Main Logo

Tuesday 11 October 2022

සූරංගනා කතාවක්

 

සූරංගනා කතාවක්

 

පරාජිත පරගලයේ මාස හයේ සැමරුම ගැන ලියන්න මට වුවමනාවක් තිබුණේ නැහැ. එහෙත් ළමයින් වඩා ගෙන ඊනියා උද්ඝෝෂණ පැවැත්වීම ගැන යමක් කියන්න ඕන කියල හිතුණා. බටහිරයන් මෙටාව (මුහුුණු පොත) මගින්  පරගලය සංවිධානය කළත් ඔවුන්ට කරන්න බැරි වූ දෙයක් තිබුණා. ඒ කරන්න ගියා නම් සම්පූර්ණයෙන් ම වැඩේ එළිදරවු වෙනවා. ඒ පරගලයට න්‍යායාචාර්යයන් සැපයීමයි. ඉන් සිදු වුණේ මෙරට න්‍යායාචාර්ය රොත්තක් බිහි වීමයි.

 

මා හොඳින් දන්නා කාරණය නම් මෙරටින් න්‍යායාචාර්යවරුන් බිහි කරගන්න නොහැකි බව. මෙරටින් ඉදිරිපත්වන  ඊනියා න්‍යායාචාර්යවරුන් සියල්ල අවුල් කර ගන්නවා. බටහිරයන් පරගලය නිර්මාණය කෙළේ ගෝඨාභයත් මහින්දත් ගෙදර යවා රනිල් බලයට පත් කර ගැනීමට මිස ඊනියා ක්‍රමය වෙනස් කිරීමකට නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ යම් ජාතිකත්වයක් තිබූ ආණ්ඩුවක් ඉවත් කර සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂිත තත්වය බාල්දු කිරීමටයි.

 

හතු මෙන් මෙරටින් පැන නැගුණු ඊනියා න්‍යායාචාර්යවරුන් පරගලය ජනතා නැගීටීමක් ලෙස දැක විවිධ ප්‍රශ්න නිසා තම මනසේ කැකෑරෙන හීනමානය පිළිබිඹු කරමින්  විප්ලවයක් ගැන කියවන්න පටන් ගත්තා. ආතල්ගම සරසවියක් පිහිටුවා ගත්තා. එහි දේශකයන් ලෙස කිසිම නිර්මාණශීලිත්වයක් නැති කිහිප දෙනෙක් සහභාගි වුණා. පරගලය විප්ලවයක් කියා සිතා ගෙන ඔවුන් තම මනසේ හොල්මන් කරන විකාර කියවන්න පටන් ගත්තා. ජනතාවක් ගැන කිවුවා. එක් මාධ්‍යයක් එය ජනඅරගලයක් ලෙස හැඳුන්නුවා. ඇතැමුන් ජනතා පරමාධිපත්‍යයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න පුළුවන් බව කිවුවා. එහෙත් ජනතා පරමාධිපත්‍යය ලැබෙන්නේ ව්‍යවස්ථාවෙන් ම බව ඔවුන්ට අමතක වුණා.

 

පරගලය සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් පමණක් නොව සිංහල බෞද්ධ ගොවිගම විරෝධයක් බවට ද පත් කෙරුණා. ඔය බොහෝ න්‍යායාචාර්යයන්ට කුලය නිසා ඇති වන හීනමානයක් තියෙනවා. ඒ හීනමානය නිසා පරගලයට පෙර සිට ම ඔවුන් කසිකබල් මාක්ස්වාදයේ (අර වැඩිහිටි සූරංගනා  කතාව) අනුසාරයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ඊනියා ධනපති පංතිය ලෙස දැක්කා. අද අප කළ යුත්තේ මේ හීනමානය වෙනුවට අභිමානයක් ඇති කිරීමයි. ඒ නිසා ම අද ජාතිය හා කුලය ගැන කතා කිරීම අවශ්‍ය වෙලා තියෙනවා. තම කුලය වහන් කිරීමට ගොවිගම ලෙස පෙනී සිටීමට කටයුතු කරන දේශපාලනඥයන් පමණක් නොව හාමුදුරුවරුන් ද ඉන්නවා.  

 

ගෝඨාභයට පරගලය දවස් දෙකකින් පරාජය කරන්න තිබුණා. එහෙත් ඔහු දරුවන් සන්දා එසේ කෙළේ නැහැ. අද ඔහුට දරුවනුත් නැහැ. ඔහු ලෝකයේ කොහේවත් නැති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් අනුගමනය කළා. හමුදාව යෙදවිය යුතු අවස්ථාවේ ඔහු එසේ කෙළේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ පරගලය සැණකෙළියක් බවට ද පත්වීමයි. ඊනියා ජනතාව දරුවන් ද රැගෙන ගෝල්පීස් ආවා. එ දිනවල මා එඩී ජයමාන්නගේ සිංදුව ද මතක් කරමින් ඒ ගැන සඳහන් කළා.

 

බටහිරන් ආරම්භ කෙරුණු පරගලයට එක් එක් අවස්ථාවේ දී නායකත්වය දෙන්න විවිධ කණ්ඩායම් හා පුද්ගලයන් ඉදිරිපත් වුණා. ජෙප්පන් හා සෙප්පන් පමණක් නොව සජීිත් ද නායකත්වයට ආදේශ වෙන්න උත්සාහ කළා. එහෙත් නායකත්වයට උරුමකරු වුණේ රනිල්. අර ආදේශක නායකයන් අතර තරගයක් ද ඇති වුණා. සජිත්ට ආතල්ගම දී පහර කෑමට සිදු වුණේ ඒ නිසයි. අනෙක් අයට ලැබුණු මුදල් ගැන ඒ ඒ අය කියන්න පටන් ගත්තා.

