අද දිවයිනේ ප්‍රධානතම විද්‍යාඥයකු ලෙසත් කීර්තිමත් විද්‍යාඥයකු ලෙසත් හැඳින්වෙන මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා පසුගිය ජූලි 31 වැනි දින දිවයින ඉරිිදා සංග්‍රහයට ලියූ ලිපියෙන් මා නැවතත් ජනතාවට ආසනික් භීතියක් ඇතිකරන බව පවසා ඇත. මට හෝ අප කණ්ඩායමේ වෙනත් අයකුට හෝ ඊනියා ආසනික භීතියක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් නැත. ආසනික් භීතියක් මේ රටේ ජනතාවට ඇතිකිරීමට අවශ්‍යතාවක් තිබෙන අයකුට වුව ද එසේ කිරීමේ හැකියාවක් නැත. එයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍යවල වස විස ඇති බව ජනතාව දැන සිටීම ය. ඇතැමකු ඒ හේතුවෙන් කාබනික ගොවිතැන වැනි විකල්ප ගොවිතැන් කරා ද යොමු වී ඇත. එය අද ඊයේ දැනගත් දෙයක් නොවන මෙරට ජනතාව සමග කටයුතු කරන අය දනිති. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද වස විස නැති ගොවිතැනක් ගැන කතා කරයි. අප කර ඇත්තේ මේ වස විස කිහිපයක් රසායනික නම්වලින් හඳුනාගැනීම පමණ ය. ඒ දැනුම අපට මුලින් ම ලබාදුන්නේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ප්‍රධාන දෙවිවරුන් බව අවධාරණය කළ යුතු ය. දෙවිවරුන් ඒ ඒ අවස්ථාවල කෘෂි රසායනික ද්‍රව්‍යවල ඇති ආසනික්, රසදිය හා සයනයිඩ් ගැන කී බව මෙහිලා සඳහන් කළ යුත්තේ අප කැලණියේ මෙන් ම වෙනත්් රසායනාගාරවල ද පිරික්සුම් කළේ දෙවියන් විසින් දෙන ලද ඒ දැනුම මත පදනම් වී නිසා ය. මෙවැනි පරීක්‍ෂණවල දී කෙරෙන්නේ බටහිර විද්‍යාවේ රසායනාගාරවල ක්‍රියාකරන පටිපාටියට අනුව කෘෂිරසායන ද්‍රව්‍යවල ඒ ඒ ද්‍රව්‍ය අඩංගු දැයි සොයා බැලීම ය. එසේ සොයාබැලීම සඳහා අඩුම තරමෙන් ඒ ද්‍රව්‍ය පිළිබඳ උපකල්පනයක් අවශ්‍ය වෙයි. අපේ රසායනාගාරවල අපි ආසනික් හා රසදිය සඳහා පරීක්‍ෂා කළෙමු. එසේ ම අද වන විට තත්ව පාලකයන් විසින් පිළිගැනී ඇතැයි කියන රසායනාගාරවල ද ඇතැම් කෘමිනාශක නියැදිවල ආසනික්, රසදිය හා සයනයිඩ් ඇති බව සහතික කර ඇත. ඔවුන් ද පරීක්‍ෂා කළේ ඔවුන් ලබාගත් තොරතුරු මත පදනම් වී ය. මේ තොරතුරු අනුව ඔවුහු ඒ ඒ කෘමිනාශකවල ඒ ඒ රසායනික ද්‍රව්‍ය සඳහා පරීක්‍ෂා කළහ. උදාහරණයක් ලෙස මලයාසියාවේ රසායනාගාරයක දී කර ඇත්තේ ඔවුන්ට ලබාදුන් උපදෙස් අනුව ආසනික්, රසදිය හා සයනයිඩ් සඳහා පරීක්‍ෂාකිරීම ය. මලයාසියාවේ විද්‍යාඥයන් හෝ තාක්‍ෂණ ශිල්පීන් හෝ ඔවුන් ම පරීක්‍ෂණ මගින් කෘෂි රසායන ද්‍රව්‍යවල සයනයිඩ් තිබෙන බවක් දැනගෙන නැති බව මෙහි දී අවධාරණය කළ යුතු ය. මෙයින් අදහස් කරන්නේ යම් ද්‍රව්‍යයක ඇති රසායන සංයුතිය දැනගැනීමට හැකි යන්ත්‍ර සූත්‍ර නැති බව නො වේ. එහෙත් එහි ද පරාස සීමාවන් වන බව අවධාරණය කළ යුතු ය. දැන් මෙරට සිටින ඊනියා විද්‍යාඥයන්ට අවශ්‍ය නම් සයනයිඩ් භීතිකාවක් ගැන කතාකළ හැකි ය. එහෙත් මේ රටේ ඇත්තේ ආසනික් හෝ රසදිය හෝ සයනයිඩ් හෝ භීතිකාවක් නොව ආසනික් ආදී ත්‍රස්තවාදයකි. කෘෂිරසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කරන්නෝ ඒ ද්‍රව්‍යවල ආසනික් හෝ වෙනත් වසක් විසක් හෝ නැතැයි ත්‍රස්තවාදී ව, බටහිර විද්‍යාවේ පරීක්‍ෂා මත පදනම් වන්නේ යැයි කියමින් පවසති.
