Main Logo

Monday 12 February 2018

රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්‍රතිඵලය




රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්‍රතිඵලය




අප මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරන්නේත් අපට සාපේක්‍ෂවයි. මෙයින් හැඟෙන්නේත් වාස්තවිකත්වයක් නැති බව. වාස්තවිකත්වයත්, එනම් එවැන්නක් පිළිබඳ දැනුමත්, යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙලා. මා ඉදිරිපත් කරන ඥානවිභාගය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂයි. මට මැතිවරණ ප්‍රතිඵල පෙනෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තෙන්. අප කිසිවකු අපක්‍ෂපාත නැහැ.



 ජී එල් පීරිස් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ නීතිය දේශපාලනය ආදියට සාපේක්‍ෂව දිගින් දිගට ම කිව්වේ පළාත් පාලන ආයතන මැතිවරණය ජනමත විචාරණයක් කියායි. එහෙත් ඔහු පැහැදිලිව කිව්වේ නැහැ ජනමත විචාරණය කුමක් සඳහා ද කියා. ඒ ආණ්ඩුව එළවීමට ද (එය කරන්නේ කෙසේ ද), රනිල් ඉවත් කිරීමට ද, නව ව්‍යවස්ථාවට විරුද්ධව ද යනුවෙන් කිසිවක් ඔහු කිව්වේ නැහැ. ඊයේත් ඔහු ජනමත විචාරණ කතාව කිව්වා. ජනමත විචාරණය කුමක් වෙනුවෙන් ද කියා නොකී එක හොඳයි. පොදුජන පෙරමුණට ලැබී ඇත්තේ 45%ක පමණ ඡන්දයක්. පොදුජන පෙරමුණේ සහාය ලැබුණු ස්වාධීන කණ්ඩායම්වල ඡන්ද එකතු කළත් ඒ ප්‍රතිශතය 50ට කිට්ටු වන්නේවත් නැහැ. ජී එල් පීරිස් ද ජනමත විචාරණය ද පැරදිලා. ජනමත විචාරණ කතාව නොකියන ලෙස මා කියා සිටියත් සුපුරුදු පරිදි කිසිවකු ඒ ගණන් ගත්තේ නැහැ.  


ඡන්ද ප්‍රතිශත ගැන කියන විට අමතක නොකළ යුතු කරුණක් තියෙනවා. ඒ මෛත්‍රිපාලටත් 13 කට වැඩි ප්‍රතිශතයක් ලැබුණු බව. ශ්‍රී ල නි ප හා එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රතිශත එකතු කර බලන්න. මෙයින් 3%ක් පමණ රනිල් විරෝධී එ ජා පාක්‍ෂිකයන්  හිතවතුන් වෙන්න පුළුවන්. ඉතිරි 10% පොදුජන පෙරමුණේ 45%ට එකතු කළහොත් 55%ක් ලැබෙනවා. මෛත්‍රිපාල සමග කිසිම ගණු දෙනුවක් නැත කියන විද්වතුන්, දොස්තර මහාචාර්යවරුන්, පඬියන්, පඬි පෝතකයන් ආදීන් කුමක් කීවත් ඒ 55%න් අති විශාල බහුතරය රනිල් විරෝධී ඡන්ද. එමෙන් ම බොහෝමයක් යම් ආකාරයක, ඇතැමුන් කියන විධියට චතුර අල්විස්ගේ වර්ගයේ සිට විවිධ වර්ගවල ජාතික මතවාදී ඡන්ද. අද මා හිතන විධියට ඒ 55% මූලික ව කියන්නේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරන ලෙසයි.  


එහෙත් ඒ ජනමතය ක්‍රියාත්මක වන්න විධියක් නැහැ. රනිල් විරෝධී ඡන්ද ඇත්තේ දෙතැනක. මහින්ද හා මෛත්‍රිපාල එකතු කරන්න කිසිවකු මැදිහත් වන්නේ නැහැ. අද මේ රටේ ඛෙදවාචකය මෙයයි. මහින්දවාදීන් මා පතුරු ගසීවි. මගේ දේශප්‍රේමයක් නැතැයි කියාවි. මා ඩීල් කාරයකු ගේම් කාරයකු යැයි කියාවි. 

මා යෝජනා කර ඇත්තේ මහින්දට පිං අගමැති කමක් දීමට නොවෙයි. එය කුමන්ත්‍රණයක් ද නො වෙයි. රනිලුත් අගමැති වුණේ පිනට නො වෙයි. ඒ සියල්ල පඬි පෝතකයන් නොදන්නවාට ව්‍යවස්ථාවට එකඟයි. මහින්ද අගමැති කරන්නේ රනිල්ගෙන් රට බේරා ගැනීමට බව පඬිපෝතකයන්ට තේරෙන්නේ නැහැ.  

