Main Logo

Sunday 4 January 2015

කැප්පෙටිපොළ නිළමේ හා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා


සිංහලයන් කිසිම ජාතියකට හෝ  ජනවර්ගයකට හෝ රටකට හෝ යුද්ධයකින් මුළුමනින් ම යටත් වී නැත. 1506න් පසු පෘතුගීසීන්ට, ලන්දේසීන්ට හෝ ඉංගිරිසින්ට හෝ සිංහලයන් මුළුමනින් ම යටත්කර ගැනීමට නො හැකි විය. එහෙත් අවසානයේ දී ඩොයිලිගේ සටකපට දේශපාලන උපක්‍රමවලට හසු වූ සිංහල නාායකයෝ සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් රටේ පාලනය ඉංගිරිසින්ට භාර කළහ. ඒ ගිවිසුමට අනුව රට කරවිය යුතුව තිබුණේ සිංහල නීතියට අනුව ය. ඉංගිරිසින් බුද්ධාගම හා දේවාගම (වෙනත් වචනවලින් කියන්නේ නම් සිංහල බුද්ධාගම) රැකිය යුතු විය. එහෙත් ඉංගිරිසිහු ඔවුන්ට සුපුරුදු ආකාරයට, ඔවුන්ගේ යහපාලනයට අනුව, ගිවිසුම කැඩූහ. එහි ප්‍රතිඵලය වූයේ කැප්පෙටිපොළ නිළමේතුමාගේ නායකත්වයෙන් කෙරුණු 1817 – 18 ඉංගිරිසි පාලනයට එරෙහි ව සිංහලයන් විසින් කරන ලද ප්‍රථම නිදහස් සටන ය. එය අවසන් වූයේ කැප්පෙටිපොළ නිළමේතුමාගේ හිස ගසා දැමීමෙන් හා ඌව වෙල්ලස්ස ජනයා සමූලඝාතනය කිරීමෙනි. ඉංගිරිසිහු තම යහපාලනයට අනුව එහි අවුරුදු දොළහට වැඩි සියළු පිරිමින් පමණක් නො ව හරක බාන ද ඝාතනය කළේ කෙත්වතු විනාශ කිරීමෙනි. ඒ ප්‍රදේශය සිංහලයන්ගෙන් හිස් වූයේ ඒ ආකාරයට ය. 

බටහිරයන්ට විරුද්ධ ව පමණක් නොව චෝල පාණ්ඩ්‍ය චේරයන්ට ද එරෙහිව අපි සටන්කර ඇත්තෙමු. එහෙත් අප මෙහි දී අවධානය යොමු කරන්නේ අප 1815 දී ඉංගිරිසින්ගේ පුර්ණ යටත්විජිතයක් බවට පත්වීෙීමන් පසුව කරන ලද සටන්වලට ය. මෙරට ලිබරල්වාදී හෝ මාක්ස්වාදී හෝ වෙනත්වාදී වූ අනුකාරක උගතුන්ට යටත්විජිතවාදය ද තේරෙන්නේ බටහිර යටත්විජිතවාදී දැනුමට අනුව ය. බටහිර බුද්ධිමතුන් විසින් නිර්මාණය කෙරී  ඇති යටත්විජිත පිලිබඳ දැනුමෙහි ඇත්තේ ආර්ථිකය හා දේශපාලනය පමණ ය. ඒ දැනුමෙහි බටහිර යටත්විජිතචාදයේ සංස්කෘතික සංරචකය නැත. බටහිර දැනුම අප මත පැටවීම ද යටත්විජිතවාදයෙහි සංස්කෘතික සංරචකයට අයත් ය. එබැවින් බටහිරයන් පොදුවේ ගත්කල තමන් ලෝකය මත පටවන දැනුමෙන් සංස්කෘතික යටත්විජිතවාදය ඉවත්කිරීම පුදුමයක් නො වේ. අප බටහිරයන්ගේ දැනුමට යට වී ප්‍රභාකරන් පැරදවිය නොහැකි යැයි සිතා සිටියේ නම් චන්ද්‍රිකා නෝනාට යාපනයට ගොස් “ප්‍රභාකරන් මහතා” ගැන කතාකිරීමට ඉඩක් නොලැබෙනු ඇත. අප බටහිරයන්ගෙන් ලබාගත යුත්තේ අපට අවශ්‍ය හා අපේ සංස්කෘතියට අවශෝෂණය කළ හැකි දැනුම මිස ඔවුන් අප මත පටවන දැනුම නො වේ. අද බටහිර යටත්විජිතවාදය  මුළුමනින් ම මෙන් රඳා පවතින්නේ බටහිර යටත්විජිතවාදී සංස්කෘතියෙහි යටත්විජිතවාදී දැනුම මත ය. 

