Main Logo

Monday 26 February 2018

නැති රෙද්ද සේදීම



නැති රෙද්ද සේදීම


මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම යනුවෙන් ඊයේ පළ වූ ලිපිය වෙන දා ලිපි කියවන අයවත් කියවලා නැති බව පැහැදිලියි. මහින්දවාදීන්ට මේ ලිපි අරුචි වෙන්න පුළුවන්. ඔවුන් කැමති වුවත් නැතත් ඒ ලිපියේ ඉතිරි කොටස් පසුව පළවේවි. අද පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති දෙකකට අවධානය යොමු කරනවා. ඉන් එකක් රෝහල්වල රෙදි සේදීම ගැන. අනෙක ආණ්ඩුවේ රෙදි සේදීම ගැන. පසුගිය මැතිවරණ සමයේ දී මෛත්‍රිපාල කියා සිටියා කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන කටයුතු කිරීමක් ගැන. එසේ වීමේ දී රෙද්ද ද කිළිටි වෙනවා. ඒ රෙදි සෝදාගන්න එකයි අද ප්‍රශ්නය.

රාජිත කියා තිබුණා රෝහල්වල රෙදි බේරේ වැවේ සෝදන බවත් ඒ නිසා රෙදි සේදීම ඉන්දියාවේ සමාගමකට දෙන බවත්. බටහිරයන් මෙරට සෑදූ එකම “වැව” බේරේ වැව වෙන්න පුළුවන්. එයට වැව කියන්නේ වැරදි අරුතකින්. එය වැවක් නො වෙයි. කවුද ලේක් කියන එක වැව ලෙස පරිවර්තනය කරලා. ලේක් හවුස් බේරේ ගෙදර යනුවෙන් කලක් හැඳින්වුණා. කොහොමටත් බේරේ නිසා සමහරු බේරෙනවා. ඉස්සර පාර්ලිමේන්තුව තිබුණෙත් බේරේ අසල. දැන් තියෙන්නෙ දියවන්නාවෙ. දියවන්නාවට දියවන්නා වැව කියලා කවුරුන්වත් කියන්නෙ නැහැ.

රාජිතට රෙදි හෝදන්න ලංකාවෙන් කිසිවකු හොයා ගන්න බැරි වෙලා. ඒක එච්චර අරුමයක් නොවෙයි. අද රූපවාහිනියේ වැසිකිළි සෝදන්නෙත් ඉන්දියාවෙ වෙළෙඳ දැන්වීම් යොදා ගෙන. ඈත අතීතයේ ඉඳලා අප එක්කෝ ඉන්දියාව නමින් හැඳින්වෙන  දේශයට හරි එංගලන්තයට හරි යටවෙනවා. අර බ්‍රිගේඩියර් ව ආපහු ගෙනාවෙ විසිරුණු දෙමළ ජනයාගෙ කීමටවත් ඔහුගේ  ආරක්‍ෂාවටවත් නො වෙයි. ඔහු එංගලන්ත නීතිය යටතෙ කරලා තියෙන වැරුද්ද කුමක් ද? එංගලන්ත ආණ්ඩුව බැඳිලා ඉන්නවා ඔහුට ආරක්‍ෂාව සපයන්න. එහෙත් ඔවුන් ඔහු ආපසු ලංකාවට ගෙන්වන ලෙස ලංකාණ්ඩුවෙන් ඉල්ලලා ඇති බව පේන්න තියෙනවා. මෙරට දෙමළ ජාතිවාදය ඇති කෙළෙත් පවත්වාගෙන යන්නෙත් එංගලන්තය බව අවුරුදු විසිපහකට වැඩි කාලයක් මා කියනවා. එහෙත් බොහෝ දෙනා ඒ බව පිළිගන්නේ නැහැ. රෙදි හේදිල්ල ඉන්දියාවට දෙන එක අස්සෙ එහෙමත් නැත්නම් රෙද්ද අස්සෙ කොමිස් තියෙනවා ද කියලා මා අහන්නෙ නැහැ.

අනෙක් රෙදි හේදිල්ල අමාත්‍ය මණ්ඩල සංශෝධනය. ඒ රෙද්ද හෝදන්න බැහැ. එයට හේතුව රෙද්දක් නැති වීම. නැති රෙද්දක් හෝදන්නෙ කොහොමද? මේ ඊනියා ජාතික ආණ්ඩුව නීත්‍යානුකූල නොවන බව මා කියන්නෙ බොහෝ කලක සිට. මා එය කියන්නෙ ඒකාබද්ධ විපක්‍ෂෙ පොදු ජන පෙරමුණේ අය දැන් කියන අර්ථයෙන් නම් නො වෙයි. ඔවුන් කියන්නෙ අර ගිවිසුම පහුගිය දෙසැම්බරයෙන් අවසන් වුණු නිසා ආණ්ඩුව නීත්‍යානුකූල නැහැ කියා. මා කියන්නෙ 2015 සැප්තැම්බරයෙ ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවපු දවසෙ ඉඳල ම නීත්‍යානුකූල නැහැ කියා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය මා කියන දේ ගණන් ගන්නේ නැහැ. ඒ ඔවුන්ට එයින් අවාසියක් වන නිසා. ඔවුන්ට විරුද්ධ පක්‍ෂෙ නායක කම ලබාගන්න ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවෙ නියෝජනය කරන බව පිළිගන්න ඕනෙ. මගේ තර්කය පිළිගත්තොත් ඔවුන්ට ඒ පිළිගැනීම නොලැබී  අවාසියක් වෙනවා. එවැනි අවාසිවලට වඩා රටේ වාසිය වැදගත් බව ඔවුන් පිළිගන්නේ නැහැ. ඔය කියන ගිවිසුමක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් වන්නේ නැහැ. ඒ ගිවිසුම අදාළ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ගිවිසුමක් ගැන කතා කරන්නේ ව්‍යවස්ථාව කියවන්නේ නැතිව.

ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවන්න ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 46(4) හා 46(5) අනු ව්‍යවස්ථා යටතේ. මා මේ අනු ව්‍යවස්ථා උපුටා දක්වා ඇති නිසා නැවත ඒ උපුටා දක්වන්නේ නැහැ. 46 (4) ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමති සංඛ්‍යාව තීරණය කිරීම පිළිබඳ ව. 46(5) ඊනියා ජාතික ආණ්ඩුව යනු කුමක් දැයි අර්ථදැක්වීමට. මෙහි වැදගත් වචන පාර්ලිම්න්තුවේ පිළිගත් පක්‍ෂ යන්නයි. අද පාර්ලිමේන්තුවේ ඇති පිළිගත් පක්‍ෂ දෙකක් නම් එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සංධානය යි. ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේ නැහැ. ඒ නිසා ඒ පක්‍ෂවල ජාතික රාජ්‍යක් හදන්න බැහැ. පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට. ඒ 106ක්. එක්සත් ජාතික පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ නැහැ. කොහොමටත් එක්සත් ජාතික පෙරමුණේ 106න් එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය දරන්නේ අසූ ගණනක්. චම්පක වැනි අය එක්සත් ජාතික පෙරමුණේ මිස එක්සත් ජාතික පක්‍ෂයේ නො වෙයි.

මේ ඊනියා ජාතික ආණ්ඩුව ශ්‍රී ල නි පක්‍ෂය සමග පිහිටුවා ගත් එකක්. එය සංධානය සමග පිහිටුවා ගත් එකක් නො වෙයි. අමරවීර සංධානයේ ලේකම් හැටියට දැන් කුමක් කිව්වත් වැඩක් නැහැ. එහෙත් එයටත් වඩා දෙයක් පහුගිය දා රනිල් පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මහා ලේකම් ලවා ප්‍රකාශ කෙරෙව්වා. ඒ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය ගැන පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවක් පිළිබඳ ව. ඒ යෝජනාව 2015 සැප්තැම්බර් තුන්වැනි දා අගමැති ඉදිරිපත් කර සම්මත කර ගත් එකක්. ඒ යෝජනාව මෙසේයි.

"Whereas the United National Party which obtained the highest number of seats in parliament has formed a National Government, Parliament determines in terms of Article 46 (4) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka that the number of Ministers in the Cabinet of Ministers shall not exceed 48 and the number of Ministers who are not Cabinet Ministers and the number of Deputy Ministers shall not exceed 45". එයින් කියැවෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් එක්සත් ජාතික පක්‍ෂය (පෙරමූණ නො වෙයි) ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවත් ඒ අනුව ඇමති සංඛ්‍යාව        48 නොඉක්ම විය යුතු බවත්.

දැන් ප්‍රශ්නය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයක් පාර්ලිමේන්තුවේ නියෝජනය නොවීමයි. එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය වන බව වැරදීමකින් නමුත් කිව්වත් එයට ඇත්තේ මන්ත්‍රීන් අසූ ගණනක් පමණයි. එසේ වුවහොත් පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවක් ඇත්තේ එක්සත් ජනතා නිදහස් සංධානයටයි. (මා එය එසේ යැයි කියන්නේ නැහැ) . එක්සත් ජාතික පක්‍ෂයට ජාතික ආණ්ඩුවක් හදන්න බැහැ. අනෙක් අතට එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දෙපැත්තක වාඩි වී සිටියත් ඔවුන් නියෝජනය කරන්නේ එකම පක්‍ෂයක්. ඊනියා ජාතික ආණ්ඩුව සංධානය හරි ශ්‍රී ල නි ප හරි සමග හැදුව එකක් නම් මහින්දත් පාර්ලිමේන්තුවේ කොහේ වාඩිවුණත් ඒ ආණ්ඩුවේ ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය කියා පිළිගත් පක්‍ෂයක් නැහැ. මහින්ද විරුද්ධ පක්‍ෂයේ නායකයා වුවහොත් එය පිං නායක කමක්. එහෙත් එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවක අගමැති වීම පිං අගමැති කෙනකු වීමක් නො වෙයි. මහින්ද පිං කතා කියන්න අවශ්‍ය නැහැ. කළ යුත්තේ 2020ක් ගැන බලන්නේ නැතිව මෛත්‍රිපාල ලවා රනිල් ඉවත්කර අගමැති තනතුර භාර ගැනීමයි.

2015 සැප්තැම්බරයේ සිට ම මෙරට ජාතික ආණ්ඩුවක් නැහැ. ඇමතිවරුත් නීත්‍යානුකූල නැහැ. ආණ්ඩුවට හා ඇමතිවරුන්ට  විරුද්ධව අධිකරණයට යන්නත් බැහැ. අද කරන්නේ නැති රෙද්දක් සේදීමක් පමණයි. නැති මනස ඇති බවට ගන්නා විට නැති රෙද්ද ඇති බවට ගැනීමටත් පුළුවන් කියලා කාට හරි තර්ක කරන්නත් පුළුවන්.   


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-26