කුල භේදය
නායක්කාර් රජවරුන්ට කිට්ටු වී ගොවිගම කුලයට
කුලවැද්දුම් ලබා ඊනියා රදල කුලයක් නිර්මාණය කර ගත් පිරිස මෙරට කුල ක්‍රමය වෙනස් කර
ඇති බව පේන්න තියෙනවා. මේ පිරිස රජවරුන්ට කිට්ටු
වුණත් ඔවුන්ගෙන් ඇතැමකු පසුව රජුට විරුද්ධ ව ක්‍රියා කර තියෙනවා. මේ පිරිස
ගොවිගම කුලයට අවශෝෂණය වී සිංහල වුවත් පසුව ඔවුන් ගොවිගම කුලයත් අනෙක් කුලත් පහතට
දමා රජු සමග සම්බන්ධ වී වැදගතුන් බවට පත් වී ඇති බව පේන්න තියෙනවා.
ලන්දේසීන් මේ පිරිසට අනුග්‍රහය දක්වන්න ඇතැයි
සිතන්න පුළුවන්. නුවර යුගයේ සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල වුණු බව පැහැදිලියි. එකල
උපසම්පදා වෙච්ච හාමුදුරුවරුන් වැඩ වාසය කෙළේ නැහැ. ගිහියන් මෙන් ජීවත් වූ භික්‍ෂූන්
වහන්සේ හඳුන්වනු ලැබුයේ ගණින්නාන්සේලා ලෙස. 1698 දි තුම්පනේ වැලිවිට වත්තෙ වලවුවේ
කුලතුංග බණ්ඩාර ලෙස උපත ලද කුමරු වැලිවිට සරණංකර හිමියන් ලෙස පැවිදි වී ඇත්තේ වයස
අවුරුදු දහසයේ දී. උන්වහන්සේගේ ගුරුවරයා
වී ඇත්තේ සූූරියගොඩ රාජගුරු තෙරුන් වහන්සේ. සූරියගොඩ තෙරුන් වහන්සේට
නරේන්ද්‍රසිංහ රජුගේ අනුග්‍රහය පළමුව තිබිල තියෙනවා. එහෙත් පසුව 1715 දී
රාජද්‍රෝහි චෝදනා මත අපවත් කෙරිලා. සරණංකර සාමනේරයන් වහන්සේ ඉන් පසුව කඩුගන්නාවේ
අලගල්ල ප්‍රදේශයේ වැඩ වාසය කරල.
උන්වහන්සේ සිල්වත් සමාගම පිහිටුචා පැරණි සම්ප්‍රදාය
අනුව පිණ්ඩපාතයේ වඩිමින් හා වෙනත් කටයුතුවල යෙදෙමින් ශාසන ශෝධනයක් සඳහා වැඩ කර
තියෙනවා. මෙහි දී කිවයුතු කරුණක් නම් උන්වහන්සේ සමග දකුණෙන් වැඩම කළ හාමුදුරුවරුන්
ද කටයුතු කළ බව. ඒ හාමුදුරුවරුන් විවිධ කුලවලට අයත් වී තියෙනවා. සරණංකර
හාමුුදුරුවන් සියමෙන් වැඩම කළ භිඳූන් වහන්සේගෙන් උපසම්පදාව ලබා ඇත්තේ 1753
දී. මේ උපසම්පදාව ලත් භික්‍ෂූන් වහන්සේ ගැන මා 2022 මාර්තු 27 වැනි දා ලියූ ලිපියෙහි මෙසේ සඳහන් කර
තියෙනවා.
“තිස්ස කාරියවසම් හුඟක් දේ කියනවා. ඔහු
මහන්සිවෙලා තියෙන බව පේනවා. ඔහු නිකාය ඇති වීම කුල භේදය වර්ධනය කිරීම හාමුදුරුවන්
ඉවත් කර ගිහියන් බෞද්ධ නායකත්වයට පැමිණීම සාහිත්‍ය (කාව්‍ය) සම්ප්‍රදායන් ඇති වීම
ආදී කරුණු රාශියක් සාකච්ඡා කරනවා. සියම් නිකායෙ මුල් කාලයෙ විවිධ කුලවල උපත ලබා
පැවිදි වූ හාමුදුරුවරු උපසම්පදාව ලබා තිබූ බව පැහැදිලියි. අසරණසරණ සරණංකර
හාමුදුරුවන් සමග සියම් උපසම්පදාව ලත් උන්වහන්ස්ගේ සමීප හිතවත් දුරාව කුලයෙ
සිටිනාමළුවෙ ධම්මජෝති හිමියන් ගැන සිටිනාමළුවේ හාමුදුරුවන්ගෙ ශිෂ්‍ය නමක් වූ බෙරව
කුලයේ වේහැල්ලෙ ධම්මදින්න හාමුදුරුවන් ගැන
සඳහන් වෙනවා. කරාව සලාගම කුලවල උපත ලත් හාමුදුරුවරු මුල් කාලයෙ සියම් උපසම්පදාව
ලබා තියෙනවා. පසුව විවිධ නිකාය ඇති වී තිබෙන්නේ කුල ප්‍රශ්න නිසා නොව උපසම්පදා
සීමාව සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න නිසා බව නිබන්ධයෙන් පැහැදිලි වෙනවා. කුල මල ප්‍රශ්න බෞද්ධ සංස්කෘතියක තියෙන්න බැහැ.
කුල මල ප්‍රශ්න තියෙනව නම් එතැන බුදුදහමක් නැහැ.”
