Main Logo

Friday 20 October 2017

විග්නේස්වරන් නොකී කතාව - 2


විග්නේස්වරන් නොකී කතාව - 2



මල්වතු අස්ගිරි ප්‍රකාශයට රනිල් බයවෙලා. ඒ නිසා ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ  ඔහු සංඝ භේදය ඇති කිරීමට උත්සාහ කරනවා. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ රනිල්ට මල්වතු මහානායක හිමියන් නිකම් ම නිකම් මල්වතු මහානායක. රනිල් අහනවා අදාළ උභය පාර්ශ්වීය කාරක සභා රැස්වීමට මල්වතු මා නාහිමියන් සහභාගි වුණා ද කියා. රනිල් පිටරට ගිය විට ඔහු නැතිව අමාත්‍ය මණ්ඩලය රැස්වෙන අවස්ථා තිබෙනවා. ඒ රැස්වීම් ගැනත් රනිල් ප්‍රශ්න කරනවා ද?  ලබන සතියේ ජනාධිපතිගේ සයිටම් ප්‍රකාශයත් සමග නැවතත් ව්‍යවස්ථාව අපට පෙනෙන්නට යට යවාවි. එහෙත් එය සම්මත කර ගැනීමට යටින් ක්‍රියා කරාවි. සයිටම් යොදා ගනිමින් මර්දනයක් දියත් වීමට ඉඩ තියෙනවා. ව්‍යවස්ථාව සම්මත කිරීමට කටයුතු කෙරෙන්නේ මර්දනය මගින්. රාමඤ්ඤ අමපුර නිකායේ ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශ ඉක්මන් වන්නේ නම් හොඳයි. එහෙත් අපට විග්නේස්වරන් අමතක කරන්න බැහැ.



විග්නේස්වරන්ලා දයාන් ජයතිලකලා සිංහලයන්ගේ ඉතිහාසය නොදන්නා කම ප්‍රයෝජනයට ගන්නවා. ඔවුන් ද දන්නා ඉතිහාසයක් නැහැ. එහෙත් සිංහලයන් ඉතිහාසය ඉගෙන ගන්න කැමති නැහැ. අවුරුදු විසිපහකටත් ඉහත දිවයින පුවත්පතට මා දෙමළ කතාකරන්නන්ගේ ඉතිහාසය ලියන කල එහි කතෘ මණ්ඩලයේ අයකු මට කිව්වේ ඉතිහාසය ගැන නොව වර්තමානය ගැන ලියන ලෙසයි. ඉතිහාසය නොදැන අපට වර්තමානය තේරුම් ගන්න බැහැ. අද අපට ප්‍රශ්නයක් වී ඇත්තේ අප මෙරට ඒ ඒ ජනයාගේ ඉතිහාසය නොදැනීමයි. මුස්ලිම්වරුන් අටවැනි සියවසේ අරාබිකරයෙන් මෙරටට පැමිණ සිංහල කතුන් විවාහ කරගත් බව කියන විට අප ඒ පිළිගන්නවා. අප නිකමටවත් අසන්නේ නැහැ ඔවුන් අරාබි හෝ සිංහල හෝ කතා නොකර දෙමළ කතා කරන්නේ ඇයි කියා.



දෙමළ කතා කරන ජනයාගේ ඉතිහාසය  ගැන අපේ දැනුම විවිධ ආකාරයෙන් විකෘත වෙලා. දොළොස්වැනි සියවසට පෙර මෙරට දෙමළ ස්ථිර වාසස්ථාන නොතිබූ බව යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාස මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල තම ආචාර්ය උපාධි නිබන්ධයේ සඳහන් කර තිබිය දී  සිංහලයන් දෙමළ කතා කරන්නන්ගේ ඉතිහාසය එළාරටත් එහාට ගෙන යනවා. ඒ මහාවංසය වැරදියට වටහා ගැනීමෙන්. සොළීන් ගැන අප දන්නේ දෙවැනි සියවසෙන් පසුව. ඒ වත්මන් තමිල්නාඩුව යන නමින් හැඳින්වෙන දේශයේ. එළාර සොළී වන්න බැහැ. මහාවංසය ලියන කාලයේ නම් මෙරට සොළී ආක්‍රමණයක් තිබුණා. සොළී කියන්නේ රාජ වංශයක් පමණයි. දෙමළ කතාකරන ජනයා වෙනමයි. සියලු  සොළී දෙමළ වුවත් සියලු දෙමළ සොළී වන්නේ නැහැ. ගණිතයේ කියන ආකාරයට පසු කාලීන සොළී යනු දෙමළ කතාකරන කුලකයේ උපකුලකයක් පමණයි. අප ඉතිහාසයේ දෙමළ යන නාමය සතුරන්ට යොදා ගත් පර්යාය නාමයක් බවට පත් වී තිබෙනවා. රාජාවලියේ පෘතුගීසීන්ට කියන්නේත් දෙමළ කියා. එපමණක් නො වේ. සිංහල සංස්කෘතියෙන් යම් ආභාසයක් ලබා ඇති කාම්බෝජයේත් සතුරන් දෙමළ නමින් හැඳින්වෙනවා.



