Main Logo

Sunday 7 December 2014

මෛත්‍රිපාල චන්ද්‍රිකා එ ජා ප ගිවිසුම කුමක් සඳහා ද


මෛත්‍රදපාල සිරිසේන මහතාට ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට සිදු වී ඇත. ඔහු ඊනියා පොදු අපේක්‍ෂකයා වුවත්  පොදු විපක්‍ෂයක් නැත. සිරිසේන මහතාට ජා හෙළ උරුමය, දෙමළ ජාතික සංධානය සමග වෙන වෙන ම ගිවිසුම් අත්සන් කිරීමට සිදු වී ඇත. ඒ ගිවිසුම් එක් පැත්තකින් ජනතාව නොමග යැවීමට ය. අනෙක් පැත්තෙන් ඊනියා පොදු අපේක්‍ෂක කතාව තහවුරු කිරීම සඳහා ය. පොදු විපක්‍ෂයක් නැති වුවත් පොදු ගිවිසුමක් නැතිවුවත් අවසානයේ දී ක්‍රියාත්මක වනුයේ මෛත්‍රිපාල චන්ද්‍රිකා එ ජාප ගිවිසුමේ කොටස් ය. එම ගිවිසුමට විවිධ පුද්ගලයන් හා සංවිධාන අත්සන් කර ඇති නමුත් ඒ සංවිධාන බොහෝ විට එක පුද්ගල සංවිධාන වෙයි. ඒ සංවිධාන හා පුද්ගලයෝ (සරත් ෆොන්සේකා මහතා ද ඇතුළුව) හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩ පමණක් වෙති. 

මේ ගිවිසුම අපි ප්‍රධාන ගිවිසුම ලෙස හඳුන්වමු. හෙළ උරුමයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීම මිස වෙනත් කිසිවක් නො වේ. එම පක්‍ෂයට ජනතා මිතුරෝ සමයෙහි සිට ම ජාතිකත්වයක් නො තිබිනි. ඔවුහු කලක් ජාතිය යනඑ මළ කඳක් යැයි කීවෝ ය. පසුව ඉල්ලුමක් ඇතැයි සිතමින් ජාතිකත්වය වෙනුවෙන් ව්‍යාජ රඟපෑමක යෙදුණහ. අද නැවතත් ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා පැරදවීම සඳහා එ ජා ප හා දෙමළ ජාතික සංධානය සමග එකතු වී ඇත. ඉදිරි කාලයේ දී ඔවුන්ගේ ව්‍යාජ රංගනය තව තවත් හෙළිදරවු කරමි. ඔවුන් මංගල සමරවීර වැන්නන් සමග එකතු වී ඇත්තේ අද ඊයේ නො වේ. මට ඔවුන්ගේ අවුරුදු විසිපහකට අධික ද්‍රෝහී ඉතිහාසය පිළිබඳ ව මෙරට වෙනත් කිසිවකුට වඩා අත්දැකීම් ඇත.

ප්‍රධාන ගිවිසුමෙහි සඳහන් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ආදිය ව්‍යාජ කතා පමණ ය. එ ජාප සමයෙහි තිබී ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ආදිය ගැන සාමාන්‍ය ජනතාවට මනා අවබෝධයක් ඇත. සෝභිත හිමියන්ට ඒ සියල්ල අමතක වී ඇත්නම් සමහර විට ඒ වයස නිසා විය හැකි ය. ඒ කෙසේ වෙතත් අධිකරණයට ගල් ගැසීම්, පාතාලයේ සුනිල් ලා ආදීන් ගෙන ගිය යහපාලනය ගැන දන්නෝ දනිති. අද පාතාලයේ බොහෝ චරිත දක්නට නැත. ඔවුන් පරළොව ගොස් ඇත්නම් ඒ යහපාලනයට එකඟ නොවන්නේ යැයි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීහු කියත් ද? යහපාලනය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ආදිය පිළිබඳ කතාව සිවල් (සිවිල් නො වේ) සමාජවලට බටහිර රාජ්‍ය සංවිධානවලට නන්නත්තාර වූ වාමාංශිකයන්ට හා ඇතැම් ජඩමාධ්‍යවලට සීමා වී ඇත. මේ ජඩමධ්‍ය නොවන්නට මෙරට අද ඇත්තේ ජේ ආර්, ප්‍රෙමදාස, චන්ද්‍රිකා, රනිල් යුගවල තිබි පාලනයට වඩා යහපත් පාලනයක් බව සැඟවිය නො හැකි ය. 

