Main Logo

Wednesday 7 January 2015

ප්‍රත්‍යක්‍ෂ හා ප්‍රත්‍යක්‍ෂ නො වන දැනුම්


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මේ විවාදයෙන් පැන ගොස්‌ බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනම ගැන පොතකින් තමාට (නො) තේරෙන දැනුමක්‌ පරස්‌පර සහිත ව ඉදිරිපත් කළ ද විවාදයෙහි තේමාව වූයේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු ය යන්න ය. අමරතුංග මහතා ගේ පරස්‌පර ගැන අපි ලබන සතියේ නැවතත් කතා කරමු. එහෙත් මේ සතියෙහි විවාදයෙහි තේමාවට සීමා වෙමු. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව මම විවාදය ආරම්භයේ දී ම පෙන්වා දුන්නෙමි. පසුව එය බුදුදහම ඇසුරෙන් තහවුරු කළෙමි. පාඨකයන් ගේ යහපත සඳහා ඒ සියලු අදහස්‌ මෙසේ ගොනු කරමු. බුදුදහමට අනුව අපේ (පෘථග්ජනයන් ගේ) සියලු සංකල්ප, ප්‍රවාද ඇතුළත් දැනුම මුසා වෙයි. මේ දැනුම කොටස්‌ තුනකට බෙදිය හැකි ය. ඒ මනසෙක්‌ පමණක්‌ ගන්නා ප්‍රත්‍යක්‍ෂ, මනස හා පංචෙන්ද්‍රිය එකතු වී ගන්නා ප්‍රත්‍යක්‍ෂ හා ප්‍රත්‍යක්‍ෂ නො වන දැනුම ය. 

විවාදය ආරම්භයේ දී ම අමරතුංග මහතා ප්‍රත්‍යක්‍ෂවලට සිනාසිණි. එය සමච්චලයට ලක්‌ කළේ ය. ඔහුට ප්‍රත්‍යක්‍ෂ ගැන කිසි ම වැටහීමක්‌ නො වී ය. ඔහු පොතපතින් ප්‍රත්‍යක්‍ෂ ගැන කරුණු ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ ය. එමගින් ඔහු මා කී කරුණු තහවුරු කළේ ය. ප්‍රත්‍යක්‍ෂ යනු ප්‍රත්‍ය අක්‍ෂ බවත් එහි තේරුම ඇස්‌ ඉදිරිපිට යන්න බවත් ඔහු කියා සිටියේ ය. ඔහු කියන දෙයට අනුව වුවත් එහි තේරුම අන් කිසිවක්‌ නො ව සෘජු ව ඇස්‌වලින් ලබාගන්නා දැනුම ය. මෙහි දී අප මතක තබාගත යුත්තක්‌ නම් ඇසට පමණක්‌ දැනුම ලබාගත නොහැකි බවත් එහි දී මනස ද සහභාගී වන බවත් ය. එමෙන් ම මේ සියලු දැනුම අපේ නිර්මාණ බවත් දැනුම ලබාගැනීම යනු හුදු සම්මුතියක්‌ බවත්, ඒ නිර්මාණ බුදුදහමට අනුව මුසා බවත් ය. මනස ද මනස විසින් ම නිර්මාණය කෙරෙන මුසාවකි. 

කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ යනු පංචෙන්ද්‍රියන් මගින් ලැබෙන (මනස විසින් නිර්මාණය කෙරෙන) සෘජු දැනුම ය. එහි නිරුක්‌තියට අක්‍ෂි යන්න වැදගත් වුවත් ප්‍රත්‍යක්‍ෂ සැම ඉන්ද්‍රියක්‌ සම්බන්ධයෙන් ම ඇත. කණ හා මනස එක්‌ වීමෙන් මෙන් ම නාසය හා මනස එක්‌ වීමෙන් ද ප්‍රත්‍යක්‍ෂ ලැබෙයි. ප්‍රත්‍යක්‍ෂ ඉහත සඳහන් පරිදි කොටස්‌ දෙකකට බෙදිය (වර්ග කළ) හැකි ය. ඒ පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ නො වී මනසෙන් පමණක්‌ කෙරෙන ප්‍රත්‍යක්‍ෂ හා පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන ප්‍රත්‍යක්‍ෂ යනුවෙනි. ඒ අවස්‌ථා දෙකෙහි ම ප්‍රත්‍යක්‍ෂයෙන් ගන්නා දැනුම නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනස සියල්ලට මුල් වෙයි. මනස ප්‍රධාන වෙයි. 

අප පුටුව පිළිබඳ දැනුම ඇති කරගන්නේ මනස හා පංචෙන්ද්‍රිය එකතු වී නිර්මාණය කරන ප්‍රත්‍යක්‍ෂය හේතු කොටගෙන ය. එහි ඇත්තේ පුටුව යන සංකල්පය පමණ ය. එය Rජු ප්‍රත්‍යක්‍ෂයකි. එය වර්තමානයෙහි පවතින (නිර්මාණය කරගත්) දැනුමකි. ඇතැම්හු මනස දියුණු කිරීමෙන් (භාවනා යෝග ආදී ක්‍රමවලින්) පංචෙන්ද්‍රිය නොමැති ව දැනුම ලබාගනිති. (නිර්මාණය කරති) ඇතැමුන්ට දෙවියන් දෘෂ්‍යමාන වෙයි. මෙහි දෘෂ්‍යමාන යන්න යොදාගත්ත ද ඒ ඇසට පෙනෙන්නක්‌ නො වේ. ඒ "පෙනෙන්නේ" මනසට ය. දෙවියන් පෙනෙන්නන්ට ඒ ප්‍රත්‍යක්‍ෂ දැනුමකි. 

ඒ පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක්‌ නො වේ. එහෙත් එපමණකින් ඒ නැතැයි කිව නො හැකි ය. සම්මුති වශයෙන් ගත් කල පුටුව මෙන් ම දෙවියන් ද ඇතැමුන්ට ඇත. සැම දෙනකුට ම පුටුව යන දැනුම ඇතැයි හෝ සියල්ලට ම පුටුව පිළිබඳ දැනුම එක යෑයි හෝ නො සිතිය යුතු ය. පුටු නොමැති සංස්‌කෘතියක ජීවත් වන්නන්ට වෙනත් සංස්‌කෘතියක පුටු දැක නැත්නම් පුටු පිළිබඳ කිසි ම දැනුමක්‌ නැත. එමෙන් ම අප කලින් ද සඳහන් කර ඇති පරිදි දරුවකු ගේ පුටුව පිළිබඳ දැනුම වැඩිහිටියකු ගේ පුටුව පිළිබඳ දැනුමෙන් වෙනස්‌ විය හැකි ය. දරුවාට බසයේ ආසන ද පුටු විය හැකි ය. 

පැරැණි ඍෂිවරුන් මනසින් පමණක්‌ දැනුම නිර්මාණය කර ඇති බව පැහැදිලි ය. සෘෂි යන්නෙහි තේරුම දකින්නා යන්න ය. ඍෂිවරුන් දකින්නේ ඇස්‌වල ආධාරයෙන් නො වේ. ඔවුහු මනසින් ම දකිති. බටහිරයන් කියන අන්දමට පොළොව හිරු වටා ගමන් කරන බව සොයාගත්තේ කොපර්නිකස්‌ ය. එහෙත් එයට අවුරුදු දහස්‌ ගණනකට පෙර භාරතීයයෝ ඒ බව දැන සිටිය හ. එසේ දකින්නට ඇත්තේ සෘෂිවරුන් ය. සෘෂිවරුන් ඒ බව මනසින් දකින්නට ඇති බව පැහැදිලි ය. Rෂිවරුන්ට පෙළොව හිරු වටා ගමන් කිරීම ප්‍රත්‍යක්‍ෂ විය. අරාබි වෙළෙන්දන් ගෙන් පෝලන්තය ඇතුළු නැෙගනහිර යුරෝපයට ගිය එම දැනුම පෝලන්ත වැසියකු වූ කොපර්නිකස්‌ තමා පූජකවරය ලබාගැනීමට ඉතාලියට ගිය විට රැගෙන ගියේ ය. එහෙත් බටහිරයෝ කොපර්නිකස්‌ පමණක්‌ දැනුමේ පියා බවට පත් කරති.