අනගාරික ධර්මපාලතුමා ද යටත්විජිත විරෝධී අරගලයෙහි නායකයෙකි. ගුණදාස අමරසේකර මහතා පෙන්වා දී ඇති අන්දමට ධර්මපාලතුමා බෞද්ධ පුනර්ජිවනයක් ගැන කතාකළ උපාසකයෙක් පමණක් නො වී ය. එතුමා කළුසුද්දන් ගැන සඳහන් කළේ ය. මෙරට කළුසුද්දන් හා සුද්දියන් තොග වශයෙන් බිහි වී ඇත්තේ ඉංගිරිසි පාසල් ඇති කිරීමෙන් පසුව ය. එහෙත් පසුව සිංහලෙන් ඉංගිරිසි අධ්‍යාපනයක් ලබාදෙන පාසල්වලින් ද බිහි වී ඇත්තේ කළුසුද්දන් හා කළුසුද්දියන් ය. අද පාසල් විශ්වවිද්‍යාල මෙන් ම ජනමාධ්‍ය සිනමාව කලාව සා හිත්‍ය මගින් ද බිහිකෙරෙන්නේ කළුසුද්දන් හා කළුසුද්දියන් ය. එසේ වුවත් 1817 දී ද මෙරට කළුසුද්දෝ වූහ. ඔවුහු කැප්පෙටිපොළ නිළමේතුමාට ද අපේ නිදහස් සටනට ද විරුද්ධ ව ඉංගිරිසින්ගේ පැත්ත ගත් හ. ඔවුන් ද කැප්පෙට්ටිපොළ ඝාතනය ගැන වග කිව යුතු ය. 1817න් පසුව 1848 දී අපි වීර පුරන්අප්පුගේ හා ගොන්ගාලෙගොඩ බණ්ඩාගේ නායකත්වයෙන් දෙවැනි ප්‍රධාන නිදහස් සටන ආරම්භ කළෙමු. එහෙත් එය ද පරාජය විය. ඉන්පසුව දහනවවැනි සියවසේ අගභාගයේ මෙරට යටත්විජිත විරෝධී සටනට නායකත්වය දුන්නේ ධර්මපාලතුමා ය. එදා සිට අද දක්වා අපේ නිදහස් සටන්වල ප්‍රධාන සංරචකය වී ඇත්තේ සංස්කෘතිය ය. 

පනස්හයේ සිංහල භාෂාව කරළියට පැමිණෙන්නේ ද මේ සංස්කෘතික සංරචකය ප්‍රධාන වීමෙනි. ලිබරල් හා මාක්ස්වාදී අනුකාරකයන්ට යටත්විජිතවාදයෙහි ඇති සංස්කෘතික සංරචකය තේරුම් ගත නොහැකි බැවින් ඔවුහු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධ වූහ. මේ මාක්ස්වාදීහු පිිලිප් ගුණවර්ධන මහතාගේ වචනවලින් කියන්නේ නම් පුස් කෑ පොත් කියවූවෝ වූහ. දහනවවැනි සියවසේ මුල ව්‍යවස්ථාදායක සභාව පිහිටුවූ දින සිට ඉංගිරිසිහු සිංහල සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම සඳහා ඔවුන් විසින් බිහිකෙරී පෝෂණය කෙරුණු දෙමළ ජාතිවාදය යොදාගත් හ. අද ද යොදා ගනිති. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැත. එසේ ප්‍රශ්නයක් තිබේ නම් උතුරු හා නැගෙනහිර පළාත්වලට බලය බෙදාදීමෙන් ඒ පළාත්වලින් පිටත සිටින දෙමළ ජනයාගේ ඇතැයි කියන ප්‍රශ්නය විසඳන්නේ කෙසේ ද? ඉංගිරිසින් දෙමළ ජාතිවාදය යොදාගන්නේ සිංහල සංස්කෘතිය නැතිකිරීමට හෝ එසේ කළ නොහැකි නම් දුර්වල කිරීමට ය. ඊළමක් ඇතිකිරීම එහි අවසාන අරමුණ වෙයි. 

