බෞද්ධ ප්‍රභූවරු
තාත්තා මගේ ළමා වියේ දී වැඩි කලක් ඉගැන්නුවේ මහවිල බෞද්ධාලංකාර මිශ්‍ර පාඨශාලාවේ. ඒ පාසලත් තාත්තා ඉගැන් වූ අනෙක් පාසල් මෙන් ම පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනය කෙරුණු ආධාර ලබන පාසලක්. ඒ කියන්නෙ රජයෙන් ගුරු වැටුප් හා තවත් වියදම් සැපයුණු බවයි. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම ඕල්කට්තුමා විසින් ඇති කෙරුණු එකක්. බෞද්ධයන්ට පරම විඥානාර්ථවාදීන් වීමට බැරි වුවත් ඒ පරස්පරය බොහෝ දෙනා විසින් අමතක කෙරුණා. ඒ සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබුණේ පිටකොටුවේ ඕල්කට් මාවතේ ගුණසේන පොත්හළ අසල. තාත්තා ඇතැම් දිනෙක ඒ කාර්යාලයට යන විට මා ද කැටුව ගියා. ඒ ගුණසේන පොත්හළට යෑමටත් එක්ක.
පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් පාලනය කෙරුණු
පාසල්වල කළමනාකරුවකු සිටියා. බොහෝ විට කළමනාකරු පාසල ආරම්භ කිරීමේ දී මුදලින් හා
වෙනත් සම්පත්වලින් ආධාර කළ අයෙක්. මහවිල ඉස්කොලෙ කළමනාකරු වූයේ වෝල්ටර් සල්ගාදු
මහතා. ඒ අන් කිසිවකු නොව ගාමිණී ලක්‍ෂමන් පීරිස් හෙවත් ජී එල් පීරිස්ගේ මවගේ පියා.
සල්ගාදු මහතාගේ එකම දියණියගේ එකම පුතා ලක්‍ෂමන්. අප ඔහු එකල දැන සිටියේ ලක්‍ෂමන්
ලෙස. ඔහුත් මාත් කලක් පාණදුරේ වලපල දහම් පාසලේ එකම පන්තියේ නූණත් ඉගෙන ගත්තා.
ඔවුන්ගේ නිවස තිබුණේ පාණදුරේ හොරණ පාරේ වෑකඩ
අපේ නිවසේ සිට සැතපුම් කාලක් හොරණ පැත්තට වෙන්න. තාත්තා වෝල්ටර් සල්ගාදු මහතාට
ඔහුගේ සොහොයුරු රිචඩ් සල්ගාදු මහතාට ආතර් වී දියෙස් මහතා හෙවත් කොස් මාමාට ගරු
කළා. රිචඩ් සල්ගාදු මහතා එකල වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාවේ හෙවත් වෑකඩ ඉස්කෝලෙ
කළමනාකරු වුණා. ඔවුන් රට ජාතිය ආගමට වැඩ කළ සිංහල බෞද්ධයන්. තාත්තා එකල අපට කී
කතාවක් වුණේ 1948 පෙබරවාරි හතරවැනි දා නිදහස ලැබුණු දින ආතර් වී දියෙස් මහතා තම නිවසේ කළු කෙඩියක්
එසවූ බව. එසේ කළේ ඇයි දැයි මට තාත්තාගෙන් අසන්නට බැරි වීම විශාල අඩුපාඩුවක්.
මා දන්නේ නැහැ ඒ කිනම් හේතුවක් නිසා කෙළේ දැයි
දන්නා අයකු ඉන්නවා ද කියා. දන්නේ නම් ලබන වසරේ රනිල් උත්සවශ්‍රීයෙන් සැමරීමට
බලාපොරොත්තු වෙන නිදහසේ හැත්තෑපස්වැනි සංවත්සරය සැමරීමට පෙර එය ප්‍රකාශ කිරීම යෝග්‍ය
කියා හිතනවා. අවුරුදු හැත්තෑපහකින් රට
මෙවැනි තත්වයකට පත්වේය කියා කොස් මාමා සිතුවා ද? අද අඩුගණනේ කොස් වවා තිබුණේ නම් ආහාර
සුරක්‍ෂිතභාවයක් ගැන මෙතරම් කරදර වෙන්න තිබුණේ නැහැ.
පාණදුරේ ප්‍රභූන් ජාතිකත්වයක් තිබූ අය. මා අසා
ඇති ආකාරයට 1914 සිංහල මුස්ලිම් කෝළාහල සමයේ දී සල්ගදුලා ඇතුළු
කිහිප දෙනකු අත්අඩංගුවට පත් වී තියෙනවා. ඒ බව අපට කිවුවේ ආච්චි අම්මා. තාත්තා ඉපදී
ඇත්තේ 1911. අම්මා 1914.
ඒ දෙදෙනාට ඒ සිද්ධිය ගැන මතකයක්
තියෙන්න බැහැ. ඒ ප්‍රභූන් ධනවත් අය. විශාකා විද්‍යාලය ආරම්භ කිරීමේ දී ඒ අය තම ධනය
වියදම් කර තියෙනවා. ලක්‍ෂමන් අදත් විශාකා විද්‍යාලයේ පාලක මණ්ඩලයේ ඉන්නවා.
