Main Logo

Showing posts with label වඩුකොඩේ. Show all posts
Showing posts with label වඩුකොඩේ. Show all posts

Sunday, 9 June 2013

පළාත් සභා අහෝසි කරමු

පළාත් සභා අහෝසි කරමු යන සටන් පාඨය මෙරට ජාතිකවාදීන් ඉදිරිපත් කරන්නේ 1987 සිට ය. බොහෝ විට පැවසෙන පරිදි ඒ ඉන්දියාව විසින් අප මත බලයෙන් පටවන ලද්දකි. පසුගිය දා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මදියපරානම් ඒබ්‍රහම් සුමන්තිරන් නම් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ඒ එසේ නම් ඉන්දියාවට බලයෙන් තමන් මත පළාත් සභා පැටවීමට ඉඩ දීම ගැන සිංහලයන් ලජ්ජා විය යුතු බව ය. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනීම ලබා ඇති ඒබ්‍රහම් සුමන්තිරන් ඒ විදුහලේ ම ඉගෙනීම ලැබු සැමුවෙල් චෙල්වනායගම්ට බොහෝ අතින් සමාන වෙයි. පළාත් සභා අපට ලැබුනේ අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ය. ඉන්දු ලංකා ගිවිසුමට සිංහලයෝ තම විරුද්ධත්වය ලෙයින් ප්‍රකාශ කළහ. ඒ ගිවිසුම අත්සන් කිරීමට පැමිණි රජිව් ගාන්ධිට අපේ නාවික හමුදා භටයකු ඉතිහාසයේ නොවූ විරූ අයුරින් ආචාර පෙළපාලියේ දී පහර දුන්නේ සිංහලයන්ගේ විරුද්ධත්වය යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායේ පිහිටීමෙන් ප්‍රකාශ කරමිනි. ඒ පහර දීම රාජ්‍ය තාන්ත්‍රික සම්ප්‍රදායට විරුද්ධ විය හැකි ය. එහෙත් ඒ පහර දීම පිළිබඳ මම ලජ්ජා නො වෙමි. රජිව් ගාන්ධිට පමණක් නොව ධර්මාශෝක රජුට වුව ද අපි යටත් නො වීමු. අපි යටත් නො වෙමු. ඉන්දු ලංකා ගිවිසුමට හා පළාත් සභාවලට සිංහලයෝ විරුද්ධ වෙති. ඒ පිළිබඳ ලජ්ජා විය යුත්තේ ජේ ආර් ජයවර්ධන හා එ ජා පක්‍ෂයත් එයට සහාය දුන් දෙමළ ජාතිවාදී පක්‍ෂ හා සංවිධානත් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු පිරිසත් ය. ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ඉන්දියාවේ පාලකයන්ටත් දේශපාලන පක්‍ෂවලටත් බොහෝ විට අමතක වේ. පළාත් සභා අහෝසි කරන්නේ ද දහතුන් වැනි සංශෝධනය ඉතිහාසයේ කුණු කූඩයට විසිකරන්නේ ද ආදිය තීරණය කරන්නේ අප මිස ඉන්දියාව හෝ එහි දේශපාලන පක්‍ෂ හෝ නො වෙයි. ඉංදු ලංකා ගිවිසුම අහෝසි වී බොහෝ කල් බව පමණක් අපි ඉන්දියාවට මතක් කරමු. ඉන්දියාව එහි කියා ඇති අන්දමට කොටි සංවිධානය පරාජය කිරීමට කටයුතු නො කළේ ය. ඉන්දියාවේ ද ආධාරය ලැබූ කොටි සංවිධානය පරාජය කරනු ලැබුයේ අපේ රණවිරුවන් විසිනි. එසේ වුවත් ඉන්දියාව අප ලවා පළාත් සභා ක්‍රියාත්මක කරවීමට උත්සාහ කරයි. ගිවිසුමේ තමන් පොරොන්දු වූ කාර්යය ඉටු නොකළ ඉන්දීය බෞද්ධ විරෝධී නායකයෝ අප ලවා ජේ ආර් ජයවර්ධන ගාමිණී දිසානායක ආදීන් පෙරොන්දු වූ දේ ඉටුකරවා ගැනීමට යත්න දරති. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙයට ඉඩ දිය යුතු නො වේ. ඒ මහතා මානුෂික මෙහෙයුමේ දී ක්‍රියාකළ ආකාරයට නොසැලී කටයුතු කළ යුතු ය. එතුමාගේ ඡන්ද පදනම සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ජනතාව ය. එතුමාට පළාත් සභා අහෝසි කිරීමට හැකිවුවහොත් කිසි දිනෙක ඡන්දයකින් නොපරදිනු ඇත. 

