Main Logo

Sunday, 2 October 2022

ගොංගාලෙගොඩ බණ්ඩා

 

ගොංගාලෙගොඩ බණ්ඩා

 

දැනට ටික කලකට පෙර මියගිය ආචාර්ය කේ ඩී ජී විමලරත්න ලියූ ලිපියක් මට මගේ මිතුරකු එවා තිබුණා. මිතුරා දැන් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මා කුලය ගැන ලියූ ලිපි කියවීමෙන් පසුවයි ඔහුට මේ ලිපිය මට එවීමට සිත් වී තිබෙන්නේ. කේ ඩී ජී විමලරත්නත් මගේ මිතුරෙක්. ඔහු රාජ්‍ය ලේඛනාගාරයේ අධ්‍යක්‍ෂ ව සිටියා. මට වඩා අවුරුද්දක් ජ්‍යෙෂ්ඨ ඔහු පේරාදෙණියේ ඉතිහාසය විශේෂ පාඨමාලාව හැදෑරුවා. ඔහු ද මා මෙන් ම ජයතිලක ශාලාවේ නේවාසික ව හිටියා.

 

මේ ලිපිය ගොන්ගාලෙගොඩ බණ්ඩා ගැනයි.   ලිපියට අනුවත් ජනප්‍රවදය අනුවත් ගොන්ගාලෙගොඩ බණ්ඩා දේව වාංශිකයෙක්. ඔහු වංසපුර දේවගේ  සිංචියා ප්‍රනාන්දුගේ දෙවැනි පුතා ලෙස  1809 මාර්තු 13 වැනි දා පෑලියගොඩ දි ඉපදී තියෙන්නෙ. ඔහගෙ නම් කිහිපයක් ලිපියෙහි සඳහන් වෙනවා. පෑලියගොඩ ඩේවිඩ්, අළුදෙණියෙ බණ්ඩා, ගොංගාලෙගොඩ ටිකිරි බණ්ඩා ලෙස. මට හිතෙන්නෙ ඔහුගෙ මුල් නම වෙන්න ඇත්තෙ වංසපුර දේවගේ ඩේවිඩ් ප්‍රනාන්දු කියා.  

 

නුවර පාරෙ ගමනාගමන කටයුතුවල නිරත ව සිටි ඩේවිඩ් ගොංගාලෙගොඩ ටිකිරි බණ්ඩාගේ දුව විවාහ කරගෙන  උඩුනුවර ගොංගාලෙගොඩ පදිංචි වී තිබෙනවා. වංසපුර දේවගේ ඩේවිඩ් ප්‍රනාන්දු ඉන්පසුව සමහරවිට ගොවිගම කුලයට අවශෝෂණය වී ගොංගාලෙගොඩ ටිකිරි බණ්ඩා වෙන්න ඇති. එය මගේ කතාවක් මිස විමලරත්න කියන දෙයක් නො වෙයි.

 

1848 දි පනවන ලද බදුවලට විරුද්ධව ගොංගාලෙගොඩ බණ්ඩා ප්‍රමුඛ පිරිසක් 1848 ජූලි හයවැනි දා නුවර කච්චේරිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තියෙනවා. ඉංගිරිසින් එයට ඇහුම්කන් දී නැහැ. එකල ආණ්ඩුකාරයා වූයේ වයිකවුන්ට් ටොරිංග්ටන්. ඔහු සාමිවරයෙක්. සෝල්බරි වගේ. අර උද්ඝෝෂණය නිසා ටොරිංග්ටන් කොළඹ ආණ්ඩුකාර මන්දිරය අත්හැරල ගියේ නැහැ. ඒ උද්ඝෝෂණය මෙහෙයවූවෙ ඉංගිරිසින් නො වෙයි.

