම ඉඩක්‌ නොදීමට ද වග බලාගත යුතු ය.


නලින් ද සිල්වා

2014-06-01