එහෙත් කොපර්නිකස්‌ට හෝ බටහිර විද්‍යාඥයන්ට හෝ ඒ ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ නො වේ. ඔවුන්ට ඒ සෘජු දැනුමක්‌ නො වේ. ඒ දැනුම ඔවුන් ගේ මනස්‌ ඉදිරිපිට නැත. එහෙත් ඒ දැනුම සෘෂිවරුන් ගේ මනස්‌ ඉදිරිපිට සෘජු ව ම වෙයි. පුටුව හෝ දෙවියන් හෝ සෘෂිවරුන් ගේ හිරු වටා පොළොවෙහි චලිතය හෝ සෘජු දැනුම් වන්නේ ඒවාට සංකල්ප නොමැති නිසා නො වේ. සංකල්පවලින් තොර වූ දැනුමක්‌ පෘථග්ජනයන්ට නැත. සංකල්පවලට වචන අවශ්‍ය ම නො වේ. භාෂාවක්‌ නො දන්නා ළදරුවන්ට පමණක්‌ නො ව සතුන්ට ද දෙවියන්ට ද අමනුෂ්‍යයන්ට ද සංකල්ප ඇත. සංකල්පයක්‌ ඇතැම් විට චිත්ත රූපයක්‌ විය හැකි ය. 

ප්‍රත්‍යක්‌ෂවල දී සංකල්ප යොදාගැනෙයි. එහෙත් ඉන් ඔබ්බට යන දැනුමක්‌ නැත. ප්‍රත්‍යක්‌ෂ නො වන දැනුම එසේ නො වේ. ඒ උපකල්පන ය, එසේත් නැත්නම් හිතළු ය. එසේත් නැත්නම් ඉතිහාසය වැනි දැනුමකි. ඒ දැනුම් ඇතැම් විට මනසෙන් (සිතෙන්) මවාගත හැකි ය. තවත් දේ හිතෙන් වත් මවාගත නො හැකි ය. උපකල්පන හා හිතළු ප්‍රත්‍යක්‌ෂ නො වන බව ප්‍රත්‍යක්‌ෂවලට සිනාසෙන අමරතුංග මහතාට වුවත් වැටහෙනු නො අනුමාන ය. එහෙත් ඉතිහාසය පිළිබඳ දැනුම ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? ගැමුණු රජු අප බොහෝ දෙනකු ගේ වීරයා වුව ද එතුමා පිළිබඳ දැනුම ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. ඒ දැනුම ජනප්‍රවාදයෙහි මෙන් ම පොතපතෙහි ද සඳහන් ය. කෙසේ වුවත් එතුමා විසින් කරවන ලද බව පැවසෙන රුවැන්වැලි සෑය, මිරිසවැටිය ආදිය ප්‍රත්‍යක්‌ෂ දැනුම් වෙයි. 

