සීයා පියා වීම හෙවත් තාත්තා අවශෝෂණය වීම
තාත්තා පාණදුරේ ගැන අභිමානයෙන් කතා කළා. ඒ වගේ
ම ලිඳමුලගේ පරම්පරාව ගැන හා කරාව කුලය ගැන ද අභිමානයක් තිබුණා. ඒත් ඒ පාණදුරේ ගැන
මිස පානදුරේ හරි පානදුර ගැන හරි නොවෙයි. මා ඊයේ වෙනත් ඡායාරූපයක් හොයා ගැනීමට බැරි
කමට පාණදුරේ දුම්රිය පොළේ කොළඹ පැත්තට ඇති පානදුරේ යැයි සඳහන් නාම පුවරුවේ
ඡායාරූපය පළ කළා. පාණදුරේ ගැන තාත්තාට තිබුණේ දුර ඇති පාෂාණය කියන අර්ථනිරූපණය.
පාණදුරේ වෙරළේ සිට බැලූ විට ඈත මුහුදේ ගෝනගල නම් ගලක් පේනවා. එය දුර ඇති පාෂාණයක්
නිසා පාණදුරේ නම ඇති විණි යැයි බොහෝ දෙනා කිවුවා.
එහෙත් මා එය එසේ යැයි හිතන්නේ නැහැ. තාත්තා
හිටියා නම් මට ඒ බව කියන්න තිබුණා. මා පාණදුරේ සලකන්නේ දෙමළ (මලයාලම් වෙන්නත්
පුළුවන්) පාණතුරෙයි හරි පාණ්තුරෙයි යන්නෙන් හරි බිඳී ආවක් ලෙස. තුරෙයි යන්නෙන් තොට
කියන තේරුම ලැබෙන බවයි මා හිතන්නෙ. කන්කසන්තුරෙයි සමග සසඳන්න. තුරෙයි යන්න තර ලෙස
සිංහලයේ යෙදෙනවා. කළුතර, බෙන්තර ඒ සඳහා උදාහරණයි. එහෙමත්
නැත්නම් තොට කියාත් යෙදෙනවා. බෙන්තොට, ගිංතොට, මාංතොට, හම්බන්තොට ඒ සඳහා උදාහරණ.
පාණදුරේ හා නල්ලුරුවේ දෙමළ හරි මලයාලම් හරි
පිරිසක් පදංචී වී තියෙනවා. කෝවිලගොඩැල්ල කෝවිලක් ඇසුරෙන් තනාගත් වචනයක් වෙන්න ඕන.
අද පාණදුරේ නගරයක් වුණාට සියවස් ගණනකට පෙර ගමක් වෙන්න ඕන. ඒ ගමටත් නල්ලුරුවටත්
පැමිණි දෙමළ හරි මලයාලම් හරි පිරිසක් ඒ නම් දී ඇති බව පැහැදිලියි. කෝවිලගොඩැල්ල
නම් සිංහලයන් දීපු නමක්. ඒත් කෝවිලක් යම් කාලයක තිබූ නිසා.
නල්ලුර් යන්න නල්ලුර්තුනයා පදිංචි වී සිටි ගම
කිවුවත් ඉන් කියැවෙන්නෙත් නල්ලූරුවේ දකුණු ඉන්දියාවෙන් පැමිණි පිරිසක් පදිංචි වී
සිටි බවයි. නල්ලුර්තුනයා උලකුඩය දේවිය සමග විවාහ වූ බව ඇත්ත. එහෙත් නල්ලුර්තුනයා
පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවෙන්. උලකුඩය දේවිය හයවැනි පරාක්‍රමබාහු රජුගේ හා
ස්වර්ණමාණික්‍යාගේ දුව වූ චන්ද්‍රාවති. ස්වර්ණමාණික්‍යා හෙවත් රන්මැණිකා දැදිගම
ඨකුර මාණ්ඩලික රජුගේ දුව. තාත්තා ඒ බව දැන හිටියේ නැහැ. දැන සිටියා නම් අපට ඒ බව
කියනවා ඒකාන්තයි. එහෙත් තාත්තා පරෙවි සංදේශය ගැන දැන හිටියා. චන්ද්‍රාවතී ලෝකනාථ
නමින් ද ප්‍රසිද්ධ වී තියෙනවා. උලකුඩය කියන්නෙ ලෝකනාථ කියන නමේ දෙමළ ස්වරූපය බව
කියනවා. සමහරවිට නල්ලුර්තුනයා ඇයට කතා කරන්න ඇත්තේ උලකුඩය කියා වෙන්න ඇති.
අප දකුණු ඉන්දියාවෙන් හරි උතුරු ඉන්දියාවෙන්
හරි ශ්‍රී විජය රාජ්‍යයෙන් හරි වෙනත් කොහෙන් හරි පැමිණි පිරිස් සිංහල වීම ගැන
අභිමානයෙන් කතා කරන්න ඕන. අපේ පරම්පරාවෙ ඨකුර් පැමිණ ඇත්තේත් රාජස්ථානයෙන්.
පද්මාවතී චිත්‍රපටයේ අපේ මුත්තා ඨකුර්ගේ දුව
මුව දඩයමේ යනවා පෙන්වනවා. ඒ දේවානම්පිය තිස්ස රජුට සියවස් ගණනකට පස්සෙ. ඒ
දඩයම් කතාව ඇත්ත ද කියා දන්නෙ නැහැ. ඇත්ත වුණත් ප්‍රශ්නයක් නැහැ. ඨකුර් මෙහාට එන
විට හින්දු වෙන්න ඇති. කලක දී ඒ පරම්පරාව බෞද්ධ වෙලා. පසුව සමහරු කතෝලික වෙලා, ඇංග්ලිකන්
ක්‍රිස්තියානි වෙලා.