අද ලංකාවේ ජීවත්වන දෙමළ ජනයා ප්‍රධාන වශයෙන් ම ලන්දේසීන් හා ඉංගිරිසින් විසින් ආනයනය කරනු ලැබූවන්ගෙන් පැවත එන්නන්. විග්නේස්වරන් අවුරුදු දෙදහස් පන්සියයක් මෙරට දෙමළ ජනයා ජීවත් වූ බව කියන විට සිංහල දේශපාලනඥයන් ඔහුට අභියෝග කරන්නේ නැහැ. ඒ සිංහල දේශපාලනඥයන් ඉතිහාසය නොදන්නා නිසා. එහෙත් මේ අදාළ කරුණු අප අවුරුදු විසිපහකට වඩා කියන දේ. ඒ මා විසින් දැනගනු ලැබූ දේ නො වෙයි. විවිධ ඉතිහාසඥයන්ගෙන් සිංහල භාෂා විශාරදයන්ගෙන් මා දැනගත් දේ. එක් වාග් විද්‍යාඥයකු මට කීවේ මෙරට දෙමළ හා තමිල්නාඩුවේ දෙමළ අතර වෙනස අවුරුදු තුන්සිය පනහක් පමණ වන බවයි. එය 1650න් පසුව මෙරටට දෙමළ ජනයා ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ බව සමග ගැලපෙනවා. මා කර ඇත්තේ සියලු කතා ගලපා එක් සංගත කතාවක් නිර්මාණය කිරීම පමණයි. එහි දී සොළී, පාණ්ඩ්‍ය, දෙමළ, දෙමළ කතාකරන, දෙමළ ජනවර්ගය ආදිය වෙන් කිරීමට මා කටයුතු කරනවා. මා අවශ්‍ය පරිදි සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කරනවා. එපමණයි.



මේ කරුණු මා ලියා ඇති නමුත් සමාජගත වී නැත්තේ ඇයි ද යන්න තේරුම් ගැනීම තරමක් අපහසුයි. සමහර විට උගතුන්ගෙන් මට සහායක් නොලැබෙන නිසා එසේ වනවා විය හැකියි. එසේත් නැත්නම් මා ඉතිහාසඥයකු වාග් විද්‍යාඥයකු නොවන නිසා ජනතාව මා කියන දේ නොපිළිගන්නවා වෙන්න පුළුවන්. එහෙත් මා පශ්චාත් උපාධිය සඳහා නිබන්ධනයක් ඉදිරිපත් කෙළේ තාරකා විද්‍යාවේ විශ්ව වේදයෙන් වුවත් කිසිවකු මගෙන් එ සම්බන්ධවවත් අසන්නේ නැහැ. මේ දිනවල කතාවෙන තාරකා ගැටුම (එකතු වීම) හා අයින්ස්ටයිනීය ගුරුත්වජ තරංග පිළිබඳ ව කිසිම ජනමාධ්‍යවේදියකු මගෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ මා ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරුවක් යැයි කියන නිසා ද දන්නේ නැහැ. සමහරු මේ තාරකා ගැටුම ඊයේ පෙරේදා දකුණු පළාතේ දිස් වූ ආලෝක ධාරා සමග සංසන්දනය කළා!  



පොහොසත් වංස කතා සාහිත්‍යයක් ඇති සිංහලයන් ඉතිහාසය ගැන නොදැන සිටීම, ඉතිහාස විඥානයක් නොමැති වීම පුදුමයට කරුණක්. ඔවුන්ට වියුක්ත භෞතික විද්‍යාව එතරම් ගෝචර නොවුණත් ඉතිහාසය දැන ගැනීමට උනන්දුවක් නැත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. අද සිංහලයන් බොහෝ දෙනෙකු මෙරට දෙමළ ජාතිවාදයේ ඉතිහාසය දන්නේ නැහැ. ඇතැම් සිංහල ජාතිකවාදීන් ද සිතන්නේ ඊනියා දෙමළ ජනවාර්ගික ප්‍රශ්නය 1956න් පසුව ඇරඹුණු බව. ප්‍රාමාණික දේශපාලන විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය කියන්නේත් දෙමළ ජාතිවාදය සම්බන්ධ ප්‍රශ්න 1956න් පසුව ඇරඹුණු දේ ලෙස. එකල ලේක්හවුසියේ සිටි ටාසි විට්ටච්චි සිංහල දෙමළ කෝළාහල ගැන කියා ඇති දෙයින් දෙමළ ජාතිවාදී ඉතිහාසය පටන් ගන්නා ඊනියා දේශපාලන විද්‍යාඥයන් ඉන්නවා. ලේක්හවුසිය අනගාරික ධර්මපාලතුමාට පහර දුන් බව අමතක කරන්න එපා. රනිල්ගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ මෙන් ම මංගලගේ මවත් ලේක්හවුසියට සම්බන්ධයි.



