Main Logo

Wednesday 31 December 2014

පරමාණු හා අණු


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා එක්‌ දිනක්‌ ලියන දේ පසුව ලියන ලිපියකින් නිශේධ කරයි. ඇතැම් විට එක ම ලිපියෙහි එක ම ඡේදයෙහි ඔහු කියන්නේ පරස්‌පර විරෝධී කරුණු ය. ඔහු ගේ පරස්‌පර පාඨකයනට දැනගැනීමට සැලැස්‌වීමට නම් ඔහු ගේ ලිපිවල කොටස්‌ දීර්ඝ වශයෙන් උපුටා දැක්‌වීමට සිදු වෙයි. ඒ ගැන මට කරන්නට දෙයක්‌ නැත. ඔහු දෙසැම්බර් 03 වැනි දා ලිපියෙහි එක ම ඡේදයක මෙසේ කීවේ ය. (එහෙත් මම එය ඡේද දෙකක්‌ ලෙස උපුටා දක්‌වන්නේ පාඨකයා ගේ පහසුව සඳහා ය.)

"අවශ්‍ය නම් සමාජ විද්‍යාව උදාහරණයක්‌ ලෙස ගෙන ප්‍රශ්නය පටන්ගත හැක්‌කේ කෙසේ දැයි එම ලිපියේ සඳහන් කළෙමි. සමාජීය ක්‍රියාකාරකම් සිදු වන්නේ මිනිසා ගේ මොළයේ ස්‌නායු තුළ සිදු වන ක්‍ෂුද්‍ර භෞතික (Micro Physics) ක්‍රියාවලියක්‌ ලෙස බව පෙන්වා දුන්නෙමි. මේ සියල්ල සඳහා මතවාදය සැම විද්‍යාවක්‌ ම ආවරණය වන පරිදි නිර්මාණය කළ යුතු බව විද්‍යාඥයෝ වටහා ගත් හ. එකිනෙකා අතර සිදු වන ක්‍රියාවන් පවා සිදු වන්නේ මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියා නිසා බව පෙන්වා දිය හැකි බව ඔවුහු වටහා ගත් හ. 

එහෙත් ඉහත සඳහන් අන්දමට මොළයේ ක්‍රියාදාමයන් ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ බවට ඌන (Reduction) කිරීම කළ හැකි දෙයක්‌ දැයි ප්‍රශ්නයක්‌ පැනනගී. සියලු විද්‍යාවන් ආවරණය වන පරිදි එක ම මතවාදයක්‌ නිර්මාණය කළ හැකි ද? මනෝ විඥානය ජීව විද්‍යාවට අයත් වන්නකි. එය ක්‍ෂුද්‍ර විද්‍යාවක්‌ දක්‌වා ඌනනය කළ හැකි දැයි දාර්ශනික ප්‍රශ්නයක්‌ පැනනැගීම වළක්‌වා ලිය නොහැකි ය. අප ගේ සිතුම් පැතුම් රසායනික හෝ භෞතික හෝ ප්‍රතික්‍රියාවකට ඌන කළ හැකි ද?"

මෙහි පළමු කොටසෙන් කියෑවෙන්නේ සමාජයීය ක්‍රියාකාරකම් මිනිසා ගේ මොළයේ ස්‌නායුවල සිදු වන ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ නිසා සිදු වන බව අමරතුංග මහතා පෙන්වා දී ඇති බව ය. ඔහු එසේ කර ඇත්නම් එමගින් ඔහු විද්‍යාවට නව ප්‍රදානයක්‌ කර ඇත. එහෙත් ඔහු එසේ කර නැත. ඔහු කරන්නේ ඉංගිරිසියෙන් බටහිරයන් ලියා ඇති කරුණු ඔහුට තේරෙන ආකාරයකට සිංහලෙන් ලිවීම පමණ ය. ඔහු එහි දී උපයෝගී කරගන්නා පොත්පත්වල නම් වත් ඔහු සඳහන් නො කරයි. ඒ කෙසේ වෙතත් ඔහු පළමු කොටසෙන් කීමට තැත් කරන්නේ මිනිසුන් එකිනෙකා අතර ඇති වන ක්‍රියා පවා මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියා නිසා බව පෙන්වා දීමට හැකි යෑයි බටහිර විද්‍යාඥයන් දැන සිටි බව ය. අමරතුංග මහතා කියන පරිදි එකිනෙකා අතර සිදු වන ක්‍රියා ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියක්‌ ලෙස පෙන්වා දිය හැකි ය. 

