Main Logo

Showing posts with label ස්වෛරී. Show all posts
Showing posts with label ස්වෛරී. Show all posts

Wednesday, 24 July 2013

ප්‍රජාතන්ත්‍රවාදය අසමත්ය

රටේ ස්වෛරී භාවය රැකගෙන ආසියානු කලාපයේ අනිකුත් රටවල් සමඟ ආර්ථික හා දේශපාලණ ගණුදෙනු කරන්නේ කෙසේද? ප්‍රාදේශීය දේශපාලණ ස්වාධීනත්වය රැකගෙන රටේ ඒකීය භාවය ආරක්‍ෂා කරගන්නේ කෙසේද? සුළු ජාතීන් තම අනන්‍යතාව රැකගෙන ජාතියට එක්වන්නේ කෙසේද? පුද්ගලික අයිතීන් රැකගෙන මිනිසුන් සාමූහිකව ජීවත්වන්නේ කෙසේද? තමන් මාක්ස්වාදීන් ලිබරල්වාදීන් එසේත් නැත්නම් ඊනියා යථාර්තවාදීන් යැයි කියා ගන්නා අයට මෙවැනි ප්‍රශ්ණවලට ශාස්ත්‍රීය පදනමකින් දිය හැකි පිළිතුරක් නැත. නමුත් ඔවුන් සිංහලුන්ට සාමූහිකව ජීවත්වෙන හැටි කියා දෙන්නට හදන්නේ සාමූහිකව ජීවත්වෙන ක්‍රමය ඔවුන් විසින් සොයාගත් දෙයක් ලෙස පෙන්වමිනි. අපේ රටේ මේ වැඩ බැරි විශේෂඥයින්ට තබා බටහිර රටවල වෙසෙන ඔවුන්ගේ හාම්පුතුන්ටවත් මේ ප්‍රශ්ණවලට පිළිතුරු නැත.

මේ හැමකින්ම මතු කෙරණ පොදු ප්‍රශ්ණය නම් සමස්ථයේ ස්වරූපය නිර්මාණය කරද්දී එහි සංඝටකවල විවිධ ලක්‍ෂණ නැත්නම් මනාපය සාධාරණව නිරූපණය කරන්නේ කෙසේද යන්නය. බටහිර සමාජ, ආර්ථික හා දේශපාලණ විශයන්හි සමාජ-වරණය (social choice) යන ක්‍ෂේත්‍රය තුල මෙවැනි ප්‍රශ්ණ සාකච්ඡාවට ගැනේ. බටහිර උගතුන් මේ ප්‍රශ්ණවලට පිළිතුරු සොයන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව ඡන්දවිමසීම උපක්‍රමයක් හැටියට භාවිතා කරමිනි. නමුත් කෙනෙත් ඇරෝ නම් යුදෙව් සම්භවයක් ඇති ඇමරිකානු විද්වතා මීට දශක ගණනකට උඩදී එය සාර්ථක ක්‍රමයක් නොවේ යැයි පෙන්වීමට ප්‍රවාදයක් ගොඩනැඟීය. ඇරෝට අනුව යම් සාධාරණ කොන්දේසි යටතේ කණ්ඩායමක මනාපය නිර්ණය කිරීම සඳහා තනි පුද්ගලයින්ගේ මනාප මොන ඡන්ද ක්‍රමය (බහුතර, සමානුපාත ආදී වශයෙන්) භාවිතාකර එකතු කලත් ලැබෙන ප්‍රතිඵලය සතුටුදායක නොවේ. මේ ප්‍රවාදය නිසා එක් දහස් නමසිය හැත්තෑ දෙකේදී ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඔහුට හිමිවූ අතර ඉන් පසු මේ ක්‍ෂේත්‍රයේ ශාස්ත්‍රීය කටයුතු කෙරෙන්නේ අර්ථවත් ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් පෙර කී කොන්දේසි කොතරම් දුරට ලිහිල් කල යුතුදැයි සලකා බැලීමටය. එනම් දැන් බටහිර විද්වතුන් උත්සාහ දරන්නේ ප්‍රශ්ණය විසඳීමට නොව කලමණාකරනය කර ගන්නටය. 

