Main Logo

Thursday 13 October 2022

අපේ තාත්තා

අපේ තාත්තා

                                 

අපේ ගම පාණදුරේ වෑකඩ. පාණදුරෙ නගරයට ඉතා සමීපයි. ගමේ තරමක අර්ධ නාගරික ගතියක් තිබුණා. වෑකඩ කියන්නෙ අම්මාගේ ගම. තාත්තා පිංවල. වෑකඩ  කියන වචනයෙ තේරුම වැකණ්ඩිය බවයි මට තාත්තාගෙන් දැන ගන්න ලැබුණෙ. වෑකඩට සමීප ගම් වුණෙ මෝදරවිල, එළුවිල, මහවිල, පිංවල, මොරවින්න, කළුදෑවල, සුදුවැල්ල, වලපල, නල්ලුරුවවැලිපිටිය, කෝවිලගොඩැල්ලයි. කළුදැවල යන්නත් කළුදෑවෙලක් වෙන්න ඇති. කොහොමටත් විල අගට ඇති ගම් කිහිපයක් ම තිබුණා. ඒ වෙල් වගා කරන්න වැවක් තියෙන්න ඇති. වෑකඩ ඒ වැවේ වැව්කණ්ඩිය වෙන්න ඇති. දැන් නම් වැවක් තියා වෙල්වත් නැහැ.  අප කුඩා කල තිබුණෙත් නැහැ.

 

කෝවිලගොඩැල්ල කියන නම අනුව කෝවිලක් අතීතයේ තියෙන්න ඕන. පාණදුරේ යන්න පාණතුරෙයි හෝ එවැනි වෙනත්  දෙමළ (මලයාලම්) ව්‍යවහාරයෙනුත් නල්ලුරුව යන්න නල්ල ඌර් හෙවත් යහපත් ගම යන්නෙනුත් බිඳුණු නම් වෙන්න ඕන. සියවස් කිහිපයකට පෙර කේරළයෙන් හරි ඒ අසල ප්‍රදේශයකින හරි පැමිණි පිරිසක් ඒ නම් දෙන්න ඇති. ඔවුන් කල්යෑමේ දී සිංහල ජාතියට අවශෝෂණය වී ඇති බව පේනවා. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියේ. පුද්ගලයකුගේ ජාතිය ජාන මගින් නොව සංස්කෘතිය මගින් තීරණය වන්නක්. පාණදුරේ, නල්ලූරුව හැරෙන්න අනෙක් ග්‍රාම නාමවල ද්‍රවිඩ ඌරුවක් දකින්න නැහැ.

 

තම මාමලාගේ ද උපකාරයෙන් ඉගෙන ගත් තාත්තා නිට්ටඹුවේ ගුරු විදුහලේ පුහුණුව ලබා තියෙන්නෙ. පාසල් කිහිපයක ම සේවය කර ඇති තාත්තාගේ මට මතක කෙසෙල්වත්තේ ශ්‍රී ජින ධර්මදාන පාසලේ, මහවිල බෞද්ධාලංකාර මිශ්‍ර පාඨශාලාවේ හා වැකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාවේ මුල්ගුරු වෙලා හිටිය අවධි පමණයි. තාත්තා මුල්ගුරු හෙවත් ලොකු මහත්තයා වූ නිසා වැඩිය කෙළේ පරිපාලන වැඩ. තාත්තා ඉගැන්වූ විෂය වූයේ සිංහල සාහිත්‍යය. ඒ ජ්‍යෙෂ්ඨ පංතියට. දැන් කියන විධියට නම් සාමාන්‍ය පෙළ පන්තියට.