මෙහි දී ඒ ප්‍රත්‍යක්‌ෂ දැනුම් ගැන සඳහනක්‌ කළ යුතු ය. අප අනුරාධපුරයට ගොස්‌ ඒ චෛත්‍ය දැක බලාගෙන වැඳ පුදාගන්නේ නම් එවිට ඒ වර්තමානයෙහි වූ ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ වෙයි. ඒ ප්‍රත්‍යක්‌ෂ දැනුම පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් (සමගින්) මනස විසින් නිර්මාණය කෙරෙයි. එය සෘජු දැනුමකි. දැන් අප ගෙදර ගොස්‌ ඒ චෛත්‍ය සිතෙන් මවාගන්නා විට අපට ඇත්තේ මනසෙන් පමණක්‌ ගන්නා දැනුමකි. එය ද ප්‍රත්‍යක්‍ෂයකි. එය වෙනත් දැනුමක්‌ නොමැති ව සිතෙන් මවාගත හැකි ය. එය සෘජු දැනුමකි. එමෙන් ම එය වර්තමානයෙහි පවත්නා දැනුමකි. 

එහෙත් ගැමුණු රජු පිළිබඳ දැනුම එසේ වූ ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. අපට ගැමුණු රජු සිතෙන් මවාගත හැකි ය. එහෙත් ඒ අප කිසි දිනෙක දැක ඇති ගැමුණු රජ කෙනකු නො වේ. ගැමුණු රජු සිතෙන් මවාගැනීම හා මිරිසවැටිය සිතෙන් මවාගැනීම අතර වෙනසක්‌ වෙයි. අප මිරිසවැටිය සිතෙන් මවාගන්නේ ඒ ඇසෙන් දැකීමෙන් පසුව ය. එහෙත් අප ගැමුණු රජු සිතෙන් මවාගන්නේ එතුමා දැකීමෙන් පසුව නො වේ. පළමුවැන්න ප්‍රත්‍යක්‌ෂයකි. දෙවැන්න ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. 

එසේ නම් අපට ගැමුණු රජු ගැන දැනුමක්‌ ලැබෙන්නේ කෙසේ ද? අපි ජනප්‍රවාදයෙහි ඇති දැනුම, මහාවංසය වැනි පොතපතෙහි ඇති දැනුම හා අපට පෙනෙන්නට ඇති චෛත්‍ය වැනි වස්‌තු සමග එකට ගනිමු. මිරිසවැටිය අපට දක්‌නට හැකි ය. එය ඉදි කරවනු ලැබුවේ කවුරුන් විසින් ද? ඒ ප්‍රශ්නයට අපට පිළිතුරක්‌ වෙයි. පොතපතෙහි ඇති දැනුම හා ජනප්‍රවාදයෙහි ඇති දැනුම අනුව ඒ ගැමුණු රජු විසිනි. ඒ දැනුම් සංගත වෙයි. පොතෙහි සඳහන් වන්නේ මිරිසවැටිය ගැමුණු රජතුමා විසින් කරවන ලද බව ය. ඉතිහාසය පිළිබඳ අපට ඇත්තේ එවැනි සංගත දැනුම් ය. ගැමුණු රජු පිළිබඳ දැනුම පට්‌ටපල් බොරුවක්‌ නො වේ. එසේ වුවත් එය ද මුසාවකි. ඒ බුදුදහම අනුව පුද්ගලයකු නැති බැවිනි. අප විසින් වෙනත් පුද්ගලයෝ ද මවනු ලැබෙති. බුදුදහමට අනුව මිරිසවැටිය යනුවෙන් ඊනියා වාස්‌තවික චෛත්‍යයක්‌ ද නැත. එය ද මුසාවකි. 

