Main Logo

Thursday 20 October 2022

මාක්ස්වාදය නිකම් ම නිකම් පොත්තක් පමණයි

 

මාක්ස්වාදය නිකම්  නිකම් පොත්තක් පමණයි

 

පාණදුරා වාදයේ නායකත්වය ගත්තේ භික්‍ෂූන් වහන්සේ. එහි දායකත්වය ගත්තේ බෞද්ධ ප්‍රභූන්. අරක්කු රේන්දයේ අයත් එහි හිටියා. එහෙත් ඔවුන් අමද්‍යප ව්‍යාපාරයේත් ප්‍රධාන තැනක් ගත්තා. මට මතක් වෙනවා තාත්තා තවත් අයත් සමග පාණදුරේ ප්‍රදේශයේ අරක්කු තැබෑරුම් වැසීමට ගෙන් ගෙට ගොස් පෙත්සම්වලට අත්සන් ගත් ආකාරය. ඔවුන්ට පාණදුරේ බෞද්ධ ප්‍රභූන්ගෙන් ද අනුග්‍රහය ලැබුණා.

 

අමද්‍යප ව්‍යාපාරයත් එක් අතකින් මෙරට නිදහස් සටනේ තවත් පියවරක්. සුරනිමල රා බිවු බව සඳහන් වෙනවා. එහෙත් මෙරට මත්පැනට ලොල් වූ පිරිසක් හිටියේ නැහැ. ඉංගිරිසින්ගෙන් පසුව තමයි අරක්කු තැබෑරුම් ඇති වුණෙ. ඔවුන් අරක්කු බීම, දුම් ඉරීම අපට පුරුදු කළා. අමද්‍යප ව්‍යාපාරය ඇරඹුණේ ඒ පුරුදුවලින් මිනිසුන් මුදා ගැනීමටයි. එහෙත් ඒ ව්‍යාපාරය සාර්ථක වී නැහැ. අද වන විට ලංකාව කසිප්පු හා රටබීම ගුබ්බෑයම්වලින් පිරිල ගිහින්.

 

තාත්තා සමාජයීය වැඩවලට සහභාගි වුණා. ග්‍රාම සංවර්ධන සමිතිය, සමුපකාර සමිතිය ආදියෙහි කටයුතු කළා. තාත්තාගේ මහප්පාගේ පුතකු පැවිදි වී සිටියා. පන්සලේ කටයුතුවලටත් තාත්තා සහභාගි වුණා. ඒ ජාතිකත්ව හැඟීමකින්. වෝල්ටර් සල්ගාදු ආදීන්ටත් ජාතිකත්ව හැඟීම් තිබුණා. ඔවුන් එක්සත් ජාතික පක්‍ෂයට හිතවත් ව හිටියේ. තාත්තාගේත් ඒ දිනවල පක්‍ෂපාතීත්වය තිබුණේ එක්සත් ජාතික පක්‍ෂයට. මා හිතන්නේ බොහෝ කලක් අම්මාත් තාත්තාත් ඡන්දය දුන්නේ එක්සත් ජාතික පක්‍ෂයට කියා.

 

මෙය අප තරමක් හැදෑරිය යුතු ප්‍රශ්නයක්. මෙරට බොහෝ භික්‍ෂූන් වහන්සේ එක්සත් ජාතික පක්‍ෂයට හිතවත්. එසේ වන්නේ ඇයි. සමහර තරුණ භික්‍ෂූන් වහන්සේ එසේ නොවනවා වෙන්න ඇති. භික්‍ෂූන් වහන්සේ ධර්මපාලතුමාට ගෞරව කරන අතර එතුමා පන්නා දැමීමට කටයුතු කළ විජේවර්ධනලාටත් සලකන්නේ ඇයි? මෙය පරස්පරයක් කියා ඇතැමුනට හිතෙන්න පුළුවන්. එහෙත් මෙරට සාමාන්‍ය ජනයාට එහි පරස්පරයක් පේන්නේ නැහැ. එකල හාමුදුරුවරු වැඩිය කියෙවුවේ දිනමිණ පත්තරේ. අපේ ගෙදරට ගත්තෙත් දිනමිණ පත්තරේ. සඟ වෙද ගුරු බොහෝ දෙනාගේ පත්තරේ දිනමිණ. ඒ ලංකාදීප පත්තරේත් තිබිය දී.