අද තවමත් පළාත් සභා අහෝසි කිරීමට තරම් පසුබිමක් පාර්ලිමේන්තුවේ නැත්නම් ආණ්ඩුව අඩුම තරමෙන් දහතුන්වැනි සංශෝධනයේ 154 (උ) (2) (ආ) හා 154 (උ) (3) (ආ) වගන්ති ද පළාත් සභා කිහිපයකට එකතු වීමට ඇති අයිතිය ද, ඉඩම් බලතල හා පොලිස් බලතල ද ඉවත්කිරීමට වහාම කටයුතු කළ යුතු ය. අදාළ වගන්ති ඉවත් කරවීමට අප කටයුතු කරන්නේ අද ඊයේ නො වේ. පළාත් සභා මුළුමනින් ම අහෝසි කරන ලෙස අප ඉල්ලන්නේ 1987 සිට ය. 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග පළාත් සභා ඔස්සේ බලය බෙදා සන්ධීය රාජ්‍යයක් ඇති කිරීමට ක්‍රියා කරන බව දත් අපි ඇයට අසීමිත බලයක් දෙනු වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වීමු. 2008 දී පමණ සර්ව පාක්‍ෂික නියෝජිත සමුළුව ඉනදියාවේ අවශ්‍යතාව පරිදි, පළාත් සභා ක්‍රියාත්මක කරන බවට අතුරු වාර්තාවක් මගින් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වූයේ අපේ මැදිහත්වීමෙනි. එහි දී උදය ගම්මන්පිළ මහතාගෙන් ලැබුණු සහාය ඉමහත් ය. තිස්ස විතාරණ ඇතුළු අනෙක් සියල්ලන් ම එකට සිටිය දී අප දෙදෙනාගේ විරෝධතාව හේතුකොටගෙන එම සමුළුවේ සාමාජිකයන් හා පක්‍ෂ නායකයන් අරලිය ගහ මැදුරට කැඳවීමට ජනාධිපතිතුමා ට සිදු විය. එහි දී හෝ ඉන් පෙර හෝ පසුව හෝ සමුළුව පවත්වන කාලයෙහි වචනයක්වත් නොකී එක් ඇමතිවරයකු තම විරුද්ධතාව නොවන්නට මා අනෙක් අය සමග අතුරු වාර්තාවට අත්සන් තබනු ඇතැයි ගැරඬිවාදයෙන් ප්‍රකාශ කරන්නේ කිසිම හිරිකිතයක් නොමැති විය. එසේම කිසිවක් නොදන්නා ජඩමාධ්‍යවේදියකු මාත් ගම්මන්පිළ මහතාත් අතුරු වාර්තාවට අත්සන් කළේ යැයි කියන්නේ වාචාලකමට මිස වාර්තාව හරිහැටි කියවා බලාවත් නො වේ. අප මේ සියල්ලෙන් කියන්නේ අපේ විරුද්ධතාව හුදෙක් උතුරු පළාත් සභාවට ඒ බලතල අහිමිකිරීමට පමණක් නොවන බව පෙන්වා දීමට ය. උතුරු පළාත්සභාවටවත් අනෙක් පළාත් සභාවලටවත් ඒ බලතල කිසිවක් හිමිවිය යුතු නො වේ.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට නීතියක් නො වේ. අදාළ පනත් කෙටුම්පත් පනත ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී විනිසුරුවෝ හතර දෙනෙක් පනත සම්මත කර ගැනීමට නම් ජනමතවිචාරණයකින් ඒ අනුමත විය යුතු යැයි ප්‍රකාශ කළහ. විනිසුරුවෝ හතර දෙනෙක් එසේ ජනමතවිචාරණයක් අවශ්‍ය නො වේ යැයි කීවෝ ය. පාරින්ද රණසිංහ විනිසුරුතුමා පැවසුවේ 154 (උ) (2) (ආ) හා 154 (උ) (3) (ආ) වගන්ති සම්මත කර ගැනීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බව ය. ඒ අනුව ශ්‍රෙෂ්ඨාධිකරණයේ බහුතර කැමැත්ත අනුව යමින් අඩුම තරමින් ඒ වගන්ති දෙක සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු ව තිබිණි. එහෙත් ජේ ආර් ජයවර්ධන එසේ නො කළේ ය. ඔහු අදාළ වගන්ති දෙක ඔහුට අවශ්‍ය අන්දමට සංශෝධනය කර පනත සම්මත කර ගත්තේ ය. මෙය මුළුමනින් ම නීති විරෝධි ක්‍රියාවක් විය. අප ඒ බව දැනගත්තේ 2010 දී පමණ  අභාවප්‍රාප්ත රාජා වනසුන්දර හිටපු විනිසුරුතුමා ඒ පිලිබඳ පැහැදිලි ප්‍රකාශයක් කිරීමෙන් පසුව ය. අපි එදා සිට අද දක්වා ම දහතුන්වැනි සංශෝධනය මෙරට නීතියක් ලෙස නො සලකමු. අඩුම තරමෙන් ඉහත සඳහන් වගන්ති දෙක ව්‍යවස්ථාවෙහි සඳහන් වුව ද මෙරට නීතිය නො වේ. යම් වගන්තියක් ජනමත විචාරණයකට යොමු කළ යුතු යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය සඳහන් කළ විට හා එය එසේ යොමු නොකිරීමට නම් මෙලෙස සංශෝධනය විය යුතු යැයි සඳහන් නොකළ විට පාර්ලිමේන්තුවට තමන්ට අවශ්‍ය ආකාරයට ඒ වගන්තිය සංශෝධනය කර සම්මත කරගත හැකි නො වේ. එබැවින් අදාළ වගන්ති දෙක උපරිම නීති පොතේ ඇතුළත් වුවත් මෙරට උපරිම තබා කිසිම නීතියක් නො වේ. එහෙත් අවාසනාවකට බොහෝ දේශපාලනඥයන් කල්පනා නොකළ ද අද දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුව ඇත්තේ මේ වගන්ති දෙක උපයෝගී කරගෙන ය. දහතුන්වැනි ව්‍යවස්ථාවේ යම් වගන්තියක් සංශෝධනය කිරීමේ දී සියළු පළාත් සභා එයට එකඟ වන්නේ නම් ප්‍රශ්නයක් පැන නොනගියි. එයට හේතුව එවැනි අවස්ථාවක දී අදාළ වගන්තිය සංශෝධනය කළ යුත්තේ 154 (උ) (2) (අ) වගන්තියට අනුව බැවිනි. ප්‍රශ්නය පැන නගින්නේ අදාළ සංශෝධනයට එක් පළාත් සභාවක් වුවත් එකඟ නොවන්නේ නම් ය. එවිට බලපැවැත්විය යුතු වන්නේ 154 (උ) (2) (ආ) වගන්තිය ය. එහෙත් එවැනි වගන්තියක් මේ රටේ නීතිය නො වේ. මේ ව්‍යවස්ථා අර්බුදයෙන් ගැළවෙන්නේ කෙසේ ද යන්න නීතිය පිලිබඳ මූලධර්මවල සඳහන් වන්නේ දැයි කීමට නො දනිමි. මා සඳහන් කරන්නේ මගේ තර්ක බුද්ධියට ගෝචර වන්නක් පමණකි. ඒ කුමක් වුවත් කිසියම් ආකාරයකින් දහතුන් වැනි ව්‍යවස්ථාවේ අදාළ වගන්ති කිහිපයවත් සංශෝධනය විය යුතු ය. ඒ සඳහා උපයෝගී කරගැනීමට නීතියක් නැති බැවින් එසේ සංශෝධනය කළ නොහැකි යැයි යම්කිසිවකු පැවසුවහොත් එයින් කියැවෙන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ම නීතියක් නොවන නිසා ඉබේට ම අහෝසි වන බව  ය. එය වඩාත් හොඳ ය. එවිට ප්‍රශ්නයකින් තොරව ම දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ඒ සමග පළාත් සභාත් අහෝසි වෙයි. නීති විශාරදයන් මේ පිළිබඳ වැඩි අවධානයක් දක්වන්නේ නම් මෑනවි.

