Main Logo

Sunday 4 January 2015

විපක්ෂයට නායකත්වය දෙන්නේ තානාපතිවරු දෙන්නෙක්


ජනාධිපතිවරණ දින ළං වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයගේ ජයග්‍රහණයට කිසිම තරගයක් නැති තැනට ඇවිල්ලා තියෙනවා. දැන් ප්‍රශ්නය තියෙන්නේ එතුමා ගන්න වැඩි ඡන්ද ගණන පිළිබඳවයි.

සති අන්තය වෙනකොට පැහැදිලිව කඳවුරු දෙකකට වෙන්වෙලා තියනවා. ඒ ජාතිකත්වයට තැන දෙන කණ්ඩායම හා විජාතිකත්වයට කත් අදින කණ්ඩායම ලෙසයි. මෙතැනදි ජාතිකත්වයට තැන දෙන කණ්ඩායමට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයයි.

විජාතිකත්වයට කත් අදින කණ්ඩායමට නායකත්වය දෙන්නේ මෙරට අලුත් බ්‍රිතාන්‍ය තානාපතිවරයා හා ඇමෙරිකානු තානාපතිවරියයි. ඔවුන්ගේ මෙරට ඍජු නියෝජිතයන් ලෙස චන්ද්‍රිකා රනිල්, සුමන්තිරන්, හකීම් යන හතර දෙනා ක්‍රියා කරනවා.

මේ අය මේ රටේ ප්‍රභූ පද්ධතියට අයිති අය කියලනේ කියන්නේ. මේ විජාතික බලවේගයේ මේ හතර දෙනා ඍජුව නියෝජිතයන් ලෙස ක්‍රියා කරනකොට ඔවුන්ගේ ඉත්තා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කරනවා. මෙතන ඉන්න තවත් ඉත්තෙක් තමයි පාඨලී චම්පික රණවක මහතා.

දැන් කෙළින් ම ඉදිරිපත් නොවුණත් මේ ඉන්ටර්නැෂනල් ඒ කියන්නෙ අන්තර්ජාතික බලවේගයේ මුල්ම ඉත්තා වුණේ මේ ප්‍රශ්නය. මුලින් ම යහපාලනය, යහපාලනය කියමින් ඇති කළේ කනගාටුවෙන් වුණත් කියන්න ඕන මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ.

උන්වහන්සේව අද අර හොද්දට දාපු කරපිංචා කොළේ වගේ ඉවතට විසි කරල තියනවා. උන්වහන්සේගෙන් ගන්න වැඩ දැන් ඉවරයි. රතන හාමුදුරුවන්වත් ‍අන්තිමේට මේ විදියටම විසිවන බවට සැකයක් නැහැ.

හකීම්ල, රිශාඩ් බදුර්දීන්ල දැන් මේ අසුද්ධ සන්ධානයට එකතුවෙලා තියෙනවා. මේ අය මේකට එකතුවීම ගැන මොකක් හරි බොරුවක් කියනවා. මේ රිශාඩ් ඇමැතිවරයා බොදුබල සන්ධානය ආණ්ඩුවට එකතුවීම නිසා මෛත්‍රීපාලට සහය දෙනව කිව්වා. 2010 ත් හකීම්ල සහාය දුන්නේ සරත් ෆොන්සේකාට තමයි.

පොඩි වෙනසකට තියෙන්නේ මේ කියන බලවේගයට හෙළ උරුමය චම්පික මහත්තයල වගේ හෙළ උරුමයේ නායකයෝ කීපදෙනෙක් මේ අයට එකතු වුණත් හෙළ උරුමයේ අති බහුතරය ආණ්ඩුවට සහාය දීමෙන් ඉවත්වෙලා නැහැ. ඔවුන් අදත් ගම්මන්පිල මහතා එක්ක මහින්ද රාජපක්ෂ මහතා නැවත ජනාධිපති කරවන්න ඡන්දය දෙනවා. ඒ නිසා හෙළ උරුමයේ නායකයන් කීප දෙනෙක් ගියා කියලා ආණ්ඩුවට කොහොමත් බලපෑමක් වෙන එකක් නැහැ.