 

මාර්ටින් වික්‍රමසිංහ කතුකම කෙළෙත් ලේක්හවුසියෙ. ඔහු පසුව 1956 දි මහජන එක්සත් පෙරමුණ බලයට පත්වීමෙන් පසු බමුණු කුලය බිඳ වැටීම ලිවුවා. ඒ සඳහා දහසින් බැඳි පියල්ලකුත් ලබා ගත්තා. ඔහුගේ පුතුන් ශාන්ත තෝමස් විදුහලේ ඉගෙනීමට යැවුවා. බටහිර විද්‍යාව දරුවන්ට ඉගැන්නුවා. ඔහුත් බටහිර විද්‍යාව පිළිබඳ පොත් පළ කළා. ඒ අතර සිංහල සාහිත්‍ය පොතුත් ලිවුවා. ඊනියා අපෝහක භෞතිකවාදය ගැනත් ලිවුවා. ඔහු එහි දී යොදාගත් වචන වූයේ ද්වන්දාත්මක භෞතිකවාදය යන්න.

 

මේ සියල්ලන් ම මූලික වශයෙන් බෞද්ධ, ඵෙරවාද බෞද්ධ. ඔවුන් සියලු දෙනා ම සිංහල බෞද්ධ සංස්කෘතියෙ. එහෙත් යම් සංස්කෘතියක් හැදියාවක් කියන්නෙ  සංස්කෘතියෙ කවුරුත් එකා මෙන් ඇලපිල්ලක වෙනසක් නැතුව කටයුතු කරන පිරිසකගෙ හැදියාව නො වෙයි. ඕනැම සංස්කෘතියක ස්වභාවය එහෙමයි. ඔය විශ්වවිිද්‍යාල උප සංස්කෘතියෙ කියන අය එක ම විධියට හැසිරෙන්නෙවත් එක ම විධියට ක්‍රියා කරන්නෙවත් නැහැ.

 

අපේ තාත්තාත් බෞද්ධ ප්‍රභූනුත් ඉංගිරිසි අධ්‍යාපනයකට ගොදුරු වුණු යටත්විජිත පාලනයකට හසු වූ අය. ඉංගිරිසි අධ්‍යාපනයක් කියන්නෙ ඉංගිරිසි මාධ්‍යයෙන් පමණක් ලැබූ අධ්‍යාපනයක් නො වෙයි. සිංහල මාධ්‍යයෙන් පාසල්වල පමණක් නොව පිරිවෙන්වලත් ලැබෙන්නෙ ඉංගිරිසි අධ්‍යාපනයක්. ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් පැටවුණු සිංහල බෞද්ධ සංස්කෘතියකයි ඒ අය කටයුතු කෙළෙ.

 

ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතෙ බොහෝ දෙනා ක්‍රිස්තියානි වුණෙ නැහැ.  ඔවුන් බෞද්ධකම අත්හැරියෙ නැහැ. එහෙත් ඉංගිරිසි සංස්කෘතියෙ ඇතැම් දේ සිංහල බෞද්ධ සංස්කෘතියට රිංගීම වළක්වන්න කිසිවකුට බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට මුල් බැහැගෙන තියෙන්නෙ. සිංහල බෞද්ධ කියන සංස්කෘතියෙහි අරටුව බෞද්ධකම. ක්‍රිස්තියානින් බුදුදහමට අපහාස කරන විට  බෞද්ධ ප්‍රභූන් ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධ ව නැගී හිටියා.

 

ඔවුන් ඉංගිරිසින්ට මුළුමනින් ම විරුද්ධ වුණේ නැහැ. ඔවුන් ඉංගිරිසි සංස්කෘතියට ගරු කළා පමණක් නොව එහි ඇතැම් අංග ද තම ජීවිතයට ඇතුල් කර ගත්තා. ඒ සියල්ල අතර ඔවුන් පන්සල් ගියා. හාමුදුරුවන් ඇසුරු කළා. ඒ තමයි අරටුව. අරටුව තබා ගනිමින් පොත්ත වෙනස් කළා. ඒ ඒ අයගේ පොත්තේ ඝනකම වෙනස්.

 

බොහෝ මාක්ස්වාදීන් පවා අරටුව රැක ගත්තා. එන් එම් පෙරේරා වරක් පන්සලක නේත්‍රා පිංකමකට සහභාගි වුණා. ඒ පිළිබඳ සාකච්ඡාවක් සමසමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ ඇති වෙලා තියනවා. එකලත් අටුවන් බැහැපු මාක්ස්වාදීන් කිහිප දෙනකු ඉඳලා තියෙනවා.     

 

එහෙත් ඒ අයගෙ හෘදය සාක්‍ෂිය කියන්නෙ වෙන කතාවක්. ප්‍රසිද්ධියෙ නිරාගමික කතා කියන ඇතැම් මාක්ස්වාදීන් ගෙදර දානමය පිංකමක දි ධාතු කරඬුව හිසේ තබා ගෙන යනවා. ඒ පවුලේ ආධිපත්‍යයකට යට වීම නිසා නො වෙයි. එසේ කිරීමේ වරදකුත් නැහැ. ඒ බෞද්ධ අරටුව. මාක්ස්වාදය නිකම් ම නිකම් පොත්තක් පමණයි.