Main Logo

Showing posts with label ඉන්දියාව. Show all posts
Showing posts with label ඉන්දියාව. Show all posts

Monday, 8 April 2013

වගකිව යුත්තේ කවු ද?

ඉතා පැහැදිලිව ම ප්‍රශ්නය අසම්පූර්ණය. වගකිව යුත්තේ කුමකට ද යන්න එහි සඳහන් නො වේ. ඉන්දියාවේ දී භික්‍ෂූන් වහන්සේට පහරදීම, මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෙන්නායිහි ක්‍රීඩා කිරීමට බාධක ඇතිවීම, ජෙනීවාහි දී ශ්‍රී ලංකා විරෝධී ඇමරිකන් යෝජනාව සම්මතවීම, හලාල් සහතිකය නිකුත්කිරීම, තවමත් ආසනික් අඩංගු කෘෂිරසායන රටට ගෙන්වීම, කෞතුකාගාරයෙහි තරප්පු පෙළක් කඩා වැටීම, මත්තල ගුවන් තොටුපළට ගුවන්යානා තවමත් නොපැමිණීම, මත්තල තිබෙන්නේ කොහේ දැයි බෑං කි මූන්, ඔබාමා, නවී පිල්ලෙයි ආදීන් නොදැනීම, තමිල්නාඩුවේ කරුණානිධි හා ජයලලිතා අතර ගැටුම ආදී ප්‍රශ්න රාශියකට වගකිව යුත්තේ කවු ද? මත්තල ගැන පිත්තල කතා කියන රනිල් වික්‍රමසිංහ, ඔහු සමග නායකත්ව ප්‍රශ්නයක් ඇදගෙන ඇති සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර, අනුර කුමාර, ලාල්කාන්ත, ටිල්වින් සිල්වා ආදීන් පමණක් නොව ආණ්ඩුවේ ම ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ කියන ආකාරයට නම් ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව ය. පසුව කී පක්‍ෂ සියළු ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව යැයි නො කියයි. එහෙත් ඔවුන්ට අනුව ද ඇතැම් ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව ය. ඔවුහු නායකයන් ලවා ඒ බව නොකියවා විවිධ පුද්ගලයන් හා සංවිධාන මගින් මාධ්‍ය සාකච්ඡා ඔස්සේ තම මත ප්‍රකාශ කරති. මේ එක් අයකුවත් ජනතා දේශපාලනයෙහි නො යෙදීම අරුමයක් නො වේ. ඔවුන්ට ඒ සඳහා ජන පදනමක් නැත. ඔවුන් ජනතා දේශපාලනය වෙනුවට මාධ්‍ය දේශපාලනය තෝරාගෙන ඇත්තේ එබැවිනි. අද ජනතා දේශපාලනයෙහි යෙදෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය හැකි ය. ඒ මහතා ද මාධ්‍ය දේශපාලනයෙහි නියැදෙයි. එහෙත් ඒ මහතාගේ දේශපාලනය එයට පමණක් සීමා වී නැත. රනිල් වික්‍රමසිංහ කොළඹ හෝ වෙනත් නගරයක හෝ සිට මත්තල ගැන කතාකිරීම මහින්ද රාජපක්‍ෂ මහතාට ප්‍රශ්නයක් නො වේ. අද ජාතික ව්‍යාපාරයට ද ශක්තියක් නැත. කලකට පෙර ජාතික ව්‍යාපාරයට තිබූ ශක්තිය ඇතැම් බලලෝභී දේශපාලන පක්‍ෂ විසින් නැති කෙරී තමන් ශක්තිමත් වීමට දැරූ උත්සාහය නතර වූයේ ඒ ශක්තිය හා ජාතික ව්‍යාපාරය ද මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත්කිරීමෙනි.

ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ ද බටහිර නූතන බ්‍රාහ්මණයෝ ද සිංහලයන්ට විරුද්ධ වෙති. හලාල් අප මත බලහත්කාරයෙන් පැටවීමට තැත්කළ ද ජෙනීවාහි දී අමෙරිකන් යෝජනාවට ප්‍රධාන වශයෙන් කණ්ඩායමක් ලෙස මෙන් විරුද්ධ වූයේ මුස්ලිම් රටවල් ය. කිනම් හේතුවක් නිසා එසේ කළ ද අපේ කෘතඥතාව ඔවුන්ට හිමිවිය යුතු ය. බටහිරයන් සමග බොහෝ කලක සිට එකට කටයුතු කරන ඉන්දියාව අද ආසියාවේ තනි වී ඇත. රජිව් ගාන්ධි අපට පරිප්පු බෝම්බ හෙළුෑ අවධියේත් ඔහු ඇමරිකාව සමග එකට කටයුතු කළේ ය. ඇතැමුන්ට ඒ බව අදත් අවබෝධ නො වේ. සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු ඊනියා තුන්වැනි ලෝකය ද ඒ සමග කඩා වැටුණු බව ඇතැම් දේශපාලන විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට නොතේරෙයි. එයට හේතුව බටහිරයන් ඒ බව කියා නොතිබීම ය. ඉන්දියාව තම පැවැත්ම සඳහාත් ඊනියා කලාපීය බලවතා වීම සඳහාත් ඇමරිකාව සමග එකට කටයුතු කළේ ය. ඇතැමුන් හිතන්නේ එදා බටහිර කුමන්ත්‍රණයක් තිබූ බවත් ඉන්දියාව එහි දී ප්‍රතිකුමන්ත්‍රණයක් නිර්මාණය කළ බවත් ය. එහෙත් ඒ ප්‍රතිකුමන්ත්‍රණයක් නොවන බවත් මෙහි කිසිම කුමන්ත්‍රණයක් නැති බවත් දේශපාලන බල තුලනය අනුව යම් යම් දේ සිදුවන බවත් සතිපතා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නන්ට නො තේරෙයි. වරක් ඉන්දියාවට බැණ වදින මොවුහු තවත් වරෙක ඉන්දියාව අපේ ලොකු අයියා යැයි ද ලොකු අයියා අප හදාගැනීමට ටොකු අණින්නේ යැයි ද පවසති. පසුගිය දා පුවත්පත්වල පළ වූ කරුණුවලට අනුව ඇත්තේ ඉන්දියාවේ ඊනියා ප්‍රතිකුමන්තුණයක් නොව ඇමරිකාව සමග වූ ඒකාබද්ධ කුමන්ත්‍රණයකි. මෙවැනි අසංගත ප්‍රකාශ කරන්නන් සමග කිනම් ජාතික ව්‍යාපාරයක් ද? ඊනියා ප්‍රතිකුමන්ත්‍රණය ඒකාබද්ධ කුමන්ත්‍රණයක් බවට පත්වූයේ කිනම් දේශපාලන හේතු මත ද? ඉන්දිරා ගාන්ධි කොටින්ට උදවු කළේ ඊනියා ප්‍රතිකුමන්ත්‍රණයක් ලෙස නො වේ. ඒ සිංහල බෞද්ධ විරෝධී බ්‍රාහ්මණ දේශපාලනය ය. බමුණෝ ජේ ආර් ගේ කියුම් කෙරුම් මගින් තම දේශපාලනය වසංකළහ.

අද කළ යුත්තේ ඉන්දියාව තව තවත් ආසියාවේ තනිකර බ්‍රාහ්මණ දේශපාලනය ඉන්දියාවෙන් පළවා හැරීමට කටයුතු කිරීම ය. අප තමිල්නාඩු කොලොප්පම ද (දෙමළ වචනයකි) ඒ සඳහා යොදාගත යුතු ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ බ්‍රාහ්මණ නොවන දේශපාලනඥයන් සමග සම්බන්ධකම් ඇතිකර ගත යුතු ය. අප අමතක නොකළ යුතු කරුණ නම් නේරු පවුල ද රෝ සංවිධානය ද ඉන්දියාවේ පරිපාලනය ද බ්‍රාහ්මණ බව ය. ඉන්දියාව නිදහසෙන් පසුව පාලනය වනුයේ බ්‍රාහ්මණයන්ට අවශ්‍ය අන්දමට ය. ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ ද බටහිර බ්‍රාහ්මණයෝ ද සිංහල බෞද්ධයනට එරෙහිව කලකට පෙර අත්වැල් බැඳගත්තෝ ය. සොල්හයිම්ලා නිතර දෙවේලේ ඉන්දියාවට ආවේ ගියේ ඇතැමුන් ඉන්දියාව ලොකු අයියා ලෙස සලකමින් ඉන්දියන් මහාකොමසාරිස්වරියන් හමුවීමට යන කාලයේ දී ය. දේශපාලනය කුමන්ත්‍රණ ලෙස දකින්නන්ට තේරෙන දේශපාලනයක් නැත. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් හා බර්ලින් තාප්පය කඩාවැටීමෙන් පසුව ලෝක දේශපාලනය ගමන්ගන්නා මාවත ගැන මෙන් ම දෙමළ ජාතිවාදය ගැන ද මනා අවබෝධයක් නොමැතිව අයට කළ හැක්කේ සියල්ලට ම වගකිව යුත්තේ ආණ්ඩුව බව පැවසීම හෝ ඊනියා කුමන්ත්‍රණ, ප්‍රතිකුමන්ත්‍රණ, ඒකාබද්ධ කුමන්ත්‍රණ ගැන හිතළු කියවීම පමණ ය.

අද ලෝකයේ, එනම් බර්ලින් තාප්පය කඩාවැටීමෙන් පසු, බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට ප්‍රශ්න වී ඇත්තේ මුස්ලිම් චින්තනය හා ථෙරවාදී බෞද්ධ චින්තනය ය. ථෙරවාදී රටවලට විශාල හමුදා ශක්තියක් නැතත් මානව හා පරිසර හිතකාමී චින්තනයක් ඇත. බටහිර විනාශකාරී චින්තනයට විකල්පයක් විය හැක්කේ ඒ චින්තනයට පමණකි. ථෙරවාදී රටවල්වලට එතරම් හමුදා ශක්තියක් නැතත් ලංකාව, තායිලන්තය, මියන්මාරය, කම්පූචියාව ද ථෙරවාදයට සමීප වියට්නාමය ද විදේශීය ආක්‍රමණවලට ඉතා ප්‍රශංසනීය ව මුහුණ දී ඇත. පඬියන් ඔවුන්ගේ බුදුදහමක මුවාවෙන් සිංහල බෞද්ධයන් දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළැක්වීමට කටයුතු කළ ද අපේ රණවිරුවෝ නොසැලෙන දේශපාලන නායකත්වයක් යටතේ ප්‍රභාකරන් පැරදවූහ. සිංහල බෞද්ධයන් වෙනත් සිංහලයන්ගේ ද ඇතැම් මුස්ලිමුන්ගේ ද, දෙමළ කිහිප දෙනකුගේ ද ආධාරය ඇතිව පැරදවූයේ ප්‍රභාකරන් පමණක් නො වේ. සිංහල බෞද්ධයෝ ඉන්දියන් බමුණන් ද බටහිර බමුණන් ද පැරදවූහ. ඒ ඓතිහාසික ජයග්‍රහණය බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආධාරයෙන් ලබාගත් එකක් බවට මතයක් ඇතිකිරීමට ඇතැම් පඬියන් කටයුතු කරනු පෙනෙන්නට ඇත. මේ කුලීකාර පඬියන් බටහිරයන් හා ඉන්දියාව වෙනුවෙන් කරන මේ උත්සාහය ලත් තැන ම ලොප් කළ යුතු ය. අප ජයග්‍රහණය කළේ අපේ ශක්තියෙන් බටහිර හා ඉන්දියාව අපට විරුද්ධව ක්‍රියා කරද්දී ය. ප්‍රභාකරන් ගෙන යෑමට නම්බියාර් වැන්නන් නැව් හා ගුවන් යානා ගෙන්වා ගැනීමට කටයුතු කළ ආකාරය අප කිසි දිනෙක අමතක නොකළ යුතු ය. අප හමුදාව විසින් පරාජය කරනු ලැබුයේ ප්‍රබල බටහිර හා ඉන්දීය ශක්තිය ය.