 

තාත්තා හොඳ රසිකයකු මෙන් ම විචාරකයකු ද වුණා. බොහෝ විට සවස් යාමයේ කවි කිවුවා. එකල තිබූ ටවර් හෝල් නාට්‍ය බැලීමට තාත්තා අම්මා ද අප ද කැටුව පාණදුරේ සිට මරදානට ගියා. මට හරිශ්චන්ද්‍ර වෙස්සන්තර වැනි නාට්‍ය ගැන පොඩි මතකයක් තියෙනවා. පසු කලෙක අපත් සමග චිත්‍රපට බැලීමට ද ගියා. වැල්ලවත්තට දුම්රියෙන් ගොස් රොක්සි සිනමා ශාලාවේ කැලෑහඳ චිත්‍රපටය බැලුවා මතකයි. කැලෑහඳ එකල සාමාන්‍ය පෙළට නියමිිත පොතක් වෙන්න ඇති. දුම්රියේ අප ආපසු  පැමිණියේ කැලෑහඳ ගැන හොඳ විචාරයකට සවන් දෙමින්. එකල මගේ වයස අවුරුදු නවයක් පමණ වෙන්න ඇති.

 

තාත්තා අප වෙනුවෙන් බොහෝ වෙහෙස වුණා. කලක් අපට කිරි බීම සඳහා එළදෙනකු බලා කියා ගත්තා. තාත්තා පාසලට යෑමට පෙර හරක් පට්ටිය සුද්ද කර කිරි දොවා අවශ්‍ය කටයුතු කරනු මා අදත් සිහි කරන්නේ සෙනහසින්. ඒ සියල්ලට අමතර ව අම්මාට උදවු කිරීමටත් තාත්තා අමතක කෙළේ නැහැ. බොහෝ විට පොල්ගෑවේ තාත්තා. අවසාන වශයෙන් මිදුල අතුගා ලැහැස්ති වී පාසල් ගියා. තාත්තා අප හැදීමට ගත් වෙහෙස මා අපේ දරුවන් වෙනුවෙන් අරගෙන නැහැ. දරුවන්ගේ හොඳ ම කාලයේ අවුරුදු දහයක් ම මා කිසිම රැකියාවක් කෙළේ නැහැ. ඊට පෙරත් අවුරුදු දෙකක් රැකියාව නැතුව හිටියා. මගෙන් ගෙදරට එතරම් වැඩක් වෙලා නැහැ. ඇතැම් දිනෙක පොල් ගෑමත් කලක් පොළේ යැමත් හැරෙන්න මගෙන් වෙච්ච වැඩක් නැහැ. එහෙත් ලෝකයා හිතන්නේ රැකියාවක් නැති නමුත් මා දරුවන් පිටරට විශ්වවිද්‍යාලවලට ඉගෙනීමට යැවුවා කියා.

 

දරුවන් අට දෙනකු හදා වඩා ගැනීම ලෙහෙසු පහසු කටයුත්තක් නො වෙයි. අම්මාත් තාත්තාත් ඒ සඳහා අපමණ වෙහෙසක් ගත්තා. දෙදෙනා ම උදේ පාන්දර නැගිට්ටා. දිවා ආහාරය පිළියෙළ කර අපට උදේට කන්න බොන්න දී අප පාසල් යවා තමයි පාසල් යැම සිදු කෙරුණෙ. රැකියාවලට යන බොහෝ දෙමවුපියන් එසේ කරන බව මා දන්නවා. අම්මාට සහායක් වුණේ අසළ පදංචි වී සිටි අම්මාගේ මම්මා හා සුදුඅම්මා. ඔවුන් නිතර අපේ දුක සැප සොයා බැලුවා. ඔවුන් රැකියා කළ අය නො වෙයි.

 

අම්මාත් තාත්තාත් මා ගැන බොහෝ බලාපොරෙත්තු ඇති කර ගත්තා. මට තරමක් ඉගෙනීමේ හැකියාවක් තිබුණු බැවිනුත් වෙන්න ඕන. කොහොමත් මා ලොකු පුතා වුණා. මට තාත්තා පොත් ගෙනත් දුන්නා. පහේ පන්තියේ ඉන්දැද්දි මට අටේ පන්තියේ රත්න ගණීිතය පොත ගෙනත් දී තිබුණා. එය පී ද එස් කුලරත්න මහතා ලියූ පොතක්. තනියම ඉගෙනීමට මට කුඩා කල ඉඳන් පුරුදු වුණා. එකල අටේ විභාගය කියා රජයෙන් පැවැත්වුණු පරීක්‍ෂණයක් තිබුණා. තාත්තා ඒ විභාගය දින පහේ පංතියේ සිටි මා මහවිල ඉස්කෝලෙට එක්ක ගිහින් අංක ගණීිතය ප්‍රශ්න පත්‍රය දී හදන්න කිවුවා. අටේ පන්තියේ සිසුන් හදන්න කලින් මා ගණන් ටික හැදුවා. මා ඒ බව කියන්නේ ඇතැමුන් කියන විධියට නයි අරින්න නො වෙයි. මා හැදුණු වැඩුණු ආකාරය කියන්නයි.

