Main Logo

Tuesday 4 October 2022

කුල වරුණ

 

කුල වරුණ

 

කුලය කියන්නේ ඉතාම විස්තෘත පවුලක් බව කලින් කියා ඇති. පවුලක් හැඳිනගැනීමට ඒ ඒ සංස්කෘතීන්වල විවිධ ක්‍රම යොදා ගන්නවා. මෙරට දෙමළ කතා කරන හින්දු ජනයා පුතාගේ නමේ පළමු නම හැටියට පියාගේ නම යොදනවා. උදාහරණයක් හැටියට ජයරත්නම් මහේස්වරන්ගේ පුතා මහේස්වරන් ජෙයනාදන් වෙන්න පුළුවන්. ඊයේ සඳහන් කළා පර්සියාවෙන් පැමිණ දේව කුලයට කුලවැද්දුම් ලැබූ එහෙමත් නැත්නම් අවශෝෂණය වූ පෝර් නමින් හැඳින්වූ පිරිසක් ගැන. එහි පෝර් කියන්නෙ පුතාට බව ද සඳහන් වුණා.

 

බටහිර රටවල ද මෙවැනි සිරිතක් දකින්න පුළුවන්. ඩේවිඩ්සන්, මයිකල්සන්,  ආදී ලෙස හැඳින්වෙන්නේ ඩේවිඩ් කෙනකුගෙන් හරි මයිකල් කෙනකුගෙන් හරි පැවත එන පුතුන්. අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයේ මැක්ඩොනල්ඩ්ලා, මැකන්සිලා ඩොනල්ඩ් කෙනකුගෙන් හරි කෙන්සි කෙනකුගෙන් හරි පැවත එන පුතුන්. අයිරිෂ් ජාතිකයකු වූ මගේ ගුරුතුමා මැක්‍රේ කෙනෙක්. අයර්ලන්තයේ ඔ කීෆ්, ඔ බ්‍රයන් ආදීන් ද ඉන්නවා. පෘතුගාලයේ ඩි සිල්වා, ඩි සොයිසා ආදීන් ඉන්න බව අප කවුරුත් දන්නවා. ඒ ඒ රටවල එයට අමතර ව තවත් සර්නේම් යනුවෙන් හැඳින්වෙන පවුල් නාම තියෙනවා.

 

මේ පවුල්වලට විවාහයෙන් එක්වුණු විට භාර්යාවට ද ස්වාමි පුරුෂයාගේ පවුල් නාමය හිමි වී ඒ පවුලට වැද්ද ගන්නවා. අපත් එය අනුකරණය කළා.  බටහිර රටවල වෙනත් ක්‍රමවලට ද පවුල් නාමය ලබා ගන්න පුළුවන්. පවුලකට සේවය කිරීමෙන් ද පවුල් නාමය ලබා ගන්න පුළුවන්. වහලුන් ලෙස ගෙන ගිය අයට ලැබුණේ ස්වාමියාගේ පවුලේ නම.

 

ස්කොට්ලන්තයේ පවුල් නාමය තියෙන අය එකට එක්වන සිරිතක් තියෙනවා. එයත් කුලයක එකතුවක්. බටහිරයන්ගේ පවුල් නම් ක්‍රමය ලෝකයට ම පටවා තියෙනවා. අග නම දැන් පවුල් නාමය ලෙස ලොව පුරා සැලකෙනවා. දෙමළ කතා කරන හින්දු ජනයාට එහෙම පවුල් නාමයක් නැහැ. ඔවුන්ට පවුල් නාමය ලෙස ගැනීමට බල කර ඇත්තේ තමන්ගේ පෞද්ගලික නම. මට එහි විලෝමය බලපානවා. බටහිරයන් මගේ පළමුවැනි පෞද්ගලික නාමය හැටියට ලිඳමුලගේ යන්න සලකනවා. මගේ ගමන් බලපත්‍රයේ මුලට තියෙන නම නිසා. හින්දු ජනයා සඳහා පළමු නාමය ලෙස සැලකෙන්නේ පියාගේ නම. නලින් යන්න මගේ මැද නම වෙනවා. මේ සංස්කෘතික ආධිපත්‍යයේ කුඩා කොටසක් පමණයි.

