Main Logo

Monday 10 October 2022

ජාතිය, කුලය හා පංතිය

 

ජාතිය, කුලය හා පංතිය

 

සිංහලයකුගෙන් ජාතිය මොකක් ද කියල ඇහුවොත් ඉතා විශාල බහුතරයක් අද කියන්නෙ සිංහල කියල. ඉතා ටික දෙනකු තම කුලය කියාවි. ඉතාමත් ටික දෙනකු ලාංකික කියාවි. සිංලයකුගෙන් කුලය ඇහුවොත් තම කුලය කියාවි. ඉතා ටික දෙනකු ඔය කුලමල වැඩක් නැහැ කියාවි. කුලය මේකයි ජාතිය මේකයි කියල සවිඥානික ව කියන්නෙ. අර ලාංකික කියන අය එසේ කියන්නේ පඬිකමට හා නීතියට අනුව මිසක් සවිඥානික ව නො වෙයි. ඒ ගමන් බලපත්‍රයෙ සහ තවත් ලියකියවිලිවල තියෙන නමක් විතරයි. ඔය සවිඥානික නොවන  ජාතිය නම් ලෝකෙ තියෙන්නෙ පොතේ විතරයි.

 

අපි යමකුගෙන් ඔබේ පංතිය මොකක් ද කියල ඇහුවොත් දෙන උත්තරේ මොකක් ද? මම අන්තිම අවුරුද්දෙ නම් හිටියෙ 13 A හරි 13 B හරි කියාවි.  මා හිතන්නෙ නැහැ කිසිවකු මා නිර්ධන පංතියෙ කියලවත් ධනපති පංතියෙ කියලවත් සුළු ධනේශ්වරයකු කියලවත් කියාවි කියා. 

 

මා සිංහලයෙක් බව කියන්නෙ අභිමානයෙන්. මගේ කුලය කරාව කියල කියන්නෙත් අභිමානයෙන්. ඒ කියන්නෙ මා අනෙක් ජාතීන් කුල පහත් කරනවා කියන එක නො වෙයි. මට මගේ කුලය ගැන අභිමානයක් තියෙන අතර මා අනෙක් කුලවලට ගරු කරනවා. ඔවුන්ටත් තම කුලය ගැන අභිමානයක් තියෙන්න ඕන. නැත්තන් වෙන්නෙ හීනමානයක් ඇති වෙලා සිංහල සමාජයේ කුලයකට ධනපති පංතිය ආරෝපණය කරන එක.  මට ඇති පංතියක් නැහැ. ඊනියා පංතියක් ගැන මට කිසිම විඥානයක් නැහැ. පඬි නැට්ටන් නම් මා සුළු ධනේශ්වරයකු කියාවි. ඔවුන් තමන්ගෙ පංතිය නිර්ධන පංතිය කියල කියනවා ද?

 

ඔය නිර්ධන පංතිය කියන එකත් විජේවීර යොදා ගත්තත් සුචරිත ගම්ලත් යොදා ගත්තත් වැරදි පරිවර්තනයක්. ට්‍රොට්ස්කිවාදියකු වෙලා හිටිය භාෂා විශාරද ගම්ලත් ඊට වඩා ටිකක් සැලකිලිමත් වෙන්න තිබුණා. විජේවීර ගැන මොනව කියන්න ද? ඔහු කතා කෙළේ විප්ලවය ජය ගන්න. ගම්ලත්ට එහෙම අදහසක්වත් තිබුණෙ නැහැ. පඬියන් වීමට දඟලන අය බුද්ධිමත් ව වැඩ කරන්නෙ නැත්තෙ ඇයි?

 

නිර්ධන පංතිය කියන්නෙ ඉංගිරිසියෙන්   proletariat කියන එකට. දැන් මගෙන් අහන්න එපා එක ඉංගිරිසියට ආවෙ මොන භාෂාවෙන් ද කියල. ඒ මොකක් වුණත්  proletariat  කියන්නෙ කම්කරු පංතියට. ඔවුන් ශ්‍රමය විකුණන අය. ඉස්සර සමසමාජ පක්‍ෂෙ ඉන්න කාලෙ ජ වි පෙන් අහපු ප්‍රශ්නයක් වුණෙ හිඟන්නන් ද නිර්ධන පංතියට අයිති ද කියන එක. කොහොමටත් ලෙනින් බැරි ම තැන කිවුව නෙ කම්කරු පංතියට පංති විඥානය බැහැරින් ගෙනි යන්න ඕන කියල. එහෙම කරල වෙන්න ඇති එයා විප්ලවේ කළෙ. ඇත්තට ම ඒ විප්ලවේට මොකද වුණෙ?   මාක්ස්වාදය මොන විධියට සංශෝධනය කළත් විප්ලවය තේරුම් ගන්න බැහැ. ඒක නිසා දැන් විප්ලවේ අනිවාර්ය ම නැහැ කියනවා. ඇපල් බිමට වැටීමත් අනිවාර්ය නැහැ කියමු ද? 