 

ඒ කෙසේ වෙතත් ඒ සමග මෙරට දෙවැනි නිදහස් සටන ඇරඹුණා. ගොංගාලෙගොඩ බණ්ඩා නායකත්වය දුන් සටනෙ දෙවැනියා වුණෙ පුරං අප්පු. ඔහු කරාව කුලයෙ. දිනෙස් හා ඩිංගි රාළ ද එහි නායකයන් වුණා. එයට විශාල පිරිසකගෙ සහාය ලැබුණා. 1848 ජූලි 26 වැනි දා දඹුල්ල රජමහා විහාරයේ දී ගිරාණගම නා හිමියන් ගොංගාලෙගොඩ බණ්ඩා රජ කර තියෙනවා. නා හිමියන් ඔහුගෙන් අසා ඇත්තේ ඔබ බෞද්ධයන්ගේ පැත්තේ ද බිරිතානින්ගෙ පැත්තෙ ද කියන එකයි. එයින් පැහැදිලි වන්නේ මෙරට බෞද්ධයන් සමග අනන්‍ය වූ ආකාරයයි. නායක්කාර් රජවරු ද බෞද්ධයන් ලෙස රජ වූ බව අමතක නොකළ යුතුයි.

 

එදින ගොංගාලෙගොඩ බණ්ඩාගෙ සොයුරු දිනෙස් යුව රජු ලෙස ද පුරං අප්පු රජුගේ අසිග්ගාහක ලෙස ද නා හිමියන් අතින් නම් කෙරී තියෙනවා. මට මතක් වෙන්නේ හේන්පිටගෙදර ඥානසීහ හිමියන් බණ්ඩරනායක  මැතිණියට දේශපාලනයට ඒමට කී අයුරුයි. රාජ්‍යත්වයට පත් කිරීමෙන් පසු පිරිස මාතලේ හරහා නුවරට ගොස් තියෙනවා. නිදහස් සටන වර්ධනය වීමත් සමග ටොරිංග්ටන් 1848 ජූලි 29 හා 31 වැනි දිනවල පිළිවෙළින් නුවර හා කුරුණෑගල යුද්ධ නීතිය පනවා තියෙනවා. ඉන් අවුරුදු   174කට පස්සෙ රනිල් පැනෙව්වේ හදිසි නීතිය පමණයි. ගෝඨාභය කිසිම නීතියක් පැනෙවුවෙ නැහැ. ඔහුට යන්න වුණෙ ඒකයි. ගෝඨාභය වැඩ කරල තියෙන්නෙ ගෝඨාභය වගේ නොව සිරි සඟබෝ වගේ.

 

නිදහස් සටන දුර්වල වී ඇත්තේ ඇතැම් කෝරළේ මහත්තුරු ඉංගිරිසිගෙන් වරප්‍රසාද ගැනීම සඳහා සටනට ද්‍රෝහි වීම නිසා. ඒක එදත් තිබිල තියෙනවා. වාරියපොළ දී  පුරං අප්පු අත්අඩංගුවට ගැනීමෙන් පසු ගොංගාලෙගොඩ බණ්ඩා හෙවත් ශ්‍රී වික්‍රම සිද්ධප්පි රජු මාතලේට නුදුරු ඇල්කඩුවේ සැඟ වී ඉඳලා. 1848 සැප්තැම්බර් 21 රජු අත් අඩංගුවට ගෙන නුවරට ගෙනැවිත් තියෙනවා. ඉංගිරිසින්ගෙ නඩු විභාගයකින් පසු  රජු එල්ලා මැරීමට ඉංගිරිසි අධිකරණය තීරණය කර තියෙනවා. එහෙත් අභියාචනයකින් පසු ටොරිංග්ටන් කස පහර සීයක් දී රජු රටින් පිටුවහල් කිරීමට තීරණය කර තියෙනවා. ඒ අනුව 1849 ජනවාරි පළමුවැනි දා මලක්කාවට (වත්මන් මැලේසියාවට)  පිටුවහල් කර තියෙනවා. ටොරංග්ටන් යටත් විජිත ලේකම්ට දන්වා ඇත්තේ මරණීය දණ්ඩනයට වඩා රටින් පිටුවහල් කිරීම ඵලදායී බවයි. ඒ දවස්වල ඉංගිරිසින් යුද්ධ අපරාධ, මානව අයිතිවාසිකම් දැන සිට නැහැ. ජෙනීවා විගඩම තිබුණේත් නැහැ. යුද්ධ නීතිය පැනෙවුවාට විරුද්ධ වෙන්න පඬි නැට්ටන් ඉඳලත් නැහැ. සූම් සාකච්ඡා තිබිලත් නැහැ. පඬි නැට්ටන් හිටියත් ඔවුන් සිංහල බෞද්ධ සමාජයට විරුද්ධ වෙන්න තිබුණා. ඒ ගැන තවදුරටත් පසුවට. ගොංගාලෙගොඩ බණ්ඩා 1849 දෙසැම්බර් පළමුවැනි දා මිය ගිහින්.

