Main Logo

Showing posts with label රජරට. Show all posts
Showing posts with label රජරට. Show all posts

Friday, 12 August 2011

ආසනික් ගැන අපේ කතාව

ආසනික් ප්‍රශ්නය පිළිබඳ ව තවමත් විවිධ අංශවලින් විවිධ කතා ගෙතෙනු දක්නට හැකි ය. කතන්දර ගෙතීමට සිංහලයන් දක්වන්නේ අති මහත් දක්‍ෂතාවකි. එහෙත් ඒ කතා සංගතව ගෙතීමට ඔවුන්ට එතරම් දක්‍ෂතාවක් නැත. රජරට ජලයේ ආසනික් නැතැයි කියන්නන් ගෙතා ඇති ප්‍රධාන ම කතාව නම් අප මේ ප්‍රශ්නයේ දී අපේ කතාව වෙනස්කර ඇති බව ය. ඔවුන්ට අනුව අපි රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි කී නමුදු දැන් තවත් අවශ්‍යතා දෙකක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. එනම් කිවුල් ජලය හා රජරට ප්‍රදේශවල ඇති කුඹුරු පස ය. අප එදා වතුර හා සහල් ගැන කතා කළමුත් අද කතාකරන්නේ කෘමිනාශක සම්බන්ධයෙන් ය. අප අතින් සහල් හා ජලය ගිලිහී ගොස් ඇති සෙයක් යැයි අපේ විරුද්ධකරුවෝ පවසති.

මේ ඉතාමත් වැරදි කතාවකි. අපේ විරුද්ධවාදීන් පැවසීමට තැත් කරන්නේ අප ඔවුන්ගේ විවේචන හමුවේ සහල් හා වතුර අස්කරගෙන ඇති බවත් දැන් අප ඒ වෙනුවට පලිබෝධනාශක කෙරෙහි සිත් යොමුකර ඇති බවත් ය. අප කළේ කුමක් ද? මෙහි ප්‍රවෙිශය කුමක් ද? අපි විමසා බලමු. අපේ මූලික අරමුණ වූයේ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීම ය. ඉන්පසු ඒ සඳහා ප්‍රතිකාර කිරීම ය. අපට කලින් ද විවිධ කණ්ඩායම් රජරට වකුගඩු රෝගය ගැන පරීක්‍ෂාකර විවිධ වාර්තා ඉදිරිපත් කෙරී තිබිණි. ඔවුන්ට අනුව කැඩ්මියම්, ඇලුමීනියම් භාජනවල ආසනික් සහිත ජලය තැන්පතුව, ඇල්ගී වර්ග ආදිය රජරට වකුගඩු රෝගයට හේතු විය. එහෙත් මේ එකක්වත් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් හෝ පිළි ගැනීමට ලක් නොවීය. ඒ සියල්ලෙහිම විවිධ ගැටලු තිබිණි. අදත් ඒ නො පිළිගැනෙයි.

එපමණක් නොවේ. මේ ඇතැම් හේතු කිසිම වූ ආකාරයේ ඊනියා විද්වත් සඟරාවක පළකර නොතිබිණි. එහෙත් කිසිම විද්‍යඥයෙක් අද අපෙන් ප්‍රශ්න කරන ආකාරයට ඒ ප්‍රතිඵල ඊනියා විද්වත් සඟරාවක පළ නොකර මහජනතාවට ඉදිරිපත් කළේ ඇයිදැයි ප්‍රශ්න නො කළේ ය. ඇතැමුනට තේරුම් ගැනීමට නොහැකි මේ දෙබිඩි පිළිවෙත ය. එහෙත් තවදුරටත් කරුණු විමසීමේ දී පෙනී යන කරුණ නම් ප්‍රශ්නයට නාථ දෙවියන්ගේ මැදිහත්වීම නිසා වෙනත් අයගෙන් නොඅසන ප්‍රශ්න අපෙන් අසන බව ය. කාගෙ කාගෙත් විරුද්ධතාව නාථ දෙවියන්ට බව පැහැදිලි ය.

නාථ දෙවියෝ යනු කවරහු ද? අපේ සාහිත්‍යයට අනුව නාථ දෙවියෝ මෛත්‍රී නමින් මීළඟට මේ මහාභද්‍ර කල්පයෙහි ම බුද්ධත්වය ලබති. නාථ දෙවියන් හැරෙන්නට වෙනත් දෙවිවරුන්ගෙන් ද අපේ කණ්ඩායමට උපදෙස් හා හෝඩුවා ලැබෙයි. ඒ දෙවිවරුන් අතර විපස්සක දෙවියෝ ප්‍රධාන වෙති. ඒ අතර දෙවොල් දෙවියෝ ද, දැඩිමුණ්ඩ දෙවියෝ ද වෙති. මේ දෙවිවරුන්ගෙන් අපට ලැබෙන හෝඩුවා මත අපි බටහිර රසායන විද්‍යාවට අනුව පරීක්‍ෂණ පවත්වමු.

මේ දෙවිවරු අපට කිසි විටෙක සියල්ල නො කියති. එසේ කළහොත් දිව්‍ය බලය පිරිහී යන බව පැවසෙයි. එය සුරංගනා කතාවක් නො වේ. දෙවිවරු අපට උපදෙස් හා හෝඩුවා ලබාදෙන්නේ මූලික වශයෙන් ජනයා ධාර්මික කිරීමට හා නිවන් මගට පත්කිරීමට මිස මැජික් පෙන්වීමට නො වේ. අපට ඒ පිළිබඳ කිසිම ගැටළුවක් නැත. ඇතැම් දේව අනුහස් ඇති ස්ථාන ටික කලකින් වැසී යන්නේ අදාළ දෙවියන් අනවශ්‍ය ප්‍රමාණයකට තොරතුරු දී දිව්‍ය බලය නැතිකර ගැනීම නිසා යැයි අපට විශ්වාස කළ හැකි ය.

රජරට වකුගඩු රෝගය පිළිබඳ සාකච්ඡා කිහිපයකින් පසුව වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ දෙවිවරුන් කරා යොමු කරන ලද්දේ මා විසිනි. බොහෝ කලක සිට භාවනාවෙන් දැනුම ලබාගැනීම පිළිබඳ මගේ සිත යොමු වී තිබිණි. එමෙන් ම අපේ විද්‍යාවක් ගොඩනගා ගැනීමට මේ ක්‍රමය ද, එනම් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් සම්බන්ධ කර ගැනීම ද යොදාගත හැකි බව මට පෙනී ගොස් තිබිණි.

වෛද්‍ය චන්න ජයසුමන මහතාට රජරට ප්‍රදේශවලින් ජලය හා පස් නියැදි ගෙන ඒමට දෙවියන්ගෙන් උපදෙස් ලැබිණි. ඒ අනුව ගෙනෙන ලද නියැදිවල ආසනික් ඇති බව දෙවිවරු පැවසුහ. ඉන්පසු අපි ජල නියැදි ආසනික් සඳහා පරීක්‍ෂා කළෙමු. එහි දී ද බටහිර රසායන වි්‍යාඥයන්ට ක්‍රමයක් නොතිබුණු බැවින් දෙවිවරු යම් හෝඩුවාවන් සැපයුහ. ඒ අනුව පරීක්‍ෂා කිරීමේ දී අදාළ නියැදිවල ආසනික් ඇති බව හෙළිදරවු විණි.

ජලය සමග අපි විවිධ ශාඛ වර්ගවල ද පළතුරු හා ගෙඩිවල ද ආසනික් ඇත්දැයි පරීක්‍ෂා කළෙමු. එහි දී සහල්වල ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. සහල්වල ආසනික් ඇති බව දැනට අවුරුදු කිහිපයක් තිස්සේ ම මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය දනිති. එබැවින් අපේ හෙළිදරවුව අළුත් දෙයක් නො වී ය. එහෙත් රජරට වකුගඩු රෝගයට හේතුව බත්කෑම යැයි අපි නො කීවෙමු. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ද එහෙත් එයට අමතරව ඒ රෝගය පැතිරයෑම සඳහා කිවුල සහිත ජලය ද කුඹුරු පස නමින් හැඳින්වෙන පස ද අවශ්‍ය බව කීවෙමු. මේ හේතු විවිධ අවස්ථාවල අනෙක් අයගේ විවේචන හමුවේ අපේ කණ්ඩායම විසින් එකතු කළ දේ නොව අප ආරම්භයේ සිට ම ප්‍රකාශ කරන ලද කරුණු විය.

