Main Logo

Sunday 9 October 2022

කුලය හා රාජ්‍ය බලය

 

කුලය හා රාජ්‍ය බලය

 

කුල භේදයට ප්‍රධාන ම හේතුව රාජ්‍ය බලයට ඒ ඒ කාලවල ඒ එ කුලවල ඇතැමුන් ඉදිරිපත් වීම යැයි හිතන්න පුළුවන්. භාරතයේ බ්‍රාහ්මණයන් (හා ක්‍ෂත්‍රියන්) ඒ සඳහා වර්ණ භේදයක් ඇති කරල තියෙන බව පේනවා. ලංකාවේ ද පොළොන්නරු යුගයේ සිට හින්දු බලපෑම නිසා කුල භේදයක් ඇති වී ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී තියෙනවා. නුවර යුගයේ එය වඩාත් වර්ධනය වී ඇත්තේ ලන්දේසින්ගේ ද මැදිහත්වීමෙන් බව පේනවා.

 

නුවර යුගයේ භාරතයෙන් පැමිණි බ්‍රාහ්මණ වාංශිකයන්  පිරිසක් ගොවිගම කුලයේ කුලවැද්දුම් ලබා සිංහල වී විශේෂයෙන් ම නායක්කාර් රජවරුන් සමග සම්බන්ධ වී ගොවිගම කුලයේ ම ඊනියා රදල ප්‍රභේදයක් ඇති කරගෙන තිබෙන බව පැහැදිලියි. එදත් අද මෙන් ම රජුට කිට්ටු වීම සඳහා ඇතැමුන් විවාහයෙන් රදල ප්‍රභේදයට කුල වැද්දුම් ලබා තියෙනවා. මෙයට හොඳ ම උදා ජනප්‍රවාදය අනුව ඇහැලේපොළ පරම්පරාව.

 

ජනප්‍රවාදය අනුව ඇහැලේපොළ නිලමෙගෙ පියා සාමන්‍ය පුද්ගලයෙක්. ඔහු නක්‍ෂත්‍රය ප්‍රගුණ කළ අයෙක්. දිනක් මාතලේ කොහොන පවුලේ තරුණියකගේ කේන්දරය ඔහු ලවා බලවා ගැනීමට පැමිණ තියෙනවා. ඒ තරුණිය සමග විවාහ වෙන තැනැත්තාට උසස් නිලයක් ලැබෙන බව දත් ඇහැලේපොළ පියා තම පුතා අර තරුණිය සමග විවාහ කරවීමට කටයුතු කර තියෙනවා. පුතා ඉන්පසු රදල වෙලා.

 

ඉංගිරිසි කාලයේ ඉංගිරිසි පාලකයන්ගේ වරප්‍රසාද ලබා ගැනීමට තිබූ ප්‍රධාන මාර්ගය ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීම. එයට අමතර ව අර රදල කතාව අනුව යමින් රදල වීමට ද ඇතැමුන් කටයුතු කර තියෙනවා. සබරගමුවේ රදල පෙලැන්තියක් ඇති වී තියෙනවා. බස්නාහිර පළාතේත් ගොවිගම කුලවැද්දුම ලබා ඈංග්ලිකන් ක්‍රිස්තියානින් වී ඉංගිරිසින්ගේ රදල කුලයට ඇතැමුන් ඇතුල් වී තියනවා. කරාව කුලයේ ද ඇතැමුන් ඇංග්ලිකන් ක්‍රිස්තියානින් වී ඉංගිරිසි ආණ්ඩුවට කිට්ටු වී තියෙනවා.

 

එහෙත් ඉංගිරිසින්ට කිට්ටු වූ  ගොවිගම අය වෙල්ලාලයන් ද සමග එකතු වී කරාව අය පරදවා තියෙනවා. 1912 සීමිත ඡන්ද බලයක් සහිත මැතිවරණයෙන් මාකස් ප්‍රනාන්දුගේ පරාජය ගොවිගම පිරිසක් ඉහලට යෑමට හේතු වී ඇති බව පේනවා. ඉංගිරිසින් ද එකී ගොවිගම අයට කැමැත්තක් දක්වන්න ඇතැයි සිතන්න පුළුවන්. එයට එක් හේතුවක් වන්නට ඇත්තේ ඉංගිරිසින් වෙල්ලාලයන්ට දැක් වූ වැඩි සැලකිල්ල.

 

මට හිතෙන අයුරින් තවත් හේතුවක් තිබෙනවා. මෙරට 1917 සිට ඉංගිරිසින්ට විරුද්ධ සටන්වල නායකත්වය ගෙන ඇත්තේ ගොවිගම නොවන කුලවල අය. වෙල්ලස්සේ නිදහස් සටන මෙහෙයවීම ගැන කොහුකුඹුරේ රටේ රාළ බූටෑවේ රටේ රාළ ආදීන්ගේ නම් කියැවෙනවා. ඔවුන් නිලමෙලා නොවෙයි. නිලමෙලා කෙළෙ 1815 ගිවිසුම මගින් ඉංගිරිසින්ට රට භාරදීමයි. ඉන්පසු ඔවුන් ඉංගිරිසින්ට සේවය කළා. කැප්පෙටිපොළ නිලමෙ පවා වෙල්ලස්සට ගියේ නිදහස් සටන පරාජය කිරීමට ඉංගිරිසින් වෙනුවෙන්. එහෙත් කැප්පෙටිපොළ නිලමෙ කරුණු තේරුම් ගෙන ඉංගිරිසින්ට විරුද්ධ ව සටන මෙහෙයවා තියෙනවා.

