Main Logo

Saturday 15 October 2022

කෘෂි රසායන පිළිබඳ නැවතත්

 

කෘෂි රසායන පිළිබඳ නැවතත්

 

බොහෝ දෙනා හිතන්නේ ගෝඨාභය රාජපක්‍ෂ රසායනික පොහොර තහනම් කෙළේ අපේ කීමට කියා. එය සම්පූර්ණයෙන් ම වැරදි මතයක්. රාජපක්‍ෂලා මා කියන දෙයක් කිසි දවසක කණකට ගත්තෙ නැහැ. මා ශ්‍රී ල නි ප පොහොට්ටු දේශපාලනය ගැන කියන්නේ ඔවුන්ගේ ඇතැම් ජාතිකත්ව ප්‍රතිපත්ති නිසා පමණයි. එහෙත් ඔවුන් කිසි දිනෙක මා කියන දෙය පිළිගත්තේ නැහැ. වරක් මහින්ද රාජපක්‍ෂ කියා ඇත්තේ නලින් කියන විධියට වැඩ කරන්න බැහැ කියායි. ඒ බව මා කලිනුත් කියා ඇති. මේ ලිපියේ අලුතෙන් කිසිවක් නැහැ. මා කරන්නේ වැරදි මතයක් නිවැරදි කිරීම පමණයි.

 

රාජපක්‍ෂලා මුල ඉඳන් රසායනික පොහොර සඳහා සහානාධාර දුන්නා. පසුව නොමිලයේත් දුන්නා. ගෝඨාභය රාජපක්‍ෂත් බලයට පැමිණ මුල් කාලයේ රසායනික පොහොර නොමිලයේ ලබා දුන්නා. එහෙත් ආර්ථික අර්බුදයත් සමග පුංචි බණ්ඩා ජයසුන්දර දුන් එක් විසඳුමක් වුණෙ රසායනික පොහොර ගෙන්වීම නතර කිරීම. එය ක්‍ෂණික ව කළ දෙයක්. කිසිම සැලැස්මක් නැතුව (සැලැස්ම කියන එක නම් සිංහලයන්ට නැහැ) පොහොර ගෙන්වීම නතර කිරීමෙන් ආර්ථික අර්බුදය තවත් උත්සන්න වුණා. පොහොර නැවැත්වීම ගැන ආණ්ඩුව කිවුවේ එය වකුගඩුවට ද හානිකර බවයි. පොහොර නොමිලයේ දෙන විට වකුගඩුවට වුණෙ මොකක්ද කියා කිසිවකු කීවේ නැහැ.

 

අප රසායනික පොහොරවල හා පලිබෝධ නාශකවල ආසනික් ඇති බව කිවුවේ හුදෙක් ප්‍රියන්තා සේනානායක මහත්මියගේ කීම අනුව නොවෙයි. ඒ සම්බන්ධ පරීක්‍ෂණ කැලණිය විශ්වවිද්‍යාලයේ කෙරුණා. එහි දී අපට ප්‍රියන්තා කී දේ බටහිර විද්‍යාවෙන් ද පෙන්නුම් කරන්න පුළුවන් වුණා. එකල මා කැලණිය විද්‍යා පීඨයේ පීඨාධිපති. අප ඒ පොහොර හා පලිබෝධ නාශක ලංකාවට ගෙන්වන සමාගම් කැලණියට කැඳවා ඔවුන් ඉදිරියේ ඒ පර්යේෂණ ප්‍රතිඵල පෙන්නුවා. එහෙත් ඔවුන් කිසි දෙයක් කෙළේ නැහැ.

 

ආණ්ඩුවත් කිසිවක් කෙළේ නැහැ. සහල්වලත් ආසනික් අඩංගු බව අප කී විට බැසිල් රාජපක්‍ෂ අපට චෝදනා කෙළේ අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන මිනිසුන්ට බත් කෑම නවතා පාන් කවන්න  හදනවා කියා. සාමාන්‍යයෙන් කරන පරිදි රතන හිමි තම දේශපාලනය සඳහා පොහොර කතාව අතට ගත්තා. එතනින් අපේ කට වැහුණා. ජඩමාධ්‍යට කොහොමත් අප පෙනෙන්නේ නැහැ.

 

එහෙත් අප තවමත් අපේ කතාව අත්හැර නැහැ. ඒ රටට සේවයක් වේය කියන බලාපොරොත්ුවෙන් නම් නො වෙයි.  රටේ මිනිසුන් අප කියන දෙයක් අහන්නෙ නැත්නම් අප මොනව කරන්න ද? අපේ කතාවේ අංග දෙකක් තියෙනවා. එකක් අපේ දැනුම පිළිබඳ ව. අනෙක බටහිර විද්‍යාව පිළිබඳ ව.  මා විද්‍යාඥයකු වීමට නොහැකි වූ සිංහල බෞද්ධයෙක්. සිංහල බෞද්ධයන්ට විද්‍යාඥයන් වෙන්න බැහැ. දෙමළ හින්දු අයකුට ඒ සඳහා පොඩි සම්භාවිතාවක් (probabilty) තියෙනවා.