මෙය ඌනිතවාදය මිස අනෙකක්‌ නො වේ. අමරතුංග මහතා කියන ආකාරයට බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාදාමයන් හා මිනිසුන් එකිනෙකා අතර සිදු වන ක්‍රියාකාරකම් ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවට ඌනනය කළ හැකි ය. අපි අමරතුංග මහතා ම දක්‌වන බටහිර විද්‍යාඥයන් ගේ අදහස්‌ අනුව ඌනනය කිරීම යනු කුමක්‌ දැයි පසුව සාකච්ඡා කරමු. එහෙත් එයට පළමුව අමරතුංග මහතා ඉහත සඳහන් දෙවැනි කොටසෙන් කියන්නේ කුමක්‌ ද යන්න පැහැදිලි කර ගැනීමට උත්සාහ දරමු. 

ඔහු දැන් පළමු කොටසෙන් (ඔහු ගේ ලිපියෙහි එක ම ඡේදයෙහි) කී දෙය ප්‍රශ්න කරයි. පළමු කොටස ලියා ඇත්තේ සැකයට බඳුන් කර නො වේ. පළමු කොටසෙන් නිශ්චිතව කියන්නේ මොළයේ ක්‍රියාදාමයන් හා ඒ නිසා මිනිසුන් අතර සිදු වන ක්‍රියා ඊනියා ක්‍ෂුද්‍ර භෞතික ක්‍රියාවලියකට, එබැවින් ඊනියා ක්‍ෂුද්‍ර භෞතික විද්‍යාවකට ඌනනය කළ හැකි බව ය. ඔහු ඒ බව නිශ්චිත ව කියයි. එහෙත් දෙවැනි කොටසෙන් ඔහු එසේ කළ හැකි ද යන ප්‍රශ්නය පැනනගින බව පවසයි. 

තමන් නිශ්චිත ව පැවසු දෙයක්‌ එසැණින් ම ඒ නිවැරැදි දැයි ප්‍රශ්න කරන්නේ කෙසේ ද? එක්‌කෝ අමරතුංග මහතාට තමන් කියවා ඇති පොතපත තේරුම්ගැනීමට නො හැකි ය. එසේත් නොමැති නම් ඔහුට පැහැදිලිව නිරවුල්ව අදහස්‌ ප්‍රකාශ කළ නො හැකි ය. එසේත් නොමැති නම් ඒ දෙක ම ය. අමරතුංග මහතා ගේ මනස පිළිබඳ ප්‍රශ්න පැනනගියි. අමරතුංග මහතා ගේ මනසෙහි ක්‍රියාකාරිත්වය කිසිවකට ඌනනය කළ හැකි ද?

