Main Logo

Friday 30 January 2015

අයවැයේ පදනම


රවි කරුණානායක මහතා ධනපති විරෝධියෙක් නො වේ. ඔහු තම අයවැයෙන් ධනපතියන්ට බදු පටවා ඇතැයි කිව හැක්කේ කපටි කෛරාටික, ඊනියා ජාතික දේශපාලනයක සිල් රෙද්දෙන් තම පාපී දේශපාලනය වසා සිටින වෛරී කුහකුයකුට පමණකි. මේ ආණ්ඩුවේ ඊනියා අතුරු අයවැය පදනම් වී ඇත්තේ කරුණු තුනක් මත ය. පළමුව මීළඟ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම සඳහා ජනතාව රැවටීමට සහන කිහිපයක් ලබා දීමට ය. ජනතාවට සහන ලබාදීම අයහපත් නො වේ. එහෙත් ජනතාව රැවටීමට ලබා දෙන සහන වැඩි කල් නොපවතිනු ඇත.

මේ ඊනියා සහන වංචනික බව පහත සඳහන් කරුණෙන් පැහැදිලි වෙයි. පසුගිය ආණ්ඩුවෙන් ජ්‍යෙෂ්ට පුරවැසියන්ට ලක්‍ෂ විසිපහක් රාජ්‍ය බැංකුවල 12% පොළියට තැන්පත් කිරීමට අවසර ලබා දී තිබිණි. අද එය ලක්‍ෂ දහයට බස්සා ඇත. මේ කරුණ බොහෝ දෙනා නොදනිතත් ආණ්ඩුවේ සහන දීම එයින් ම පැහැදිලි වෙයි.

අයවැය පදනම් වී ඇති දෙවැනි කරුණ පළිගැනීම ය. පසුගිය ආණ්ඩුව යටතේ අධික ලෙස ලාබ ඉපයූ කිහිප දෙනෙක් මෙරට වෙති. පසුගිය ආණ්ඩුව එසේ ඔවුන්ට ඉඩදීම අනුමත කළ නො හැකිය. මේ ආණ්ඩුව ඔවුන්ට අධික බදු මුදල් පණවා ඇත. එහි නරකක් නැත. එහෙත් එසේ කරන්නේ පැහැදිලිව ම පළිගැනීමේ චේතනාවෙනි.

එය පළිගැනීමක් බව පැහැදිලි කෙරෙන්නේ තුන්වැනි කරුණෙනි. ආණ්ඩුව ඉහත කී පිරිස මත අධික බදු පටවන අතර ඔවුන්ගේ හිතවතුන්ට ධනය ඉපයීමට අවස්ථාව සපයයි. ඒ බව ඇතැම් කරුණු සම්බන්ධයෙන් පණවා ඇති බදුවලින් පැහැදිලි වෙයි. මේ බදුවල අරමුණ තම හිතවතුන් සමග තරගයට එන සුළු හා මධ්‍යම ආයෝජකයන් ක්‍ෂෙත්‍රයෙන් පළවා හැරීම ය.


නලින් ද සිල්වා

2015 ජනවාරි 30