ඇරෝට නම් වැඩ පුලුවන්ය. ඔහු තම ප්‍රවාදයෙන් පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අසමත් බවය. සාමාජයිකව සමස්ථයත් එහි සංඝටකත් අතර යුක්ති සහගත සම්බන්ධ කමක් ගොඩනඟා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදයට නොහැකිය. නමුත් එය හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ දුර්වල කමක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලක්‍ෂණයකි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පුද්ගලයා සමාජයෙන් වෙන් කර ගනී. මෙසේ වෙන් කර ගත් පුද්ගලයින්ගේ එකතුවක් සමාජයක් ලෙස සැලකේ. පුද්ගලයින් සමාජයෙන් ස්වාධීන වූවිට හා ඔවුන් වෙනස් මත දරන විට සමාජයේ පොදු මතය නිර්ණය කරගන්නට නම් ඒ විවිධ මත ඡන්දයකින් යම් කිසි ආකාරයකට එකතු කරනවා හැරෙන්නට වෙන ක්‍රමයක් නැත.  මේ තත්ව යටතේ සමාජයේ පොදු මතයට තනි පුද්ගලයින් බහුතරයක් කැමති වෙන්නේ තනි තනිව ගත්විට ඔවුන්ගේ සිතුම් පැතුම් එසේත් නැත්නම් සංස්කෘතියද එකම වුනොත් පමණි. මේ නිසයි බටහිර රටවල සංස්කෘතික විවිධත්වයක් තිබිය නොහැක්කේ. පුද්ගලයින් සමාජයෙන් වෙන්වී කටයුතු කරන්නටනම් හා ප්‍රජාතන්ත්‍රය වැඩ කරන්නටනම් ඒ සමාජයේ තිබිය හැක්කේ එක සංස්කෘතියක් පමණි. ප්‍රජාතන්ත්‍රවාදයේ අසමත්කම වසා ගැනෙන්නේ මිනිසුන් එකම සංස්කෘතියකට ගාල් කිරීමෙනි. ඒ තිබිය හැකි එකම සංස්කෘතිය බටහිර සංස්කෘතිය යැයි බටහිර උගතුන් හා එහි අනුකාරකයින් අපට බල කර සිටී.

වැඩ බැරි අපේ විශේෂඥයින්ට අනුව දෙමළ සිංහල සමඟියක් ඇතිවිය හැක්කේ සිංහලුන් තම සිංහලකමත් දෙමළුන් තම දෙමලකමත් අතහැර බටහිර සංස්කෘතියට අනුගතවීම තුලිනි. ඔවුන්ට අනුව කදිරගාමර් මහතාට සිංහලුන් කැමතිවුනේ ඔහු නිර්ආගමික අසංකෘතික ස්ථාවරයක සිටිය නිසාය. මොන බොරුද? සිංහලුන්ට වැදගත්වුනේ ඔහු බටහිරුන්ට නොබියව මුහුණදුන් බවය. ඒ මහතා නළලේ අලු ගාගෙන වේට්ටියක් හැඳගෙන ඉංග්‍රීසි වෙනුවට කැඩුණු සිංහලෙන් හෝ කථා කලා නම් සාමාන්‍ය සිංහල බෞද්ධයින් තවත් ඔහුට ලං නොවී සිටියිද? පිටරට සම්මාන ලබන්නට රට හෑල්ලු කරමින් කථා කරන සිංහල බෞද්ධ ක්‍රිකට් නායකයෙකුට වඩා සිංහලුන් ඇන්ජිලෝ මැතිව්ස්ට කැමති වන්නට ඉඩක් නැද්ද? කොතරම් බහු ආගමික බහු සංස්කෘතික බයිලා කිව්වත් බටහිරුන්ට අන් සංස්කෘතීන් පිළිබඳ ඇත්තේ සැකයකි බියකි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව හොඳින් දනී ඔහු පිටරට යන විට කෝට් බෑය හඳින්නේ බටහිරුන්ගේ ඒ බිය නැති කිරීමටය.  

