Main Logo

Sunday 28 December 2014

බයියෝ හා ලෝකයෝ


මෙම ජනාධිපතිවරණය ජාතික හා විජාතික බලවේග අතර සටනකි. ජාතිකත්වය හා විජාතිකත්වය අතර සටනකි. රටේ නිදහස තව තවත් වර්ධනය කර ගැනීම හා නිදහස පාවාදී රට බටහිරයන්ගේ පාපන්දුවක් කිරීම අතර සටනකි. බටහිර ගැත්තන් හා අදීනයන් අතර කෙරෙන සටනකි. නිවටකම හා අභිමානය අතර සටනකි. දෙමළ ජාතිවාදය පැරදවීම හා දෙමළ ජාතිවාදයට රට පාවාදීම අතර සටනකි. දහතුන් වැනි සංශෝධනය ඉදිරියට ගෙන යෑම හා පොලිස් බලතල, ඉඩම් බලතල ආදිය ඉවත්කිරීමෙන් එය කප්පාදු කිරීම අතර සටනකි. බයියන් හා ලෝකයන් අතර සටනකි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ජනධිපතිතුමා කළ ප්‍රකාශයකට අනුව මෙරට බහුජාතියක් හා සුළුජාතීන් නො මැත. ඇත්තේ රටට ආදරය කරන්නන් හා ආදරය නොකරන්නන් ය.  එය එක්තරා ආකාරයකින් ගත්කල නව සංකල්පයකි. මෙරට බුද්ධිමතුන් යැයි කියන අයට නව සංකල්ප නැත. ඔවුන්ට කළ හැක්කේ බටහිරයන්ගේ දැනුම වැමෑරීම පමණකි. මහින්ද රාජපක්‍ෂ මහතා මේ අනුකාරකයන් මෙන් නොව අළුත් යමක් මෙරට දැනුමට එකතු කර ඇත. 

දේශප්‍රේමිහු රටට ආදරය කරති. ඔවුහු සිංහලයන් අතර නම් බොහෝ විට ගැමියෝ වෙති. එමෙන් ම ගැමියන්ගෙන් අතිමහත් බහුතරය දේශප්‍රේමීහු වෙති. මේ ගැමියෝ බයියන් නමින් හැඳින්වෙති. ඒ අතර සිංගිරිසියෙන් නම් බයියා යන්නට වෙනත් අර්ථකථනයක් ද ඇත. බයි යනු ඉංගිරිසියෙන් මිළ දී ගැනීම ය. එවිට බයියා යනු සිංගිරිසියෙන් මිළ දී ගනු ලැබීමට හැකි තැනැත්තෙකි. අද ඇතැම්හු මිළට විකිණෙති. ඔවුහු සිංගිරිසියෙන් බයියෝ වෙති. එවැනි බයියන් ගමේ මෙන් ම නගරයේ ද දැකිය හැකි ය. එකී බයියන් මුදලට පමණක් නොව තනතුරුවලට ද ගත හැකි ය. ජනාධිපති ධුරයට තරග කිරීම පවා බයියන් ලබන වාසියකි.

සිංගිරිසි අර්ථයෙන් නොව සාමාන්‍ය අර්ථයෙන් බයියෝ අතිමහත් බහුතරය රටට ආදරය කරති. ඔවුහු බටහිර දැනුමෙන් මුසපත් නො වෙති. ඔවුන්ට බටහිර දැනුම දේවත්වයෙන් ගතයුතු අනුකරණය කළ යුතු දෙයක් නො වේ. බටහිර දැනුම අවශ්‍ය පරිදි තම සංස්කෘතියට අවශෝෂණය කරගැනීමට ඔවුහු දනිති. ඔවුන්ට රත කල්කය විෂබීජ සහිත දෙයක් නො වේ. ඔවුන්ට විෂබීජ සංකල්පය කෙප්පයකි. අමුම අමු බයියකු වූ මට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි. බයියන් තමන් මෙරට රටවැසියන් බව පවසන්නේ අභිමානයෙනි. ඔවුන්ට ජාතිකත්වයක් ඇත. ඔවුහු ඊනියා ලෝක පුරවැසියෝ නො වෙති.