රජරට ප්‍රදේශවලින් හමු වූ රෝගීන් ගැන අධ්‍යයනයක් කළ අපේ කණ්ඩායමේ වෛද්‍යවරුන් ඒ රෝගයට හේතුව ආසනික් (ආසනේට්) විෂවීම බව දැනගත්හ. ඔවුන්ට ලබාගත හැකි වූයේ රෝගයෙන් මියගිය අයගේ මෘත ශරීර දෙකක් පමණක් වීම මෙහි දී අපට ඇති ප්‍රධාන ම අඩුපාඩුව වෙයි. එහෙත් ඒ මෘතදේහ දෙක ව්‍යචිඡෙදය කිරීමෙන් පසු පෙනී ගිය කරුණ වූයේ රෝගයට හේතුව ආසනික් බවත් මෙය සාමාන්‍ය ආසනික් විෂවීමකට වඩා වෙනස් බවත් මේ රෝගය පිළිකා විශේෂයක් බවත් ය. මෙහි දී ද අපට දෙවිවරුන්ගෙන් හෝඩුවාවන් ලැබුණු බව සඳහන් කළ යුතු ය.

රෝගයට හේතුකාරකය ආසනික් බවත්, රජරට ප්‍රදේශවලින් ලබාගත් ජල, පස්, ශාඛ නියැදිවල ආසනික් ඇති බවත් දැනගැනීමෙන් පසු අපට අවශ්‍ය වූයේ ඒ ප්‍රදේශවලට ආසනික් ලැබෙන්නේ කෙසේ දැයි සොයා බැලීම ය. අපේ පොළොවේ ආසනික් ස්වභාවයෙන් ආසනික් නැත. ඒ බව ඕනෑම භූවිද්‍යාඥයකුට රසායන විද්‍යාඥයකුට භූරසායන විද්‍යාඥයකුට (විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පියකුට) අඩි දහයක් පමණ යටට පොළොව හාරා ඒ ඒ මට්ටමේ දී ආසනික් ඇති නැති බව පරීක්‍ෂාකිරීමෙන් දැනගත හැකි ය.

ලංකාවේ පොළොවේ සමස්තයක් ලෙස ගත්කල ආසනික් ඇත්තේ අඩි දහයක් පමණ යටට යන තෙක් පමණ යැයි අපි කියමු. අප එසේ කියන්නේත් දෙවිවරුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව ය. එසේ නම් එයින් කියැවෙන්නේ මෙරට පොළොවට බාහිර ව ආසනික් එකතු කෙරී ඇති බව ය. ඒ ආසනික්වලට තවමත් පොළොවෙන් අඩි දහයකට වඩා යටට යෑමට කාලයක් ලැබී නැත. එසේ නම් බාහිර ව පොළොවට ආසනික් එකතු කරන්නේ කවු ද යන ප්‍රශ්නයට අපි මුහුණ දුූන්නෙමු.

ඒ ප්‍රශ්නයට ඉතා පැහැදිලි පිළිතුරක් විය. ඒ කවුරුන්වත් නොව මෙරටට පලිබෝධ නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කරන්නන් බව ය. ඔවුහු අසරණ ගොවි මහතුන් ලවා දැන් අවුරුදු හතළිහක් පමණ කාලයක් තිස්සේ කෘෂි රසායන මගින් පොළොවට ආසනික් එකතු කරති. අපේ පිළිතුර අපි පලිබෝධනාශක නියැදි රාශියක් පරීක්‍ෂාකිරීමෙන් පසුව තහවුරු කරගත්තෙමු. අපි ඉන්පසු ඒ බව ක්‍ෂණිකව ම ප්‍රකාශ කළේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ය. අපට ඊනියා විද්වත් සඟරාවල සාම්‍ය සමාලෝචනවලින් පසුව පත්‍රිකා පළකරගැනීමෙන් ඒ කිරීමට අවශ්‍ය නො වීය. එසේ කළේ නම් අපේ පත්‍රිකා මේ වනතුරුත් පළ නොවී තිබෙනු අතර අඩුම තරමෙන් කෘමිනාශක නවයක් අලෙවිකිරීම තහනම් නො කෙරෙනු ද ඇත. එමෙන් ම කෘමිනාශක අඩංගු බහාලුම් දොළහක් පමණ වරායේ රඳවා ගැනීමට ද රේගුවට අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඇතැමුන් කියන්නාක් මෙන් නොව අපි කිසිම විටෙක ජලයේ හා සහල්වල ආසනික් ඇති බව සඳහන්කිරීම අත්නොහැරියෙමු. අප දැන් වැඩි වශයෙන් පලිබෝධනාශක ගැන කතාකරන බව සත්‍යයකි. රජරට වකුගඩු රෝගයට හේතුව බත් හෝ වෙනත් ආහාරයක් හෝ නොවන බවත් එය වැළඳෙන්නේ බොන වතුර නිසා බවත් වතුරට ආසනික් එකතුවන්නේ ආසනික් රඳවාගත හැකි පසක් රජරට ප්‍රදේශවල ඇති නිසා බවත් ඒ පසට ආසනික් ලැබෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බවත් දැනගැනීමෙන් පසු අපට හාල්වල ඇති ආසනික් ගැන කතාකිරීමේ අවශ්‍යතාවක් නො වීය. එයට හේතුව අපේ අධ්‍යයනය රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් වීම ය. එහෙත් අප ජලයේ ආසනික් (කැලිසියම් ආසනේට්) ඇති බව දිගින් දිගට ම ප්‍රකාශ කරන්නේ ඒ බව අපේ අධ්‍යයනයට අදාළ බැවිනි. අප දැන් කෘමිනාශක ගැන වැඩි අවධාරණයක් කරන්නේ ඒ ඔස්සේ රජරටට පමණක් නොව අනෙක් ප්‍රදේශවල පසට ද ආසනික් එකතුවීම නතර කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක් පැතිර යෑම නවතාගත හැකි නිසා පමණක් නොව මෙරට ගොවි ජනතාව බෞද්ධ විරෝධී සත්ව ඝාතනයෙන් ඈත්කිරීමට ද හැකි නිසාත් ය. මෙරට ගොවි මහතුන් කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඈත්කර සිංහල බෞද්ධ ගොවිතැනකට යොමු කිරීම අපේ එක් අරමුණක් වෙයි.

මෙහි දී තවත් කරුණක් නොකියා ම බැරි ය. මෙරට බොහෝ දෙනා අවුරුදු ගණනක් තිස්සේ කෘමිනාශකවල වසවිස ඇති බව දැනගෙන සිටිය හ. ඒ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂාවලින් නොව අත්දැකීමෙන් දැනගත් කරුණකි. එහෙත් ඒ වසවිස කවරේදැයි ඔවුහු නොදැන සිටියහ. කෘමිනාශකවල ආසනික් පමණක් නොව රසදිය ද ඇති බව අපේ කණ්ඩායම බටහිර රසායන විද්‍යාවට අනුව කරන ලද පරීක්‍ෂණවලින් හෙළි වී ඇත. එය ද දෙවිවරුන්ගෙන් ලැබුණු හෝඩුවාවක් අනුව කෙරුණකි. එපමණක් නොව එහි සයනයිඩ් ද අඩංගු වන බවට හෝඩුවාවක් වෙයි. බොහෝ දෙනා කෘමිනාශකවල වස විස අඩංගු බව දැනගෙන සිටිය ද ගොවීන් මුළුමනින් ම ඊනියා හරිත විප්ලවයේ කෘෂි රසායන කෘෂිකර්මයෙන් ඉවත්කිරීමට නොහැකි විය.

නාථ දෙවියන් ප්‍රශ්නයට අවතීර්ණවීමෙන් පසු ඊනියා හරිත විප්ලවයේ ව්‍යසනයට ඇති අවධානය අන් අතකට යොමු වී ඇත් ද? එසේ ප්‍රශ්න කරන්නෝ අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාවට ම සේවය කරති. ඊනියා හරිත කෘෂිකර්මය ද බටහිරයන්ගේ හඳුන්වා දීමකි. එයින් කෙරෙන්නේ එම කෘෂිකර්මයෙන් මුළු මහත් ජනතාවට ම අවශ්‍ය ආහාර නිපදවීමට නොහැකි බව පෙන්වා ගොවි ජනතාව කෘෂිරසායන කෘෂිකර්මයේ ම රඳවා තැබීම ය. අපට දෙවිවරුන්ගෙන් ලැබෙන හෝඩුවාවලින් කියැවෙන්නේ සිංහල බෞද්ධ ගොවිතැන ඔස්සේ අවශ්‍ය ආහාර සියල්ල නිෂ්පාදනය කරගත හැකි බව ය. අද බොහෝ දෙනාට නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ප්‍රශ්නයක් වී ඇති බව සැබෑ ය. එහෙත් ඒ දෙවිවරුන් ද අපේ විද්‍යාවක කොටස්කරුවන් බව අමතක නොකළ යුතු ය. අපේ විද්‍යාවක් ගොඩනැගීමේ දී අපට ඒ දෙවිවරුන් අවශ්‍ය වෙයි. ඒ දෙවිවරුන් ප්‍රශ්නයෙන් ඈත්කර තැබිය යුතු යැයි පවසන්නෝ අවසානයේ දී බටහිර ක්‍රිස්තියානි විද්‍යාවට ම සේවය කරති. මේ අතර ඇතැම්හු අපේ විද්‍යාව යනු විද්‍යාවක් නොවේ යැයි කියති. බටහිර ක්‍රිස්තියානි විද්‍යාවේ දාසයන් වූ ඔවුන්ගේ විවේචන නොතකා අපේ විද්‍යාවක් ගොඩනැගීමට අතදෙන විදුසරට අපේ ස්තුතිය හිමිවෙයි.