කෙසේ වෙතත් බටහිර ජෛවීය විද්‍යාවන් හදාරා බටහිර භෞතික විද්‍යාව ගැන මහදැනමුත්තකු ලෙස ලියන අමරතුංග මහතා මනෝ විඥානය බටහිර ජීව විද්‍යාවට අයත් බව ඉහත සඳහන් දෙවැනි කොටසෙන් කියයි. අමරතුංග මහතා ජීව විද්‍යාව යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ ද? මනෝ විඥානය ගැන සාකච්ඡා කළ යුතු වන්නේ බටහිර විද්‍යාවන්ට අනුව නම් බටහිර මනෝ විද්‍යාවෙහි ය. එසේත් නැත්නම් මානසික විද්‍යාවෙහි ය. එසේත් නැතිනම් මනෝ විශ්ලේෂණයෙහි ය. මනෝ විද්‍යාව හෝ මානසික විද්‍යාව හෝ මනෝ විශ්ලේෂණය හෝ සාමාන්‍යයෙන් බටහිර විද්‍යා පීඨවල ඉගැන්වෙයි. ඒවා බටහිර වර්ගීකරණයට අනුව ඉගැන්වෙන්නේ මානව ශාස්‌ත්‍ර හෝ සමාජ විද්‍යා පීඨවල දර්ශන හා මනෝ විද්‍යා අධ්‍යයනංශයෙහි ය. නැත හොත් බටහිර වෛද්‍ය පීඨවල මානසික රෝග පිළිබඳ අධ්‍යයනංශවල ය. මනෝ විශ්ලේෂණය (ෆේ‍රdයිඩ් ගේ මනෝ විශ්ලේෂණය ද ඇතුළුව) බටහිර විද්‍යාවක්‌ ද යන ප්‍රශ්නය ඇතැම් බටහිර විද්‍යාඥයෝ ම නගති. 

මනෝ විඥානය බටහිර ජීව විද්‍යාවට අයත් බව පැවසීමෙන් අමරතුංග මහතා එක්‌ අතකින් මනෝ විද්‍යාව ජීව විද්‍යාවට ඌනනය කරයි. ඒ ඔහු ඌනනය කිරීම පිළිබඳව ප්‍රශ්න කරන අතර ය. අමරතුංග මහතා ගේ අසංගතභාවය එබඳු ය. ඔහුට පැහැදිලි ව සිතිය හැකි නම් ඔහු මෙබඳු වාක්‍ය එක ම ඡේදයක තබා ලිපි රාශියක වත් නො ලියනු ඇත. කෙසේ වෙතත් අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් ගේ මත පුනරුච්චාරණය කරමින් ඌනනය යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි විමසා බලමු.

"ඌනනය කිරීම යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ දැයි සලකා බැලිය යුතු ය. අර්නස්‌ට්‌ නයිජෙල් (Ernest Nigel) නමැති විද්‍යා දාර්ශනිකයා ස්‌වසිද්ධි මූලික අවබෝධය තුළ සිතා බලමින් කියා සිටියේ ඌනනය වූ මතවාදයක ස්‌වසිද්ධි භාවිත කොට ඌනනය කරන්නා වූ මතවාදයක ස්‌වසිද්ධි ලබාගත හැකි නම් එම මතවාදය විසින් අනෙක ඌනනය කෙරෙන බවයි.

