Main Logo

Friday, 3 June 2016

ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 8


ප්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 8

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 



x මේ රට බහුජාතික රටක්. එවැනි රටක සිංහලයන් මහ ජාතිය වීම නිසා දෙමළ ජනයාට සිදුවන අසාධරණය වැළැක්විය හැක්කේ කෙසේ ද ?

මේ රට බහුජාතික යනුවෙන් ඔබ කියන දේ පැහැදිලි නැහැ. එයින් ඔබ කියන්නේ දෙමළ ජනයා වෙන ම ජාතියක් ලෙස පිළිගැනීම ද ? එය සම්පූර්ණයෙන් ම ඉතිහාස විරෝධී, වර්තමාන සමාජ විරෝධී ප‍්‍රතිපත්තියක්. දෙමළ ජනයා ජාතියක් වීම වෙනුවෙන් පැහැදිලි ව ම සපුරාලිය යුතු කොන්දේසි ඔවුන් විසින් සපුරාලන්නේ නැහැ. මේ රටේ දෙමළ ජනයා අතීතයේ දී ජාතියක් වුණේ නැහැ. දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ ජනයා පරම්පරාවක දී සිංහල සංස්කෘතියට ඇතුළු වූවා. යම්කිසි ආකාරයකට වෙන් වීමක් සිදු වූයේ දහතුන් වැනි සියවසට පසු වයි. එහෙත් යාපනය රාජ්‍යයක් වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිලා නැහැ. මේ සම්බන්ධයෙන් අධිනීතිඥ ගාමිණී ඊරියගොල්ල මහතා වැනි අය ලිපි ලියා තිබෙනවා. 


කෙසේ වෙතත් 1619 දී යාපන රාජ්‍යය පෘතුගීසීන්ට අයත් වීමෙන් පසු එහි ඉතිහාසය අවසන් වෙනවා. යාපනයේ වැසියන් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධ ව කළ අරගලයක් ඉන් පසු ව දකින්නට බැහැ. ඇත්තෙන් ම යාපනයේ වැසියන් සමස්තයක් ලෙස නිත්‍ය පදිංචිකරුවන් ලෙස ඉන් පසු ව සිටි බවක්වත් කියැවෙන්නේ නැහැ. ලන්දේසි යුගයේ දී මලබාර් ප‍්‍රදේශයෙන් එනම් දකුණු ඉන්දියාවේ කේරළ වෙරළින් මේ රටට ගෙන් වූ වහලූන් යාපනයේ පදිංචි කරනු ලැබූවා. එම වහලූන් ගේ කටයුතු කෙරුණු නීති පද්ධතිය තේසවලාමේ යනුවෙන් පසු ව එක්තැන් කරනු ලැබූවා. තේසවලාමේ නීතිය යනු තමිල්නාඩුවේ ජනතාව ගේ නීතියක් නෙවෙයි. එය මලබාර් මුස්ලිම් වැසියන් ගේ නීතියකි. එම නීතිය යාපනයේ වැසියන් අතර ප‍්‍රචලිත වීමෙන් කියන්නේ ලන්දේසි යුගයේ දී එහි බලබාර් වහලූන් ගේ පැතිරීමක්. 

බිරිතානින් විසින් ද මේ තේසවලාමේ නීතිය යාපනයේ තහවුරු කෙරුණා. කෝල්බෘක් කොමිසම තම සාක්ෂි විභාගය සඳහා යාපනයට ගිය විට එහි ආදායම් එකතු කරන නිලධාරියා කොමිසමට කියා සිටියේ යාපනයේ නිත්‍ය පදිංචිකරුවන්ට වඩා සාංක‍්‍රමණික වැසියන් ඇති බවයි. සාංක‍්‍රමණික වැසියන් සෘතුවෙන් සෘතුවට ඉන්දියාවට යමින් එමින් සිටියා. තේසවලාමේ නීතිය තවදුරටත් තහවුරු කෙරීමෙන් යාපනයේ ස්ථීර පදිංචිකරුවන් ඇති කෙරීමට අඩිතාලමක් දැමුණා. අද යාපනයේ සිටින්නේ එළාර ගෙන් හෝ මාඝ ගෙන් හෝ පැවත එන්නන් නොවෙයි. ඔවුන් ඉතිහාසයේ දීර්ඝ කාලයක් තුළ පාරම්පරික අඛණ්ඩ සංස්කෘතියට හිමිකම් කියන්නන් නොවෙයි. මොවුන් කිසිසේත් ම වෙන ම ජාතියක් ලෙස සැලකීමට බැහැ. 