ඊනියා විද්‍යාඥයන්ගේ දැනුම


අද දිවයිනේ ප්‍රධානතම විද්‍යාඥයකු ලෙසත් කීර්තිමත් විද්‍යාඥයකු ලෙසත් හැඳින්වෙන මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පසුගිය ජූලි 31 වැනි දින දිවයින ඉරිිදා සංග්‍රහයට ලියූ ලිපියෙන් මා නැවතත් ජනතාවට ආසනික් භීතියක් ඇතිකරන බව පවසා ඇත. මට හෝ අප කණ්ඩායමේ වෙනත් අයකුට හෝ ඊනියා ආසනික භීතියක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් නැත. ආසනික් භීතියක් මේ රටේ ජනතාවට ඇතිකිරීමට අවශ්‍යතාවක් තිබෙන අයකුට වුව ද එසේ කිරීමේ හැකියාවක් නැත. එයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍යවල වස විස ඇති බව ජනතාව දැන සිටීම ය. ඇතැමකු ඒ හේතුවෙන් කාබනික ගොවිතැන වැනි විකල්ප ගොවිතැන් කරා ද යොමු වී ඇත. එය අද ඊයේ දැනගත් දෙයක් නොවන මෙරට ජනතාව සමග කටයුතු කරන අය දනිති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද වස විස නැති ගොවිතැනක් ගැන කතා කරයි. අප කර ඇත්තේ මේ වස විස කිහිපයක් රසායනික නම්වලින් හඳුනාගැනීම පමණ ය. ඒ දැනුම අපට මුලින් ම ලබාදුන්නේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ප්‍රධාන දෙවිවරුන් බව අවධාරණය කළ යුතු ය. දෙවිවරුන් ඒ ඒ අවස්ථාවල කෘෂි රසායනික ද්‍රව්‍යවල ඇති ආසනික්, රසදිය හා සයනයිඩ් ගැන කී බව මෙහිලා සඳහන් කළ යුත්තේ අප කැලණියේ මෙන් ම වෙනත්් රසායනාගාරවල ද පිරික්සුම් කළේ දෙවියන් විසින් දෙන ලද ඒ දැනුම මත පදනම් වී නිසා ය. මෙවැනි පරීක්‍ෂණවල දී කෙරෙන්නේ බටහිර විද්‍යාවේ රසායනාගාරවල ක්‍රියාකරන පටිපාටියට අනුව කෘෂිරසායන ද්‍රව්‍යවල ඒ ඒ ද්‍රව්‍ය අඩංගු දැයි සොයා බැලීම ය. එසේ සොයාබැලීම සඳහා අඩුම තරමෙන් ඒ ද්‍රව්‍ය පිළිබඳ උපකල්පනයක් අවශ්‍ය වෙයි. අපේ රසායනාගාරවල අපි ආසනික් හා රසදිය සඳහා පරීක්‍ෂා කළෙමු. එසේ ම අද වන විට තත්ව පාලකයන් විසින් පිළිගැනී ඇතැයි කියන රසායනාගාරවල ද ඇතැම් කෘමිනාශක නියැදිවල ආසනික්, රසදිය හා සයනයිඩ් ඇති බව සහතික කර ඇත. ඔවුන් ද පරීක්‍ෂා කළේ ඔවුන් ලබාගත් තොරතුරු මත පදනම් වී ය. මේ තොරතුරු අනුව ඔවුහු ඒ ඒ කෘමිනාශකවල ඒ ඒ රසායනික ද්‍රව්‍ය සඳහා පරීක්‍ෂා කළහ. උදාහරණයක් ලෙස මලයාසියාවේ රසායනාගාරයක දී කර ඇත්තේ ඔවුන්ට ලබාදුන් උපදෙස් අනුව ආසනික්, රසදිය හා සයනයිඩ් සඳහා පරීක්‍ෂාකිරීම ය. මලයාසියාවේ විද්‍යාඥයන් හෝ තාක්‍ෂණ ශිල්පීන් හෝ ඔවුන් ම පරීක්‍ෂණ මගින් කෘෂි රසායන ද්‍රව්‍යවල සයනයිඩ් තිබෙන බවක් දැනගෙන නැති බව මෙහි දී අවධාරණය කළ යුතු ය. මෙයින් අදහස් කරන්නේ යම් ද්‍රව්‍යයක ඇති රසායන සංයුතිය දැනගැනීමට හැකි යන්ත්‍ර සූත්‍ර නැති බව නො වේ. එහෙත් එහි ද පරාස සීමාවන් වන බව අවධාරණය කළ යුතු ය. දැන් මෙරට සිටින ඊනියා විද්‍යාඥයන්ට අවශ්‍ය නම් සයනයිඩ් භීතිකාවක් ගැන කතාකළ හැකි ය. එහෙත් මේ රටේ ඇත්තේ ආසනික් හෝ රසදිය හෝ සයනයිඩ් හෝ භීතිකාවක් නොව ආසනික් ආදී ත්‍රස්තවාදයකි. කෘෂිරසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නෝ ඒ ද්‍රව්‍යවල ආසනික් හෝ වෙනත් වසක් විසක් හෝ නැතැයි ත්‍රස්තවාදී ව, බටහිර විද්‍යාවේ පරීක්‍ෂා මත පදනම් වන්නේ යැයි කියමින් පවසති.

අප මෙන් නොව කීර්තිමත් විද්‍යාඥයකු වූ මහාචාර්ය ඉලේපෙරුම මහතාගේ ඉහත සඳහන් ලිපියේ ම ඇති පහත සඳහන් වාක්‍ය අපි නැවතත් කියවමු. (මේ පශ්චාත්නූතනවාදීන්ගේ ඊනියා කියවීමක් නො වේ.) “කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන ලවණයක් බව මම කලින් ලිපියක සඳහන් කළෙමි. ඕනෑම අද්‍රාව්‍ය ලවණයක් ඉතා සුළු ප්‍රමාණයකට ජලයේ දිය වේ. මෙය කැල්සියම් ආසනේට්වලට ද වලංගු සත්‍යයක් වන අතර එහි ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 13ක් පමණි.”…….. …….. .. .. උෂ්ණත්වය සහ ජලයේ ආම්ලිකතාව මත කැල්සියම් ආසනේට් දියවන ප්‍රමාණය වෙනස්වන බව ද මහාචාර්ය නලින් ද සිල්වා කියයි. මෙය සත්‍යයක් වන අතර උසස් පෙළ රසායන විද්‍යාව හදාරණ ඕනෑම සිසුවකු පවා එම කරුණ හොදාකාරව ම දනී. රජරට වකුගඩු රෝග කලාපයේ ජල සාම්පල විශ්ලේෂණය කළ මා නිරීක්‍ෂණය කළේ මේවා බොහෝමයක් භාස්මික වන බවත් පී එච් අගය 7ට වඩා වැඩි බවත් ය. එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතු ය.” මේ වාක්‍ය කිහිපයෙන් මහාචාර්ය ඉලේපෙරුම මහතා වැටී ඇති ආසනික් පඹගාල නිරූපණය වෙයි.