අද වන විට උතුරු පළාත් සභාවේ මැතිවරණය සැප්තැම්බරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පැවසෙයි. උතුරු පළාත් සභාවට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් යම් පිරිසක් 1976 වඩුකොඩේ සම්මේලනයේ සම්මත කරගත් යෝජනා පිළිගත්තෝ වෙති. ඔවුන් දෙමළ ජාතික සංධානයෙන් තරග කළත් වෙනත් පක්‍ෂයකින් තරග කළත් එහි භයානක කම අඩු නො වේ. වඩුකොඩේ යෝජනා අනුව මෙරට දෙමළ ජනයා යනු වෙන ම ජාතියකි. ඔවුන්ට නිජබිමක් ඇත. ඔවුන්ට ස්වයංනිර්ණයන අයිතිය ඇත. මේ සියල්ල අසත්‍ය බව මෙරට ජාතිකවාදීන් පෙන්වා දී ඇතත් දෙමළ ජාතිවාදීහු බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදයෙන් හා අනුග්‍රහයෙන් අසත්‍යයේම ගිළී සිටිති. ඒ සඳහා ඔවුන්ට බටහිර රටවල රාජ්‍යවලින් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල ද සහාය ද ලැබෙයි. උතුරු පළාත් සභාවේ මැතිවරණය නොපැවැත්විය යුතු ය. ඒ සඳහා වහාම පළාත් සභා අහෝසි කළ යුතු ය. පළාත් සභා වර්තමාන ආකාරයෙන් පවත්වාගෙන යමින් උතුරු පළාත් සභා මැතිවරණය පවත්වා වඩුකොඩේ සම්මේලනයේ යෝජනා පිළිගන්නවුන්ට ඒ පළාත් සභාවට පත්වීමට ඉඩහැරීම රණවිරුවන් තම ජීවිතය පුජා රැකගත් මෙරට එක්ස්සත් රාජ්‍යය කඩා බිඳ දමා ඔවුන් පාවාදීමකි. එපමණක් නොව එම රණවිරුවන්ට දේශපාලන නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්‍ෂ මහතාත් පාවාදීමකි. ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් පාවාදීමට කටයුතු කරනු ඇතැයි සිතිය නො හැකි ය. අද බටහිරයන්ට අවශ්‍ය වන්නේ ඒ දෙදෙනා දංගෙඩියට යැවීමට ය. මේ අවස්ථාවේ දී බටහිරයන්ට හා ඉන්දියාවට ඉඩ දීමෙන් සිදුවන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ දැමීමකි. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වන්නේ ද මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර ඉන්පසු එතුමා දංගෙඩියට යැවීමට ය. අප කටයුතු කළ යුත්තේ කසිකබල් පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මේ රටේ පැවැත්වීම අරමුණු කරමින් නො වේ. ඒ සම්මේලනය මෙරට පැවැත්වී යැයි අප රටට වන විශේෂ යහපතක් නැත. ඒ කෙහෙම්මල් සම්මේලනය පවත්වා රට දෙකඩ කිරීමටත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යැවීමටත් අපට අවශ්‍ය නො වේ. සම්මේලනය පැවැත්වුවත් නැතත් පළාත් සභා අහෝසි කිරීමට පියවර ගත යුතු ය. යම්කිසි අයූරකින් එසේ කිරීමට හැකි පසුබිමක් පාර්ලිමේන්තුවේ නැත්නම් අඩුම තරමෙන් ඉහත සඳහන් කරුණු කිහිපයවත් උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර ඉටුකළ යතු ය. දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස් බලතල පළාත් සභාවලට අහිමි වී ඇතැයි පවසන්නෝ බයිලා කියන්නෝ පමණක් ම වෙති. අපි ඔවුන්ට එදත් කන් නො දුන්නෙමු. අදත් කන් නො දෙන්නෙමු. කිසියම් ආකාරයකින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවක් පත්කරන්නේ නම් එහි සියළු වැඩ කටයූතු උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර නිම විය යුතු ය. 