හකීම් ඇයි ආණ්ඩුව හැර ගියේ. මුස්ලිම් කොංග්‍රසය කල්මුණේ සිට අක්කරපත්තුව දක්වා ඉල්ලපු වෙනම මුස්ලිම් කලාපය ජනාධිපතිවරයා ‍නොදීම නිසා ඔවුන් මෛත්‍රීට එකතු වුණේ ඔහු ඒ කලාපය දෙන්න එකඟවුණු නිසානේ. එහෙම මුස්ලිම් කලාපයක් නැ‍ඟෙනහිර පළාතෙන් දෙන්න බැරි නම් වෙනම අතිරේක ලේකම්වරයෙක් හරි දෙන්න කියලා හකීම් ආණ්ඩුවෙන් ඉල්ලා තිබුණා.

ලංකාවේ කිසිම කාලයක දිස්ත්‍රික් මායිම් බෙදීම ජනවාර්ගික පදනම මත කරල නැහැ. සුද්දගෙ කාලෙත් ඒ බෙදීම් කරල තියෙන්නේ භූගෝලීය පදනමකින්. එතකොට ජනාධිපතිතුමා මේ මුස්ලිම් කලාපය දෙන්න බැහැ කිව්වම කැබිනට් එක එයට එකඟ නොවුණම හකීම්ගේ ඉල්ලීම චන්ද්‍රිකා, රනිල් පිළිගත්තා. එහෙම දෙන්න එකඟ නොවුණා නම් ඡන්දෙ දීම ප්‍රතික්ෂේප කිරීමක් හෝ මධ්‍යස්ථව ඉන්න ඔවුන් තීරණයක් ගන්න ඕනනේ. එහෙම තීරණයකට නෑවිත් සිරිසේන මහත්තය සහාය දීමටම එකඟ වුණේ ඒ අයගේ ඉල්ලීමට එකඟවුණ නිසානේ. පෙන්නන්න ගිවිසුමක් නැති වුණත් ඇත්ත කතාව මේකයි. ගිවිසුමත් පස්සේ එළියට ඒවි.

ඒ වගේම තමයි දෙමළ ජාතික සන්ධානයත් සිරිසේන මහත්තයට දැන් සහාය දෙන්න තීරණය කරල තියෙන්නේ. මේක ඉලන්කෙයි තමිල් අරසුකච්චි පක්ෂය හෙවත් දෙමළ රාජ්‍ය පක්ෂය මේකට ඒ කාලේ ෆෙඩරල් පක්ෂය කියල බොරුවට කිව්වා. ඔවුන් එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා මේ පක්ෂයේ ආරම්භකයා මුල ඉඳල බලාපොරොත්තු වුණේ ෆෙඩරල් රාජ්‍යයකට එහා යන විසඳුමක්. චෙල්වනායගම්ගේ ප්‍රතිපත්තිය වුණේ අද ටිකක්. හෙට ගොඩක් කියන එකයි. ටික, ටික අරගෙන ගොඩ ගොඩ කර ගැනීම ඔහුගේ ප්‍රතිපත්තිය වුණා.

මොකක්ද ජාතික දෙමළ සන්ධානයේ ඉල්ලීම වුණේ. ඔවුන්ගේ පසුගිය කාලය තුළම ඉල්ලීම් වුණේ රට බෙදන ඉල්ලීම්. හමුදා කඳවුරු ඉවත් කරන්න. හමුදාව අස් කරන්න උතුරු නැ‍ඟෙනහිර පළාත් එකතු කරන්න ඔවුන් පසුගිය කාලය තුළ ඉල්ලුවා. දැන් දෙමළ ජාතික සන්ධානය මෛත්‍රීපාල මහතාට එකතු වෙලා තියෙන්නේ මේ ඔවුන්ගේ ඉල්ලීම් දෙන්න එකඟ වීම නිසා. මෙතන රහස් ගිවිසුමක් තියෙනවා.