 

1848 නිදහස් සටනේ නායකත්වය දැරුවේ ගොංගාලෙගොඩ බණ්ඩා පුරන්අප්පු වැනි අය. එපමණක් නොව දහනවවැනි සියවස අග භාගයේ ඇති වූ සිංහල බෞද්ධ පුනර්ජීවනයේ ද නායකත්වය දරා ඇත්තේ ඊනියා උභය කුල පාරිශුද්ධ ගොවිගම ඉහළ පෙලැන්තියේ අය නොවෙයි. විය යුතු පරිද්දෙන්ම එහි මූල්‍යමය පැත්ත බලාගෙන ඇත්තේ ඉංගිරිසි ආර්ථික ක්‍රමයෙන් ධනය උපයා ගත් අය. කුමාරි ද සොයිසා ජයවර්ධනට තම කුරුඳුවත්තේ ගෙදර බිත්තිවලින් අරක්කු ගඳ එන්න ඇති. ඇයට අමතක වන කරුණ නම් මුල් මාක්ස්වාදීන් එංගලන්තයට ගියේ සිංහල ආර්ථික ක්‍රමයකින් ධනවත්  වීමෙන් නොවන බව.

 

මා මෙයින් අදහස් කරන්නේ ගොවිගම කුලයේ සියල්ලන් ඉංගිරිසින්ට පක්‍ෂපාත වූ බවවත් අනෙක් කුලවල සියල්ලන් ඉංගිරිසින්ට විරුද්ධ වූ බවවත් නො වෙයි. කරාව කුලයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි කිහිප දෙනෙක් ද ඉංගිරිසින් සමග එක් ව කටයුතු කර තියෙනවා. එමෙන් ම සිංහල බෞද්ධ පුනර්ජීවනයට ගිහි නායකත්වය දුන් ඇතැමුන් ඉංගිරිසි රාජ්‍ය පාලනයට විරුද්ධ වුණේ නැහැ. ඔවුන්ගේ විරුද්ධත්වය සීමිත එකක්. එය මූලික වශයෙන් බුදුදහමට කරන ලද අපහාස උපහාසවලට විරුද්ධ ව ආරම්භ වුවක්. කොහොමටත් ඕල්කට්තුමා ඒ පුනර්ජීවනය පීලි පැන්නුවා.

 

ඒ කුමක් වුවත් ඉංගිරිසි පාලන කාලයේ සිංහලයන් අතර ගොවිගම එක්තරා පිරිසක් රාජ්‍ය බලයට කිට්ටු වී තියෙනවා. ඒ පිරිස නුවර යුගයේ රදල ප්‍රභූන් මෙන් ලංකාවේ ප්‍රධාන කුලය බවට පත් වී ඇත්තේ ගොවිගම කුලයේ වැඩි පිරිසක් සිටීම ද උපයෝගි කරගෙන. එහෙත් ඔවුන් ගොවිගම කුලයේ සෙසු අයට සැලකිල්ලක් දක්වා නැහැ. මේ පිරිස අදත් රාජ්‍ය බලය අයත් කරගෙන ඉන්නවා. අදත් රාජ්‍ය බලයට කිට්ටු වීම සඳහා ඒ ඉහළ ගොවිගම වෙන්න ඕන. ගොවිගම නොවන අයත් සමහර විට නම් වෙනස් කිරීමෙන් ගොවිගම කුලවැද්දුම ලබා ගන්නවා.

 

අවාසනාවකට අද ශාසනයේ කුලය ප්‍රධාන සාධකය වෙලා. ගිහි සමාජයට සමාන්තර ව සංඝ සමාජයේත් ප්‍රධාන නිකාය තියෙනවා. මේ නුවර යුගයේ නෂ්ඨාවශේෂ. මට වෙලාවකට හිතෙනවා සිදුහත් කුමරු අද ලංකාවට පැමිණ පැවිද්ද ඉල්ලුවොත් එතුමාට පැවිදි වීමට හැකි නිකාය කුමක් ද කියා.

 

ඒ කුමක් වුවත් අද පේන කරුණක් තමයි ඇතැමුන් තමන්ට කුල භේදය නිසා ඇති වී තිබෙන ප්‍රශ්න නැති කිරීමට සිංහල බෞද්ධ සංස්කෘතියට තොග පිටින් විරුද්ධ වීම. ඔවුන් සිංහල බෞද්ධ ජාතිකත්වය ධනපති පංතිය සමග තුල්‍ය කරන බවක් පේනවා. සිංහල බෞද්ධ ක්‍රමය සම්පූර්ණයෙන් ම නැති කිරීම ඔවුන්ගේ අභිලාෂය වෙලා තියෙනවා. එය ලෝකයේ කොහේවත් නැති සමාජවාදයක් නාමයෙන් එංගලන්තයේ ඇති ඇංග්ලිකන් ක්‍රිස්තියානි ජාතිකත්වයට සේවය කිරීමක්.