අප මෙන් නොව කීර්තිමත් විද්‍යාඥයකු වූ මහාචාර්ය ඉලේපෙරුම මහතාගේ ඉහත සඳහන් ලිපියේ ම ඇති පහත සඳහන් වාක්‍ය අපි නැවතත් කියවමු. (මේ පශ්චාත්නූතනවාදීන්ගේ ඊනියා කියවීමක් නො වේ.) “කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන ලවණයක් බව මම කලින් ලිපියක සඳහන් කළෙමි. ඕනෑම අද්‍රාව්‍ය ලවණයක් ඉතා සුළු ප්‍රමාණයකට ජලයේ දිය වේ. මෙය කැල්සියම් ආසනේට්වලට ද වලංගු සත්‍යයක් වන අතර එහි ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 13ක් පමණි.”…….. …….. .. .. උෂ්ණත්වය සහ ජලයේ ආම්ලිකතාව මත කැල්සියම් ආසනේට් දියවන ප්‍රමාණය වෙනස්වන බව ද මහාචාර්ය නලින් ද සිල්වා කියයි. මෙය සත්‍යයක් වන අතර උසස් පෙළ රසායන විද්‍යාව හදාරණ ඕනෑම සිසුවකු පවා එම කරුණ හොදාකාරව ම දනී. රජරට වකුගඩු රෝග කලාපයේ ජල සාම්පල විශ්ලේෂණය කළ මා නිරීක්‍ෂණය කළේ මේවා බොහෝමයක් භාස්මික වන බවත් පී එච් අගය 7ට වඩා වැඩි බවත් ය. එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතු ය.” මේ වාක්‍ය කිහිපයෙන් මහාචාර්ය ඉලේපෙරුම මහතා වැටී ඇති ආසනික් පඹගාල නිරූපණය වෙයි.
ජූලි 31 වැනි දින ලිපිය ලියන තෙක් ඔහු දිගින් දිගට ම කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බව ය. ඔහු කිසි විටෙක උසස් පෙළ සිසුන් ද දන්නා බව කියන අහවල් උෂ්ණත්ව පරාසයේ් දී අහවල් ආම්ලිකත්ව පරාසයේ දී කැල්සියම් ආසනේට් ජලයේ දියවන බවක් හෝ නොවන බවක් හෝ කියා නො සිටියේ ය. පසුගිය දිනෙක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සම්මන්ත්‍රණයක දී ද ඔහු පරාස ගැන සඳහන් නො කෙළේ ය. ඔහු කියා සිටියේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බව ය. එනම් ඔහු නිරපේක්‍ෂ දිය නොවීමක් ගැන කතා කළේ ය. ඉහත කී සම්මන්ත්‍රණයේ දී මහාචාර්ය පරණගම මහත්මිය යම් ආමිලිකත්ව පරාසයක යම් උෂ්ණත්ව පරාසයක කැල්සියම් ආසනේට් දියවන බව කියා සිටියා ය. ඔහු ඒ අවස්ථාවේදීවත් මහාචාර්ය පරණගම මහත්මිය සමග එකඟ නො වී ය. පැහැදිලිව ම මහාචාර්ය ඉලේපෙරුම මහතා උසස් පෙළ සිසුන් ද දන්නේ යැයි කියන කරුණක් දැනගෙන ඇත්තේ මේ නොබෝදා ය. දැනුම කවදා ලබාගත්තත් ප්‍රශ්නයක් නැත. මෙවර උසස් පෙළ පරීක්‍ෂණයට පෙර ඒ කරුණ දැනගැනීම ගැන ඒ මහතාට ද සතුටු විය හැකි යැයි සිතමි. කෙසේ වෙතත් ඒ මහතාගේ වත්මන් දැනුම පිලිබඳ ව අපට ඇත්තේ බලවත් සතුටකි.