ලෝකයා යන්නට සාමාන්‍ය ව්‍යවහාරයෙහි අරථයක් ඇත. එහෙත් මෙහි දී ලෝකයා යන්න යොදා ගන්නේ ඒ සම්මත අර්ථයෙන් ම නො වේ. අපේ ලෝකයා ඊනියා ලෝක පුරවැසියෙකි. ඔහු තමන් ලෝක පුරවැසියකු බව පවසන්නේ ගර්වයෙනි. මෙරට වෑසියන් වූ බයියන් පහත්කොට සැලකීම ඒ ගර්වයෙහි ගැබ් වී ඇත. ලෝකයාට ඇත්තේ ලෝක දැනුමකි. ඔහු ලෝක ආකල්ප ලෝක සංකල්ප, ලෝක ප්‍රවාද, පොදුවේ ලෝක දැනුම අගයයි. එහෙත් මේ ඊනියා ලෝක දැනුම බටහිර දැනුමක් වීමත් ඒ බටහිරයන් විසින් පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක නිර්මාණය කරනු ලැබීමත් ඔහුට ප්‍රශ්නයක් නො වේ. ඔහුට පිළිගැනීමක් ලැබෙන්නේ බටහිර දැනුම ලෝක දැනුම බව පිළිගැනීමෙනි. ලෝකයාට බයියා යනු ලිංමැඩියෙකි. ලෝකයාට අනුව බයියෝ අතීතෝන්මාදයෙන් පෙළෙති. ඇතැම් ලෝකයන්ට අනුව මා වැනි ඇතැම් බයියන්ට ඇත්තේ පොඩි මොළ ය. එහෙත් මේ ලොකු මොළ කාරයෝ පොඩි මොළ කරයන් සමග විවාදයට නො එති. මේ ලෝකයෝ බටහිරයන්ට ගැති වෙති. බටහිරයන්ගේ දැනුම ඉදිරියේ දණ නමති. ප්‍රභාකරන් පැරදවිය නොහැකි යැයි කීවෝ ලෝකයෝ ය. ඒ බටහිරයන් අපට දෙන දැනුම යොදා ගනිමිනි.  ඔවුහු එමගින් සිංහලයන් මුළා කළහ. ඒ අතින් ගත්කල ඔවුහු සාමාන්‍ය අර්ථයෙන් ද ලෝකයෝ වෙති. 

අද මෙරට බයියන්ගේ නායකයා මහින්ද රාජපක්‍ෂ මහතා ය. ඔහු බටහිර දැනුමට පිටින් ගොස් දෙමළ ත්‍රස්තවාදය පැරදවීමට දේශපාලන නායකත්වය ලබා දුන්නේ ය. අනුවේ දශකයේ ඊනියා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇළවූ ද ජාතිය යනු මළකඳක් යැයි කිවූ ද, බටහිර පශ්චාත්නූතන දැනුමක් පසුපස ගියා වු ද  මංගල සමරවීර සමග එක් වී රටවැසි පෙරමුණ පිහිටුවා ගෙන ෆෙඩරල් හෙවත් රට බෙදීමේ දේශපාලනයක යෙදුණාවු ද වචනයේ සියළු අර්ථවලින් (පරිසමාප්තාර්ථයෙන්) ලෝකයන් වූ ජාතික හෙළ උරුමයේ නායකයෝ ප්‍රභාකරන්ට විරුද්ධව මාවිල්ආරුවෙන් යුද්ධය ආරම්භ කළේ තමන් යැයි රටට ඒත්තු ගැන්වීමට උත්සාහ කරති. එහෙත් මෙරට බයියෝ ප්‍රභාකරන් පැරදවිය හැකි බවත් පැරදවිය යුතු බවත් හැත්තෑගණන්වල සිට ම දැන සිටියහ. අනෙක් අතට ආරක්‍ෂක ලේකම්තුමා ඊනියා යුද්ධය සඳහා සූදානම් වී ඇත්තේ  2005 සිට ය. මහින්ද රාජපක්‍ෂ මහතා බයියන්ගේ නායකයා පමණක් නොව ජනාධිපතිවරණයේ දී බයියන්ගේ අපේක්‍ෂකයා ද වෙයි. 

එහෙත් ලෝකයන් ගැන කිව හැක්කේ කුමක් ද? ඔවුන්ගේ නායිකාව චන්ද්‍රිකා කුමාරතුංග ය. නියෝජ්‍ය නායකයා රනිල් වික්‍රමසිංහ ය. ඔවුහු දෙදෙනාම බටහිරයන්ගේ විශේෂයෙන් ම ඉංගිරිසින්ගේ නියෝජිතයන් වූ ලෝකයෝ වෙති. එහෙත් ලෝකයන්ගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ජනාධිපතිධුරය සඳහා බයියකු වූ (සිංගිරිසි අර්ථයෙන්) මෛත්‍රිපාල සිරිසේන ය. ලෝකයන් අතර සිටින දුර්වල ම හා නිවට ම අයකු  වූ මෛත්‍රිපාල බටහිරයන්ගේ (ලෝකයන්ගේ) අපේක්‍ෂකයා වී ඇත්තේ චන්ද්‍රිකාට හා බටහිරයන්ට රිසිසේ ඔහු නැටවිය හැකි බැවිනි. ලෝකයන්ට ද සිහින දැකීමට බටහිර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත. මේ සිතල දුරුත්තේ සිහින පෙනීම අරුමයක් නො වේ. ලෝකයන්ගේ  සිහින ආණ්ඩුවේ පඹ ජනාධිපති මෛත්‍රිපාල ය. සැබෑ ජනාධිපති චන්ද්‍රිකා ය. අගමැති රනිල් ය. චම්පිකට ව්‍යවස්ථාවේ නැති වුවත් ඊනියා නියෝජ්‍ය අගමැතිකම ලැබෙනු ඇත. 