මේ රටේ මුලින් ම රහස් ගිවිසුමක් ඇති කර ගත්තේ 1965 ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම. 1965 ඡන්දෙට ඉස්සෙල්ලා ඇති කරගත් මේ ගිවිසුම අනුව 1965 හත් හවුල් ආණ්ඩුව බලයට පත්වෙලා. ඒ ආණ්ඩුව දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත ගෙනාවා. මේ පනතට විරුද්ධව විහාරමහා දේවි උද්‍යානයේ ඉඳල පරණ පාර්ලිමේන්තුව දක්වා විරෝධතා පෙළපාළියක් ගියා. මේ ඡන්දය තියන ජනවාරි 8 වැනිදත් ඓතිහාසික දිනයක්. එම පෙළපාළියේ ගිය දඹ‍රාවේ රතනසාර හාමුදුරුවන් වෙඩි තියල අපවත් කෙරුවෙත් කොල්ලුපිටිය හන්දිය ආසන්නයේදී 1966 ජනවාරි 8 වැනිදා තමයි. ඒක තමයි එදා ඇති කර ගත්තු රහස් ගිවිසුමේ ප්‍රතිඵල වුණේ.

මේ කියන රහස් ගිවිසුමෙන් ප්‍රතිඵලය රට බෙදීම තමයි. මෛත්‍රීපාල මහත්තයා චෙන්නෙයිවල පළවන හින්දු පත්‍රයට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියල තිබුණා ඉතා වැදගත් දෙයක්. ඒ උතුරේ හමුදා කඳවුරු අඩු කරනවා කියලා.

උතුරු නැගෙනහිර එකතු කරන්න පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් පුළුවන්. 154 (1) 13 වැනි සංශෝධනය යටතේ 3 වැනි වගන්තිය යටතේ පළාත් දෙකක් ‍හෝ වැඩි ගණනක් පාර්ලිමේන්තු වැඩි ඡන්දයෙන් එකතු කරන්න පුළුවන්.

දෙමළ ජාතික පක්ෂය ඉල්ලුවේ දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගන්න කියලා. දෙමළ නිජ භූමියක් තියනව කියල පිළිගන්න කියලා. 1976 වඩුකොඩෙයි යෝජනාවේ දෙමළ විමුක්ති පෙරමුණ යෝජනා සම්මත කර ගත්තේ වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවන්න. අද මෛත්‍රීපාල මහත්තය පිළිගෙන තියනව දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනව කියලා.

අවුරුදු විස්සක් තිස්සේ අපි අහන්නේ මේ රටේ දෙමළ ජනතාවට තියන සිංහල ජනතාවට නැති විශේෂ ප්‍රශ්නය මොකක්ද කියලයි. දෙමළ ජනතාවගේ එහෙම ප්‍රශ්නයක් තියෙනව නම් උතුරු නැ‍ඟෙනහිරට පමණක් බලය දීල හරියන්නේ නැහැ.

මොකද දෙමළ ජනතාවගෙන් සීයට හැටක් ම ඉන්නේ උතුරු නැ‍ඟෙනහිරින් පිට බස්නාහිර, දකුණ, ඌව වැනි අනෙක් පළාත්වල. එහෙම ප්‍රශ්නයක් තියනව නම් එතකොට ලංකාවෙම ඉන්න දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳන්න ඕන. එදා එස්.එල්. ගුණසේකර මහතා පාර්ලිමේන්තුවේදී පොන්නම්බලම් මහතාගෙන් ඇහුව්වා දෙමළ අයට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. එයා කිව්වේ ආදායම් බදු ගෙවන ‍පෝර්මය එයාට ලැබුණේ සිංහලෙන් කියලා. ඒක බොරුවක්. මොකද ලංකාවේ රජයේ පෝරම භාෂා තුනෙන් ම මුද්‍රණය කරල තිබුණේ. ඔවුන් නැති ප්‍රශ්නක් ඇති කරල පෙන්නන්න හැදුවෙ.