උතුරු පළාත් සභා මහ ඇමති කමට දෙමළ සංධානයෙන් විග්නේස්වරන් මහතා ඉදිරිපත් කිරීම පිටුපස ඇත්තේද මෙවැනි අකල්පයක් බව පැහැදිලිය. විශේෂඥයින්ට අනුව ඔහු කොළඹ පාසලකින් උගෙන නාගරික පරිසරයක හැදුන වැඩුන දෙමළ භාෂාවට අමතරව තවත් භාෂා කථා කරන උගතෙකි. ඒ නිසා ඔහුට උතුරත් දකුණත් සමඟ හොඳින් ගනුදෙනු කල හැකි යැයි මෙරට අනුකාරකයින් සිතති. අද උතුරට අවශ්‍ය වන්නේ දෙමළ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් මත දේශපාලණය කරන දෙමළකම හිංදුකම අත් නොහැරි පොළවේ පය ගසාගත් දේශපාලකයින්ය. විග්නේස්වරන් මහතාගේ සුදුසුකම විශේෂඥයින් උලුප්පා දක්වන දේ නම් ඔහු වරදරාජාපෙරුමාල්ටත් වඩා වාතයක් වනු ඇත.

සමාජයක මිනිසුන් එකම සංස්කෘතියකට ගාල් කිරීමට සමගාමීව ජාත්‍යාන්තරය තුල විවිධ රටවල ස්වෛරීය භාවය අහෝසි කිරීමටද බටහිරුන්ට අවශ්‍යය. එය කරන්නේ විවිධ ස්වෛරීය රාජ්‍යයන් තිබීම ලෝක සාමයට බාධාවක් යැයි ඔවුන් සිතන බැවිනි. ඒ තර්කයද ඇරෝගේ ප්‍රවාදයට අනුකූලය. නමුත් ඔවුන් තම රටවලට ස්වෛරීය භාවයක් තිබිය යුතු නැතැයි නොකියයි. ඒ නිසා බටහිර සමාජ-දේශපාලණ විද්‍යාවට අනුව අවසානයේ ලොව තිබිය හැක්කේ එක් ස්වෛරීය රාජ්‍යයක් පමණි. එය ඔවුන්ගේ රාජ්‍යයයි. බටහිර උගතුන් සහ මෙරට අනුකාරකයින් රටක ස්වෛරීය භාවය එතරම් වැදගත් නැති දෙයක් යැයි කියමින් ජාතිකත්වය සමච්චලයට ලක් කරන්නේ වෙන කිසිවකට නොව අපේ ස්වෛරීය භාවය අහෝසි කර එය බටහිර ආධිපත්‍යයට පාවා දීමටය.


ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මාකස්වාදයද ලිබරල්වාදයද ඊනියා යථාර්තවාදයද දහනමවන සිය වසේ යල් පැන ගිය අදහස්ය. මේ සංකල්ප වලට මුල්වූ රේඛීය චින්තනය, විශ්ලේෂණය, ද්වි කෝටික තර්කය වැනි අදහස් අද බටහිර භෞතික විද්‍යාඥයින් විසින් ප්‍රශ්ණ කරමින් සිටී. බටහිර සමාජ විද්‍යායින් ඒ බව දැන ගන්නට තව කල් ගත වනු ඇත.


ජානක වංශපුර

2013-07-04

Wednesday, 17 July 2013

බෞද්ධයින් ඩීමනයිස් කිරීම

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල ඩීමන් යන නම යෙදන්නේ පව්කාර අමනුස්සයින්ටය. බටහිරුන් තම ආගම්වාදී යුධ වලදීත් මිශණාරී කටයුතු වලදීත් තමන්ට විරුද්ධ ආගම් අදහන්නන් හා ඔවුන්ගේ දෙවිවරු ඩීමනයන් ලෙස පෙන්වා දෙන්නට, නැත්නම් ඩීමනයිස් කිරීමට උත්සාහ දැරූහ. අද බටහිර සංස්කෘතිය තුල බෞද්ධයින් විශේෂයෙන්ම බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ඩීමනයිස් කිරීමක් සිදුවෙමින් පවතී. එහි ක්‍රියාකාරිත්වය තේරුම්ගත හැක්කේ නූතන යටත්විජිතවාදය පසුබිම් කරගෙනය.