 

මේ ලිපි දෙමළ කතා කරන අයත්  කියවන බව මා අපේ තාත්තා ලිපිය ලිවීමෙන් පසු දැනගත්තා. අප කාගෙත් දෙමවුපියන් දරුවන් වෙනුවෙන් විශාල කැපකිරීම් කරල තියෙනවා. දෙමළ කතා කරන බටහිර වෛද්‍යවරයකු ලියා ඇත්තේ ඒ ලිපිය කියවීමෙන් තමාට ඇඬුනු බවයි. ඔහුගේ දෙමවුපියන් ද ගුරුවරු.  මා මින් පසු මතක් වුණොත් ඉංගිරිසි පාරිභාෂික වචන සඳහන් කරන්නේ ඔවුන් සඳහාත්.

 

බටහිර විද්‍යාව සමස්තය ගැන දක්වන්නේ අඩු සැලකිල්ලක්. ඔවුන් විශ්ලේෂණයට (analysis) සංස්ලේණයට (synthesis) වඩා තැනක් දෙනවා. මා බොහෝ කලකට පෙර ඒ බව විදුසර පත්තරේ සඳහන් කළ විට මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස අවි අමෝරාගෙන කිවුවේ බුදුදහමේ ද විශ්ලේෂණය තිබෙන බවයි. බුදුදහමේ ඔය කියන විශ්ලේෂණයක් නැහැ. එහි ඇත්තේ ප්‍රත්‍යක්‍ෂය. සිංහල බෞද්ධයන් මොන තරම් උත්සාහ කළත් බටහිර මට්ටමේ විශ්ලේෂකයන් වෙන්න බැහැ. එය ඊනියා නිරාගාමිකයන්ටත් පොදුයි.

 

බටහිර කෘෂි විද්‍යාව භෝගවල අස්වැන්න වැඩි කිරීමට උත්සාහ දරන්නේ ඉන් ඇතිවන අතුරු ඵල නොසලකමින්. ඔය රසායනික පොහොර හා පලිබෝධ නාශක යොදන්න කලින් නොතිබූ රෝග අද තියෙනවා. ඒ භෝගවලට පමණක් නොවෙයි. මිනිසුන්ටත් එක්ක. අද පස නිසරු වෙලා. පසට අවශ්‍ය කෘමීන් අද නැහැ. පස සරු කරන්න එක් රැයෙන් බැහැ. පුංචි බණ්ඩාත් සමස්තය ගැන බැලුවේ නැහැ. ඔහු පසේ නිසරු බව දැන නොසිටින්න ඇති. ඔහුට අවශ්‍ය වුණේ රජයට මුදල් (ඩොලර්) ටිකක් ඉතිරි කරන්න පමණයි.

 

සමස්තයෙ කතාව ඊයෙ පෙරේදා නොබෙල් තෑග්ග දිනු ඇස්පෙගෙ පරික්‍ෂණවලින් හා අයින්ස්ටයින් කී ඊනියා භූත ක්‍රියා (spooky action) වලිනුත් පෙන්නුම් කරනවා. වියුක්තය (abstract) සමග විශ්ලේෂණය වැඩි වෙනවා. සමස්තය නොදැකීම නිසා අද එක් පැතකින් දේශගුණික විපර්යාස සිදුවෙලා.

 

අප ප්‍රියන්තා මගින් දැන ගත්තේ නාථ දේව මණ්ඩලයෙන් ලැබුණු කතාවක්. අදත් නාථ දෙවියන් මිථ්‍යාවක් කියමින් විශ්වවිද්‍යාලවල ඉන්න පඬි නැට්ටන් මට ගරහනවා. කැලණියෙත් ඒ අය ඉන්නවා. ඔවුන් ඒ පිළිබඳ රැස්වීම් පැවැත්තුවා පමණක් නොව සිසුන්ට අත් පත්‍රිකා ද බෙදුවා! එහෙත් ඒ කිසිවකු  සිරිනිවාස රාමනුජන් නාමගිරි දෙවඟනගෙන් දැනුම ලබා ගනීම පිළිබඳ කිසිවක් කියන්නෙ නැහැ. ඒ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ හාඩිට බය නිසා ද? රාමනුජන් ගණිතයේ සාධන (proofs) ගැන තැකීමක් කළේ නැහැ. ඔහු ඇසුවේ දේව වචනය සාධනය කරන්න තියෙන අවශ්‍යතාව කුමක් ද යන්නයි.

 

පොහොර ගෙන්වීම නතර කෙළේ අප නිසා යැයි කියන පඬි නැට්ටන්ට ඇරිස්ගෙ හා පොපර්ගෙ  පිහිටයි.  ලබන අවුරුද්දේවත් ඔවුන්ගෙන් අයකුට නොබෙල් තෑග්ග ලැබේවා!