ජූලි 31 වැනි දින ලිපිය ලියන තෙක් ඔහු දිගින් දිගට ම කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බව ය. ඔහු කිසි විටෙක උසස් පෙළ සිසුන් ද දන්නා බව කියන අහවල් උෂ්ණත්ව පරාසයේ් දී අහවල් ආම්ලිකත්ව පරාසයේ දී කැල්සියම් ආසනේට් ජලයේ දියවන බවක් හෝ නොවන බවක් හෝ කියා නො සිටියේ ය. පසුගිය දිනෙක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී ද ඔහු පරාස ගැන සඳහන් නො කෙළේ ය. ඔහු කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බව ය. එනම් ඔහු නිරපේක්‍ෂ දිය නොවීමක් ගැන කතා කළේ ය. ඉහත කී සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය පරණගම මහත්මිය යම් ආමිලිකත්ව පරාසයක යම් උෂ්ණත්ව පරාසයක කැල්සියම් ආසනේට් දියවන බව කියා සිටියා ය. ඔහු ඒ අවස්ථාවේදීවත් මහාචාර්ය පරණගම මහත්මිය සමග එකඟ නො වී ය. පැහැදිලිව ම මහාචාර්ය ඉලේපෙරුම මහතා උසස් පෙළ සිසුන් ද දන්නේ යැයි කියන කරුණක් දැනගෙන ඇත්තේ මේ නොබෝදා ය. දැනුම කවදා ලබාගත්තත් ප්‍රශ්නයක් නැත. මෙවර උසස් පෙළ පරීක්‍ෂණයට පෙර ඒ කරුණ දැනගැනීම ගැන ඒ මහතාට ද සතුටු විය හැකි යැයි සිතමි. කෙසේ වෙතත් ඒ මහතාගේ වත්මන් දැනුම පිලිබඳ ව අපට ඇත්තේ බලවත් සතුටකි.

දැන් තමා වැටී ඇති වළෙන් ගොඩ ඒමට ඔහු උපාය දෙකක් යොදාගැනීමට සැරසෙයි. එක් උපායක්් නම් කැල්සියම් ආසනේට් පමණක් නොව ඕනෑම ඊනියා අද්‍රාව්‍ය ලවණයක් ඉතා සුළු ප්‍රමාණයකින් වුව ද ජලයේ ද්‍රාවණය වන බව කීම ය. ඔහු එයින් කීමට සූදානම් වන්නේ තමා අද්‍රාව්‍ය යැයි කී කැල්සියම් ආසනේට් ද සුළු ප්‍රමාණයකින් වුව දියවන බව කීමය. දැන් ඔහුට අනුව කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 13ක් පමණි. මෙය ආසනික් සම්බන්ධයෙන් සුළු ප්‍රමාණයක් නොවන බව කිව යුතු ය. අනෙක් අතට මේ ද්‍රාව්‍යතාව ද ආම්ලිකතාව උෂ්ණත්වය ආදිය මත වෙනස් වෙයි. මහාචාර්ය ඉලේපෙරුම මහතා වලෙන් ගොඩ ඒමට යොදා ගැනීමට උත්සාහ කරන දෙවැනි උපාය ද්‍රාව්‍යතාවේ මේ විචලනය මත පදනම් වෙයි. ඔහු කියන්නේ ඔහු පරීක්‍ෂා කළ නියැදි බොහෝමයක පී එච් අගය හතට වැඩි වූ බවත් එබැවින් එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතු බවත් ය. පී එච් අගය වැඩිවන විට කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව අඩුවන බැවින් ඔහු පරීක්‍ෂා කළ බොහොමයක් නියැදිවල ආසනික් දිය වී නොතිබුණු බව ඇඟවීම මේ කතාවේ අරමුණ වන බව පෙනේ. එමගින් ආසනික් ජලයේ දිය නොවන්නේ යැයි ඔහු කලින් කී කතාව යම් පමණකින් යුක්තියුක්ත කිරීමට කීර්තිමත් මහාචාර්යවරයා උත්සාහ ගන්නා බව ද පැහැදිලි වෙයි. එහෙත් ඒ මහතාට ම අනුව නියැදි යම් ප්‍රමාණයක පී එච් අගය හතට අඩු ය. ඒ නියැදිවල කැල්සියම් ආසනේට් ද්‍රාවණය වී නොතිබිණි ද? ඔහු තවදුරටත් පවසන්නේ කැල්සියම් ආසනේට් ජලයේ දියවීමේ දී අයනවලට වෙන් වී ජලයට එකතුවන්නේ කැල්සියම් හා ආසනේට් යන අයන ප්‍රභේද දෙක බව ය. ඔහුගේ තර්කය ආසනේට් විසවීමක් ගැන මිස කැල්සියම් ආසනේට් සංයෝගය විසවීමක් ගැන කතාකිරීම වැරදි බව ය. අපි ඔහු නිවැරදි යැයි සිතමු. එසේ වුවත් අපේ කතාවෙහි (බටහිර විද්‍යාවෙහි ද ඇත්තේ කතා පමණකි) අදාළ කරුණෙහි දී ආසනේට් විසවීමට කැල්සියම් ආසනේට් තිබිය යුතු ය. අප කියා සිටින්නේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ය. ආසනික් නොතිබෙන්නට කැල්සියම් ආසනේට් නැත. කැල්සියම් ආසනේට් නොමැතිව ආසනේට් අයන නැත. එබැවින් අපේ මූලික ප්‍රස්තුතයට ඉන් හානියක් නො වේ. කෙසේ වෙතත් කැල්සියම් ආසනේට් කිනම් අවශ්‍යතා යටතේ වුවත් ඕනෑම ජලයක දියවීමේ දී අයනවලට වෙන්වන්නේ ද, මේ තොරතුරු අඩංගු වන්නේ කොහේ ද ආදිය බටහිර රසායන විද්‍යාව ගැන එතරම් දැනුමක් නැති අපට උගත් මහාචාර්යවරයා පවසන්නේ නම් කෘතඥ වෙමි. ඔහු පස ගැන කියන කතා අපි කිසිසේත් විශ්වාස නො කරමු. ලංකාවේ සෑම තැනකම ඇත්තේ එකම පසක් යැයි කියන පාංශු විද්‍යාඥයෝ වෙත් ද? රජරට වුව ද සමස්තයක් ලෙස ගත්කල කුඹුරු පස තිබුණ ද සෑමතැනක ම ඇත්තේ එකම පසක් නො වේ. රජරට ද රෝගය සමව පැතිරීමක් දක්නට නොලැබීමට එය එක් හේතුවකි. මහාචාර්යතුමා තවත් කතාවක් කියයි. ඔහුගේ ෆ්ලුවොරයිඩ් කතාව ප්‍රකාශ කළේ 2004 බව ද එය ජාත්‍යන්තර සඟරාවක පළ කළේ 2009 බව ද කියයි. ඉන් අදහස් කරන්නේ ඔහු ඊනියා විද්වත් සඟරාවක ප්‍රතිඵල පළ කළේ ඒ රටට ප්‍රකාශ කර අවුරුදු පහකට පසුව බව ද? කෙසේ වෙතත් ඔහුගේ මතය වෙනත් බොහෝ දෙනා නොපිළිගන්නා බව පැහැදිලි ය. අනෙක් අතට ඊනියා විද්වත් සඟරාවක පළ වූ පමණින් මතයක් නිවැරදි නො වේ. නේචර් හා සයන්ස් සඟරාවල ද පළවන ලිපිවලින් 30%ක් පමණ අවුරුදු කිහිපයක දී ප්‍රතික්‍ෂෙප වෙයි. අවසාන වශයෙන් ඔහු වෛද්‍යවරුන් පවසන්නේ යැයි කියමින් රජරට වකුගඩු රෝගියකු එක්සීමා රෝගියකු බවට පත්කිරීමේ නින්දිත උත්සාහයක යෙදෙයි. ඒ බව පවසන වෛද්‍යවරුන් කවරේදැයි ඔහුට නම්කළ හැකි ද? ඔහුට අනුව වෛද්‍ය තිලක් අබේසේකර මහතා කියන්නේ වකුගඩු රෝගීන් කිසිවකුවත් ආසනික් විෂවීමේ ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව ය. අබේසේකර මහතා එසේ කියන්නේ දැයි මම නො දනිමි. අඩුම තරමින් සාධාරණ වශයෙන්(පොදු යන අරුතින්) වකුගඩු රෝගීන් ගැන එසේ කීවේ නම් ඒ ගැන තවත් පරී’ක්‍ෂාකිරීමට සිත යොමුවීමට තිබිණි. එහෙත් රජරට වකුගඩු රෝගීන් කිසිවකු ආසනික් විෂවීමේ ලක්‍ෂණ පෙන්නුම් නොකරන්නේ යැයි අබේසේකර මහතා පවසා ඇත්නම් ඔහුට ද දිවැස් තිබිය යුතු ය.