බෞද්ධයින් වෙසෙන රටවල්ද තම යටතට ගැනීමට බටහිරුන්ට උවමණාවක් ඇත. ඒ දැනට වසර සිය ගණනක් තිස්සේ ඔවුන් කරගෙන යන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේම ඉදිරි ගමනය. නමුත් බටහිර සංස්කෘතියේ වෙනස් වීමත් සමඟ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ විධි ක්‍රමද, එනම් එහි සංස්කෘතියද වෙනස් විය. එදා පෘතුගීසීන් කලාක් මෙන් රටවල් ආක්‍රමණය කිරීමට අද බටහිරුන්ට හැකියාවක්වත් කැමැත්තක්වත් නැත. තම රට ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මැලි නොවුනත් විදෙස් රටක නොපෙනෙන නොහඳුන හතුරන්ට එරෙහිව ආක්‍රමණශීලීව යුධ වදින්නට සාමාන්‍ය බටහිරුන් තුල මේ වන විට ඇත්තේ මන්දෝත්සාහී බවකි. ඔවුන් විසින්ම නිර්මාණය කර ඇති මානව හිමිකම් පිළිබඳ කථාද ඊට හේතුවී ඇත.විශාල හමුදාවක් යොදා ගනිමින් විදෙස් රටක භූමිය අල්ලාගෙන එරට පාලණය කිරීම කල නොහැකි දෙයක් බව වියට්නාම් යුද්ධයෙන් පසුව ඔවුන්ට අවබෝධවිනි. ඉරාකයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් ඔවුන් ඉගෙනගත්තේ දමණය කල රටක් කළමණාකරණය කල හැක්කේ රූකඩ ආණ්ඩුවක් තනා එය ශක්තිමත් කිරීමෙන් මිස තමන්ගේ හමුදාවකට නොවන බවය. අද වෙනවිට බටහිරුන්ගේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ සංස්කෘතිය වෙනස්වී ඇත. නමුත් එහි පදනම වන ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ඔවුන්ට ඇති බිය එදාටත් වඩා අද බලවත්ව ඇත. ඒ අන් කවරදාකටත් වඩා අද ඔවුන් ඊනියා බාහිර ලෝකය මත යැපෙන බැවිනි. 

එකල මිනිස්සු සතුන් දඩයම් කරගෙන මස් ආහාරයට ගත්හ. නමුත් අද මිනිස්සු එදාමෙන් සතුන් දඩයම් කරන්නේ නැත. අද ඔවුහු මසට ඇතිකල සතුන් මරා වෙළෙඳසැල් වල ශීතකරණයේ පැකට් වශයෙන් තබා ඇති මස් අනුභව කරති. අවශ්‍යනම් වැඩි මිලක් ගෙවා නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ දී ඊනියා කාබනික ආහාර කැවූ මානුෂීය අන්දමට ඝාතනය කල සතුන්ගේ මස් අනුභව කරති. ඔවුහු එදා ඇති සැටියෙන් මස් කෑ නමුත් අද මිනිසුන්ට මස් නොකා බැරිය. බටහිර අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ සංස්කෘතිය වෙනස්වී ඇත්තේද මිනිසුන්ගේ මස් කෑමේ සංස්කෘතිය වෙනස් වී ඇති ආකාරයටය.

නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය එකිනෙකට සම්බන්ධ ක්‍රියාදාමයන් පද්ධතියක් හරහා සිදුවේ. එහි මූලික අංගය පවතින රජයට විරුද්ධ බටහිරට ගැති රාජ්‍ය ද්‍රෝහී බලවේගයක් ස්වදේශිකව ඇති කර ගැනීමය. එයට සැලකිය යුතු පිරිසකගේ සහයෝගය ලැබිය යුතුමුත් එය බහුතර මතය වීම අත්‍යාවශ්‍ය නොවේ. දෙවනි අංගය මේ රාජ්‍ය ද්‍රෝහීන්ගේ මතවාදය බටහිර සාමාන්‍ය ජනතාව ඉදිරියේ සාධාරණය කර ගැනීම සඳහා මානව හිතවාදී කථාවක් ගෙතීමය. තුන්වෙනි අංගය ඒ මානව හිතවාදී කථාව පදනම් කරගෙන රාජ්‍ය ද්‍රෝහීන් බලයේ පිහිටුවීම අරභයා යුද්ධයක් කිරීමය. එය සම්බාධක පැනවීම තුලින් කෙරෙන ආර්ථික යුද්ධයක් විය හැකිය නැතිනම් ගුවනින් ගොස් බෝම්බ දමා හෝ මිසයිල මඟින් හෝ ඩ්‍රෝන යාත්‍රා මඟින් කෙරෙන දුරස්ථ ප්‍රහාරයක් විය හැකිය. එවැනි දුරස්ථ කෙටි ප්‍රහාරයකින් බටහිරුන්ගේ ප්‍රායෝගික මැදිහත්වීම අවම කර ගත හැකිය. වර්තමාන බටහිර සාමාන්‍ය ජනතාව කැමති කර ගත හැක්කේ ආර්ථික හා සාමාජයික වැය අඩු දුරස්ථව කෙරෙන කෙටි යුද්ධයකට පමණි. එය වෙලඳසැල් වලින් ලබා ගත් පැකට්කල මස් කෑම වැනිය. 

