Main Logo

Showing posts with label බටහිර විද්‍යාව. Show all posts
Showing posts with label බටහිර විද්‍යාව. Show all posts

Thursday, 23 November 2017

හිතට වධ දෙන ප්‍රශ්න

හිතට වධ දෙන ප්‍රශ්න

ඊයේ (විසිදෙවැනි දා) ලිපියෙහි සඳහන් ජෝන් වීලර්ගේ සිතට වධ දුන් ප්‍රශ්නය හැරුණු විට තවත් සිතට වධ දෙන ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි මට අනෙක් අයට තේරෙන විධියට යමක් කීමට නොහැකි වීම. වීලර් ආචාර්ය උපාධි හතළිස්පහක පමණ උපදේශක වී සිටියා. එමෙන් ම ෆයින්මාන් ඇතුළු නොබෙල් ත්‍යාගලාභී කිහිප දෙනකු ම ඔහුගේ ශිෂ්‍යයන්. මගේ ශිෂ්‍යයන් බොහෝ දෙනකු අද ඉන්න තැන් බැලුවම කියන්න පුළුවන් ඔවුන්ට මා කී කිසිවක් තේරී නැති බව. එය ඔවුන්ගේ වරදක් වෙන්න බැහැ. තවත් වධ දෙන ප්‍රශ්නයක් නම් සිංහල ජාතියේ අනාගතයයි. අද අපට නායකයකු නැහැ. මුහුණු පොතේ ඉන්න අය කියාවි නායකයන් ඉන්නවා කියා. ඒත් මුහුණු පොත් ප්‍රතිචාර මා කියවන්නේ ඉතා අකමැත්තෙන්. ඔවුන් ප්‍රශ්න දෙස බලන්නේ ඉතා මතුපිටින්.

Sunday, 9 March 2014

ඉතිහාසය ගල්ගැස්සීම


මෙහි මාතෘකාව ඉතිහාසය වුව ද වාස්තවික වූ ඉතිහාසයක් නැත. අප සියළු දෙනාට ම ග්‍රහණය කිරීමට ඇත්තේ එකම ලෝකයක් පමණක් යැයි කියන (නො)දත් දොස්තරලාට නම් ඇත්තේ එකම ඉතිහාසයක් විය හැකි ය. අප එකිනෙකා ඉතිහාස දකින්නේ විවිධ ආකාරයෙනි. මෙරට සම්බන්ධයෙන් ගත්කල ඇතැම්හු රාවණ ඉතිහාස ගැන කියති. ඇතැමුනට අනුව ඉතිහාස පටන්ගෙන ඇත්තේ විජය කුමරුගෙනි. ඇතැමුනට අනුව ඊනියා විද්‍යාව (බටහිර විද්‍යාව) මගින් බෙංගාලයේ ජනතාව හා සිංහලයන් අතර ජාන සම්බන්ධයක් ඇති බව හෙළි වී ඇත. ඒ විද්‍යාවට ම අනුව තවත් අයකු පවසා ඇත්තේ අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙහි හා ලංකාවේ ජනයා අතර ජාන සම්බන්ධයක් ඇත. වාස්තවික ඉතිහාසයක් තබා වාස්තවික භෞතික විද්‍යාවක්වත් නැත. ක්වොන්ටම් සංකල්පය වත්මන් බටහිර භෞතික විද්‍යාවෙහි ඉදිරිපත්කළ සුප්‍රසිද්ධ බටහිර භෞතික විද්‍යාඥයකු වූ මැක්ස් ප්ලෑන්ක්ට අනුව බටහිර භෞතික විද්‍යාවෙහි යම් මතයක් පිළිගැනෙන්නේ තර්කයෙන් හෝ ඊනියා ආනුභවික විධික්‍රමයකින්  හෝ අදාළ විද්‍යාඥයන් ඒ අදහස සමග එකඟ වීමෙන් නොව පැරණි පරම්පරාව මිය යෑමෙනි. බටහිර ඉතිහාසයට බටහිර දන්ත වෛද්‍යවිද්‍යාවට ආදී විෂයයනට වඩා බෙහෙවින් වර්ධනය වී ඇති භෞතික විද්‍යාවෙහි ද තත්වය එබඳු නම් අනෙක් විෂය ගැන කියනුම කවරේ ද? බටහිර භෞතික විද්‍යාව නොහදාරා ජනප්‍රිය පොතපත මගින් බටහිර භෞතික විද්‍යාව ගැන කරුණු දැනගැනීමට උත්සාහ කරන (නො)දත් දොස්තරලාට මේ කිසිවක් නොවැටහීම පුදුමයක් නො වේ. ඔවුන්ට අනුව ඇත්තේ එක් ලෝකයකි. එක් ඉතිහාසයකි. ඔවුහු ද යටත්විජ්තවාදයට සේවය කරති.

ඉහත සඳහන් පුර්විකාව රායප්පු ජෝසෆ් බිෂොප්වරයා ඇතුළු දෙමළ ක්‍රිස්තියානි පූජකවරුන් දෙසිය පස්දෙනකු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් මණ්ඩලයේ සාමාජිකයන් වෙත යවන ලද ලිපියක සඳහන් කරුණු පිළිබඳ ව වචනයක් දෙකක් සඳහන් කිරීමට ය. ජෝසෆ් බිෂොප්වරයා ගැන අමුතුවෙන් යමක් කීම අවශ්‍ය නො වේ. මඩු දේවස්ථානයෙහි තිබූ මරියතුමියගේ සුරුවම කොටින් අතට පත්කර සිංහල කතෝලිකයන්ට එම දේවස්ථානයෙහි පුද පූජා පැවැත්වීම අහිමි කළේ ඔහු ය. පසුගිය දා කිසිම සාක්‍ෂියක් නොමැතිව හමුදාව රසායනික අවි යොදාගත් බවටත් සාමාන්‍ය ජනතාවට බෝම්බ දැමූ බවටත් චෝදනා කළේ ඔහු ය. ඔහු සිංහලයන් සමග විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් සමග බද්ධ වෛරයකින් පසුවන බව පෙනී යයි. ඔහු ඇතුළු පූජකවරුන් (මොවුන් සේවය කරන්නේ දෙවියන් වහන්සේට නො වේ) තම ස්වාමිවරුන් වූ බටහිරයන්ට කියා ඇත්තේ ආණ්ඩුව දෙමළ අනන්‍යතාව නැතිකරන බවත් දෙමළ ජනයාගේ ඉඩම් කොල්ල කන බවත් දෙමළ ජනයා මත සිංහල භාෂාව හා බුද්ධාගම පටවන බවත් ආණ්ඩුව සිංහලයන් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කරවීමෙන් ඒ පළාත්වල ජනගහන ව්‍යාප්තිය වෙනස්කරන බවත් එමගින් එහි දෙමළ ජනයා බහුතරය වීම නැතිකරන බවත් ය. මේ ප්‍රකාශ කිනම් ඉතිහාසයකට අනුව කළත් වෛරී ප්‍රකාශ ය. එමෙන් ම තමන් විශ්වාස කරන ඉතිහාසය වෙනස් නොවිය යුතු බවත් ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. 

උතුරු පළාතේ කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා බහුතරය නො වේ. උතුරු පළාතේ ද දෙමළ ජනයා බහුතරය බවට පත්වූයේ ලන්දේසීන්ගේ පැමිණීමෙන් පසුව ය. ජෝසෆ් බිෂොපහුතරය්වරයාගේ ඉතිහාසයට අනුව එය එසේ නොවිය හැකි ය. හෙත් මෙරටට කතෝලික ආගම හඳුන්වාදුන් පෘතුගීසි ඉතිහාසඥයන්ට අනුව පෘතුගීසීන් මෙරටට පැමිණෙනන විටත් යාපන අර්ධද්වීපයෙහි බහුතරය සිංහල ය. දෙමළ ඉතිහාසඥයකු වූ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ ඉතිහාසයට අනුව මෙරට දොළොස්වැනි සියවසට පෙර ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැත. ජෝසෆ් බිෂොප්වරයාගේ ඉතිහාසය ලියා ඇත්තේ කවුරුන් දැයි නො දනිමි. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහණ ව්‍යාප්තිය හැමදාමත් එකම ආකාරයකින් පැවතියේ යැයි බිෂොප්වරයා පවසන්නේ ද? ඔහුගේ ඉතිහාසය කුමක් වුවත් පෘතුගීසීන්ගේ හා මහාචාර්ය ඉන්ද්‍රපාලගේ ඉතිහාසයට අනුව නැගෙනහිර පළාතේ තබා උතුරු පළාතේවත් සැම කල්හිම දෙමළ ජනයා බහුතරය ව පැවතී නැත. අනෙක් අතට උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ ජනගහන ව්‍යාප්තිය ස්වාභාවික යැයි කියන ආකාරයකට වෙනස් වී ද නැත. පෘතුගීසීන් පැමිණෙන විට උතුරේ බහුතරය වූ සිංහලයන් දෙමළ වූයේ කෙසේ ද? ඒ පිළිබඳ ව බිෂොප්වරයාගේ ඉතිහාසය කුමක් ද? බිෂොප්වරයාගේ ආගම ද ඔහුගේ පරම්පරාව මෙරටට පැමිණියේ කවදා වුව ද සියළු කල්හි එකක් ම වී නැත. මෙරට කතෝලික ඉතිහාසය පටන්ගෙන ඇත්තේ දහසයවැනි සියවසෙන් පසුව ය. 

ඉතිහාස කාගේ වුවත් කාහට අනුව ලියැ වී ඇති වුවත් ඒ වෙනස් වෙයි. අද කොළඹ බහුතරය සිංහල නො වේ. එය ඊනියා ස්වාභාවික කරුණු අනුව සිදුවිණි යැයි කිසංිවකු කියනු ඇත. එහෙත් මේ ස්වාභාවිකත්වය යනු කුමක් ද? ඉංගිරිසින් විසින් බලහත්කාරයෙන් අප මත පටවනු ලැබූ අධ්‍යාපනය හා ආර්ථිකය නිසා ඇතිවූවකි. එය ස්වාභාවික ද? ඉංගිරිසින් මෙරටට නොඑන්නට කොළඹ දෙමළ ජනගහනයක් හෝ මුස්ලිම් ජනගහනයක් හෝ පැවතිය හැකි ද? දෙමළ ජනයා උතුරේ බහුතරය වී ඇත්තේ ලන්දේසීන් දුම්කොළ වගාවට අද දකුණු ඉන්දියාව නමැති ප්‍රදේශයෙන් කෘෂිකාර්මික කම්කරුවන් වූ වෙ ල්ලායන් බලයෙන් ගෙන්වීමෙන් පසුව බව ලන්දේසින්ගේ ඉතිහාසයෙන් ගම්‍ය වෙයි.  මුස්ලිමුන් නැගෙනහිර පළාතේ පදිංචිකරවනු ලැබුයේ සෙනරත් රජු විසිනි. ඒ ඔවුන් කතෝලිකයන්ගෙන් ආරක්‍ෂාකිරීම සඳහා ය. මේ සියල්ල කිනම් හේතුවකට කළත් බලහත්කාර පදිංචිකරවීම් ය. අද ඉඩම් නැති සිංහලයන්ට ඉඩම් අවශ්‍ය නම් ඉඩම් ඇත්තේ උතුරු පළාතේ නම් ආණ්ඩුව මැදිහත් වී ඔවුන් ඒ පළාතේ පදිංචි කරවිය යුතු ය. කිනම් ඉතිහාසයකට අනුව වුවත් මිනිසුන් පදිංචිය වෙනස් කිරීමෙන් ජනගහණ ව්‍යප්තිය වෙනස් වෙයි. එයට බිෂොප්වරයා මැසිවිලි නැගිය යුතු නො වේ. අද ඔහුට හා අනෙක් දෙමළ ජතිවාදීන්ට අවශ්‍ය වන්නේ ඉතිහාසය (වාස්තවික අර්ථයකින් නො වේ) ගල්ගැස්වීමට ය. පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංගිරිසින් ඇතිකළ ඉතිහාසය රැකගැනීම බිෂොප්වරයාට අවශ්‍ය ය. ඔහු අනෙක් දෙමළ ජාතිවාදීන් මෙන් ම යටත්විජිතවාදින්ට සේවය කරයි. අපට අවශ්‍ය වන්නේ යටත්විජිතවාදීන්ගේ ඉතිහාසය වෙනස් කිරීමට ය.


