මෙවර භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග ලැබුණ
ක්වොන්ටම් පැටලීම පිළිබඳ (quantum entanglement) පර්යේෂණ කළ විිද්‍යාඥයන් තිදෙනකුට. ක්ලෝසර්, සෙලින්ගර්
හා ඇස්පෙක්ට් ඔවුන් තිදෙනායි. මේ නම් මෙලෙස ලිවීම නිවැරදි ද කියා දන්නේ නැහැ.
සමහරවිට උච්චාරණය වැරදි වෙන්න පුළුවන්. සමහරවිට ඇස්පෙක්ට් යන්න ඇස්පෙ ලෙස උච්චාරණය
කරනවා වෙන්න පුළුවන්.
මේ තිදෙනාට ලැබුණු ත්‍යාගය පිළිබඳ ලොකු කතාවක්
තියෙනවා. එය කෙටියෙන් 1986 දී පළකළ මගේ ලෝකය කෘතියේ හතරවැනි පරිච්ඡෙදයේ තියෙනවා. මේ විද්‍යාඥයන්
තිදෙනා අදාළ පර්ය්ෂණ කරන්න පටන් ගත්තේ හැත්තෑවේ දශකයේ මැද පමණ. ඒ පර්යේෂණ අසූවේ
දශකයේ මුල සාර්ථක වුණා. මගේ ලෝකය කෘතියේ ඇස්පෙ 1982 දී කළ පර්යේෂණය ගැන සඳහන් වෙනවා. අප
එකල ද ඒ පර්යේෂණවල වැදගත්කම අවබෝධ කර ගෙන හිටියා. අවුරුදු හතළිහකට පමණ පසු ඔවුන්ට
නොබෙල් තෑග්ග හිමි වී තියෙනවා.
ක්වොන්ටම් භෞතික විද්‍යාව අනුව පැටලුනු
අංශු දෙකක් බැමුම
(spin) ප්‍රතිවිරුද්ධ ලෙස එකට නිර්මාණය වෙන්න
ඕන. එහෙත් අංශුවක බැමුම මනින තෙක් අප ඒ කුමක් දැයි දන්නේ නැහැ. දැන් එක අංශුවක
බැමුම මැනීමෙන් පසු එය උඩ (up)
බව දැනගත්තේ යැයි සිතමු. එවිට දෙවැනි අංශුවේ බැමුම පහත (down) වෙන්න ඕන. මෙය කෝපන්හේගන් විවරණය
නමින් කියැවෙන නීල්ස් බොර් හඳුන්වා දුන් විවරණය සමග එකඟ වෙන්නේ නැහැ කිවුවා. එයට
හේතුව දෙවැනි අංශුවේ බැමුම මැනීමට පෙර ම අප ඒ අංශුවේ බැමුම දැන සිටීමයි. පළමු
අංශුවේ බැමුම පමණක් මැන දෙවැනි අංශුවේ ද බැමුම දැනගත හැකි වන බැවින්.
බෝර් එයට පිළිතුරු දුන්නේ අංශු දෙක හා නිරීක්‍ෂකයා
එක ම පද්ධතියක් ලෙස සැලකිය යුතු බව කියමින්. නිරීක්‍ෂකයා පළමු අංශුවේ බැමුම මනිනවා
කියන්නේ දෙවැනි අංශුවේ ද බැමුම මනින බවයි බෝර් කියා සිටියේ. එහෙත් අයින්ස්ටයින් මේ
කතාවට එකඟ වුණේ නැහැ. ඔහු ඇසුවේ පළමු අංශුවේ බැමුම මැන ඇති බව දෙවැනි අංශුව දැන
ගන්නේ කෙසේ ද කියා. ඒ කියන්නේ පළමු අංශුවේ සිට දෙවැනි අංශුවට යම් සන්නිවේදනයක්
තිබිය යුතු බව. අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය අනුව සන්නිවේදනය කළ හැකි
උපරිම වේගය ආලෝකයේ වේගයයි. එසේ නම් දෙවැනි අංශුව තිබිය යුත්තේ ආලෝකයේ වේගයෙන්
කෙරෙන සන්නිවේදනය දෙවැනි අංශුවට ලබාගත හැකි දුරකින්.