දැන් තමා වැටී ඇති වළෙන් ගොඩ ඒමට ඔහු උපාය දෙකක් යොදාගැනීමට සැරසෙයි. එක් උපායක්් නම් කැල්සියම් ආසනේට් පමණක් නොව ඕනෑම ඊනියා අද්‍රාව්‍ය ලවණයක් ඉතා සුළු ප්‍රමාණයකින් වුව ද ජලයේ ද්‍රාවණය වන බව කීම ය. ඔහු එයින් කීමට සූදානම් වන්නේ තමා අද්‍රාව්‍ය යැයි කී කැල්සියම් ආසනේට් ද සුළු ප්‍රමාණයකින් වුව දියවන බව කීමය. දැන් ඔහුට අනුව කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව ජලය මිලිලීටර් 100කට මිලිග්‍රෑම් 13ක් පමණි. මෙය ආසනික් සම්බන්ධයෙන් සුළු ප්‍රමාණයක් නොවන බව කිව යුතු ය. අනෙක් අතට මේ ද්‍රාව්‍යතාව ද ආම්ලිකතාව උෂ්ණත්වය ආදිය මත වෙනස් වෙයි. මහාචාර්ය ඉලේපෙරුම මහතා වලෙන් ගොඩ ඒමට යොදා ගැනීමට උත්සාහ කරන දෙවැනි උපාය ද්‍රාව්‍යතාවේ මේ විචලනය මත පදනම් වෙයි. ඔහු කියන්නේ ඔහු පරීක්‍ෂා කළ නියැදි බොහෝමයක පී එච් අගය හතට වැඩි වූ බවත් එබැවින් එම තත්ත්ව යටතේ කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව පිරිසිදු ජලයේ ද්‍රාව්‍යතාවයටත් වඩා අඩු විය යුතු බවත් ය. පී එච් අගය වැඩිවන විට කැල්සියම් ආසනේට්වල ද්‍රාව්‍යතාව අඩුවන බැවින් ඔහු පරීක්‍ෂා කළ බොහොමයක් නියැදිවල ආසනික් දිය වී නොතිබුණු බව ඇඟවීම මේ කතාවේ අරමුණ වන බව පෙනේ. එමගින් ආසනික් ජලයේ දිය නොවන්නේ යැයි ඔහු කලින් කී කතාව යම් පමණකින් යුක්තියුක්ත කිරීමට කීර්තිමත් මහාචාර්යවරයා උත්සාහ ගන්නා බව ද පැහැදිලි වෙයි. එහෙත් ඒ මහතාට ම අනුව නියැදි යම් ප්‍රමාණයක පී එච් අගය හතට අඩු ය. ඒ නියැදිවල කැල්සියම් ආසනේට් ද්‍රාවණය වී නොතිබිණි ද? ඔහු තවදුරටත් පවසන්නේ කැල්සියම් ආසනේට් ජලයේ දියවීමේ දී අයනවලට වෙන් වී ජලයට එකතුවන්නේ කැල්සියම් හා ආසනේට් යන අයන ප්‍රභේද දෙක බව ය. ඔහුගේ තර්කය ආසනේට් විසවීමක් ගැන මිස කැල්සියම් ආසනේට් සංයෝගය විසවීමක් ගැන කතාකිරීම වැරදි බව ය. අපි ඔහු නිවැරදි යැයි සිතමු. එසේ වුවත් අපේ කතාවෙහි (බටහිර විද්‍යාවෙහි ද ඇත්තේ කතා පමණකි) අදාළ කරුණෙහි දී ආසනේට් විසවීමට කැල්සියම් ආසනේට් තිබිය යුතු ය. අප කියා