ලිබියාව් සාර්ථකව ක්‍රියාත්මක වූයේ නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියය. සිරියාවේ වෙන්නේද ඒ දෙයමය. නමුත් බෞද්ධ රටවල් තුල නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම බටහිරුන්ට එතරම් සරල කාර්යයක් නොවේ. 

බටහිර රටවල හිංදු ආගමට නැති තැනක් බෞද්ධාගමට ඇත. විශේෂයෙන්ම බටහිර උගතුන් බෞද්ධ දැනුම උසස්යැයි සලකති. බටහිර මනෝ විද්‍යාව ස්නායුවේදය හා භෞතික විද්‍යාව වැනි විශයන් තුලට බෞද්ධ දැනුම අවශෝෂණය කර ගැනීමට විද්වතුන් සාර්ථක නොවුනත් දරන උත්සාහය ඊට නිදසුණකි. ඒ නිසා ඔවුහු බෞද්ධ පොත පත හදාරන්නටත් භාවනා කරන්නටත් උනන්දුවක් දක්වති. වත්මන් බටහිර සමාජයේ සාමාන්‍ය ආකල්පය බෞද්ධයින් අහිංසකයින් බවය. ටිබෙට් ජාතික දලෙයි ලාමා තුමා ප්‍රමුඛ බටහිර රටවල වෙසෙන නොයෙකුත් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියා කලාපයන්ද බටහිරුන් තුල බෞද්ධයින් පිළිබඳ මේ ආකල්පය ඇති කිරීමට හේතු වී ඇතැයි සිතිය හැකිය. 

බෞද්ධයින් සමඟ යුද වදින්නට නම් බටහිරුන් තුල බෞද්ධයින් පිළිබඳ ඇති සුහඳ ආකල්ප වෙනස් කිරීමට අවශ්‍යය. ජන මාධ්‍ය හා බටහිර ගැති ජන මාධ්‍ය හරහා බෞද්ධයින් ඩීමනයිස් කිරීම ඇරඹී ඇත්තේ ඒ සඳහාය. ඩීමනයිස් කිරීම වෙසෙසින්ම එල්ලවී ඇත්තේ ථෙරවාදී බෞද්ධයින්ට වීමද වැදගත්ය. මහායාන ධර්ම මෙන් නොව ථෙරවාද ධර්ම බටහිර සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට ඇති නොහැකියාව ඊට මූලික හේතුවක් විය හැකිය. 