එසේ නොවන්නේ නම් සන්නිවේදනයක් නොමැතිව දෙවැනි
අංශුව අර තොරතුරු ලබා ගැනීම දුරක දී සිදුවන ක්‍රියාවක් යැයි කියමින් අයින්ස්ටයින්
බොර්ගේ කතාව ප්‍රතික්‍ෂෙප කළා. අයින්ස්ටයින් එවැනි ක්‍රියා භූත ක්‍රියා (spooky action) ලෙස හැඳින්වූවා. මෙය භෞතික විද්‍යාඥයන්
අතර මතභේදයකට තුඩු දුන්නා. ක්වොන්ටම් නොවන
භෞතික විද්‍යාව එහෙමත් නැත්නම් සම්භාව්‍ය භෞතික විද්‍යාව අනුවත් ඒ සංසිද්ධිය
තේරුම් ගත හැකි බව ඇතැමුන් කිවුවා. එනම් මැනීමට පෙරත් ඒ අංශුවලට ප්‍රතිවිරුද්ධ
බැමුම් ඇති බවත් මැනීමෙන් කෙරෙන්නේ ඒ වාස්තවික ස්ථානීය යථාර්ථය (local reality) දැන ගැනීම බවත් ඔවුන් කිවුවා.
මේ සම්බන්ධයෙන් සැඟවුණු විචල්‍ය (hidden variables) ගැන ඇතැමුන් කතා කළා. අයින්ස්ටයින් පොඩොල්සකි
හා රොසන් කියා සිටියේ ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් හයිසන්බර්ගේ අනිශ්වය මූල
ධර්මයෙන් කියැවෙන දේට වැඩි දෙයක් කියැවෙන බවයි. මේ විරුද්ධාභාසය EPR විරුද්ධාභාසය ලෙස හැඳින්වෙනවා. මෙය අර
භූත ක්‍රියා සමග සම්බන්ධයි.
හැට ගණන්වල දි එසේ වාස්තවික ස්ථානීය යථාර්ථයක්
ඇත්නම් එසේ සිදු වන්නේ කිනම් අවශ්‍යතා යටතේ දැයි ජෝන් බෙල් නම් විද්‍යාඥයා
පැහැදිලි කළා. 1982 දී ඇස්පෙ පර්යේෂණ මගින් පෙන්නුම් කෙළේ
පැටලැවුණු අංශු ඒ ස්ථානීය යථාර්ථයක් නැති බව කියන බවයි. ඒ අවුරුදු හතළිහකට පෙර.
මගේ ලෝකයට එදා ඒ පරීක්‍ෂණ වැදගත් වුණා. නිරීක්‍ෂකයාගෙන්
තොරව ඊනියා ස්ථානීය යථාර්ථයක් නැති බව ඒ දිනවල ම ප්‍රායෝගික ව පෙන්නුම් කෙරුණා.
භූත ක්‍රියා ද අයින්ස්ටයින් අකමැති වුණත් සිදු වන්නේ යැයි කියන්න පුළුවන්. ඒ
කියන්නේ සන්නිවේදනය සාපේක්‍ෂතාවාදයට එකඟ ව දැනුම් දීමට පෙර එකී අවස්ථාවන්හි
පැටලුනුු අංශු දැන ගන්නා බවයි. ඒත් අපි තවම යථාර්ථයක් ගැන කියනවා.
දැනුම කියන්නෙ සංගත කතන්දර ටිකකට මිස ඊනියා
වාස්තවික යථාර්ථයක් පිළිබඳ දැනුමකට නො වෙයි. බුදුදහමට අනුව ඔය සියලු දැනුම් බොරු.
ඊනියා යථාර්ථයක් තියෙනව කියන එක මෙන් ම යථාර්ථයක් නැහැ කියන එකත් බොරු. අප කරන්නේ
වැඩ කරන සංගත බොරු දැනුම ලෙස සැලකීම පමණයි. මෙහි දී වැදගත් වන්නෙ ඇස්පෙලාගෙ පරීක්‍ෂණ
සමග සංගත වන්නේ මොන බොරුව ද යන්නයි.
පඬි නැට්ටකු එකත් එකට ම අහනවා නිවනත් බොරුවක් ද
කියා. නිවන කියන්නේ මේ බොරු සියල්ල අත්හැරීමටයි. නිවන කියා තැනක් නැහැ. දැන ගන්න
දෙයක් නැහැ. දැන ගත්තොත් ඒ නිවන නොවෙයි.