මල්බෙරි බුෂ් වටේ යෑම
තාත්තාගේ සමාජ සේවා කටයුතුවලින් ප්‍රධාන ම කාර්යය වුණෙ වෑකඩ බෞද්ධාලෝක පාසලේ දහම් පාසල නැවත ඇරඹීමයි. ඒ දහම් පාසලට අවුරුදු තුනක් පමණ මාත් කලක් ගිහින් තිබුණා. එහෙත් යම් කරුණක් නිසා ඒ දහම් පාසල වැසී ගියා. පසු කලෙක තාත්තා වෑකඩ ඉස්කොලෙ මුල් ගුරු පදවිය ලැබුචට පස්සෙ එය නැවතත් ආරම්භ කළා. මා හිතනවා එයින් ගමට සේවයක් වුණා කියල.
එකල දහම් පාසල් හැඳින්වුණෙ ඉරිදා ඉස්කෝල කියා.
පැහැදිලිව ම ඒ ක්‍රිස්තියානි ඉරිදා පාසල් අනුව ඇරඹුණු ආයතන. බොරුල්ලේ තරුණ බෞද්ධ
සමිතිය මගින් දහම් පාසල් විභාග ද පැවැත්වුණා. තරුණ බෞද්ධ සංගමය ද තරුණ ක්‍රිස්තියානි
සංගමය අනුව ආරම්භ කෙරුණු එකක්. ඒ සියල්ල ඕල්කට්තුමා මූලික ව කෙරුණු දේ. මෙහි
වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. එකක් ඕල්කට්තුමා මේ ආයතනවලින් භික්‍ෂූන් වහන්සේ
ඉවත් කිරීම. දෙවනුව ක්‍රිස්තියානි අනුකරණය. තුන්වැනුව දහම් පාසල් විභාග රටාව. එහි
ගෞරව සාමාර්ථ දීමක් මෙන් ම දිවයිනේ ඉහළින් ම සමත් වූ සිසුන් සෙවීමක් ද වුණා. එය
සිසුන් තරගවලට ඇද දැමුවා.
අද වන විට දහම් පාසලේ ස්වභාවය දෙයාකාරකින්
වෙනස් වෙලා. එක් පැත්තකින් සිසුන් ජාතිකත්වයට යොමු කිරීමක් දකින්න පුළුවන්. ඉරිදා
පාසල් අද දහම් පාසල් ලෙස ද හැඳින්වෙනවා. සිසුන්ගේ ඇඳුමේ ද වෙනසක් දකින්න පුළුවන්.
එය ක්‍රිස්තියානි ඉරිදා පාසල සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කිරීමක්. අනෙක්
පැත්තෙන් අද දහම් පාසල්වල එකිනෙකා අභිබවා
යෑමේ ප්‍රවනතාවක් ද තියෙනවා. වැඩියෙන් ම මල් ගෙන්වා ගැනීම, දහම්
පාසල් අතර තරග ආදිය බෞද්ධ සංස්කෘතියට එකඟ නැහැ . ඒ සියල්ල සිදුවන්නේ තරග
සංස්කෘතියක ආධිපත්‍යය නිසා.
ඒ සංස්කෘතිය අපට ද බලපෑවා. අම්මාටත් තාත්තාටත්
අවශ්‍ය වුණේ අප සමාජයේ ඉහළ යනු දැකීමට. එය දෙමවුපියන් අතිමහත් බහුතරයකගේ අවශ්‍යතාව.
සමහර විට එය ගොඩ යෑම යනුවෙනුත් හැඳින්වෙනවා.
අම්මාත් තාත්තාත් දුටු දෙයක් තමයි සමාජයේ ඉහළට යන්න අප වැන්නන්ට තියෙන එකම
මග අධ්‍යාපනය කියා. කන්නන්ගර මහතා ඇති කළ නිදහස් අධ්‍යාපනය නිසා ඕනෑම අයකුට මුදල්
නොගෙවා අධ්‍යාපනය ලබා ගැනීමේ ඉඩ කඩ තියෙනවා.
බස්නාහිර පළාතේ අධ්‍යාපන කාර්යාලයේ ගොඩනැගිලි
පරීක්‍ෂක ලෙස කටයුතු කළ අපේ මාමාටත් (අම්මාගෙ එක ම මල්ලි) අවශ්‍ය වුණෙ අපට
ඉගැන්වීමට. එවකට බස්නාහිර පළාතේ අධ්‍යාපන කාර්යාලය පිහිටා තිබුණේ තර්ස්ටන් විද්‍යාල
පරිශ්‍රයයෙහි. මාමා මාත් ලොකු මල්ලීත් තර්ස්ටන් විද්‍යාලයට ඇතුල් කරන ලෙස අම්මාටත්
තාත්තාටත් කරුණු කිවුවා. අප දෙදෙනාට මාමා සමග ඔවුන් පදිංචි වී සිටි කැලණිය ප්‍රදේශයේ
සිට තර්ස්ටන් විද්‍යාලයට යා හැකි බව ද කියන්න ඇති.
