Main Logo

Wednesday 26 October 2022

රිෂි සුනක්

 

රිෂි සුනක්

 

දීවාලි නැත්නම් දීපවාලි උත්සව සමයේ හින්දු භක්තික රිෂි සුනක් බිරිතානියේ හා එක්සත් රාජධානියේ අගමැති වෙලා. ඔහු ඉන්දීය සම්භවයක් ඇත්තෙක්. ඉන්දියානුවන් සුනක් බිරිතානියේ අගමැති වීම ගැන සතුටු වෙනවා. ඔවුන් කියන්නේ තම ජාතිකයකු තමන් යටත් කර ගෙන සිටි රටේ අගමැති වෙලා කියල. ඒත් සුනක් බිරිතානියට, එංගලන්තයට යටත්.

 

සුනක් අගමැති වන්නේ ආර්ථික අර්බුදයකට ගොදුරු වී සිටින එංගලන්තයක. අද එහි වාර්ෂික උද්ධමනය 10%ක් පමණ වෙනවා. ඩොලරයට සාපේක්‍ෂව පවුම පහත වැටිලා.  සුනක් ජොන්සන් ආණ්ඩුවේ මුදල් ඇමති වෙලා හිටියා. ආර්ථික අර්බුදයට ඔහු වග කියන්න ඕන ද?  සුනක්ට එංගලන්තය ගොඩ ගන්න එක ලෙහෙසි වෙන එකක් නැහැ. සුනක් අගමැති වුණා කියල එංගලන්තයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෙ නැහැ. ඔහු දීපවාලි දවසේ පහන් පත්තු කරා. ඒත් හින්දු ආගම එංගලන්තයේ රාජ්‍යාගම වෙන්නෙ නැහැ.

 

සුනක්ගේ දෙමවුපියන් ඉන්දියාවේ සිට ටැන්සානියාවට හා කෙන්යාවට සංක්‍රමණය වූ පවුල් දෙකක පුතකු හා දියණියක. ඒ දෙදෙනා මුණ ගැසී ඇත්තේ එංගලන්තයේ දී. සුනක්ගේ පියා බටහිර වෛද්‍යවරයෙක්. මව භිෂග්වේදිනියක් (Pharmacist). රිෂි ගියේ එංගලන්තයේ ඉහළ ප්‍රභූ පාසලක් වූ වින්චෙස්ටර් පාසලට. ඔහු එහි ශිෂ්‍ය නායකයා වෙලා තියෙනවා. ඉන්පසු ඔක්ස්ෆර්ඩ් විශ්වවිිද්‍යාලයටත් පසුව එක්සත් ජනපදවල ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයටත් ගිහින් තියෙනවා. ස්ටැන්ෆර්ඩ්හි දී ඔහුට අක්‍ෂතා මූර්ති මුණ ගැසී තියෙනවා. ඔවුන් විවාහ වෙලා.

 

අක්‍ෂතා මූර්ති කියන්නෙ සාධා මූරති හා නාරයන මූර්තිගෙ දුව. ඔවුන් ඉන්ෆොසිස් නම් තොරතුරු තාක්‍ෂණය (IT) හා සම්බන්ධ ඉන්දීය සමාගමේ නිර්මාතෘවරුන්. ඒ සමාගමේ වත්කම ඩොලර් බිලියන ගණනින් කියන්න වෙන්නෙ. අක්‍ෂතා විලාසිතා ව්‍යාපාරයකත් යෙදී ඉන්නවා. ඇය එංගලන්තයේ රජ පවුලට වඩා ධනවත්. අක්‍ෂතා හා රිෂිගේ වත්කම ඩොලර් බිලියනයක් පමණ වෙනවා. අක්‍ෂතා බිරිතානි පුරවැසියකු නො වෙයි. එමගින් ඇය එංගලන්තයට බදු ගෙවීමේ දී යම් සහන ලෑබූ බව කියැවෙනවා. රිෂි මුදල් ඇමති ව සිටි සමයේත් අක්‍ෂතා ඒ බදු සහන ලබා තියෙනවා. රිෂි සුනක් බිරිතානි අගමැති පදවියට පත් ධනවත් ම පුද්ගලයා බව කියැවෙනවා.