කෙසේ වෙතත් මේ සියළු ගිවිසුම් බටහිරයන්ගේ අවශ්‍යතා අනුව සකස්වන බව පැහැදිලි ය. මෙරට ප්‍රශ්නය යහපාලනයක් නැතිකම හෝ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය නැතිකම හෝ නොව දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. ප්‍රශ්නය දහනව වැනි සියවසේ දෙවැනි දශකය කරා දිව යයි. ඒ පිළිබඳ විස්තර ප්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි දැක්වෙයි. හැකිනම් එහි ඇති කරුණුවලට අභියෝග කරන මෙන් යහපාලකයන්ගෙන් හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් ඉල්ලා සිටිමි. දෙමළ ජාතිවාදය එංගලන්තයේ නිර්මාණයක් වෙයි. එය පෝෂණය කර හදාවඩා ගත්තෝ ද ඉංගිරිසිහු ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ දොශපාලන නායකත්වයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මග පෙන්වීමෙන් හා රණවිරුවන්ගේ කැපකිරීමෙන් දෙමළ ත්‍රස්තවාදය පැරදවීමට අපි සමත්වීමු. එය හෙළ උරුමයේ වැඩක් නො වේ. ඔවුහු ඊනියා යුද්ධයට විරුද්ධව එකල පෝස්ටර ඇළවුහ. අප අවුරුදු විසිපහකට අධික කාලයක දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි බව හා කළ යුතු බව බොහෝ විට තනියම කියද්දී ඔවුහු අපට විරුද්ධ වුහ. 

අද බටහිර රටවල දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. එහි දී එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ඒ රටවල සිටින විසිරුණු දෙමළ ජනයා යොදා ගනියි. ඔවුන්ට දෙමළ ත්‍රස්තවාදය පැරදවූ, එමෙන් ම ඉදිරි වසර පහ තුළ දෙමළ ජාතිවාදය පරාජය කරන මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමේ අවශ්‍යතාව ඇත. ලෝක දෙමළ සංසදයේ සුරේන්ද්‍රන්ලා මහින්ද රාජපක්‍ෂ මහතා දංගෙඩියට යැවීම ගැන කතාකරති. එහෙත් මේ සියල්ල අවුරුදු කිහිපයක් තිස්සේ අපි කියා ඇත්තෙමු. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිව සිටින තාක් ඒ මහතා ඊනියා ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යෑමේ අපහසුතාව පෙන්වා දුන් අපි බටහිරයන් ඒ මහතා ජනාධිපතිධුරයෙන් ඉවත්කර දංගෙඩියට යැවීමට කටයුතු කරන බව අපි කීවෙමු. අද සුරේන් සුරෙන්ද්‍රන්ගේ කතාව ගැන ලෝකයට ඇසෙන්නට කතාකරන සියළු දෙනා ම පාහේ සෑම වදට ම කරන පරිදි අපේ පුරෝකථන නොසළකා හැරියහ. ංද ද ඔවුහු අප ඒ බවක් කී බව අමතක කරති. 