තිස්ස කාරියවසම් ඒ විස්තර කියන්නේ තම ආචාර්ය
උපාධි නිබන්ධයේ. ඒ සියම් නිකායේ ආරම්භය. එහෙත් පසුව සියම් නිකාය ගොවිගම කුලයට
පමණක් සීමා වූයේ කෙසේ ද? මේ සම්බන්ධයෙන් කියැවෙන්නේ රජුගේ
කතිකාවතක එසේ පැවිද්ද ලබා දිය යුතු බව සඳහන් වෙන බවයි. මේ කතිකාවත ඇත්තේ කොහේ ද? එය
කාගේත් දැන ගැනීම පිණිස ඒ භාරව ඉන්නා කවුරුන් හෝ ප්‍රසිද්ධ කරනවා නම් ශාසනයේ යහපතට
හේතු වෙනවා ඇති. මට හිතෙන හැටියට නම් ගොවිගම කුලය කුලයක් ලෙස සියම් නිකායේ එවැනි
තැනකට පත් කර ඇත්තේ පසුව බවයි.
ඉන්දියාවෙන් පැමිණි බ්‍රාහ්මණ වාංශිකයන් මුල්
කාලයේ දී ගොවිගම කුලයට අවශෝෂණය වී
නායක්කාර් රජුන් සමග විශේෂ සම්බන්ධතා ගොඩ නගා ගෙන තියෙනවා. රදල බවට පත් වූ
ඔවුන් පසුව ඒ රජවරුන් සමග අමනාපකම් හදා ගෙන තියෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට
විරුද්ධ ව ඔවුන් කටයුතු කර තියෙනවා. 1815 උඩරට ගිවිසුම නමින් ප්‍රසිද්ධ සිංහල –
ඉංගිරිසි ගිවිසුමට සිංහල පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කර ඇත්තේ රදල යැයි
හැඳින්වෙන්නන්. එයට සාක්‍ෂිකරුවකු වී ඇත්තේ අප ජෝන් ඩොයිලි නමින් හඳුන්වන ජෝන් ඩා
ඔයිලි. සිංහලයන් අතර වූ කුල ක්‍රමය කුල භේදයක් බවට පත් කිරීමට ලන්දේසීන් හා
ඉංගිරිසින් කළ කී දේ ගැන අධ්‍යයනයක් කිසිවකු අතින් කෙරෙනවා නම් හොඳයි. අප රෙදි
නැන්දාට ගෞරවයෙන් නැන්දා කී පිරිසක්. අපෙන් ඒ ගෞරවය ගිළිහුනේ කොහොමද?
භේද ඇති කර පාලනය කිරීමේ රුසියන් වූ ඉංගිරිසින්
කුල භේදය තවත් වර්ධනය කළා. ඔවුන් තම පාලනය යටතේ රදල පිරිසක් අලුතෙන් ම ඇති කළා. ඒ
සමහරුන් බ්‍රාහ්මණ වංශයේ නූණත් ගොවිගම කුලයේ. එහෙත් මෙයින් කියන්නේ නැහැ ගොවිගම
කුලයේ සියල්ලන්ට සමාජයේ උසස් තැනක් ලැබුණා කියා. උසස් තැනක් ලැබුණේ ගොවිගම කුලයෙන්
තෝරාගත් පිරිසකට පමණයි. ඒ අය මුල දී අනිවාර්යයෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගම
වැළඳගත් පිරිසක්. ඉංගිරිසින් වැඩියෙන් ම අනුග්‍රහය දැක්වූයේ වෙල්ලාල කුලයේ අයට.
විසිවැනි සියවසේ මුල ඒ පිරිස සමාජයේ ඊනියා වැදගත් තැනක් ලබා ගත්තා.
සමාජයේ වැදගත් තැනක් ලබා ගැනීමට ඇතැමුන් ගොවිගම කුල වැද්දුම ලබා සිංහල වී
ඇංග්ලිකන් ක්‍රිස්තියානින් වී තියෙනවා. ද සේරම් පවුලක් එයට උදාහරණයක්. තවත් පවුල්
තියෙනවා. සේනානායකලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා
පමණක් නොව රාමනාදන්ලා, අරුණාශලම්ලා ද මුලින් ක්‍රිස්තියානි. පසුව සර්වජන ඡන්දයත් සමග මේ සමහර පිරිස් නැවත
බෞද්ධ/ හින්දු වී ඇති බවත් පැහැදිලියි. මේ පිරිස් බොහෝ විට රාජකීය ශාන්ත තෝමස් ත්‍රිත්ව
විදුහල්වල ඉගෙනීම ලබා තියෙනවා.
ඉංගිරිසින්ගේ කාලයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි වී
එම පාසල්වල ම ඉගෙනීම ලබා සමාජයේ ඉහළට ගිය තවත් පිරිසක් වූයේ කරාව කුලයේ ඇතැමුන්.
ඔවුන් ගොවි කුලයේ ප්‍රභූන්ට තරගයක් දුන්නා. මේ ගොවි කරාව භේදය තරමක් ප්‍රසිද්ධ
එකක්. 1912 දී අපට සීමිත ඡන්ද බලයක් ලැබුණු විට තරග කළේ
කරාව කුලයේ මාකස් ප්‍රනාන්දු හා වෙල්ලාල කුලයේ පොන්නම්බලම් රාමනාදන්. එහි දී
ගොවිගම ප්‍රභූන් වෙල්ලාල හා ගොවිගම සමාන කමක් දක්වමින් මාකස් ප්‍රනාන්දුට විරුද්ධ
ව රාමනාදන්ට ඡන්දය දී රාමනාදන් ඊනියා උගත් දේපළ හිමි ලාංකිකයන්ගේ නායකයා බවට පත්
කරගෙන තියෙනවා. එය මෙරට ඉතිහාසයට විශාල වශයෙන් බලපෑවා. දෙමළ ජාතිවාදයේ එක් මුලක්
ඇත්තේ එතැන.