මේ සියල්ලටම මුල තමයි 1815 දී සුද්දන් එක්ක අස්සන් කරපු සිංහල - ඉංග්‍රිසි ගිවිසුම. ඒකට උඩරට ගිවිසුම කියන එක වැරැදියි. මේ මේ විදියට කරනවා කියලා සිංහල විදියේ පාලනයක් දෙනවා බුද්ධාගම ආරක්ෂා කරන්න ඕන කියල ඒ ගිවිසුමෙන් පොරොන්දු වුණා. ක්‍රිස්තියානි, කතෝලික රටවල ඒ ආගම් රකින්න වගේ මේ බෞද්ධ රටේ බුද්ධාගම රකින්නේ නැත්නම් ඒ ආගම කොහෙද ආරක්ෂා කරන්නේ?

කැප්පෙටිපොළ නිලමේ එදා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළේ මේ නැතිවුණ නිදහස රැකගන්න. 1948 නිදහස දිනාගත්ත කියල කිව්වත් ඒ නිදහස නියම ලෙස දිනාගන්න බැරිවුණා. 1956 සිංහල රාජ්‍ය භාෂාව කළේ ඒ නිදහස් සටන අනුව තමයි. ඒ නිදහස් සටනේම කොටසක් තමයි ඒ වෙනකොටත් ඉංග්‍රීසින් යටතේ තිබුණ කටුනායක, ත්‍රිකුණාමල කඳවුරු නිදහස් කර ගැනීම. මේ 2015 වසරේ රට යටත්වෙලා අවුරුදු 200 කට පස්සෙත් ඒ අයිතින් තාම හරියට දිනාගෙන නැහැ.

එදා කැප්පෙටිපොළ වීරයා යම් වැඩ කොටසක් ඉටු කළා නම් අද ඒ වැඩකොටස ඉටු කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එදා සුද්දො කැප්පෙටිපොළ වීරයා ඝාතනය කළා වගේ ඒ උත්සාහය අදත් තියෙනවා. බටහිර සුදු ජාතිකයන් අද වෑයම් කරන්නේ මේ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයව පරද්දල යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරල හේග් නුවර යුද අධිකරණයට ගෙනියන්න.

ලංකාව ගිවිසුම් අස්සන් කරල නැති නිසා ගෙනියන්න බැහැ කිව්වත් රාජ්‍ය නායකයාව ගෙනියන්න බැරි නිසා බලයෙන් පහ කරල පුද්ගලයෙක් විදියට ගෙනියන්න තමයි උත්සාහය තියෙන්නේ.

අද මානව අයිතීන් ගැන කතා කරන බටහිර ජාතීන් එදා මේ රටේ සමූල ඝාතන සිදු කළා. 1817 නිදහස් සටනින් ලැබූ පරාජයෙන් පසු ඌව වෙල්ලස්සේ අවුරුදු 13 ට වැඩි සියලුම පිරිමින් සමූල ඝාතනය කළා විතරක් නෙවෙයි ඔවුන්ගේ වෙල්යායවල් ගිනිතියල හරකබානත් මරා දැම්මා. ඒ සමූල ඝාතනයෙන් බේරුණේ නැ‍ඟෙනහිර පානම වගේ ප්‍රදේශවලම දකුණට පැනගත් කීපදෙනෙක් පමණයි.