එය අප අද ඊයේ කළ දෙයක් නො වේ. දකුණු භාරතීය ද්‍රවිඩ ආක්‍රමණ රාශියකට මුහුණ දුන් අපි ඔවුන් පරාජය කළෙමු. අපි පෘතුගීසීනට, ලන්දේසීනට, ඉංගිරිසින්ට යටත් නො වීමු. අවසානයේ දී අප පරාජය වූයේ ඉංගිරිසින්ගේ දැනුමට ය. විශේෂයෙන් ම ඔවුන්ගේ කූට ගිවිසුම්වලට ය. 1815 දී ඩොයිලි පරාජය කිරීමට තරම් දැනුූමක් අපට නො වී ය. අපි ඉංගිරිසි ගැටයට හසු වී ගිවිසුමකින් ඔවුන්ට රට භාර කළෙමු. ඉන්පසු මෑතක දී කුප්‍රසිද්ධ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දීය බ්‍රාහ්මණ ගැටයකට හසුවීමු. දහතුන් වැනි සංශෝධනය ද එහි ප්‍රතිඵලයක් විය. සටන් කිරීමේහි ලා අප පැරදවීමට සමතකු නැත. විවිධ පඬියන් අප කොටින්ට විරුද්ධව හමුදා ක්‍රියා මාර්ග නොගෙන ඊනියා සාම සාකච්ඡා සඳහා මෙහෙයවූයේ බටහිරයන්ට අවශ්‍ය වූයේ අප ඊනියා සාම ගිවිසුමකින් බැඳ තැබීම හේතුකොටගෙන ය. එහෙත් අපි කෙසේ නමුත් හමුදා ක්‍රියා මාරගවලට යොමු වූයෙමු. එහෙත් ඉන්දිය හා බටහිර බමුණන් තම අරමුණ නැතිකරගෙන නැති බව පැහැදිලි ය. බටහිරයන් හා ඉන්දියාව ජෙනීවාහි දී ක්‍රියාකරන්නේ නැවතත් අප ගිවිසුම්වලින් බැඳ තැබීමට ය. ජෙනීවා මානව හිමිකම් සමුළුව අපි ප්‍රතික්‍ෂෙප කරමු. එහි පළමු පියවරක් ලෙස නවී පිල්ලෙයිගේ (ඇතැම් විට වෙල්ලාල) හිතුවක්කාර ක්‍රියාවලට අප්‍රසාදය පළකරන යෝජනාවක් මෙරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු ය. අපි ජෙනීවා යෝජනා ප්‍රතික්‍ෂෙප කරමු.

කොටින්ට එරෙහිව කරන ලද මෙහෙයුම්වල දී බටහිර හා ඉන්දීය බලපෑම්වලට ඉන්ද්‍රඛීලයක් සේ මුහුණදුන් මහින්ද රාජපක්‍ෂ මහතාට ඊනියා මානව හිමිකම් පිළිබඳ ව්‍යාජ චෝදනාවලට මුහුණ දීම ප්‍රශ්නයක් නො වේ. බටහිරයන් ඉදිරිපත් කරන ව්‍යාජ වීඩියෝ පිළිබඳ අප සැලකිල්ල යොමුකළ යුතු නො වේ. ඔවුන්ගේ යෝජනා සතපහකටවත් මායිම් කළ යුතු නො වේ. මෙරට සංස්කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති රනිල්ලාට දයාන්ලා ට තීරණ ගැනීමේ දී අප සවන් දිය යුතු නො වේ. ජෙනීවාහි දී අප රටට වූ අපකීර්තියක් නැත. බටහිරට හා ඉන්දියාවට නොබියව මුහුණ දීමෙන් ඔවුන්ට ගැති නැති රටවල් අතර අපට අත්වනු ඇත්තේ කීර්තියකි. ලෝකයේ යටත්විජිත විරෝධී නායකයන් අතර සුවිශේෂ තත්වයක් මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවනු ඇත. අද අප කළ යුත්තේ පණතක් නොවූ දහතුන්වැනි සංශෝධනය හා පළාත්සභා අහෝසිකිරීම පිළිබඳ පියවර ගැනීම ය. උගත් පාඩම් හා සන්හිඳියා කොමිසම ආණ්ඩුවෙන් පත්කළ ද එහි යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැත. ඇතැම්විට ඒ ක්‍රියාත්මක කරන්නේ යැයි ආණ්ඩුව පොරොන්දුවන්නට ඇත. එහෙත් අද එයට විරුද්ධව ප්‍රබල ජනමතයක් ගොඩ නැගී ඇත. එබැවින් ආණ්ඩුව පොරොන්දුවක් දී තිබුණ ද ජනමතයට කන් දී ඒ පොරොන්දු අස්කර ගත හැකි ය. ආණ්ඩුව සවන්දිය යුත්තේ රටවැසියාට මිස ජෙනීවා කොමිසමට හෝ ඔබාමාට හෝ නවී පිල්ලෙයිට හෝ නො වේ. තමිල්නාඩුවේ චෝලයන්ට එරෙහිව අනෙක් ප්‍රාන්ත සමග ආණ්ඩුව පැරණි රජවරුන් ක්‍රියාකළ ආකාරයට කටයුතු කළ යුතු ය.

Saturday, 22 September 2012

ජයලලිතාගේ ඉලක්කය

ජයලලිතා තරුණ කල සිනමා නිළියක වූවා ය. එහෙත් අද ඇය චිත්‍රපටිවල රඟපෑමක් නො කරයි. කෙසේ වුව ද ගැහැණු පිරිමි භේදයකින් තොරව දේශපාලනඥයෝ ද නළු නිළියෝ වෙති. නළු නිළියන්ට දේශපාලනඥයන් වීම හෝ දේශපාලනඥයන්ට නළු නිළියන් වීම හෝ ප්‍රශ්නයක් නො වේ. ඒ කෙසේ වුවත් අද ජයලලිතා කරන්නේ කුමක් ද යන්න වැදගත් ප්‍රශ්නයක් වෙයි. ජයලලිතා යනු ඉන්දියාවේ අගමැතිනිය නො වේ. ඇය සෝනියා ගාන්ධි ද නො වේ. ඇය තමිල්නාඩුවේ මහ ඇමතිනිය පමණක් වෙයි. එහෙත් ඇය එයින් සෑහීමකට පත්වීමට අකමැති බව පැහැදිලි ය. ඇයගේ කැමැත්ත තමිල්නාඩුවේ අගමැතිනිය වීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඇයට තමිල්නාඩුවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය ය. ඒ අතින් ඇය කරුණානිධිගෙන් වෙනස් වෙයි. කරුණානිධි ද ලංකාවේ දෙමළ ජාතිවාදීන්ට ආධාර කළමුත්, කරනමුත් ඔහුට තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය නො වේ. තමිල්නාඩුවට ඉන්දියාවෙන් වෙන්වීමට නොහැකි බව කරුණානිධි දනියි. එහෙත් ජයලලිතාගේ සිහිනවලට සීමාවක් නැත.

පසුගිය දා ඉන්දියාවේ සිදුවූයේ ලංකාවට විරුද්ධ දේටත් වඩා ඉන්දියාවට විරුද්ධ දේ ය. එහි දී ඒ සියල්ල කෙරුණේ ජයලලිතාගේ අවශ්‍යතාවට ය. ඇය අපේ හමුදාවේ දෙදෙනකුට හමුදා පුහුණුව නොදී ආපසු යැවිය යුතු යැයි ප්‍රකාශයක් කළා ය. එහෙත් ඉන්දියාවේ පුවත්පත්වලට අනුව එය අපේ හමුදාවේ දෙදෙනකුට දුන් පුහුණුවක් නො වේ. වෙනත් රටවලින් ද ඉන්දියාවට ගොස් සිටි ඒ ඒ රටවල හමුදා සෙබළුන් සමග ලංකාවෙන් ගිය අය ද පුහුණුවකට සහභාගි වී ඇත. ඉන්දියාවේ පුවත්පත් පැවසූ ආකාරයට ලංකාවේ හමුදාවෙන් එහි ගිය අයට තුවක්කු පාවිච්චි කරන්නේ කෙසේ දැයි ඉගැන්වීමේ අවශ්‍යතාවක් ඉන්දියාවට නො වී ය. එහෙත් ජයලලිතා එය තම ඉලක්කය කරා යෑමට යොදා ගත්තා ය. ලංකාවේ ද ඉන්දියාවේ ද වෙනත් බොහෝ ආසියාතික රටවල ද විපක්‍ෂ දේශපාලනඥයන් ක්‍රියාකරන්නේ එකම ආකාරයට ය. ඔවුහු ඉතා නග්නව බලයට පත්වීමට උත්සාහ කරති. ජයලලිතා තමිල්නාඩුවේ මහ ඇමතිනිය වුව ද ඇයගේ ඉලක්කය අනුව හා ඉන්දියාව සමස්තයක් ලෙස ගත්කල විපක්‍ෂ දේශපාලනඥියකි. බටහිර රටවල විපක්‍ෂ දේශපාලනඥයන් හා හිතවතුන් ක්‍රියාකරන්නේ සියුම්ව ය. එහෙත් අපේ රටවල එසේ නො වේ. පසුගිය දා ගුරු සේවයේ කිසිම වගකීමක් නැති වෘත්තීය සමිතියක් පහේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණය අවලංගු කිරීමට උද්ඝෝෂණය කළේ ප්‍රශ්න පත්‍රයක් පිට වී ඇතැයි කියමිනි. එය හුදෙක් ආණ්ඩුවට පහර දීමක් විය. ප්‍රශ්න පත්‍ර පිටවීම බොරු්වක් බව පැහැදිලි ය. ඉසෙඩ් ලකුණු අවුල ඇති කළේ ද ගුරු සංගමයක් හා තටිල් මහතා ය. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා දුන් තීන්දුව තටිල් ක්‍රමයට පටහැණි ය. එහෙත් ඒ බව කීමට එදා කෑ ගැසූ කිසවෙක් ඉදිරිපත් නො වෙති. විපක්‍ෂය හා විපක්‍ෂයට හිතවත් සංවිධාන ක්‍රියා කරන්නේ එසේ ය. සරසවි ඇදුරන්ගේ ඊනියා 6% ද ව්‍යාජයක් පමණ ය. එය කාගේ යෝජනාවක් ලෙස පසුගිය වසරේ දී වෘත්තීය සමිති අරගලය අරඹා කලක් ගතවීමෙන් පසුව ඉල්ලීම්වලට එක්වුණ ද අද ඒ වටා ආණ්ඩු විරෝධීන් එකතු කිරීමට ජ වි පෙ හා එ ජා ප උත්සාහ දරයි. වකුගඩු රෝගය ද අද දේශපාලන පක්‍ෂ විසින් දේශපාලන අරමුණු සඳහා යොදාගනු දැකිය හැකි ය. අප මනුෂ්‍ය නොවන බලවේග මගින් රෝගයට හේතුව ආසනික් බව කියද්දී මේ කොයි කවුරුත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක හිර වී අපට සිනහසුනහ. අප ඒ ප්‍රශ්නය ඉදිරිපත්කර ඒ සඳහා ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන තෙක් මේ අය සිටියේ කොහේ ද? අද ද ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක බටහිර වෛද්‍ය ක්‍රමයෙන් රෝගයට ප්‍රතිකාරයක් දිය හැකි නො වේ. ’

ජයලලිතා තමිල්නාඩුවට ගොස් සිටි පාපන්දු කණ්ඩායමක් ආපසු ලංකාවට එවුවා ය. ජාතික හෝ වෙනත් ආකාරයකින් හෝ විශාල වැදගත් කමක් ඇති කණ්ඩායමක් නොවූ තරුණ පාපන්දු ක්‍රීඩකයන් පිරිසකට වැදගත් කමක් දීමට ජයලලිතාට එමගින් හැකිවිය. ඉන්දීය පුවත්පත්වලට අනුව ජයලලිතාගේ ක්‍රියාව නොවන්නට ඒ කණ්ඩායම ඉන්දියාවට පැමිණි බවවත් ඉතා වැඩි පිරිසක් නොදැන සිටීමට ඉඩ තිබිණි. ඉන්පසු යාඥා කිරීම සඳහා ලාංකික කිතුණු බැතිමතුන් පිරිසක් තමිල්නාඩුවේ වේලන්කන්නි පල්ලියට ගිය අවස්ථාවේ කොටි හිතවාදීන් යැයි කියාගන්නවුන් පිරිසක් ඔවුන්ට හිරිහැර කර තිබිණි. ලාංකික කතෝලික බැතිමතුන්ට තාන්ජාවුර්හි පූණ්ඩිමාතා පල්ලියට ගිය අවස්ථාවේ දී ද ඊනියා කොටි හිතවාදීන්ගේ තර්ජනවලට මුහුන පෑමට සිදු වී ඇත. යාඥාකරුවන් ත්‍රිචි ගුවන් තොටුපළට විශේෂ බස්රියවලින් ගමන් ගනිද්දී ද බස්වලට පහර දී ඇත. ඉන්දීය පුවත්පත්වලට අනුව යම් සන්දර්ශනයකට සහභාගි වීමට තමිල්නාඩුවේ පාසලකට ගිය ලාංකික කතෝලික ශිෂ්‍ය කණ්ඩායමකට එයට සහභාගි වීම තහනම් කෙරී ඇත. මේ එකක්වත් ජයලලිතා නොදැනුවත් ව සිදු වූ දේ නො වේ. එහෙත් ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් දැනුවත් ව සිටියේ යැයි කීමට නො හැකි ය. කෙසේ වුවත් ඉන්දීය රජය තමිල්නාඩුව සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් නො ගැනීම නම් විවේචනය කළ යුතු ය. ලංකාවෙන් ඉන්දියාවට යෑමට වීසා දෙන්නේ ඉන්දීය රජය මිස තමිල්නාඩුව වැනි ප්‍රාන්තවල ආණ්ඩු නො වේ. ඉන්දියාව වීසා දීමේ දී අදාළ ගමන් බලපත්‍රය හිමියාගේ ආරක්‍ෂාව ගැන ද අවශ්‍ය පරිදි පියවර ගැනීමට බැඳී ඇත. එහෙත් තමිල්නාඩුවට ඇති බිය නිසා ම දෝ ඉන්දීය රජය ජයලලිතාට විරුද්ධව කිසිවක් කර නැත. මේ සියළු කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ඉන්දීය රජය කටයුතු කළ යුතු ය. ඉන්දියාවට ඇතුල් වීමට ඉන්දීය රජයෙන් වීසා ලබා ඇති අයකුට එරටට ඇතුල් වීමට ඉඩ නොදීමට ජයලලිතාට ඇති අයිතිය කුමක් ද?

