Main Logo

Friday 21 October 2022

 

දින හතළිස් පහේ අගමැතිණිය

 

බිරිතානි අගමැතිනි ලිස් ට්‍රස් අස් වෙලා. ඇය දින 45  අගමැතිණිය ලෙස ඉතිහාසගත වේවි. එය ලෝක වාර්තාවක් ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් එය එංගලන්තයටත් බිරිතානියටත් වාර්තාවක් වෙන්න ඕන. ඇගේ ආර්ථික ප්‍රතිපත්තිවලට විශාල විරුද්ධතාවක් පැන නැගුණා.

 

ලංකාවේ අද ඇති වී තිබෙන ආර්ථික අර්බුදය තරම් දරුණු නොවුණත් එංගලන්තයේත් ආර්ථික අර්බුදයක් තියෙනවා. මා හරියට ම සංඛ්‍යා ලේඛන දන්නේ නැති වුණත් උද්ධමනයක් තියෙනවා. ඩොලරයට සාපේක්‍ෂව පවුමේ අගය අඩු වෙලා. අර අපත් දැන් නිතර කතා කරන පොලී අනුපාතය වැඩි කරලා. එක්සත් ජනපදවලත් පොලී අනුපාතය වැඩි කෙරුණා. ඩොලරයේ අගය ඩොලරයට සාපේක්‍ෂව ඉහළ පහළ යන්නෙ නැති නිසා හොඳයි. එහෙත් උද්ධමනයක් තියෙනවා.

 

කතාවක් තියෙනවා ඊනියා දියුණු රටවලට හෙම්බිරිස්සාවක් හැදුනම ලංකාව වගේ රටවලට නියුමෝනියා හැදෙනවා කියා. ඒ කතාව තරමක් වෙනස් කරන්න වෙනවා. අපට නියුමෝනියා හැදුනෙ කලින්. එංගලන්තයේ ආර්ථික අර්බුදය ඇති වුණෙ කලින් හිටපු අගමැති ජොන්සන් හොරකම් කළ නිසා කියන්න එංගලන්තයේ කිරිඇල්ලලා ප්‍රේමදාසලා රනිල්දාසලා චම්පකලා නැතුව ඇති. මෙරට කිරිඇල්ල නම් කියා තිබුණෙ ගෝඨාභය කළ වරදට ඔහුට රජයේ නිවෙස් දීම හරි නැහැ කියා. වාර්තාවෙන ආකාරයට ඔහු කියා තිබුණා ගෝඨාභයට පන්සලකට ගොස් පවු සමාකර ගන්න කියා.

 

කිරිඇල්ල පන්සල් පල්ලි කෙළේ කවදා දැයි මා දන්නේ නැහැ. පන්සල්වල පවු සමාකිරීමක් කෙරෙන්නේ නැහැ. ඔහු එය පෙම්බ්‍රෝක් ඇකඩමියෙ සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගත් දෙයක් ද දන්නෙ නැහැ. කිසිම දෙයක් හිතා ගන්න බැරි පඬි නැට්ටන් ආර්ථික අර්බුදය රාජපක්‍ෂලා පිටින් යවන්න හදනවා. ඇතැමුන් කියන්නේ මා රාජපක්‍ෂලාට කඩේ යන බවයි. මා යන කඩයක් නැහැ.  ඒත් ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරම් කිරීමවත් මහා බැංකු මංකොල්ලයවත් නොවෙයි.

 

වසංගතය නිසා ලෝකයේ හැම රටක ම ආර්ථිකය අවුල් වුණා. එය පළමුවෙන් ම දැනුණෙ ලංකාව වැනි ණයට කාපු රටවලට. අප අවුරුදු හැත්තෑපහක් අපේ ආදායමට වඩා වියදම් කළා. අපට ඔරොත්තු නොදෙන රාජ්‍ය සේවයක් අප පවත්වාගෙන යනවා. එය රාජ්‍ය සේවයක් නොව ඡන්ද සේවයක්. හැම දේශපාලන පක්‍ෂයක් ම තම ආධාරකරුවන්ට ඔවුන්ගේ දරුවන්ට රැකියා දීම සඳහා රාජ්‍ය සේවය පළල් කළා. රජයේ ආදායමෙන් සියයට අසුවකට වඩා පඩි නඩි ගෙවන රටවල් තවත් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. මෙරට වෘත්තීය සමිති ද මේ තත්වයට වග කියන්න ඕන.