බටහිර විද්‍යාවෙහි ඇත්තේ වෙනත් ආකාරයක දැනුමකි. එහි දී අපට පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඇත. මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පළමුවෙන් ම බටහිර විද්‍යාඥයන් විසින් සාධාරණීකරණයට ලක්‌ කෙරෙයි. සාධාරණීකරණය වූ දැනුම වියුක්‌ත දැනුමකි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. කිසිවකුට යම් කරුණක්‌ සම්බන්ධයෙන් සියලු නිරීක්‌ෂණ කළ නො හැකි ය. සියලු බටහිර විද්‍යාඥයන් එකතු වුවත් ඒ කළ හැකි නො වේ. සියලු කපුටන් නිරික්‌ෂණය කර ඔවුන් ගේ පාට පිළිබඳ යමක්‌ කිව නො හැකිය. බටහිර විද්‍යාඥයන් කරන්නේ නිරීක්‌ෂණ කිහිපයකින් සියලු කපුටන් කළු පාට යෑයි උද්ගමනය කිරීම ය. එය වියුක්‌ත ය. සියලු කපුටන් යන්න ම වියුක්‌ත සංකල්පයකි. ඒ මනසෙන් (සිතෙන්) මවාගත නො හැකි ය. අමරතුංග මහතාට එසේ කළ හැකි දැයි නො දනිමි. 

සමස්‌ත ගහණය නිරික්‌ෂණය නො කර නියෑදි කිහිපයක්‌ පමණක්‌ නිරීක්‌ෂණය කර වියුක්‌ත උද්ගමනය ප්‍රකාශ කළ පසු ඒ නියෑදි විසින් සමස්‌ත ගහණය නිරූපණය කෙරෙන්නේ ද යන ප්‍රශ්නය පැනනගී. ඒ සඳහා බටහිර විද්‍යාඥයෝ බටහිර සංඛ්‍යානය යොදාගනිති. එහි දී විවිධ පරීක්‌ෂණ යොදාගනිමින් යම් සම්භාවිතාවකට යටත් ව ඒ නියෑදි මගින් සමස්‌ත ගහණය නිරූපණය කෙරෙන බව පැවසෙයි. මෙය පට්‌ටපල් බොරුවලට ඊනියා වැදගත්කමක්‌ දීමේ ක්‍රමයකි. 

උද්ගමනයෙන් ලබාගන්නා වියුක්‌ත දැනුම තේරුම්ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඊළඟට පැනනගී. වියුක්‌ත දැනුම සංයුක්‌ත දැනුමෙන් තේරුම්ගත හැකි නො වේ. බටහිර භෞතික විද්‍යාඥයකු හා දාර්ශනිකයකු වූ අර්නස්‌ට්‌ මාක්‌ වරද්දාගත්තේ මෙහි දී ය. ඔහු කියා සිටියේ බටහිර භෞතික විද්‍යාවෙහි වියුක්‌ත සංකල්ප හා වියුක්‌ත ප්‍රවාද යොදා නො ගත යුතු බව ය. එහෙත් වියුක්‌ත උද්ගමන සංයුක්‌ත ව තේරුම්ගැනීමට නොහැකි බව ඔහු වටහා නො ගත්තේ ය. 

බටහිර විද්‍යාවෙහි වියුක්‌ත උද්ගමන නිර්මාණය කිරීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ වියුක්‌ත හිතළු (අනුමිනිත) ඉදිරිපත් කරති. ඉන්පසු ඒ වියුක්‌ත හිතළුවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් වියුක්‌ත නිගමනවලට පැමිණෙති. ඔවුහු ඒ වියුක්‌ත නිගමන සංයුක්‌ත නිරීක්‍ෂණ සමග සන්සන්දනය කර වඩා සාර්ථක හිතළුව (එනම් සංයුක්‌ත නිරීක්‍ෂණ සමග වඩා ගැලපෙන) ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කරති. මෙය කෙතරම් දුරට ඊනියා සත්‍යය හෙළිදරවු කරන්නේ ද? බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද බවට පත් වන හිතළු පට්‌ටපල් බොරු වෙයි. ඒ වියුක්‌ත ය. අඩු ම තරමෙන් සිතෙන් මවාගැනීමට වත් නො හැකි ය. බටහිර විද්‍යාවේ බංකොළොත් දර්ශනයට අනුව අප තෝරාගත යුත්තේ වඩා සාර්ථක පට්‌ටපල් බොරුව ය.


නලින් ද සිල්වා

2015-01-07