 

මා මේ විස්තරවලින් කියන්නෙ රිෂි සුනක් සාමාන්‍ය හින්දු බැතිමතකු නොවන බවයි. ඔහුගේ සීයලා තමයි ඉන්දියාවේ රටවැසියන් වුණෙ. රිෂි මුළුමනින් ම එංගලන්තයේ හැදුණු වැඩුණු අයෙක්. ඉන්දීයයන්ට අමතක වුණාට ඉන්දියාව පාලනය කිරීමට පැමිණි අයත් ඉගෙන ගත්තෙ හැරෝ ඊටන් වින්චෙස්ටර් වැනි ඉහළ ම ප්‍රභූ පාසල්වල. රිෂි සුනක් දිපවාලියට පහන් පත්තු කරනවා. ඒත් දීපවාලියට පහන් පත්තු කරන ඕනෑම අයකුට එංගලන්තයේ අගමැති වෙන්න බැහැ.

 

මා හිතන විධියට මෙයට කලින් ක්‍රිස්තියානි නොවන අයකු අගමැති වුණේ දහනවවැනි සියවසේ. ඒ බෙන්ජමින් ඩිස්රායෙලි. ඔහුත් සුනක් මෙන් ම කොන්සර්වෙටිව් පාක්‍ෂිකයෙක්. ඔහු දෙවරක් අගමැති වුණා. ඔහුට අර්ල් පදවියකුත් ලැබුණා. සමහර විට සුනක්ටත් ලැබේවි. එහෙත් එංගලන්තයේ යුදෙවුවන්ගේ තත්වයේ වෙනසක් වී නැහැ. හින්දුන්ගේ තත්වයෙත් වෙනසක් වෙන්නෙ නැහැ.     

 

ටික කලකට පෙර ඔබාමා එක්සත් ජනපදවල ජනාධිපති වුණා. ඔහු හමින් කළු. සංස්කෘතියෙන් සුදු. සුනක් හමින් දුඹුරු. ආගමෙන් හින්දු සංස්කෘතියෙන් ඉංගිරිසි ක්‍රිස්තියානි. අද ලෝකය හැඩ ගැසී තියෙන ආකාරයට යමකුගේ ආගම හා සංස්කෘතිය එකක් ම විය යුතු නැහැ. අද ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය වන්න පුළුවන් ආගමින් ක්‍රිස්තියානි නොවී. සුනක් පැත්තකින් තියන්න. එංගලන්තයේ ඉන්න අදේවවාදීන් (atheist) ඉන්නෙත් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ. ඒ විතරක් නොවෙයි ඉන්දියාවෙ ලංකාවෙ ජීවත් වෙන ඇතැම් බෞද්ධයන් හින්දුන් ඉන්නෙත් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ. මොනව කළත් අර හමින් දුඹුරු සිතුම් පැතුම්වලින් ඉංගිරිසි කරන්න ඕන වුණ මැකෝලි යම් පමණකට ජයග්‍රහණය කරල තියෙනවා. රිෂි සුනක් මට නම් මැකෝලිගෙ ඉතා ඉහළ දරුවෙක්.

 

වෙනත් වචනවලින් කියනවා නම් මැකෝලිගෙ ඉහළ දරුවන්ට එංගලන්තයේ අගමැති වෙන්න පුළුවන්. අද සුනක් වෙනුවෙන් සතුටු වෙන ඉනදීයයන් එය තේරුම් ගන්න එකක් නැහැ. ලංකාවේ මැකෝලිගේ දරුවන් නොවූ මහින්ද හා ගෝඨාභය පන්නා දමා රනිල් පත් කර ගැනීමට පරගලයක් ක්‍රියාත්මක කළ ඉංගිරිසින් නිකම් ම නිකම් රිෂි කෙනකු එංගලන්තයේ අගමැති කරන එකක් නැහැ.

 

රිෂි සුනක්ට තව තවත් වාර්තා පිහිටුවන්න පුළුවන්. එංගලන්තයේ රජකුගේ මෞලි මංගල්‍යයක දී අගමැති ව සිටි දුඹුරු හමක් ඇති අය, හින්දු අගමැති ආදී වශයෙන්. ඒ කුමක් වුවත් රිෂි සුනක් බිරිතානියේ හා එක්සත් රාජධානියෙ අගමැති මිස ඉන්දීය අගමැතිවරයකු නො වෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නායක්කාර් රජකු නොව සිංහලේ රජු. නැහැ අපි ජොර්ජ්ලා සිංහලේ රජවරු ලෙස සලකන්නේ නැහැ. රනිල්ගේ සංස්කෘතිය අනුව එලිසබෙත් ඔහුගේ රැජන වෙන්න පුළුවන්. ඇය අපේ රැජනක් නම් නො වෙයි.