Main Logo

Saturday 1 October 2022

අප යන්නේ කොයි පාරේ

 




අප යන්නේ කොයි පාරේ

 

මේ ආ ගිය තොරතුරක් නොවේ. අද රටේ ප්‍රශ්නය කිසිම ප්‍රශ්නයකට විසඳුමක් නැති කම. මේ කාලයේ සාර්ථක ම දේශපාලනඥයන් වන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් හා මහින්ද අමරවීර සූරින් ය. ඔවුන් ඇත්තට ම සූරයන්. ඔවුන් ජනමාධ්‍යයෙහි නැති දවසක් නැති තරම්. ඕනෑම නරක ප්‍රචාරයක් වුණත් ප්‍රචාරයක් ය යන්න බන්දුල නම් දන්නවා. අමරවීරත් දන්නවා ඇති.

 

ආර්ථික අර්බුදය ඉස්මත්තට ඇවිත් දැන් මාස කිහිපයක් වෙනවා. ආර්ථික අර්බුදය බටහිරයන් ඇති කළ එකක් කියල මා කියන්නෙ නැහැ. අප හිඟන ආදායමකින් බටහිරයන් වගේ ජීවත් වෙන්න ගිහින් ඇති වුණු අර්බුදයක්. ඊනියා තත්වයක් ලබා ගැනීමට හා ඉන්පසු තත්වය රැකීමට ගිහින් කර ගත්ත වින්නැහියක්. බටහිරයන්ගෙ ඊනියා දියුණු ලෝකෙ වගේ ඉන්න ඕන වුණාට බටහිරයන් වැඩ කරන විධියට වැඩ නොකිරීමේ ප්‍රතිඵලයක්. වැඩ කරන බව පෙන්වමින් වැඩ නොකිරීම අපේ දර්ශනය වීම නිසා ඇති වුවක්. බටහිර ඊනියා දියුණු ක්‍රමයට ජීවත් වෙන්න ඕන කියන එක නම් බටහිර අධ්‍යාපනයෙ ප්‍රතිඵලයක්.

 

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයකට හැරෙවුවෙ නම් බටහිරයන්. එය ඔවුන් කල් තියා බලා සිටි එකක්. ලංකා වසන්තය සඳහා ඔවුන් සැලසුම්  කරල තිබුණෙ. ඔවුන්ට වුවමනා ඔවුන්ගෙ විධියට වැඩ කරන ආණ්ඩුවක්. ශ්‍රී ල නි ප (පොහොට්ටුව) ප්‍රධාන ආණ්ඩු ඔවුන් බලන්නෙ හැකි ඉක්මණින් අවසන් කරන්න. විමල් උදය ප්‍රමුඛ පිරිස ආණ්ඩුවෙන් සුවාදීන වීම බටහිරයන්ට රුකුලක් වුණා. අර අනන්තය ලකුණ තම සංකේතය බවට පත් කරන් ඉන්න මෙටාව නැත්නම් මුහුණු පොත ඒ වැඩේ දි යොදා ගන්න එක අමාරු වැඩක් නො වෙයි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ තවත් පෝලිම් නිසා මිනිසුන්ට හිතට දැනෙන දෙයක් කියන්න පුළුවන් වුණා. රාජපක්‍ෂලා හොරකම් කරලා ආර්ථිකෙ නැති කරලා.

 

පරහලය ඇති කෙළෙ බටහිරයන්. එයට ඊනියා නායකයන් ආදේශ වෙන්න පටන් ගත්තා. පරගලය ඒ ආදේශකයන්ගෙ නායකත්වයෙන් ඇති වෙච්ව එකක් නො වෙයි. පරගලයට ඊනියා නායකයන් ආදේශ වුණා පමණයි. ජෙප්පන් හා සෙප්පන් ද ඒකට ආදේශ වෙන්න හැදුව. ඔය කාටවත් පුළුවන් ද අද ඔවුන්ගෙ උත්සාහයෙන් පරගලයක් දියත් කරන්න. කටමැත දොඩවන අය නම් ඕන තරම් ඉන්න පුළුවන්. අද කලාලකාරයන්ගෙන් කාරියන්ගෙන් ඉතිරි වෙලා ඉන්නෙ දමිතා අබේරත්න පමණයි. අනෙක් අය ජාම බේරගෙන අයින් වෙලා. කවුරුත් වගේ දමිතටත් බැරි යැයි පක්‍ෂයක් පිහිටුවාගෙන පරගලය ඉදිරියට හරි කොහාට හරි ගෙනි යන්න.

 

පරගලය අස්සෙ හොඳ හොඳ දේවල් වුණා. ජී එල් පීරිස් විප්ලවීය චරිතයක් බවට පත් වුණා. ඩලස් හිතුව මේ තමයි අවස්ථාව කියල. ඔහු පිටුපස ගෝඨාභයට ද්‍රෝහි වුණු මාධ්‍ය ඔස්තාද්ල හිටිය. ජඩමාධ්‍ය කාරයන්ට අර කියන විධියට කාර්ය බහුල නැත්නම් ඔවුන්ගෙ භාෂාවෙන් බිසි කාලයක් වුණා. අද ඔවුනුත් බිසි වෙන්න ගිහින් විසි වෙලා. අද බන්දුලගෙ හා අමරවීරගෙ කාලෙ. ජඩමාධ්‍යවේදීන්ටත් වෙනත් එවැනි දෛනික මාතෘකා නැහැ.