සුද්දො එදා කැප්පෙටිපොළ වීරයා ඝාතනය කළා වගේ අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමේ වරදට දන්ගෙඩියට දක්කන්න හදනවා. අද මොකක්ද මේ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහත්තය කියන්නේ. ඔහු කියනව දේශීය වශයෙන් යුද අපරාධ පරීක්ෂණ කරනව කියලා. මේ සැරසෙන්නේ සරත් සිල්වා මහත්තයා හෝ වෙන කවුරු හරි දාගෙන දේශීය යුද අපරාධ අධිකරණයක් පත්කරල ඒකට යුද්ධයට නායකත්වය දුන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා අනෙකුත් හමුදා නායකයන් හා හමුදා භටයන් ගෙනහිල්ලා දඬුවම් කරන්න.

1817 නිදහස් සටනින් පසු සිංහලයන් සමූල ඝාතනය කළා වගේ මෙහෙම චෝදනා එල්ල කරල 2017 වෙනකොට හමුදාව හා ජාතිකත්වය අගයන පිරිස නසන්න මේ උත්සාහය දරන්නේ.

මේ විජාතික අතපෙවීම් නතර කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සීයට 65 ක්වත් වැඩි ඡන්දයෙන් දිනවන්න ඕන.

අද උත්සාහය වෙලා තියෙන්නේ කිසිම අපේක්ෂකයකුට සීයට 50 ට වැඩිය ඡන්ද ගන්න බැරි තත්වයක් ඇති කරල අරාබි වසන්තයක් මේ රටේ ඇති කරන්න. පාඨලී චම්පික රණවකල හෙළ උරුමයෙන් අරන් ඡන්ද බෙදන්න හදන්නේ ඒකයි. අපි මහින්ද මහත්තය ඉහළම ඡන්දයෙන් දිනවල මේ කරන්න හදන අරාබි වසන්තය අරාබි නිසොල්ලාස වගේ බොරුවක් කරන්න ඕන.

දැන් මේ අශුද්ධ සන්ධානේ ඇතිවෙන්න පුළුවන් රට බෙදී‍ෙම් හා මුස්ලිම් කලාප ඇති කිරීමේ තර්ජනවලින් චම්පික රට බේරල දෙයි වගේ කතාවක් කියන්න හදනවා. ඔහු කියනවා අපි රට බෙදන්න දෙන්නේ නැහැ කියලා.

චම්පිකට සැබෑ ජාතිකත්වයක් තියන මහින්ද රාජපක්ෂ මහතාත් එකඟ කරගන්න බැරි වුණා නම් සටන් විරාම ගිවිසුම් හා සුනාමි සහන මණ්ඩල කොටි සමඟ අස්සන් කළ ජාතිකත්වයට විරුද්ධ දෙන්නෙක් වන රනිල් හා චන්ද්‍රිකාව ඔහු එකඟ කරගන්නේ කොහොමද කියා ප්‍රශ්න කළ යුතුයි. වෙනසක් කරන්න ‍ඡන්දෙ දෙන්න කියල මෛත්‍රීපාල මහතා සමඟ සිටින කණ්ඩායම ඉල්ලනවා.

මේක ඉතාම තීරණාත්මක අවස්ථාවක්. මේක නිකන් වෙනසකට බණ්ඩාරවෙල නැතිනම් නුවරඑළි යනවා වගේ ගමනක් නෙවෙයි. මේ දේශය පිළිබඳ තීන්දුවක් මේ ගන්න තියෙන්නේ. ඔය කියන වෙනස කරන්න ‍ජනතාව සූදානම් නැහැ. බැරිවෙලාවත් එහෙම වෙනසක් කළොත් ජාතිකත්වයට ආයේ අවුරුදු පනහකට අවස්ථාව ගන්න බැහැ.

බලය සිරිසේනට යනව කියන්නේ ඒ බලය බෙදුම්වාදය අදහන සම්බන්ධන්ලට, රනිල්ලට, චන්ද්‍රිකාලට යනව කියන එකයි.


නලින් ද සිල්වා

2015-01-04