 

තාත්තා ඉතා දැඩි විනයක් අපේක්‍ෂා කළා. අප සමග වැඩිය කතා කෙළේ නැහැ. වරදට දඬුවම් කිරීමට තාත්තා දෙවරක් හිතුවේ නැහැ. මා තාත්තාගෙන් සෑහෙන්න දඬුවම් විඳ තියෙනවා. තාත්තා අපට තිබු සෙනෙහස අප දන්නවා. ඒත් එය පෙන්නුවේ නැහැ. බොහෝ තාත්තලා එහෙම වෙන්න ඕන. එහෙත් මට හොඳට මතක තියෙන කාරණයක් තියෙනවා. දිනක් මා අසනීප වී ඇඳේ නිදා සිටින විට තාත්තා මට නොදැනෙන්න පැමිණ මගේ නළල සිප ගෙන නොදැනෙන්න ගියා. ඒත් මට එය දැනුනා.

 

අප කොළඹ පාසල්වලට දුම්රියෙන් යෑමට පටන්ගත් පසු පාණදුරෙ සිට වෑකඩට පැමිණියේ බසයෙන්. අපට බහින්න බස් නැවතුම් පොළවල් දෙකක් තිබුණා. වැසි දිනවල තාත්තා කුඩයක් ගෙන පළමු නැවතුම් පොළට යනවා. අප ඒ නැවතුම් පොළෙන් බැස්සෙ නැත්නම් තාත්තා බසය පසුපස දෙවැනි නැවතුම් පොළට දුවගෙන ගියා. එන බසය කුමක් ද කියා හරියට ම කියන්න බැරි බැවින් තාත්තාට බස් දෙක තුනකට ම එසේ කරන්න සිදු වුණා.   

 

අම්මාත් තාත්තාත් මා ගැන තැබූ බලාපොරොත්තු මට ඉටු කරන්න බැරි වුණා. මා ඉපදීමේ දී උපත කරදරයක් නැතුව සිිදුවන බවට වගබලාගෙන ඇත්තේ ප්‍රසව හා නාරිදේහ විිද්‍යා වෛද්‍යවරයකු වූ නිකලස් ආටිගල මහතා. ඒ නිසා ම දෝ තාත්තාට මුලින් ම වුවමනා වූයේ මා ප්‍රසච හා නාරිදේහ විිද්‍යා වෛද්‍යවරයකු කිරීමට. එහෙත් මතකය ඉතාමත් අඩු මා ඒ කෙසේ ඉටු කරන්න ද? ඉන්පසු අම්මටත් තාත්තාටත් අවශ්‍ය වුණෙ මා ඉංජිනේරුවකු කිරීමට. මට එයටත් කැමැත්තක් තිබුණේ නැහැ. ඉන්පසු මා සිවිල් සේවකයකු වී උසස් පරිපාලන නිලධාරියකු වේ යැයි බලාපොරොත්තුවක් තිබුණා. පරිපාලනයට කැමැත්තක් නොතිබූ මා සිවිල් සේවා පරීක්‍ෂණයට පෙනී හිටියේ නැහැ. ඉන්පසු තාත්තා බලාපොරොතු වුණා මා මහාචාර්යවරයකු වේය කියා. එහෙත්  මට කොළඹ  රැකියාව අහිමි වුණා. මා මහාචාර්යවරයකු වුණේ හැට පැන්නටත් පස්සෙ 2005 දි. තාත්තා එවකට මියගිහින්.