 

මෙරට වමක් නැති වුණත් ඊනියා වාමාංශික අදහස් රටේ හැම තැනම යම් අධිකාරයක් දරනවා. කලාවේ ද ශාස්ත්‍රාලිය කටයුතුවල දී ද ජනමාධ්‍යයේ ද වාමාංශික අදහස් දකින්න පුළුවන්. ඒ පුස් කෑ අදහස් කියන එක වැරදියි. ඒ අදහස් කිසි දිනෙක වලංගු වී නැහැ. මා හිතන්නේ නැහැ මාක්ස් තරම් අසමත් විද්වතකු හිටියා කියා. මාක්ස් කී කිසි දෙයක් වැඩ කරලා නැහැ. ලෙනින්ලා පමණක් නොව මාඕලා ද කස්ත්‍රෝලා ද  චේලා ද ඊනියා විප්ලව කෙළේ මාක්ස් කී අන්දමට නො වෙයි. මාක්ස් කී අන්දමට විප්ලවය බලාපොරොත්තු වු ට්‍රොට්ස්කි ඉතාමත් අසාර්ථක පුද්ගලයකු ලෙස මෙක්සිකොවේ දී ඝාතනය වුණා.

 

ආර්ථික අර්බුදයට ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවේත් විසඳුම් නැහැ. ඊනියා සමාජයීය විද්‍යාවන් ද මාක්ස්වාදය මෙන් ම වලංගු නැහැ. ඉන් වැඩ කරන නැත්නම් හරියන කතන්දර ගොතන්න බැහැ. අප ආදායමට වඩා වියදම් කර තියෙනවා. හැම රටක් ම වගේ අද ණයයි. එයට   හේතුව ස්වභාව ධර්මයෙන් ණයට කෑම. ස්වභාව ධර්මයෙ සමග පැවැත්විය යුතු ගතික සමතුලිතතාව (dynamic equilibrium) අද බිඳ වැටිලා.

 

අර කොරේ පිට මරේ කීවාක් මෙන් වසංගතයත් සමග මෙන් යුක්‍රේන යුද්ධය ඇති වෙලා. අද ලොවේ ප්‍රශ්නය කලින් පවත්වාගෙන ගිය ජීවන රටාව තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි වීම. ලොවේ හැම තැනක ම මෙන් දේශගුණික රටාවන් වෙනස් වෙලා. ස්වභාව ධර්මය සමග පවත්වාගෙන යා යුතු ගතික සමතුලිතතාව බිඳ වැටුණු විට එසේ සිදු වෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස අයිස්කඳු දියවෙනවා. යුරෝපයේ ගංගාවල ජලය වැඩි වෙලා.

 

ට්‍රස් අස් වූ පමණින් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. බදු අය කිරීම. පොලී අනුපාතය වැඩි කිරීම සමග නිෂ්පාදනය අඩුවෙනවා. අපට නම්  නිෂ්පාදනයක් ගැන හිතන්නවත් බැහැ. යමකු හිතනවා නම් දැන් විප්ලවයට වෙලාව ඇවිල්ල කියල ඒ හීනයක් පමණයි. ඒක කිසි දා වෙන්නෙ නැහැ. වුණෙ නැති වුණා ම දෙන පිළිතුරකුත් තියෙනවා. විප්ලවයට ඊනියා වාස්තවික තත්වයන් සපුරාලුවත් අර නායකත්වය නැති නිසා විප්ලවය අසාර්ථක වුණු බව කියාවි. අවුරුදු සීයකටත් වැඩි කාලයක් තිස්සෙ නායකත්වය ගොඩනගා ගන්න බැරි වෙලා. හරි පුදුමයි.

 

මිනිසුන් ඊනියා ස්වර්ගයක ඇතැයි කියා හිතන සැප සම්පත් මනුෂ්‍ය ලෝකයේ ඇති කරන්න ගත්ත උත්සාහය අසාර්ථක වෙලා. යම් තාවකාලික විසඳූමක් ඊනියා ආර්ථික විද්‍යාවකට අනුව නොව ඒක මේක කිරීමෙන් ලබා ගත්තත් ස්වර්ගයට යන්න බැරි වේවි.