2013-06-09

නලින් ද සිල්වා

Wednesday, 22 February 2012

දෙමළ ජාතිවාදයේ වත්මන් අවශ්‍යතාව

දෙමළ ජාතිවාදයට අද අවශ්‍ය කුමක් ද? දහතුන ද? ඉන් ඔබ්බට ද? එසේත් නැත්නම් දෙමළ ඊළමක් ද? දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව තීරණය වන්නේ එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් අතිනි. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවුවත් දෙමළ ජාතිවාදය මතවාදීව පරාජය කිරීමට හැකි වුවත්, දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ එය බටහිර රටවල් අතින් පෝෂණය වන බැවිනි. අද සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සංධානයට තනිව ම දේශපාලනිකව කළ හැකි දෙයක් නැත. එහෙත් බටහිරයන් විසින් රැකෙන ඔවුහු බටහිරයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටිති. දෙමළ ජාතිවාදය ආරම්භයේ සිට ම පෙනී සිටියේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ අවශ්‍යතාව වෙනුවෙන් බැවින් මෙහි අමුත්තක් ද නැත. ලන්දේසීහු දහහත්වැනි සියවසේ කෘෂිකාර්මික කම්කරුවන් වූ ද දෙමළ හින්දු කුල ධුරාවලියේ ශුද්‍රයන් වූ ද වෙල්ලාලයන් තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩල වෙරළින් මෙරටට ආනයනය කළ දිනයේ සිට ඔවුන් සිංහලයන්ට විරුද්ධව යොදාගත්හ. එහි පළමු පියවරක් ලෙස වෙල්ලාලයන් හින්දු කුල ධුරාවලියේ වෛශ්‍ය තත්වයට ද වඩා උසස් කරනු ලැබූහ. මෙරට හින්දු සමාජය අවසාන විග්‍රහයේ දී ව්‍යුහාත්මක ව සකස් කෙරී ඇත්තේ සිංහල කුල ක්‍රමය දෙස බලා මිස ඉන්දියාවේ කුල කුමය බලාගෙන නො වේ. එහෙත් එයට ඉන්දියාවේ දරුණු කුල පීඩනය එකතු වී ඇත. එම කුල පීඩනය පසුව සිංහල සමාජයට ද ලන්දේසි හා ඉංගිරිසි යටත්විජිත සමයන්හි දී එකතු වී ඇත. ඒ කෙසේ වෙතත් ඉංගිරිසි යටත්විජිතවාදීන්ගේ පාලන සමයෙහි ඉහළට ඔසවනු ලැබූ පොන්නම්බලම් කුමාරස්වාමි පවුල ද කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් ම පැවත ආවෝ වෙති. ලන්දේසීන් හා පසුව විශේෂයෙන් ම ඉංගිරිසින් රටේ නායකත්වයට වෙල්ලායන් පත්කිරීමට උත්සාහ ගත්තේ සිංහලයන්ට පහර ගැසීමට ය. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට මෙරට හිමි තැන නැති කිරීමට ලන්දේසිහු ද ඉංගිරිසිහු ද වෙල්ලාලයන් යොදාගත්හ. දහනවවැනි සියවසේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ඇතිකළ දිනයේ සිට මෙරට දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූයේ කෙසේ ද යන්න ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන් වෙයි.

මේ ජාතිවාදය මුල දී රටේ ම නායකත්වයට වෙල්ලාලයන් පත්කිරීමට කටයුතු කළත් එයට ඉඩක් නොමැති බව 1947 ප්‍රථාම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව චෙල්වනායගම් දැනගත්තේ ය. දකුණු ඉන්දීය ක්‍රිස්තියානි සභාවට අයත් වූ ඔහුු ඉන්පසුව ක්‍රියා කළේ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට අසාධාරණකම් වී ඇතැයි කියමින් දෙමළ ජනයාගේ ඊනියා වාසභුමි යැයි කියූ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ය. ඔහු ඒ සඳහා 1949 දී ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ද පිහිටුවා ගත්තේ ය. එය පිහිටුවා ගත්තේ සිංහල රාජ්‍ය භාෂා පනත සම්මත කරගත් 1956ටත් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් 1972ටත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී මාධ්‍යය මත ප්‍රමිතිකරණයකට ලක්කෙරීම නිසා දෙමළ ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිදුවිණි යැයි කී 1972ටත් පෙර බව දෙමළ ජාතිවාදීන්ටත් පඬියන්ටත් අමතක වී ඇත. 1976 දී සියළු දෙමළ හා මුස්ලිම් පක්‍ෂ එකතු කරගත් චෙල්වනායගම් උග්‍ර සිංහල විරේාධී සංවිධානයක් පිහිටුවා ගෙන අපකීර්තිමත් වඩුකොඩේ යෝජනාව සම්මත කරගත්තේ ය. එහි දී දෙමළ ජාතිවාදීහු එතෙක් තමන් පදනම් වූ මතවාද කුමානුකූලව ගොනුකර ගැනීමට ද සමත්වූහ. ඔවුන්ට අනුව දෙමළ ජනයා වෙන ම ජාතියක් වූ අතර, අනාදිමත් කාලයක් තිස්සේ ලංකාවේ පදිංචි වී සිට ඇතෂ සිංහල ජනයා පසුව පැමිණ දෙමළ ජනයා බලයෙන් පහකර රාජ්‍යත්වය ලබාගෙන ඇතෂ පසුව උතුරු හා නැගෙනහිර පළාත්වලට සීමා වූ දෙමළ ජනයා එහි වෙන ම රාජ්‍යයක්, විභේෂයෙන් ම උතුරු පළාතේ පවත්වාගෙන ගොස් ඇතෂ පෘතුගීසීන් පෑමිණෙන විට මෙරට දෙමළ රාජ්‍යය ද ඇතුළු ස්වාධීන රාජ්‍යය කිහිපයක් තිබූ නමුත් අවසානයේ දී ඉංගිරිසින් ඒ සියල්ල එකතුකර ලංකාවේ ප්‍රථම වරට ඒකීය රාජ්‍යයක් බිහිකර ඇතෂ ඒ ඒකීය රාජ්‍ය ඉංගිරිසින් සිංහලයන්ට භාර දී ආපසු ගිය අතර සිංහලයන් (සිංහල ආණ්ඩු) දෙමළ ජනයාට අසාධාරණකම් රාශියක් කර ඇතෂ උතුරු හා නැගෙනහිර දෙමළ ජනයාගේ නිජභූම්ය වන අතර සිංහලයන්ගෙන් එය නිදහස් කර ගැනීමට කාලය පැමිණ ඇතෂ මේ අදහස් 1976 ට පෙර ද තිබී ක්‍රමයෙන් විකාශය වී වඩුකොඩේ යෝජනාවට ගොනුකර තිබිණි. මේ සියල්ල අසත්‍ය බව අමුතුවෙන් කිවයුතු නො වේ. පසුව පැමිණි යැයි කියන සිංහලයන්ට ඉන්දියාවේ වංගය - බෙංගාලය, කාලිංගය –- ඔරිස්සාව ආදී ප්‍රන්ත සමග වැඩි සම්බන්ධයක් තිබිය යුතු වූ නමුත් අදත් තමිල්නාඩුව සමග සම්බන්ධකම් පවත්වන්නේ දෙමළ ජනයා ය. මෙරට තිබූ එක්සේසත් රාජ්‍යය ගැන කිසිම සඳහනක් නොකිරීමට දෙමළ ජාතිවාදීහු වගබලා ගත්හ. අප මේ බොහොමයකට පිළිතුරු දී ඇති අතර තවත් අය ද තමන්ගේ එකතු කිරීම් කර ඇත.