කෙසේ නමුත් අප දෙදෙනා තර්ස්ටන් විද්‍යාලයට
ඇතුල්වීමේ පරීක්‍ෂණවලට පෙනී හිටියා. එකල තර්ස්ටන් විදුහල ආරම්භ කර අලුත. ඒ නිසා
සෑම පන්තියක ම පාහේ පුරප්පාඩු තිබුණා. මා
කලින් සඳහන් කළ වයස ප්‍රශ්නය නිසා මට පෙනී සිටීමට සිදු වූයේ දෙවැනි පන්තියට ඇතුල්
වීමේ පරීක්‍ෂණයට. මල්ලි ඉහළ බාලාංශය නමින් එකල හැඳින්වූ පංතියට. අප දෙදෙනා ම පරීක්‍ෂණවලින්
සමත් වූ බැවින් 1952 සිට අප තර්ස්ටන් විදුහලට ඇතුල්
කෙරුණා. ඒ අවුරුදු හැත්තෑවකට පෙර, අප මාමාත් සමග කැලණියේ බුළුගහගොඩ සිට
තර්ස්ටන් විදුහලට මාමාගේ රියේ යන්න පටන් ගත්තා.
ඒ තමයි අප සපත්තු මේස් පැළඳ පළමුවරට පාසලකට ගිය
වසර. මගේ පන්තිය භාර ගුරුතුමිය වූයේ මදුරසිංහ මහත්මිය. ඇය කරුණාවන්ත සිසුන්ට
දරුවන්ට මෙන් සැලකූ ගුරු මහත්මියක්. ඈ ගැන මා කලින් කියා ඇති. තර්ස්ටන් විදුහල මට
තරමක් අමුතු තැනක් වුණා. වැකඩ ඉස්කොලෙ මෙන් නොව එහි පංති කාමර වෙන් කරල තිබුණා.
සංගීතයට සරඹ (drill) ආදී විෂයවලට වෙන ම ගුරුවරු හිටියා.
සංගීතය පියානෝ වාදනයක් සමග ඉගැන්වූයේ. මා නොදැන සිටි හියර් වී ගෝ රවුන්ඩ් ද
මල්බෙරි බුෂ් ගීය වාදනය කරද්දි අප රවුමට ගියා. මල්බෙරි කියන්නෙ මොන මල් ද කියලවත්
මට වැටහීමක් තිබුණෙ නැහැ. ඒත් රවුමෙ ගියා. අපේ සමස්ත අධ්‍යාපනය ම වැටහීමක් නැතුව
පඳුරු වටේ යෑමක් බව මට බොහෝ කලකට පසුව තේරුණා.
මා කුමාරතුංග මුණිදාස මහතාගේ ශික්‍ෂා මාර්ගයේ
සිට එච් ඩී සුගතපාල මහතාගේ නවමගට මාරු වුණා. නවමග වෙනත් සංස්කෘතියකට ලියැවුණු
පොතක්. අප කොට්ටේ කොණක් බදා ගෙන නිදා සිටි සුනිල් සහ තවත් අය ගැන කියෙවුවා.
මත්පැනින් සිහි විකල් ව වෙසක් කුඩුවකට පහර දුන් අයකු ගැනත් ඒ පොත්වල තිබුණා. එයින්
ඉගෙන ගත්තේ මොනවා ද කියන එක පැහැදිලි නැහැ.
ටිකක් කල් යන විට තර්ස්ටන් විදුහලේ පරිසරයට මා
පුරුදු වුණා. එමෙන් ම තුන්වැනි පංතියේ සිට අප පාණදුරේ සිට තර්ස්ටන් විදුහලට යන්න
පටන් ගත්තා. අම්මාත් තාත්තාත් අප පාසලට මුල දී යැවුවෙ පෞද්ගලික කාරයකින් මුදල්
දී.පසුව දුම්රියෙන් යෑමට පටන් ගත්තා. ඒ ගමන විනෝදජනකයි. වෑකඩ සිට පාණදුරේ
දුම්රියපොළට පයින් හරි බසයෙන් හරි පැමිණ එතැන් සිට බම්බලපිටියට දුම්රියෙනුත් නැවත
බම්බලපිටියේ සිට විදුහලට බසයෙනුත් යැමට අප පුරුදු වුණා. ආපසු ගමනේ සිදු වූ එක ම
වෙනස පාණදුරේ සිට වෑකඩට බසයෙන් පමණක් යෑමයි. අප දෙදෙනාට ම දිනකට වාර හතරට ම
සම්පූර්ණ බස් ගාස්තුව වූයේ ශත විස්සයි. එක වාරයකට අප දුන්නේ දෙන්නට පහයි කියා ශත පහක් පමණයි.
දුම්රිය ගාස්තුව එක් අයකුට එක් පාසල් වාරයකට රුපියල් දහතුනයි ශත පනහයි.
තර්ස්ටන් විදුහලේ අමතක නොවන ගුරුවරයකු වූයේ පහේ
පංතිය භාර ව සිටි වීරසේකර මහතා. මා එතුමා ගැනත් කලින් කියා ඇති. විදුහල්පති වූයේ
බර්ගර් ජනවර්ගයට අයත් ෂොක්මන් මහතා. එකල එංගලන්තය හා ඕස්ත්‍රේලියාව අතර ටෙස්ට් තරග
පැවැත්වෙන විට එතුමා වරින් වර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගෙන මුළු පාසලට ම
ඇහෙන්න ලකුණු තත්වය ප්‍රකාශ කළා. මා
පස්වැනි පංතියේ හරි තැන්වැනි පංතියේ හරි ඉන්න විට දිනක් පාසලේ ළමුන් සියලු දෙනා ම
පංති කාමරවලින් බැහැර වෙලා අහස දිහා බලා හිටියා. එදා තමයි අප ලංකාවේ ජෙට් යානයක්
දුටු පළමුවැනි දවස. කොහොම නමුත් තර්ස්ටන් විදුහලේ දී තමයි මට ගුරුවරයකු වීමේ අදහස
ඇති වුණෙ.