 

ඉංගිරිසින්ට 1815 ගිවිසුමෙන් රට බාර දීමෙන් පසුව රටේ ඉතිහාසය ගැන කෙටි සටහනක් කිරීමට අදහස් කරනවා. ඒ සමග මෙරට කුල ගැනත් යමක් කියන්න වෙනවා. මා හිතනවා අපේ රටේ ශක්තිය තිබුණෙ කුල මත කියා. කුලය කියන්නෙ ඉතාම විස්තෘත පවුලක් බව මා කියා ඇති. මෙරට ලන්දෙිසීන්ට පෙර විශේෂයෙන් ම ඉංගිරිසිනට පෙර කුල අර විවිධත්වය තුළ ඒකීයත්වය හා ඒකීයත්වය තුළ විවිධත්වය පිළිබිඹු කරනවා. තම අනන්‍යතාව රැක ගනිමින් උස් පහත් භේදයකින් තොර ව අනෙක් කුලවලට හරු කරමින් සිංහලයන් වාසය කර තියෙනවා.

 

දේව වාංශික ගොංගාලෙගොඩ බණ්ඩා මට තේරෙන විධියට ගොවිගම කුලයෙන් විවාහයක් කර ගෙන සමහර විට කුලවැද්දුමක් ලබා ගන්න ඇති. දඹුල්ලෙ රජ මහා විහාරයේ නායක හිමියන් ඔහු රාජ්‍යත්වයට පත් කළ බවත් කරාව කුලයේ පුරං අප්පු අසිග්ගාහක ධුරයට පත් කළ බවත් දේව කුලයේ දිනෙස් යුව රජු ලෙස පත් කළ බවත් අමතක කළ යුතු නැහැ. නායක හාමුදුරුවන් ඇහුවෙ ඔබේ කුලය මොකක් ද කියන එක නොව ඔබ බෞද්ධයාගෙ පැත්තෙ ද බිරීතානි පැත්තෙ ද යන්නයි. මා කියන්නෙ බෞද්ධ නොවන්නන්ට තනතුරු නොදිය යුතු බව නො වෙයි.  දේව කුලයේ කිසිවකු ක්‍රිස්තියානි වී නැති බවත් කියන්න ඕන. අද නම් එකකු දෙන්නකු ඊනියා නිරාගමික වී තියෙන්න පුළුවන්.

 

එහෙත් මෙරට බෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් තියෙන්න ඕන. පරගලයේ අරමුණ වුණෙ එය නැති කිරීම. ඇතැම් තරුණ තරුණියන් අපට ජාති භේද ආගම් භේද කුල භේද අවශ්‍ය නැහැ අප සියල්ලන් ම එකයි කීවේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නැති කිරීමට. ඔවුන්ට ඒ ගැන දැනුමක් නැති වෙන්න ඇති. ඒත් පරගලයේ විශේෂ තැනක් අබෞද්ධයන්ට හිමී වෙලා තිබුණා. අපට කුල භේදයක් අවශ්‍ය නැහැ. අවශ්‍ය කුල අතර සාමූහිකත්වයක්.

 

1815න් පසු මෙරට නිදහස් සටන් මෙහෙයවා ඇත්තේ කවුද යන්නත් විසිවැනි සියවසේ පළමු දශකයෙන් පසු ඒ සටන් මෙහෙය වූ අයට සිදු වූයේ කුමක් ද යන්නත් පසුව සලකා බලමු.