මේ ප්‍රශ්නයේ දී මෙරට විපක්‍ෂ දේශපාලන පක්‍ෂ හැසුරුණේ බලය ලබාගැනීමේ කෑදර කමින් මිස දේශප්‍රේමී මහඟු ක්‍රියාවක් සිදු කරන ආකාරයෙන් නො වේ. ඔවුහු ඒ සිද්ධි සම්බන්ධයෙන් ද මෙරට රජය විවේචනය කළහ. නන්නත්තාරගත වී ඇති එක් දේශපාලනඥයෙක් ද අළුත් නමකින් පැරණි පක්‍ෂයක් ලබාගෙන ව්‍යාජ ජාතිකත්වයක් ඇතිව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියට වරද පැටවීමේ නිවට උත්සාහයක නිරත විය. ජයලලිතා ඉලක්ක සපුරා ගැනීමට යන විට මෙරට ආණ්ඩුවට කළ හැක්කේ ඉවසීමෙන් කටයුතු කිරීම පමණ ය. මෙහි දී කතෝලික සභා නායකයෝ නියම තැනට ප්‍රශ්නය එල්ල නොකර අවශ්‍ය අයට ආණ්ඩුවට විරුද්ධ ව නිවට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී දියාරු ප්‍රකාශයක් නිකුත් කළහ. තමිල්නාඩුවේ තන්ජාවුර් ප්‍රදේශයේ දී අතවරයට ලක් වු ලාංකිකයෝ සියල්ලෝ ම පාහේ කතෝලිකයෝ වුහ. එහෙත් ඔවුන් වෙනුවෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට මායක පූජකවරු ඉදිරිපත් නො වූහ.

යාඥා කිරීිමට ගිය පිරිසට තර්ජනවලින් හා ගැරහුම්වලින් බේරී ඒමට අවස්ථාවක් සැපයීමට ඉන්දිය රජය ගත් පියවර කවරේ ද? මේ සිද්ධි පිටුපස ඉන්දීය රජය ඇතැයි අපි විශ්වාස නො කරමු. එහෙත් ඉන්දීය රජය ජයලලිතාට විරුද්ධව දැඩි පියවරක් නොගත්තේ ය. ඉන්දියාව කටින් මිස ක්‍රියාවෙන් අපේ මිතුරු රටක් නො වේ. කලකට පෙර කොටින්ට තමිල්නාඩුවේ ද වෙනත් ප්‍රදේශවල ද ආයුධ පුහුණුව ලබාදීමට කටයුතු කළේත් දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඉන්දු ලංකා ගිවිසුම අප මත බලයෙන් පැටවූයේත් පළාත් සභා බලහත්කාරයෙන් පිහිටවූයේත් ඉන්දීය රජය ය. ඉන්දියාව හා කරුණානිධි ලංකාව සම්බන්ධයෙන් ගත්කළ දෙමළ ජාතිවාදයට ආධාර කළ ද ඉන්දියාවේ දී දෙමළ ජාතිවාදයට පක්‍ෂපාත නැත. අද ජයලලිතා තැත්කරන්නේ ඉන්දියාවේ ද දෙමළ ජාතිවාදය පැතිරවීමට ය. එමගින් තමිල්නාඩුවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට ය. ලංකාවේ ඊළම පිහිටුවීමට ජයලලිතා ආධාර කරන්නේ ඒ මත පදනම් ව ලංකාවේ ඊළම හා තමිල්නාඩුව එක්කර ඇගේ මහා ඊළම පිහිටුවීමට ය. අද ඉන්දියාවට දිට්ඨධම්මවේදනීය කර්ම ඵලය පිළිබඳ සේයාවක් වැටී ඇත. ඉංගිරිසින් යටතේ තිබූ ඉන්දියාවේ මුල්ම බෙදුම්වාදී කණ්ඩායම ඇතිවූයේ දළ වශයෙන් ගත්කළ අද තමිල්නාඩුව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ය. දෙමළ බසේ ශ්‍රෙෂ්ඨත්වයක් ගැන කියමින් දෙමළ ජාතිවාදයක් ඉන්දියාවේ ඇතිකිරීමට මුල් වූවෝ එරට දෙමළ කතෝලික පූජකවරු ය. වෙන ම රාජ්‍යයක් ඇතිකිරීමේ වුවමනාව අද ද ජයලලිතා ඇතුළු ඇතැමුනට ඇත. නිසි වේලාව පැමිණියහොත් ඉන්දියාව පාවා දෙමින් බටහිරයන් ඉන්දියාවේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට පක්‍ෂ ව කටයුතු කරනු ඇත.

මේ සියල්ල හමුවේ අපේ රජයට කල්පනාකාරීව කටයුතු කිරීමට සිදුවෙයි. ජයලලිතාගේ ඉලක්කය කුමක් වුවත් කරුණානිධි ද ලංකාවේ දෙමළ ජාතිවාදයට ආධාර දුන්නත්, කේරළය කර්නාටක ආන්දූ ප්‍රදේශ් යන ද්‍රවිඩ ප්‍රාන්තවල ජනතාව දෙමළ ජාතිවාදයට විරුද්ධ වෙති. පුරාණයේ අප රැකී සිටිමට ප්‍රධාන හේතුවක් වූයේ සිංහල රජවරුන් චේර හා පාණ්ඩ්‍යයන් සමග පැවැත්වූ සබඳතාව ය. අද ද අප උපක්‍රමශීලීව කේරළ කර්ණාටක හා ආන්ද්‍ර ප්‍රදේශ් සමග ද මහාරාෂ්ට්‍රය ද බිහාර් වැනි බෞද්ධයනට වැදගත් වූ ප්‍රාන්ත සමග ද සම්බන්ධතා පැවැත්විය යුතු ය. කේරළයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයකු සහිතව උප තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගත් තීරණය වැදගත් ය. එවැනි කාර්යාල ඉන්දියාවේ අදාළ ප්‍රාන්තවල පිහිටුවීමට කටයුතු කළ යුතු ය. ඉන්දියාව යනු සමජාතීය රාජ්‍යයක් නො වේ. ඉණ්දියාවේ ඉංගිරිසින් පැමිණීමට පෙර ඒකීය රාජ්‍යයක් තිබී නැත. අද ඉන්දියාව යම් පමණකට වුවත් එකට බැඳී ඇත්තේ ක්‍රිකට් හා හින්දි සිනමාව ඔස්සේ ය. ඉන්දීය රජය දෙමළ ජාතිවාදයට ආධාර කළත් බටහිරයන් ඉන්දියාව පිටුපස සිටියත් අප චීනය දෙසට තල්ලු විය යුතු නො වේ. චීනය ද අද දුෂිත රටකි. අද එහි බලයේ ඇත්තේ සංස්කෘතික විප්ලවයේ දී බටහිර නූතනත්වය වෙනුවෙන් ක්‍රියාකළ අයගේ දරුවන් ය. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ගත කරන කාමසුඛල්ලිකානු ජීවිත ගැන ඉඳහිට දැනගන්නට ලැබෙයි. ලැබෙන ප්‍රවාෘත්තිවලට අනුව නම් එහි නායකයන් අතර තාවෝවාදය අද අභාවයට යමින් පවතියි. ඉන්දියාවේ ද නායකයෝ හා ඊනියා උගතුන් සහිත මධ්‍යම පංතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පසුපස යති. එහෙත් චීනයේ හා ඉන්දියාවේ අතිමහත් බහුතර ජනතාව තවමත් එසේ නොවීම ලෝකයේ ම යහපතට හේතුවෙයි. අද චීනය ද බලන්නේ ආසියාවේ අනෙක් රටවල් තම අණසක යටතේ තබා ගැනීමට ය. කිසිම රටකට නොබැඳී දෙමළ ජාතිවාදය පරාජය කිරීමටත් රටේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමටත් අපට හැකි විය යුතු ය. අප ජයලලිතාගේ බලලෝභී බෙදුම්වාදී දේශපාලනය හඳුනාගෙන කටයුතු කළ යුතු ය. අප ඇයට කිසිම ඉඩක් දිය යුතු නො වේ.


Saturday, 12 May 2012

ඉන්දීය ක්‍ෂෙත්‍ර චාරිකා

ඉන්දීය ඇමතිවරු මන්ත්‍රීවරුන් තනි තනිව මෙන් ම කණ්ඩායම් වශයෙන් ද සති දෙකකට වරක් පමණ ලංකාවට පැමිණීම දැන් පුරුද්දක් බවට පත් වී ඇත. ඔවුන්ට අමතරව එරට නිලධාරීහු ද මෙරටට පැමිණෙති. ඔවුන් මෙරටට එන්නේ අපේ සුව දුක් බැලීමට නොවන බව පැහැදිලි ය. ඉන්දියාව හෝ එයට පෙර එහි තිබූ ප්‍රදේශ හෝ අපේ ලොකු අයියා හෝ සහෝදරයකු හෝ ලෙස ක්‍රියා කර නැත. ඉන්දියාවට නිදහස ලැබෙන කාලයේ සිට ම තිබුණේ ලංකාව ද එයට ඈඳා ගැනීමේ අවශ්‍යතාව ය. යම් අයුරකින් පෝක් සමුද්‍ර සන්ධිය නොතිබෙන්නට අප ඇතැම් විට ඉන්දියාවේ තමිල්නාඩුවේ ම කොටසක් හෝ වෙනත් ප්‍රාන්තයක් හෝ බවට පත්වීමට ඉඩ තිබිණි. එසේ වී නම් සිංහලයන්ට අත්වීමට තිබූ ඉරණම සිතාගත හැකි ය. ඉන්දියාව තවමත් ඒ අදහස නැතිකරගෙන ඇතැයි සිතිය නො යුතු ය. නේරුලාට ඉන්දිරා ගාන්ධිලාට රජිව්ලාට ද ඒ අදහස තිබුණු අතර දැනටත් සෝනියාලා හා මංමෝහන්සිංලා මෙන් ම කරුණානිධිලා හා ජයලලිතාලා ද ඒ අදහස දරති. පසුව කී දෙදෙනා වඩාත් කැමතිවනු ඇත්තේ ලංකාව තමිල්නාඩුවේ ම කොටසක් කර ගැනීමට ය. මේ අදහස නොදැරු රාජ්‍ය නායකයකු ඉන්දියාවේ සිටියේ නම් ඒ ලාල් බහදුර් ශාස්ත්‍රී මහතා විය යුතු ය. ඉන්දීය නියෝජිතයන් මෙරටට පැමිණෙන්නේ දෙමළ ජනතාවට ඇතැයි කියන ප්‍රශ්නය විසඳීමට ය. ඔවුහු බලය බෙදීම ගැන කතාකරති. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එහා යන විසඳුම් ගැන කතාකරති. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට බලකරති. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැති බව ඉන්දියාව බටහිරයන් හා අනෙක් සිංහල විරෝධීන් ඉගෙන ගන්නේ කවදාද?