මට ගේමක් ඇත්තේ මාරයා සමග පමණයි. ඒ ගේම තව කල්ප ලක්‍ෂ ගණනාවක් තියේවි. ඒ අතර මාර දිව්‍යපුත්‍ර තනතුරට කිහිප දෙනකු පත්වේවි. එත් රටක් ජාතියක් ඉන් අංශු මාත්‍රයක කාලයක් පවතින්නේ නැහැ. ප්‍රශ්නය ඒ අංශු මාත්‍රය ගෙවන්නේ කෙසේ ද යන්නයි. ඒ අංශු මාත්‍රයේ ජනාධිපතිලා අගමැතිලා කවුරුන් ද යන්නයි.
 


ආණ්ඩුවට ඉල්ලා අස්වීමට කීම හිස් ප්‍රකාශයක් පමණයි. මෛත්‍රිපාල රනිල් දෙන්නා ම පන්නමු කීම ඊට එහා. ඇතැමුන් කියන්නේ පාර්ලිමේන්තුව විසුරවා හැරිය යුතු බව. එහෙත් අද එසේ කිරීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා යෝජනාවක් සම්මත කළ යුතුයි. එය මුහුණු පොතේ කළ හැකි දෙයක් නො වෙයි. මෛත්‍රිපාල ඉල්ලා අස්විය යුතු යැයි කීම අතිභයානකයි. ඒ ජනතා කැමැත්තට සම්පුර්ණයෙන් ම විරුද්ධව රනිල්ට ජනාධිපති වීමට පාර කැපීමක්. පඬියන් හා පඬි පෝතකයන් ප්‍රකාශ කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්නේ නම් රටට වැඩ දායකයි. 


රනිල් ඉවත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ නායකයන් කැමති නැහැ. ඔවුන්ට අවශ්‍ය විරුද්ධ පක්‍ෂයේ ම සිට ආණ්ඩුව තව තවත් ජනතා අප්‍රසාදයට පත් වීමෙන් පසු 2020 මැතිවරණයේ දී ඉතා විශිෂ්ට ජයක් ලැබීමට. ඒ අතර බොහෝ දේ සිදුවිය හැකි බව ඔවුන් හිතන්නේ නැහැ. සමහර විට ඇතැමුන්ට රනිල් ඉවත් කිරීමේ අදහසක් නැති වෙන්න පුළුවන්!  


අර කිරින්ද ප්‍රාදේශීය සභා ප්‍රතිඵලය අද සියල්ලන්ට අමතක වෙලා. මුහුණු පොතේ වීරයනුත් ඒ ගැන කිසිවක් කියන්නේ නැහැ. පක්‍ෂ නායකයන් නිහඬයි. ඒ ප්‍රතිඵලයට අනුව ඡන්ද දහදාහකට පමණ වෙච්ච දෙයක් නැහැ. වලංගු ඡන්ද විසිහතරදාහක් පමණ තිබුණත් පක්‍ෂවලට හා කණ්ඩායම්වලට ලැබී තිබුණේ ඡන්ද දහහතරදාහක් පමණයි. ඒ බව දෙරණ මැතිවරණ විස්තර ප්‍රචාරයෙහි දී චතුර අල්විස් පෙන්වා දුන්නා. අප ඒ ගැන ඔහුට ස්තුතිවන්ත විය යුතුයි. ඒ ගැන මැතිවරණ කොමසාරිස් නිහඬයි. ඒ ඡන්ද දහදාහ තිබුණා නම් කිරින්දේ ප්‍රතිඵලය වෙනස් වන්න තිබුණා. ජනතාවට මැතිවරණ ක්‍රමය ගැන අවබෝධයක් නැති අවස්ථාවක සිදුවන්න ගියේ කුමක්ද?

මෙවර පරිගණක කටයුතු සිදු කෙළේ කොළඹ විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් නොව කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක්. මා මේ විශ්වවිද්‍යාල දෙකේ ම සේවය කර තියෙනවා. මා එක් විශ්වවිද්‍යාලයක් අනෙකට වඩා හොඳය කියනවා නො වෙයි. මෙරට සියලු විශ්වවිද්‍යාල ගැන ශාස්ත්‍රීය පැත්තෙන් ගත් කල මගේ ඇත්තේ දැඩි අප්‍රසාදයක්. මෙරට විශ්වවිද්‍යාලවලින් කෙරෙන එක ම කාරිය ඇතැමුනට අනාගත සහකරුවන් හා සහාකාරියන් සොයා දීමයි. දේශන පැවැත්වීම හා සටහන් ලෙස නම් කෙරෙන දීර්ඝ ප්‍රකාශ කියවන විට ලියා ගැනීම ද ඒ අතර සිදුවෙනවා.  


කැලණිය කණ්ඩායම මහන්සි වී කටයුතු කරන්න ඇති. එහෙත් අපටත් ප්‍රශ්න ඇති වුණා. කිරින්ද ප්‍රතිඵලය ඉන් එකක්. මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තරමක නින්දක් අවශ්‍යයයි. මා එය පිළිගන්නවා. නින්දෙන් අවදි වූ පසු කිරින්ද ගැන යමක් කියනවා ද







________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-12