 

අපේ කුල ක්‍රමය ඒ පවුල් ක්‍රම සියල්ලට වඩා පළල්. කුලයකට සාමූහික ව වැද්දගන්න පුළුවන් මෙන් ම කුලයක විවිධ පෙළපත් නම් ඇති පවුල් රාශියක් තියෙනවා. ලිඳමුලගේ පවුල් මෙන් ම මෙරෙඤ්ඤගේ පවුල් ද කරාව කුලයට අයත්. අනෙක් කුලවලත් සංයෝජනය එපරිදියි. ඇතැම් කුලවල තවමත් වරිග සභා පැවැත්වෙනවා. සිංහලයන්ට ඇත්තේ ඉතාමත් පළල් ම පවුල් නාම හා පවුල් (කුල) ක්‍රමයක්.  අප එය නැති කර ගත යුතු යයි කියන පඬි නැට්ටන් අර සංස්කෘතික ආධිපත්‍යයේ ඒජන්තයන් පමණයි. ඔවුන් එයට පරිභව කරන්නේ කුලමළ කියමින්. සිංහල ජාතිය කියන්නේ මේ කුලවල එකතුවට.

 

තම කුලයේ අනන්‍යතාව රකිමින් අනෙක් කුලවලට ගෞරව කිරීමයි අප කළ යුත්තේ. එහෙත් අද ඇතැම් අවස්ථාවල එය එසේ නොවන බව අප දන්නවා.  අප නැති කර ගත යුත්තේ එයයි. අපේ ඉතිහාසයේ එක් අවස්ථාවක ඒ සිදු වී ඇති බව පේනවා. එය   කවදා සිදු වී දැයි නිශ්චිත ව කියන්න බැහැ. එහෙත් නුවර යුගයේ එය තිබූ බව පැහැදිලියි. ලන්දේසීන් ද එයට හවුල් වී ඇති බව පේනවා.

 

ඉන්දියාවෙන් පැමිණ මහනුවරට ගිය බ්‍රාහ්මණ වාංශිකයන් පිරිසක් සිංහල වී ඇත්තේ ගොවිගම කුලයට කුලවැද්දුම ලබා ගැනීමෙන්. එහි වරදක් නැහැ. එසේ පැමිණි සමහර බ්‍රාහ්මණ වාංශිකයන් සලාගම කුලයට අවශෝෂණය වී තියෙනවා. එහිත් වරදක් නැහැ. වරද ඇත්තේ මහනුවරට ගිය අය රජුට කිට්ටු වී ගොවිගම කුලයේ ඉහළ කොටසක් නිර්මාණය කර ගැනීමයි. කීරවැල්ලේ පරම්පරාවෙන් බිසොවුන් නොසොයා මදුරෙයි නගරයෙන් තෙළිඟු කතා කළ නායක්කාර් වාංශික බිසොවුන් ගෙන ඒමත් මේ සමග සම්බන්ධයක් ඇතැයි හිතන්න පුළුවන්. තෙළිඟු ආන්ද්‍ර ප්‍රදේශයේ කතා කළ භාෂාව.

 

නායක්කාර් වාංශිකයන් ආන්ද්‍ර ප්‍රදේශයෙන් දකුණට පැමිණ තියෙනවා. නායක්කාර් වාංශිකයන් සමග මෙරටට පැමිණි පිරිස් කතා කළ ආන්ද්‍ර භාෂාව අපට ආන්ද්‍ර දෙමළ නැත්නම් අන්ඩර දෙමළ වුණා. ආඬින් පැමිණ ඇත්තෙත් ආන්ද්‍ර ප්‍රදේශයෙන්. අප හා ආන්ද්‍ර සම්බන්ධය ඉතිහාසයේ ඉතා ඈතට යනවා. ආන්ද්‍ර ප්‍රදේශය කලක් ථෙරවාදයේ මධ්‍යස්ථානයක් බවට පත් වී තියෙනවා. බුද්ධඝෝෂ හිමියන් ද වැඩම කර ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයෙන්.

 

නායක්කාර් රජුන්ට කිට්ටු වූ අය වෙනත් පෙළැන්තියක් ගොඩනගා ගෙන තියෙනවා. ඔවුන් බලවත් පිරිසක් වෙලා. ඔවුන් නායක්කාර් වාංශික ස්ත්‍රීන් සමග ද සම්බන්ධකම් පවත්වා තියෙනවා. කෙසේ නමුත් ඉංගිරිසින් සමග 1815 ගිවිසුම අත්සන් කර ඇත්තේ නායකයන් ලෙස ඔවුන්. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඔවුන් ඉංගිරිසින්ට සේවය කර තියෙනවා. කැප්පෙටිපොළ නිළමෙ පවා මුල දී ඉංගිරිසින්ට සේවය කළ අයෙක්.