මේ අතර රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග ද ඉන්දියාවට යති, එති. ඔවුන් යන්නේ දඹදිව නොවන බව නම් ඉතා පැහැදිලි ය. චන්ද්‍රිකා කුමාරතුංග සිතන්නේ ඊනියා ඉන්දු ලංකා සබඳතා ඇගේ උරුමයට ලැබුණු දෙයක් ලෙස ය. ඉන්දිරා නැන්දා (ආන්ටි) ගෙන් ඇයට ඒ සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් හිමි වී ඇතැයි සිතනවා විය හැකි ය. සෝනියා අක්කා (නංගි) නිතර හමු වී ගෙවල්වල තොරතුරු කතා කරනවා මෙන් ඉන්දු ලංකා සබඳතා ගැන කතාකරගත හැකි යැයි ඇය සිතනු නො දනුමාන ය. ඇයට අමතක වී ඇත්නම් මතක් කළ යුත්තේ ඇගේ මව සිරිමා ශාස්ත්‍රි ගිවිසුම අත්සන් කළේ බමුණු කුලයේ ගාන්ධිලා සමග නොවන බව ය. රනිල් වික්‍රමසිංහ දිල්ලි යන්නේ බටහිරයන් කියන්නේ නම් මොන දිල්ලියට ගියත් කම් නැත යන තේරුමෙන් මිස වෙනත් අර්ථයකින් නො වේ. ඔහු යාපනයට ගොස් මැයි දිනය පවත්වන්නේ යාපනයේ කම්කරු පංතියක් ඇමතීමට නොවන බව නොදන්නකු ඇතැයි නො සිතමි. එහෙත් ඔහු එහි යන්නේත් දෙමළ ජාතික සංධානය සමග මැයි දිනය පවත්වන්නේත් බටහිරයන්ගේ අවශ්‍යතාවට බව බොහෝ දෙනා නො දනිති. බටහිරයන්ගේ කීමට මෙරට ක්‍රියා කරන පක්‍ෂ අතර එ ජා ප, දෙමළ ජාතික සංධානය හා කෙකරගාමී (පෙරටුගාමී) පක්‍ෂ වෙයි. ඒ අතර බටහිරයන් විසින් මෙහෙයවනු ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මගින් නඩත්තු කෙරෙන පක්‍ෂ ද වෙයි. දෙමළ ජාතික සංධානය පසුගිය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකාට ආධාර කළේ ද බටහිරයන්ගේ අවශ්‍යතාවට ය.

ඉන්දියාවේ ක්‍රියාකාරකම් විහිළු නො වේ. මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය ඇති කළෝ බටහිරයෝ ය. නිදහසෙන් පසුව ඒ ප්‍රශ්නය පවත්වාගෙන යෑමට හා ගින්නට පිදුරු දැමීමට ඉන්දියාව ක්‍රයා කර ඇත. ප්‍රභාකරන්ට මෙන් ම උමා මහේස්වරන්ට ද ආයුධ සපයා දෙමළ ත්‍රස්තවාදය නිර්මාණය කළේ ඉන්දියාව ය. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් වූ අතර දෙමළ ත්‍රස්තවාදය ඉන්දියාව විසින් බිහි කෙරිණි. එහි දී ද ඉන්දියාවට බටහිරයන්ගේ සහාය ලැබිණි. ඉන්පසු ඒ ත්‍රස්තවාදය නැතිකිරීම සඳහා යැයි විවිධ අවස්ථාවල ඊනියා විසඳුම් ඉන්දියාවෙන් ඉදිරිපත් කෙරිණි. ඉන්දු ලංකා ගිවිසුම හා ඒ මත පදනම් වූ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊනියා විසඳුම් අතර වෙයි. අප අමතක නොකළ යුත්තක් නම් පසුගිය කාලයෙහි ඉන්දියාව ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් බටහිර සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කළ බව ය. ඉන්දියාව නොදැනුවත්ව බටහිර රටවල් ඒ සම්බන්ධයෙන් කිසිවක් නො කළේ ය. අද ද එසේ ම ය. ජෙනීවා යෝජනා ඉන්දියාවේ සහභාගීත්වයෙන් කෙටුම්පත් කෙරී ඇති අතර ඒ යෝජනා සම්මත කර ගැනිම සඳහා ඉන්දියාව ආසියාතික රටවලට, විශේෂයෙන් ම දෙමල ජනයා යම් ප්‍රමාණයක් සිටින රටවලට බලපෑම් කර ඇති බව දැන් හෙළිවෙමින් පවතියි. මැලේසියාව හා මුරුෂියස් දුපත් එහි දී කැපී පෙනෙයි. එහෙත් බොහෝ ආසියාතික රටවල්, විශේෂයෙන් ම දකුණු ආසියාතික රටවල් ඉන්දියාවට ඇහුම්කන් නො දිණි. අද ඉන්දියාවට ඔවුන් සිතන ආකාරයේ නායකත්වයක් දකුණු ආසියාවේවත් නැත. ඉන්දියාව ආර්ථික අතින් දියුණු යැයි කීව ද මිසයිල තිබුණ ද දුර්වල රාජ්‍යයකි. බටහිර නොමැතිව ඉන්දියාවට පැවැත්මක් නැත. මෙරට දෙමළ ජනයා සිටින්නේ යැයි කියමින් අපේ කටයුතුවලට ඇඟිලි ගසන ඉන්දියාවට එහි බෞද්ධයන් සිටින බව පමණක් දැනට මතක් කරමු.

බටහිරට මෙන් ම ඉන්දියාවට ද අද අවශ්‍ය ලංකාව අස්ථායී කිරීමට ය. එයට හරස්ව සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා මිස චන්ද්‍රිකා නංගි (අක්කා) හෝ සූරතල් රනිල් මල්ලී හෝ නො වේ. අද බටහිරට මෙන් ම ඉන්දියාවට ද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැට්ටවීමට ය. ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ ක්‍ෂෙත්‍ර චාරිකා ඒ සඳහා ය. උගත් පාඩම් කොමිසමේ යෝජනා හෝ දහතුනට එහා යන ඊනියා විසඳුමක් හෝ ක්‍රියාත්මක කීිරීම ආණ්ඩු සිය දිවි නසා ගැනීමකි. ආණ්ඩුවේ සිටින වමේ යැයි කියන තුන් බෑ ජටිල (මාක්ස්වාදය ද ජටාවකි. එකල මාක්ස්වාදය තිබිණි නම් එය ද බ්‍රහ්මජාල සූත්‍රයෙහි නම් කෙරෙනු ඇත) ඇමතිවරුන් ගේ කැමැත්ත සත පහකට මායිම් කළ යුතු නැත. ඔවුන් අද ඇමතිකම් දරන්නේ ඔවුන් විරුද්ධ සිංහල විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද නිසා ය. මහින්ද රාජපක්‍ෂ මහතාට අනුපාත ක්‍රමය යටතේ ද තුනෙන් දෙකක ඡන්ද ලබාගත හැකි බව අපි කලකට පෙර පෙන්වා දුනිමු. ඒ සිංහල ඡන්දවලින් සියයට හැත්තෑපහකට වැඩි ඡන්දයක් ලබා ගැනීමෙනි. ඒ සඳහා සිංහලයන් එකතු කරන සටන්පාඨ අවශ්‍ය විය. අද බටහිර, ඉන්දියාව හා මාක්ස්වාදී තුන් බෑයන් ආදීන් උත්සාහ කරන්නේ ආණ්ඩුව ලවා දෙමළ ජාතිවාදී ඉල්ලීම් ලබා ඉඩ දී ආණ්ඩුවට ඡන්දය දෙන සිංහලයන් ආණ්ඩුව කෙරෙහි කලකරවීමට ය. ඒ සමග කෙකරගාමින් ලවා තැන තැන සිද්ධි ඇතිකර මානව අයිතිවාසිකම් වෙනුවෙන් යැයි කියමින් ආණ්ඩුව පෙරළා දැමීම බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ උත්සාහය ය. මෙහි ඇති සරදම නම් එමගින් මාක්ස්වාදී තුන් බෑයන්ට ද ඇමතිකම් අහිමි වීම ය. තමන්ට අවශ්‍ය ඇමතිකම් නොව රටට සේවය කිරීමට යැයි මේ තුන් බෑ ජටිලයන් කීමට ඉඩ ඇත. එහෙත් ඒ බයිලා පමණ ය. තුන් බෑ ජටිලයන් දමනය කර ආණ්ඩුව පවත්වාගෙන යෑම ජනාධිපතිතුමාට අපහසු කාර්යයක් නො වේ.

ඒ සඳහා කළ යුත්තේ උගත් පාඩම් කොමිසමේ ජනතාවට පිළිගත හැකි යෝජනා පමණක් ක්‍රියාත්මක කිරීම ය. ආණ්ඩුව විසින් පත්කළ පමණින් කොමිසමක යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැති බව අමතක නොකළ යුතු ය. ඒ අතර දහතුන ධන සෘණ සම්පුර්ණයෙන් අමතක කිරීම ය. පළාත් සභා අසාර්ථක බව උගත් පාඩම් කොමිසම ද කියයි. ආණ්ඩුව එය හිතට ගත යුතු ය. අසාර්ථක වූවක් දිගට ම ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය ය. මේ ජයවර්ධන ව්‍යවස්ථාව එහෙන් මෙහෙන් තළා පෙළා සකස් කර ගැනීමට උත්සාහ කිරීම වෙනුවට කළ යුත්තේ මහින්ද චින්තනයෙහි ද සඳහන් ආකාරයට වෙනත් ව්‍යවස්ථාවක් සම්මත කිරීම ය. මහජනයාගේ වරමක් ද ලැබී ඇත්තේ එයට මිස ජයවර්ධන ව්‍යවස්ථාව අතනින් මෙතනින් සංශෝධනය කිරීමට නො වේ. මෙරටට ඔබින ව්‍යවස්ථාවක් සකස්කර ගැනීමේ දී අප අනුගමනය කළ යුත්තේ අපේ එක්සේසත් රාජ්‍යය. අවාසනාවකට මෙරට ඉතිහාසඥයන් හා දේශපාලන විද්‍යාඥයන් ඒ රාජ්‍යය ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැත. එය ලංකාවට ම ආවේණික වූ රාජ්‍යයකි. අවශ්‍ය නම් නූතන වචන යොදා ගනිමින් එය ඒකීය රාජ්‍ය විශේෂයක් ලෙස හඳුනාගත හැකි ය. එහි දේශපාලනය මධ්‍යගත විය. එහෙත් පරිපාලනය උපරිම වශයෙන් විමධ්‍යගත විය. රාජ පුරුෂයෝ රජ අණ, එනම් රාජ්‍යයේ අණ ක්‍රියාත්මක කළ පිරිසක් වුහ. ඔවුහු එංගලන්තයේ මෙන් දරදඬු මධ්‍යගත පරිපාලනයකට අයත් පිරිසක් නොවුහ. ජනතාවගේ එදිනෙදා කටයුතු පිළිබඳ තීරණ ගැණුනේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ගම්සභාවලින්, වරිගසභාවලින් ආදියෙනි. මේ ගම්සභා හා රාජ සභාව අතර සම්බන්ධයක් නො වී ය. අද වචනවලින් කියන්නේ නම් ගම්සභාවල දේශපාලනඥයෝ නො වුහ. එකල ෆෙඩරල්වාදීන් වූ ඇතැම්හු අද අවස්ථාවාදීව ගම්සභා දේශපාලනඥයන්ට හිමිකර දීමට පිඹුරුපත් සැකසීම සිනහවට ලක්විය යුතු ය. ඒ අතර වර්තමාන පරිපාලන රටාව ද අනුගමනය කරමින් සංක්‍රමණීය පියවරක් ලෙස දිස්ත්‍රික් සභා පිහිටුවා ඒවාට ඇතැම් කාර්යයන් හිමි කර දිය හැකි ය. මේ දූිස්ත්‍රික්ක යථා කාලයේ දී සුද්දන්ගෙ මායිම් අනුව නොව භූගෝලීය, පාර්සරික, ඓතිහාසික හා සංස්කෘතික කරුණු පදනම් කරමින් රටවල් හා කෝරළ ලෙස (අටදහස් රට දොළොස්දහස් රට නුවර කලාවිය, පස්දුන් කෝරළය ආදී වශයෙන්) සකස් විය යුතු ය. දිස්ත්‍රික් සභාවල දේශපාලනඥයන් ක්‍රියාත්මක විය හැකි ය. මේවා කළ නොහැකි කාර්යයන් යැයි කොටින් පැරදවීමට බැරි බව කී ජටිලයන් හා ඇංකරයන් පවසනු ඇත. එමෙන් ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් අපට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවණු ඇතැයි කියමින් ජනතාව බිය වැද්දීමට ද ඔවුන් කටයුතු කරනු ඇත. එහෙත් උගත් පාඩම් කොමිසමේ යෝජනා හා දහතුන ධන යනු අවසානයක් නොව තව තවත් දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට මග පෑදීමක් පමණකි. චෙල්වනායගම් ප්‍රතිපත්තිය වූයේ දැන් ටිකක් පසුව හුඟක්් යන්න ය. ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය දුන් පුද්ගලයාට එරෙහිව බටහිරයන් ආක්‍රමණය කළහොත් ජනතාව කිනම් අමාරුකම් මධ්‍යයෙහි වුවත් ජනාධිපතිතුමාට සහාය දෙන බව බටහිරයන්ටවත් ඔවුන්ගේ ගැත්තන්ටවත් නො වැටහෙයි.