සෝභිත හිමියන්ගේ යහපාලන කතා පටන්ගත්තේ සිවල් සමාජවල අවශ්‍යතාවට ය. බටහිරයන්ගේ අවශ්‍යතා අනුව බොහෝ විට ඔවුන්ගේ මුදලින් නඩත්තු වන සිවල් සාමාජිකයෝ මහින්ද රාජපක්‍ෂ මහතා ඒකාධිපතියකු ලෙස හැඳින්වීමට උත්සාහ කළහ. සෝභිත හිමියන් ක්‍රියාත්මක වූයේ ඒ පසුබිමෙහි ය. ජේ ආර් ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් අදීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියල්ලන්ට අමතක විය. ඔවුන්ගේ එකම පැතුම වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වීමට නුසුදසු ඒකාධිපතියකු බවට ජනතාව අතර මතයක් ඇති කිරීම ය. අවසානයේ දී ජනාධිපතිවරණයෙන් ඒ මහතා පරාජය කර චන්ද්‍රිකාගේ සහාය ලබන රනිලගේ ආණ්ඩුවක් ඇති කිරීම ය. ඒ පිටුපස සිටින්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ එමෙන් ම දෙමළ ජාතිවාදය පරාජය කිරීමට අධිෂ්ඨාන කරගෙන ඇති මහින්ද රාජප’ක්‍ෂ මහතා පරාජය කර දංගෙඩියට යැවීම ය. 

මෛත්‍රිපාල සිරිසේන මහතා රුකඩයක් පමණකි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යනු බොරු කතාවක් පමණකි. ඒ මහතා අත්සන් කරන විවිධ ගිවිසුම්වල ඒ පිළිබඳ ඇත්තේ විවිධ කතා ය. හෙළ උරුමයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය නැත. රනිල්ට හෝ චන්ද්‍රිකාට හෝ අවශ්‍ය නැත. ඊනියා දින සීයේ මාස හයේ කතා ජනතාව නිදි කරවීමේ අරමුණෙන් කියන සූරංගනා කතා පමණකි. ආණ්ඩුවේ අමතිවරු මෙහි දී සිදුවීමට යන්නේ කුමක් දැයි පැහැදිලි කළ යුතුව ඇත. බටහිරට අවශ්‍ය රනිල්ට ව්‍යවස්ථාව යටතේ ම විධායක ජනාධිපති ධුරයේ බලතල පවරා මෛත්‍රිපාල සිරිසේන මහතා හුදු රුකඩයක් බවට පත්කිරීම ය. ඔවුන්ගේ තක්සේරුව අනුව ව්‍යාජ සිංහල බෞද්ධ ප්‍රතිරුපයක් ඇති සිරිසේන මහතාට රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සිංහල බෞද්ධ ඡන්ද ලබාගැනීමේ හැකියාවක් ඇත. ඔවුන්ට අවශ්‍ය ඌරගෙ මාළු උගේ පිටේ තබා කැපීමට ය. 

බොහෝ දෙනා නොදනිතත් මෛත්‍රිපාල සිරසේන මහතා ජනාධිපති වුවහොත් (එය දවල් සිහිනයක් පමණකි) ඔහුර ව්‍යවස්ථාවේ 43 වගනතිය යටතේ පාර්ලිමේන්තුවේ වැඩි පක්‍ෂපාතීත්වයක් ඇතැයි ඔහු සිතන අයකු අගමැති ලෙස පත්කළ හැකි ය. ඒ තැනැත්තට පාර්ලදමේන්තුවේ වැඩි බලයක් තිබේ ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්කෙරෙනු ඇත. ඉන්පසු ව්‍යවස්ථාවේ 37(1) වගන්තිය යටතේ එසේ පත්කරනු ලැබූ අගමැතිවරයා විධායක ජනාධිපති ධුරයේ කාර්යභාර  ඉටුකිරීම  සඳහා පත්කෙරෙනු ඇත. එහි දී අවශ්‍ය වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට විධායක ජනධිපති ධුරයේ කාර්යභාර ඉටුකිරීමට කිනම් හේතුවක් නිසා නොහැකි බව පිළිගැනීම පමණකි. මෛත්‍රිපාල සිරිසේන මහතාට තම නොහැකියාව පිළිගැනීමට සිදුවනු ඇත. ඉන්පසු මෙරට විධායක ජනාධිපතිධුරයේ කාර්යභාර ඉටුකරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ය. ඔහු බටහිරයන්ගේ දෙමළ ජාතිවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇත්තේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ පරිදි චන්ද්‍රිකා කුමාරතුංහ මහත්මියගේ ද කැමැත්ත පරිදි ය.      

නලින් ද සිල්වා

2014-12-07