Sunday, 3 July 2011

දේශන - බටහිර යුධ අධිකරණ තර්ජන සහ කෘෂි රසායන මරුවැල්

හිතවතුනි,
මෙම සම්මන්ත්‍රණයේ පැවැත්වූ දේශන වල ශ්‍රවණ ගොනු පහතින් ලබාගත හැකිය. මෙහිදී මහාචාර්ය නලින් ද සිල්වා, වෛද්‍ය චන්න ජයසුමන යන මහත්වරුන්ද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ද විසින් දේශන පවත්වනු ලැබිණි. දේශකයන් විසින් රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වී ඇති මත සහ ඒවායේ ඇති දුර්වලතා පිළිබඳව පැහැදිලිකිරීම්ද විවිධ පාර්ශවයන් විසින් නව මතය පිළිබඳව නගන ප්‍රශ්න සඳහා පිළිතුරුද දෙනු ලැබිණි.

හැඳින්වීමේ කථාව - නලින් ද සිල්වා මහතා

චන්න ජයසුමන මහතාගේ කථාව - 1

චන්න ජයසුමන මහතාගේ කථාව - 2

චන්න ජයසුමන මහතාගේ කථාව - 3

නලින් ද සිල්වා මහතාගේ කථාව - 1

නලින් ද සිල්වා මහතාගේ කථාව - 2

නලින් ද සිල්වා මහතාගේ කථාව - 3

නලින් ද සිල්වා මහතාගේ කථාව - 4

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ කථාව

Wednesday, 18 May 2011

රසායනික ආසනික් හා වෙනත් ආසනික්

රජරට වකුගඩු රෝගය පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂණ කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව මේ වන විට බොහෝ දෙනා දන්නා කරුණකි. මේ කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්යවරු, ආචාර්යවරු මෙන් ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරු ද වෙනත් බටහිර වෛද්‍යවරු ද අයත් වෙති. විශේෂයෙන් ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් හා ලිං ආශ්‍රිත ව කරන ලද පරීක්‍ෂණවල දී ජලයෙහි ආසනික් සාන්ද්‍රතාව සම්මතයෙන් තිබිය හැකි යැයි කියන සාන්ද්‍රතාවට වඩා ඉතා අධික බව පැහැදිලි විය. රජරට ජලයේ කිවුල හේතුකොටගෙන අදාල ලවණ හා ආසනික් සංයෝගයෙන් ඇතිවන ආසනේට් වකුගඩුවල ඉතිරිවීම රෝගයට හේතුව බව අනාවරණය වී ඇත. කිවුල සහිත ජලයේ ආසනික් ඇති බව රසායනික ක්‍රම මගින් දැනගැනීම අසීරු කටයුත්තකි. වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පවත්වන වෙනත් කණ්ඩායම්වලට රජරට ජලයේ ආසනික් ඇති බව දැනගැනීමට නොහැකි වී ඇත්තේ එබැවින් හෝ වෙනත් කරුණක් නිසා හෝ විය හැකි ය. බටහිර විද්‍යාවෙි ඊනියා වාස්තවික විද්‍යාත්මක ක්‍රමයේ ව්‍යාජය මම හොඳාකාරව දනිමි. අපේ විද්‍යාවේ නමි අපට සම්‍යක්දෘෂ්ටික දෙවිවරු ආධාර කරති. ජලයේ ආසනික් ඇති බව අවසානයේ දී පඬියන්ට අනාවරණය කෙරුණේ් නාථ දෙවියන් ප්‍රමුඛ දේව කණ්ඩායමේ මග පෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ඇති පරමාණුක අවශෝෂණ ප්‍රේක්‍ෂාවලිමාපකය යොදා ගැනීමෙනි. ඉන්පසු තවත් පරීක්‍ෂණාගාරයක දී ද ඒ බව හෙළි වී ඇති නමුත් තවමත් අපේ කණ්ඩයමට විරුද්ධ වූවන් තැන තැන කියන්නේ තමන් වැනි මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට (උපකරණ මගින්) නොපෙනෙන ආසනික් අදෘශ්‍යමාන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් අසන්නේ අප වැන්නන්ට පෙනෙන මහාචාර්යවරුන්ට නොපෙනෙන දේ, අප වැන්නන්ට නොපෙනෙන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්න ය. එය සරලව මෙසේ ය. අපට මහාචාර්යවරියන් පෙනේ. මහාචාර්යවරියන්ට ආසනික් නොපෙනේ. අපට දෙවියන් නොපෙනේ. දෙවියන්ට ආසනික් පෙනේ. එහි එක්තරා ආකාරයක සමමිතියක් ඇති බැවින් මම එයට ඇලුමි කරමි. එහෙත් මතු බුදුවන නාථ දෙවියන් අපට කියන්නේ කිසිවක නොඇලෙන ලෙසත් සියල්ල උපේක්‍ෂාවෙන් අත්හරින ලෙසත් ය. නාථ දෙවියන් කෙසේ කීවත් උගත් මහාචාර්යවරියන් සම්බන්ධ සමමිතික කියුම් මම කෙසේ අත්හරිම් ද?

රජරට ජලයේ පමණක් නොව වකුගඩු රෝගීන්ගේ හිස කෙස් නියපොතු ආදී ජෛවීය කොටස්වල ද සහල්වල ද ආසනික් අඩංගු බව අප කණ්ඩායමට අනාවරණය වී ඇත. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍ය විද්‍යාව නොදැන සිටි කරුණකි. දෙවියන්ගේ මාර්ගයෙන් ලබාගත් දැනුමෙන් අපි ඒ කුමක් දැයි දැන් දනිමු. බටහිර උගත්කමෙන් මත් වී ඇති අය (මත්පැන් පානය කරන්නන්ගෙන් ඇතැම්හු මඳ පමණින් ගත්කල ද මත්වෙති. බටහිර උගත්කමෙන් මත්වීමෙහි දී ඇතැමුන්ට ද එවැන්නක් සිදුවේ) නොදනිතත් අතීතයෙහි ද අපේ විද්‍යාවෙහි දැනුම ලබාගැනීමේ දී අප දෙවියන්ගෙන් ද ආධාර ගෙන ඇත. ඊශ්‍රායලයන් පිරිසක් අපේ වැව් තාක්‍ෂණය ඉගෙන ගැනීමට ලංකාවට පැමිණ ඇතැයි පසුගිය දා වාර්තා විය. ඔවුන්ට එය කළ හැකි දැයි මම නො දනිමි. යුදෙව්වන් ද අතීතයේ දෙවියන්ගෙන් යම් යම් දේ දැනගත් ජනවර්ගයකි. ඒ කෙසේ වෙතත් අප වැව් තාක්‍ෂණය දැනගෙන ඇත්තේ දෙවියන්ගෙන් බව පමණක් දැනට කිව යුතු ය. විිදුසර පුවත්පතට ලියන අපේ ප්‍රවාද ලිපි පෙළෙහි මම සති කිහිපයක සිට දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳ ව සාකච්ඡා කරන්නෙමි. අප දෙවියන්ගේ මාර්ගයෙන් දැනගත්තේ වකුගඩු රෝගයට හේතුව පමණක් නො වේ. එයට ප්‍රතිකාර ද අපි දැනගත්තෙමු. ඒ ප්‍රතිකාර බටහිර රෝහල්වල අත්හදා බැලීමට ද අපට බලධාරීන්ගෙන් අවසර ලැබී ඇත. 