මේ අදහස භාවිත කරගනිමින් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව දක්‌වා ඌනනය කිරීමට ද ඒ ලෙස ම මනෝ විද්‍යාව ස්‌නායු පිළිබඳ විද්‍යාව දක්‌වා ඌනනය කිරීමට ද විද්‍යා දාර්ශනිකයන්ට අවශ්‍ය විය. එහෙත් ප්‍රශ්නය වූයේ ජීව විද්‍යාවේ භාවිත වන වචන මාලාව භෞතික විද්‍යාවේ වචන මාලාවක්‌ සමඟ සම්බන්ධ කිරීමේ දී පාවිචිචි කළ හැකි මූලධර්මයක්‌ සොයාගැනීම උගහට වීම ය. උදාහරණයක්‌ ලෙස ජාන (genes) පිළිබඳ වචන මාලා සහ රසායනික විද්‍යාවේ වචන මාලා විසින් අණුව (molecule) වර්ගීකරණය කෙරෙන්නේ එක ම අන්දමකට හෝ සම්බන්ධ කිරීමට හැකි අන්දමකට හෝ නො වේ. මේ නිසා ඌනනය කිරීම දාර්ශනික ඇසින් බලන විට ලෙහෙසි දෙයක්‌ නො වන බව පෙනෙන්නට ඇත. මේ නිසා සියල්ල සඳහා එක්‌ මතවාදයක්‌ නිර්මාණය කිරීම කළ නොහැකි දෙයක්‌ බව සමහර දාර්ශනිකයන් ගේ අදහස විය. කරුණු මෙසේ හෙයින් අර්ථ විචාර අවබෝධය (sementic conception) විසින් ඉදිරිපත් කෙරෙන මතවාදය යනු ආකෘති එකතුවක්‌ (theory is a collection of models) යන සංකල්පය සැම විට ම අදාළ නො වන බව සමහරුන් ගේ අදහස විය. උදාහරණයක්‌ ලෙස ඔවුන් පෙන්වා දුන්නේ විද්වත් අයිසෙක්‌ නිවුටන් ගේ චලිතය පිළිබඳ දෙවැනි න්‍යාය සැම විට අදාළ නො වන බව ය. ආකෘති අදාළ වන්නේ යම් කිසි පිළිවෙළක්‌ පවතින අවස්‌ථාවල දී පමණක්‌ බව ය. කුලුනක මුදුනේ සිට මුදල් නෝට්‌ටුවක්‌ අතහැරිය හොත් එය වැටෙන්නේ නිවුටන් ගේ ඉහත සඳහන් න්‍යායට අනුව නො වන බව ඔවුහු පවසති. අභ්‍යවකාශ වස්‌තුන් ගේ හෝ ලම්බනයේ (pendulum) හෝ චලනය එම න්‍යායට අනුව සිදු වනවා වන්නට පුළුවන. එහෙත් සැම විට එම න්‍යාය භාවිත කළ නොහැකි බව ඔවුන් ගේ අදහස විය."

මෙහි ඌනනය සම්බන්ධයෙන් අමරතුංග මහතා කියන අදහස මුළුමනින් ම වැරැදි ය. එය ඔහු ගේ පරිවර්තනයෙහි දෝෂයක්‌ බව පැහැදිලි ය. ඌනනය වූ මතවාදයක (මේ කුමක්‌ දැයි පැහැදිලි නැති වුවත් ඒ යම් ක්‍ෂෙත්‍රයක ප්‍රවාද ඇතුළු දැනුම් පද්ධතිය ලෙස සලකමු) ස්‌වසිද්ධිවලින් ඌනනය කරන්නා වූ මතවාදයක ස්‌වසිද්ධි ලබාගත හැකි නො වේ. එහි දී සිදු වන්නේ අනෙක්‌ පැත්ත ය. එයත් ස්‌වසිද්ධිවලින් ස්‌වසිද්ධි ලබාගැනීම නො වේ. අමරතුංග මහතා පසුව සඳහන් කරන වචන (මාලා) පිළිබඳ ප්‍රශ්නය බටහිර දාර්ශනිකයන්ට ඇති වී තිබෙන්නේ මේ ස්‌වසිද්ධිවලින් ස්‌වසිද්ධි ලබාගන්නේ ය යන වැරැදි මතයෙහි ඔවුන් පිහිටා ඇති බැවිනි. එහි වරද නම් අමරතුංග මහතාට පැටවිය නො හැකි ය. වචන මාලා යනුවෙන් අමරතුංග මහතා සඳහන් කරන්නේ සංකල්ප යෑයි මම සිතමි. එය ඔහු දක්‌වන උදාහරණවලින් ද ගම්‍ය වෙයි. 