බටහිරයන් මේ සියළු චන්ඩිකම් කරන්නේ දෙමළ ජාතිවාදය උපයෝගි කරගනිමිනි. දෙමළ ජාතිවාදය අද දේශපාලනික ව පවත්වාගෙන යනු ලබන්නේ් බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදය තවමත් වඩුකොඩෙයි යෝජනා අත්හැර දමා නැත. දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, 1889 දී බෙදනු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ ඊනියා නිජභූමි බව ආදිය මෙන් ම දෙමළ ජනයාට සිංහලයන්ගෙන් විශාල අසාධාරණයක් සිදු වී ඇති බව ද දෙමළ ජාතිවාදීහු බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවසති. බටහිරයන් සිංහල ජනතාවට තමන් වරදක් කර ඇතැයි යන හැඟීම බටහිර ගැති කසිකබල් උගතුන් ලවා ඇතිකර ඇත. සිංහලයන් මේ බිය නැතිකර ගත යුතු ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණයක් වූවා නොව ඉංගිරිසින් සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන ලබා නොදීමට දෙමළ ජාතිවාදය යොදාගෙන ඇත. මාස තුනකින් අවසන් වන දෙදහස් හයසීයේ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අඩු තරමෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීමට විරුද්ධ වන්නෝ සිටිත් ද? සාමාන්‍ය දෙමළ ජනයාට දහතුන්වැනි සංශෝධනයක් අවශ්‍ය නැත. දහතුන්වැනි සංශෝධනය යනු වඩුක්කොඩෙයි හා තිම්පු යෝජනාවලට තාවකාලික විකල්පයක් ලෙස බටහිර ආශිර්වාදය සහිතව ඉන්දියාව විසින් ජේ ආර් ලවා දෙමළ ජාතිවාදී නායකයන්ට දෙන ලද්දක් පමණ ය. දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් යනු බටහිරයන් අපට පෙන්වා දෙන ව්‍යාජයන් නොව ඔවුන්ගේ ජීවිත හින්දු හා බෞද්ධ ආකල්පවලට අනුව යහපත් මට්ටමකට ගෙන ඒම ය. ඒ බටහිර ක්‍රිස්තියානි යටත්විජ්ිතවාදී සංවර්ධනයක් ඔස්සේ පාරිභෝගික තණ්හාධික එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කරන තරගකාරී සමාජයක් ඇතිකිරීම නො වේ. අපි මානව අයිතිවාසිකම් සඳහා නව අර්ථකථනයක් දෙමු.

Wednesday, 11 April 2012

පනස්හයේ දරුවෝ හා මැකෝලේගේ දරුවෝ

පසුව සාමිවරයකු ලෙස පත්කරනු ලැබූ මැකෝලේ 1835 දී ඉන්දීය අධ්‍යාපනය පිළිබඳ තම කුප්‍රසිිද්ධ වාර්තාව ලිවි ය. මේ වාර්තාවෙන් එකල ඉංගිරිසින් සමස්තයක් ලෙස ගත්කල ඉන්දියාවට දිය යුතු යැයි සිතූ අධ්‍යාපනය පිළිබඳ සඳහන් වෙයි. එපමණක් නොව ඉංගිරිසින් ලංකාව ඇතුළු තම අනෙක් යටත්විජිතවල ද ලබාදිය යුතු යැයි සිතූ අධ්‍යාපනය ගැන ද එයින් කියැවෙයි. මැකෝලේට අනුව බටහිර වැදගත් පුස්තකාලයක එක් පොත් රාක්කයක ඇති පොත්වල වටිනාකම සංස්කෘතෙන් හෝ අරාබි භාෂාවෙන් හෝ ඉන්දියාවේ හා අරාබියේ ඉතිහාසයෙහි ම ලියැවී ඇති පොත්වල වටිනාකමට වැඩිි ය. එමෙන් ම ඔහුට අනුව සියළුම ඉන්දීයයන්ට බටහිර අධ්‍යාපනයක් ලබාදිය නොහැකි බැවින් තෝරාගත් පිරිසක් හමේ පාටෙන් හා ලේවලින්් ඉන්දීය (ලේවලින් ඉන්දීයයන් වන්නේ කෙසේ දැයි ඇසීමට එකල පඬියන් නොසිටි බව පෙනී යයි) එහෙත් බුද්ධියෙන්්, රුචිකත්වයෙන්, ආකල්පවලින්, සදාචාරයෙන් යුරෝපීයයන් කරන අධ්‍යාපනයක් ලබා දීය යුතු විය. මේ පංතියට විද්‍යාවෙන් ලබාගත් බටහිර වචනවලින් තම භාෂාවන් ඔපවත් කර අති විශාල ජනකායට (බටහිර) දැනුම ලබාදීමේ කාර්යය භාර දිය යුතු විය. මැකෝලේ ඇතුළු අනෙක් ඉංගිරිසින්ට එකල අවශ්‍ය වූයේ කුමක් ද යන්න ඉතා පැහැදිලි ය. මැකෝලේ විසින් ඇතිකරන ලද මේ පංතියට මැකෝලේගේ දරුවන් යන නම ද භාව්ිතා කෙරෙයි.අද ඉන්දියාවේ අති විශාල ජනකායක් වාසය කළ ද ඔවුන් පාලනය කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ම බ්‍රාහ්මණ වංශයට අයත් වූ ද මැකෝලේගේ දරුවන් වූ ද දේශපාලනඥයන්, සිවිල් සේවකයන්, විදේශ සේවයේ නිලධාරීන්, ජනමාධ්‍ය අයිතිකරුවන් හා ජනමාධ්‍යවේදීන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් විසින් බව පැහැදිලි ය. මොවුන්ට බටහිර විශේෂයෙන් එංගලන්තය සමග සුළු සුළු මතභේද ඇත. එහෙත් ඔවුහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම බටහිරයන්ගේ පෙරදිග ඉන්දීය සමාගම වෙයි. එපමණක් නොව ඔවුන්ට ඓතිහාසික වශයෙන් ප්‍රාග් වෛදික සංස්කෘතීන් සමග වෛරයක් වෙයි. බෞද්ධ සංස්කෘතිය ඉන්දීය බ්‍රාහ්මණයන්ගේත් මැකෝලේගේ දරුවන්ගේත් ගෞරවයට පාත්‍රවූවක් නො වේ. අම්බෙඩිකාර්ගේ දරුවන්ට ඉන්දියාවේ කිසිම තැනක් නැත. අදත් ඔවුහු සමාජ ප්‍රතිසංධානයකට ලක් නොවී සමාජ පරිධියෙහි ජීවත්වන ශූද්‍රයෝ පමණක් වෙති. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක දුටුවිට කෙළ ගසන ඉන්දීයයන් තවමත් ඇත්තේ කෙසේ දැයි අපට ජයලලිතා හෝ කරුණානිධි හෝ ගාන්ධිවාදියකු හෝ තේරුම් කර දෙන්නේ ද? 1835 දී රාජකීය විද්‍යාලය ඇරඹීමෙන් පසුව මෙරට ද මැකෝලේගේ දරුවෝ බිහිවෙති. ඔවුන් බිහිවන්නේ රාජකීය ශාන්ත තෝමස් ත්‍රිත්ව ශාන්ත ජෝසප් ශාන්ත පීතර රිච්මන්ඩ් ආදී විදුහල්වලින් පමණක් නො වේ. ආනන්ද නාලන්ද ධර්මරාජ මහින්ද මලියදේව ආදී විදුහල්වලින් ද මධ්‍ය මහා විදුහල්වලින් ද ඔවුහු බිහිවෙති. අද මෙරට සිටින උගතුන් යැයි කියන්නන්ගෙන් හා කසිකබල් පශ්චාත්නූතනවාදීන්ගෙන් ඉතා වැඩි පිරිස අධ්‍යාපනය ලබා (හදාරා නොව) ඇත්තේ කිනම් පාසල්වල ද? අධ්‍යාපනය “හදාරන්නන්” වැඩි වශයෙන් බිහි වී ඇත්තේ කිනම් පාසල්වලින් ද? අද වන විට ඊනියා ජාත්‍යන්තර පාසල් ඔස්සේ ද ජඩමාධ්‍ය හරහා ද මැකෝලේගේ දරුවෝ බිහිවෙති. බාලිකා පාසල් හා එහි ශිෂ්‍යාවන් ගැන කියා වැඩක් නැත. මැකෝලේලාගේ පුරුෂාධිපත්‍යය හේතුවෙන් ශිෂ්‍යාවන්ට හිමි කාර්යය වී ඇත්තේ මැකෝලේගේ දරුවන්ගේ බිරියන් වීමත් තම පුතුන් මැකෝලේගේ දරුවන් බවට පත්කිරීමත් ය.

ජෙනීවාහි දී ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දීම පුදුමයක් නො වේ. එංගලන්තය හා ඇමරිකාව පසුගිය වකවානුවේ ලංකාව සම්බන්ධයෙන් ක්‍රියා කළේ ඉන්දියාව සමග එකඟත්වයෙනි. බටහිරයන්ගේ නියෝජිතයා ලෙස සොල්හයිම් නිතර ම සාකච්ඡා සඳහා දිල්ලියට ගියේ ය. ඉන්දියාව අපට නොයෙක් වර බලපෑම් දැමී ය. නේරු ආදීහු අපේ මිතුරෝ නොවුහ. ඉන්දිරා ගාන්ධි කොටින්ට පුහුණුව ලබා දුන්නේ ය. රජිව් ගාන්ධි පරිප්පු බෝම්බ දමා ඉන්දු ලංකා ගිවිසුමත් දහතුන්වැනි ව්‍යවස්ථාවත් පළාත් සභාත් අප මත බලෙන් පැටවී ය. අද ඉන්දීය ආණ්ඩුව මෙහෙයවන්නේ මනමෝහන් සිං නොව සෝනියා ගාන්ධි ය. ඇයගේ ආණ්ඩුව අපට විරුද්ධව ජෙනීවාහි දී ඡන්දය දුන්නේ ය. ඒ හුදෙක් තමිල්නාඩුවේ බලපෑමට නො වේ. රජීව් ගාන්ධි මරා දැමූ කොටින්ට පක්‍ෂපාති වන අයුරින් සෝනියා ගාන්ධි ඡන්දය දෙන්නේ තමිල් නාඩුවේ ඡන්ද ටිකක් ලබාගැනීමට යැයි මෙරට සිටින මැකෝලේගේ දරුවන් කීව ද අපී ඒ නො පිළිගනිමු. ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරයට එරට දෙමළ ජනතාව මුදල් ටිකක් දුන් පමණින් හිලරි ක්ලින්ටන්ලා අපට විරුද්ධ වන්නේ යැයි සිතීමට මෙරට මැකෝලේගේ දරුවන්ට උගන්වා ඇත්තේ ද බටහිර අධ්‍යාපනය විසිනි. ඇමරිකාවේ ජනාධිපතිවරණයේ දී වියදම් වන මුදල ගැන හරි වැටහීමක් මැකෝලේගේ දරුවන්ට ඇත් ද? රුපියල් අස්සේ අලුක්කාල් ගැසීමක් ගැන මොවුන් අසා තිබුණ ද ඔවුන්ට ඒ කතා ඔවුන්ගේ පසුබිමත් සමග ම අමතක වී ඇත. ඉන්දියාව මානුෂික මෙහෙයුම්වලට උදවු දුන්නා නො වේ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ වෙනත් දුර්වලකම් තිබුණ ද දේශපාලනිකව පනස්හයේ දරුවකු ලෙස ඉන්දියාවේ බලපෑම් ඉදිරියේ ජේ ආර් ජයවර්ධනලා මෙන් නොව කෙලින් සිට ගැනීමට කොන්දක් විය. රනිල් වික්‍රමසිංහ ලක්‍ෂමන් කිරිඇල්ල මෙන් ම තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස හා දයාසිරි ජයසේකර ද ආණ්ඩුවේ පශ්චාත් යුද කළමනාකරණය අසාර්ථක යැයි කියති. මේ පශ්චාත් යන්න මැකෝලේගේ දරුවන් වූ පඬියන්ගේ ප්‍රියමනාප වචනයක් බවට අද පත් වී ඇත. අපි මේ පශ්චාත්තාපවාදීන්ගෙන් ප්‍රශ්න දෙකක් අසමු. ආණ්ඩුවේ මෙහෙයුම් කළමනාකරණය සාර්ථක ද? එ ජා පක්‍ෂයේ පුර්ව යුද කළමනාකරණය සාර්ථක ද? ජෙනීවාහි දී බටහිර ක්‍රිස්තියානි රටවල් රංචු ගැසී ලංකාවට විරුද්ධව ඡන්දය දුන්නේ ඊනියා පශ්චාත් යුද කළමනාකරණය අසාර්ථක වීම නිසා නොව ආණ්ඩුවේ මෙහෙයුම් කලමණාකරණය ඉතා සාර්ථක වූ බැවිනි. ලංකාවේ අවාසනාවකාට බැරි වෙලාවත් එ ජා පක්‍ෂය බලයේ සිටියේ නම් ජෙනීවාහි දී එංගලන්තය මැදිහත් වී ඇමරිකාව ලංකාවට විරුද්ධව යෝජනාවක් ඉදිරිපත් නොකරනු ඇත. එංගලන්තය කියන පදයට නටන එ ජා පක්‍ෂය බලයේ සිටින විට ලංකාවට විරුද්ධව යෝජනා ගෙනෙන්නේ අහවල් දෙයකට ද? අද මහින්ද රාජපක්‍ෂ මහතා පනස්හයේ දරුවකු ලෙස කළ යුත්තේ මානුෂික මෙහෙයුම්වල දී මෙන් ම බටහිරයන් හා ඉන්දීයයන් හමුවේ නොසැලී සිටීම ය. ඒ සඳහා එදා මෙන් ම අද ද ඒ මහතාට මෙරට තවමත් බහුතරය වූ පනස්හයේ දරුවන්ගේ සහාය ලැබෙනු ඇත.