නලින් ද සිල්වා

2014-03-09

Sunday, 9 February 2014

ජෙනීවා පරදවමු -1


මෙරට උගතුන් යැයි හැඳින්වෙන බටහිර දැනුම අවිචාරයෙන් අනුකරණය කරන්නෝ මාර්තුවේ දී ජෙනීවා හි දී කුමක් සිදුවන්නේ දැයි දැනගැනීමට වළිකති. ආණ්ඩු විරෝධී ඇතැමෙක් ජෙනීවාහි දී ආණ්ඩුව පරාජය වනු දැකීමට කැමැත්තෙන් පසුවෙති. තවත් අය ඊනියා රෙජීමය වෙනස් කරගැනීමට හැකි වේ යැයි සිතති. ළඟක දී නම් මැතිවරණවලින් ආණ්ඩුව පරාජය කිරීමට නොහැකි බව දන්නා ඔවුහු ජෙනීවාහි දී ඊනියා රෙජීමය වෙනස් කිරීමේ සිහිනය දකිති. මහින්ද රාජපක්‍ෂ මහතා විදුලි පුටුවට යනු දැකීමට කැමැත්තෙන් සිටින අය ද ඒ අතර වෙති. රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් විදුලි පුටුවට යෑමටත් ජෙනීවා ගොස් ගේමක් දීමටත් කැමැත්ත පළකර ඇත.  ඒ මහතා විදුලි පුටුවට යන්නේ නම් සුද්දන් විදුලිය විසන්ධි කර පුටුව අක්‍රීය කරනු ඇත. ඒ බව ඒ මහතා නොදන්නවා නො වේ. මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියෝ පසුගිය ඉරිදා තිනකුරල් නම් දෙමළ පුවත්පතට ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිනිය හෝ හිටපු අගවිනිසුරුවරිය හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් තමන්වහන්සේ ඉදිරිපත්වීමට සූදානම් බවත් මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට තමන්වහන්සේ එකඟ බවත් දැනුම් දෙති. උන්වහන්සේට ජනතාවගේ කෙසේ වෙතත් දෙවියන්ගේ ම පිහිට ය. උන්වහන්සේ නොව දෙවියන් වහන්සේ ම මිනිස් වෙසින් ඉදිරිපත් වුවත් දැන් තිබෙන තත්වය අනුව නම් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සුද්දන්ගේ බසින් ම කිවහොත් ගිම්හානයේ මැද දකින සිහිනයක් වනු ඇත. හීතල දුරුත්තේ විවිධ අයට විවිධ අදහස් පහළ වෙයි. ජ වි පෙ නව නායක අනුර දිසානායක මහතාට කිනම් අදහසක් පහළ වුවත් ඔහුට නියමිත කාර්යභාරය වනුයේ මියගොස් ඇති පක්‍ෂය වළ දැමීම ය. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය නොපිළිගන්නා කිසිවකුට මින්පසු මෙරට කිසිම තැනක් හිමි නොවනු ඇත. සුද්දන්ගේ සංස්කෘතික ආධිපත්‍යයෙහි එක් අංගයක් වුව පරාජය කිරීමට ජාතික ව්‍යාපාරයට හැකි වී ඇත.    

රටට හිතැති ඇතැමෙක් ආර්ථික සම්බාධක පැණවුවහොත් ජනතාව අසීරු තත්වයකට ඇද වැටෙනු ඇතැයි බියෙන් පසුවෙති. රටට හිතවත් වුවත් ඔවුහු සුද්දන්ගේ අධ්‍යාපනය හේතුවෙන් මොළය පාවිච්චි නොකරන්නෝ වෙති. බොහෝ මහාචාර්යවරුන්ගේ මෙන් ම මොවුන්ගේ ද පාවිච්චි නොකරන ලද මොළ ඉතා වටියි. අපේ රටට ඇති මූලික ප්‍රශ්නය නම් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව ප්‍රධාන බටහිර දැනුම් ආධිපත්‍ය ය. ජෙනීවා පරාජය කළ හැකි ය. ඒ සඳහා බටහිර දැනුම් ආධිපත්‍යය පරාජය කළ යුතු ය. කලක් තමන්වහන්සේ සභාපතිත්වය දැරූ චින්තන පර්ෂදය විසින් මහනුවර දී බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් පවත්වන ලද රැස්වීමක දී ඒ සඳහා යම් උත්සාහයක් දරා ඇති බව මාදුළුවාවේ සෝභිත හිමියන් දන්නේ දැයි නො දනිමි. උන්වහන්සේටත් ඒ රැස්වීමට සහභාගි වීමට නොහැකි වූ අන් අයටත් අවශ්‍ය නම් හා පහසුකම් තිබේ නම් ඒ රැස්වීමේ පූර්ණ හඬ පටය වෙබ් අඩවි ඔස්සේ පහත සඳහන් සම්බන්ධතා තුන මගින් ලබාගත හැකි ය. 


ජෙනීවා හි ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය එක්සත් ජාතීන්ගේ ආයතනයකි. එක්සත් ජාතීන්ගේ ආයතනය මෙන් ම එයට බද්ධ වූ ආයතන ද පවත්වාගෙන යනු ලබන්නේ් මූලික වශයෙන් ඇමරිකාවේ, එංගලන්තයේ හා තවත් බටහිර රටවල් කිහිපයක මුදලෙනි. ඇතැම් ආයතන  ඒ රටවල මුදලෙන් පමණක් ම නඩත්තු වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් විටෙක බටහිර රටවලට බහුතර බලයක් නොමැති වුවත් මුදල් බලයෙන් ඒ ඒ ආයතන මෙහෙයවීමට එංගලන්තයට හා ඇමරිකාවට හැකි වෙයි. පහළොස්වැනි සියවස අග ඇරඹී බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය තවමත් ක්‍රියාත්මක වෙයි. එය මූලික වශයෙන් අධ්‍යාපනය හා ජනමාධ්‍ය මගින් ප්‍රචලිත කෙරෙයි. ලංකාව ඇතුළු ආසියා අප්‍රිකා රටවල කරුමය වී ඇත්තේ මේ සංස්කෘතික හා චින්තන ආධිපත්‍ය ය. ඒ සමග දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය ද ගැට ගැසී ඇත. අද බටහිර යටත්විජිත වාදය පවත්ව්ගෙන යනු ලබන්නේ දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිප දෙනකු විසිනි. එයට ධනේෂ්වරය සම්බන්ධ නමුත් ඊනියා ධනපති පංතියක් සජාතීය වශයෙන් ක්‍රියාත්මක නො වෙයි. චින්තනය හා සංස්කෘතිය විසින් තමන්ට අවශ්‍ය  දේශපාලනඥයෝ හා නිලධාරීහු බිහි කෙරෙති. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ නියෝජිතයෝ විශ්වවවිද්‍යාලවල ද ජනමාධ්‍යයෙහි ද ඊනියා රාජ්‍ය නොවන ආයතනවල ද වෙනත් තැන්වල ද ක්‍රියාත්මක වෙති. මොවුන් ආගමෙන් බෞද්ධ විය හැකි ය. එහෙත් සංස්කෘතියෙන් හා චින්තනයෙන් ඔවුහු මූලික වශයෙන් ක්‍රිස්තියානි වෙති. අප බිහිකර ගත යුත්තේ ආගමෙන් ක්‍රිස්තියානි හෝ හින්දු හෝ කතෝලික හෝ මුස්ලිම් හෝ වුවත් සංස්කෘතියෙන් හා චින්තනයෙන් සිංහල බෞද්ධ වූ පිරිසකි. 
අපේ රටේ දෙමළ ප්‍රශ්නයට මුල්වන්නේ එංගලන්තය ය. ඉංගිරිසි සුද්දන්ගෙන් කිහිප දෙනෙක් ප්‍රශ්නය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවීම සඳහා ඇමරිකන් දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිප දෙනකු ද වෙනත් අය ද යොදා ගනිති. සුද්දන්ට මානව අයිතිවාසිකම් ගැන කැක්කුමක් නැත. අදාළ දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට අවශ්‍ය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය තහවුරු කිරීම පමණකි. ඔවුහු ඒ සඳහා අවශ්‍ය පරිදි ඊනියා මානව අයිතිවාසිකම් නමැති ආයුධය යොදා ගනිති. බටහිර අධ්‍යාපනය විසින් මොළය අක්‍රීය කරවනු ලුබුවෝ මානව අයිතිවාසිකම් නම් ගෝනි බිල්ලාට බියවෙති. අනුර දිසානායක මහතා ගෝනි බිල්ලන් ගැන දන්නා පක්‍ෂ නායකයෙකි.  (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2014-02-09


Wednesday, 29 January 2014

පොල් ගෙඩියේ විහිළුව


පසුගිය විසිතුන්වැනි දා චින්තන පර්ෂදය විසින් බටහිර විද්‍යාව පට්ටපල් බොරු මැයෙන් මහනුවර දී පවත්වන ලද රැස්වීමට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා නො පැමිණියේ ය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ මුලසුනෙහි වැඩ සිටි ඒ රැස්වීමට පැමිණ වාදයකට සහභාගි වීමට ඒ මහතා චින්තන පර්ෂදය වෙනුවෙන් ඒ මහතාට ආරාධනය කළ අයට මුල දී කැමැත්ත දී තිබුණ ද පසුව තම මතය වෙනස් කරමින් රණ්ඩු වීමට අකමැති බැවින් රැස්වීමට සහභාගි වීමට නොහැකි බව පවසා ඇත. ගෞරවනීය භික්‍ෂූන් වහන්සේ කෙනකු මුලසුනෙහි වැඩසිටින රැස්වීමක රණ්ඩු වීමට අවශ්‍ය කාහට ද යන්න ඒ මහතා දැන සිටින්නට ඇත. අපි නම් එවැනි රැස්වීමක දී මුලසුනෙහි වැඩසිටින භික්‍ෂූන් වහන්සේගේ ගෞරවය ආරක්‍ෂා කරමින් මුලසුනට අවනත වන්නෙමු.

ඒ මහතා ඒ රැස්වීමට අඩුම තරමෙන් අසන්නකු ලෙස සහභාගි විණි නම් බොහෝ දේ ඉගෙනීමට තිබිණි. එහෙත් පසුව රැස්වීමෙහි පටිගත (වීඩියෝ) කරන ලද සම්පූර්ණ වාර්තාවක් කාලය වෙබ් අඩවියෙහි (www.kalaya.org) ඇතුළත් කිරීමට කටයුතු කරන බැවින් එමගින් අමරතුංග මහතාට තම දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාව පමා වී නමුත් ලැබෙනු ඇත. ඒ මහතා බොහෝ මහාචාර්යවරුන්ගෙන් වෙනස් නො වේ. යමක් තේරුම් ගැනීමට ඔවුන්ට බොහෝ කලක් ගතවන බව අවුරුදු පනහක අත්දැකීමෙන් මම දනිමි. අමරතුංග මහතාට ද කාලෝ ෆොන්සේකා මහතාට ද කාළාම සූත්‍රය වටහා ගත නොහැකි වී ඇත. අවශ්‍ය නම් ඒ මහත්වරුන්ට සනත් කරුණාරත්න මහතා ලියා ඇති කාළාම සූත්‍රය හා චින්තන නිදහස යන පොත කියවා බුදුන් වහන්සේ කාළාමයනට විඤ්ඤූන් අනුගමනය කිරීමට කී බව දැනගැනීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් මා ද අවුරුදු විසිපහකට පමණ පෙර දිවයින පුවත්පතට ලියා ඇති නමුත් ඒ මහත්වරුන් මගෙන් යමක් දැනගැනීමට වඩා වෙනත් අයකුගෙන් දැනගැනීමට කැමතිවනු ඇත.

අමරතුංග මහතාගේ ජනවාරි 1, 8, 15 ලිපිවලට පිළිතුරු දීම පමාකර අපි ඒ මහතාගේ 22 වැනි දා ලිපිය සලකා බලමු. එයට හේතුව අන්කිසිවක් නොව ඒ මහතා මගේ අදහස් තේරුම් ගැනීමේ මාවතකට සේන්දුවීමට එමගින් උත්සාහයක් දරා ඇති බවක් පෙනෙන නිසා ය. එහෙත් ඒ අතර ම ඒ මහතා තමාට සුපුරුදු ආකාරයෙන් විහිළු සැපයීම ද අත්හැර නැත්තේ තවත් බොහෝ දේ ඔහුට දුරාවබෝධ නිසා ය. බටහිර විද්‍යාව ගැන තබා පොල් ගෙඩිය පොල්ගහ මුල වැටීම හේතුවෙන් පොළොවේ චලිතය පිළිබඳ ගැලීලියෝට එල්ලවූ අභියෝගය පිළිබඳවවත් ඒ මහතාට කිසිම අවබෝධයක් නැත. 

“ගහෙන් ගෙඩියක් වැටෙන විට එය ගහ මුලට වැටෙන්නේ ලෝකය චලනය නොවන නිසා යැයි නලින් මහතා විශ්වාස කරන බව ඔහු ගේ වැල්වටාරම් තුළින් කියැවෙන බව අනුමාන කළ හැකි ය.” මෙවැනි වාක්‍යයක් මහාචාර්යවරයකුට හැරෙන්නට වෙනත් අයකුට ලිවීමේ හැකියාවක් ඇතැයි නො සිතමි. මා ලියන්නේ වැල්වටාරම් යැයි කියමු. එහෙත් මෙවැනි අනුමානයකට අමරතුංග මහතා පැමිණියේ කෙසේ ද? ඒ සඳහා මා ලියා ඇති දේ සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට ඒ මහතාට හැකි ද?

මා සඳහන් කර ඇත්තේ ගැලීලියෝට විරුද්ධව එකල විසූ බුද්ධිමතුන් ගෙන ආ තර්කයකි. ඉතාලියේ ගැලීලියෝ සිටි පෙදෙසෙහි හෝ වතිකානුවෙහි හෝ පොල් ගස් නොතිබීම වෙනත් කරුණකි. තර්කයට පොල් ගස ඈඳීම නම් මගේ ක්‍රියාවකි. එහෙත් තර්කය මා විසින් නිර්මාණය කරන ලද්දක් නො වේ. මා ලෝකය (පෘථිවිය - පොළොව) චලනය නොවන්නේ යැයි කියා නැත. කෙසේ වෙතත් මට නිරපේක්‍ෂ චලිත නැත. පොළොව මගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය නො වේ. එය අමරතුංග මහතාගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය වන්නේ ද? 