දැන් ප්‍රශ්නය ජලයට ආසනික් එකතුවන්නේ කෙසේ ද යන්න ය. එයට ඇත්තේ එකම එක පිළිතුරකි. ඒ කෘෂි රසායන ද්‍රව්‍ය මාර්ගයෙනි. කෘෂි රසායන ද්‍රව්‍යවල, විශේෂයෙන් ම කෘමි නාශකවල, ආසනික් විශාල සාන්ද්‍රණයක් ඇති බව ද දැන් අපි දනිමු. ඒ එවැනි ද්‍රව්‍යවල ආසනික් නොතිබිය යුතු බවට බටහිරයන්ගේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන මගින් ද ප්‍රකාශ කෙරී තිබිය දී ය. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අපට ලැබෙන්නේ බටහිර රටවලිනි. ඒ රටවලින් භාණ්ඩ පිට රටට යැවීමේ දී ඊනියා ජාත්‍යන්තර නීති බල නොපාන්නේ ද? වස විස පිටරට යවන රටවල් ගැන සොයා බැලීමට බෑන් කි මූන්ට අවසර නැත් ද? අවසර තිබුණත් බටහිර වරද නොපෙනෙන බෑන් කි මූන්ට (බින් ලාඩන් මරා දැමීම ගැන මොහු කුමක් කරන්නේ දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු) ඇතැම් විට අර මහාචාර්යවරියන්ට මෙන් ම ආසනික් නොපෙනෙනවා විය හැකි ය. අනෙක් අතට අප රටට බටහිරෙන් හෝ තූත්තුකුඩියෙන් හෝ භාණ්ඩ ආනයනය කිරීමේ දී එහි වස විස තිබේ දැයි සොයා නො බලන්නේ ද? කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගැනෙන්නේ රජරට පමණක් නො වේ. එසේ නම් අනෙක් පළාත්වල වකුගඩු රෝගීන් හමුනොවන්නේ ඇයි දැයි පඬියකු අසනු ඇත. ජලයෙහි කිවුල නොමැති පළාත්වල ආසනික් ජලයට මිශ්‍ර වුවත් රජරට වකුගඩු රෝගය නමින් හැඳින්වෙන රෝගය නො වැළඳෙන බවත්, එහෙත් ආසනික් ජලයට මිශ්‍ර වීමෙන් දියවැඩියාව වැනි වෙනත් රෝග වැළඳෙන බවත් අපේ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. කිනම් රෝගයක් වැළඳුනත් කෘෂි රසායනික ද්‍රව්‍යවලට ආසනික් එකතුකිරීම මානව විරෝධී කටයුත්තකි. අප වැනි රටවල ජනතාවට වස විස කැවීම බටහිර ප්‍රතිපත්තිය විය හැකි ය. අපට වස දීම බටහිරයන්ට ලාභ කටයුත්තක් ද විය හැකි ය. එහෙත් අප ඒ ද්‍රව්‍ය ආනයනය කරන්නේ ඇයි? ජලයේ ආසනික් නැතැයි කියන පර්යේෂණ කණ්ඩායම්වලට බටහිර විවිධ සංවිධානවලින් ආධාර ලැබෙන්නේ ඇයි? මේ සියල්ලක් පිළිබඳ ව ආණ්ඩුව වහාම සොයා බලා අවශ්‍ය නිසි පියවර ගත යුතු යැයි යෝජනා කරමි.   

අපට ආසනික් ලැබෙන්නේ රසායනික ද්‍රව්‍යයක් ලෙස පමණක් නො වේ. බටහිරෙන් ලැබෙන සිංහල විරෝධී දැනුම ද සමස්තයක් ලෙස ගත්කල අප සංස්කෘතික වශයෙන් මරාදැමීමට දෙන ශාස්ත්‍රීය ආසනික් අඩංගු පොදියකි (පැකේජයකි). මේ පොදිය රට පුරා බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල වෙයි. බෑන් කි මූන්ට භාරදෙන ලද ඊනියා විද්වත් හෙවත් බ්ලේක් වාර්තාව ද ආසනික් පොදියකි. එයින් බලාපොරොත්තුවන්නේ ද අප මරා දැමීම ය. එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. අද බොහෝ විද්‍යුත් මාධ්‍ය නාලිකා ඔස්සේ රටට බෙදා දෙන්නේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය නසන ආසනික් ය. මේ ආණ්ඩුව සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීමට නිසි පියවර ගෙන ඇතැයි අපි කිසිසේත් නො කියමු. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් යොදා ගැණුනු ප්‍රධාන අවියක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ආණ්ඩුව කරන ලද සේවය (බලය තිබුණත්) එ ජා පයෙන් හෝ ජ වි පෙන්් හෝ කිසි දිනෙක කෙරෙන්නක් නො වේ. එබැවින් මේ ආණ්ඩුව විජාතික බලවේගවලින් ආරක්‍ෂා කිරීමටත් එවැනි බලවේග ක්‍රියාත්මක වන ආකාරය හෙළි කිරීමටත් මම බැඳී සිටිමි.

මේ දිනවල විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් දියත් කෙරී ඇති ආසනික් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පිළිබඳ ව ද මා කියන්නේ ඒ පසුබිමෙහි ය. අද ඇතැමුන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වී ඇත්තේ ඔවුන් අනෙක් අයගෙන් කොන්වීමට ඇති අකමැත්ත නිසා මිස ඒ ක්‍රියා මාර්ගය අනුමත කරන නිසා නො වේ. ඒ ක්‍රියා මාර්ගයට එක් නොවුවන්ට ඇතැම් ආචාර්යවරුන් කරන කෙණෙහිළිකම් ද මම දනිමි. මම මේ ක්‍රියා මාර්ගයට මුළුමනින් ම විරුද්ධ වෙමි. ඒ බව මා වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් ඉදිරියේ කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සාමාජිකත්වයට පවසා ඇත. පසුව මේ පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරෙත්තු වෙමි. දැනට මෙරට ජනතාවගේ දැනගැනීම සඳහා ඉතා කෙටියෙන් මෙසේ සඳහන් කරමි. වැටුප් සම්බන්ධයෙන් ආචාර්ය සමිති සම්මේලනය ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පසුගිය වසරේ අග අත්හිටුවා තිබිණි. පසුගිය අයවැයෙන් පසුව 2010 නොවැම්බර් 24 වැනි දා පැවති සම්මේලන රැස්වීමට අදහස් දෙකක් ඉදිරිපත් වී තිබිණි. එකකින් කියැවුණේ 2010 දෙසැම්බර් 01 දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නැවත ඇරඹීමට හා ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට ය. දෙවැන්නෙන්් ජනාධිපතිතුමාට ආචාර්යවරුන්ගේ ප්‍රශ්න ගැන දන්වා යැවීමටත් ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට එතුමාගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු බලා සිටීමටත් කියැවිණි. රැස්වීමේ තීරණය වූයේ දෙවැන්න ක්‍රියාත්මක කිරීම ය. 25% පර්යේෂණ දීමනාව ගැන සම්මේලනය සතුට පළකළ ද, එහි කොන්දේසිවලට විරුද්ධතාව දක්වා ඇතැම් කොන්දේසි පිළිබඳව බලධාරීන් සමග සාකචිඡා කිරීමට තීරණය කළේ ය.  2011 ජනවාරි 07 වැනි දා සම්මේලනයේ වාර්ෂික සභා රැස්වීමේ දී නව නිලධාරි මණ්ඩලයක් පත්විණි. එහි දී පත් වූ නිලධාරි මණ්ඩලයේ වැඩි බලය, එ ජා ප, ජ වි පෙ හිතවතුන්ට හා සිංහල විරෝධී ෆෙඩරල්වාදී ඊනියා වමට හිමිවිය. 2011 පෙබරවාරි 21 පැවති සම්මේලනයේ විධායක සභා රැස්වීමක දී ජනාධිපතිතුමාට කරුණු නොදක්වා, පර්යේෂණ දීමනාවේ කොන්දේසි පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා නොපවත්වා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට නැවත එළඹීමට ද පසු රැස්වීමක දී ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට ද තීරණය විය. මෙය වෘත්තීය සමිති සදාචාරයට ද සම්මේලන ව්‍යවස්ථාවට ද පටහැණි බවත් ආණ්ඩුවට ආසනික් දීමට ගන්නා තැතක් බවත් පමණක් දැනට ප්‍රකාශ කරමි. සම්මේලනය සාකච්ඡා නොකළ ද කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ හිටපු නිලධාරීන් ප්‍රමුඛ පිරිසක් ජනාධිපතිතුමා හා අදාළ නිලධාරීන් හමු වී පර්යේෂණ දීමනාවේ කොන්දේසි ලිහිල් කරගෙන ඇත.