ඉන්දියාව ජෙනීවාහි දී සංශෝධනයක් ඉදිරිපත් කළේ අප කෙරෙහි කරුණාවෙන් යැයි මැකෝලේගේ දරුවෝ අපට කියති. එය පයිසයක්වත් නොවටිනා එකකි. ඒ සංශෝධනයෙන්් කියැවෙන්නේ ඊනියා මානව හිමිකම් සමුළුව ලංකාවෙන් නොවිමසා ලංකාව සමග එකඟත්වයකින් තොරව අප ක්‍රියාකරන අන්දම ගැන සෙවීමට සමුළුවේ නියෝජිතයන් නොඑවිය යුතු බව ය. ඒ සංශෝධනය ඇතත් නැතත් ලංකාවේ අකමැත්තෙන් සමුළුවට කළහැකි කෙංගෙඩියක් නැත. අද ඊශ්‍රායලය පලස්තීන ජනාවාස ගැන සෙවීමට සමුළුවට ඒමට ඉඩ නොදෙන බව ප්‍රසිද්ධියේ කියයි. ඊශ්‍රායලයට එරෙහිව සමුළුවට කළ හැක්කේ කුමක් ද? මැකෝලේගේ දරුවන් කියන්නේ අප බටහිරයන්ට කන් නොදුනහොත් අපට විනාශයක් අත්වන බව ය. පනස්හයේ දරුවන් කළ යුත්තේ මේ තර්ජනවලට නොබියව සමුළු නියෝජිතයන්ට ඊනියා සමීක්‍ෂණ හා අධීක්‍ෂණ සඳහා ලංකාවට ඒමට ඉඩ නොතැබීම ය. මැකෝලේගේ දරුවන් දැන් තවත් බයිලාවක් කීමට පටන් ගෙන ඇත. ඔවුන්ට අනුව ජෙනීවා යෝජනාවේ ආර්ථික සම්බාධක, යුද්ධාපරාධිකරණ, ආක්‍රමණ ගැන කිසිවක් සඳහන් නො වේ. මැකෝලේගේ දරුවන්ට විභාගවලින් සමත්වීමට හැකි ය. ඔවුහු සුද්දාගේ පොතේ ඇත්තේ කුමක් දැයි දනිති. එහෙත් ඔවුන්ට දැක්මක් නැත. අනාගතයේ දී කුමක් සිදුවන්නේ ද යන්න ගැන මැකෝලේගේ දරුවන්ට හාංකවිසියක්වත් නැත. ඔවුන් සිතන්නේ බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජනයා බටහිර රටවල් නොමග යවා ඇති බව ය. මැකෝලේගේ දරුවන්ට එංගලන්තය ගැන අහිතක් ඇතිවේද? මේ යෝජනා, සුදු කොඩි, සරත් ෆොන්සේකා, ඊනියා යුද්ධාපරාධ චෝදනා, ආර්ථික සම්බාධක, විදුලි පුටු, ආක්‍රමණ ආදී සියල්ල එක දාමයක පුරුක් පමණකි. ජෙනීවා යෝජනාවෙහි සම්බාධක ගැන කීමට තරම් එංගලන්තය හා ඇමරිකාව මෝඩ නො වේ. එහෙත් අප ඒ කතා එහි නැති නිසා ම මෝඩ විය යුතු නැත. මැකෝලේගේ දරුවන්ගෙන් සමන්විත උගත් පාඩම් කොමිසම පත් කළේ සටන් විරාම ගිවිසුම අසාර්ථක වූයේත්් කළ යුත්තේ කුමක් ද යන්නත් පිළිබඳ වාර්තාවක් සැපයීමට ය. වරම අසම්පුර්ණ වුවත් එහි වරදක් නැත. වරද ඇත්තේ කොමිසමට පනස්හයේ දරුවන් පත් නොකිරීම ය. කොමිසම දෙමළ ජනයාට සිදු වූ අසාධාරණකම් ගැන කියයි. ජෙනීවාහි දී ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත කර ගත්තේ මෙයෙුම්වල අවසාන සතියේ ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන සොයා බැලීමට පමණක් නො වේ. ඔවුන්ට උගත් පාඩම් කොමිසම දෙමළ ප්‍රශ්නයට දුන් විසඳුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය ය. කොටි ත්‍රස්තවාදය අවුරුදු තිහකට වැඩි කලක් පැවතිණි. ඒ අවුරුදු තිහක් ලෙස ගත්ත ද සති 1565 ක් පමණ වෙයි. ඒ සති 1565 ගැන ම සෙවීමට කොමිසමක් පත්කරමු. එහි දී පනස්හයේ දරුවන්ගෙන් සමන්විත කොමිසමක් දෙමළ ජාතිවාදය ඇති වූ ආකාරය, එය ත්‍රස්තවාදයක් කරා විකාශය වීම ඔවුන්ට ආධාර කළ රටවල් සංවිධාන ආදිය ගැන සොයා බැලිය යුතු ය. ඉන් පසුව කළ යුත්තේ කුමක් ද යන්න ආණ්ඩුවට තීරණය කළ හැකි ය. ආණ්ඩුව තමන් පත්කළ කොමිසමක වුව ද යෝජනා ක්‍රියාත්මක කිරීමට බැඳී නැති බව අවධාරණය කළ යුතු ය. බටහිරයන් අපට සම්බාධක පමුණුවන්නේ ඔවුන්ගේ නියෝජිතයන්ට ලංකාවට ඒමට ඉඩ නොදුන් විට ය. ඉන්පසු සුදු කොඩි යුද්ධාපරාධ චෝදනා සරත් ෆොන්සේකා හා අවසානයේ දී ඒ සියල්ල වැරදුනහොත් ආක්‍රමණය ද එනු ඇත. මැකෝලේගේ දරුවන්ට මෙන් නොව පනස්හයේ දරුවන්ට ඒ සියල්ල පරාජය කිරීමට ශක්තිය ඇත. බෞද්ධයෝ වියට්නාමයේ දී මහා බලවතා පරාජය කළහ. අපි ලංකාවේ දී බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයම පරාජය කරමු. ඒ සඳහා ආධ්‍යාත්මික හා යුද ශක්තිය ගොඩ නගමු.

Sunday, 22 January 2012

දහතුනෙන් එහාට නොව මෙහාට

ඉන්දීය විදේශ ඇමති ක්‍රිෂ්ණ මහතාට අනුව ජනාධිපතිතුමා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබිබට යෑමට එකඟ වී ඇත. මෙයින් කියැවෙන්නේ කුමක් දැයි ජනාධිපතිතුමා විස්තර කර නැත. එසේ වුවත් පොලිස් බලතල හා ඉඩම් පිළිබඳ බලතල පළාත් සභාවලට පවරා දීමට තමන් සූදානම් නැති බව එතුමා කිහිප වරක් ම පවසා ඇත. මේ අතර පසුගිය දා පැවති පුවත්පත් සාකච්ඡාවක දී ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ හා වාසුදේව නානායක්කාර මහතුන් ද තමන් පළාත් සභාවලට පොලිස් බලතල පවරා දීමට එකඟ නොවන බව ප්‍රකාශ කර ඇත. එය යහපත් ප්‍රකශයකි. අප කළ යුත්තේ දහතුනෙන් එහාට යෑම නොව හැකිනම් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ය. එසේ කිරීමට යම් බාධා ඇත්නම් කළ යුත්්තේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත් කිරීම ය. කෙසේ වෙතත් ඉන්දීය විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව රටේ යම් කැළඹීමක් ඇති වී තිබෙන බව පැහැදිලි ය.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉන්දියාවේ බලපෑම මත ය. එයට පදනම සෑකසුයේ අවුරුදු විසිපහකට පෙර අත්සන් තබන ලද අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම ය. රජීව් ගාන්ධි මහතා ජේ ආර් ජයවර්ධන මහතාගේ අත් බැඳ අත්සන් කරගන්නා ලද ගිවිසුම ඉන්දියාවේ මැර බලය ලෝකයාට ම ප්‍රදර්ශනය කරමින් ක්‍රියාත්මක කරන ලද පරිප්පු දේශපාලනයේ ප්‍රතිඵලයක් විය. ඉන්දියාව තම බලය ප්‍රදර්නය කළේ මෙරට සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට එරෙහිව ය. ඉන්දීය නායකයන් බුදුදහම ගැන ප්‍රසිද්ධියේ යහපත් ස්වරයකින් කතාකළ ද ඉන්දියාවේ බුදුදහමට තැනක් නැති බව එරට සංචාරය කරන විට පෙනී යන කරුණකි. ලෝකයේ බිහි වූ එකම අනාත්මවාදී දහම යැයි කිව හැකි බුදුදහමට ආත්මවාදී බමුණන්ගේ ඇත්තේ තදබල විරෝධයකි. ඔවුන් බුදුදහම ආරක්‍ෂා කළ සිංහලයන්ට වෛර කරන්නේ නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. ලංකාවේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් ගැන ඉන්දියාව කිසි දිනෙක සිංහලයන්ගේ පැත්තෙන් බලා නැත. තමිල්නාඩුවේ බලපෑම ද මත ඉන්දියාව ප්‍රශ්නය විග්‍රහ කළේ දෙමළ ජනයාගේ පැත්තනි. ඔවුන්ට අනුව සිංහලයන්ගෙන් දෙමළ ජනයාට විශාල අසාධාරණයක් වී ඇතෂ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ සම්ප්‍රදායික වාසභූමි වෙයිෂ ඒ පළාත්වලට බලය විමධ්‍යගත කළ යුතු වෙයි. එමෙන් ම ඉන්දියාව කිසි දිනෙක මෙරට ඉතිහාසය, සංස්කෘතිය භූගෝලීය ජන ව්‍යාප්තිය සළකා බැලුයේ නැත. ඈත අතීතයේ සිට මෙරට එක්සේසත් රාජ්‍යයක් වූ බව බුදුන්වහන්සේගේ කාලයටත් පෙර සිට ම වාංශික රාජ්‍යයන් රාශියකගේ එකතුවක් පමණක් වූ පැරණි භාරතයේ නූතන පාලකයන්ට හා ඉන්දීය සිවිල් සේවයට හා රෝ ඔත්තු සේවයට තේරුම් ගැනීමට නො හැකි විය. මොවුන්ගෙන් වැඩි පිරිස බ්‍රාහ්මණ වාංශිකයන් බව අමතක නොකළ යුතු ය. ඉන්දියාව ඒකීය රාජ්‍යයක් වූයේත් ඉන්දියාව වූයේත් ඉංගිිසින්ගේ යටත්විජිත පාලන සමයේ දී ය. සිංහලයන්ගෙන් දෙමළ ජනයාට මහත් අසාධාරණයක් වී ඇතැයි යන පදනමේ සිට ඉන්දීය ප්‍රාන්ත ආකෘතිය මත පිහිටා ඉන්දියාව අප මත පළාත් සභා බලයෙන් පැටවී ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට සිංහලයන්ගෙන් බලවත් විරෝධතාවක් පැන නැගිණි. එය සම්මත කරගැනීමේ දී ජයවර්ධන මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බස්රථ යොදා හෝටලයක සිට පාර්ලිමේන්තුවට එක්කරගෙන යෑමට සිදු විය. මේ ව්‍යායාමයේ දී ඉන්දියාවට බටහිරයන්ගේ පුර්ණ සහාය ලැබිණි. ජයවර්ධන මහතා ඉන්දියාවට විරුද්ධ ව ඇමරිකාව ප්‍රධාන බටහිරයන්ගේ පැත්ත ගත් යැංකි ඩිකී වුව ද බටහිරයෝ ඔහුගේ ආධාරයට නො පැමිණියහ. බටහිරයන්ගේ ආශිර්වාදය ඉන්දියාවට ලැබිණි.