ජාන පිළිබඳ වචන මාලා හා රසායන විද්‍යාවේ වචන මාලා (සංකල්ප) යොදාගෙන අණුව වර්ගීකරණය කෙරෙන්නේ එක ම අන්දමකට හෝ සම්බන්ධ කිරීමට හැකි අන්දමකට හෝ නො වේ යෑයි යන්නෙන් අමරතුංග මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පැහැදිලි නැත. එහෙත් වචන මාලා යනු සංකල්ප යෑයි ගත හැකි ය. මෙහි වර්ගීකරණය යනු කුමක්‌ ද? අමරතුංග මහතා මේ භවයේ දී නම් වචන භාවිතය පිළිබඳ සැලකිල්ලක්‌ දැක්‌වීමට යොමු නො වන බව පැහැදිලි ය. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාවේ එක්‌ ක්‍ෂෙත්‍රයක දැනුම ප්‍රවාද කිහිපයකින් ලබාගත හැකි ය. මේ ප්‍රවාද ගොඩනැගී ඇත්තේ ඒ ක්‍ෂෙත්‍රයට සීමා වූ එසේත් නැත්නම් අනන්‍ය වු සංකල්ප පදනම් කරගනිමිනි. රසායන විද්‍යාවේ මූලික සංකල්පය අණුව ය. ඒ විද්‍යාවේ දී අධ්‍යයනය කෙරෙනුයේ අණු සම්බන්ධ වීම, වෙන් වීම ආදිය ය. ඒ පිළිබඳ ප්‍රවාද රසායන විද්‍යාවෙහි නිර්මාණය කෙරී ඇත. 

අණුවක්‌ පරමාණුවලින් සෑදෙන බව රසායන විද්‍යාවෙහි දී කියෑවෙයි. එහෙත් අණු එකතු වීමේ දී එසේ වන්නේ පරමාණු ලෙස නො වේ. පරමාණුවක ඇතැයි කියන ඉලෙක්‌ට්‍රොaන විවිධාකාරයෙන් බෙදා හදාගැනීමක්‌ එහි දී සිදු වෙයි. එසේ බෙදා හදාගැනීමෙන් පසු පරමාණුවක්‌ නැත. ඇත්තේ අණුවකි. අණුව බටහිර රසායන විද්‍යාවේ නිර්මාණයකි. පරමාණුව බටහිර භෞතික නිර්මාණයකි. අණු පිළිබඳ දැනුම ගොඩනගාගැනීමේ දී යොදාගෙන ඇති සංකල්පවලින් හා ප්‍රවාදවලින් විස්‌තර කළ නො හැකි ය. බටහිර දාර්ශනිකයන් සඳහන් කරන්නේ යෑයි කියන ඊනියා වචන මාලා ගැටලුව පැනනගින්නේ එලෙස ය. එයින් කියෑවෙන්නේ ආරම්භයේ දී ම ඌනිතවාදයෙහි ප්‍රශ්න ඇති බව ය. 

මතවාදයක්‌ යනු ආකෘතික එකතුවක්‌ ය යන්න ගැන අපි සඳහන් කර ඇත්තෙමු. ගුරුත්වාකර්ෂණය පිළිබඳ කතාවෙහි අමරතුංග මහතා කියවා ඇති පොතෙහි කතුවරයා නිවුටන්ට අසාධාරණයක්‌ කරයි. නිවුටන් ගේ චලිතය පිළිබඳ දෙවැනි නියමය ඔහු ගේ නිර්මාණයක්‌ බවත් එය ද පට්‌ටපල් බොරුවක්‌ බවත් පැහැදිලි ය. එහෙත් කුලුනක්‌ මුදුනේ සිට අතහරින ලද මුදල් නෝට්‌ටුවක්‌ වැටෙන්නේ නිවුටන් ගේ දෙවැනි නියමය අනුව නො වේ යෑයි කිව නො හැකි ය. එහි දී සිදු වන්නේ නිවුටන් කියන පරිදි හෝ ඔහු ගේ අනුගාමිකයන් පසුව කියා ඇති පරිදි හෝ ඊනියා ගුරුත්වාකර්ෂණ බලයට අමතරව වායු ප්‍රතිරෝධය නිසා ඇති වන බලය ආදිය යෙදීම ය.


නලින් ද සිල්වා

2014-12-31