සුප්‍රසිද්ධ පාණදුරා වාදය කෙරී ඇත්තේ ඒ ප්‍රභූන්ගේ
දායකත්වයෙන්. ඔවුන්ගෙන් සමහරූ අරක්කු රේන්දයෙන් ධනවත් වූ අය වෙන්න ඇති. කුමාරි ද
සොයිසා ජයවර්ධන කියන්නේ කුරූඳුවත්තේ තම නිවසේ බිත්ති හීරු විට අරක්කු ගඳ එනවා
කියා. ඇයට සමහරවිට කියන්න අමතක වෙන්න ඇති ඇය ඉගෙනගත් විශාකා විද්‍යාලයේ බිත්ති
හීරු විටත් අරක්කු ගඳ එන බව. මා මෙය කියන්නේ ඒ විදුහලට අගෞරවයක් කිරීමට නොවෙයි.
පඬියන්ට පඬිනැට්ටන්ට වීරයන් වීරවරියන් වීමට අවශ්‍ය එවැනි කතා කීම පමණක් බව
පෙන්වීමට.
පාණදුරේ බෞද්ධ පුනර්ජීවනයේ නගරය ලෙස හැඳින්වෙන
නාම පුවරු දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් ඉදි කෙරී තියෙනවා. ඒ බෞද්ධ පුනර්ජීවනයත්
මෙරට නිදහස් අරගලයේ කොටසක්. එහි නායකයන් බිරිතානින් වහාම රටින් පිටවෙයවු කියා අරගල
කරන්න නැතුව ඇති. එහෙත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි හා මෙතෝදිස්ත පූජකයන් හා දේශකයන්
බුදුදහමට පහර දෙන විට අපහාස කරන විට ඔවුන් සුද්දන්ගේ ආගම කියා නිකම් හිටියේ නැහැ.
ඔවුන් මුදල් උපයා ගත්තේ ඉංගිරිසි ආර්ථිකයෙන්.
එහි දී අරක්කු රේන්දය පතල් කර්මාන්තය ආදිය වැදගත් වුණා. ඒ මුදල් ඔවුන් බෞද්ධ
පුනර්ජීවනය සඳහා යෙදෙවුවා. මෙරට මාක්ස්වාදී ව්‍යාපාරයේ පුරෝගාමීන් එංගලන්තයට ගියේ
ශිෂ්‍යත්වවලින් නො වෙයි. ඔවුන්ගේ දෙමවුපියන්ගේ මුදලින්. ඒ මුදල් ලැබුණේ සමාජවාදී
ව්‍යාපාරයක සහෝදරයන්ගෙන් නො වෙයි. ධනවාදී ව්‍යාපාරවලින් ධනවාදී ආර්ථිකයෙන් උපයාගත්
මුදල් නිසා ආරම්භ වූ මාක්ස්වාදී ව්‍යාපාරයේ මූලස්ථානවල බිත්ති හූරන විට එන්නේ මොන
ගඳ දැයි කියන ලෙස දැන් වයෝවෘද්ධ කුමාරි ද සොයිසා ජයවර්ධනගෙන් මා ඉල්ලා සිටින්නේ
නැහැ.
මේ නිදහස් සටන්වල දුර්වලකම් තිබුණා. එය 1848න්
පසු ඇති වූ සෑම නිදහස් සටනකට ම පොදුයි. ගොංගාලෙගොඩ බණ්ඩා පුරන් අප්පු ආදීන්ගේ
නායකත්වයෙන් ඇති වූ නිදහස් සටන්වලින් පසු නිදහස් සටන් මෙහෙයවනු ලැබුයේ ඉංගිරිසි
ආර්ථිකයෙන් ප්‍රතිලාභ ලත් අය විසින්. එය සිදුවන්නෙත් ඒ විධියටයි. ඉන්දියාවෙත්
එහෙමයි. ඉන්දියාවේ මෙන් නොව අපට ජාතික බුද්ධිමය සම්ප්‍රදායක් නොතිබීම නිසා අපට ඒ
සටන් නිසිමගට යොමුකරන්න බැරි වුණා. පංච මහා වාදවලින් පසු බිහි වූ ධර්මපාලතුමාටත් ඒ
අඩුපාඩුව බලපෑවා. පංච මහා වාදවල අවාසනාවන්ත ප්‍රතිඵලය වූයේ ඕල්කට්තුමාගේ පැමිණීමත් ඔහු නිසා භික්‍ෂූන්
වහන්සේට එතෙක් සිංහල බෞද්ධ සමාජයේ තිබූ නායකත්වය නැතිවීමත්.පරමවිඥානාර්ථ බෞද්ධ
සමාගමේ කිසිම නිලයකට භික්‍ෂූන් වහන්සේ පත්කර ගත්තේ නැහැ. පාණදුරා වාදයේ නායකත්වය
ගත් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ටත් එහි තැනක් ලැබුණේ නැහැ. ඉන්පසු බිහි වූ ජාතික මට්ටමේ බෞද්ධ සමිති
සමාගම්වල භික්‍ෂූන් වහන්සේ නායකත්වයේ නැහැ.