බටහිරයන්ගේ අනුග්‍රහය ඇතිව ඉන්දියාව අප මත පළාත් සභා ඇටවූයේ ප්‍රශ්නය දෙමළ ජාතිවාදීන් සූත්‍රගත කළ ආකාරය මත පදනම් වෙමිනි. දෙමළ ජාතිවාදීන් කියා සිටි එක කරුණකටවත් සිංහලයෝ එකඟ නො වුහ. එයට එකඟ වූ අය සිංහලයන් අතර සිටියේ නම් ඔවුහු කසිකබල් මාක්ස්වාදීන්, සත පහක වටිනාකමක් හෝ සමාජ බලපෑමක් හෝ නැති පශ්චාත්නූතනවාදීන් හා පශ්චාත්මාක්ස්වාදීන්, ඊනියා ලිබරල්වාදීන්, බටහිර රාජ්‍ය මගින් තම මත ප්‍රචාරය කිරීම සඳහා හැටේ දශකයෙන් පසුව පිහිටවු ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, බටහිරයන්ගේ ම අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ ඊනියා සිවිල් සංවිධාන, (ග්‍රාම සංවර්ධන සමිති, කුලඟන සමිති ආදී අව්‍යාජ රාජ්‍ය නොවන සිවිල් සංවිධාන දුර්වලකර හරිනු ලැබිණි), ඊනියා භාෂණ නිදහස වෙනුවෙන් බටහිර මුදලින් පෙනී සිටියවුන්ගේ සංවිධානවල, ඇතැම් ජනමාධ්‍යවේදීන් යැයි කියාගත්තවුන් ආදීන් අතර වූහ. ඔවුන්ට සමාජයේ කිසිම බලපෑමක් කිරීමට නොහැකි වුවත් සිංහල විරෝධි සතිඅන්ත කසිකබල් පුවත්පතක්, ක්‍ෂණික නූඩ්ල්ස් වැනි ක්‍ෂණික පුවත්පත් සාකච්ඡා, ලිප්ටන් වටරවුමේ හා කොටුව දුම්රිය ස්ධානය ඉදිරිපිට ක්‍ෂණික උද්ඝොෂණ (පපඩම් සාකච්ඡා හා පපඩම් උද්ඝෝෂණ) ආදී උප්පරවැට්ටි ඔස්සේ ජනමාධ්‍යවල පෙනී සිටියහ. මුළු රටෙන් ම ඡන්ද පනස්දාහක් ගත නොහැකිව බටහිරයන්ගේ මත පුනරුච්චාරණය කරන සංවිධානවලට ජනමාධ්‍යයෙහි ලැබෙන තැන කිසිසේත් ම සමානුපාතික නියෝජනත්වයක් යැයි කිවහැකි නො වේ. මේ පුස්සන්ගේ පක්‍ෂපාතකම් පැත්තක තබා ඉන්දු ලංකා ප්‍රෝඩා ගිවිසුමට හා පළාත් සභාවලට සිංහලයෝ විරුද්ධ වූහ. එහෙත් බටහිරයන්ගේ හා ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රියාත්මක විණි. 75% ක සිංහල බහුතරයක් අමතක කර පළාත් සභා සාර්ථක කරගැනීමට ඉන්දියාව, බටහිරයන්, දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ගෙන් වැටුප් හෝ වෙනත් ආධාර හෝ ලබන ඉහත සඳහන් පුස්සන් වෙර විරිය කළ නමුත් එසේ කරගැනීමට ඔවුන්ට නොහැකි විය. එංගලන්තය හා ඇමරිකාව ප්‍රධාන බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ අවශ්‍යතාව මත නෝර්වේ හා ස්වීඩනය ඊනියා සාම සාකචිඡා ඔස්සේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා එක් පැත්තකින් ඉටුකළ අතර අනෙක් පැත්තෙන් බටහිර රටවල් දෙමළ ත්‍රස්තවාදීන්ට ආයුධ හා මුදල් ලබා දුනි. එහෙත් සිංහල බහුතරය ඒ එකකින්වත් පරාජය කිරීමට දෙමළ ජාතිවාදයට හා බටහිරයන්ට හා ඉන්දියාවට නොහැකි විය. අවසානයේ දී ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි අයකු ලෙස කියැවුණු මතය ද පරාජය කළ සිංහලයෝ දේභපාලනික ව පළාත් සභා ද කොටි සංවිධානය සමග නන්දිකඩාල් කලපුවේ ගිල්ලවූහ.