මෙය තමයි ඇතැම් ආසියාතික සංස්කෘතීන්වල ඇති
ශක්තිය. අප රටට පැමිණි අය පමණක් නොව දහම් ද අපේ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමේ
හැකියාව අපට තිබුණා. පුද්ගලයන් සංස්කෘතියකට එකතු වෙන විට එය ස්වීකරණය නැත්නම්
සමාග්‍රාහණය (assimilation) ලෙස හඳුන්වනවා. අවශෝෂණය පුද්ගලයන්ට
මෙන් ම සංස්කෘතිකාංගවලට, දහමට, දැනුමට ද යොදා ගන්න පුළුවන්. සංඝමිත්තා
මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය මෙරටට වැඩම කිරීමෙන් එක්තරා ආකාරයකට බෞද්ධකම
සිංහල කළා. මියන්මා දේශයේ බෝධි වන්දනාවක් නැහැ. අද අප බටහිරින් එන දැනුම් අවශෝෂණය
කරගන්නේ නැහැ. අනුකරණය කරනවා. ප්‍රශ්නය එයයි. මාක්ස්වාදීන් අනුකරණයෙන් ඉතා ඉහළයි.
මෙරට කතෝලිකයන් ද කේන්දර බලනවා. මා හිතන්නෙ
නැහැ පාප්වහන්සේ එය අනුමත කරාවි කියලා. එහෙත් නකත් අප අතර තියෙන්නෙ නාග ජනයාගේ
කාලයේ සිට. නකත් තමයි සංස්කෘතකරණයට ලක් වෙලා නක්‍ෂත්‍ර වෙලා තියෙන්නෙ. නක්‍ෂත්‍ර
යන්නට සංස්කෘතෙන් නිරුක්ති නැති බව මා දැනගත්තෙ ඉඳුරාගාරේ හාමුදුරුවන්ගෙන්.
අප එසේ ශක්තිමත් වුණාට පිලිපීනය කතෝලික වුණා.
ශ්‍රී විජය රාජ්‍යය ලෙස පැවති කොටස් මුස්ලිම් වුණා. භාරතයත් යම් ප්‍රමාණයකට
මුස්ලිම් වුණා. අද පකිස්ථානය හා බංග්ලාදේශය
මුස්ලිම්. අප මුස්ලිම් වුණෙත් නැහැ කතෝලික වුණෙත් නැහැ. එහෙත් ඒ ජනයා අප
අතර ඉන්නවා. දකුණු අමෙරිකාව මුළුමනින් ම වගේ ස්පාඤ්ඤ පෘතුගීසි සංස්කෘතින්ට යටවුණා. අවුරුදු හාරසිය
පනහක බටහිර යටත්විජිත පාලනවලට පසුත් මෙරට විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ. එය නැති
කිරීමට තමයි එංගලන්තයත් නෙදර්ලන්තයත් ඊනියා මාක්ස්වාදීනුත් තවමත් උත්සාහ කරන්නෙ.
මා කණගාටුවන්නෙ මේ කතා තාත්තාට කීමට අවස්ථාවක්
නොලැබීම ගැන. තාත්තා යන්නත් අප පිටින් ගත් වචනයක්. එය තෙළිගු වචනයක්. ඇමරිකාවේ අප
දැනට ඉන්න සියැටල් ප්‍රදේශයේ තෙළිඟු කතා කරන අය සෑහෙන පිරිසක් ඉන්නවා. ඔවුන් හයිද්‍රබාද්
ප්‍රදේශයෙන් පැමිණි අය. හයිද්‍රබාද් තමයි ඉන්දියාවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ මධ්‍යස්ථානය.
ඒ ප්‍රදේශයේ අය මෙහි ඇති තොරතුරු තාක්‍ෂණ ආයතනවලට එනවා. තෙළිඟු කතාකරන එක් කුඩා
දරුවෙක් මට තාත්තා කිවුවා. මා හොයල බලන විට මට දැනගන්න ලැබුණෙ තෙළිඟු බසින් තාත්තා
කියන්නෙ සීයාට බව.
නායක්කාර් රජවරු හා ඔවුන් සමග පැමිණි අය තෙළිඟු
කතා කළ අය. මට හිතෙන්නෙ ඔවුන් සීයාට කී වචනය අප පියාට යොදා ගත්තා කියා. එයත්
අවශෝෂණයක්. ඒ අප තෙළිඟු දැනුමක් අපේ කරගත් අන්දම. අප කිසිවකු අපේ සංස්කෘතියෙන්
ඉවත් කරන්නේ නැහැ. අපේ උත්සාහය ඔවුන් සමග සංස්කෘතිය බෙදා හදා ගැනීමට. මට දැනගන්න
ලැබණු ආකාරයට මහනුවර දෙයියන්නෙවෙල ප්‍රදේශයෙ තවමත් තෙළිඟු කතා කරන පිරිස් ඉන්නවා.
දෙයියන්නෙවෙල රජ්ජුරුවන්ගෙ වෙල වෙන්නත් බැරි නැහැ. අද ප්‍රශ්නය වී තියෙන්නෙ බටහිර
රටවල් මෙරටට මෑතක දි පැමිණි පිරිස් අපෙන් වෙන්කර සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි
විශේෂත්වය නැති කිරීමට යොදා ගැනීමයි. ඔවුන් අධ්‍යාපනයෙන් කරන්නෙත් එයයි.
අද පළවෙන්නෙ පාණදුර යනුවෙන් සඳහන් පාණදුරේ දුම්රියපොළේ කළුතර
පැත්තේ නාම පුවරුවේ ඡායා රූපයක්!