Main Logo

Saturday 8 October 2022

ජෙනීවා යන්නේ නිවටකම නිසා ද දුප්පත්කම නිසා ද?

 

ජෙනීවා යන්නේ නිවටකම නිසා ද දුප්පත්කම නිසා ද?

 

තවත් ජෙනීවා විගඩමක් ඉවරයි. මෙවර රටවල් විස්සක් ලංකාවට විරුද්ධ ව ඡන්දය දීලා. ඒ රටවල් හතලිස් හතකින්. ඒ කියන්නෙ බාගයක්වත් නැහැ. ගිය අවුරුද්දෙ රටවල් විසි දෙකක් අපට විරුද්ධ ව ඡන්දය දුන්නා. මෙවර දෙකක් අඩුවෙලා. ගිය වර අපට විරුද්ධ ව ඡන්දය දුන් බ්‍රසීලය මෙවර ඡන්දය දීමෙන් වැළකිලා. ඒ සඳහා එරට ලංකා තානාපති කාර්යාලය යම් මෙහෙයක් කර තියෙනවා.

 

ඒ කොහොම නමුත් ඔය යෝජනාව පයිසෙකට වැඩක් නැහැ. ඒ යෝජනාව අනුව අප වැඩ කළ යුතු නැහැ. අප එයට බැඳී නැහැ. අපට විරුද්ධ ව ඡන්දය දී ඇති රටවල් එක්කෝ බටහිර රටවල් නැත්නම් බටහිර ගැත්තන්. එක ම  ආසියාතික රටක්වත් අපට විරුද්ධ ව ඡන්දය දී නැහැ.

 

යහපාලනය යටතේ මංගල සමරවීර අපට විරුද්ධ ව බටහිරයන් සමග සම්මුතියකට ආවා. රනිල් ජනාධිපති වුුවත් ඔහුගේ බටහිර ගැතිකම කෙසේ වුවත් ඒ යහපාලන පාවාදීම් මෙවර කෙරුණේ නැහැ. මෙරට ඇතැමුන් ජෙනීවා යෝජනා ගැන ලොකුවට හිතනවා. සජබ වගේම සිංහල බෞද්ධ විරෝධි පඬිනැට්ටන් ද යෝජනාව සම්මත වීම ගැන මොණර නැටුම් රඟ දක්වනවා. ඒ එකක්වත් ඊනියා මානව අයිතිවාසිකම් රැකීමක් වෙනුවෙන් නො වෙයි.

 

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් විගඩමේ ඉන්නේ රටවල් හතලිස් හතයි. රටවල් හතලිස් හතෙන් විසිහතක් අපට විරුද්ධ වෙලා නැහැ. අපි එයත් මතක තබා ගනිමු. එහෙත් අපට විරුද්ධ ව ඡන්දය දී ඇති රටවල මානව අයිතිවාසිකම් කෙරුවා ව කොහොම ද? විදුරු ගෙවල් ඇතුලෙ නිරුවතින් හිටගැනීමක් බටහිරයන් කරන්නෙ. ඔවුන් තම ගැති රටවල් කිහිපයක් සමග අපේ මානව අයිතිවාසිකම් රැකීමක් ගැන කතා කරනවා.

 

අපට පොදුවේ  විරුද්ධව හා රණවිරුවන්ට විරුද්ධව කරණ චෝදනා එකක්වත් සැකයකින් තොරව ඔප්පු කරන්න පුළුවන් ද? දෙමළ ජනයා සමුලඝාතනය කළ බවක් කීවත් එය කිසිසේත් ම ඔප්පු වන්නේ නැහැ. අර දරුස්මාන් වාර්තාව චැනල් 4 දැන් එතරම් ඉදිරියට එන්නෙ නැහැ. ඒවා හි නිසරු බව බටහිරයන්ට හැරුණු විට අනෙක් අයට පෙනී ගොස් අවසන්. මට ප්‍රශ්නයක් තියෙනවා. ඔය කියන වකවානුවේ දී හමුදාවෙන් දෙමළ කතා කරන දේශපාලනඥයන් ඊනියා  බුද්ධිමතුන් ඝාතනය කෙරී තියෙනවා ද? දෙමළ කතා කරන දේශපාලනඥයන් ඝාතනය වුණා නම් ඒ කොටි ත්‍රස්තවාදීන්ගෙන්. ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පාගේ සිට අප්පපිල්ලෙයි  අමිරතලිංගම්  නීලන් තිරුචෙල්වම් දක්වා අය ඝාතනය කෙරුණේ කොටි විසින්. ඒ ඝාතනය වූ අයට ඊනියා මානව අයිතිවාසිකම් තිබුණෙ නැතුව වෙන්න ඇති.

 

සමහර දෙමළ කතා කරන දේශපාලනඥයන් කොටින්ගෙන් බේරුණේ හමුදා ආරක්‍ෂාව නිසා. ඩග්ලස් දේවානන්දා හොඳම ම උදාහරණය. අද සිවසිදම්බරම්වත් සුමන්තිරන්වත් අමිර්තලිංගම් ගැන කතා කරන්නේ නැහැ. ඔහු සමරන්න කිසිවකු ඉදිරිපත් වෙන්නෙ නැහැ. පරගලයෙදිවත් ඔවුන් සැමරුවෙ නැහැ. අර කතෝලික පූජකවරයාටත් අමතක වෙන්න ඇති.