පොළොවෙහි සිටින නිරීක්‍ෂකයන්ට අනුව පොළොව චලනය නො වේ. එනම් පොළොවේ සිට නිරීක්‍ෂණය කරන්නන්ට සාපේක්‍ෂව පොළොව චලනය නො වේ. එහෙත් එයින් කියැවෙන්නේ කිසිම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය නොවන බව නො වේ. හඳ මත සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය වෙයි. පැරණි සිංහලයන්ට පොළොව ඉර වටා චලනය වන්නේ ය කීව ද ඉර පොළොව වටා චලනය වන්නේ ය කීව ද ගැටළුවක් වී නැත. ඒ සාපේක්‍ෂ චලිත දෙකක් බව ඔවුහු දැන සිටියෝ හ. අඩුම තරමෙන් පැරණි සිංහල බුද්ධිමත්තු ඒ බව දැනසිටියහ. පොළොව ඉර වටා චලනය වන බව පැරැන්නන් දැන ගත්තේ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයෙන් නම් නො වේ. එය පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් දැනගත් දෙයකි. එය පංචෙන්ද්‍රියයන්ගෙන් (හා මනසෙන්) දැනගැනීමට නො හැකි ය. අමරතුංග මහතා පොළොව ඉර වටා යන බව පංචෙන්ද්‍රියයන්ගෙන් දන්නේ ද? 

එහෙත් ගැලිලියෝගේ කාලයෙහි ඉතාලි යෙහි බුද්ධිමත්තු සාපේක්‍ෂ චලිත ගැන නොදැන සිටියෝ ය. ඔවුන්ට චලිතය යනු එකක් ම විය. එය නිරපේක්‍ෂ (ඔවුන් ඒ සංකල්පය යොදා ගත්තත් නැතත්) විය. පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට අනුව පොළොව චලනය නො වෙයි. ගැලීලියෝ පොළොව චලනය වන්නේ යැයි කී විට ඉතාලියෙහි බුද්ධිමත්තු ඒ කාහට සාපේක්‍ෂව දැයි නො ඇසුහ. ඔවුන් දැන සිටි එකම (නිරපේක්‍ෂ) චලිතය ඔවුන්ට නිරීක්‍ෂණය කළ නොහැකි විය. ඔවුන්ට අනුව පොළොව චලනය නො වී ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂය විය. අමරතුංග මහතා අවංක නම් ඔහුට ද තම  ප්‍රත්‍යක්‍ෂය අනුව පමණක් නම් පොළොව චලනය නොවන බව පිළිගැනීමට සිදුවෙයි. එහෙත් ඔහුගේ මහාචාර්යකම එයට හරස් වෙයි. තම ප්‍රත්‍යක්‍ෂය අනුව පොළොව චලනය නොවන බව ප්‍රකාශ කළහොත් ඔහුට සමාජයේ ඇති වැදගත්කම නැති වෙයි. 

ගැලීලියෝගේ කාලයේ ඉතාලියේ සිටි උගත්තු අමරතුංග මහතාට වඩා අවංක වූවෝ යැයි සිතිය හැකි ය. ඔවුහු පොළොව චලනය නොවන බව කීවෝ ය. ඔවුහු තම ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත් එය නිවැරදි බවට තර්කයක් ද ඉදිරිපත් කළහ. ඒ අනෙකක් නොව පොල් ගෙඩිය පොල්ගහ මුල වැටීම ආශ්‍රයෙන් ගොඩනගාගත් තර්කය ය. අමරතුංග මහතාට ඒ තර්කයෙහි වරදක් දැකිය හැකි ද? පොල් ගෙඩිය ගහමුල වැටීම ද ප්‍රත්‍යක්‍ෂයකි. 

බටහිර විද්‍යාව ආරම්භ කරමින් ගැලීලියෝ ප්‍රත්‍යක්‍ෂය නොවූ සාපේක්‍ෂ චලිතය පිළිබඳ වියුක්ත සංකල්පය ඉදිරිපත් කළේ ය. ගැලීලියෝ බොරු කීවේ ඇයි යන ලිපියෙන් මා උත්සාහ ගත්තේ ඒ බව පැහැදිලි කිරීමට ය. එහෙත් මහාචාර්යවරයකු වූ අමරතුංග මහතා එයින් අනුමාන කරන්නේ මා පොල් ගෙඩිය ගහමුල වැටෙන නිසා පොළොව චලනය නොවන්නේ යැයි විශ්වාස කරන බවකි. ගැලීලියෝගේ කාලයේ සිටි බුද්ධිමත්තු පොල් ගෙඩිය ගහමුල වැටීම යන ප්‍රත්‍යක්‍ෂය පොළොව චලනය නොවන්නේ ය යන ප්‍රත්‍යක්‍ෂය තහවුරු කිරීමට යොදාගත්හ.

අමරතුංග මහතා කොටින් පැරදවීමට මා දෙවියන්ගේ පිහිට ලබා නොගත්තේ ඇයි දැයි අසයි. එකල තබා මෙකලවත් මට දෙවියන් හෝ වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය කළ නො හැකි ය. කෘෂිරසායනික වකුගඩු රෝගය පිළිබඳ ව මැදිහත් වූයේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය.අපට ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිත්‍ර (මිශ්‍ර නොවේ) පස කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතු යැයි දැන්වූයේ ඒ මහත්මිය ය. ඒ පිළිබඳ කිසිම ගෞරවයක් මට හිමි විය යුතු නැත. කිවුල් ජලය රෝගයට හේතුවක් බව පළමුවෙන් සඳහන් කළේ කැලණිය කණ්ඩායම ය. එයට පෙර කිසිවකු රෝගයට හේතුවක් ලෙස ජලය නම්කර නො තිබිණි. අද පවා බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පැතිරවීම සඳහා පිහිටුවාගෙන ඇති ආයතනයක් වන ඊනියා ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ බසින් කියන්නේ නම් පානීය ජලය රෝගයට හේතුවක් යැයි සෘජුව නො කියයි.  අමරතුංග මහතාට අනුව කිවුල් ජලය කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුවක් යැයි කියමින් මා ලජ්ජාවක් නොමැතිව මට අහිමි ගෞරවයක් ලබාගැනීමට කටයුතු කරයි. 

අමරතුංග මහතා නොදන්නවාට කොටින් පරාජය කළ හැකි බව මා කීවේ 1990 තරම් ඈත කාලයක සිට ය. එකල ගුණදාස අමරසේකර මහතා හෝ වෙනත් කිසිවකු හෝ මගේ සහායට සිටි බවක් මම නො දනිමි. අමරතුංග මහතා ගැන මා එකල අසාවත් නො තිබිණි. ඔහු දෙමළ ප්‍රශ්නය පිළිබඳ ව කරලියට පැමිණියේ තමා විශ්‍රාම ගැනීමට ටික කලකට පෙර ය. එසේ ම අමරතුංග මහාචාර්යවරයා සිනහසුනත් කිව යුත්තක් වෙයි. මාවිල්ආරු සිද්ධිය දිනවල මෙරට බුදු පිළිම වහන්සේලාගෙන් බුදු රැස් විහිදුණු බව බොහෝ දෙනාට මතක ඇත. ඒ දිනවල ම මා මාතර දී පවත්වන ලද රැස්වීමක දී කියා සිටියේ කොටින් පැරදවීමට අපට දෙවියන්ගේ ආශිර්වාදය ඇති බවට ඒ සාක්‍ෂියක් බව ය. 

කෙසේ වුවත් පසු කලෙක සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ දෙවියන් පිළිම වහන්සේලාගෙන් එසේ බුදුරැස් විහිදීමට සලස්වා යම් ආධ්‍යාත්මික ශක්තියක සටනට එකතු කළ බව ය. එය පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. සාපේක්‍ෂ ප්‍රවේගය පිළිබඳ වියුක්ත සංකල්පය ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. මහනුවර දී ඒ බව පෙන්වා අද පාසල්වල උගන්වන සාපේක්‍ෂ චලිතය පිළිබඳ සමිකරණය වැරදි බව පැහැදිලි කළෙමි. ඒ බව දැනට අවුරුදු තුන හතරකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වන ලද වැඩමුළුවක දී ද මා පෙන්වා දී ඇති නමුත් එය කිසිවකුගේ අවධානයට ලක් නො විණි. අමරතුංග මහතා නම් ඒ අවධානයට ලක්විය යුත්තක් නො වේ යැයි කීමට ඉඩ ඇත. 

නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක් නො වේ. ඒ බව මහනුවර දී පමණක් නොව අමරතුංග මහතා ද නරඹා ඇතැයි සිතිය හැකි රුපවාහිනි වැඩ සටහනක දී මා පෙන්වා දී ඇත. මහනුවර දී ගැලීලියෝගේ සාපේක්‍ෂතාව පමණක් නොව අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාව ද වැරදි බව පෙන්වා දුන්නෙමි. මේ කරුණු මෙරට සිටන බොහෝ උගතුන්ට දිරවාගත නො හැකි බව ද මම දනිමි. ඉඩකඩ ලැබෙන පරිදි මේ සියල්ල විදුසර පුවත්පතින් හෙළිදරවු කිරීමට ද බලාපොරොත්තු වෙමි. 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි “තේරුම් කිරීමට” පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර ගොඩනැගීම ය. මේ කතන්දර ගෙතීමකි. ඒ කතන්දර පට්ටපල් බොරු වෙයි. පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ (මේවා හුදු ප්‍රත්‍යක්‍ෂ නොවන බව ප්‍රත්‍යක්‍ෂ හා හුදු ප්‍රත්‍යක්‍ෂ යන ලිපියෙහි පැහැදිලි කර දී ඇත) “තේරුම් කිරීමට” පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත ප්‍රවාද (කතන්දර) ගෙතීම බටහිර විද්‍යාවෙහි දී සිදු වෙයි. ඒ ප්‍රවාද පට්ටපල් බොරු වෙයි. 

පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයකි. පොල් ඉහළට යන්නේ නැති බව ද ප්‍රත්‍යක්‍ෂයකි. අමරතුංග මහතාට ඒ පිළිබඳ තේරුමක් නැතිව විකාර කතා කියයි. ඒ බව අපි පසුව පෙන්වා දෙමු. දැනට කිව යුත්තේ පොල් ගෙඩි උඩට නොගොස් පොළොවට වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය “තේරුම් කිරීමට” නිවුටන් පට්ටපල් බොරුවක් වූ පංචෙන්ද්‍රිය ගෝචර නොවූ ද ප්‍රත්‍යක්‍ෂයක් නොවූ ද ගුරුත්වාකර්ෂණ බලය නමැති කතාව ගොතා ඇති බව ය. 


නලින් ද සිල්වා

2014-01-29

Sunday, 22 December 2013

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව - 1


වෙනත් අය නොපිළිගන්නා මත මා ප්‍රසිද්ධියේ පළකරන බවට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විදුසර පුවත්පත මගින් චෝදනා කරනමුත් මට දැනුම් නිර්මාණ ප්‍රකාශ නොකර සිටිය නො හැකි ය. මගේ ප්‍රධාන කාර්යය දැනුම නිර්මාණය කිරීම ය. සියළු දැනුම් බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය. මා නිර්මාණය කරන දැනුම් ද බොරු ය. මගේ නිර්මාණ සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ය. සමහරවිට එය ආත්මවාදී අශෝක බුදුදහමට හා සංස්කෘතියට පටහැණි විය හැකි ය. අශෝක අමරතුංග, කපිල පීරිස් ආදීහු එවිට අවි අමෝරා ගෙන මට විරුද්ධව සටන් වදිති. ඔවුන්ට අනුව ඔවුහු පාරිශුද්ධ ථෙරවාදයෙහි ආරක්‍ෂකයෝ ය. එහෙත් ඔවුහු දෙරණ නාලිකාවේ හෙළවංශය මගින් රාවණගේ පැවැත්ම වෙනුවට බුදුන්වහන්සේගේ නැවැත්ම පිළිගැනීමෙන් හෙළයේ වර්ධනයට හානි වූ බව කියමින් බුදුදහමට නිගාකරන සූරිය ගුණසේකර වැන්නන්ට එරෙහිව කිසිවක් නො කියති. එමෙන් ම ඔවුහු විවිධාකාරයෙන් බටහිර විද්‍යාව ආරක්‍ෂා කරති. අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවක් ඇත් ද නැත් ද යන්නවත් නො දනියි. එහෙත් ඔහු එය ආරක්‍ෂා කරයි. කපිල පීරිස් මහතා රේ විජේවර්ධන මහතාගේ විද්‍යාව ආරක්‍ෂා කරයි. කැනඩාවේ වාසය කරන මහාචාර්යවරයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා මා පාරභෞතික තර්කනයක යෙදෙන්නේ යයි කියයි. ඔහු දැන් කෘෂිරසායනික වකුගඩු රෝගය(කෘවරෝ)ට හේතුව ආසනික් නොව පොහොර වැඩියෙන් යොදාගැනීමත් එහි ඇති ඇතැම් රසායනික සංඝටක මහවැලි නදිය මගින් රජරට පෙදෙස්වලට ගෙනයෑමත් යැයි කියයි. එහෙත් මහවැලියෙන් වතුර නොලබන පෙදෙස්වලත් කෘවරෝ  පැතිරී ඇත. මේ තිදෙනාම දෙමළ ජාතිවාදයට විරුද්ධ යැයි සිතමි. එහෙත් වෙනත් බොහෝ කරුණුවලින් ඔවුහු බටහිරට සේවය කරති. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ මා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය.  මේ අතර බටහිර පඬියකු දැනුම විසින් මිනිසා වහලකු වීමට නුසුදුස්සකු බවට පත්කරයි යනුවෙන් කියා ඇත. මේ පඬියා දැනුම යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කියා නැත. දැනුම අවිද්‍යාව හේතුකොටගෙන (විජ්ජාචරණ නොවීමෙන්) ඒ ඒ චින්තනයෙහි නිර්මාණය (සංස්කරණය) කෙරෙන අතර සංස්කෘතියට, පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‍ෂ වෙයි. විජ්ජාචරණ සම්පන්නවූ බුදුන්වහන්සේ දැනුම නිර්මාණය නොකළහ. අනෙක් සියල්ලෝ ම යම් යම් දැනුම් නිර්මාණය කරති. නිර්මාණය කෙරෙන සියළු දැනුම් බොරු ය. මා විසින් නිර්මාණය කෙරෙන දැනුම ද බොරු ය. මා සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කරන්නේ එසේ නොකළහොත් අප බටහිරයන්ගේ හා වෙනත් අයගේ බොරු දැනුම්වලට යටවන බැවිනි. අපට සරිලන්නේ අපේ බොරු (දැනුම) මිස බටහිරයන්ගේ බොරු (දැනුම) නො වේ. මෙහි දී මගේ මතකයට එන්නේ කලකට පෙර මැතිවරණයක දී ඡන්දාපේක්‍ෂකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ඌත් වලා, මූත් වලා, ගමේ වලා අපට හොඳා යනුවෙන් කෙරී ඇතැයි කියන ප්‍රකාශය ය. ඉහත සඳහන් පඬියාගේ පඬිකතාව උද්ධෘතයක් ලෙස ඉදිරිපත් කරන මෙරට සිටින පුහු නිවට උගතුන් නොදන්නේ බටහිර දැනුම විසින් අප බටහිරයන්ගේ වහලුන් බවට පත්කෙරී ඇති බව ය.  