සිටින්නේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ය. ආසනික් නොතිබෙන්නට කැල්සියම් ආසනේට් නැත. කැල්සියම් ආසනේට් නොමැතිව ආසනේට් අයන නැත. එබැවින් අපේ මූලික ප්‍රස්තුතයට ඉන් හානියක් නො වේ. කෙසේ වෙතත් කැල්සියම් ආසනේට් කිනම් අවශ්‍යතා යටතේ වුවත් ඕනෑම ජලයක දියවීමේ දී අයනවලට වෙන්වන්නේ ද, මේ තොරතුරු අඩංගු වන්නේ කොහේ ද ආදිය බටහිර රසායන විද්‍යාව ගැන එතරම් දැනුමක් නැති අපට උගත් මහාචාර්යවරයා පවසන්නේ නම් කෘතඥ වෙමි. ඔහු පස ගැන කියන කතා අපි කිසිසේත් විශ්වාස නො කරමු. ලංකාවේ සෑම තැනකම ඇත්තේ එකම පසක් යැයි කියන පාංශු විද්‍යාඥයෝ වෙත් ද? රජරට වුව ද සමස්තයක් ලෙස ගත්කල කුඹුරු පස තිබුණ ද සෑමතැනක ම ඇත්තේ එකම පසක් නො වේ. රජරට ද රෝගය සමව පැතිරීමක් දක්නට නොලැබීමට එය එක් හේතුවකි. මහාචාර්යතුමා තවත් කතාවක් කියයි. ඔහුගේ ෆ්ලුවොරයිඩ් කතාව ප්‍රකාශ කළේ 2004 බව ද එය ජාත්‍යන්තර සඟරාවක පළ කළේ 2009 බව ද කියයි. ඉන් අදහස් කරන්නේ ඔහු ඊනියා විද්වත් සඟරාවක ප්‍රතිඵල පළ කළේ ඒ රටට ප්‍රකාශ කර අවුරුදු පහකට පසුව බව ද? කෙසේ වෙතත් ඔහුගේ මතය වෙනත් බොහෝ දෙනා නොපිළිගන්නා බව පැහැදිලි ය. අනෙක් අතට ඊනියා විද්වත් සඟරාවක පළ වූ පමණින් මතයක් නිවැරදි නො වේ. නේචර් හා සයන්ස් සඟරාවල ද පළවන ලිපිවලින් 30%ක් පමණ අවුරුදු කිහිපයක දී ප්‍රතික්‍ෂෙප වෙයි. අවසාන වශයෙන් ඔහු වෛද්‍යවරුන් පවසන්නේ යැයි කියමින් රජරට වකුගඩු රෝගියකු එක්සීමා රෝගියකු බවට පත්කිරීමේ නින්දිත උත්සාහයක යෙදෙයි. ඒ බව පවසන වෛද්‍යවරුන් කවරේදැයි ඔහුට නම්කළ හැකි ද? ඔහුට අනුව වෛද්‍ය තිලක් අබේසේකර මහතා කියන්නේ වකුගඩු රෝගීන් කිසිවකුවත් ආසනික් විෂවීමේ ලක්‍ෂණ පෙන්නුම් නොකරන බව ය. අබේසේකර මහතා එසේ කියන්නේ දැයි මම නො දනිමි. අඩුම තරමින් සාධාරණ වශයෙන්(පොදු යන අරුතින්) වකුගඩු රෝගීන් ගැන එසේ කීවේ නම් ඒ ගැන තවත් පරී’ක්‍ෂාකිරීමට සිත යොමුවීමට තිබිණි. එහෙත් රජරට වකුගඩු රෝගීන් කිසිවකු ආසනික් විෂවීමේ ලක්‍ෂණ පෙන්නුම් නොකරන්නේ යැයි අබේසේකර මහතා පවසා ඇත්නම් ඔහුට ද දිවැස් තිබිය යුතු ය.