 

මැයි නවවැනිදායින් පස්සෙ ඩලස්ටත් රනිල්ටත් අගමැති වෙන්න ඕන වුණා. රනිල් බලයට පත් කිරීම නම් බටහිරයන් සැලසුම් කළ එකක්. බැරිවෙලාවත් එදා ඩලස් අගමැති වුණා නම් පරගලය තවමත් තියෙනවා. ගෝඨාභය මුලදී ම පරගලය නැති කළා නම් ඔය කිසිවක් නැහැ. එහෙත් දරුවන් සන්දා ඔහු සුපිරි ප්‍රජාතන්ත්‍රවාදියකු වෙන්න ගියා. ගෝඨාභයට ඕන නම් රනිල් අගමැති කරල පස්සෙ ඉවත් කරන්න තිබුණා. ඔහු ඒ කිසිවක් නොකළ නිසා ඔහුට ඉවත් වෙන්න සිද්ධ වුණා.

 

අද රනිල් මොන අවමංගලේට සහභාගි වුණත් පොහොට්ටුවට යටත්. පොහොට්ටුව රනිල්ට යටත්. අද තියෙන්නෙ යටත්-යටත් සංධානයක්. රනිල් පොහොට්ටුවට යටත් වීම ගැන  බටහිරයන් හා එ ජා ප (ස ජ බ ද ඇතුළු ව) කැමති නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ. බටහිරයන්ට වෙනත් විකල්පයක් නැහැ. ආර්ථික අර්බුදයට ඩයනා ගමගේට හා සෙප්පන්ට  හැර වෙන කිසිවකුටවත් විසඳුමක් නැහැ.

 

අපට මධ්‍යම පාංතික ආකල්පවලින් ගැලවෙන්න බැහැ. අපට ඇත්තෙ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ දර්ශනය. ඒක දර්ශනයක් ද කියල ඊනියා දාර්ශනිකයකුගෙන් අහන්න. එක්ස් කණ්ඩායමෙන් බිහි වෙච්ච දාර්ශනිකයන් ඕනැ තරම් ඉන්නවා. අපට ලොකුවට ඉන්න ඕන. ඒත් ලොකුවට වැඩ කරන්න අපට බැහැ. ලොකුවට හිතන්න බැහැ. අප දැන් කාලයක් තිස්සෙ එහෙමයි. අප කරන්නෙ පොඩි දෙයක් කරල ඒක ලොකුවට පෙන්න එක. බන්දුල හා අමරවීර කැපී පේන්නෙ ඒකයි. ජඩමාධ්‍යවේදීන්ට ජීවත් වෙන්නත් ඒ වැඩ ප්‍රයෝජනවත්.

 

අපට බටහිරයන් හිතන විධියට ලොකුවට හිතන්න බැහැ. ඒත් බටහිරයන් වගේ ජීවත් වෙන්න ඕන. එහෙම කියල පෙන්නන්න ඕන. අපේ හැම දෙයක් ම බටහිර ආකෘතියෙ නරක් කරගත්ත පොඩි දේවල්. පේරාදෙණිය කියන්නෙ බටහිර විශ්වවිිද්‍යාලයක පොඩි අනුකරණයක් පමණයි. ඒකත් හරියට කරන්න බැහැ. අප කිිසිම සංකල්පයක් කතන්දරයක් (ප්‍රවාදයක්) සංස්කරණය කරල නැහැ. අප කරන්නෙ කැලණි ගඟේ අපිරිසිදුකම පෙන්නල ජඩමාධයෙන් නොබෙල්  ඝෝෂාවක් කරන එක. අපට පුළුවන් වෙන්න ඕනෙ සම්බන්ධකමක් නැහැ කියල හිතන සංසිද්ධි අතර සම්බන්ධකමක් දකින්න. ඒකට ලොකුවට හිතන්න ඕන. අපි පොඩියට හිතල ලොකුවට කතා කරන අය.

 

ඒ බටහිර ක්‍රමය පැත්තෙන්. අපට අපේ චින්තනයෙ ලොකුවට හිතන්න පුළුවන්. ඒත් ඒකට කිසිම අනුග්‍රහයක් ලැබෙන්නෙ නැහැ. අපේ විධිය වැඩකට නැති එකක් ඒ දැනුම් මිථ්‍යා කියල පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කියනවා. ජඩමාධ්‍ය ඒවට ප්‍රචාරය ලබා දෙනවා. අපේ විධියට බැලුවොත් සම්බන්ධකම් නැති දේ අතර ඇති සම්බන්ධකම් සඳහා කතන්දර හදන්න පුළුවන්. ඒත් අපි ඒකට කැමති නැහැ. අපි යන්නේ කොයි පාරේ? ඩයනගෙ පාරෙ ද ක්වොන්ටම්ගෙ පාරෙ ද?