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර සමානකම් බොහෝ ය. එහෙත් ඒ දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන්ලා කියන ආකාරයෙන් නො වේ. අනෙක් අයගේ මතය නොවුණත්, අමරතුංග මහතා කුමක් කීවත්, මම දකුණු අප්‍රිකාව හා ලංකාව පිළිබඳ මගේ දැනුම ප්‍රකාශ කරමි.  ලෝකයේ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ ය. ලන්දෙසින් අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් වෙල්ලාලයන් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස ගෙනගොස් ඇත්තේ දකුණු අප්‍රිකාවට හා ලංකාවට ය. දකුණු අප්‍රිකාවේ වර්ණභේද රාජ්‍යයක් ගොඩනැගීමට මුල්වූයේ ඒ රට ආක්‍රමණය කළවුන් අතර බහුතරය වූ ලන්දේසින් ය. දකුණු අප්‍රිකාවේ කතාකරන බස අෆ්‍රිකාන් යනුවෙන් හැඳින්වෙයි. එය ලන්දේසි භාෂාවෙන් බිඳී ඇති අතර කලක් කුස්සි ලන්දේසි යනුවෙන් අවඥා සහගතව හැඳින්විණි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඇතිවූයේ ලන්දේසීන් මෙරටට වෙල්ලායන් ගෙන ඒම නිසා ය. අද උතුරු පළාතේ දෙමළ ජනගහණය (සංස්කෘතිය) අවුරුදු තුන්සිය පනහකට පෙර මෙරටට ගෙනෙන ලද වෙල්ලාලයන්ගෙන් පැවත එයි. ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලත් වෙල්ලාලයෝ පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවට පැමිණෙන විටත් එහි සිටි බහුතරය වූ සිංහලයන් දෙමළ සමාජයේ ඊනියා පහත්කුල ජනයා ලෙස අවශෝෂණය කරගත්හ. මෙරට විශ්වවිද්‍යාලයක ඉතිහාසය නමින් බටහිර බොරු උගන්වන කසිකබල් ඉතිහාසඥයකුට නොතේරෙන කරුණ නම් විවිධ කාලවල දී අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශවලින් රටේ අනෙක් පළාත්වලට ස්වේච්ඡාවෙන් සංක්‍රමණය වූවන් (ලන්දේසීන් ආනයනය කළවුන් නොව) තම මුල් සංස්කෘතිය ඉවත ලා, ඇතැම්විට තම සංස්කෘතියෙන් සුළු කොටසක් එකතුකරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූ බව ය. සිංහල සමාජය හා දෙමළ සමාජය අතර ඇති මේ වෙනස ද තේරුම් නොගෙන මෙරට දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නො හැකි ය. දකුණු අප්‍රිකාවේ ද ශ්‍රී ලංකාවේ ද ප්‍රශ්නය ජනගහනයෙන් සුළුතරය බලයෙන් වෙනත් කරුණුවලින් බහුතරය බවට පත්වීම ය. හිරෙන් නිදහස්වීමේ දී සුද්දන් සමග එකඟතාවකට පත්වී ඇති මැන්ඩෙලා හා වර්ණභේදවාදී සුදු පාලකයන් අතර ඇතිවී තිබෙන ඊනියා සංහිඳියාවේ ප්‍රතිඵලය ලෙස දකුණු අප්‍රිකාවේ නිදහසින් පසුව ද ආර්ථික වශයෙන් බලතල ඇති බහුතරය සුද්දන් මිස ජනගහනයෙන් බහුතරය වූ කල්ලෝ නො වෙති. සුද්දන් මැන්ඩෙලාට මෙතරම් ගරුකරන්නේ මැන්ඩෙලාගේ යහපත්කමට ද? සුදු පාලකයන් යහපත්කමට සැලකුවේ කවදා ද? සුද්දන් ගාන්ධිට හා මැන්ඩෙලාට මෙන් අනගාරික ධර්මපාලතුමාට ගරුකරන්නේ නැත්තේ ඇයි? මෙරට පඬියන් මැන්ඩෙලා අගයමින් ධර්මපාලතුමාට පහරදෙන්නේ ඇයි? අපට අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකා අච්චුවේ සංහිඳියාවක් නො වේ. 

මෙරටට ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවෝ වෛදික සංස්කෘතිය අනුව ඔවුන්ගේ මව්රටෙහි දී (එනම් නිජභූමියෙහි දී) ශුද්‍රයෝ වූහ. මෙරටට ආනයනය කරනු ලැබූ ඔවුහු යාපන අර්ධද්වීපයෙහි ද සුළුතරයක් වූහ. බහුතරය වූයේ සිංහලයන් ය. එයට පෘතුගීසි ජාතික බ්ලෝඩියස් සාක්‍ෂි දරයි. එහෙත් වැඩිකල් නොගොස් දකුණු අප්‍රිකාවේ ලන්දේසීන් ප්‍රධාන සුළුතර සුද්දන් යටත්විජිතවාදී අවි බලයෙන් බහුතර කල්ලන් මර්දනය කර බලවතුන් වූ අයුරෙන් දෙමළ වෙල්ලාලයෝ යටත්විජිතවාදී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් හා අනුබලයෙන් යාපනයේ සිංහල බෞද්ධයන් (දෙමළ බෞද්ධයන් සිටියේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ හිස් හිස්වල ය.) අභිබවා තම සංස්කෘතික ආධිපත්‍යය පිහිටුවූහ.  තම මුල් බිමෙහි දී ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි බලමහිමයෙන් යාපන අර්ධද්වීපයෙහි දී මහේශාඛ්‍ය කුලය බවට පත්වී සිංහලයන් අඩුකුල ජනතාවක් ලෙස දමළ සංස්කෘතියට අවශෝෂණය කළහ. එය පළමු බලහත්කාරය විය. සුළුතරයක් බහුතරය බවට පත්කිරීමේ ක්‍රියාදාමයේ මුල්පියවර විය. (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2013-12-22

Wednesday, 18 December 2013

බටහිර විද්‍යාවේ උපන්ගෙයි දෝෂය


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය එන් ඒ ද එස් අමරතුංග මහතාට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දැනගැනීමට හදිසියක් ඇත. එය පට්ටපල් බොරුවක් නම් ඒ බව, ඔප්පුකරන මෙන් ඒ මහතා ඉල්ලා සිටියි. එහෙත් මා ඒ බව දැනටමත් පෙන්වා දී ඇත. සමහරවිට ඒ මහතා ඔප්පුකිරීම යන්නෙන් වෙනත් දෙයක් අදහස් කරන්නේ දැයි නො දන්නෙමි. අප ඔප්පු (සාධනය) කිරීම හොඳින් ම  සිදුවන්නේ යැයි සිතන බටහිර ගණිතයේ කිසිවක් ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්‍රස්තුත කිහිපයක් සත්‍ය බව උපකල්පනය කරමින් ඈරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟව තර්ක කර තවත් ප්‍රස්තුත ලබාගැනීම පමණ ය. වියුක්ත ප්‍රකාශයක් වූ එය එතරම් වියුක්ත නොවූ දන්ත වෙද්‍ය විද්‍යා මහාචාර්ය අමරතුංග මහතාට වැටහෙන්නේ දැයි නො දනිමි.

බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ඔප්පු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි අමරතුංග මහතා කියන්නේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මා කියන්නේ පළමුවෙන් ම එවැනි දැනුම් පද්ධතියක් ඇති බව පිලිගනිමිනි. එහෙත් අමරතුංග මහතා බටහිර විද්‍යාව චීනයේ හෝ ඉන්දියාවේ (භාරතයේ යැයි කියමු) හෝ වෙනත් රටක හෝ තිබූ විද්‍යාවකින් වෙනස් වන්නේ යැයි නො සිතයි. ඔහුට අනුව බටහිර විද්‍යාවේ සිදු වී ඇත්තේ එතෙක් තිබූ විද්‍යාවන්ගේ වර්ධනයක් පමණකි. ඒ මහතාට අනුව ඒ ඒ රටවල ද විවිධ විද්‍යා තිබෙන්නට නො හැකි ය. ඒ ඒ රටවල තිබුණේ ද එකම විද්‍යාවක් ද? එසේ නම්, උදාහරණයක් ලෙස ගතහොත් චීනයේ තිබූ විද්‍යාව භාරතයේ තිබූ විද්‍යාවට සමාන ද? එකක් අනෙකෙහි වර්ධනයක් ද?  වඩා වර්ධනය වී තිබුණේ චීන විද්‍යාව ද නැත්නම් භාරතීය විද්‍යාව ද? 

මේ පිළිබඳ තවදුරටත් කතා කිරීමට පෙර ආසනික් හා මී උණ ගැන ද වචනයක් කිවයුත්තේ අමරතුංග මහතා ඒ ගැන ද කතාකර ඇති බැවිනි. අප විසින් කෘෂිරසායනික වකුගඩු රෝගය (කෘවරෝ) නමින් හැඳින්වෙන රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍ය විද්‍යාව හෝ බටහිර විද්‍යාව හෝ නො දනියි. එයට හේතුව ආසනික් යැයි අපි නිර්භයව කියමු. එහෙත් එය එකම හේතුච නො වේ. එයට තවත් කරුණු දෙකක් ද හේතු වෙයි. ඒ කිවුල් ජලය හා ආසනික් රඳවා ගත හැකි පස ය. රජරට හා වෙනත් ප්‍රදේශවල කෘවරෝ වැළඳෙන්නේ ඒ හේතු තුන ම එහි දැකිය හැකි බැවිනි. ඒ හේතු තුනෙන් එකක් වුව ද නැතිවුවහොත් රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව පහළ මට්ටමක පවතියි. කෙසේ වෙතත් රෝගය වැළඳෙන්නේ කිවුල් ජලය හා මුසු වූ ආසනික් වකුගඩුවලට යෑමෙනි. එහි දී කැඩ්මියම් තිබීම අනිවාර්ය නො වේ. එහෙත් කැඩ්මියම් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. 

මේ කරුණු මුල් ම අනාවරණය කරනු ලැබුයේ කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම විසිනි. අනෙක් අය ඒ පිළිගත්තේ ද නැත් ද යන්න අපට පෞද්ගලික ව ප්‍රශ්නයක් නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාඥයන් තමන්ගේ ආකෘතියෙහි හිඳ හේතු සොයාගැනීමට උත්සාහ දරන බව රහසක් නො වේ. ඔවුන්ගේ ආකෘතියෙහි රෝගයකට හේතුව කුමක් ද යන්න ප්‍රකාශ කිරීමට ඊනියා පර්යේෂණ ගණනාවක් කළ යුතුව ඇත. මෙය වාස්තවික යැයි කියැවෙන එහෙත් මනෝමය වූවක් වෙයි. එයට දේශපාලන හා පෞද්ගලික (ආර්ථික) හේතු ද බලපායි. ආසනික් හා වෙනත් බැර ලෝහ අද පසට හා එමගින් ජලයට එකතු වන්නේ කෘෂිරසායන යොදා ගැනීම හේතුවෙනි. 

කෘෂිරසායන මෙරටට ගෙන්වන්නන් ද ඒ නිෂ්පාදනය කරන්නන් ද කෘවරෝ ආසනික් නිසා ඇතිවන්නේ යැයි ප්‍රකාශ කිරීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක් ම ගනු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි රෝගයට හේතු කාරක කවරේදැයි තීරණය කෙරෙන්නේ ඊනියා නිර්ණායක රාශියක් මත සම්භාවිතා පදනමකිනි. එබැවින් දේශපාලන, ආර්ථික මෙන් ම සංස්කෘතික හේතු මත ද රෝග හේතු කාරක තීරණය වෙයි. ආසනික් රෝගයට හේතුව ලෙස පිළිගැණුනහොත් ඉහත කී අයට ප්‍රශ්නයක් වන බැවින් ආසනික් හේතුව ලෙස නොපිළිගැනීමට ඊනියා අදාළ නිර්ණායකයක් හෝ කිහිපයක් හෝ යොදාගැනීම ඉතා පහසු කටයුත්තකි. 