Sunday, 8 May 2011

අන්තිම සටනට සැරසෙමු

අවුරුදු පන්සියයකට අධික අඳුරු යුගයක අවසාන වසර කිහිපයට අපි ළඟා වී සිටින්නෙමු. මුළු ලෝකයට ම සමස්තයක් ලෙස ගත්කල 1492 දී ද  ලංකාවට 1506 දී ද ඇරඹි මෙම අඳුරු යුගයෙහි අපේ ස්වාධීනත්වය යටගියේ ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මුළු ලෝකයෙහි ම ආධිපත්‍යයට පැමිණියේ ය. එහෙත් අද බටහිරයන්ගේ ආධිපත්‍යය ගිළිහී යන අයුරු බටහිරයන්ට ම දැනෙන තත්වයකට පත් වී ඇත. එබැවින් ඔවුහු අද වියරුවෙන් හැසිරෙති. ඇමරිකාව එංගලන්තයේ ද සහාය ඇතිව ලිබියාවට පහර දෙන්නේ ද බෑන් කි මූන් බටහිරයන්ගේ වුවමනාවට ඊනියා විද්වත් කමිටු වාර්තාවක් හරහා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් ද රණවිරුවන් ද ඊනියා යුද්ධාපරාධි චෝදනා ඔස්සේ දංගෙඩියට දැක්කීමට උත්සහ ගන්නේ ද හැකිනම් ගිලිහෙමින් පවතින බලය රැකගැනීමට ය. එහෙත් ඔවුන්ට කළහැකි දේ අල්ප ය. 1492 සිට බටහිර නායකත්වය දැරූ ස්පාඤ්ඤය, පෘතුගාලය, එංගලන්තය ආදී රටවල් සමග සංසන්දනය කරන විට අද එහි නායකත්වය දරණ ඇමරිකාව නාගරික ධනවත් මැරයකු පමණකි. ඇමරිකාවට රාජ්‍ය තන්ත්‍රික කුසලතා නොමැත. ඔවුන් දන්නේ නග්න ආක්‍රමණය පමණ ය. ඇමරිකාවට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වය ලැබුණේ ඒ සඳහා පුහුණු වීමෙන් හා පරිවාස කාල පරිච්ඡෙදයක් ගෙවීමෙන් නො වේ. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ආර්ථික හා ආයුධ ශක්තියෙන් ඉදිරියට පැමිණ සිටි ඇමරිකාව දේශපාලන වශයෙන් පරිණත බවකට පත් නොවී සිටිය ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වයට පත්විණි. ඒ සමග දේශපාලන වශයෙන් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්නට පටන් ගත්තේ ය. එහි දැනුමි පද්ධතියේ පදනමෙි බොල් බව හෙළි වී දැනට අවුරුදු අසූවකට වඩා කල් ගත වී ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග අන්තිම සටන සඳහා සැරසීමට කාලය පැමිණ ඇත. අපි ඒ සටනින් ජය ලබන්නෙමු.

අන්තිම සටනට සැරසියවි යනු සමසමාජ ගීතයෙහි පද කිහිපයකි. සමසමාජ පක්‍ෂයට අවශ්‍ය වූයේ ලෝක ධනේශ්වරයට එරෙහිව සියළු ජාතින් එක් වී අන්තිම සටනට සැරසීමට ය. ඔවුන්ට අන්තිම සටනින් පසුව ඊනියා කමිකරු පංති රාජ්‍ය පිහිටුවීමෙි සිහිනයක් විය. එහෙත් එය සදාකාලික සිහිනයක් පමණක් බවට පත්වූයේ මාක්ස්වාදයේ හා එහි කියැවෙන පංති සටනේ බංකොළොත් බව හෙළිදරවු කරමිනි. අදට යෙදෙන මැයි දිනයෙහි ද ඇතැමුන් සිහිනයෙන් අවදි නොවී අන්තිම සටනට සැරසීම සඳහා පෙළපාළි යනු ඇත. එහෙත් මෙවර මැයි දිනය ලංකාවේ පැවැත්වෙන්නේ ඊනියා පංති සටනක් පෙරදැරි කරගෙන නොව ජාතිකත්වය මුල් කරගෙන රොබට් බ්ලේක් හිලරි ක්ලින්ටන් ආදීන්ගේ යුද්ධාපරාධ චෝදනාවලට අභියෝග කරමිනි. මින් මතු අප මැයි දිනය පැවැත්විය යුත්තේ බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක් මුල්කරගෙන නොව ජාතිකත්වය පදනම් කරගනිමිනි. බෑන් කි මූන් ට ඊනියා විද්වතුන් ලියා දුන් වාර්තාව පිටුපස ඉන්නේ බ්ලේක් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔහුගේ සගයන් කිහිප දෙනකු බව අපි දනිමු. එය දරුස්මාන් වාර්තාවක් නොව බ්ලේක් වාර්තාවකි. එහූ බ්ලේක් හෙට අනිද්දා ලංකාවට එන්නේ ජනාධිපතිතුමාට ඇති ආදරයකින් නම් නො වේ. ඔහු නොතැකීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් මැනවි. සතුරන් සමග අතට අත දී ආචාර සමාචර පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර නො වෙි යැයි අපි කියමු. බ්ලේක් පමණක් නොව ඔහුගේ කසිකබල් වාර්තාව ද නොසළකා හැරීමටත් එයට ප්‍රතිචාර නොදැක්වීමටත් අප වග බලාගත යුතු ය. අපට තිබෙන එක ප්‍රශ්නයක් නමි වාර්තාව දැමීමට තරම් සුදුසු කුණු කූඩයක් නොමැති වීම ය. ඕනෑම කුණු කූඩයක් වාර්තාවට වඩා වටී. බටහිරයන් පෙන්වන තරම් ඔවුන් ශක්තිමත් නොමැති බැව් අපි දනිමු. බටහිරයන්ගේ අනුග්‍රහයෙන්, ආධාරයෙන් හා ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කොටි සංවිධානයට කෙතරමි ශක්තියක් ඇත් දැයි බටහිරයෝ සහ ඔවුන්ගේ ගැත්තෝ කීවෝ ද? බටහිරයෝ සිංහල බෞද්ධයන්ට එරෙහි ව කොටි පෝෂණය කර රැකීමට  ඕනෑම දෙයක් කිරීමට සිතා සිටියහ. එහෙත් අඩු තරමෙන් නන්දිකඩාල් කලපුවටවත් ආධාර එවීමට ඒ වෙනුවෙන් ම ඒ දිනවල ලංකාවට එවනු ලැබූ මූන්ගේ ගෝලයා වූ නම්බියාර් හරහාවත් බටහිරයන්ට නොහැකි විය. ඔවුන් අද වුවත් හැකි නම් ලිබියාවට මෙන් ලංකාවට පහර දෙනු ඇත. එහෙත් මේ වන විට තුන් ලෝකයෙහි කෙසේ වෙතත් අඩුම තරමෙන් අපේ ලෝකයෙහි ආධ්‍යාත්මික ශක්තියෙහි වෙනසක් සිදු වී ඇත. බටහිරයන්ගේ යුද්ධ ශක්තිය හමුවෙි අප භාවනාවෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කරගත යුතු ය. අපට බටහිරයන් පැරදවිය හැකි ය. මෙහි දී ඉන්දියාව ගැන ද වචනයක් කිව යුතු ය. ඔවුහු බොර දියේ මාළු බාති. වාර්තාව මුවාවෙන් ඔවුන් තැත් කරන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඉක්මවා යන බලතල බෙදීමකට ය. බටහිර අනුග්‍රහයෙන් දෙමළ සංධානය ද වාර්තාවෙි එල්ලී තවත් බලය ලබාගැනීමට වෙහෙසෙයි. ඒ කිසිවකට කිසිසේත් ම ඉඩ දිය යුතු නො වෙි.  

අප බටහිරයන් පරාජය කළ යුතු යැයි කීම මෙරට උගතුන් යැයිි සම්මත ඇතැමුන් අනුමත නොකරන බව අපි දනිමු. ඔවුන්ට අනුව ඒ කළ නො හැකි ය. බටහිරයන්ගෙන් උගත් ඔවුන්ට ගැති මොවුන් ආවේගයන්ට යට නො වී බුද්ධිමත්ව තීරණ ගැනීමට අපට කියනු ඇත. එහෙත් අප ඉහතින් සඳහන් කර ඇත්තේ ආවේගයෙන් පැමිණි නිගමන නො වේ. අප ද නිගමනවලට පැමිණෙන්නේ කල්පනා කිරීමෙන් පසුව ය. වෙනස ඇත්තේ අප කල්පනා කරන ක්‍රමයෙහි හා බටහිර අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත්් ඊනියා උගතුන් කල්පනා කරන ආකාරයෙහි ය. ඊනියා උගත්තු බටහිරයන්ගේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙති. අපි අපේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙන්නෙමු. ඇතැම් උගතුන් මෙන් බටහිරයන්ගේ ප්‍රවාදවලට සරිලන ආකාරයෙන් අපේ සංස්කෘතිය හා දහම විවරණය කිරීමෙි අවශ්‍යතාව ද අපට නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පසුගිය අවුරුදු පන්සියයක අඳුරු කාලයෙහි කරනු ලැබ ඇති අපරාධ විස්තර කිරීමට ජීවිත කාලය ද ප්‍රමාණවත් නො වේ. ඔවුන් කර ඇති ප්‍රධාන ම අපරාධයක් නම් ඊනියා උගතුන් බිහි කිරීම ය. එහෙත් ඒ අපේ පැත්තෙන් බැලූ කල ය. බටහිරයන් ද ඔවුන් අනුකරණය කරන ඊනියා උගතුන් ද කියනු ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මේ ඊනියා උගතුන්ගෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. දහනවවැනි සියවසේ දී මෙරට දෙමළ ජාතිවාදය බිහි කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නමි නැතිකර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කිරීමට බව මේ උගත්තු කිසි දිනෙක තේරුම් ගනිත් ද?