 

ඒ අතර කාදිනල්තුමා හා අගසවු දෙනම ද පරගලය අතට ගන්න හැදුවා. ඒ එක්තරා දේශපාලනඥයකු වෙනුවෙන්. එහෙත් එය සාර්ථක වුණේ නැහැ. අද ඒ දේශපාලනඥයා ඉන්නේ රනිල් එක්ක. එහෙත් තවම හැංගි හැංගි වෙස් මුහුණු බඳිනවා. පරගලයේ වැඩිය දකින්න ලැබුණේ අබෞද්ධ පූජකවරුන්. ඔවුන්ගේ කුලය හෙවුවොත් තවත් දේ කියන්න පුළුවන්.

 

ගෝඨාභයට ඩොලර් ලබා ගැනීමට කෙනකු හිටියේ නැහැ. ආර්ථික අර්බුදය ඔඩු දුවා තිබුණා. ඔහු රනිල් අගමැති කළා. පරගලය රනිල් බලයට පත් කිරීමට ම සැලසුම් කළ එකක්. මාක්ස්වාදී පඬි නැටි හොල්මන් එය පිළිගන්නේ නැහැ. ඒ අවස්ථාවේ පරගලය පරාජය කිරීමේ අවශ්‍යතාව ද තිබුණා. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට මුලින් ම පත් කෙළේ අර සුවාදීන වෙච්ච අය. සෙප්පන් පරගලයේ නායකත්වයට ආදේශ වීම රනිල්ට ප්‍රශ්නයක් වුණා. රුවන් විජේවර්ධන ලවා පරගලකරුවන්ට මුලින් ආරක්‍ෂාව සෑපයූ රනිල් පසුව සෙප්පන්ට පහර දුන්නා. පරගලය ආතල්ගමින් විසි වුණා. අර ආතල්ගමේ වස් විසූ හාමුදුරුවන් කිහිප නමකගෙ වස් කැඩුණා. උන්වහන්සේලාට පහුගිය පොහොයට වස් පවාරන්න අවශ්‍ය වෙන්න නැතුව ඇති. රනිල්ට ඩොලර් ඇත්තෙත් නැහැ. නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.

 

රනිල් පරගලය පරාජය කළ අන්දමට බටහිරයන් කැමති වුණෙ නැහැ. ඔවුන් පරගලකරුවන්ගෙ ඊනියා මානව අයිතිවාසිකම් ගැන කියවන්න පටන් ගත්තෙ මිනිමැරීම් ගෙවල් ගිනි තැබීම් රාජ්‍ය දේපොළ සාමාන්‍ය මිනිසුන්ට අහිමි කිරීම් ආදිය අමතක කරමින්. ඊනියා ජනතාව හිටියෙ සාමාන්‍ය මිනිසුන්ට උඩින්. අදත් බටහිරයන් පරගල අයිතිවාසිකම් ගැන කියවනවා. සාමාන්‍ය තත්වයක දී දේශපාලනය කරන්න ඕන පවතින රාමුව තුළ. ඒ නීතියට යටත්වෙමින් තමයි දේශපාලනය කළ යුත්තෙ. ඒත් අර න්‍යායාචාර්යයයන් හිතුවෙ පරගලය කියන්නෙ ඊනියා විප්ලවයක් කියල. ඔවුන් නීති කඩන්න උපදෙස් දුන්නා. දැන් ඉතින් පරගලය පරාජය වෙලා ඒ නීති කඩපු අයට නීතියට යටත් වෙන්න වෙලා. ඒත් න්‍යායාචාර්යයන් අනෙක් අයට නීති කඩන්න උපදෙස් දුන්නත් තමන් නීතිය කඩන්නෙ නැතුව ශරීර කූඩු රැක ගත්තා.

 

අද ඉන්නෙ ගෝඨාභය නොවෙයි. පරගලය කාලෙ ආතල්ගම සැණකෙළි බලන්න දරුවන් එක්ක ආවට කිසිම ප්‍රශ්නයක් වුණෙ නැහැ. ගෝඨාභය ආතල්ගම සැණකෙලි බිමක් කරල තිබුණා. ඒත් අද ඉන්නෙ පරගලයෙන් බලයට පත් කෙරුව රනිල්. ඔහු ආතල්ගම උද්ඝෝෂණවලට තහනම් කරලා. අද නීතිය ක්‍රියාත්මක කිරීමට රනිල් පසුබට වෙන්නෙ නැහැ. පරගලය සමරන්න ඇතැමුන් පැමිණ ඇත්තෙ ප්‍රභාකරන් අනුගමනය කරමින් දරුවන් පළිහක් කර ගනිමින්.

 

වාසනාවකට දරුවන්ට න්‍යායාචාර්යවරුන් කියන අන්දමේ ප්‍රශ්නයක් වෙලා නැහැ. ප්‍රශ්නයක් වුණා නම් එයට මූලික වරදකරුවන් වන්නේ හැමදාමත් තම ශරීර කූඩු පරෙස්සම් කර ගන්නා ඒ න්‍යායාචාර්යවරුන්. මාක්ස්වාදී සුරංගනා කතාවක සෙල්ලම් ගෙවල් හදන මේ න්‍යායාචාර්යවරුන් මගේ මේ කතාව සුරංගනා කතාවක් බව පවසාවි. ඒත් රනිල් බලයට එන බව ඒ සුරංගනා කතාවෙ මුල දී ම කියැවුණා. මේ සූරංගනා කතාව අනුව රනිල් හෙට අනිද්දා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නෙ නැහැ.