මෙහි තවත් පැත්තක් ද වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් බටහිර වෛද්‍ය සංවිධානයක් හෝ පුද්ගලයකු හෝ මෙම රෝගයට හේතුවක් ලෙස ජලය ඉදිරිපත් කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය ජලය රෝගයට හේතුවක් නොවන බවට ද මතයක් පළකර ඇතත් අද වන විට ඒ බව පිලිගැනීමේ මාවතකට සේන්දු වී ඇත. රෝගයට එක් හේතුවක් ලෙස කිවුල් ජලය ගෙනහැර දැක්වූයේ කැලණිය කන්ඩායම පමණකි. අප කණ්ඩායමේ මතය පමණක් පිළිගෙන අද ආණ්ඩුව විශාල ව්‍යාපෘතියකට අත ගසා ඇත. ජලයෙන් කිවුලත් වෙනත් ද්‍රව්‍යත් ඉවත්කරන පෙරණ සවිකිරීමට ආණ්ඩුව විශාල මුදලක් වෙන්කර ඇත. ඒ සඳහා ඒ පෙරණ නිෂ්පදනය කරන්නන් ද ගෙන්වන්නන් ද දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නො වේ. 

කෘවරෝ වැළඳීමට හේතු ලෙස අප කණ්ඩායම ප්‍රකාශ කළ කරුණු දෙකකින් ආසනික් හේතුවක් ලෙස නොපිළිගැනීමටත් කිවුල හේතුවක් ලෙස පිළිගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය යොමුවීමටත් ඇත්තේ දේශපාලන හා ආර්ථික හේතු ය. ඇතැම් විට එකම සමාගමක් කෘෂිරසායන ද ජලපෙරණ ද ආනයනය කරයි. ඔවුන් රෝගයට හේතුවක් ලෙස කිවුල පිළිගනිමින් කෘෂිරසායන (ආසනික්) හේතුවක් ලෙස නොපිළිගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාව යොදාගනු අපට දැකිය හැකි ය. රෝගයකට හේතුව නිර්ණය කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක රාශියක් අඩංගු ක්‍රමවේදය මගින් බටහිර වෛද්‍ය විද්‍යාව ඔස්සේ තම අවශ්‍යතා ඉටුකරගැනීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදා වී ඇත. 

බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාව, බටහිර (ධනේෂ්වර) ආර්ථිකය ආදිය එක වල්ලේ පොල් ය. ඒ සියල්ලට පදනම් වන්නේ එකම චින්තනයකි. එ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. (මෙය අමරතුංග මහතා අගය කරන එහෙත් ගුණදාස අමරසේකර මහතා බටහිර කතුවරයකුගෙන් ලබාගත්තාවූ අදහසක් පමණක් වන විසිරුණු ජාතික චින්තනයෙන් වෙනස් වෙයි.) රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා තම ණැන පමනින් කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ණැන ඇතත් ගුණ නොමැති බව ය. ඔහු ද පදනම් වන්නේ ගුණ ණැන වෙන් කරන බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එහෙත් ඒ මහතා නොදන්නා කරුණක් නම් ගුණ ණැන වෙන්කළ නොහැකි බවත් පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ ගුණවත් ණැනවත් නැති බව ය. 

මා අනෙක් අය නොපිළිගන්නා මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ අමරතුංග මහතා අඟවන පරිදි ලාබ ජනප්‍රියතාවක් සඳහා නොව ඉහත සඳහන් කරුණු මත පදනම් වෙමිනි. එහෙත් ඒ මහතා තබා ඒ මහතාගේ බුද්ධිමය වීරයා වූ ගුණදාස අමරසේකර මහතා ඒ ගැන කතා කිරීමට බොහෝ කලකට පෙර දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු යැයි ද කළ හැකි යැයි ද මා කියා සිටියේ අන් අය එසේ කිරීමට නොහැකි බව එකහෙළා කියන විට ය. අන් අය නොපිලිගන්නා මතයක් මා එදා ද ප්‍රකාශ කළේ ලාබ ජනප්‍රියතාවක් සඳහා යැයි අමරතුංග මහතා පවසන්නේ ද? 

මී උණට ද හේතුව කෘෂිරසායන යැයි අපි කීවෙමු. එසේ කීමෙන් අදහස් කළේ කෘෂිරසායනික ද්‍රව්‍ය මගින් මී උණ බෝවෙන බව නො වේ. මී මුත්‍රා කෘෂිරසායන සමග ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය මී උණට හේතු කාරක වෙයි. මී උණ රෝගය කෘෂිරසායන යොදාගැනීමට පෙර නො වී ය. එබැවින් මා කිහිප වතාවක් ම අසා ඇති ප්‍රශ්නයක් නම් එකල මීයන් මුත්‍රා නොකළේ ද යන්න ය.  අමරතුංග මහතා අද කියන්නේ තමන් ඒ ප්‍රශ්නය මගෙන් ඇසූ බව ය. එහෙත් ඒ පිළිබඳ මතකයක් මට නො මැත. 

කෙසේ වෙතත් අමරතුංග මහතා ඒ ප්‍රශ්නය අසා ඇත්නම් හෝ අද අසන්නේ නම් හෝ ඒ ගැන මම සතුටු වෙමි. එයට හේතුව ඒ ප්‍රශ්නයෙන් මගේ ස්ථාවරය තහවුරු වීම ය. කෘෂිරසායන භාවිතයට පෙර මී උණ වැළඳී නැත්නම් හා මී උණ වැළඳෙන්නේ මී මුත්‍රාවල ඇති යම් රසායනික සංඝටයක් නිසා නම් එයින් ගම්‍යවන්නේ, මී උණ වැළඳීමට පෙර මියන් මුත්‍රා කර නැති බව ය. කෙසේ වෙතත් තම ප්‍රශ්නය තම ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ තැනකට ගෙන යන බව අමරතුංග මහතාට වැටහෙන්නේ ද? 

දැන් අපි නැවතත් බටහිර විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයට යමු. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව යනු අනෙක් රටවල තිබූ විද්‍යාවන්ගේ වර්ධනයක් පමණ ය. ඒ මහතාට චින්තනය යන සංකල්පය දිරවා ගැනීමට අපහසු බව ඉතා පැහැදිලි ය. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් හා බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවට ආවේණික වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කතාකරන්නේ ඇයි? එයට හේතුව පොපර් ද ඇතුළු බොහෝ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ට වෙනස් බව සැලකීමත් ඔවුන් බොහෝ දෙනකු බටහිර විද්‍යාව එක්කෝ සත්‍යය ලෙස  නැත්නම් සත්‍යයට ළඟාවන්නක් ලෙසත් අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යාවන් ලෙස සැලකීමත් ය. මෙය යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයෙහි ප්‍රතිඵලයකි. 

එපමණක් නො වේ. අමරතුංග මහතා ද බටහිර විද්‍යාවට ආවේණික වූ ක්‍රමයක් ඇති බව පිළිගනියි. ඔහු කියන්නේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ඔප්පුකිරීමේ දී බටහිර විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක් හෝ යොදාගත නොයුතු බව ය. ඒ බව දෙසැම්බර් 11 වැනි දා පළ වූ ඒ මහතාගේ ලිපියෙහි අවසන් ඡෙදයෙහි සඳහන් වෙයි. මුල් ලිපියෙහි ද වෙනත් වචනවලින් තරමක් පටලැලි සහගත ව ඒ අදහස පළවිය. 

බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන බවත් එයට විශේෂිත වූ විද්‍යාත්මක විධික්‍රමයක් ඇති බවත් අමරතුංග මහතා මෙන් ම බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද පිළිගන්නේ නම් එය හුදෙක් අනෙක් රටවල තිබූ විද්‍යාවන්ගේ වරධනයක් විය නො හැකි ය.  අමරතුංග මහතාට අමරසේකර මහතාට මෙන් ම පරස්පරවලින් තොරව සිතන්නට බැරි ය. අවාසනාවකට බොහෝ උගතුන් යැයි කියාගන්නෝ පරස්පරවල දියබුන් ගසති. අමරතුංග මහතා බටහිර විද්‍යාව අනෙක් රටවල විද්‍යාවන්ගේ වර්ධනයක් පමණක් යැයි කියන අතර ම බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි පවසයි. 

බටහිර විද්‍යාවේ ඊනියා විධික්‍රමයක් නැතැයි අපි කියමු. අප ඒ බව අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ කර ඇත. බුදුන් වහන්සේගේ කාලයෙහි ද ආත්මයක් ඇත් ද නැත් ද යන වග දැනගැනීම සඳහා බමුණන් ශුද්‍රයකු යැයි කියැවන්නකු මරා කෲර පරීක්‍ෂණයක් කර ඇති බව අප විසින් පෙන්වා දෙනු ලැබුයේ අද ඊයේ නො වේ. ගැලීලියෝ කළේ යැයි කියන පර්යේෂණ ව්‍යාජ බව ද අපි කියා ඇත්තෙමු. කෙටියෙන් කිවහොත් බටහිර විද්‍යාවට ආවේණික විධික්‍රමයක් නැති බවත් පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන ආදිය අනෙක් රටවල දැනුම් පද්ධතීන්හිද දැකිය හැකි බවත් අපි අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ කියා ඇත්තෙමු. ඇතැම් විට විසිරුණු ජාතික චින්තනයට තමා විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීමට සුළු කලකට පෙර පැමිණි අමරතුංග මහතා අවුරුදු ගණනාවකට පෙර චින්තනය යන සංකල්පය අසාවත් නොතිබෙන්නට ඇත. බටහිර විද්‍යාවට ඊනියා විධික්‍රමයක් නැතත් එය අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන්නේ එහි චින්තනය හේතුකොටගෙන යැයි අපි කියමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද එහි චින්තනය හේතුකොටගෙන ය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ එහි උපන්ගෙයි දෝෂයක් නිසා ය. 


නලින් ද සිල්වා

2013-12-18

Sunday, 15 December 2013

නාථ දෙවියන් මියගොස් ද?


පසුගිය දා “උගත් ගැමි” මැදිවියේ ජ වි පෙ මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී නාථ දෙවියන් ආසනික් ගැන දැනගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ඇසී ය. ඔහුට අනුව ආසනික් ගැන දැනගෙන ඇත්තේ පසුව ය. එසේ පසුව දැනගත් ආසනික් ගැන නාථ දෙවියන්ට දැනුමක් නොතිබිය හැකි ය යන්න ඔහුගේ ප්‍රශ්නයෙන් ගම්‍ය විය. මෙයින් ඔහු අදහස් කළේ නාථ දෙවියන් මිය යෑමෙන් පසුව ලෝකයා ආසනික් ගැන දැනගත් බව ද? ආසනික් සම්බන්ධ ප්‍රශ්නයේ දී නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද (ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ නම් නො වේ) ඔහු අදාළ භවයෙන් චුත වී නැත. අනුර දිසානායකට සංකල්ප පැටළවී ඇත. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ද තවමත් දෙව්ලොවින් චුත වී නැත. අනෙක් අතට ආසනික් යන්න සිංහලයන්ට අළුත් වුවත් ඔවුහු පාසානම් නමින් එය ඈත අතීතයේ සිට දනිති. නාථ දෙවියන් යනු කවුරුන් වුව ද ඔහු ද පාසානම් නමින් හඳුන්වනු ලැබූ කාලයේ සිට ආසනික් ගැන දන්නා බව නිසැක ය. අනුර දිසානායකලා අද වන විට කෙතරම් දුරට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වී තිබේ ද යන්න මෙයින් පැහැදිලි වෙයි. මා නාථ දෙවියන් ගැන දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. මගේ දැනුම අනුව ආසනික් හා සම්බන්ධ නාථ දෙවියන් යනු මනුෂ්‍ය නොවන ප්‍රාණියෙකි. ඔහුට දෙවියන් යැයි කීව ද ඒ භූතයකු විය හැකි ය. එහෙත් මට එය ප්‍රශ්නයක් නො වේ. මට අවශ්‍ය වූයේ දැනුම ලබාගැනීමට (නිර්මාණය කිරීමට) ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය හැරෙන්නට වෙනත් ක්‍රම ඇති බව ද ජනතාවට පැවසීම ය. එසේ කීම එක් අතකින් වැරදි ය. මෙරට ජනයා මා නොකීවාට අවුරුදු දහස්ගණනක් තුළ පංචෙන්ද්‍රියන්ට සීමා නොවු විවිධ ක්‍රම මගින් දැනුම ලබාගෙන ඇත. මා කර ඇත්තේ ජනතාවගෙන් යමක් ඉගෙන එය තහවුරු කිරීම පමණ ය. සුද්දෝ අපට ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කියා භූතයන් යනු මිථ්‍යාවන් යැයි ද භූතයන්ගෙන් දැනුම ලබාගැනීමට නොහැකි යැයි ද පවසති. සුද්දන්ගෙන් ඉගෙන ගත හැකි නම් භූතයන්ගෙන් ඉගෙන ගත නොහැක්කේ මන්දැයි මට නොවැටහෙයි. වඩා භයානක සුද්දා ද භූතයා ද? සුද්දාට හසු වූ කල බොහෝ අයට ගැලවීමක් නැති බව මෙරට නිවට පුහු උගතුන්ගෙන් පැහැදිලි වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ජීවත්වන මට සුද්දාගෙන් ද භූතයාගෙන් ද ගැලවිය හැකි ය. මට තවමත් ගැලවීමක් නැත්තේ මගෙනි. ජනප්‍රිය ගීතයක අදහසක් අවශෝෂණය කරගෙන මට මගේ ම නොවන මගේ මමක් ඇතැයි කිව හැකි ය. ඉන් ගැලවීමට අඩුම තරමෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පිරිය යුතු ය. වයස අවුරුදු දහහතරේ දී සුද්දාට හසුවූ මට සුද්දාගෙන් ගැලවීමට නම් අවුරුදු විස්සකට වඩා නොගියේ ය. භූතයාගෙන් ගැලවීමට එතරම් කලක්වත් නො ගියේ ය. එහෙත් අවශ්‍ය වූ විට සුද්දාගෙන් ද භූතයාගෙන් ද දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරමි.
 
