තව තවත් පැටලෙමු
පැටලුණු අංශු (entangled particles) ගැන තවත් යමක් කෙටියෙන් කියන්න ඕන. ක්වොන්ටම් ක්වොන්ටම් පැටලුණු අංශු දෙකක් සඳහා ඇත්තේ එකම තරංග ශ්‍රිතයක් (wave function) කියනවා. දැන් සමහර විට ප්‍රශ්නයක් ඇති වේවි තරංග ශ්‍රිතයක් කියන්නෙ මොකක් ද කියා. ශ්‍රිතයක් කියන්නෙ ගණිතයෙ යෙදෙන දෙයක්. අගය කුලක දෙකක් ඇතැයි සිතන්න. එක් කුලකයක අගයක් සඳහා අනෙක් කුලකයේ අගයක් ඇත්නම් ඒ අගය ලබා දීම තමයි ශ්‍රිතයකින් කෙරෙන්නෙ. මා ගණිත සමීකරණ ලියන්නෙ නැහැ. ගණිතයේ මේ සංකල්ප හැකිතාක් නිරවුල් ව අර්ථදැක්වෙනවා. අපට ඒ පමණට මෙහි නිරවුල් වෙන්න බැහැ. කොහොම හරි ශ්‍රිතයකින් කෙරෙන්නෙ එක් කුලකයක අගයක් දුන් විට අනෙක් කුලකයෙ අගයක් හොයා ගැනීම. ශ්‍රිතයකින් ඒ කුලක දෙක අතර සම්බන්ධයක් ලබා දෙනවා.
සාමාන්‍යයෙන් කියන විධියට ක්වොන්ටම් භෞතිකයෙ
(ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදයෙ - Quantum Field Theory) අංශු නැහැ. අපි ඒ ගැන කරදර වෙන්න ඕන
නැහැ. වරක් නීල්ස් බෝර් කියා තියෙනවා ක්වොන්ටම් භෞතිකයෙ ඇති ලොකුම ප්‍රශ්නය එහි
සංකල්ප සම්භාව්‍ය (ක්වොන්ටම්
නොවන, එයට සාපේක්‍ෂතාවාදත් ඇතුළත්) භෞතිකයෙ වචනවලින්
විස්තර කිරීමට සිදු වීම කියා. මට තේරෙන
විධියට නම් ක්වොන්ටම් භෞතිකයෙ තරංගත් නැහැ. අංශුත් නැහැ. ඒ සඳහා අපට වචන ඇත්තෙත්
නැහැ.
තරංගයක් කවුරුත් දන්නවා. මුහුදෙ තරංග ඇති
වෙනවා. කවුරුත් පාහෙ කියනවා ගුවන් විදුලි තරංග ගැන. ඒ තරංග ශ්‍රිතයක් හැටියට
ලියන්න පුළුවන්. ඒ කියන්නෙ අවකාශයෙ තැනක් (ලක්‍ෂ්‍යක්) කී විට එතැන තරංගයේ අගය
කියන්න පුළුවන්. මෙය තැන විතරක් නොවෙයි වෙලාවත් (කාලය) දැන ගෙන කියන්න ඕන. එක ම
තැනක එක එක වෙලාවෙදි තරංගය වෙනස් වෙන නිසා.
සමීකරණය කියන එකත් බොහෝ දෙනා දන්නවා. එහි දී
කෙරෙන්නෙ ශ්‍රීිත දෙකක් සමාන කිරීම. දැන් නම් ශ්‍රිත නැතුවත් සමීකරණ ගැන කියනවා. ඒ
වෙන අරුතකින්. කොහොම වෙතත් ක්වොන්ටම් භෞතිකයෙ ෂ්රොඩිංගර් සමිකරණය (Schrodinger
Equation) කියා සමීකරණයක් තියෙනවා. එය අමුතුම ජාතියෙ
සමීකරණයක්. මා ඒ ගැන වෑඩි යමක් කියන්නෙ නැහැ. මේ සමීකරණයයි සාධාරණ සාපේක්‍ෂතාවාදයයි
එක් කරන්න භෞතික විද්‍යාඥයන් දැන් අවුරුදු සීයකට ආසන්න කාලයක් උත්සාහ දරණවා. තවම
සාර්ථක වී නැහැ.
ඔය ෂ්රොඩිංගර් සමීකරණයෙ විසඳුම් තමයි තරංග ශිත.
අංශු හරි මොනව හරි දෙන්නෙ ඒ තරංග ශ්‍රිතවලින්. ඒ ශ්‍රිතයෙ ක්වොන්ටම අංශුව ගැන
විස්තර අඩංගු වෙනවා. යම් ගුණයක් ගැන අගය කිහිපයක් තියෙනවා නම් ඒ සෑම අගයක් ම තරංග
ශ්‍රිතයේ තියෙනවා. ඒ ගුණය මැන්නොත් ඉන් එක් අගයක් පමණක් ලැබෙනවා. එහි දී තරංග ශ්‍රිතය
කඩා වැටෙනවා කියනවා ( collapse of the wave function). මනින්න පෙර අගය මොකක් ද කියා දන්නෙ නැහැ.