එහෙත් අද තවමත් බටහිරයන්ගේ අවශ්‍යතාව හා අනුග්‍රහය මත දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. බටහිර සිටින විසිරුණු දෙමළ ජනයා හා සම්බන්ධන්ලා මෙහි දී ප්‍රධාන වශයෙන් ම යොදා ගැනෙති. අද කළ යුත්තේ හැකිනම් පළාත් සභා මුළුමනින් ම අහෝසි කිරීමය. එසේ නොහැකි නම් ඉඩම් හා පොලිස් බලතල නොදී් සෞඛ්‍ය හා අධ්‍යාපන බලතල ආපසු ලබාගත යුතු ය. අද අධ්‍යාපන ඇමතිතුමා පාසලෙන් ඉතිහාසය අයින්කිරීමට යන බව සැළ ය. ඒ 1972 දී කළ වරදක් නැවත කිරීම ය. පරිසරය ජාතික උරුමය සමග පටලවා නොගත යුතු ය. කළ යුත්තේ ඉතිහාසය හා ජාතික උරුමය එකතු කිරීම ය. අධ්‍යාපන ඇමති තරමට ජාතිකත්වයක් නැති ඇමතිවරුන් කෙසේ ක්‍රියාකරන්නේ දැයි අපට සිතාගත හැකි ය. අද මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ඇමතිවරු කී දෙනෙක් වෙත් ද? නන්දිකඩාල් කලපුවේ දී දුන්නේ දේශපාලන විසඳුම බව අප පුන පුනා කියා ඇත. හමුදා මෙහෙයුමකින් ලබන ජයග්‍රහණ යනු දේශපාලන විසඳුම් වෙයි. සම්බන්ධලා මේ බව දනිති. ඔවුන් නැවතත් දහතුනෙන් එහා යෑමට කතාකරන්නේ වෙනත් අරමුණකිනි. අද සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නන්ට ද, දෙමළ ජාතිවාදීන්ට ද, පුස්සන්ට ද, ජනරළට හා ජ වි පෙට ද අවශ්‍ය එක් දෙයක් පමණකි. කලබල, උද්ඝෝෂණ, වර්ජන ආදිය ඇතිකර ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට කියමින් බටහිරයන්ට ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට පටහැණි ක්‍රියාමාර්ග ගන්නා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැමීමට උදව් කීිරීමට ය. සරත් ෆොන්සේකාගේ සුදු කොඩි සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැක්කේ එය අධිකරණය ඉදිරියේ ඇති බැවිනි. එහෙත් ඔහු ද 2009 ජුනි මාසයෙන් පමණ පසු මෙහෙයවනු ලබන්නේ බටහිරයන් විසිනි. දෙමළ ජාතිවාදී සම්බන්ධන්ලාට ද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊනියා ජාත්‍යන්තර අධිකරණයට යැවීමට ය. ඔවුන්ට සරත් ෆොන්සේකා ඒ අධිකරණයට යැවීමට අවශ්‍ය නැත. දෙමළ ජාතික සංවිධානය අද දහතුනට ඔබ්බට යෑමට උත්සාහ දරන්නේ ඒ ඔස්සේ චෙල්වනායගම් ක්‍රමයේ සත්‍යග්‍රහ මගින් කලබල ඇතිකර ආණ්ඩුව පෙරළා දැමීමට ය. ඒ අතර් ඔවුහු කලබල ඇති කිරීමට ජනරළ හා වෙනත් කණ්ඩායම්වල ද ආධාරය පතති. මහින්ද රාජපක්‍ෂ මහතාට විකල්පයක් වී නම් මෙරට මේ වන විටත් මාලදිවයිනක් ලිබියාවක් බවට පත්කර අවසාන ය.

Tuesday, 19 July 2011

පළාත් සභා අවශ්‍ය කාහට ද?

අවුරුදු දෙකකට පෙර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මගපෙන්වීම යටතේ අපේ රණවිරුවෝ ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදය පැරදවූහ. බොහෝ දෙනා නොදනිතත් එහි දී මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ (නාථ දෙවියන්) හා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අගසව් තනතුරකට පත්වීමට නියම ව ඇති විපස්සක දෙවියන් (මෙතුමන්ගේ බුද්ධිය හා දැනුම හමුවේ අයින්ස්ටයින් නිව්ටන් ආකිමිඩීස් ත්‍රිත්වය හිරු දුටු කදෝපැණියන් මෙනි. මම ඒ තිදෙනා ගැඹරෙන් ද විපස්සක දෙවියන් යම් පමණකින් ද හදාරා ඇත්තෙමි. ඒ පිළිබඳ විස්තර පසුව ලියමි) ප්‍රධාන සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ද සහාය ලැබිණි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය නොවන්නට ඒ කිසිවක් සිදු නොවන්නට තිබිණි. රණවිරුවන් ජීවිත පරිතා්‍යගයෙන් එසේ කළේ ඇයි? ජනාධිපතිතුමා බටහිර හා ඉන්දීය බලපෑම්වලට යටත් නොවී විවිධ තර්ජන ගර්ජන මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැළී දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පරාජය කළේ ඇයි? ඒ රටේ ස්වෛරීභාවය වෙනුවෙනි. එකල බටහිර ගැති ලිබරල්වාදී, මාක්ස්වාදී ආදී විවිධ වර්ගවල සියළු බුද්ධිමතුන් යැයි කියාගන්නා අය උපදෙස් දුන්නේ ප්‍රභාකරන් සමග සාකච්ඡා කරන ලෙස ය. අපි එදා ඒ පඬියන්ට විරුද්ධ වීමු. අප කියා සිටියේ ප්‍රභාකරන් පරාජය කළ යුතු බවත් ඔහු පරාජය කළ හැකි බවත් ය. මාවිල්ආරුවෙන් පසු සියල්ල වෙනස් වීමට පටන් ගත්තේ අපට අවශ්‍ය ආකාරයට ය.