අපට නාථ දෙවියන් නමින් හැඳින්වෙන අය මුණ ගැසුනේ බටහිර විද්‍යාවට හා එහි තාක්‍ෂණික අංගයක් පමණක් වූ බටහිර වෛද්‍ය විද්‍යාවට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කීමට නොහැකි වූ අවස්ථාවක ය. මේ රෝගයට ප්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නැත. පසුගියදා රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරී සංගමය විසින් පවත්වන ලද සම්මන්ත්‍රණයක දී ඇතැම් බටහිර වෛද්‍යවරුන් පවසා ඇත්තේ කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාරයක් ඔවුන්ට, එනම් ඔවුන්ගේ ස්වාමී සුද්දන්ට ඇති බව ය. ඔවුන්ට අනුව ඒ වකුගඩු බද්ධ කිරීම ය. දහස්ගණන් රෝගීන්ට බද්ධ කිරීමට වකුගඩු කඩේ ඇතැයි ඔවුන් සිතනවා විය හැකි ය. එහෙත් මේ දොස්තරලා ද නො(දත්) දොස්තරලා ද නොදන්නා දේ නම් අවයව බද්ධකිරීම යන්න සමස්තය යනු කොටස්වල එකතුව යැයි සිතන නිව්ටෝනීය යාන්ත්‍රික දර්ශනයෙන් ගලා එන්නක් බව ය, මේ අමතර කොටස් සංකල්පය ක්වොන්ටම් යාන්ත්‍රිකයේ පැටලීම  (එන්ටැන්ගල්මන්ට්) යන ෂ්රොඩිංගර්ගේ අවුරුදු හැත්තෑවකට පැරණි සංකල්පයෙන් ඉවත්කෙරී ඇති බව ය. පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාව පට්ටපල් බොරු වූ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසයි. සේවාර්ජිත දන්ත වෛද්‍ය මහාචාර්ය අශෝක අමරතුංග බටහිර විද්‍යාව අසත්‍ය යැයි ඔප්පුකරන ලෙස විදුසර පුවත්පත මගින් මගෙන් ඉල්ලා ඇත. ඔහු ඔප්පුකිරීම, සත්‍යය ආදියෙන් කුමක් අදහස් කරන්නේ දැයි නො දනිමි.  එහෙත් පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව සත්‍ය යැයි ඔප්පු කළ හැකි කිසිවකු වේ ද?  බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ පංචේන්ද්‍රියයන්ට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යැයි කියමින් පට්ටපල් බොරු වියුක්ත කතන්දර ගෙතීම පමණකි. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ බලය යන්න මොන තරම් පට්ටපල් බොරුවක් දැයි අශෝක අමරතුංග නො දනියි. 

නාථ දෙවියෝ අපට කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව ආසනික්, කිවුල් ජලය හා ආසනික් මිතුරු පස් බව කියා දුන්හ. කැඩ්මියම් එහි දී උත්ප්‍රෙරකයක් ලෙස ක්‍රියා කරයි. අපි ඒ බව ජනතාවට කීවෙමු. කැනඩාවේ ජීවත්වන මට කෙදිනකවත් මුණ ගැසී නොමැති චන්ද්‍රසිරි ධර්මවර්ධන නම් මහාචාර්යවරයකු විද්‍යුත් තැපෑල මගින් මා ආසනික් ගැන කීවේ ඊනියා පාරභෞතික ක්‍රමවලින් බවත් මහාචාර්ය පරණගම මහත්මිය ඇතුළු කිහිප දෙනකු එය බටහිර විද්‍යාත්මකව තහවුරු කිරීමට උත්සාහගත් බවත් සඳහන් කරයි. ඔහුගේ පාරභෞතිකය පිළිබඳ අර්ථදැක්වීම කෙසේ වුවත් කිසිවකුට අනුව ගුරුත්වාකර්ෂණය ද වෙනත්  වියුක්ත ප්‍රවාද ද පාරභෞතික ය. ඔහු පරණගම මහත්මියගෙන් අසා දැනගෙනත් එහෙත් නොකියන දෙය නම් කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම ආසනික් පර්යේෂණ කළේ මගේ මූලිකත්වයෙන් බවත් මා සේවයෙන් ඉවත්වීමෙන් පසුව ඒ පර්යේෂණ නැවතුනු බවත් ය. අපි ආසනික් පිළිබඳ දැනගැනීමෙන් පසුව ඔහු වැන්නන්ට ඒත්තු ගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ඇරඹීමු. එහෙත් තවමත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව දැනගැනීමට නැත. ඔවුන් ඒ දැනගන්නා තෙක් අප කළ යුත්තේ රෝගීන් මිය යෑමට සැලැස්වීම ද? එක් කුහක දොස්තරවරයකු තමා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු බව පවසමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව යැයි කියමින් රෝගයට හේතුව ආසනික් නොව කැඩ්මියම් බව ප්‍රකාශ කළේ අපට නිග්‍රහ කිරීමට ය. එහෙත් ඔහු වාර්තාවක් ලෙස නම් කළේ හතර දෙනකු විද්‍යුත් සඟරාවක පළකළ පත්‍රිකාවකි. ලෙඩා මළත් හේතුව ආසනික් නොවේ නම් බඩ සුද්ද ය. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිවකු හෝ කිවුල ගැන නොකියද්දී ආණ්ඩුව නාථ දෙවියන්ගේ කීම මත පදනම් ව කිවුල නැතිකිරීමට ජල පෙරණ සවිකිරීමට තීරණය කර ඇත. එහෙත් කෘෂිරසායන ගොවිතැනෙන් ඉවත් නොකර පෙරණ සවිකිරීම හෝද හෝදා මඩේ දැමීමකි. ආණ්ඩුව වැව් ප්‍රතිසංස්කරණය කර ජලය බෙදාදීමට ක්‍රමයක් සකස් කළ යුතු ය. එමෙන් ම වැව් තාවුලුවල මිරිකුළු  (මුරුංගා) වැනි ශාක වගා කිරීමටත්  කෘෂිරසායන ගෙන්වීම ක්‍රමයෙන් නවතා දේශීය පොහොර යොදා ගැනීමටත් ගොවි මහතුන් උනන්දු කළ යුතු ය. ආණ්ඩුව බටහිර වෙදකමට වෙන් කරන මුදලෙන් ඉතා සුළු කොටසක් වියදම් කර වෙදමහත්වරුන්ට අදාළ ප්‍රදේශවල වෙදකම් කිරීමට පහසුකම් සලස්වන්නේ නම් රෝගීන් සුවකළ හැකි ය. විදේශ විනිමයත් ඉතිරිකර ගත හැකි ය.


නලින් ද සිල්වා

2013-12-15

Wednesday, 30 October 2013

අමරතුංග මහතාගේ මුළාව


කූන්ගේ ව්‍යාපෘතිය වූයේ අප කලින් ද සඳහන් කළ ආකාරයට පොපර්ගේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය සම්බන්ධයෙන් වූ අදහස් වැරදි බව පෙන්වීම ය. පොපර් තම ඊනියා අසත්‍යකරණය මගින් බටහිර විද්‍යාවට එතෙක් තිබුණාට ද වඩා ආධිපත්‍යයක් ලබා දුන්නේ ය. කූන් කළේ විද්‍යාඥයන් ඉතා වැඩි වශයෙන් කරන්නේ පිලිගැනීමට ලක් වී ඇති ප්‍රවාද තව තවත් තහවුරු කිරීමට කටයුතු කරන බව පෙන්වා දීම ය. ඒ හැරෙන්නට බටහිර විද්‍යාවේ ප්‍රවාද සුසමාදර්ශ මත පදනම්වන බවත් ඒ ඒ සුසමාදරශ මත පදනම් වූ ප්‍රවාද හා සංකල්ප අසම්මේය බවත් කූන් පෙන්වා දුන්නේ ය.

ඒ අරුතෙන් ගත්කල කූන් තරමක ආධිපත්‍ය විරෝධියකු විය. ඔහුට එවැනි ආධිපත්‍ය විරෝධී ආකල්පයක් තිබිණි යැයි මෙයින් නො කියැවෙයි. ඔහු ද බටහිර විද්‍යාවට හිමි වූ යම් විධික්‍රමයක් ඇතැයි පිළිගත්තේ ය. ඔහු බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වන බව කීවේ ය. එහෙත් ඔහු බටහිර විද්‍යාඥයන්ගේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාජයක් බව දුටුවේ ය. බටහිර විද්‍යාඥයන් ආධිපත්‍යය පිළිගන්නා පිරිසක් බව ඔහු පෙන්වා දුන්නේ ය. එමගින් ඔහු බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරෝධයක් දැක්වී ය.

ෆෙයරාබන්ඩ් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ ව විප්ලවවාදී අදහස් ප්‍රකාශ කළේ ය. ඔහු කියා සිටියේ බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නැතැයි නොපැකිළව කියා සිටියේ ය. ඔහු ලියා පළකල විධික්‍රමයට එරෙහිව  (Against Method) කෘතියෙන් තමන් එසේ කියන්නේ ඇයි දැයි පැහැදිලි කළේ ය. ගැලීලියෝ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක කළ පර්යේෂණයක් නැති බව ෆෙයරාබන්ඩ් පෙන්වා දුන්නේ ය. එහි සඳහන් සියළු කරුණු සඳහන් කිරීමට මේ අවස්ථාව නො වේ. අවශ්‍ය කෙනකුට ඉහත සඳහන් කෘතිය කියවා ඒ විස්තර දැනගත හැකි ය.

එමෙන් ම  ෆෙයරාබන්ඩ් සඳගන් කළ වැදගත් කරුණක් වූයේ තමා සාපේක්‍ෂතාවාදියකු බව ය. ඔහුට අනුව ඊනියා වාස්තවික වූ දැනුම් නැත. සියළු දැනුම් සාපේක්‍ෂ බව ඔහුගේ අදහස විය. එහෙත් ඒ කුමකට සාපේක්‍ෂව දැයි ඔහු කියා නො සිටියේ ය. මේ අතර දැනුම පිළිබඳ බටහිර සමාජවිද්‍යාඥයන් (sociologists of knowledge) තවත් අදහසක් ඉදිරිපත් කර තිබිණි. ඔවුහු දැනුම පිලිබඳ බටහිර සමාජවිද්‍යාඥයෝ වූහ.  ඔවුූන් කියා සිටියේ දැනුම යනු සමාජයීය නිර්මිතයක් (social construction) බව ය. ඔවුන් එමගින් කියා සිටියේ දැනුම යනු සොයාගනු ලබන දෙයක් නොවන බවත් එය ඒ ඒ සමාජය විසින් නිර්මාණය කෙරෙන්නක් බවත් ය.  

ඒ ඒ සමාජයේ දැනුම බිහිවන්නේ ඒ ඒ සමාජයට වැදගත් වූ කරුණු පදනම් කරගෙන ය. මෙය වැදගත් අදහසකි. එය ඊනියා පශ්චාත්නූතනවාදී අදහසක් නො වේ. පශ්චාත්නූතනවාදයේ ප්‍රධාන ම කතාවක් වන්නේ පාර ආඛ්‍යානයක් (meta narrative) නැති බව ය. මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇති ගුණදාස අමරසේකර මහතා මෙටා යන්න මෙගා හෙවත් මහා යන අරුතකින් තේරුම් ගෙන දෝ කලක් පශ්චාත්නූතනවාදයෙහි  මහා පතරංග ආඛ්‍යාන ගැන කතා කළේ ය. ඒ මහතා එවැනි වැරදි තේරුමක් ලබාගත්තේ පශ්චාත්නූතවාදය ගැන ලියැවී ඇති කිනම් ජනප්‍රිය පොතක් හෝ ලිපියක් හෝ කියවා දැයි නො දනිමි.

කෙසේ වෙතත් ෆෙයරාබන්ඩ්  පාර ආඛ්‍යාන ගැන හෝ පශ්චාත්නූතනවාදයෙහි දක්නට ලැබෙන තවත් ප්‍රධාන අදහසක් වූ ඊනියා විසංයෝජනය (deconstruction) ගැන හෝ කතා නො කළේ ය. ඔහු සාපේක්‍ෂතාවාදියකු පමණක් විය. ඇතැම් පශ්චාත්නූතනවාදීහු සාපේක්‍ෂතාවාදීහු වෙති. එහෙත් එයින් කියැවෙන්නේ සියළු සාපේක්‍ෂතාවාදීන් පභ්චාත්නූතනවාදීන් බව නො වේ. මහාචාර්ය අමරතුංග මහතා  අඩුම තරමෙන් සාපේක්‍ෂතාවාදියකුවත් නොවන කූන් හා සාපේක්‍ෂතාවාදියකු වූ ෆෙයරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් ලෙස සලකන්නේ කිනම් නිර්ණායකවලට (මිනුම් දණ්ඩකට) අනුව දැයි ප්‍රකාශ කරන්නේ නම් මැනවි.

 අමරතුංග මහතාට අනුව “ පෝල් ෆෙයරාබන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්ථානයට සමාන තැනක් නක්ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයනට ද ලබා දිය යුතු බව ය.” අමරතුංග මහතාට නිරවුල් ව අදහසක් ප්‍රකාශ කළ නො හැකි ය. ඔහු කියන්නේ නක්‍ෂත්‍රය ක්‍රමවේදයක් බව ද? ඔහු බටහිර විද්‍යාව වැනි දැනුම් පද්ධතියක් සංසන්දනය කරන්නේ ක්‍රමවේදයක් සමග ද?