අද ලෝකයන්ට අවශ්‍ය කරනුයේ දෙමළ ජාතිවාදයට රට පාවාදුමට ය. මෛත්‍රිපාලගේ ජනාධිපති රචනයෙහි රටේ ආරක්‍ෂාව ගැන නො කියැවෙයි. එහෙත් ඒ වෙනුවට රණවිරුවන්ට එරෙහි ඊනියා යුද්ධාපරාධ ගැන දේශීය යුද්ධාධිකරණයක් පැවැත්වීමට යෝජනා කර ඇත. එය පැහැදිලිව ම බටහිරයන්ගේ අවශ්‍යතාව අනුව කෙරෙන්නකි. එහි දී රණවිරුවන් පමණක් නොව ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා ද වරදකරුවන් කරනු ඇත. ඉන් පසු ඔවුන් බටහිරයන්ට පාවා දෙනු ඇත. මෛත්‍රිපාල හින්දු පුවත්පතට කර ඇති ප්‍රකාශවලින් කියැවෙන්නේ උතුරේ හමුදා කඳවුරු ඉවත්කරන බව ය.  එහෙත් ඒ සියල්ල සිදුවන්නේ සිහින ලෝකයෙහි ය. මෛත්‍රිපාලගේ රචනයට බටහිරයන්ගෙන් ඒ ශ්‍රේණියක් ලැබෙනු ඇත. අද ලෝකයන්ට අවශ්‍ය අවුරුදු දෙකකට නැවතත් 2002 –- 2004 තිබු ආණ්ඩුවක් පිහිටුවීම ය. ඊනියා සටන් විරාම ගිවිසුම ඇතිවූයේ ඒ ආණ්ඩු කාලයෙහි ය. එයට අත්සන් කළේ රනිල් වුවත් චන්ද්‍රිකා ද වගකිව යුතු ය. චන්ද්‍රිකාට ව්‍යවස්ථාවේ 33 (ඊ) වගන්තිය යටතේ අවශ්‍ය නම් ගිවිසුම අවලංගු කිරීමට තිබිණි. එහෙත් ඇය එසේ නො කළා ය. රනිල් හා චන්ද්‍රිකා අතර මතභේද තිබිණ ද, බටහිරයන්ට සේවය කරන ලෝකයන් ලෙස ඔවුහු එකාවන් ව ක්‍රියාකරති. සිහින ආණ්ඩුවේ අපේක්‍ෂාව දහතුනට එහා ගොස් බටහිරයන්ට අවශ්‍ය පරිදි් විසිරුණු දෙමළ ජනයා, එ ජාප, දෙමළ ජාතික සංධානය, චන්ද්‍රිකා, මෛත්‍රිපාල, ජාතික හෙළ උරුමය ජ වි පෙ ආදී පක්‍ෂ හා පුද්ගලයන් යොදාගෙන දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. නැවතත් දෙමළ ත්‍රස්තවාදය ඇතිකර රට ලේ විලක් බවට පත්කිරීම ය. ඔවුන් අද ඊනියා යහපාලනයක් ගැන කතාකරන්නේ එක් පැත්තකින් ඔවුන්ගේ වහපාලන හා ගහපාලන අතීතය අමතක කරමින් රටේ සැබෑ ප්‍රශ්නය වූ නිදහස පිළිබඳ ප්‍රශ්නය යට ගැසීමට ය. අනෙක පැත්තෙන් මහින්්ද රාජපක්‍ෂ මහතා ඒකාධිපතියකු ලෙස ලොවට හඳුන්වා ආසියාවේ අප්‍රිකාවේ හා දකුණු අමරිකාවේ ශක්තිමත් නායකයන්ට අත්කර දෙන ඉරණම ඒ මහතාට ද අත්කර දීමට බටහිරයන්ට අවශ්‍ය වෙයි. 

අද දෙමළ හා මුස්ලිම් ජනයා අතර ද දේශප්‍රේමීහු වෙති. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසයට හා දෙමළ ජාතික සංධානයට පැහැදිලි තීරණයක් ගැනීමට තවමත් නොහැකි  වී ඇත්තෙ එබැවිනි. බටහිරයන්ට අවශ්‍ය එහි නායකයන් මෛත්‍රිපාලට පුර්ණ සහයෝගය දෙනු දැකීමට ය. බටහිරයෝ එහි නායකයන් එක මතයකට ගෙන ඒමට සියළු වෙර දරති. මෑත දී අමෙරිකන් තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී සන්දීප් ක්‍රොස් වන්නියේ සංචාරය කළේ ඒ සමගිය ඇති කිරීමට ය. අද සිංහල බයියන් සමග දෙමළ හා මුස්ලිම් බයියන් ද එකතු වී ලෝකයන් පැරදවීම සිකුරු නමුත් එයට වඩා ඔබ්බට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතාට 65%ක ඡන්දයක් ලබා දිය යුත්තේ බටහිරයන්ගේ නොනගත අරාබි වසන්ත ආදී සියළු සැලසුම් පරාජය කිරීමට ය.     



නලින් ද සිල්වා

2014-12-28