බුද්ධ ගයාවේ බෝම්බ පිපිරීමත් ටයිම්ස් පුවත් පතින් බුරුම ජාතික ව්‍යාපාරයට පහර ගැසීමත් තේරුම් ගත යුත්තේ මේ නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුලය. බුද්ධ ගයාවේ බෝම්බ පිපුරුවූයේ කව්ද යන්නට වඩා ඉන්දීය බලධාරීන් විසින් එය මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් කලේ යැයි නම් කිරීමට උනන්දුවීම වැදගත්ය. එහි අරමුණ බුරුමයේ බංගලාදේශයේ වැනි රටවල ඇවිලෙමින් පවතින බෞද්ධ මුස්ලිම් ගැටුම් වලට පිදුරු දැමීමද? ලංකාවේ බෞද්ධ මුස්ලිම් ගැටුමක් ඇති කිරීමද? ඒ හරහා කෲර බෞද්ධයින් ගෙන් මුස්ලිම්වරුන් ගලවා ගැනීම සඳහා මානුෂික මෙහෙයවීමක් දියත් කිරීමට ඉඩ ලබා ගැනීමටද? නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුල මේ කිසිවක් ඉවත දැමිය නොහැකිය. ලංකාවේ හලාල් ප්‍රශ්ණය දැවෙන සමයේ ලංඩනයේ ශ්‍රී ලාංකික සම්භවයක් නැති මුස්ලිම් පිරිසක් විසින් ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට සහයෝගය දක්වමින් උද්ගෝෂණය කල බව අමතක නොකල යුතුය. බොදු බල සේණා රාවය වැනි භික්‍ෂූ නායකත්වයක් ඇති සංවිධානවල ක්‍රියා කාරිත්වය මෙන්ම ඊට ඇති විරෝධයද විග්‍රහ කල යුත්තේද නූතන අධිරාජ්‍යවාදී පසුබිම තුලය. සිංහල බෞද්ධ විරෝධී ලිපි ලියන සමහර බටහිර ගැති උගතුන් මේ සංවිධාණවල භික්‍ෂූන් වහන්සේලා ඩීමනයිස් කිරීමට මහත් අභිරුචියක් දරන බව රහසක් නොවේ. ඒ අතර දෙමළ ජාතික සංවිධානයේ සුමන්තිරන් මහතාට අවශ්‍ය කිසියම් බෞද්ධයින් පිරිසක් විසින් මුස්ලිම් වෙලඳ ව්‍යාපාරයකට කල පහරදීමක් මුලු බෞද්ධ සමාජයටම බැර කිරීමටය. ඔහු ඒ කීම සාධාරණය කිරීම සඳහා එල්ටීටී ත්‍රස්තවාදීන් විසින් මුස්ලිම් ජනතාව යාපනයෙන් පලවා හැරීමට මුලු දෙමළ සමාජයම වගකිය යුතුයැයි කියයි. නමුත් මුස්ලිම් ජනතාව යාපනයෙන් පලවා හැරීම සම්බන්ධයෙන් සාමාන්‍ය දෙමළ ජනතාවට කිසිවෙක් දොස් නඟන්නේ නැත. සුමන්තිරන් මහතාටද අවශ්‍ය බෞද්ධයින් ඩීමන්ස්ලා කිරීමට පමණක් බව පැහැදිලිය.

බටහිරුන් තමන් ගැන දරන ආකල්පයට වඩා රටේ ස්වෛරීය බව රැක ගැනීම සිංහල බෞද්ධයින්ට වැදගත්විය යුතු බව සත්‍යය. නමුත් සිංහල බෞද්ධ සංවිධාන ජාතිවාදීව හා නීති විරෝධීව කටයුතු කිරීම අනුමත කල නොහැකිය. ඒ ක්‍රියා සදාචාරාත්මක නොවෙන අතර සිංහල බෞද්ධයින් ඩීමනයිස් කරවීමටද ඉඩ ලබාදේ. 

සිංහල බෞද්ධ සංවිධාන වලට සැලකියයුතු පිරිසක් ඒක රාශී කර ගැනීමට හැකිවී ඇත. එය හොඳය. නමුත් රජය ජාතික මතවාදයක සිටගෙන කටයුතු කරන අවස්ථාවලදී ජාතිකමුත් විකල්ප දේශපාලණ සංවිධාන මත බලය කේන්ද්‍රවීම හෝ තමන්වෙත දේශපාලණ බලයක් කේන්ද්‍රගත කර ගැනීමේ අරමුනින් සංවිධාන නිර්මාණය කිරීමෙන් සිදුවන්නේ රාජ්‍ය බලය විසිර යෑමය. සමහරවිට එවැනි සංවිධාන ජාතිකත්වය මත ජනතාව එක් රැස් කරගෙන දෙවනුව ආණ්ඩු විරෝධීවී තුන් වෙනුව බටහිර ආධාර ඇතිව රාජ්‍ය ද්‍රෝහීව කටයුතු කරමින් නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියට පාර කැපීමට ඇති ඉඩ නොසලකා හැරිය නොහැකිය. 


සිංහල බෞද්ධයින් ඩීමන්සලා කිරීම අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියේ වැදගත් අංශයකි. නමුත් එය එක් අංශයක් පමණි. නූතන අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ රටතුල ජාති ද්‍රෝහී විපක්‍ෂයක් බිහි කිරීම, ඩීමන්ස්ලා නිර්මාණය කිරීම හා දුරස්ථ යුද්ධය යන එකිනෙකට සම්බන්ධ ක්‍රියාදාමයන් සමූහයක් හරහාය. ජාතික ව්‍යාපාරය කටයුතු කල යුත්තේ අධිරාජ්‍යවාදී ව්‍යාපෘතිය සමස්ථයක් හැටියට අවබෝධ කරගෙනය.


ජානක වංශපුර

2013-07-17