ප්‍රභාකරන් පරාජය කළ යුතුව තිබූණේ ඇයි? ප්‍රභාකරන් යනු කවු ද? දැනට අවුරුදු විස්සකට පමණ පෙර ප්‍රභාකරන් ඔහුගේ සීයාලා බාප්පලා හා මස්සිනාලා නමින් පොතක් පළවිය. එහි ප්‍රභාකරන් යනු අහම්බෙන් පහළ වූ පුද්ගලයකු නොව මෙරට දෙමළ ජාතිවාදයේ එක් පුරුකක් පමණක් බව සංගත ව ප්‍රකාශ කෙරිණි. මෙරට දෙමළ ජාතිවාදය ඈරඹුණේ පනස්හයෙන් පසුවවත්, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ඊනියා ප්‍රමිතිකරණයක් නිසාවත් (අද ද ප්‍රමිතිකරණ දෙකක් ක්‍රියාත්මක වෙයි. එකක් ඉසෙඩ් ලකුණ ඔස්සේ සිදුවන විෂයානුබද්ධ ප්‍රමිතිකරණයකි. අනෙක දිස්ත්‍රික් කෝටා හෙවත් දිස්ත්‍රික් කොටස යනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රදේශානුබද්ධ ප්‍රමිතිකරණයකි. මේ ප්‍රමිතිකරණ අද ක්‍රියාත්මක වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලට වාසිදායක ව ය. එදා ප්‍රමිතිකරණය මාධ්‍යානුබද්ධ ප්‍රමිතිකරණයක් විය. එහි කිසිදු වරදක් නොතිබිණි. අද එය නැවත ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවුණත් ෙසෙද්ධාන්තික වශයෙන් ගත්කල එහි දොසක් දැකිය හැක්කේ ප්‍රමිතිකරණය යනු කුමක් දැයි නොදත් සිංහල විරෝධී කසිකබල් සතිඅන්ත පුවත්පත් කතුවරයකුට හා වෙනත් එවැනි පඬියන්ට පමණකි) දෙමළ ජනයාට දෙමළ නිසා ම සිදුවූ ඊනියා අසාධාරණයක් නිසාවත්, ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවීමෙන් පසුව ඉන්දියා විරෝධී බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාවත් නො වේ. දෙමළ ජාතිවාදය ඇරඹුණේ ලන්දේසීන් මෙරටට දුම්කොළ වගාවට දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල නමින් හැඳින්වෙන කෘෂි කම්කරුවන් ආනයනය කිරීමෙන් පසුව ය. එදා සිට ලන්දේසීහුත් පසුව ඉංගිරිසිහුත් අද ඉංගිරිසින් හා ඇමරිකානුවන් ප්‍රධාන බටහිරයෝත් මුල දී වෙල්ලාලයන් තුළ හා පසුව දෙමළ ජනවර්ගය තුළ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදයක් ඇතිකර සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධව, දෙමළ නායකයන් හා පසුව දෙමළ ජනයාත් මෙහෙයවූහ, මෙහෙයවති. ප්‍රභාකරන් යනු රාමනාදන්ලාගේ දේශපාලන මුණුබුරෙක් ද, චෙල්වනායගම්ලාගේ හා සම්බන්ධන්ලාගේ ඥාති පුත්‍රයෙක් ද, නීලන් තිරුචෙල්වම්ලාගේ මස්සිනා කෙනෙක් ද වෙයි. මේ දේශපාලනයෙහි මුල ඇත්තේ ඉංගිරිසින්ගේ මෙහෙයවීමෙන් මෙරට දේශපාලන නායකයා බවට පත්වීමට කටයුතු කළ රාමනාදන් ය. රාමනාදන්ගේ සිට ජී ජී පොන්නම්බලම් දක්වා ක්‍රියාත්මක වූයේ දෙමළ නායකයන් රටේ ද නායකයන් කරවීමේ දෙමළ ජාතිවාදී දේශපාලනයකි. ඉන් පසු චෙල්වනායගම්ගේ සිට අමිර්තලිංගම් හා දැන් සම්බන්ධන් දක්වා ක්‍රියාත්මක වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ දෙමළ බෙදුම්වාදී දේශපාලනය ය. ප්‍රභාකරන් එයට එකතු කළේ ජ වි පෙරමුණේ ත්‍රස්තවාදය ය. ඒ ත්‍රස්තවාදයට ද දෙමළ ජාතිවාදී අනෙක් දේශපාලන ක්‍රියාදාමයන්ට මෙන් ම ඉන්දියාවේ ද බටහිර ද සහාය ලැබිණි. ප්‍රභාකරන් හා සම්බන්ධන් අතර වෙනස ඇත්තේ ත්‍රස්තවාදයේ මිස දෙමළ ජාතිවාදයේ නො වේ ඔවුහු දෙදෙනා ම දෙමළ ජාතිවාදීහු වෙති.

දෙමළ ජාතිවාදයට ඉන්දියාවේ ඇති සම්බන්ධය අපට පෙනෙන්නට පටන්ගත්තේ ඉන්දිරා ගාන්ධිගේ කාලයේදී වූ පමණින් දෙමළ ජාතිවාදය හා ත්‍රස්තවාදය ජේ ආර්ගේ ඇමරිකන් ගැති විදේශ ප්‍රතිපත්තියට විරුද්ධව ඉන්දියාව විසින් අරඹන ලද්දක් යැයි නිගමනය කිරීම වැරදි ය. අප ප්‍රශ්න මැදින් අල්ලාගත යුතු නො වේ. මෙරට ප්‍රශ්නය සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය ය. එය අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් පවතින ප්‍රශ්නයකි. ප්‍රශ්නය විසඳිය හැක්කේ දෙමළ ජාතිවාදය සහමුළින් ම පරාජය කිරීමෙනි. ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ ම එක් ප්‍රකාශනයක් පමණකි. එයට පමණක් නොව සමස්ත දෙමළ ජාතිවාදයට ම බටහිර් හා ඉන්දියාවේ සහාය ලැබෙයි. අප විසින් පරාජය කෙරුණේ දෙමළ ත්‍රස්තවාදය ය. ඒ සමග ත්‍රස්තවාදයේ දේශපාලනය වූ දෙමළ ජාතිවාදී දේශපාලනය ද පරාජය කෙරිණි. ඒ අතර අප විසින් දෙමළ ජාතිවාදය න්‍යායාත්මකව ද පරාජය කෙරී ඇත. එහෙත් දෙමළ ජාතිවාදය දේශපාලනික ව තවමත් අතථ්‍ය ව ව්‍යාජ ව ක්‍රියාත්මක වෙයි. එසේ ක්‍රියාත්මක වන්නේ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙනි. සාමාන්‍ය දෙමළ ජනයාට අද ඊළමක් හෝ පළාත් සභා හෝ අවශ්‍ය නො වේ. එහෙත් සම්බන්ධන්ලා බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ අනුග්‍රහයෙන් දේශපාලනය කරති. ප්‍රභාකරන් බලාපොරොත්තු වූ ඊනියා විසඳුම හා චෙල්වනායගම් බලාපොරොත්තු වූ හා සම්බන්ධන් බලාපොරොත්තුවන ඊනියා විසඳුම අතර වෙනසක් නැත. ඒ විසඳුම් වෙනම රාජ්‍යයක් පිහිටුවීම මිස අනෙකක් නො වේ. බටහිරයන් දෙමළ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ නො වෙනස් විසඳුම ය. වෙනස වූයේ චෙල්වනායගම්ගේ මිනිසුන් ප්‍රකෝප කරන ඊනියා අවිහිංසා සත්‍යග්‍රහ සහ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අතර ය. පඬියන් බටහිරයන් හා ඉන්දියානුවන් ආණ්ඩුවට ප්‍රභාකරන් සමග සාකච්ඡා කිරීමට යැයි කීවේ ක්‍රමයෙන් මේ විසඳුම ලබා දීමට ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඒ විසඳුම ලබාගැනීම සඳහා යොදාගත් බිල්ලා විය. බිල්ලා පෙන්වා කුඩා ළමුන් බය කරන්නාක් මෙන් ප්‍රභාකරන් පෙන්වා ඊනියා සාකච්ඡා හරහා ඊළාම ලබාදීම ඉහත කී කාගේ කාගේත් උපක්‍රමය විය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ප්‍රභාකරන් පෙන්වා අපේ ඉතිහාසයට හෝ වර්තමානයට හෝ නොගැලපෙන ඉන්දීය මාදිලියේ ඊනියා විසඳූමක් විය. එය අප මත බලහත්කාරයෙන් පටවනු ලැබූවකි. ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් හා චන්ද්‍ර්‍රිකාගේ ඇමතිවරුන් එයට කැමති වුව ද එය ව්‍යවස්ථාවට ඇතුළත් වනතාක් ඒ ඔස්සේ ඊළමක් දීමට දෙමළ ජාතිවාදීන් හා ඔවුන් පිටුපස සිටින බටහිරයන් හා ඉන්දියානුවන් කටයුතු කරනු ඇත. මෙහි දී ප්‍රභාකරන්ගේ සීයලා පොතෙන් මුල්වරට අනාවරණය කෙරුණු චෙල්වනායගම්ගේ දැන් ටිකක් පසුව හුඟක් යන ප්‍රතිපත්තිය අවධාරණය කළ යුතු ය. අද පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට ඉල්ලන්නේ දහතුන ඔස්සේ බව අමතක කළ යුතු නො වේ.

