Main Logo

Tuesday 3 February 2015

ජනාධිපති පාප්වහන්සේ නොමග යැවීද

ජනාධිපති පාප්වහන්සේ නොමග යැවී ද?

පසුගියදා ජනාධිපති ලේකම් අබයකෝන් මහතා මොහාන් පීරිස් මහතාට ලිපියක් යවමින් කියා ඇත්තේ පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම බලරහිත කර ශූන්‍ය කර ඇති බව ය. එයින් කියැවෙන්නේ මොහාන් පීරිස් මහතා කිසි දිනෙක මෙරට අගවිනිසුරු ලෙස කටයුතු කර නොමැති බව ය.

ඒ  එසේ නම් පාප්වහන්සේ ලංකාවට පැමිණි දිනයෙහි හා ඉන්පසු දින කිහිපයෙහි ද මොහාන් පීරිස් මහතා මෙරට අගවිනිසුරු ව නො සිටියේ ය. එහෙත් වාර්තා වන පරිදි ජනාධිපතිවරයා පාප්වහන්සේට මොහාන් පීරිස් මහතා හඳුන්වා දී ඇත්තේ අගවිනිසුරු ලෙස ය. එය එසේ දැයි අපි නො දනිමු. මොහාන් පීරිස් මහතා භක්තිමත් කතෝලිකයකු ලෙස ඒ අවස්ථාවේ දී පාප්වහන්සේගේ මුදුව සිප ගන්නා අයුරු මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් රූපවාහිනී නාලිකා ඔස්සේ දැක බලාගත්හ.

මොහාන් පීරිස් මහතා කතෝලිකයකු වූ පමණින් ඒ අවස්ථාව නොලැබෙන බව අපි දනිමු. ඒ මහතාට පාප්වහන්සේ හමු වී මුදුව සිපගැනීමට අවස්ථාව ලැබුණේ ඔහු මෙරට අගවිනිසුරු වූ බැවින් ද? එසේත් නැත්නම් වෙනත් නිලයක් දැරූ බැවින් ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ ජනාධිපති ලේකම් ද එසේත් නැත්නම් නීතිඥ සංගමයේ සභාපති දැයි අපි නො දනිමු.

ඒ කුමක් වුවත් මෙරට සියළු වැසියන්ට ද, ලෝක කතෝලික ජනතාවට ද, මෙරට කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවට ද ප්‍රශ්නයක් වෙයි. අගවිනිසුරු ව නොසිටි අයකු පාප්වහන්සේට අගවිනිසුරු ලෙස හඳුන්වනු ලැබිණි ද? ඒ එසේ නම් ජනාධිපතිවරයා විසින් පාප්වහන්සේ නොමග යවනු ලැබිණි ද? 

මේ සම්බන්ධයෙන් කතෝලික සභාව කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තමු.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 03