මහාචාර්යතුමා කියන්නට අදහස් කළේ බටහිර විද්‍යාවට සමාන තැනක් නක්‍ෂත්‍රයට ද ලබා දිය යුතු යැයි ෆෙයරාබන්ඩ් කියා ඇති බව විය හැකි ය. ඒ එසේ යැයි ගත්ත ද මෙහි දී අඩු තරමෙන් ප්‍රශ්න දෙකක් පැන නගී. මේ ඊනියා වැදගත් බව බටහිර විද්‍යාවට ලබා දී ඇත්තේ කවුරුන් විසින් ද? නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි කියන්නේ කවුද? අමරතුංග මහතා එවැනි අදහස් ප්‍රකාශ කරන්නේ ඊනියා වාස්තවික අර්ථයකිනි. ඔහු අදහස් ප්‍රකාශ කරන අයුරෙන් බටහිර විද්‍යාවට නිරපේක්‍ෂව ම වැදගත් තැනක් ලැබී ඇත. එමෙන් ම නක්‍ෂත්‍රය නිරපේක්‍ෂව ම මිථ්‍යාවකි.

පොපර් කලකට පෙර නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි කියා ඇත. ඔහුට අනුව නක්‍ෂත්‍රය පමණක් නොව මෙරට ජාතික චින්තනය විසින් ගුරුකර ගනු ලැබිය යුතු බවට ගුණදාස අමරසේකර මහතා විසින් ඇතැම් විට පැවසෙන මාක්ස්වාදය ද, මෙරට බටහිර වෛද්‍ය පීඨවල ඉගැන්වෙන ෆ්‍රොයිඩ් ආදීන්ගේ මනෝ විශ්ලේෂණය ද මිථ්‍යා වෙයි. ඒ ඔහුට අනුව ඒ කිසිම දැනුම් පද්ධතියක් අසත්‍යකරණයට ලක්කළ නොහැකි බැවිනි. පොපර්ට අනුව නම් බටහිර වෛද්‍ය පිඨවල මනෝවිශ්ලේෂණය ඉගැන්වීම මිථ්‍යාවක් ඉගැන්වීමකි.

ඇතැම් විට දන්ත වෛද්‍යවරුන් වූ අමරසේකර මහතාට ද අමරතුංග මහතාට ද ඒ ප්‍රශ්නයක් නොවනු ඇත. අනෙක් අතට මෙරට සමාජයේ බටහිර වෛද්‍ය විද්‍යාවට බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට වඩා වැදගත් තැනක් හිමි වී ඇත. එබැවින් මනෝ විශ්ලේෂණය ගැන කතාකිරීමට ගොස් ලැබී ඇති තැන නැතිකර නොගෙන නක්‍ෂත්‍රය ගැන පමණක් කතාකිරීම වැදගත් යැයි  අමරතුග මහතා සිතනවා විය හැකි ය. අමරතුංග මහතා නිරපේක්‍ෂව නක්‍ෂත්‍රය මිථ්‍යාවක් යැයි ද මනෝ විශ්ලේෂණය විද්‍යාවක් යැයි ද ගන්නා බව පෙනී යයි. කෙසේ වෙතත් අමරතුංග මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.

මනෝ විශ්ලේෂණය ගැන අමරතුංග මහතා දරණ අදහස වැදගත් වනුයේ පශ්චාත්නූතනවාදීන් ද මනෝ විශ්ලේෂණයට ගරුකරන බැවිනි. ඔවුහු විවිධ මනෝ විශ්ලේෂකයන්ගේ අදහස් වමාරති. මට මනෝ විශ්ලේෂණය වැදගත් නැත. මම එය බටහිර නූතනත්වයේ ම බිහි වූ දැනුම් පද්ධතියක් ලෙස සලකමි. ඒ අමරතුංග මහතා මා පශ්චාත්නූතනවාදියකු ලෙස හැඳින්වීමට උත්සාහ දරද්දී ම ය. 

මෙහි දී දැනුම පිලිබඳ බටහිර සමාජ විද්‍යාඥයන්ගේ කලින් සඳහන් කළ අදහස ගැන සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව දැනුම යනු සමාජයීය නිර්මිතයකි. බටහිර විද්‍යාව බිහි වත ඇත්තේ බටහිර රටවල සමාජවල මිස වෙනත් සමාජවල නො වේ. එය ද පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක සිදු වී ඇත. එහෙත් අමරතුංග මහතා කියන්නේ වෙනත් කතාවකි. අපි ඒ සම්බන්ධයෙන් ඔහු කියා ඇති දේ විස්තරාත්මක ව උපුටා දක්වමු. මෙරට බොහෝ උගතුන් යැයි හැඳින්වෙන්නන් හෙවත් අනුකාරකයන් (ඇංකරයන්) කියන්නේ, ඔවුන්ට කීමට පුරුදු කර ඇත්තේ එය බැවින් මේ ලිපි පෙළෙහි දී අපට එය ඉතා වැදගත් වෙයි.

“බටහිර සංස්කෘතියේ නැගීමට පෙර පුරාණ සංස්කෘති කිහිපයක් තුළ ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු. පුරාණ අරාබිය, චීනය, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල් තුළ දියුණු යැයි පිළිගැනෙන සංස්කෘතියක් ගොඩනැඟී තිබූ බව අපි දනිමු. තාරකා විද්‍යාව, ගණිත ශාස්ත්‍රය, රසායනික විද්‍යාව වැනි විද්‍යාවන්වලට අදාළ සමහර මූලික සංකල්පීය දැනුම මේ සංස්කෘති තුළ බිහි වූ බවට සාක්‍ෂි ඇත. උදාහරණයක් වශයෙන් ගණිත ශාස්ත්‍රයේ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවට සාක්‍ෂි ඇත. එසේ ම ඉතා අගනා තාක්‍ෂණික ඥානය චීනයේ බිහිවිය. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය පළමුව නිෂ්පාදනය වූයේ චීනයේ ය. මේ ලෙස දැනුම ලබා ගැනීම පිණිස භාවිතා වූ ක්‍රමවේදය තුළ නවීන විද්‍යාවේ සමහරක් අංගෝපාංග තිබුණු බවට සාක්‍ෂි සොයාගෙන ඇත. පර්යේෂණ ක්‍රම, නිරීක්‍ෂණ මාර්ග, ලේඛනගත කිරීම අ    ාදීය ඒ අතර විය.

මේ විද්‍යාත්මක දැනුම සහ තාක්‍ෂණ ඥානය අරාබිය හරහා ග්‍රීසියට ද, ඊට පසු යුරෝපයට ද සංක්‍රමණය විය. මේ මධ්‍යකාලීන විද්‍යා වර්ධනය පුනරුදය නමැති කාල පරිච්ඡෙදය දක්වා අඛණ්ඩව පැවති බව සමහරුන්ගේ මතය වී ඇත. පුනරුදය නමැති කාල පරිච්ඡෙදයේ දී විද්‍යාව ශීඝ්‍රයෙන් යුරෝපයේ දියුණු විය. ඊට මූලික හේතුව වූයේ නොයෙකුත් කර්මාන්ත ඒ යුගයේ දී බිහි වීමයි. නව කර්මාන්තවලට අවශ්‍ය තාක්‍ෂණය ද, ඊට අවශ්‍ය විද්‍යාව ද, එකට බැඳීමකින් යුතු ව දියුණු විය. විද්‍යාත්මක ක්‍රමවේදය විධිමත් ලෙස දියුණු විය. මේ ලෙසින් බලන කල නවීන විද්‍යාව සම්පුර්ණයෙන් බටහිර සංස්කෘතිය තුළින් බිහි වූයේ යැයි පිළිගත නොහැකි ය. ඒ නිසා නවීන විද්‍යාව බටහිරට අයත් දෙයක් නො වේ. නවීන විද්‍යාවේ දැනුම සොයා ගැනීමේ ක්‍රමවේදය එමානුවෙල් කාන්ට් වැනි දාර්ශනිකයන් ප්‍රගුණ කොට ඇති බව සැබෑ ය. එනමුත් ඔවුන් ප්‍රගුණ කළේ වෙනත් සංස්කෘතිවල ද දායකත්වයෙන් වර්ධනය වෙමින් පැවති ක්‍රමවේදයක් මිස සම්පුර්ණයෙන් වෙනස් වූ නව ක්‍රමවේදයක් නොවන බව පිළිගත හැකිය.”

ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පට්ටපල් බොරුවකි. මෙහි බටහිරයන් අපට උගන්වන බොරු මදිවාට අමරතුංග මහතා බටහිරයන් කියන දේ වුව ද තම ශක්ති ප්‍රමාණයෙන් වැරදියට තේරුම් ගත් දේ ද වෙයි. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරි ලිපිවලින් කිරීමට අදහස් කරමි. එහෙත් දැනට එක් කරුණක් පමණක් සඳහන් කළ යුතු ය. ඒ ඊනියා විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙනි.

බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යැයි කියාගන්නා අය දැන් තරමක කාලයක් තිස්සේ කියන්නේ බටහිර විද්‍යාව මෙතෙක් තිබූ අනෙක් සියළු දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක විධික්‍රම ගැන කියන්නේ අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා වෙනත් යමක් බටහිර විද්‍යාවේ ඇති බව පෙන්වීමට ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වෙනත් සංස්කෘතීන්ගේ ද දායකත්වයෙන්  වර්ධනය වූවක් යැයි අමරතුංග මහතා කියන්නේ කිනම් දාර්ශනිකයකු ගුරුකොට ගෙන දැයි නො දනිමි. ඔහු සමහරවිට අළුත් මතයක් ඉදිරිපත් කරනවා විය හැකි ය. මතය කාගේ වුවත් එය පට්ටපල් බොරුවක් බව ඊළඟ සතියේ පෙන්වා දෙමි.


නලින් ද සිල්වා

2013-10-30

Wednesday, 12 June 2013

දැනුම අවශෝෂණය කිරීම

අපේ දැනුම ලබාගැනීමේ ක්‍රමය බටහිර විද්‍යාවේ දැනුම ලබාගැනීමේ ක්‍රමයට හාත්පසින් වෙනස් ය. බටහිර විද්‍යාව උද්ගමනය හා කතන්දර ගෙතීම තම විධික්‍රමය ලෙස සලකයි. බටහිර විද්‍යාවේ දර්ශනයෙහි සාමාන්‍යයෙන් දැනට සඳහන්වන, එනම් බටහිර විද්‍යාඥයන් වැඩිදෙනා පිලිගන්නා, අදහස කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාගේ ඊනියා අසත්‍යකරණ ප්‍රවාදය මත පදනම් වෙයි. පොපර්ට අනුව බටහිර විද්‍යාවේ දැනුම අසත්‍යකරණයට ලක්කළ හැකි ය. එහෙත් ලෝකයේ තිබූ හෝ තිබෙන හෝ අනෙක් දැනුම් පද්ධතීන් එසේ අසත්‍යකරණයට ලක්කළ නො හැකි ය. ඒ අනෙක් දැනුම් මිථ්‍යා ලෙස සැලකීමට බටහිරයන් යොමු වී ඇත. එහෙත් මේ මිථ්‍යා යැයි කියැවෙන දැනුම් ඊනියා විද්‍යාවට වඩා ලොවට හිතකර බවත් සංගත බවත් පෙනී යයි.

බටහිර විද්‍යාව පළමුවෙන් නිරීක්‍ෂණ කරන බව කියයි. මේ නිරීක්‍ෂණ, හුදු නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, එසේත් නැත්නම් සම්පරීක්‍ෂණ විය හැකි ය. ඒ කුමක් වුවත් යම්කිසි ගහණයක් සම්බන්ධයෙන් යම් ගුණයක් පූර්ණ වශයෙන් නිරීක්‍ෂණ කිරීමේ හැකියාවක් බටහිර විද්‍යාඥයන්ට නොමැත. එබැවින් ඔවුහු තම නිරීක්‍ෂණ යම් නියැදි කිහිපයක් සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයකට පමණක් සීමා කරති. ප්‍රායෝගික ව ගත්කල මුළු ගහණයෙහි ම අදාළ ගුණය නිරීක්‍ෂණ කිරීමට බටහිර විද්‍යාඥයන්ට පරම්පරා ගණනාවක දී වුවත් සිදුකළ නො හැකි ය.

මේ හේතුවෙන් නියැදි කිහිපයක් සම්බන්ධයෙන් කරන නිරීක්‍ෂණ කිහිපයක් මුළු ගහණයට ම පොදු යැයි උද්ගමනය කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවෙයි.   එම උද්ගමනය යුක්තියුක්ත කිරීම උදෙසා ඔවුහු ඊනියා සංඛ්‍යානාත්මක ක්‍රම උපයෝගී කර ගනිති. අසවල් පරීක්‍ෂාව සිදුකිරීමෙන් තම උද්ගමනය යම් සම්භාවිතාවක් ඇතුළත නිවැරදි යැයි කීමට ඔවුහු පුහුණුු කෙරෙති. එහෙත් එය උද්ගමනයක් පමණක් බව අපට අමතක කළ නො හැකි ය. මේ බව වසන්කිරීමට මෙන් යම් ගහණයකින් නියැදි තෝරාගැනීම පිළිබඳ ඊනියා විද්‍යාත්මක ක්‍රම ගැන සඳහන්කිරීමට බටහිර විද්‍යාඥයන්ට සිදුවෙයි.