අප අමතක නොකළ යුතු ප්‍රධානම කරුණ නම් දෙමළ ජාතික සංධානය තවමත් වඩුකොඩේ සම්මුතිය අත්හැර නැති බව ය. දෙමළ ජාතිවාදයේ සන්ධිස්ථානයක් වූ 1976 වඩුකොඩේ සම්මේලනයේ දී සම්මත කරගන්නා ලද සම්මුතියෙන් ඊළාමක් පිහිටුවීම අනුමත කෙරී ඇත. අපි සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සංධානයට වඩුකොඩේ සම්මුතිය අවලංගු කරන ලෙසට අභියෝග කරමු. එසේ නොකරනතාක් අපට ඔවුන් ඊළාම්වාදීන් ලෙස සැලකීමට සිදුවනු ඇත. එසේ නොකරනතාක් සම්බන්ධන් හා ප්‍රභාකරන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නැත. ක්‍රියා මාර්ග අතර ද පැහැදිලි වෙනසක් නැත්තේ ප්‍රභාකරන් හා ත්‍රස්තවාදීන් සම්බන්ධන්ලාට අපේ කොල්ලන් වූ නිසාත් සම්බන්ධන්ලාගේ පූර්ණ අනුග්‍රහය ප්‍රශාකරන්ට ලැබුණු නිසාත් ය. එබැවින් සම්බන්ධන් වහාම ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය ද හෙළා දැක ප්‍රකාශයක් නිකුත් කළ යුතු ය. කෙසේ වෙතත් යුද්ධය හෝ ආයුධ සන්නද්ධ සටන් හෝ යනු දේශපාලනය ම මිස අනෙකක් නො වේ. අප විසින් පරාජය කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වේ. ත්‍රස්තවාදය පෙනී සිටියේ යම් දේශපාලනයක් වෙනුවෙන් ද හමුදා මෙහෙයුම් ජයග්‍රහණය සමග ඒ දේශපාලනය ද පරාජය කෙරිණි. අද හමුදා ජයග්‍රහණය සමග දෙමළ ජාතිවාදී දේශපාලනයේ විසඳුම් ද පරාජය වී ඇත. ඒ අරුතින් දහතුන්වැනි ව්‍යවස්ථාව ද දේශපාලනික ව පරාජය කෙරී ඇත. එහෙත් නෛතික තත්වය සෑමවිට ම දේශපාලනය සමග සමාන්තර ව ගමන් නො කරයි. නීතිය, දේශපාලනය තාක්‍ෂණය ආදිය පසුපස මිස ඉදිරියෙන් ගමන් නොකරයි. දහතුන දේශපාලනික ව පරාජය වී ඇති නමුත් එය නෛතික ව තවමත් ක්‍රියාත්මක වෙයි. අද කළ යුත්තේ වත්මන් දේශපාලනයට ගැලපෙන පරිදි නීතිය, මෙහි දී මූලික නීතිය හෙවත් ව්‍යවස්ථාව, වෙනස් කිරීම ය. රණවිරුවන් ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පරාජය කළේ නැවතත් දෙමළ ජාතිවාදය සමග සාකචිඡා කිරීමට නො වේ. චර්චිල් හිට්ලර්ගේ ඝාතනයෙන් පසු ඉතිරි වී සිටි නට්සිවාදීින් සමග සාකච්ඡා ආරම්භ නො කළේ ය. ලෙනින් අත් අඩංගුවේ සිටි සාර් රජුගේ පවුල ඝාතනය කිරීමෙන් පසු සාර්ගේ දේශපාලන හිතවතුන් සමග සාකච්ඡා නො කළේ ය. ලෙනින් යුද්ධාධිකරණයට යැවිය යුතුව තිබුණි යැයි කියන මාක්ස්වාදියකු ද නැත. අද ඇත්තේ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ අනුග්‍රහය ලබන සම්බන්ධන්ලාගේ අතථ්‍ය දෙමළ දේශපාලනයකි. අප සම්බන්ධන්ලාගේ දේශපාලනයට හසුවිය යුතු නො වේ. විසඳිය යුතු ව තිබූ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තිබුණේ පඬියන්ගේ හිස් වූ හිස්වල පමණ ය. දෙමළ ජනයාට අද අවශ්‍ය පළාත් සභා, ඉඩම් හා පොලිස් බලතල නොව යම් මාදිලියක සංවර්ධනයකි. පළාත් සභා අවශ්‍ය වඩුකොඩේ සමමුතිය පිළිගත්තවුන් ට ය.