යම් අගයක් ලැබීමට යම් සම්භාවිතාවක් (probability) තියෙනවා. ඒ සම්භාවිතාව තරංග ශ්‍රිතයෙන් ගණනය
කර ගන්න විධියක් තියෙනවා. අයින්ස්ටයින් ඒ
වැඩේට කැමති වුණෙ නැහැ. ඔහු කියා සිටියෙ දෙවියන් වහන්සේ දාදු කෙළින්නෙ නැහැ කියා.
අංශු එකට පැටලී තියෙනතාක් ඒ එකම තරංග ශ්‍රිතයකින් විස්තර කෙරෙනවා කියනවා. දැන් එක් අංශුවක
යම්කිසි ගුණයක් මැන්නොත් ඒ ක්‍ෂණයෙහි ම අනෙක් අංශවෙත් අදාළ ගුණය මැනෙනවා. එය
වෙන්නෙ කොහොම ද කියා කාටවත් හරියට කියන්න බැහැ. එක් එක් අය එක් එක් කතා කියනවා.
ඔවුන්ට අවශ්‍ය අයින්ස්ටයින්ගෙ සාපේක්‍ෂතාවාදය බේරා ගන්න. එක ම තරංග ශ්‍රිතයක් ගැන
කිවුවත් අංශු ඇත්තෙ එක ම තැන නො වෙයි.
දැන් ප්‍රශ්නය වෙන්නෙ මේ මිනුම් කරන්නෙ කොහොම ද
කියල. අපි හිතමු අංශු දෙක ඉතා විශාල දුරකින වෙන්වෙලා තියෙනවා කියා. එවිට එක ම
නිරීක්‍ෂකයකුට ඒ අංශු දෙක ම මනින්න බැරි වේවි. අංශු දෙක වෙන්වීමේ සිට ගතවුණු කාලය
ඉතා විශාල නම් ආලෝකයේ වේගයෙන් ගියත් නිරීක්‍ෂකයාට දෙවැනි අංශුවට ළඟා වෙන්න බැරි
වේවි. මෙහි දී කෙරෙන්නේ නිරීක්‍ෂකයන් දෙදෙනකු යොදා ගනීම. දෙදෙනාගේ ම ඔරලෝසු
සමමූර්තක (synchronized) නම් කලින් කතා කරගෙන එකම වෙලාවට
මිනුම් දෙක ගන්න පුළුවන්. ඉන්පසු සන්නිවේදනයෙන් ඒ මිනුම් සංසන්දනය කරන්න පුළුවන්.
එය අයින්ස්ටයින්ට ප්‍රශ්නයක් නො වෙයි. මිනුම් සසඳන්නේ මිනුම්වලින් කාලයක් ගියාට
පසුව.
ඇස්පෙ කළ පරීක්‍ෂණය එයට වඩා සරලයි. එහි දී අශු විශාල දුරකින් ඈත්
වුණෙ නැහැ. කෙටියෙන් කියනවා නම් ආලෝකයේ වේගයෙන් ගියත් යන දුරට අඩු දුරක දී තමයි
අංශුවල මිනුම් කෙරුණෙ. ඒත් හිතන්න එපා ඇස්පෙලා කළ පරීක්‍ෂණ ලංකාවෙ කරන්න පුළුවන්
කියා.
තව කාරණයක් කියන්න ඕන. අංශුවල පැටලීම ඒ විධියට
මිනුම්වලින් අගය ලැබෙන්නේ එක ම ගුණයක් මැන්නොත් විතරයි. මා කලින් දවසෙ සඳහන් කළ
බැමුම උඩ පහත අක්‍ෂය ලෙස මිනුම් දෙක ම කරන්න ඕන. එකක් උඩ පහත අක්‍ෂය දිගේ මැනලා අනෙක උතුර දකුණ අක්‍ෂය දිගේ මැන්නොත් වැඩේ
එතනින් ඉවරයි. අංශුවල පැටලීම නැති වෙනවා.
දැන් තේරෙනවා කියල හිතන්න එපා. ෆයින්මාන් කියල
තියෙනවා යමකු තමාට ක්වොන්ටම් භෞතිකය තේරෙනවා කියා කියනවා නම් ඔහුට ක්වොන්ටම්
භෞතිකය තේරෙන්නෙ නැහැ කියල. එහි පරස්පරයක් විරුද්ධාභාසයක් (paradox) තියෙනව නම් ඇරිස්ටෝටල්ගෙන්
අහන්න.