සමහර විට ඔබ කියනවා ඇත්තේ ලංකාව බහුවාර්ගික රටක් බවයි. එය ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. ලෝකයේ හැම රටක් ම පාහේ බහුවාර්ගික රටවල්. එසේ නම් ලංකාවට පමණක් බහුවාර්ගික රටක් යැයි කියන්න අවශ්‍යතාවක් නැහැ. 

වත්මන් දෙමළ වාර්ගයා ගේ පැවැත්ම අප පිළිගන්නවා. එහි කිසි ම ගැටලූවක් නැහැ. බිරිතානියේ, ඉන්දියාවෙන් ගිය වැසියන්, සිංහලයන්, අප‍්‍රිකානුවන් ආදී නොයෙකුත් වර්ගවල ජනතාව ජීවත් වෙනවා. එලෙස ම ලංකාවේ දෙමළ වර්ගයා ජීවත්වෙනවා. බිරිතානියේ පොදු සංස්කෘතිය ඇංග්ලෝ -සැක්සන් ක‍්‍රිස්තියානි සංස්කෘතියයි. එහි අනන්‍යතාව එයයි. කවුරුවත් බිරිතානීන්ට එම අනන්‍යතාව නැති කරගන්න කියන්නේ නැහැ. මේ රටේ සිංහල - බෞද්ධ සංස්කෘතියට මෙතරම් විරුද්ධ වන්නන් ගේ ස්වාමිවරුන් බිරිතානියේ ඉංගිරිසි ක‍්‍රිස්තියානි සංස්කෘතියේ අනන්‍යතාව රැුකගන්නවා. එහි ජීවත් වන අනෙක් වැසියන් තම අනන්‍යතාව රැුක ගනිමින් අර පොදු සංස්කෘතිය තුළ ජීවත් වෙනවා.  

ලංකාවේ දෙමළ ජනයා ගේ ප‍්‍රශ්නය වී ඇත්තේ ඔවුන් එය කෙරීමට දක්වන අකැමැත්ත මිස සිංහලයන් මහ ජාතිය වීම නිසා සිදු වන අසාධාරණයක් නොවෙයි. ඔවුන්ට පොදු සංස්කෘතියක් තුළ ජීවත් වී තම අනන්‍යතාව රැුකගැනීමට අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ වෙන ම ජාතියක් ලෙස ජීවත් වීමටයි. ඒ බිරිතානින් ගෙන් තමන් ලත් වරප‍්‍රසාද හා බලය හේතු කොට ගෙන ඇති වූවක්. දෙමළ ජාතිවාදයේ විකාශනය මා මෙහි දී විස්තර කර ඇති. 

සිංහලයන් බහුතරය බව හා රටේ ඉතිහාසය දෙමළ ජනයා පිළිගත යුතුයි. එය පිළිගැනීමෙන් පසු ව මධ්‍යයෙහි බලය බෙදා හදා ගැනීමක් ගැන කතා කළ යුතුයි. ඔවුන් එසේ නොකළේ තම ජන අනුපාතයට නොසරිලන ආකාරයෙන් මධ්‍යයෙහි බලය හැසිරවීමටයි. අද ඔවුන් මධ්‍යයෙහි බලය හීනකර ඔවුන් ගේ ඊනියා නිජ භූමියට බලය ලබා ගැනීමට උත්සාහ කරනවා. 

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් නො කරමි. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැත.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 ජූනි 03