සිංහලයන් ඉතිහාසය නොදැනීම විග්නේස්වරන්ලා ගසා කනවා. චෙල්වනායකම් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවූයේ 1949 දී. ඒ සිංහල රාජ්‍ය භාෂාව කිරීමට පෙර. නාගනාදන් සිංහලයන් ඉංගිරිසින්නේ නිදහස ලබා ගත් බවත් දැන් තියෙන්නේ දෙමළ අය සිංහලයන්ගෙන් නිදහස් වීම බවත් කීවේ පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී. දෙමළ නායකයන් සෝල්බරි කොමිසම ඉදිරියට ගොස් සිංහලයන්ට වැඩි ආසන ගණනක් හිමි නොවන ආකාරයට මැතිවරණ ආසන වෙන් කරන ලෙස ඉල්ලා සිටියේ හතළිහේ දශකයේ මුල. එයටත් කලින් ජී ජී පොන්නම්බලම් පනහට පනහ ඉල්ලුවා. ඩොනමොර් කොමිසම ඉදිරියට ගිය විග්නේස්වරන්ගේ සීයා කෙනකු වූ පොන්නම්බලම් රාමනාදන් සර්වජන ඡන්දයට විරුද්ධ වුණා. ඒ සිංහලයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ආසන වැඩි ගණනක් හිමි වේය කියා.



විග්නේස්වරන්ගේ පොන්නම්බලම් අරුණාශලම් සීයා 1923 පමණ මෙරට පළමු දෙමළ ජාතිවාදී සංවිධානය වූ හින්දු මහා සභාව ආරම්භ කළා. ඔහු එකල ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජනත්වය දෙමළ නියෝජනත්වයට වැඩි වීමට විරුද්ධ වුණා. රාමනාදන් සීයා මුස්ලිම් ජනයා ද දෙමළ ගොඩට දා ගත්තා. ඒ දෙමළ කතාකරන යන තේරුමෙන්. ඉනුත් පැහැදිලි වන්නේ මෙරට දෙමළ ජනවර්ගයක් නැති බවත් ඇත්තේ දෙමළ කතාකරන ජනයා පමණක් බවත්.



දෙමළ ප්‍රශ්නය 1833 කරා දිව යනවා. ප්‍රශ්නය ඉංගිරිසින් විසින් බෞතීස්ම කරන ලද්දක්. ඉංගිරිසින් ඉංගිරිසි දත් දෙමළ ජනයා සිංහලයන්ට විරුද්ධව යොදා ගත්තා. ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ ඉංගිරිසි දත් වෙල්ලාලයන්, විශේෂයෙන් ම පොන්නම්බලම් කුමාරස්වාමි පවුළ, මෙරට නායකත්වයට පත් කරන්න. එහෙත් එය කර ගන්න බැරි වුණා. මේ කරුණු ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියේ සඳහන් වෙනවා. ඒ කරුණු අවුරුදු පතා නැවත නැවතත් කීමට සිදු වී තිබීම මගේ කරුමයක් වෙන්න ඕන.  අද විග්නේස්වරන්ට ඇත්තේ තම පවුලට රටේ නායකත්වයට පැමිණීමට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයක්.

.

මෙරට දෙමළ ජනයාට ඇති ප්‍රශ්නයක් නැති බව මා සී ආර් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවති උගත් පාඩම් කොමිසමට කරුණු සහිත ව පෙන්වා දුන්නා. මගේ සාක්කිය අවසානයේ කොමිසමේ සාමාජිකයකු කීවේ මා කී දේ ඇත්ත නමුත් දෙමළ ජනයාට යම් කිසි දෙයක් දිය යතු බව! ඒ කොමිසමේ වාර්තාවේ දෙමළ ජනයාට සිදු වී ඇති අසාධාරණ ගැන කියනවා. එහෙත් ඒ අසාධාරණ මොනවා දැයි කියන්නේ නැහැ. එයට හේතුව කිවහැකි අසාධාරණයක් නොමැති වීමයි. (මතු සම්බන්ධයි)





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 20