 

ඊයෙ පෙරේදා චේ ගෙවාරාගෙ (ගුවේරා) අභාවයේ සමරුවක් තිබුණා. එයා ඊනියා කියුබා විප්ලවය මදි වෙලා බොලීවියාවෙත් විප්ලවය කරන්න ගියා. කියුබාවෙ කම්කරු පංතියක් හිටිය ද?  ලෝකෙ කොහෙවත් ඊනියා කම්කරු පංතියක් නැහැ. නිර්ධනයන් නම් ඉන්නවා. ඒත් ඔවුන් ශ්‍රමය විකුණන්නෙ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයෙත් ඉන්නවා නිරධනයන්. සමහරුන්ට ඉන්න හිටින්න තැනක් නැහැ. ඔවුන්ට කියන්නෙ homeless අය කියල.  අනේවාසික කියන්න බැහැ නෙ. කොහොමටත් එය ඇතැම් නගරවල විශාල ප්‍රශ්නයක්. ඒ අය සමග විප්ලවේ කරන්න බැරි ද දන්නෙ නැහැ. ඔවුන්ට ඇත්තෙ මොන විඥානය ද? සාදුකින් පෙළෙවුන් දැන් ඉතින් නැගිටියව්.

 

සමාජයිය පංති විඥානයක් නැහැ. අපට අපේ පංතියෙ හිටපු අය ගැන නම් පංති සගයන් (classmate) කියා විඥානයක් තියෙනවා. අපේ පාසල් ගැනත් අපට විඥානයක් තියෙනවා. අපි අහවල් පාසලේ කියනවා. පාසලේ හිටපු සමහරුන් ගැන අපි අභිමානයෙන් කතා කරනවා. ඊනියා සමාජයීය පංතියේ අය ගැන අපි අභිමානයකින් තබා කිසිම අයුරකින් කතා කරනවා ද? අහවලා අපේ මධ්‍යම පංතියෙ හරි අපේ නිර්ධන පංතියෙ හරි කියල පඬි නැට්ටකුවත් කියනවා ද?

 

පඬි නැට්ටකු බෙනඩික් ඇන්ඩර්සන් ජාතිය ගැන කියන වගක් නැති කතා කියන්න පුළුවන්. මට සිංහලයන් සියලු දෙනා හමුවෙන්න බැහැ. මට කරාවෙ සියලු දෙනා හමුවෙන්නත් බැහැ. ඒ තියා මට ලිඳමුලගේ ඥාතීන් සියලු දෙනා හමුවෙන්නත් බැහැ. ඒකෙන් කියැවෙනවා ද ලිඳමුලගෙ කියා අනන්‍යතාවක් පවුලක් නැහැ කියල. මට ඒ සියල්ල පිළිබඳ විඥානයක් තියෙනවා. අපට යම් පොදු බව තියෙනවා. අපට යම් පොදු සංස්කෘතියක් තියෙනවා. ඇන්ඩර්සන්ගෙ  හරි එවැනි වෙනත් අයගෙ හරි කතාවලින් කියැවෙන්නෙ ඊනියා සමාජයීය විද්‍යාවන්ගෙ ඇති දරිද්‍රතාව පමණයි. ඊනියා සමාජයීය විද්‍යාවන්හි සංකල්පයක් නිර්වචනය කිරීමට බැරි බව පමණයි. එහි වියුක්ත සංකල්ප සංස්කරණය කරන්න බැහැ. සමාජයීය විද්‍යාවන්ගෙන් ලෝකය තේරුම් ගන්න පුළුවන් වෙලා නැහැ. ඒ කියන්නෙ ලෝකයක් සංස්කරණය කරන්න බැරි වෙලා කියන එකයි. ආර්ථික අර්බුදයට ආර්ථික විද්‍යාවෙ තියෙන විසඳූම් මොනවා ද?

 

ඉංගිරිසි කාරයො ඊනියා එක්සත් රාජධානියක් ගැන කියෙවුවට එහෙම විඥානයක් නැහැ. ඇන්ඩර්සන්ලගෙ අයිරිෂ් ජාතියට ඉංගිරිසි කාරයො අපහාස කරනවා. එක්සත් රාජධානියෙ ජාතිය කියන්නෙ නම් කෘත්‍රිම ජාතියක්. ඒක නෛතික ජාතියක්. බ්‍රිතාන්‍යය කියන්නෙ එක්සත් රාජධානියෙ කොටසකට.  ඒකත් ජාතියක රාජ්‍යයක් නො වෙයි. ඊනියා ලාංකික ජාතියත් නෛතික ජාතියක් පමණයි. එංගලන්තය තවමත් සමහර තැන්වල දී පෙනී හිටින්නෙ එංගලන්තය කියල. ඉංගිරිසින්ගෙ රට කියල.

 

පඬි නැට්ටන් මොන කෙබර ඇදබෑවත් ඔවුන් කිසිවකු තමා අහවල් සමාජයීය පංතියෙ කියල කියන්නෙ නැහැ. එහෙම විඥානයක් පඬි නැට්ටන්ටත් නැහැ. ඒත් ඔවුන්ට කුල විඥානයක් තියෙනවා. එහෙත් ඒ ගැන ඇතැමුනට අභිමානයක් නැහැ. ඒ නිසා ඔවුන් පංතිය ගැන පංති පවත්වනවා.

 

පාසල්වල පංති මිත්‍රයන් නම් ඉඳහිට හමුවෙනවා. පංති මිත්‍ර සමාගම් සාද පවත්වනවා. විශ්වවිද්‍යාලවලත් ඒ ඒ කණ්ඩායම් (බැච්) හමුවෙනවා. මාත් ඒ පංති සමාගම්වලටත් විශ්වවිිද්‍යාල කණ්ඩායම් සමාගම්වලටත් යනවා. කවුරු හරි මට කියනවද සුළු ධනේශ්වර සමාගම් සාදයක් තියෙන තැනක්.