බටහිරයන්ගේ අපරාධවල එක් ප්‍රතිඵලයක් ලෙස රජරට ගොවීහු වකුගඩු රෝගයෙන් පෙළෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් මිය යති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නො මැත. එපමණක් නො වෙි. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් ද කියාවත් ඔවුහු නො දනිති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ තවත් ආයුධයක් පමණක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් එවැනි ලෝකයන්ගේ සංවිධානවලින් ලැබෙන ණය යොදා ගනිමින් මෙරට ජනයා රෝගීන් බවට පත්කිරීමට අමතර ව ණයකාරයන් ද බවට පත්කරවමින් ඇතැමි ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා අය කර ඇති පර්යේෂණවලින් පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ අප දැනගෙන ඇත්තේ කුමක් ද? අවුරුදු විස්සක් මේ උගතුන්ට දැනගැනීමට නොහැකි වූ දෙය අපි කැලණිය විශ්වවිද්‍යාලයේ දී අවුරුද්දකට අඩු කාලයක දී දැන ගත්තෙමු. එපමණක් නොව රෝගයට ප්‍රතිකාර ද අපි දනිමු. අප ඒ දැනගත්තේ අපේ විද්‍යාවෙනි. අපට එහි හැංගීමට කිසිවක් නැත. අපේ කණ්ඩායම අපේ විද්‍යාවෙන් දැනගත් දෙය අපට බටහිරයන්ගේ මහන්තත්ත ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවේ බසට ද පරිවර්තනය කළ හැකි ය. මේ උද්ධචිචයන්ට එය විඳ දරාගැනීමට නො හැකි ය. එබැවින් ඔවුහු අපට අවළාද නගති. ඔවුන්ට කළ හැක්කේ ද එපමණ ය. තකතීරුවන් වූ මොවුහු අහුමුළුවල අපේ විද්‍යාවට ගරහමින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සේවය කරති. මා කලකට පෙර බටහිර විද්‍යාව කටගාගත් මේ උද්ධචිචයන්ගෙන් පංචෙන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන ඉල්ලූ නමුත් ඔවුන් මේ වන තුරු ඒ සපයා නැත. 

රජරට වකුගඩු රෝගයට හේතුව පානීය ජලය යන බටහිර මහප්‍රාණයෙන් හැඳින්වෙන බොන වතුරෙහි (බටහිරයන්ගේ තකතීරුකම කෙසේ ද යත් අද බොන වතුර මෙන් ම වාතය ද වස වී ඇත) ආසනික් වස තිබීම ය. විශේෂයෙන් ම ලිංවල ආසනික් ප්‍රමාණය අධික ය. ලිංවලට මෙන් ම වැව්වලට ද ආසනික් එකතුවන්නේ බටහිරින් ආනයනය කරන කෘ’ෂිරසායනික ද්‍රව්‍ය හේතුවෙනි. ඉනුදු කෘමිනාශකවලින් ඉහළ ආසනික් ප්‍රමාණයක් ලැබේ. ආසනික් එකතුවීම නිසා මිය යන්නේ කෘමීන් පමණක් නො වෙි. මිනිස්සු ද මිය යති. රජරට මෙන් ම දිවයිනේ අනෙක් පළාත්වල ද ජලයට ආසනික් එකතු වී ඇත. රජරට ලිංවල කිවුල හේතුවෙන් ඒ වතුර බොන ජනතාවගේ වකුගඩුවල ආසනේටි තැන්පත් වෙයි. එමගින් පිළිකා විශේෂයක් නිසා වකුගඩු නරක් වෙයි. අනෙක් පළාත්වල ද ආසනික් විෂ ශරීරගත වීමක් වෙයි. ඒ පළාත්වල දියවැඩියාව ආදී රෝග ඒ හේතුවෙන් ද වැළඳෙයි. අද, විශේෂයෙන් ම 1977 -80න් පසුව ජනතාවට විවිධ රෝග වැළඳීමට ඉන්පසු වැඩි වැඩියෙන් භාවිතා වූ කෘෂි රසායනික ද්‍රව්‍ය ද හේතු වී ඇත. මේ වස විස නැතිව අපට හෙළ ගොවිකමෙන් ආහාර සපයා ගත හැකි ය. අපි කැලණියේ දී ඒ අත්හදා බැලුවෙමු. පෘථිවිය ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පත්කළෝ ඉන්ද්‍රිය පිනවීමෙි නොසංසිඳෙන ආශාවෙන් පෙළෙන බටහිරයෝ ය. ඔවුන්ට පරිසරය රැකිය නො හැකි ය. ඔවුන් අපට තව තවත් වස විස දෙනු ඇත. අපේ විනාශය අපේක්‍ෂා කරන්නෝ බ්ලේක් හා පිරිස පමණක් ම නො වෙති. බටහිර උගත්තු ද එහි දී එක්වෙති. අපි මෙි අඳුරු යුගය නිමා කරමු. අප එය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ආධ්‍යාත්මික ශක්තිය යොදා ගනිමිනි. අපේ අන්තිම සටන ලේ සොළවන විප්ලවයක් නො වේ.(2011/05/01)

Wednesday, 2 February 2011

ඉලෙක්ට්‍රෝන දුසිමක් අවශ්‍යව ඇත. එහෙත් ඒ ඉන්ද්‍රිය ගෝචර විය යුතුය.

"රජරට වකුගඩු රෝගය යනු මේ ජාත්‍යන්තර බලවේග හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම විසින් රජරට ජනජීවිතය අවුල් කරනු ලැබීම නිසා රජරට වැසියන්ට වැළඳුණු රෝගයකි. බටහිරයන් ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ක්‍රියා කරන්නේ කිසියමි ලෙසකින් වුවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය රැකගැනීමට ය. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ප්‍රශ්නවලට විසඳුමි නැත. එහි නියමුවන්ට කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය කිරීම පමණකි. ඊනියා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එහි ආයතන මෙි කළමනාකරණය වෙනුවෙන් බටහිරයන් විසින් පිහිටුවනු ලැබු සමිති සමාගමි වෙයි."

Sunday, 30 January 2011

රජරට වකුගඩු රෝගය හා බටහිර බංකොලොත් දැනුම

"බටහිර විද්‍යාවේ සළු පිළි එකිනෙක ගැලවෙමින් පවතියි. මේ සමිබන්ධයෙන් හොඳම සාක්‍ෂිය පසුගිය අවුරුදු හැත්තෑපහක පමණ කාලයක බටහිර විද්‍යාවේ හරිහමන් සංකල්ප එකකට වඩා බිහි නො වීම ය. බටහිර තාක්‍ෂණය ද ඉදිරියට නො යයි. අද එහි කෙරෙන්නේ ඔප මටිටමි කිරීමි කටයුතු මිස මූලික දෑ නො වෙි. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ප්‍රශ්න විසඳීමට නො හැකි ය. එයට කළ හැක්කේ ප්‍රශ්න කලමනාකරණය පමණකි. වත්මන් සමාජයේ කලමනාකරණයට ඉතා වැදගත් තැනක් ලැබී ඇත්තේත් ලංකාවෙි ද විශ්වවිද්‍යාලවල කලමනාකරණ පීඨවල අධිවෙිගී
වර්ධනයක් දක්නට ඇත්තේත් එබැවිනි. අද මෙරට ඇති බටහිර ඉංජෙි න්රු පීඨවල ද කලමනාකරණය ගැන දැඩි අවධානයක් දැක්වෙන අතර වෛද්‍ය කලමනාකරුවන්ගේ අවශ්‍යතාවක් පැන නැගෙමින් පවතියි. මුළු මහත් ලෝකය ම අද ව්‍යාජත්වය වැළඳ ගෙන ඇත. ගල් පිළිම වෙනුවට බොල් පිළිම මතු වී ඇත. එයට හොඳම උදාහරණය බටහිර භෞතික විද්‍යාවේ ශ්‍රෙෂ්ඨයකු ලෙස පුමිබනු ලැබ ඇති ස්ටීවන් හෝකින් ය. මේ සියල්ල පඬියන්ගේ වචනවලින් කියන්නේ නමි පශ්චාද් යුද තත්වයකි. එහෙත් එය ලංකාවෙි කෙරුණු ඊනියා යුද්ධයක් නො වෙි. එය ඊනියා දෙවැනි ලෝක යුද්ධය වෙයි. ඇමරිකාව බටහරි ක්‍රිස්තියානි නූතනත්වයේ නායකත්වයට පත්වූයේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයට පසුව ය. ඇමරිකානු විශ්වවිද්‍යාලවල කලමනාකරණ පීඨවලට වැදගත්කමක් ලැබුණේ ද ඇමරිකානු නායකත්වය යටතේ ය."