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් ඇත්නම් ඒ සිංහලයන් හා ඔවුන්ගේ සංස්කෘතිය මර්දනය කිරීම සම්බන්ධයෙන් වෙයි. ඉතා කෙටියෙන් නමුත් නැවතත් ඉතිහාසය මතක් කළ යුතු ය. ගැමුණු රජුගේ කාලයේ සිට මෙරට පදිංචි වී සිටින දෙමළ ජනකායක් නැත. යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වු කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා තම උපාධි නිබන්ධනයෙන් පෙන්නුම් කර ඇත්තේ දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ නිත්‍ය පදිංචිකරුවන් නොසිටි බව ය. අද යාපනයේ සිටින දෙමළ ජනයා පැවත එන්නේ දහහත්වැනි සියවසේ මැදභාගයේ එහි පදිංචි වී සිටි සිංහල බෞද්ධයන්ගෙන් (ඊනියා දෙමළ බෞද්ධයන් එහි සිටි බවට කිසිම සාධකයක් නැත. ඔවුන් ඉඳ ඇත්තේ විදේශීය ආධාර ද ලබන ඇතැම් මහාචාර්යවරුන්ගේ ඔළුවල පමණ ය), මලයාලම් බස කතාකළ කේරළයෙන් පැමිණි වේලක්කාරයන්ගෙන් හා ලන්දේසින් විසින් දහහත්වැනි සියවස අගභාගයේ දී දුම්කොළ වගාවට කෝරමණ්ඩල වෙරළෙන් ගෙනෙ ලද කෘෂිකාර්මික කම්කරුවන්ගෙනි. ලන්දේසිහු වෙල්ලාල නමින් හඳුන්වනු ලැබූ මේ කෘෂිකාර්මික කම්කරුවන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. එහි නැටෝල් ප්‍රදේශයෙහි ඔවුන්ගෙන් පැවත එන්නන් අදත් දැකිය හැකි ය. හින්දු කුල ක්‍රමය අනුව වෙල්ලාලයෝ ශුද්‍රයෝ වුහ. එහෙත් ඔවුහු සමාජ ධුරාවලියෙහි ඉහළ තැනකට ලන්දේසීන් හා ඉංගිරිසින් විසින් ඔසවනු ලැබූහ. යාපනයේ සිටි සිංහල ගොවියන් හා වෙනත් අය දෙමළ හින්දු සමාජයෙහි කෝවියාර් (ගොවියා යන්නෙහි දෙමළ උච්චාරණය) හා වෙනත් පහත් යැයි සම්මත කුලවලට ඇද දමා කෘෂිකාර්මික කම්කරුවන් ලෙස හින්දු කුල ක්‍රමයේ ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ කුල ධුරාවලියේ ඊනියා ඉහළ තත්වයකට පත්කරනු ලැබූහ. ආරුමුගම් නවලාර්තුමා මේ ඊනියා උසස් කිරීමට ෙසෙද්ධාන්තික පසුබිමක් සකස් කළේ් යැයි සිතිය හැකි ය.

මෙරට දෙමළ හින්දු සමාජයෙහි ඉන්දියාවේ මෙන් ප්‍රධාන බ්‍රාහ්මණ කුලයක් නොමැතිවීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද ඈත අතීතයේ සිට පැවතෙන දෙමළ ජනකායක් මෙරට නොමැති බව ය. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ කම්කරුවන් මිස පූජකයන් නො වේ. එබැවින් ඔවුහු මෙරටට බ්‍රාහ්මණයන් ආනයනය නො කළහ. වෙල්ලායන්ට බ්‍රාහ්මණ අවශ්‍යතා පිරිමසා ගැනීමට සිදුවූයේ එක් පැත්තකින් වැටුප් ලබන පූජකයන් පිරිසක් ඇතිකර ගැනීමෙනි. අනෙක් පැත්තෙන් ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ගෙන් උපදෙස් ලබාගැනීමෙනි. ජයලලිතාලා නේරුලා පමණක් නොව චෙන්නායි මධ්‍යස්ථානය කරගෙන නිකුත් කෙරෙන හින්දු පුවත්පතේ අයිතිකරුවෝ ද බ්‍රාහ්මණ වාංශිකයෝ වෙති. ලන්දේසීහු ද ඉංගිරිසිහු ද සිංහලයන්ට එරෙහිව හින්දු වෙල්ලායන් යොදාගත්හ. විශේෂයෙන් ම ඉංගිරිසිහු පොන්නම්බලම් - කුමාරස්වාමි පවුල ඔස්සේ මුළු රටට ම වෙල්ලාල නායකත්වයක් ගොඩනැගීමට උත්සාහ කළහ. ඔවුහු දෙමළ ජනයාට හා සිංහලයන්ට ඉතිහාසය, ජනගහණය ආදී කිසිවක් නොසළකා ව්‍යවස්ථාදායකයේ එක සමාන නියෝජනත්වයක් ලබා දී සිංහලයන්ට විරුද්ධ දේශපාලනය තවත් තහවුරු කළහ. රාජ්‍ය මන්තුණ සභා යුගයේ පනහට පනහ ඉල්ලීම ඩොනමෝර් කොමිසම හමුවේ සර්වජන ඡන්දයට එරෙහිව සාක්‍ෂි දීම සෝල්බරි කොමිසම ඉදිරියෙහි සිංහලයන්ට බහුතරයක් නොලැබෙන ආකාරයට ආසන බෙදන ලෙස ඉල්ලීම ආදිය ඔස්සේ හින්දු වෙල්ලාල නායකයෝ තම සිංහල විරෝධී ව්‍යාපාරය දිගට ම ගෙනගිය හ. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසුව රටේ නායකත්වයට වෙල්ලාලයන් පත්වීම සිහිනයක් බවට පත්විය. රාජ්‍ය භාෂා පණතට කලින් 1949 දී චෙල්වනායගම් නම් උග්‍ර සිංහල විරෝධී දකුණු ඉන්දීය ක්‍රිස්තියානි සභාවේ දෙමළ නායකයා ඒ බව තේරුම් ගනිමින් දෙමළ ජනයාට වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තේ ය. ප්‍රභාකරන්ලා ඔහුගේ දේශපාලන පුත්තු වූහ. චෙල්වනායගම්ගේ අවශ්‍යතාව පිරිමැසීමට පුත්තු ආයුධ අතට ගත්හ. ඔවුන්ට ඉන්දියාවේ ද බටහිරයන්ගේ ද මූල්‍ය, ආයුධ හා වෙනත් ආධාර ලැබිණි.

සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ උරුමය අහෝසි කිරීමටත් ඒ සංස්කෘතිය විනාශ කිරීමටත් බටහිරයන් අවුරුදු දෙසියකට අධික කාලයක් තිස්සේ උත්සාහ ගනිති. ලංකාවේ ඇත්තේ ඒ ප්‍රශ්නය මිස 1956න් පසු ඇති වූ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නො වේ. ප්‍රශ්නය 1956න් පසු ඇතිවූයේ නම් රාමනාදන්ලාගේ ජාතිවාදී දේශපාලනය, චෙල්වනායගම් 1949 දී දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවීම ආදිය තේරුම් කරන්නේ කෙසේ ද? දෙමළ ජනයාට දෙමළ වීම නිසා මෙරට සිදු වී ඇති අසාධාරණයක් නැත. මුළු ලෝකයේ ම මෙරට වාසය කරන දෙමළ ජනයා දරම් වරප්‍රසාද ලබන “සුළු ජන” කොටසක් නැත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සිංහල උරුමය නැතිකිරීම සඳහා ඉන්දියාව ඇටවූ උගුලක් වේ. සිංහල බහුතරය එයට විරුද්ධ වෙති. ඒ සම්මත වූයේ ගිනි මැළ මධ්‍යයෙහි ය. එය අහෝසි කිරීමට හැකි නම් ඒ කළ යුතු ය. සිංහලයන්ට එරෙහිව දෙමළ ත්‍රස්තවාදය යොදා ගනිමින් ගෙනගිය ව්‍යාපාරය නන්දිකඩාල් කලපුවේ දී හමුදාමය වශයෙන් පරාජය කෙරිණි. හමුදා මෙහෙයුම් ද දේශපාලන ක්‍රියා මාර්ගයකි. අපේ රණ විරුවන් සටන් කළේ ඊළමට විරුද්ධව පමණක් නො වේ. දහතුන මගින් කළ බලය බෙදීමට ද විරුද්ධව ඔවුහු සටන් කළහ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන දේශපාලනික ව අහෝසි විය. එහෙත් එය තවමත් නීතිය වෙයි. අප කළ යුතුව තිබුණේ නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නන්දිකඩාල් කලපුවට ම විසිකර එය අහෝසි කිරීමට දහවනවැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම ය. එදා එය කළ හැකිව තිබිණි. අද යම් හේතූන් නිසා එය කළ නොහැකි නම් එහි ඇති සිංහල විරෝධී වහන්ති ඉවත්කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු ය. එසේ නැතිව දහතුනෙන් එහාට යෑමක් ගැන කතාවක්වත් නොකළ යුතු ය. එසේ කිරීම රණවිරුවන්ගේ ජීවිත අවයව පූජාවලට කරන ද්‍රෝහි කමකි. ඔවුන්ගේ ජීවිත පූජා නැතිව ම දහතුනෙන් එහාට යෑමට තිබිණි. යුද්ධ ජයග්‍රහණවලින් දිනාගත් දේ විසිකර ආපසු සාකච්වා මේසයට යෑමට සිංහලයන් කැමති වේ යැයි ඉන්දියාව සිතන්නේ ද? ඉන්දියාව හමුදා මෙහෙයුම් ආධාරයෙන් එකතු කරගත් ගෝව ප්‍රදේශය පිළිබඳ යළි සාකච්ඡා කිරීමට එකඟ දැයි අපි ක්‍රිෂ්ණ මහතාගෙන් අසමු.


Thursday, 9 June 2011

ඉන්දීය බලපෑම්

ඉන්දියාව නැවතත් ලංකාවට හොට දැමීමට උත්සාහ කරයි. අපේ අසල් වැසියා වූ ඉන්දියාව අපේ මිත්‍රයෙක් නො වේ. ඉන්දියාවට අපේ ඥාති සම්බන්ධයක් තිබීමට හැකි ය. එහෙත් ඥාතීන් අතර දරුණු විරුද්ධකාරයන් සිටින බව ද අපි දනිමු. අපට හිතවත් මිතුරන්, ගුරුවරුන්, උපදේශකයන්, ශාස්තෘවරුන් ඉන්දියාවේ බිහිවී නැත. සිදුහත් කුමරු හා අශෝක රජුගේ පුත් මිහිඳු කුමරු ඉපදුණේ ඉන්දියාවේ නො වේ. සිදුහත් කුමරු ඉපදී ඇත්තේ දඹදිව මිස අඩුතරමෙන් භාරතයේවත් නො වේ යැයි මම විශ්වාස කරමි. ඉන්දියාව යනු ඉංගිරිසින් විසින් පිහිටුවන ලද රාජ්‍යයක් මිස අනාදිමත් කාලයක් තිස්සේ පවතින රාජ්‍යයක් නො වෙි.