අපට නිදහස ලබාගත හැක්කේ දෙමළ ජාතිවාදය පෑරදවීමෙන් පසුව ය. නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි ද එය දෙමළ ජාතිවාදයේ එක් කොටසක් පමණකි. අද දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වන්නේ ලන්ඩනයේ සිට ය. ඉංගිරිසිහු සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ජාතිවාදය පවත්වාගෙන යැම සඳහා එංගලන්තයේ හා වෙනත් බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනයා, දෙමළ ජාතික සංධානය, එ ජා ප, ජ විපෙ, ජාතික හෙළ උරුමයේ නායකයන්, චන්ද්‍රිකා නෝනා, බටහිර රාජ්‍ය සංවිධාන (ඊනියා රාජ්‍ය නොවන සංවිධාන), විවිධාකාර පඬියන් කලාකරුවන් සාහිත්‍යකරුවන් ආදීන් යොදා ගනිති. අද මෙරට විදේශ ප්‍රතිපත්තියෙහි අවුලක් ඇතැයි පඬියෝ කියති. එහි කිසිම අවුලක් නැත. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම හා බටහිරයන්ගේ බහට අවනත නොවීම පිළිබඳ ව එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් අප සමග වෛරයෙන් පසුවෙයි. ඒ හැරෙන්නට වෙනත් කිසිවක් මෙහි නැත. චීනය රුසියාව හා ඉන්දියාව ඇතළු වෙනත් ආසියාතික රටවල් අප්‍රිකානු රටවල් දකුණු ඇමරිකානු රටවල් අප සමග මිත්‍රත්වයෙන් කටයුතු කරයි. එහෙත් බටහිරයන්ට මහින්ද රාජපක්‍ෂ මහතාට කැප්පටිපොළ නිළමේතුමාට කළ දේ කිරීමට අවශ්‍ය වී ඇත. ඔවුහු තමන්ට අවනත නොවන ශක්තිමත් නායකයන් බලයෙන් පහකිරීමට හා ඇතැම් අවස්ථවල ඝාතනය කිරීමට අරාබි වසන්ත යොදා ගනිති. 

අද බටහිරයන් රනිල් හා චන්ද්‍රිකා මගින් දුර්වල නිවටයකු වූ මෛත්‍රිපාල ඉදිරිපත් කරන්නේ හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර ඔහු දංගෙඩියට යැවීමට ය. මහින්ද රාජපක්‍ෂ මහතා කෙරෙහි වෛරයෙන් පසුවන මෛත්‍රිපාල (වෛරපාල) හා වෙනත් අය සිංගප්පුරු ගියේ හා යන්නේ ඇයි ද යන්න සුප්‍රසිද්ධ රහසකි. මෛත්‍රිපාල තම රචනයෙන් කියන්නේ ඊනියා යුද්ධාපරාධිකරණයක් දේශීය වශයෙන් පිහිටුවන බව ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් නොව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද හමුදා නිළධාරීන්ද රණවිරුවන් ද ඊනියා යුද්ධාපරාධවලට වරදකරුවන් කර දඬුවම් කිරීමට හා පසුව අවශ්‍ය පරිදි ඇතැමුන් සුද්න්ට භාරකර දංගෙඩියට යැවීම ය. මෛත්‍රිපාල බටහිරයන්ගේ අවශ්‍යතාවට දෙමළ ජාතිවාදයට උතුරු හා නැගෙනහිර පළාත් පාවා දෙනු ඇත. දෙමළ ජා තික සංධානය හා මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රිපාලට ආධාර කරන්නේ නිකමට නො වේ. ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලු කලාප බලතල (පොලිස් ඉඩම් ආදී ) නොලැබුණු විට මෛත්‍රිපාල කරා යන්නේ ඔහු ඒවා ලබාදීමට පොරොන්දු වී ඇති බැවිනි. එසේ පොරොන්දු නොවී නම් දෙමළ හා මුස් ලිම් ජාතිවාදී නායකයන් කළ යුතුව තිබුණේ කිසිවකුටවත් ආධාර නොකර සිටීම ය. එහෙත් ඔවුන් එසේ කර නැත. 

මෛත්‍රිපාල එසේ දෙමළ ජාතිවාදයට රට පාවාදෙන විට එයට විරුද්ධව නැගී සිටින සිංහල ජාතිකවාදීන් ලේ විලක ගිල්වා ඝාතනය කෙරෙනු ඇත. එය වැළැක්වීමට ජාතික හෙළ උරුමයේ නායකයන් ක්‍රියා නොකරනු ඇත්තේ ඔවුන් ව්‍යාජ ජාතිකවාදීන් වන බැවිනි. හැරත් ඔවුන් ම කියන ආකාරයට ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ මහතා තම මතයට එකඟකර ගැනීමට බැරි වී ඇත. ඔවුන්ට දෙමළ ත්‍රස්තවාදය පැරද වු මහින්ද මහතා එසේ එකඟ කරගැනීමට නොහැකි නම් ඔවුන් ඊනියා සටන්විරාම ගිවිසුම් ඇතිකළ සුනාමි සහන මණ්ඩල ඇතිකළ රනිල් චන්ද්‍රිකා එකඟ කර ගත හැකි ද? 

අද බටහිරයන් සූදානම්වන්නේ නැවතත් කැප්පටිපොළ නිළමේට දුන් දඬුවම හා සිංහල ජාතිකවාදීන් ඝාතන නැවතත් ඇතිකිරීමට ය. අපි එයට ඉඩ දෙමුද? එසේ නැත්නම් 1815 ගිවිසුම ක්‍රියාත්මක කිරීමට 2015 දී පියවර ගනිමු ද?



නලින් ද සිල්වා

2015-01-04