 

බටහිරයන් මානව අයිතිවාසිකම් ගැන කියන්නෙ තමන්ගෙ අනුග්‍රහයෙන් කෙරෙන ක්‍රියා පැරදීම නිසා ඇති වූ හිත් වේදනාවෙන්. අද ඔවුන් කතා කරන්නෙ කොටින්ගෙ මානව අයිතිවාසිකම් හා පරගලකරුවන්ගෙ මානව අයිතිවාසිකම් ගැන. මෙරට නීතියට පටහැනි ව ක්‍රියා කරමින් රාජ්‍ය ආයතනවලට ඇතුල්වීමට ඇති අයිතිය මිනිසුන්ට නොදී ඒ අයගේ මානව අයිතිවාසිකම් කැඩූ පරගලකරුවන්ට නීතිය අනුව දඬුවම් කිරීමට බටහිර තානාපති කාර්යාල විරුද්ධ වෙනවා. ඉතා පැහැදිලිව පරගලය බටහිරයන්ගෙ අනුග්‍රහයෙන් මෙටාව (මුහුණු පොත- මෙටාවෙ ලකුණ අනන්තය බව පඬි නැට්ටන් නොදන්නා පාටයි. පඬි නැට්ටකු කියා තිබුණා අර හතර අතක් ඇති සංකේතය කියා. ඔහු හිතුව ද දන්නෙ නැහැ ඒ චතුස්කෝටිකයෙ සංකේතය කියා) යොදා ගෙන කරන ලද්දක්. බටහිරයන්ගෙ අවාසනාවට ජෙප්පන් හා සෙප්පන් එහි නායකත්වයට ආදේශ වෙන්න පටන් ගත්තා. රනිල් පරගලය පරාජය කෙළේ සෙප්පන් නිසා. ඔහු මුලින් අරගලයට සහාය දුන්නා. බටහිරයන් පරගලය ඇති කෙළේ ම රනිල් බලයට පත් කරන්න. සෙප්පන් පරාජය කළ යුතුව තිබුණා. දැන් රනිල් පරාජය කළ යුතුව තියෙනවා.

 

බටහිරයන් කොටි ත්‍රස්තවාදය ගැනත් ඊනියා මානව අයිතිවාසිකම් මඩගොහොරුවට බහින්නෙ එයත් ඔවුන්ගෙ අනුග්‍රයෙන් සිද්ධ වුණු දෙයක් නිසා. මෙහි මෙහෙයුම එංගලන්තයෙන්. ඔවුන්ට නන්දිකඩාල් පරාජයේ පලිය ගන්න තියෙනවා. අද භාවිතා වෙන වචනයක් යොදා ගත්තොත් ඇරියස් තියෙනවා. ජ වි පෙ පරාජය ගැන බටහිරයන් මානව අයිතිවාසිකම් රකින්න ගියෙ නැත්තෙ ඇයි?

 

1987 -90 කාලයෙ එවකට තිබූ එ ජා ප ආණ්ඩු ජ වි පෙ ත්‍රස්තවාදීන්ගෙ (ඔවුනුත් ත්‍රස්තවාදින්) මානව අයිතිවාසිකම් රකින්න ඇති. එවකට ජ වි පෙරමුණේ හා ආණ්ඩුවේ මරණ තර්ජනවලින් ගැලවීමට එංගලන්තයට ගොස් සිටි මා ද විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු ලේකම් ලෙස   ත්‍රීමාවිතාරණ වෛද්‍ය ශිෂ්‍යයා හා තවත් අය වෙනුවෙන් මැදිහත් වුණා. ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයට මා කිහිප විටක්ම ගිය නමුත් ඔවුන් ඒ ගැන කිසි සැලකිල්ලක් දැක්වූයේ නැහැ. විජේවීරගේ මානව අයිතිවාසිකම් ගැන බටහිරයන් තබා රනිල්දාසවත් සැලකිළිමත් වෙන්නෙ නැහැ. ඒ දවස්වල මහින්ද රාජපක්‍ෂ ජෙනීවා ගිය නමුත් එංගලන්තය හා බටහිර රටවල් ජෙනීවා ගියේ නැහැ. මානව අයිතිවාසිකම් බටහිරයන්ගෙ අනුග්‍රහය ලබන්නන්නට පමණයි.

 

ඔය ඉලවු මානව හිමිකම් සංවිධානයට රුසියාව තබා ඊශ්‍රායලයවත් තැකීමක් කරන්නෙ නැහැ. අප ඒ ගැන මෙතරම් වදවෙන්නෙ අපේ නිවටකම හින්ද ද? දුප්පත්කම හින්ද ද? ඒ දෙකම හින්ද ද? ජෙනීවා විගඩමට යන්න ඕන නැහැ. ඒ යෝජනාත් අප පයිසෙකට මායිම් කරන්න ඕන නැහැ.