උද්ගමනය සාධාරණීකරණයක් බැවින් එහි ප්‍රතිඵලය වියුක්ත වෙයි. සමස්ත ගහණය සඳහා ම අදාළ නිරීක්‍ෂණ කළ හැක්කේ උසස් ආධ්‍යාත්මික ශක්තියක් ඇත්තකුට ය. පෘථග්ජන විද්‍යාඥයකුට කෙතරම් බුද්ධිමත් වුවත් ගහණය සඳහා ම නිරීක්‍ෂණ කළ නො හැකි ය. එබැවින් බටහිර විද්‍යාවේ උද්ගමනය ද තවත් වියුක්ත කතන්දරයක් පමණ ය. කෙසේ වෙතත් උද්ගමනයක් කිරීමෙන් පසුව අදාළ නිරීක්‍ෂණය තේරුම් ගැනීමට බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය වෙයි. මෙහි දී බටහිර විද්‍යාඥයන් ඒ ඊනියා තේරුම් ගැනීම කරනුයේ වියුක්ත කතන්දර ගෙතීමෙනි.

බටහිර විද්‍යාවේ වියුක්ත කතන්දර ගෙතීම ඇරඹුණේ කොපර්නිකස් හා ගැලීලියෝගෙන් පසුව ය. එය ශක්තිමත් ක්‍රමයක් බවට පත්කෙරුණේ නිවුටන් අතිනි. පොළොව ඉර වටා යෑම අපේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වේ. ලංකාවේ කිසිවකු තම දෑසින් පොළොව ඉර වටා යන බව නිරීක්‍ෂණය කර නැත. අඩුම තරමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බවවත් ලංකාවේ කිසිවකු විසින් නිරීක්‍ෂණය කෙරී ඇතැයි නො සිතමි. ඒ සියල්ල අප විශ්වාස කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබගත් දැනුමක් නිසා නොව අපට හා අපේ ගුරුවරුන්ට ද වැඩිහිටියන්ට ද බටහිරයන් සෘජුව හෝ වක්‍රව හෝ කියා දී ඇති බැවිනි.

කොපර්නිකස්ට පෙර භාරතයේ ජීවත් වූවෝ පොළොව ඉර වටා ගමන්කරන බව දැනසිටියෝ ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‍ෂයක් විය. ඒ ප්‍රත්‍යක්‍ෂය ආධ්‍යාත්මික ව ලබාගත්තකි. භාවනාවෙන් යෝගී අභ්‍යාසවලින් ආදී වශයෙන් මේ රටවල සිටි පඬිවරුන්ට ඒ දැනුම ලබාගත හැකි විය. එහෙත් මේ දැනුම පළමුව නැගෙනහිර යුරෝපයටත්, දෙවැනුව දකුනු යුරෝපයටත් ගිය විට එහි වැසියන්ට (බුද්ධිමතුන්ට) එය ආධ්‍යාත්මික ව ලබාගැනීමට නොහැකි විය.  ඔවුන්ට එය මනසෙන් ග්‍රහණය කරගත හැක්කක් නො විය. ඔවුන්ට එය වියුක්ත කතන්දරයක් පමණක් විය. ඒ කතන්දරය ඔවුන්ට සුර්යග්‍රහණ ඇතුළු ග්‍රහණ ආදිය තේරුම් ගැනීමට යොදාගත හැකි විය.

මෙය එක් සංස්කෘතියක ඇති දැනුමක් තවත් සංස්කෘතියකට අවශෝෂණය කෙරෙන්නේ කෙසේ ද යන්න දැනගැනීමේ දී ද වැදගත් වෙයි. පොළොව සූර්යයා වටා යන්නේ ය යන දැනුම භාරතයේ ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමක් විය. එය ඇතැම් පඬිවරුන්ට ප්‍රත්‍යක්‍ෂ දැනුමක් විය. ඒ සංස්කෘතියේ විඤ්ඤූන් වූ එම පඬිවරුන්ගෙන් ලබාගත් දැනුම අනෙක් අයට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත නොහැකි වුවත් විඤ්ඤූන්ගෙන් ලබගත් විශ්වාස කටයුතු දැනුමක් විය.

එහෙත් බටහිර පඬිවරුන් ඒ දැනුම ලබගත්තේ වියුක්ත කතන්දරයක් ලෙස ය. බටහිර සංස්කෘතියෙහි ඒ දැනුම ආධ්‍යාත්මික ව ලබාගත හැකි පඬිවරු නො සිටියහ. එහෙත් එම සංස්කෘතියෙහි භාරතයෙහි තිබුණාට වඩා වියුක්ත චින්තනයක් විය. බටහිර පඬිවරු භාරතීයයන්ගේ ආධ්‍යාත්මික දැනුම තම සංස්කෘතියට අවශෝෂණය කරගත්තේ තම සංස්කෘතියට සාපේක්‍ෂව වියුක්ත දැනුමක් ලෙස ය. ඔවුන්ට එය උද්ගමනයක් ද විය. පොළොව ඉර වටා යෑම සියළු කාලයට ම නිරීක්‍ෂණය කළ නොහැකි වත ඔවුහු පරිමිත නිරීක්‍ෂණ යම් ප්‍රමාණයක් සියළු කාලයට ම සාධාරණ වූ දැනුමක් බවට පත්කර ගත්හ.       

අද අපි බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වූ බටහිර විද්‍යාව අපේ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට අනුකරණය කරන්නෙමු. ඒ අනුකරණය හේතුවෙන් මෙරට බිහිවන්නේ අනුකාරක බටහිර විද්‍යාඥයන් පිරිසක් පමණකි. ඔවුන්ට ආචාර්ය උපාධියක් ලබාගත හැකි වුවත් විද්‍යාවේ මධ්‍යයෙහි දැනුම නිර්මාණය කළ නො හැකි ය. මෙරටින් හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහි නොවන්නේ එබැවිනි. වියුක්ත චින්තනයක් නොමැති අපේ සංස්කෘතියෙහි බටහිර විද්‍යාව ජනප්‍රිය කළ නො හැකි ය. එය ඉතා සුළුවෙන් වියුක්ත ව සිතිය හැකි පඬියන් කිහිප දෙනකු හා බටහිර දැනුමෙන් සිහි විකල්කර ගෙන ඇති අනුකාරකයන් කිහිප දෙනකු අතර පමණක් ජනප්‍රිය වෙයි.

එහෙත් බුදුදහම එසේ නො වේ. සිදුහත් කුමරු කොහේ උපන්නත් එතුමා ඉප දී ඇත්තේ වෛදික සමාජයක නො වේ. වෛදික සමාජයක උපත ලැබුවේ නම් බමුණන්ගේ තරමක වියුක්ත දැනුමෙහි හා විශ්ලේෂණයෙහි කොටු වී එතුමාට බුද්ධත්වය ලබාගැනීමට නොහැකි වනු ඇත. සිදුහත් කුමරු ඉපදීමට පෙර පස්මහ බැලුම් බලා ඇත්තේ බුදුවීමට සුදසු සංස්කෘතියක උපත ලැබීමට ය. සිදුහත් කුමරු ඇස්කිමෝවරයකු ලෙස උපත ලැබීනම් බුදුවීමට නොහැකි වනු ඇත.

මහින්දාගමනයට පෙර මෙරට හෙළ බෞද්ධයන් සිටි බව අපි කීවෙමු. මේ අයට බෞද්ධයන් වීමට හැකි වී ඇත්තේ ඔවුන්ගේ සංස්කෘතියෙහි බුදුදහම බිහිවුවත් නැතත් එම සංස්කෘතිය බුදුදහමට තෝතැන්නක් වූ බැවිනි. මහින්දාගමනයෙන් පසුව හෙළ බෞද්ධ චින්තනයෙහි වෙනසක් සිදු වී නැත. සිදුව ඇත්තේ ක්‍රමයෙන් හෙළ බෞද්ධයන් සිංහල බෞද්ධයන් බවට පත්වීම ය. මිහිඳු හිමියන් ඇසූ ප්‍රශ්නවලට කිසිදු ආයාසයකින් තොරව පිලිතුරු දීමට දේවානම්පිය තිස්ස රජුට හැකිවීීමෙන් පෙන්නුම් කරන්නේ මෙරට සංස්කෘතිය මහින්දාගමනයට පෙර සිට ම බුදුදහම පිලිගැනීමට සූදානමින් සිටි බව ය.

බුදුදහම මෙරට ප්‍රචලිත වීමටත් ජනප්‍රියවීමටත් හේතුව රාජ්‍ය අනුග්‍රහයවත් වෙනත් කරුණක්වත් නොව මෙරට සංස්කෘතිය, එනම් හෙළයන්ගේ සංස්කෘතිය බුදුදහමෙහි පදනම් සංස්කෘතිය ම හෝ එයට ඉතාමත් සමීප සංස්කෘතියක් වීම ය. රාජ්‍ය අනුග්‍රහ සහිත ව වුවත් බටහිර විද්‍යාව මෙරට ජනප්‍රිය නොවන්නේත් මුල්බැස නොගන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතිය බටහිර විද්‍යාව නිර්මාණය වන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඉතා දුරස්ථව පිහිටි නිසා ය.

භාරතයෙන් බුදුදහම නැතිවී යැමට මුස්ලිම් ආක්‍රමණය ආදිය හේතු වී ඇති නමුත් වෛදික සංස්කෘතිය බුදුදහමේ සංස්කෘතියට ආගන්තුක වීම වඩා වැදගත් හේතුව වී යැයි සිතිය හැකි ය. මුස්ලිම් ආක්‍රමණය හේතුවෙන් වෛදික සංස්කෘතිය හා හින්දු ආගම නැති නො වී ය. මුස්ලිම් ආක්‍රමණයට වෛදික සංස්කෘතිය හා හින්දු ආගම අතුගා දැමීමට නොහැකි විය. එයට හේතුව භාරතය යනු වෛදික සංස්කෘතියෙහි නිජභූමිය වීම ය. එහෙත් මුස්ලිම් ආක්‍රමණයට බුදුදහම භාරතයෙන් පහසුවෙන් ම අතුගා දැමීමට හැකි විය.

හින්දු ආගම භාරතයේ කෙතරම් මුල්බැසගෙන තිබේ ද යන්න සික් ආගමෙන් පැහැදිලි වෙයි. සික් ආගම යනු අන් කිසිවක් නොව ඉස්ලාම් ආගම වෛදික සංස්කෘතිය තුළට ගැනීමේ ප්‍රතිඵලයකි. අඩු තරමෙන් භාරතයේ එක් ප්‍රදේශයක ඉස්ලාම් ආගම තම සංස්කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට වෛදිකයන්ට හැකි විය. එහෙත් බුදුදහම භාරතයෙන් අතුගෑවී ගියේ ය. මුස්ලිම් ආක්‍රමණය එසේ අතුගෑවී යෑමට හේතුවක් වී ඇති නමුත් එය එකම හේතුව ලෙස සැලකිය නො හැකි ය. බෞද්ධ සංස්කෘතිය වෛදික භාරතයට ආගන්තුක විය.

මුස්ලිම් සංස්කෘතිය ද යම් ප්‍රමාණයකට භාරතයේ මුල් බැස ගෙන ඇත. අප සිතන තරම් මුස්ලිම් සංස්කෘතිය භාරතීය වෛදික සංස්කෘතියෙන් ඈත් නො වේ. සංස්කෘති දෙකෙහි ම ලෝක නිර්මාණයක් හා නිර්මාපකයෝ වෙති. සංස්කෘති දෙකම ආත්මවාදී වෙයි. ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ද ඒ දැකිය හැකි නමුත් සමස්තය දක්නට නැත. ඇතැම් විට සාමූහිකත්වය අගයන කතෝලික සංස්කෘතිය භාරතයේ ද මුල් බැස ගැනීමට තිබිණි.

එහෙත් බුදුදහම ලෝක නිර්මාණයක් ප්‍රතික්‍ෂෙප කරයි. එහි නිර්මාපකයකු නැත. විශ්ලේෂණයක් ද කිඳා බැස නැත. තුන්වැනි සංගායනාවෙන් පසු විශ්ලේෂණයක් (විභජ්ජවාදයක්) එකතු වුණ ද එය එතරම් ජනතාව අතරට නො ගියේ ය. තුන්වැනි සංගායනාවේ විභජ්ජවාදයට එරෙහි ව ක්‍රියාකර ඒ පරාජය කිරීමට වෛදික බමුණෝ වැඩිකල් නොගොස් ම සමත්වූහ. බුදුදහම භාරතයේ ප්‍රචලිත වූයේ ධර්මාශෝක රජු දවස හා ඉන් පසුව ටික කලකට ය. අශෝක රජුට පෙර භාරතයේ කිසිම පෙදෙසක බුදුදහම මුල් බැසගෙන තිබූ බවක් කිව නො හැකි ය.

අශෝක සමයේ හා ඉන් පසුව භාරතයේ බුදුදහම පැතිර ගියේ රාජ්‍යානුග්‍රහයෙන් බව පැහැදිලි ය. එමෙන් ම පසු කලෙක මහායාන බුදුදහම පැතිරීමට ද රාජ්‍යානුග්‍රහය හේතු විය. රාජ්‍යානුග්‍රහය නැති වූ විට බුදුදහමට හා බෞද්ධ සංස්කෘතියට භාරතයේ වැදගත් තැනක් හිමි නොවූ බව කිව හැකි ය. මෙය ඉතා වැදගත් කරුණක් වෙයි. එහෙත් ලංකාවේ බුදුදහම ප්‍රචලිත වූයේ රාජ්‍යානුග්‍රහයක් නොමැතිව ය. බුදුදුහම මෙරට සංස්කෘතිය, එනම් හෙළ සංස්කෘතිය සමග ගහට පොත්ත මෙන් බැඳිණි. පසු කලෙක අග්නිදිග ආසියාවට බුදුදහම පැතිරී ගියේ ද ලංකාවෙනි. ආගමකින් සංස්කෘතියක් වෙනස් කළ හැකි ය. එහෙත් ආගමක් බිහිවන්නේ ම එයට අදාළ සංස්කෘතියක ය.

2013-06-12


නලින් ද සිල්වා