පැරණි දඹදිවට ආර්යයන් (පඬියන්ගේ දැනගැනීම සඳහා ආර්ය සංස්කෘතිය ගෙන ආ පුද්ගලයන්) පැමිණීමෙන් පසු එකල දඹදිව තිබූ සංස්කෘතිය යම් ප්‍රමාණයකට වෙනස් කෙරිණි. ආර්යයන් අසුපිට ගොස් කරන යුද්ධවල දක්‍ෂයන් වූ නමුත් යාග හෝම ඉක්ම වූ සංස්කෘතියක් ඔවුන්ට නො තිබිණි. එහෙත් දඹදිව මනස වර්ධනය කළ භාවනා, යෝග අභ්‍යාස ආදිය ප්‍රගුණ කළ සංස්කෘතියක්් විය. ආර්යයන්ගේ පැමිණීමෙන් පසුව ආර්ය හා අනාර්ය (ආර්යයන් පැමිණීමට පෙර වූ යන අරුතින් මිස ද්‍රවිඩ යන අරුතින් නො වේ) සංස්කෘතීන් මිශ්‍රවීමෙන් වෛදික සංස්කෘතිය ද භාරතය ද බිහිවන්නට ඇතැයි සිතිය හැකි ය. සිදුහත් කුමරු උපදින සමයෙහි දඹදිව ඊසාන දිග තිබී ඇත්තේ අර්ධ වෛදික සංස්කෘතියකි. ලෞකික වශයෙන් ගත්කල බුදුන්වහන්සේත් නිඝන්ඨනාථ පුත්තයනුත්, වෛදික බ්‍රාහ්මණ සංස්කෘතියට විරුද්ධව පැරණි අනාර්ය සංස්කෘතිය නැවත ඉස්මතු කළහ. කිසි ලෙසකින්වත් මෙය බුදුන්වහන්සේගේ ලෝකෝත්තර මාර්ගය සමහ සංසන්දනය කළයුතු නො වේ. වැඩිකල් නොගොස් ම වෛදිකයෝ බුදුදහමත්, එපමණට නොවූවත් ජෛනාගමත් භාරතයෙන් පිටමං කළහ. අවසානයේ දී බුදුසසුන රැකුණේ කිසි දිනෙක අර්ධ වෛදික තත්වය නොඉක්ම වූ ලංකාවෙහි ය. යම් අයුූරකින් මිහිඳු හිමියන් වඩින විට ලංකාව වෛදික වී තිබිණි නම් බුදුසසුන ලංකාවෙහි පිහිටුවීමටවත් අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඉංගිරිසින් පැමිණීමට පෙර වෛදික භාරතය රාජවාංශික රාජධානි එකතුවක් විය. මේ එක් එක් රාජවංශයක් හා ඔවුන් විසින් පාලනය කෙරුණු ප්‍රදේශයෙහි ජනතාව එකම ජනවර්ගයකට අයත් වූ බවක් මෙයින් නො හැඟෙයි. ඇතැම් රාජවංශයක් කලක් එක් ප්‍රදේශයක් පාලනය කර පසුව ඒ ප්‍රදේශයෙහි වෙනත් රාජවංශයකට පැරදී වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී රාජධානි පිහිටුවා ගත් අවස්ථා ද ඉතිහාසයෙහි සඳහන් වෙයි. අශෝක රජු වුව ද මෞර්ය වාංශික රජකු වූ අතර ඔහු තම වංශය විසින් පාලනය කෙරුණු ප්‍රදේශය විශාල කරගත් පුද්ගලයෙක් විය. භාරතයේ කිසි දිනෙක ජාතික රාජ්‍යයක් ඇති නො වී ය. ඉංගිරිසින්ගේ ආක්‍රමණයෙන් පසු ඔවුන් ඉන්දියාවේ නෛතික ජාතික රාජ්‍යයක් ඇති කළහ. එය අංශභාග ජාතික රාජ්‍යයක් විය. රාජ්‍යයේ වැසියෝ ඉන්දියානුවෝ වූහ. එහෙත් ඔවුහු එක් භාෂාවක් පමණක් කතාකළ පිරිසක් නො වුහ. විවිධ භාෂා කතා කළ සංස්කෘතික වශයෙන් විවිධ වූ ජනතාව ඉන්දියාව නම් ඊනියා ජාතික රාජ්‍යයයෙහි කොටු වී සිටියහ. ඒ අතර මහාරාජා නමින් තමන් හඳුන්වාගත් පිරිසකගේ වාංශික රාජ්‍ය කිහිපයක් ද ඉන්දීය භූමි භාගයෙහි ම තවදුරටත් පැවතිණි. ඉන්දියාවට නිදහස ලබාදීමේ දී මේ මහාරාජාවරුන්ගේ රාජ්‍ය එකතුකිරීම පිලිබඳ ප්‍රශ්නයක් ද වූ නමුත් අවසානයේ දී ඉන්දියාව හා පකිස්ථානය නමින් රාජ්‍ය දෙකක් පිහිටුවා අවුලක් ඇතිකර ඉංගිරිසිහු නාමික ව ඉන්දියාවෙන් පිටව ගියහ.

එහෙත් වැඩිකල් නොගොස් ඉන්දියාව නමින් ඉතිරි වූ කොටසෙහි තව තවත් අවුල් පැන නැගිණි. නව ඉන්දියාව අර්ධ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් විය. එහි ප්‍රාන්ත බෙදා තිබූ අයුරු ඇතැම් ජනවර්ගවලට, විශේෂයෙන් ම දෙමළ ජනවර්ගයට, රුචි නො වී ය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට අගමැති ජවහර්ලාල් නේරු මහතාට භාෂා මත පදනම් ව (ජනවර්ග නොවන බව අවධාරණය කළ යුතු ය) ඉන්දීය රාජ්‍යය නැවතත් ප්‍රාන්තවලට බෙදීමට සිදුවිය. තමිල්නාඩුව දෙමළ භාෂාව කතාකරන ජනතාව විශාල බහුතරය වූ ප්‍රාන්තය විය. මේ අතර උතුරේ හින්දි භාෂාව කතාකරන ජනයාගේ සංඛ්‍යාව ඉතා විශාල වීම හා ඔවුන් අතිවිශාල ප්‍රදේශයක පදිංචිවීම හේතුකොටගෙන හින්දි භාෂාව කතාකරන ජනයා ප්‍රාන්ත කිහිපයකට අයත් විය. කෙසේ වෙතත් හින්දි සමස්ත ඉන්දියාවේ ම එකම රාජ්‍ය භාෂාව වෙයි. එහි ඉංගිරිසි ද නැවත තීරණයක් ගන්නා තෙක් රාජ්‍ය භාෂාවක් ලෙස ක්‍රියාත්මක වෙයි. එහෙත් ඉංගිරිසියට හින්දි භාෂාවට ඇති තැන ඉන්දියාවේ නෛතික ව නැති බව අවධාරණය කළ යුතු ය.

ලංකාවේ තත්වය මෙයට වඩා සම්පුර්ණයෙන් ම වෙනස් ය. මෙරට එක්සේසත් ජාතික රාජ්‍යයක් පළමුවරට ඇතිවූයේ පණ්ඩුකාභය රජු දවස ය. එකළ ධනපති ක්‍රමයක් තිබුණේ ද යන්න ජාතික රාජ්‍ය පහළ වූයේ ධනපති ක්‍රමය බිහිවීමෙන් පසුව යැයි සුද්දන්ගෙන් උගත් වඳ අනුකාරකයකුට සුදුසු ප්‍රශ්නයකි. ඇතැමි අවස්ථාවල ඈප කෙනකු නැත්නම් මාපා කෙනකු බලවත් වී රජුට විරුද්ධ ව කැරළි ගසා “ප්‍රාන්ත රාජ්‍ය” පිහිටුවා ගත් අවස්ථා ද නැතිවා නො වේ. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් එළාර එවැන්නකුවත් නොවූ බව ය. ඔහු විජිතපුරය මධ්‍යස්ථානය කරගත් විදේශික ආක්‍රමණියකු පමණක් විය. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධ එක්සේසත් ජාතික රාජ්‍යය පිහිට වූ අතර මෙරට අලිඛිත ව්‍යවස්ථාව ද සම්පාදනය කළේ ය. 1506 දී මෙරටට පැමිණි පෘතුගීසීන්ට එක්සේසත් රාජ්‍යය යන්න අවබෝධ කරගත නොහැකි වූ බැවින් ඔවුහු යුරෝපීය දෘෂ්ටි කෝණයකින් ඒ සඳහා විවිධ අර්ථකථන සැපයුහ. 1650න් පසුව ලන්දේසීන් මෙරටට කෝරමණඩල වෙරළින් ගෙන ආ කෘෂිකාර්මික කම්කරුවෝ (වෙල්ලාලයෝ) සිංහල සංස්කෘතියට එක්වීමෙන් වළකනු ලැබූහ. එතෙක් මෙරට සංක්‍රමණය වූවෝ සිංහල සංස්කෘතිය තුළ කිඳා බැස ගත්හ. ලන්දේසීන් තොග වශයෙන් ගෙන් වූ වෙල්ලාලයෝ යථා කාලයේ දී යාපනයේ විසූ සිංහලයන් දෙමළ සංස්කෘතියට ඇතුල් කරමින් වර්තමාන දෙමළ ජනවර්ගය ඇතිකිරීමට මුල් පියවර ගත්හ. එදා ද ඉන්පසු ඉංගිරිසින්ගේ ද අද දෙමළ ජාතිවාදීන්ගේ ද (ඇතැම් සිංහලයෝ ද ඒ ගණයට අයත් වෙති) අවශ්‍යතාව වී ඇත්තේ මේ දෙමළ පිරිස ගොඩනගා ඇති ජාතියට ඇතුල්වීම වැළැක්වීම ය. අද ඇත්තේ ඊනියා ජාතියක් ගොඩනැගීමේ ප්‍රශ්නයක් නොව ගොඩනගා ඇති ජාතියෙන් පිරිසක් බැහැර කිරීමට බටහිරයන් හා ඉන්දියානුවන් ක්‍රියා කිරීම ය.

පැහැදිලිව ම ඉන්දියාවේ හා ලංකාවේ රාජ්‍යය පිළිබඳ ඉතිහාසය වෙනස් ය. එබැවින් ඉන්දියාවේ ප්‍රාන්ත විසඳුම අපට කිසිසේත් නො ගැළපේ. එයට අමතරව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරටට නොගැලපීම පිළිබඳ කලින් ලියා ඇති තවත් කරුණු ද වෙයි. දහතුන්වැනි සංශෝධනය ඉන්දියාව අප මත බලෙන් පැටවුවකි. ංද ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ පොලිස් බලතල හා ඉඩම් බලතල ද ක්‍ර්‍රියාත්මක කර දහතුනට ද එහා යන ඊනියා විසඳුමක් ක්‍රියාත්මක කිරීම ය. ලංකාව සම්බන්ධ ප්‍රතිපත්තියේ දී ඉන්දියාව කරුණු දෙකක් මත පදනම් වෙයි. එකක් ඉන්දියාවට කලාපීය සුපිරි බලවතා වීමට ඇති අවශ්‍යතාව ය. අනෙක තමිල්නාඩුවේ බලපෑම ය. ඉන්දියාවට තම පැවැත්ම සඳහා ම ඇතැම් විට තමිල්නාඩුවේ ඉල්ලීම්වලට හිස නැමීමට සිදුවෙයි. ඉන් පැහැදිලිවන්නේ ඊනියා භාෂාව මත නිල වශයෙනුත් නොනිල වශයෙන් ජනවර්ග මත පදනම් වී ප්‍රාන්ත සභා ඇතිකිරීම ඉන්දියාව ගත් වැරදි ක්‍රියා මාර්ගයක් බව ය. අප ඉන්දියාවේ බලපෑම මත එරටට ද හිසරදයක් වී ඇති ව්‍යවස්ථාවක් අනුකරනය කළ යුත්තේ ඇයි?

අනෙක් අතට සිංහල ජනයා දහතුනට විරෝධය පළකර ඇත්තේ එක්වරක් පමණක් නො වේ. ඉන්දියාව දහතුනට එහා යන සංශෝධනයක් අපෙන් බලාපොරෙත්තු වන්නේ සිංහලයන්ගේ විරෝධතාව තුට්ටුකට මායිම් නොකරමිනි. ආණ්ඩු ප්‍රභාකරන් පරාජය කළේ එක් පැත්තකින් පොලිස් බලතල ඉඩම් බලතල දීමට එකඟ වීමට නොහැකි බැවිනි. දහතුනට එහා යන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර ඇතැම් විට තාවකාලික ව ඉන්දියාවේ සහාය ඇතිව ඊනියා සාමයක් ඇතිකිරීමට තිබිණි. එහෙත් සිංහලයෝ එයට විරුද්ධ වූහ. ආණ්ඩුව ප්‍රභාකරන් පරාජය කළේ පොලිස් බලතල දීමට නොහැකි බැවිනි. ඒ අරමුණින් කොටින්ට විරුද්ධව සටන් කර කොටි පැරද වූ ආණ්ඩුවට අද ඉන්දියාව කියන්නේ පොලිස් බලතල හා වෙනත් බලතල දෙන ලෙස ය. මෙහි ඇති න්‍යාය (logic) කුමක් ද? ඊනියා දෙවැනි ලෝකය ජයගැනීමෙන් පසු එංගලන්තයට රුසියාවට ඇමරිකාවට තමන් දිනූ ප්‍රදේශ ආපසු දෙන ලෙස කීවේ නම් කුමක් සිදුවීමට තිබිණි ද? පොලිස් බලතල, ඉඩම් බලතල ආදිය දීමට විරුද්ධව කොටින්ට එරෙහි ව මෙහෙයුම් ජයගැනීමෙන් පසු ඉන්දියාව ඒ කොටින්ට ම පොලිස් බලතල දෙන්න යැයි අපට කරන බලපෑමට අප මුහුණ දිය යුත්තේ ඒ බලපෑම මුළුමනින් ම පරාජය කිරීමෙනි. ඉන්දියාව නිදහස දිනාගත් කාලයේ සිටම සූදානම් වූයේ කලාපයේ බලවතා වී අප රට තවත් භූතානයක් කිරීමට ය. ඒ වැරදී යෑමෙන් පසුව ද ඉන්දියාව තවමත් තම ප්‍රයත්නය අත්හැර දමා නැත. අද දෙමළ ජාතිවාදයට පැවැත්මක් ඇත්තේ බටහිරයන් හා ඉන්දියානුවන් එය පසුපස සිටින බැවින් මිස වෙනත් හේතුවක් නිසා නො වේ. ඉන්දියාවේ කෞටිල්‍යයෝ ලංකාව තම ග්‍රහණය යටතේ තබාගැනීමට වෑයම් කරති. මේ කෞටිල්‍යයන් පරාජය කිරීමට පැරණි පැකේජ් ඇමතිවරුන්ට හැකි ද යන්න අද ප්‍රශ්නයක් වී ඇත. එයට හේතුව පැරණි පැකේජ් ඇමතිවරු දහතුනේ ගෝලයන් වීම ය.